මාඕ ත්සේතුං  180

 

1950 වසරේ එක් දිනක මාවෝ නාවික හමුදාව නිරික්ෂණය කිරීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී නිලධාරීන් සහ අනිකුත් භට පිරිස් තම තමන්ගේ නිලතල වලට අනුව පිළිවෙළට පෙල ගැසී නැව් තට්ටුවක සිට ඉහළම හමුදා ආචාර පිරිනමන්නට වුහ. මාවෝ දුඹුරු පැහැති සමින් කළ සපත්තු යුවළක් පය ලාගෙන පළල් අඩි තබමින් ඔවුන් පසුකර යනවිට  නාවික හමුදා භටයෝ කුතුහලය මුසු කැලඹීමෙන් යුතුව ඔවුන්ගේ සිරුරු නොනැමෙන දණ්ඩක් සේ කෙළින් තබාගෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ-චීන ජනරජයේ- පක්ෂ මධ්‍යමකාරක සභාවේ සහ හමුදා කොමිසමේ සභාපතිවරයාට දෙනෙත් හරවා ආචාර පුදකරන්නට වුහ.

මේ යන අතරවාරයේ මාවෝ එක්වරම නතරවිය. ඔහු බෙහෙවින්ම හීන්දෑරි නාවික භටයෙක් දෙස සෙනෙහෙබර බැල්මක් හෙළුවේය. මාවෝ හමුදා භටයින්ට වැදගත් කතාවක් කරන්නට යනවා හෝ ඔවුන් සමග වැදගත් දෙයක් කතා කරන්නට යනවා’යැයි සිතූ ඉහළ නිළධාරීහු හා වාර්තාකරුවෝ වඩාත් අවධානයෙන් යුතුව සීරුවෙන් බලා සිටියහ. මාවෝ තමන්ගෙන් කෙනෙක් සමග කතා කරන්නට යනවා යැයි සිතූ හමුදා භටයින් තූළ ද තරමක ආඩම්බරයක් ඇතිවිණි. සභාපතිතුමා යමක් විමසුවහොත් හඬ නගා පිළිතුරු දෙන්නට සුදානමින් සිටි හීන්දෑරී හමුදා භටයාගේ පපුවද හෙමින් ගැහෙන්නට විය.


නමුත් මාවෝ ඔවුන් බලාපොරොත්තුව සිටි මේ කිසිවක් හෝ නොකළේය. ඒ වෙනුවට ඔහු මුදු හඬින් හීන්දෑරි නාවික භටයා ඇමතුවේය. “තමුන් කවදාහරි දවසක බඩකට පිරෙන්න කෑම කාලා තියෙනවද?.”එසේ ඇසු මාවෝ සිනාසුණේය. නමුත් එක්වරම කිසිවක් තේරුම්ගත නොහැකිවුණු නාවික භටයා විමතියට පත්ව සිටියේය. අනතුරුව වැඩි වේලාවක් යන්නට පෙර සංවිඥානික තත්ත්වයට පත් ඔහුත් කාරණය අවබෝධවී සිනාසෙන්නට විය. මාවෝ කියු දේ ඇසුණු අනිකුත් පිරිසත් මුදු සිනා පෑහ. ඒ සමගම වැඩිවෙලාවක් යන්නට පෙර තත්ත්වය සාමාන්‍ය අතට පත්විය.


මාවෝ ඔහුගේ ආරක්ෂකයින් සහ ශරීර ආරක්ෂකයින් සමග බොහෝවිට නිදහසේ බුහුටිවදන් දොඩමින් අදහස් උදහස් හුවමාරුකර ගත්තේය. යැන්ග්ට්සේ නදියේ පිහිනන්නට ගිය අවස්ථාවක සිදුවු දෙයක් මට මතකය. නදියේ පිහිනන්නට පෙර මාවෝට නාන කලිසම ඇඳගන්නට උදව්කිරීමෙන් පසු මමද නාන කලිසම ඇඳගත්තෙමි. මා කලිසම අඳින දෙස මාවෝ බලා සිටිනු මම දුටුවෙමි. 


“තමුන් මහා ලොකු මිනිහෙක් වෙන්න යනවා වගෙයි යින්කියෝ,” බරපතළ බවක් මුහුණින් ප්‍රදර්ශනය කරමින් මාවෝ කීවේය. “මේ විදිහට ගියොත් තමුන් මාවත් අබිබවා යන්න පුළුවන්.” ඔහු කියන්නේ කුමක්ද යන්න ගැන වැටහීමක් නැතිව මම තරමක වික්ෂිප්ත බවකට මෙන්ම කැලබීමකට ද පත් වුනෙමි. “ඒක ලොකුවෙන්න පටන් අරන්.”මගේ බඩට තට්ටු කරමින් මාවෝ දිගටම කියාගෙන ගියේය. “මාත් එක්ක තරඟ කරන්න වගේ.”
මම සිනාසී මගේ බඩ පිටුපසට ඇද ගතිමි. අනතුරුව ඔහු මගේ උරහිසට තට්ටු කරමින් කතා කළේය. “ඔය විදිහට තමුන්ගේ පපුවත් ඉස්සරහට දානවා. එතකොට මං වගේම පෙනේවි.”


මාවෝ මෙන්ම මමත් මදක් කුදු ගැසී ඇත. මම ඔහු කියු ලෙස කර මෙසේ කීවෙමි. “අපි නොදැනීම වයස යනවා. නමුත් ඔබතුමා වගේ ජිවිතය ජයගන්න මට කවදාවත් පු`එවන් වෙයි කියලා මම හිතන්නෙ නෑ.”
“තමුන් අවුරුදු තිහක තරමක කෙනෙක් වෙලත් ඔය විදිහට පරාජිතයෙක් වගේ කතා කරන්නෙ කොහොමද?. මම නම් වයසක මිනිහෙක්. නමුත් තමුන්ට ඉහළ බලාපොරොත්තු රඳවාගන්න පුළුවන් අනාගතයක් තියෙනවා.”එසේ කියා මාවෝ ඉදිරියට ඇවිදගෙන ගියේය.


මාවෝ ඔහුගේ මේසයේ වාඩිවී එක දිගට පැය ගණනාවක් නොනවත්වා වැඩකරණ විට එය නතරකර ඇවිදින්නට යාම ගැන බොහෝ වාරයක් මතක් කිරිමට සිදුවිය. ඔහු එසේ වැඩ නවතා ඇවිදින්නට යන්න සුදානමින් මෙලෙස කියයි. “විනාඩි දහයකට වෙලාව තියන්න.”


කෙසේ හෝ විනාඩි දහයකට වඩා ඔහු ඇවිද්දවීම සඳහා මම කළේ බොරු වෙලාවක් කීමය. නමුත් මාවෝගේ අභ්‍යන්තරයේ ඔරලෝසුවක් තැන්පත්ව ඇත්තාක් සේ හරියටම විනාඩි දහය අවසන්වන විට “වෙලාව පහුවෙලා’දැයි” අසයි. 


“තව විනාඩි දෙකක් විතර තියෙනවා.” එවිට මම කියමි. “තමුන්ගේ ඔය ඔරලෝසුව නම් නිතරම වැරදියටයි දුවන්නේ. ඒක හැදෙන එකක් නෙමෙයි.” මාවෝ එලෙස පැමිණිලි කරමින් පියවර සියයක් ගොස් ආපසු ඔහුගේ කාමරයට ගමන් කරයි.

 

 

 

 

 

ආරියනන්ද දොඹගහවත්ත