මාඕ ත්සේතුං - 162 වැනි පෙළගැස්ම

 

මෙම ඇල්බමය සැබෑ අව්‍යාජ එකක්වීම නිසා එය තමන්ට ආපසු ලැබේවිද යන සැකයක් හුවැන්ග් තුළ මතුවිය. මාවෝ එය ලබාගත් මුල් සතිය තුළ කිහිප අවස්ථාවකම ඔහු පෞද්ගලික ආරක්ෂකයින්ගේ කාර්යාලයට කතා කර ඒ ගැන විමසුවේය. “සභාපතිතුමා ඒක අධ්‍යයනය කරලා ඉවරද?” “කවදදාද එක ඉවරවෙන්නේ?.”

 

 

මාවෝ ගේ පෞද්ගලික ආරක්ෂකයෙක් වු යින් ජින්ග්ෂෙන් මාවෝ ට තේ වක්කරණ අතරවාරයේ දී මෙම දුරකථන ඇමතුම් ගැන කීවේය.

“සභාපති සහෝදරයා හුවැන්ග් ආයෙත් පාරක් කතා කළා.”


“මොකක්?.” මාවෝ දෙනෙත ඔසවා දෙබැම හකුළා ඇසුවේය.


“එයාට..ඉවසිල්ලක් නෑ.”


“තවත් ණය එකතුකරන්නෙක්! මාසයක් කියලා එයා කීවේ නැද්ද? මම දින ගණන්කරගෙන ඉන්නේ.” මාවෝ ඔහු උරමින් සිටි දුම්වැටිය විසිකර දුම්වැටි රඳවනය මේසය මත තැබුවේය. “බලාගෙන යනකොට හුවැන්ග් බලපෑම් කරන්නේ හරියට චීනයෙන් රුසියාවට දෙන්න තියෙන ණය ලබාගන්න කෲෂෙව් බලපෑම්කරණවා වගේනෙ.”


“එයා බලකළේ නෑ, සභාපති සහෝදරයා. එයා නිකම් ඇහුවා විතරයි. ඒක තවත් ඔබතුමාට උවමනාද කියලා ඇහුවා.”


“ඇත්තටම මට ඒක ඕනැ!” ඔහු කටපුරා තේ උගුරක් පානය කර නැවතත් දුම්වැටි රඳනය අතට ගෙන සන්සුන් ස්වරයෙන් කතා කළේය. “මාසයක් ඇතුළත මට ඒක දෙන්න බැරි වුණොත් මම වැරදියි කියලා කියන්න පු`එවනි. අපි ගිවිසගත්ත කාලයට කලින් ඒක එයාට ඕනැ කියලා කියනවා නම් එයා වැරදියි. ඒක අපේ ගිවිසුම උල්ලංඝණය කිරිමක්.”


නමුත් නැවත වරක් හුවැන්ග් කතා කළේය. එවර ඔහු කතා කළේ කෙළින්ම මාවෝටමය. කතාබහ අවසානයේ හුවැන්ග් ඇල්බමය ගැනත් ඇසුවිට මාවෝ මෙලෙස පිළිතුරු දුන්නේය.


“මාසයක් බලා ඉන්න එක පරක්කු වැඩියි කියලා හිතෙනවා නේද හුවැන්ග් මහත්මයා?.” ඊට පිළිතුරු ලෙස දුරකථනයේ අනිත් පැත්තෙන් කීවේ මොනවාදැයි මට නොඇසුණි.


“නපුරු කෙනෙක්!”යින් කීවේය.


“ණයකාරයෙකුට කතා කරණවා වගේ නැතිව සභාපතිතුමාට ගරුසරු ඇතිව කතා කළ යුතුයි.” මම කීවෙමි. අපේ මේ කතා ඇසු විට මාවෝ ගේ මුහුණේ පැවති නොරිස්සුම් සහගත බව අතුරුදන් විය. සිහින් සිනාවක් මුවට නගාගෙන ඔහු හුවැන්ග් ගැන මෙසේ කීවේය. “එයා හොඳ මිතුරෙක් නෙවෙයි. එයා තදගති තියෙන කෙනෙක්.”


ඇල්බමය ආපසු දියයුතු දිනයේ මාවෝ එය කාඞ්බෝඞ් දෙකක් මැද ප්‍රවේශමෙන් තබා එය රැගෙන යන්නට යින් ට දි මෙසේ කීවේය. “හරියට වෙලාවට ගිහින් දෙන්න මතක තියා ගන්න.”


“එත් හුවැන්ග් මහත්තයා කියලා තියෙනවා ඔබතුමාට ඕනැ නම් තව දවස් කීපයක් ඒක තියා ගත්තට කමක් නැහැ කියලා.” යින් කීවේය.
“ඒක එයාට ආපහු දෙන්න.” මාවෝ අතවනමින් කීවේය. “මම ඉල්ලුවේ එක මාසයකට. මිතුරෝ එකිනෙකා අතර විශ්වාසය තියාගත යුතුයි.”


මාවෝ ගේ රාජකාරී සහ පෞද්ගලික ජීවිතයේ නියමයන් ඔහුගේ ඥාතින් කෙරෙහිත් එකසේ බලපැවැත්වීය. 1950 වසන්ත කාලයේ එක් දිනක මාවෝ ඔහුගේ පුත් ඇනියන්ට මෙසේ කිවේය. “මා වෙනුවෙන් ඔයාගේ අම්මගේ සොහොන බලන්න ඔයාව යවන්න මට ඕනැ. එයාගේ අම්මට මං දුන්නා කියලා උපන්දින තෑග්ගකුත් ගිහින් දෙන්න. (මාවෝ ගේ මුල් බිරිඳ වූවේ ඔහුගේ ගුරුවරයෙක්වූ මහාචාර්ය යැන්ග් ගේ දියණිය, යැන්ග් කායිහූ ය. චීන සිවිල් යුද්ධය සමයේදි කුවොමින්ග්ටෑන්ග්වරු ඇය මරා දමන ලදී.

මාවෝ සිටින තැන ඔවුන් ඇගෙන් දැන ගන්න උත්සාහ කළද මරණය අබියස පවා ඇය එය හෙළි නොකළාය.) “ඔයාගේ අම්මා බොහොම ඥාණවන්ත, සානුකම්පිත ගැහැනියක්. මහා දැක්මක් තිබුණු කෙනෙක්. එයා මට හුඟක් උදව් කළා. එයාගේ තාත්තා යැන්ග් මහත්මයා දියුණු දේශපාලන දැක්මක් තිබුණු කෙනෙක්. එයා මුදල් හදල් වලින්ද මට හුඟක් උදව් කළා.” මාවෝ මොහෙතක් නිහඬවිය. ඔහුගේ දෙනෙත සිහින් කදු`එ පටලයකින් වැසුණි. ඒ අතරින් පහත් බැරඬි හඬකින් ඔහු වඩාත් හැඟීම්බරව මේ වචනත් කතාවට එක් කළේය. “ඔවුන්ගේ වියෝව මට ලොකුවට දැනෙනවා.”

 

 

ආරියනන්ද දොඹගහවත්ත