මා පළමු වතාවට සිනිටා දුටුවේ  කන්‍යා සොයුරියක විසින් නව සිසුවියන් හා ඔවුන්ගේ මව්පියන් පිළිගනිමින් සිටි ශාලාව තුළදීය. තනිව එහි රැඳී සිටි ඈ කලකිරුණු බැල්මක් මුහුණෙහි රඳවා ගත් දිගට උල්ව පෙනෙන වැලමිටි සහිත දෑතකින් යුතු කෙට්ටු දැරියක වූවාය. ඈ කළුපාටින් සැරසී සිටි අතර එය තරමක අමුත්තක් වූයේ බොහෝ ළමුන් වයස පහළොව වනතුරු ශෝකවන ඇඳුම් නොඇන්ද බැවිනි. මෙම කුඩා දැරිය මට වඩා වයසින් වැඩිබව නොපෙනුන අතර මා දොළොස් හැවිරිදි වියට පා තැබුවා පමණි. එසේ වුවත් මා හුදෙක් ළමයකු පමණකියි කියන්නන් සමග මම වාද කළෙමි. 


මම ඈ දෙස බලා සිටියෙමි. ඇයද මා මෙන්ම මෙම ශාලාවේ පැවැති විනීත කතාවලින් ඒකාකාරීව සිටි බව පෙනුණි. මෙම මව්වරුන් සැම එකිනෙකාගේ දියණියන් අගය කරමින් කන්‍යා සොයුරියන්ට ප්‍රශංසා  කරමින් සිටිනු අසා සිටීම මොළය ටැල්කම් පුයර දමා බරට සොලවනු වැනි විය. මෙම දැරියගේ මව කොහිදැයි මම කල්පනා කළෙමි. 


 

ජූලියා අල්වාරෙස්  (Julia Alrarez)  නම් ස්පාක්‍ද්ක්‍ද ජාතික ලේඛිකාව විසින් රචනා කරන ලද In the time of butterfies කෘතියේ අනුවාදයකි. 1930 සිට පුරා වසර තිහක් ඩොමිනිකානු ජනරජය පාලනය කරන ලද රෆායෙල් ටෘජිලෝ නම් ඒකාධිපති හමුදා පාලකයාගේ කාලය පසුබිම් කොට මෙම කෘතිය ලියැවී තිබේ.


මෙම කෲර පාලකයාගේ සමයේ එරට ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවටම ඇද වැටී තිබූ අතර එවකට එහි සිදුවූ මරණ රාශියකටම ඔහු වගකිව යුතු බව කියැවේ. එකම ස්ථානයේ සිදුවූ දස දහසක (10,000) ජන සංහාරයක්ද මෙයට අයත්ය. එරටින් පලාගොස් දිවි ගලවාගත් මිරැබල් සොයුරියක් ඇසුරින් In time of Butterfies  කතාව දිගහැරේ. ඬේඬේ, මිනර්වා හා පැටි්‍රයා යනු මෙම තෙසොහොයුරියෝය. මොවුන් ළමා වියේ පටන් ටෘජිලෝ පිළිබඳව ඇසූ දුටු කතා ඇසුරින් මෙම කෘතිය ඇරඹේ.


තෙවැනි කොටස.


ඈ හුදකලාව වාඩිවී හැමදෙනා දෙසම රවාගෙන සිටියේ ඇගේ මව ගැන විමසන්න උත්සාහ  කළොත් ගුටි කෑමට සිදුවන බවට හැගීමක් ඇති කරමිනි. නමුත් ඈ දෙස හොඳින් බලන විට ඈ දෑත් මත වාඩිවී හැඬුම වළකා ගන්නට මෙන් යටිතොල සපාගෙන සිටි බව පෙනුණි. ඇගේ සපත්තුවල පටි කපා තිබුණේ ඒවා පැතලිව පෙනෙන්නට විය හැකි වුවත් ඒවා පෙනුණේ ඉරීගිය අයුරිනි. 


