රුසියාව රැක ගැනීමේ ලෙනින්ගේ අරගලය - 07

1919 අවසන් වන විට රතුහමුදාව සෑම පෙරමුණකින්ම පාහේ සතුරා පරාජය කර තිබුණි. රටට හුස්ම ගැනීමට තරම් විවේකයක් ලැබුණි. ලෙනින් සහ පක්ෂය රටෙහි සම්පත් වලින් වැඩි ප්‍රමාණයක් ආර්ථික සංවර්ධනයට ප්‍රවාහනය, ඉන්ධන සහ සෙසු ප්‍රධාන කර්මාන්ත පුනරුත්ථාපනය කිරීමට යෙදවූවේය. ආර්ථික සංවර්ධනය සඳහා සැලසුමක් සකස් කිරීම පිණිස වහාම පක්ෂයේ නවවැනි සමුළුව කැඳවීමට සිදුවිය. මෙම සමුළුවේ ප්‍රධාන පරමාර්ථය වූයේ යුදසමයේ අරගලයෙන් මුළුමහත් ජාතික ආර්ථිකයම පුනරුත්ථාපනය කිරීම හා සංවර්ධනය කිරීම සඳහා අරමුණු කෙරුණ දේශීය පෙරමුණේ නිර්ලෝභිත අරගලයකට මාරු වීම සඳහා විධි හා මාර්ග සැලසුම් කිරීමයි. 

 

පක්ෂයේ නවවෙනි සමුළුව 1920 මාර්තු 19 වෙනි දින මොස්කව්හි බොල්ෂොයි රගහලෙහිදී විවෘත විය සමුළුව දින අටක්ම පැවැත්වුන අතර ලෙනින් ඒ අමතා හය වතාවක්ම කථා කළේය. ලෙනින් විසින් ඉදිරිපත් කරන ලද මධ්‍යම කාරක සභාවේ දේශපාලන වාර්තාවෙන් ඔහු ආර්ථික පුනරුදයේ කර්තව්‍යය පක්ෂය හමුවේ තැබීය.


ඔහුගේ වැඩපිළිවෙළ පදනම් කර ගනිමින් ජාතික ආර්ථිකය විද්‍ර්‍යුනනය කිරීම ගැන ප්‍රධාන අවධානය යොමුකළ ඒකාබද්ධ ආර්ථික සැලැස්මක් පිළිබඳ ප්‍රශ්නය සමුළුව පිරීක්ෂා බලන ලදි.  


පවත්නා දරිද්‍රතාව සහ විනාශය අතරින් ලෙනින් අනාගතයේ එපිටින් පෙනෙන මහාමාර්ග දර්ශන දුටුවේය. සෝවියට් ක්‍රමයෙහි ආවේනික නිර්මාණ ශක්තීන් ක්ෂය කළ නොහැකි බවත් ඒවා යුද බිමේ දී වුවාක් මෙන්ම සමාජවාදී නිර්මාණයේදීද ඵලදායි වන බවක් ඔහුට ගැඹුරු ලෙස අවබෝධ වී තිබුණි. සමාජවාදය හා කොමියුනිස්ට්වාදය ගොඩනැගීම සඳහා බැර කර්මාන්ත සංවර්ධනය කිරීමත් මුළු රටම විද්‍යුතනය කිරීමත් අවශ්‍ය යැයි ඔහු තර්ක කළේය. “කොමියුනිස්ට්වාදය යනු සෝවියට් බලය මුළු රටම විද්‍යුතනය කිරීම යයි ඔහු කීවේය. රැකියාව සහ විදුලිබල මධ්‍යස්ථාන පද්ධතියකින් සහ ශක්තිමත් තාක්ෂණික ස්ථාපනයන්ගෙන් ආඪ්‍ය කෙරේ නම් ඇගේ කොමියුනිස්ට් ආර්ථික සංවර්ධනය අනාගත සමාජවාදී යුරෝපයට හා ආසියාවට ආදර්ශයක් වනු ඇතැයි විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව නොමැතිව සමාජවාදය ගොඩනැගිය නොහැකි යැයි ඔහු කීවේය. 


