(බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)
([email protected] / [email protected])
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පසුගිය කාලය පුරාම පැවැතියේ පරිපාලන අර්බුදයකය. ඊට ප්‍රධාන ලෙස බලපෑවේ එහි හිටපු සභාපතිනිය වූ නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය හා එහි වෘත්තිය සමිති අතර පැවැති මත ගැටුමයි.
පරිපාලනයට විරුද්ධව සේවක වෘත්තිය සමිති උද්ඝෝෂණ ද පැවැත්විණි. මෙම ප්‍රශ්න එහි පරිපාලනයට කෙතරම් බලපෑවේද යත් ඝන පූර්ණය නොමැතිකමින් අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පවා පැවැත්විය නොහැකි තැනට එය වර්ධනය විය. අධිකාරියේ පරිපාලනය අපයෝජනවලින් දරුවන් මුදාගැනීම වෙනුවට අපයෝජකයන් ආරක්ෂා කරන තැනක් බවට පත්ව ඇතැයි කියමින් චෝදනාවලියක් අන්තර්ගත කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සේවක සංගමය පසුගිය ජනවාරි 29 වැනිදා ජනාධිපතිවරයාට දීර්ඝ ලිපියක් යොමුකළේ මේ අතරේය.
වසර තුනෙන් තුනට පත්කළ යුතු අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල කාලය අවසන් වූයේ ද මීට සමගාමීවය. ඉන්පසුව අධිකාරියේ හිටපු නියෝජ්‍ය සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතා සභාපති ධූරයට පත් කෙරිණි. එහෙත් අදටත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර නැත.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සේවක සංගමය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් නැගූ ප්‍රමුඛ චෝදනාව වූයේ අධිකාරියේම සේවයේ නියුතු නිලධාරියෙකුට එල්ල වූ චෝදනාවකදී අධිකාරියේ හිටපු සභාපතිනිය පක්ෂග්‍රාහීව ක්‍රියා කළ බවටය. ඔවුන් එම චෝදනාවට පදනම් කරගත් අදාළ සිදුවීම කෙටියෙන් මෙසේය. පාසල් විවාද කණ්ඩායම් 32කට වැඩමුළුවක් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුණේ 2016 ජූලි 23 වැනිදාය. එයින් මාස තුනක් ගතවන තැන ජාතික ළමාරක්ෂක අධිකාරියට නිර්නාමික පැමිණිල්ලක් ලැබිණි. ඒ, අදාළ විවාද කණ්ඩායමක් නියෝජනය කළ පාසල් සිසුවෙකුට ලිංගික ක්‍රියාවකට ඇවිටිලි කිරීමට අධිකාරියේම නිලධාරියකු උත්සාහ කළේය යන චෝදනාවෙනි. ඒ වනවිට අධිකාරියේ සභාපතිනියව සිටි ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර 2016 නොවැම්බර් 01 වැනිදා පොලිස්පතිට ලිපියක් යවමින් ඉල්ලා සිටියේ එම නිලධාරියා ගැන වාර්තා වී ඇති තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනයක් කරන හැටියටයි. ආචාර්ය බාලේන්ද්‍ර පැමිණිල්ල විමර්ශනයට පොලිසියට යොමුකළේ තමුන්ගේ නඩුව තමුන්ටම ඇසිය නොහැකි නිසාය. පොලිස්පතිවරයා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට සිදුවීම ගැන විමර්ශනයක් කිරීමට නියෝග කළේ ඒ අනුවය.
