දැන් මම කියලා දෙන්නම් ඒක කොහොමද කරන්නේ කියලා.” ඔහු දකුණතේ දබරැඟිල්ල ඔසවා වම් අතේ අත්ල මත තැබුවේ හරියට පෑනකින් කොළයක ලියන්නාක් මෙනි. “මුලින්ම ඒක ජියැන්ග් ටයි මටයි අමතන්න ඕනැ. අපේ නම් වලට පසුව තිත් දෙකක් තියන්න. ඒකෙන් අදහස් කරන්නේ විරාමයක් පමණයි කියන එක. ඊට පස්සෙ තමයි පළවෙනි ඡේදය පටන් ගන්නෙ.


ඇය දේශපාලන මෙහෙයුම මගහරිනවා කියලා තමුන් කියපු එක ගැන කනගාටුවෙනවා කියලා ඒකෙදි කියන්න. ඒ ගැන සමාව ඉල්ලනවා කියලත් කියන්න. ඒකෙ අගට තමුන් කියන කෑල්ලත් එකතු කරන්න. තමුන්ගේ ස්වයං විවේචනයේ වැදගත්ම කොටස ඒකයි. ඒකෙදි ඇය නගන දේශපාලන අවලාද කියන චෝදනාව වගේම ලී මින් හා ඇය අතර ආරවුලක් ඇතිකරන්න හැදුවා කියන චෝදනාවත් ප්‍රතික්ෂේප කරන්න. තමුන් කිසි දිනක එවැන්නක් කරන කෙනෙක් නොවයි කියලත් කියන්න. තමුන් ලී මින් එක්කන් එන්න ගියත් ඇයට ආපසු එන්න උවමනාවක් තිබුණෙ නෑ කියලත් කියන්න. කෙසේ හෝ ඇය කැඳවාගෙන ආපු නැති එක මගෙ වැරැද්දක්. නමුත් ඒ නියෝගය ක්‍රියාත්මක කරන්න බැරිවුණේ ලී මින් ආපු නැති නිසයි. නමුත් මීට පසුව මෙවැනි අතපසුවීම් නොවන්නට වග බලාගන්නවා කියලත් ලියන්න. ඒක ලියලා ඉවරවුණාම මට පෙන්වන්න.”


“බොහොම ස්තුතියි සභාපති සහෝදරයා.” මම වහා මගේ කාමරය වෙත ගියෙමි. මාවෝ මට කියූ කරුණු අමතක වෙන්නට පෙර වහ වහා ලියන්නට පටන් ගත්තෙමි. එය ලියා අවසන් කර මම එය මාවෝ ට පෙන්නුවෙමි.


“ඒක හරි.” මාවෝ හිස සලා එය අනුමත කළේය. ඔහු මගේ එම ලියවිල්ල ගෙන ඇඳ පසෙක තිබුණ කබඩය මත තබමින් දිගටම කියාගෙන ගියේය. “නමුත් ප්‍රශ්නෙ එහෙම්මමයි. ඇය මෙහෙයුම මගහැරියා කියපු එක මහ භයානක දෙයක්. අපි මොනවද ඒකට කරන්නෙ?.”


මම හිස් බැල්මෙන් ඔහු දෙස බලා සිටියෙමි. 


“තමුන්ට කරන්න තියෙන්නෙ එක දෙයක් පමණයි.”මාවෝ මඳ සිනාපාමින් දඟකාර ලෙස ඇසක් ගසමින් කිවේය. “කරන්න තියෙන්නෙ ටික දවසක් තමුන් මග ඇරලා ඉන්න එකයි.” ඒ අනුව මම මාවෝ වෙතින් ඉවත්ව සිටියෙමි.


දින කිහිපයකට පසු මාවෝ මා කැඳවීය. මාදුටු විට ඔහු කතා කළේ මඳ සිනා පාමිනි. “යින්කියො දැන්නම් වැඬේ ටිකක් පහවෙලා ගිහින්. ජියැන්ග් කුයින් බීජිං ඉස්පිරිතාලේ නතර කරලා. තමුන් එයාව බලන්න ගියානම් හොඳයි. එයාට ගෙනියන්ඩ දේවල් ටිකක් මම ගත්තා. තමුන් යන වෙලාවට ඒවත් අරන් ගිහින් දෙනවා. මම කියන්නෙ මොකක්ද කියලා තමුන්ට තේරෙනවා නේද?.”
“හොඳයි මම එහෙම කරන්නම්.” ඉහළ නැගුණු උද්යෝගයෙන් යුතුව මම පැවසුවෙමි. 


“මම කීවේ දැන් යන්න කියන එක නෙවෙයි. තමුන්ගෙ කාමරයට ගිහින් ඉන්න.”


කාමරයට වී බලාසිටිය යුත්තේ ඇයිද කියා තේරුම් ගැනීමට නොහැකිව මම ආපසු මගේ කාමරය කරා ගියෙමි. පැය කාලකට පමණ පසු බීජිං ආරෝග්‍ය ශාලාවේ හෙදියක් මට කතා කර ජියැන්ග් දුම්වැටි සහ පලතුරු ඉල්ලන බැව් පැවසීය. ඇයට උවමනා කරන්නේ 
මොනවාද යන්න මම සටහන්කර ගතිමි. මාවෝ රැගෙන තිබුණේ එම බඩුමය. මම ඒ බඩුත් රැගෙන වහා ආරෝග්‍යශාලාව කරා ගියෙමි. මම ඇගේ වාට්ටුවට යන විට එහි කිසිවෙකුත් නොසිටියේය. නාන කාමරය තුළින් වතුර වැක්කෙරෙණ හඬ ඇසුණි. මම නිහඬව බලා සිටියෙමි. ටික වේලාවකින් දෑත් පිස දමමින් ජියැන්ග් මතු වූවාය. ඇය සිනාවකින් මා පිළිගනිමින් මගේ අතට අත දුන්නාය.


“කොහොමද තොරතුරු?. කරුණාකරලා වාඩිවෙන්න.


මම ගෙනා බඩු මේසය මත තබා ආචාරශීලී ලෙස වාඩිවුනෙමි.

ආරියනන්ද දොඹගහවත්ත