එහෙත් සමාජවාදය නොමැතිව විද්‍යාවට ද පූර්ණ සංවර්ධනයක් ලැබීය නොහැක. විද්‍යාව ධනවාදයේ විලංගු වලින් මුදාලිය හැක්කේ සමාජවාදයට පමණි. එකල සෝවියට් සමුහාණ්ඩුවේ සතුරෝ බොල්ෂෙවික් පක්ෂය සහ ජනතාව ඔවුන් මුහුණ පෑ දුෂ්කරතාවන්ගෙන් එතෙර වීමට කිසි දිනක සමත් නොවේ යැයිද විද්‍යුතන කිරීමේ සැලැස්ම සිහිනයක් යයි ද පැවසූහ. සම්භාවනීය ඉංග්‍රීසි ලේකකයෙකු වූ එච්. ජී. වෙල්ස් පවා ලෙනින්ගේ ශ්‍රේෂ්ඨ දෘෂ්ටිය අගය කිරීමට අසමත් විය. 1920 ඔහුගේ මොස්කව් සංචාරයේ දී සෝවියට් රාජ්‍යයේ නායකයා සමග කළ සාකච්ඡාවකින් පසුව ඔහු ලෙනින් “ක්‍රෙම්ලිනයේ සිහින දකින්නා” යැයි හැඳින්විය. රට විද්‍යුතනය කිරීම පිළිබඳ ලෙනින්ගේ එඩිතර සැලැස්මේ “විදුලි කාර්මික ශිල්පීන්ගේ මනෝ රාජ්‍යයක්” හැර අන් කිසිවක් ඔහු නොදුටුවේය. “තව අවුරුදු දහයකින් ආපසු ඇවිත් අප රුසියාවේ කර ඇති දෙය බලන්නැයි ලෙනින් ඔහුට කීවේය. 
1920 ආරම්භයේදී ලෙනින්ගේ මුල පිරීමෙන් පැරණි කොමියුනිස්ට්වාදියෙකු වූ ජී. එම්. ක්ර්ෂිෂනොව්ස්කි ගේ නායකත්වයෙන් ප්‍රමුඛ විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් ඇතුළත් කොට රුසියාව විද්‍යුතනය කිරීමේ රාජ්‍ය කොමිසන් සභාව පත්කරන ලදි. ලෙනින් මෙම කොමිසන් සභාවේ වැඩකටයුතු මෙහෙය වූ ආකාරය පිළිබඳ අවබෝධයක් ඔහු ඒ. එම්. කර්ෂිෂනොව්ස්කි ආර්. ඊ. ක්ලාසන්, ඒ. වී. වින්නර් සහ අනිකුත් ප්‍රමුඛ විද්‍යාඥයින් වෙත ලියන ලද ලිපි සහ සටහන් මගින් ලබා ගත හැකිය. 1920 දී පැවති කටුක තත්ත්වයන් යටතේ සිය නායකයා විසින් මග පෙන්වනු ලැබු කොමියුනිස්ට් පක්ෂය විද්‍යුතනය කිරීමේ පදනම මත රටෙහි නිෂ්පාදන බලවේග සංවර්ධනය කිරීමේ දැවැන්ත වැඩ පිළිවෙළක් ආරම්භ කළේය. අවුරුදු 10 - 15 න් ඇතුළත දී විශාල විදුලිබල මධ්‍යස්ථාන 30ක් ඉදිකිරීමටත් 1920ට සසඳන විට විදුලිබල නිෂ්පාදිතය දාහත් ගුණයකින්ද, කාර්මික නිෂ්පාදිතය පහළොස් ගුණයකින්ද පමණ වැඩිකිරීමට සැලසුම් කරන ලදි. 


රුසියාව විද්‍යුතනය කිරීමේ මෙම සැලැස්ම පක්ෂයෙහි ආර්ථික කටයුතුවල පදනම එහි දෙවන වැඩපිළිවෙළ වශයෙන් ලෙනින් සැලකීය. එය ආර්ථිකයේ සියලුම අංශවල විද්‍යාත්මකව සැලසුම් කළ සංවර්ධන ක්‍රියාදාමයක ආරම්භය සනිටුහන් කළේය. එකල පැවති ආර්ථික අවුල්ජාලයෙහි සහ බාහිර හා අභ්‍යන්තර සතුරන්ට එරෙහි වූ අරගල තත්ත්වයක් මධ්‍යයේ ලෙනින්ගේ විද්‍යුතන කිරීමේ සැලැස්ම වහාම දියත් කෙරිණ. මොස්කව් අසල කෂිනො නමැති කුඩා ගමෙහි ජනතාව “ඉල්යිච්ගේ ලාම්පු” නමින් ආදරයෙන් හඳුන්වනු ලැබු ප්‍රථම විදුලි පහන් ඔහු ඉදිරියේ දක්වනු ලැබු විට ලෙනින්ට කෙතරම් ප්‍රීතියක් ඇතිවී ද... 