මේ සම්බන්ධයෙන් අතුරු විමර්ශන වාර්තාවක් නිකුත් කිරීමට පොලිසිය කටයුතු කළේය. ඊට අනුව අදාළ ළමයා ප්‍රකාශයක් ලබාදෙමින් කියාතිබුණේ එකී නිලධාරියාට එක් ඇමතුමක් පමණක් ගත් බව වුවද විමර්ශනයේදී අනාවරණය වී තිබුණේ 2016 අගෝස්තු 12, 23 සැප්තැම්බර් 22,23 යන දිනවල ළමයා හා නිලධාරියා අතර දුරකථන ඇමතුම් 7ක් ද කෙටි පණිවුඩ 183 ක් ද හුවමාරු වී ඇති බවය. අතුරු වාර්තාවේ අංක 8 මගින් දක්වා තිබුණේ “නිලධාරියා වින්ධිත පාසල් සිසුවා ලිංගික ක්‍රියාවලියකට පෙළඹවීම හෝ ඇවිටිලි කිරීම යන චෝදනාවලට උක්ත දුරකථන හුවමාරු දත්ත යම් අදහසක් ජනිත කරවන තත්ත්වයක් ඇති කරවන බව සඳහන් කළ හැකිය” යනුවෙනි. එහෙත් අදාළ දුරකථන දෙකම විමර්ශනය අවස්ථාවේදී ක්‍රියාකාරී මට්ටමේ නොපැවතීම නිසා (දුරකථනවලට හානි පමුණුවා තිබිණි) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික රසායනාගාරයෙන් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් තවදුරටත් විමර්ශන කළ යුතු බවට වාර්තාවෙන් යෝජනා කර තිබිණි. තවද සිදුවීමට අදාළව පූර්ණ වාර්තාවක් නිකුත් කරන බවද ඊට අස්සන් තබමින් එවකට නියෝජ්‍ය පොලිස්පති (අපරාධ හා අපරාධ බුද්ධි දිසාව) ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කර තිබිණි. එහෙත් මෙම විමර්ශනය සාධාරණ නොවූ බවට තමා ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කළ බව අදාළ නිලධාරියා ‘ගවේෂණය’ට පැවැසීය. ඉන්පසුව පොලිස් කොමිසමේ නිර්දේශය මත නීතිපති උපදෙස් පැතීමට ළමා හා කාන්තා කාර්යාංශය යොමු වූ බවත් සිද්ධියට අදාළව නීති කෘත්‍යක් පවත්වාගෙන යා නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුව ඊට ප්‍රතිචාර වශයෙන් දන්වා එවූ බව ද ඔහු කියයි.
“මේ විමර්ශනයේදී දිගින් දිගටම මට බලපෑම් කළා. ඒ නිසා මම පොලිස් කොමිසමට හා නීතිය හා සාමය බාර ඇමැතිවරයාට පැමිණිලි කළා. ළමයාගේ ප්‍රකාශයෙන් මගේ නිර්දෝෂීභාවය තහවුරු වුණා. ඔය කියන අතුරු වාර්තාවේ දුරකථන දත්ත වැරදියි. ඒ වැරැදි වාර්තාව උසාවියට දුන් බවටත් මම පොලිස් කොමිසමට පැමිණිලි කළා. පොලිස් කොමිසමේ නියෝගය වුණේ කරුණාකර විමර්ශන අවසන් කර ගොනුව නීතිපතිට යොමුකරන්න කියලයි. ඒ අනුව පොලිස් මූලස්ථානයෙන් මේ විමර්ශන වාර්තාව සකස් කළ නිලධාරින් ගැන වෙනම විමර්ශනයක් පටන්ගත්තා. ඔය කියන දුරකථනය මම පැත්තකට දාලා තිබුණේ. පාවිච්චි කළේ වෙන එකක්. කාලයක් තිස්සෙ පාවිච්චි නොකළ නිසා කැඩිලා කියලා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවම කියනවා. වෘත්තිය සමිති මේ කරුණ නැවත ඉස්මතු කරන්නේ මම හිටපු සභාපතිනිය සමඟ මිත්‍රශීලී නිසයි.
ඔය වෘත්තිය සමිති කියන්නේ ඇමැතිවරියගෙ අතකොළුවක්. මාධ්‍ය හමු තියමින් මට කළ අපහාසයට ඔවුන්ට විරුද්ධව රුපියල් කෝටි 10ක වන්දි නඩුවක් දැම්මා. ලිවේරා මහත්මිය හා නියෝජ්‍ය සභාපති අතර මතගැටුමක් තිබුණා. ඉතින් සභාපතිනිය ජිනීවා ගිය අතරේ නියෝජ්‍ය සභාපති මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම් වුණා. ආයතන සංග්‍රහයට අනුව මාධ්‍යට ප්‍රකාශ නිකුත් කරන්න පු`ඵවන් සභාපතිනියට පමණයි කියලා තමා වෙනුවට අස්සන් යොදා මාධ්‍යට නිවේදනයක් නිකුත් කරන්නැයි ජිනීවා සිට ඇය මට උපදෙස් දුන්නා. සභාපතිනියගේ උපදෙස් පිළිපදිමින් නීතිය අනුව කටයුතු කළ නිසා තමයි මේ ප්‍රශ්න”
වෘත්තිය සමිතිය චෝදනා කරන නිලධාරියාගේ ප්‍රකාශයෙන් සිදුවීමට අදාළව ඔහුගේ පාර්ශ්වයෙන් පිළිතුරු ලැබෙනවාට අමතරව මතුකෙරෙන ප්‍රශ්න සංඛ්‍යාවෙන් ද බරපතලභාවයෙන් ද වැඩිය. මේ චෝදනාව ඔහුට එල්ල වූ චෝදනාව මෙන් සිය දහස් ගුණයක බරපතලභාවයෙන් යුතු එකකි. එහෙත් ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් දුන්නේ අරුම පුදුම උත්තරයකි. නිලධාරියාගේ සිදුවීම ගැන ඇය පැවැසුවේ “මම ඕවා ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. මට වැඩකුත් නෑ” යැයි කියාය. ඉන් ඔබ්බට මෙම තත්ත්වය ගැන විෂය බාර එතුමියගෙන් ප්‍රශ්න අසා පලක් තිබේද?
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සේවක සංගමය මේ විමර්ශනය ගැන මරිනි ද ලිවේරා මහත්මිය සොයා නොබැලූ බවට චෝදනා කරන අතර නීතිපති දෙපාර්තමේන්තුවෙන් ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණු ප්‍රතිචාරයට එම පිළිවෙත හේතු වී යැයි ද පවසයි. තවද අදාළ සිදුවීම ගැන නීතිපති දෙපාර්තමේන්තුවට කරුණු වසන් කිරීමක් සිදුව ඇති බවට ද චෝදනා කරයි.
“ප්‍රියන්ත ජයකොඩි මහතාගේ අතුරු වාර්තාවේ නිර්දේශ පරිදි පූර්ණ වාර්තාවක් හැදුවේ නෑ. මරිනි මහත්මියට අපි කිව්වේ අතුරු වාර්තාවේ කියන විදියට පූර්ණ පරීක්ෂණයක් කරන්න කියලයි. ඒකට අධිකාරියේ සභාපති අනුමැතිය දෙන්න ඕනෑ. පූර්ණ පරීක්ෂණ වාර්තාවක් හැදුවා නම් ඇත්ත එළිවෙනවා. අනෙක් අතට මරිනි ද ලිවේරා මහත්මිය සභාපති ධූරයේ සිටිද්දී අධ්‍යක්ෂ මණ්ඩලයට ඇයගේ සැමියා වන ධප්පුල ද ලිවේරා මහත්මයා පත්වීමම ප්‍රශ්නයක්. අපි ඒ පත්වීමේ ප්‍රශ්නය ජනාධිපතිවරයාටත් අවධාරණය කළා. ඒක ලැදියාවන් අතර ගැටුමකට තුඩු දෙන පත්වීමක් ” ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සේවක සංගමයේ මාධ්‍ය ලේකම් ප්‍රදීප් කොස්වත්ත මහතා පැවැසුවේය.
සේවක සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලාසිටින්නේ මෙකී අතුරු වාර්තාව කෙරෙහි අවධානය යොමුකරන හැටියටය. නීති කෘත්‍යක් පවත්වාගෙන යෑමට අවශ්‍ය නොවන බවට නීතිපති උපදෙස් ලැබුණේ කරුණු වසන් කිරීමක් මත යැයි සංගමය ජනාධිපතිවරයාට පවසයි. මේ අතර ධප්පුල ද ලිවේරා මහතා හා මරිනි ද ලිවේරා මහත්මිය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කිරීමේ පදනම මත හිටපු නියෝජ්‍ය සභාපති නීතිඥ එච්.එම්.අබේරත්න මහතා එම රැස්වීම් කිසිවකට සහභාගී වී නැත. ඔහු පවසන්නේ මෙම පත්වීම නිසා නීතියේ ප්‍රධානතම මූලධර්මයක් වූ තමාගේ නඩුව තමාට අසන්නට නොහැකිය යන්න උල්ලංඝනය වූ බවය. චෝදනා එල්ල වූ නිලධාරියාගේ විමර්ශනයේදී ළමා ආරක්ෂක අධිකාරිය සදාචාර අර්බුදයකට තල්ලුවීමට මෙම ධූර දැරීම් ද එක් හේතුවක් වී යැයි අබේරත්න මහතා කියයි.
නුසුදුස්සන් තනතුරුවලට පත්කිරීම, පරිපාලන බලතල හිතෛශීන්ට පැවැරීම ඇතුලු තේමා රැසක් යටතේ පිටු හතකින් යුතුව ළමා ආරක්ෂක අධිකාරි සේවක සංගමය ජනාධිපතිට යොමුකළ ලිපිය අතිදීර්ඝ එකකි. එහි අවසන ඔවුන් විසින් චෝදනා නගනු ලබන නිලධාරියා තනතුරෙන් ඉවත්කිරීම ඇතුලුව ඉල්ලීම් 7ක් සඳහන් වේ. පසුගිය කාලයේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වීමට නොහැකි වුණේ එහි වූ ද්විපාර්ශ්වික කඹ ඇදිලි නිසාය. එහෙත් අදටත් එහි අධ්‍යක්ෂ මණ්ඩලයක් රැස්වන්නේ නැත. ඒ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර නැති නිසාය. නව සභාපති නීතිඥ අබේරත්න මහතා පවසන්නේ ඒ ගැන අමාත්‍යංශ ලේකම්ට දැන් වූ බවයි. එහෙත් විෂය බාර ඇමැතිවරිය පවසන්නේ මේ දේවල් ඇයට වැඩක් නැති බවයි. කෙසේ වෙතත් මේ සියලු කාරණා විසින් හෙළිදරවු කරනු ලබන තිත්ත ඇත්ත කුමක් ද? ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කෙරෙහි ඇති මහජන විශ්වාසයට මේ තත්ත්වය සෘජුවම බලපාන බවය.
ළමා අපයෝජනයක් වූ අවස්ථාවක සංවර්ධිත රටවල පුරවැසියන්ගේ හා තුන් වැනි ලෝකයේ රටවල පුරවැසියන්ගේ මනෝභාවය ක්‍රියාකරන්නේ වෙනස් ආකාරයකටය. සිද්ධියක් නොසඟවා නොපැකිලව වාර්තා කිරීමට ඔවුහු පෙළඹෙති. ලංකාව තුළ එවැනි අවස්ථා වාර්තා කරන්නට පැමිණිලි කරන්නට පෙළඹෙන පිරිස ඉතා අඩුය. ජාතික ළමාරක්ෂණ අධිකාරියේ, පරිවාස හා ළමාරක්ෂණසේවා දෙපාර්තමේන්තුවේ හා ළමා හා කාන්තා කාර්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙය හොඳින් දනිති. එවැනි වටපිටාවක අධිකාරිය මෙවැනි තැනකට වැටීමෙන් පළුදු වන්නේ ආයතනය ගැන ඇති මහජන විශ්වාසයයි. ජාතික ළමාරක්ෂක අධිකාරී පනතට අනුව ළමා අපචාර වැලැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරු වූ ළමුන් ආරක්ෂා කිරීම මෙන්ම ළමුන්ගේ සුරක්ෂාව වෙනුවෙන් රජයට උපදෙස් දීම ආදී භාරදූර කර්තව්‍ය රැසක්ම ඊට පැවැරී තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ලියුම්කරුවන් පනතෙන් පැවැරී ඇති ප්‍රධාන කාර්යක් වූ ජාතික දත්ත පද්ධතියක් ගැන මීට මාස කීපයකට පෙර කරුණු විමසූ අතර මාධ්‍ය නිලධාරියා පැවැසුවේ එවැන්නක් අධිකාරිය සතුව නැති බවය. නව සභාපතිවරයා දැන් ඊට අත ගසා ඇති බව කියයි. ජාතියක ජීවනාලිය නම් දරු පරපුරයි. ඔවුහු මල් මෙන් සුරැකිය යුතු පුරවැසි පාර්ශ්වයකි. එකී පිරිසේ සංවේදී කරුණු කාරණා ගැන සොයා බලන තැන තිබිය යුත්තේ අතිශය ගෞරවාන්විත හා වගකීම්සහගත භූමිකාවක් හොබවමිනි. එහෙත් ජාතියේ දරුවන්ගේ ආරක්ෂාව හා රැකවරණය වෙනුවෙන් පිහිටි ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වූ ජාතික ළමාරක්ෂක අධිකාරියත් එය භාර අමාත්‍යංශයත් අද ඇත්තේ සදාචාරමය අර්බුදයක ගිලීය.
“අතුරු විමර්ශන වාර්තාව නැවත අධ්‍යයනය කරනවා”
ළමාරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම්.අබේරත්න:
ප්‍රශ්නය: අධිකාරියේ නිලධාරියෙකුට එල්ල වූ චෝදනාවකදී හිටපු සභාපතිනිය නිසි මැදිහත්වීමක් නොකළ බවට අධිකාරියේම සේවක සංගමය චෝදනා කරනවා. මේ සිදුවීම ගැන ඔබ දැනුම්වත් ද?
පිළිතුර: නීතිපති එකට මට එරෙහි වෙන්න බෑ. නමුත් මමත් නීතිඥයෙක්නෙ. ඒ සිදුවීමෙදි චේතනාන්විතව කිසියම් සහසම්බන්ධයක් ගොඩනැගී තිබුණා කියලා සාමාන්‍ය දැනීම තුළ මට තේරෙනවා. ඒ දරුවා එක්ක අවස්ථා ගණනාවකදි දුරකථනයෙන් සම්බන්ධතා පවත්වලා තිබෙන බව පොලිස් වාර්තාවල තිබෙනවා. ඊටපස්සෙ එයාගෙ දුරකථනය බාරදෙද්දි හිතාමතාම කඩාබිඳලා තිබෙනවා. ඒක සැකසහිතයි. මගේ පෞද්ගලික දැක්ම නම් ඔහුගේ හැසිරීම තනතුරට කොහෙත්ම ගැලපෙන්නේ නෑ කියලයි. නීතිය සාධාරණ විය යුතු වගේම එහි සාධාරණභාවය පිටතට පෙනිය යුතුයි. ළමා අධිකාරියේ කෙනෙකුට එවැනි චෝදනාවක්වත් එන්න බෑ. චරිතවත්බව වැදගත්. ආයතනයක විනය උපරිම මට්ටමින් තිබිය යුතුයි.
ප්‍රශ්නය: මෙම අතුරු වාර්තාව ගැන විමර්ශනය කරන්නැයි සංගමය ජනාධිපතිවරයාගෙන් පවා ඉල්ලා තිබෙනවා නේද?
පිළිතුර: මම එය නැවත අධ්‍යයනය කරනවා. නීතිපතිතුමාගේ මතය එය වුණත් කරුණු කාරණා තිබෙනවා නම් නැවත ඒ ගැන හිතන්න වෙනවා. මොකද එහි ඇති පසුබිම් කාරණා ගත්තාම උදාහරණයකට දුරකථන කැඩීම හා කෙටි පණිවුඩ විශාල සංඛ්‍යාවක් යැවීම වැනි දේවලින් සැකයක් මතුවෙනවා.
ප්‍රශ්නය: අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් ඝන පූර්ණයක් නොමැතිව පවත්වාගත නොහැකි වුණා. එහෙම වුණේ ඇයි?