මා නැගිට බිත්තිවල වූ සිතුවම් නරඹන්නට වූයේ ආගමික චිත්‍ර ප්‍රිය කරන්නියක මෙනි. සිනිටාගේ හිසට ඉහළින් වූ ශුද්ධ වූ මවුතුමිය ගේ සිතුවම අසලට යත්ම මම සාක්කුවට අතදමා දුම්රියේදී අහුලාගත් බොත්තමක් පිටතට ගතිමි. එය දියමන්තියක් මෙන් දිලිසුණ අතර එහි පිටුපස කුඩා සිදුරක් වූ බැවින් ඒ අතරින් රිබන් පටියක් රිංගවා එය මාලයක් මෙන් ගෙල බැඳීමට හැකිය. එය මට රිසිදෙයක්  නොවූ අතර එම රුචිකත්වය ඇති කෙනෙකු සඳහා එය සුදුසු බව පෙනිනි. 


මම එය ඈ වෙත දිගු කළෙමි. කිවයුතු කුමක්දැයි මට නොවැටහුණ අතර ඉන් උදව්වක් නොලැබෙන්නට ද ඉඩ තිබිණි. ඈ එය අතට ගෙන අනෙක් පැත්ත හරවා බලා එය ආපසු දුන්නාය. මට ඔයාගෙ ආධාර උවමනා නැහැ. 


මගේ පපුව තුළින් කෝපයක් නැගුණි. ඒක මිත්‍රත්වය වෙනුවෙන් දෙන බොත්තමක් විතරයි. ඈ මොහොතක් මදෙස  බලා සිටියේ කිසිවකු හෝ විශ්වාස කළ නොහැකි බව හැඟවෙන බැල්මකිනි. ඇයි ඔයා ඒ ගැන නොකිවුවෙද ඈ එසේ කියා මදහසක් පෑවේ ඇය දැනටත් මිතුරු බැවින් එකිනෙකාට සරදම් කළ හැකි බව හැඟවෙන අයුරිනි. 


මං දැන් ඒ බව කිවුවනෙ. මම කීවෙමි. මම යළි අත්ල දිගහැර බොත්තම දිගු කළෙමි. මේ වතාවේ ඈ එය ගත්තාය. 


අපේ මව්වරු ඉවත්ව ගිය පසුව ඇය පෝලිමක් සෑදි සිටියේ ඇයගේ ගමන් බෑග් වල තිබූ දෑ ලැයිස්තු ගත කරන තුරුය. සිනිටා ගෙන ඒමට මවක නොසිටියා සේම ඇය සතුව එපමණ දෙයක් නොතිබූ බවද මට පෙනී ගියේය. ඈ සතු සියලු දෑ පොදියක් සේ එකට බැඳ තිබූ අතර මිලාග්‍රස් කන්‍යාසොයුරිය ඒවා පේළි තුනක් වනසේ ලියා තැබුවාය. යට ඇඳුම් තුනයි මේස් ජෝඩු හතරයි දත් බුරුසුව හා පනාව, තුවාය හා රාත්‍රි ඇඳුම සිනිටා දිලිසෙන බොත්තම දිගු කළ නමුත් එය ලිවීමට උවමනා නැති බව කන්‍යා සොයුරිය පැවසුවාය. 


“දයානුග්‍රහ ශිෂ්‍යාවක්” තම කතාව වටේට පැතිරුණි. ඉතින් මා එසේ අභියෝග කෙරුවේ එය මට කොඳුරා කියූ රැලි කෙස් සහිත හිනැහෙන දැරියටය. ඈ වහා නිහඩ වූවාය. මා සිනිටා ට එම බොත්තම දීම ගැන මට නැවතත් සතුටක් දැනුණි. එයින් පසුව අප රැස්වීම් ශාලාව වෙත කැඳවාගෙන යනු ලැබ හැම ආකාරයකින්ම පිළිගැනීම් සිදු කෙරිණි. අනතුරුව වයස දහයේ සිට දොළහ තෙක් සිසුවියන් භාරව සිටි මිලාග්‍රස් කන්‍යා සොයුරිය අපේ වඩාත් කුඩා පිරිස නිදන ශාලාව කරා රැගෙන ගියාය. එකිනෙකට ළංව තිබූ ඇඳන්වලට මදුරු දැල් යොදා සකස් කර තිබුණි. එය දිස්වූයේ කුඩා මනාලි වේල් සහිත කුටියක් මෙනි.  