සැලැස්ම කෙටිකාලයකදී සම්පූර්ණ කෙරිණ. 1934 දී වෙල්ස් යළිත් සෝවියට් සමාජවාදී සමුහාණ්ඩු සංගමයට පැමිණි විට එය සියැසින්ම දුටුවේය. 


කොමියුනිස්ට් පක්ෂයේ සහ එහි ශ්‍රේෂ්ඨ නායකයාගේ අවෙහෙසකර වීර ක්‍රියාකාරිත්වය නිසා කම්කරුවෝ සහ ගොවීහු සෝවියට් සමූහාණ්ඩුවේ අප්‍රමාණ හා බලසම්පන්න සතුරන් පරදවා ජය ලැබූහ. 


1920 දී සෝවියට් ජනතාවට අධිරාජ්‍යවාදීන්ගේ නව ප්‍රහාරයක් පරාජය කිරීමට සිදුවිය. මෙවර බි්‍රතාන්‍ය හා ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විසින් ආධාර කරනු ලැබු පෝලන්ත ඉඩම් හිමියෝ සහ ධනේෂ්වර පංතිය සෝවියට් සමුහාණ්ඩුවට එදිරිව සටනට එළඹුනහ. 


1920 මැයි 5 වැනි දින පෝලන්ත පෙරමුණ බලා පිටත්වන රතු හමුදා භටයින් අමතා ලෙනින් සෝවියට් රාජ්‍යයට යුද්ධය උවමනා නොවු බවත් යුද්ධය එය මත බලයෙන් පටවනු ලැබ ඇති බවත් පැවසීය. යුද්ධය අවුළවන ලද පාලක පංති හෙළිදරව් කළ ඔහු සෝවියට් සමූහාණ්ඩුවට සහයෝගය දීම් වස් පෝලන්ත කම්කරුවන් ගෙනයන වීරෝදාර අරගලයට සුබ පැතීය. පෝලන්තයේ වැඩකරන ජනතාව කෙරෙහි සෝවියට් සමූහාණ්ඩුවේ ජනතාවත් තුළ ඇති ගැඹුරු සානුකම්පිත හැඟීම් පිළිබඳව ඔහු කථා කළේය. 


සෝවියට් රුසියාවේ ගෙලමිරිකා දැමීමේ අධිරාජ්‍යවාදී සැලැස්ම යළිත් බිඳ වැටුණි. ඔවුන්ගේ අවසාන ගැත්තා වූ විරන්ගෙල් විසින් දියත් කරන ලද සරත් සමයේ ක්‍රිමියානු යුද ව්‍යාපාරය ද සමාන ඉරණමකට පාත්‍රවිය. 
ධනවාදී ලෝකයේ බලවේගයන්ට එරෙහිව සමාජවාදය ප්‍රථම තීරණාත්මක වටයෙන් ජය ලැබීය. රට සෑම ප්‍රහාරයකටම අභීතව මුහුණ දුන්නේය යි ලෙනින් ආඩම්බරයෙන් පැවසීය. 


සෝවියට් ජනතාවගේ ඓතිහාසික විජයග්‍රහණය තහවුරු කරමින් සිවිල් යුද්ධය අවසන් විය. මෙහි දී ලෙනින්ගේ පහත සඳහන් අනාවැකිය සැබෑ කළේය. 


“ඔවුන් සටන් කරන්නේ ඔවුන්ගේම බලය සඳහාය. වැඩකරන ජනතාවගේ පාලනය සඳහාය යන්න අවබෝධ කරගන්නා, හඟින සහ දක්නා කම්කරුවන් සහ ගොවීන් බහුතරයක් සහිත ජාතියක්... කිසි දිනෙක පරාජය කළ නොහැකිය.”

 

සෝවියට් සංගමයේ මාක්ස් ලෙනින්වාදි විද්‍යායතනයේ “වී. අයි. ලෙනින්” ප්‍රකාශනය ඇසුරින් සකස් කරන ලදි.

 


එම්. තාරික්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි