මාඕ ත්සේතුං 

ටියැන්ග් යුනුස්ගේ පළමු පෙම්වතියද නිළියකි. වසර දෙකක් ඉතා තද පෙමක වෙළිසිටි ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය බිඳ වැටුණු පසු ටියැන්ග් ඇයට තෑගි ලෙස දි තිබුණු අත් ඔරලෝසුවක් සහ වුලන් ඇඳුම් කිහිපයක් ඔහු ආපසු ඉල්ලා සිටියේය. ඒ වැඬේට මාවෝ කැමති නොවීය. “එහෙම දේවල් කරන එක පිරිමිකමට වටින්නේ නෑ. එයාගෙන් ඒ දේවල් ඉල්ලන එක නවත්තන්න. ඒවා ඔයාලා සතුටින් එකට ගතකළ කාලයන් ගැන කියන සිහිවටනයන්. පළමු පෙම්වතියට සතුරෙක් විදිහට සැලකීම හොඳ දෙයක් නෙමෙයි.” මාවෝ ටියැන්ග් ට කිවේය. පසුව මාවෝ ගේ උදව් උපකාරමැද ටියැන්ග් බිරිඳක් සොයා ගත්තේය.


මාවෝ ගේ විශේෂ දුම්රියේ ආවතේව කාරියක් ලෙස සේවය කළ යාවෝ ෂුයිසියැන් ට රාජකාරියේ නියැළීමට සිදුවුණු නිසා ඔවුන් ගිවිසගෙන තිබුණු පරිදි දිනක් ඇගේ පෙම්වතා හමුවීමට නොහැකිවිය. ඒ බව ඔහුට දැන්වීමට පවා ඇයට නොහැකිවිය. මෙය දැනගත් මාවෝ ට තරමක කනගාටුවක් ඇතිවිය. “ඒක හොඳ නෑ.”ඔහු කිවේය. “එයා මුළු හවස්වරුවෙම තමා බලාපොරොත්තුවෙන් බලා ඉන්නකොට තමා දැකගන්න නොලැබුනොත් එයාට ඇතිවෙන්නෙ ලොකු දුකක්.”


“ඒ ගැන ඔබතුමා කනගාටුවෙන්න එපා. මම එයාට ඒ ගැන විස්තරකරලා දෙන්නම්.”යාවෝ කීවාය.


නමුත් මාවෝ ට ලෙහෙසෙියෙන් සිත සනසාගත නොහැකිවිය. ඔහු යාවෝ වෙනුවෙන් කෙටි කවියක් ලියා එය ඇගේ පෙම්වතාට දෙන ලෙස කීවේය. යාවෝ ළඟ ඒ කවිය තවමත් තිබේ. 


“නගරයේ කෙළවරක
මා එනතුරු බලා සිටින
හැඩකාර යුවතිය
මුළු දවසම මා ගැන සිතන්න ඉඩදි
පිටතට පා නොතබයි.”


මාවෝ සමග එකට වැඩකළ අයගේ නම් ලැයිස්තුවක් පෞද්ගලික ශරීර ආරක්ෂකයින්ගේ කාර්යාලයේ තබා තිබුණි. මේ සම්බන්ධයෙන් මාවෝ අපට කිහිප වතාවක්ම මෙසේ පැවසුවේය. “මා එක්ක වැඩකරපු කවුරුහරි කෙනෙක් කවදාහරි දවසක මා හමුවෙන්න ආවොත් ඒ ගැන මට දන්වන්න වගබලා ගන්න ඕනැ. ඒ වෙලාවේ මා වැඩක යෙදිලා නැතිනම් මං එයාව හමුවෙනවා. ඒ වෙලාවේ මං වැඩක යෙදිලා හිටියොත් ඔයාලා මං වෙනුවෙන් එයාව පිළිගන්න ඕනැ.”


1954 සරත් ඍතුවේ දිනක සොන්ග්නැන්හයි බටහිර දොරටුවේ ආරක්ෂක කුටියෙන් මට ඇමතුමක් ලැබුණි. ඉන් කියැවුණේ සායි සාවෝජුන් නමැත්තෙක් සභාපතිතුමා හමුවන්න පැමිණ ඇතිබවයි. ලැයිස්තුවේ නම පරීක්ෂාකර බැලු විට ඒ නම එහි සඳහන්ව තිබුණි. එනිසා මම මාවෝගේ කාමරයට ගියෙමි. එවිට ඔහු එහි වැඩකරමින් සිටියේය. සායි නමැත්තෙක් ඔහු හමුවෙන්න පැමිණ ඇතිබැව් මා කියු විට ඔහු හිස වනා එයට අනුමැතිය දුන්නේය.


“තමන් ඔහු ගැන දන්නෙ නෑ. එයා හෙනෑන් පළාතෙ කෙනෙක්. කෙට්ටු, උස, රතු හමුදාවේ හිටපු නිලධාරියෙක්. එයා ඇතුළට ගන්න.”


ආරක්ෂක කුටියේදි මට සායි හමුවිය. වයස අවුරුදු හතළිහක තරම් පෙනුමෙන් යුත් ඔහු මාවෝ කියු ලෙස හෙනෑන් සිට පැමිණි හීන්දෑරි උස පුද්ගලයෙකි. මාවෝ වැඩකරන කුටිය කරා මම ඔහු කැඳවාගෙන ආවෙමි. සායි කාමරයට ඇතුළුවෙන විට මාවෝ වැඩකරමින් සිටි මේසයෙන් නැගි සිට ඔහුට අත දුන්නේය. සායි ඔහුට ආචාර කර දෙවනුව මාවෝ ගේ අත ගත්තේය.


“ඔයා සාදරයෙන් පිළිගන්නවා.”මාවෝ මුදු ලෙස කීවේය. “කරුණාකරලා වාඩිවෙන්න. දැන් මොනවද කරන්නේ?.”


“මම ඉන්නේ ගුවන් හමුදාවේ.”


“නියමයි, වාඩිවෙන්න වාඩිවෙන්න, ටිකක් කතා කරමු.”


ඔවුන්ට තේ ගෙනැවිත් දී මම එතැනින් පිට වුනෙමි. මාවෝ හමුවෙන්න එන අමුත්තන්ට නිරන්තරයෙන්ම තේ කෝප්පයක් ලැබේ. ඉන් පැය භාගයකට පමණ පසු පෞද්ගලික ආරක්ෂකයින්ගේ කුටියේ දුරකථනය නාදවිය. මම මාවෝ ගේ කුටිය කරා ගියෙමි. ඒ වනවිටත් ඔවුහු දෙදෙන කතා බහේ යෙදී සිටියහ. මාවෝ ගේ පිළිවෙළ ගැන හොඳින් දන්නා කෙනෙක් වු සායි මා කාමරයට ඇතුළුවෙන විටම වාගේ යන්නට නැගී සිටියේය. “සභාපති සහෝදරයා මා දැන් යායුතුයි. ඔබතුමාට බොහොම ස්තුතියි.”


ඔහු සමග දොර වෙත ගමන් කළ මාවෝ එළිපත්තට මදක් මෙහායින් නැවති බලාසිටියේය. සායි මා සමග සොන්නැන්ග්හයි වෙත පිටත්විය. පසුව මාවෝ වුහාන් හි සිටින විටදීත් සායි නැවතත් ඔහු හමුවන්නට පැමිණියේය. එදිනත් ඔහු පැය භාගයක් පමණ සිට ගියේය.

 

මාවෝ කිහිපවතාවක්ම සායි ට ලියුම් යැව්වේය.

 

 

 

 

 

 

 

 

 

ආරියනන්ද දොඹගහවත්ත