අපගේ අවසාන නම් පිළිවෙළට අයට ඇඳන් වෙන් කර දෙන බව මිලාග්‍රස් කන්‍යා සොයුරිය පැවසුවාය. සිනිටා අතක් ඔසවා මට යාබද ඇඳ ඇයට දිය හැකි දැයි විමසුවාය.  මිලාග්‍රස් කන්‍යා සොයුරිය මදක් පැකිළුණ නමුත් අනතුරුව ඇගේ මුව සිනහාවකින් ඔපවත් වුණි. නිසැකවම යි ඈ පැවසුවාය. නමුත් වෙනත් දැරියන්  විමසු විට ඈ බැහැයි කීවාය. මම මෙසේ කීවෙමි. “මං හිතන්නේ ඔබ අපට විශේෂයක් කිරීම සාධාරණ නැහැ.” 


මිලාග්‍රස් කන්‍යා සොයුරිය විමතියට පත් බව පෙනිණ. මා සිතන අන්දමට කන්‍යා සොයුරියක වූ ඈට වැඩි දෙනෙකු හරි වැරදි පෙන්වා දීමට ඉඩක් නොවීය. හදිසියේම මටද එය අවබෝධ වුණි. හිස වැසූ රෙදිකඩ අතරින් අළු පැහැයට හැරුණු හිසකේ දිස්වූ මෙම තරබාරු කුඩා පෙනුමැති කන්‍යා සොයුරිය මට වාද කළ හැකි මව හෝ පියා නොවිය. මා සමාව ඉල්ලා සිටීමට සැරසුණු ද මිලාග්‍රස් කන්‍යා සොයුරිය ඇගේ ඈත් වූ දත් දිස්වන සිනහවක් පා මෙසේ කීවාය. 


“හොඳයි කමක් නැහැ. මම ඔයාලට කැමති ඇඳන් තෝරා ගන්න දෙන්නම්. නමුත් වාදයක් මතුවෙන බව පෙනෙන පළමු අවස්ථාවේදීම සමහර ගැහැණු ළමුන් මේ වනවිටත් ජනේල ළඟ ඇති හොඳම ඇඳන් වෙත කඩා පැන තමා පළමුව පැමිණි බව කියමින් අරගල කරන්නට පටන් ගෙන තිබිණි. “අපි නම් පිළිවෙළට යමු. පැහැදිලියි නේද?”


ඔව්. සෝර් මිලාග්‍රස් අපි එක හඬින් කීවෙමු. 


ඈ මා ළඟට විත් මගේ මුහුණ දෑතින් අල්ලා ගත්තාය. ඔබේ නම මොකක්ද? 


මා ඇයට මගේ නම දුන් විට ඈ එය කිහිප වතාවක්ම යළි පැවසුවේ එය රස බලන අයුරිනි. අනතුරුව ඈ සිනහවක් පෑවේ එහි රසය දැනුණ අයුරිනි.  අනතුරුව සෙස්සන් ගෙන් වෙන්ව සිටි සිනිටා දෙස නෙත් යොමු කළ ඈ මෙසේ කීවාය. අපේ හොඳ සිනිටාව බලා ගන්න. 


මම එහෙම කරන්නම්. මා සෘජුවෙමින් පැවසුවේ මෙහෙයුමක් භාර ගත් අයුරිනි. සැබෑවටම පසුවට එය එවැන්නකට සමීප වුණි.

 

 

පරිවර්තනය :
මානෙල් ජයන්ති ගුණසේකර