පිළිතුර: මම කලින් හිටියෙ නියෝජ්‍ය සභාපති හැටියට. එතකොට අධ්‍යක්ෂ මණ්ඩලයට එන්න කියලා සභාපතිනියගෙන් මට ලියුමක් ආවා. කාරණා දෙකක් උඩ මම අධ්‍යක්ෂ මණ්ඩලයට නොඑන බව ලිඛිතව දැන්වුවා. ඔබේ අධ්‍යක්ෂ මණ්ඩලය තුළ නීතියේ මූලධර්ම දෙකක් උල්ලංඝනය වන බව එහි මම කිව්වා. පළමුවැන්න තමයි තමන්ගෙ නඩුව තමන්ට අහන්න බෑ. දෙවැනි එක තමයි නීතිය සාධාරණ විය යුතු මෙන්ම එම සාධාරණභාවය පිටතට පෙනිය යුතුයි. ඒ අනුව මේ රැස්වීම්වලට සහභාගීවීමට මගේ හෘදසාක්ෂිය මට ඉඩ දෙන්නේ නැහැ කියමින් මම ඒ ලිපියේ පිටපතක් ජනාධිපති ලේකම් කාර්යාලයටත් දැම්මා. මොකද අපිව පත්කළේ ජනාධිපතිවරයා නිසා. ඝන පූර්ණයට ඡන්ද හයයි ඕනෑ. එතැනදි තීරණාත්මක ඡන්දයක් විදියට සභාපතිට ඡන්ද දෙකක් හිමියි. ධප්පුල මහත්තයාගෙ ඡන්දයත් මරිනි මහත්මියට හිමි වුණොත් ඡන්ද තුනක් හිමියි. බිරිඳ හා ස්වාමියා කියන සම්බන්ධය උඩ තමන්ට කැමැති තීන්දුවක් ගන්න පු`ඵවන්. චෝදනා එල්ල වූ නිලධාරියාගෙ ප්‍රශ්නෙදි වුණත් මම කිව්වේ ඒකයි. මෙතැන තියෙන්නෙ පුද්ගල ප්‍රශ්නයක් නෙවෙයි.
ප්‍රශ්නය: දැන් අධිකාරියට අධ්‍යක්ෂ මණ්ඩලයක් නැහැ. තීන්දු තීරණ ගැනීමට එය බලපානවා නේද?
පිළිතුර: එහි පත්කිරීම් බලතල තිබෙන්නේ ජනාධිපතිතුමාට. අධ්‍යක්ෂ මණ්ඩලය ඉක්මනින් පත්කර දෙන්නැයි මම අමාත්‍යංශ ලේකම්ගෙන් ඉල්ලුවා. ජාතික දත්ත පද්ධතියක් සැකැසීම ඇතුලුව ළමුන්ගේ රැකවරණය වෙනුවෙන් සංවිධානාත්මක වැඩසටහනක් ඉදිරියේදී දියත් කරනවා.
“මට ඕවා වැඩක් නෑ” - කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර
ප්‍රශ්නය: බැඳුම්කර කොමිසමේදී හිටපු ඇමැති රවී කරුණානායකගෙන් තදබල ප්‍රශ්න නොඅසන ලෙස ස්වාමියාට කියන්න යැයි කියා ජාතික ළමාරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනියට ඔබ බලපෑම් කළ බවට අධිකාරියේ නිලධාරියෙකුගෙන් චෝදනාවක් එල්ලවෙනවා?
පිළිතුර: එයා සභාපති වුණාට පස්සේ මාව මුණගැහුණේ දෙපාරක් වගේ. ඔය ඔක්කොම බොරු චෝදනා. ඊට පස්සෙ මුණගැහිලාම නෑ.
ප්‍රශ්නය: අධිකාරියේ සිදුවීමක් ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි නිකුත් කළ විමර්ශන අතුරු වාර්තාවක් තිබෙනවා?
මම ඕවා ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. මට වැඩකුත් නෑ.
ප්‍රශ්නය: තවම අධිකාරියට අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කරලාත් නැහැ?
පස්සෙ කතා කරන්න. මම දැන් ඉන්නේ වැදගත් මඟුල් ගෙදරක. ඒකයි.
“ළමයි ගැන හොයන්න අද අධිකාරියක් නෑ ” - හිටපු සභාපතිනි නීතිඥ මරිනි ද ලිවේරා
ප්‍රශ්නය: මෙම සිදුවීම ගැන ඔබ දැනුම්වත් ද?
පිළිතුර: මේක තනිකර බොරුවක්. මම එන්න ඉස්සර වෙලා නටාෂා බාලේන්ද්‍රගෙ කාලෙ වෙච්ච දෙයක්. නීතිපති උපදෙස් ඉල්ලලා තිබුණා. නඩුවක් ගොනු කිරීමට කරුණු මදි කියලා එයින් ප්‍රතිචාර ලැබුණා. රජයේ රස පරීක්ෂක එකෙන් දුරකථනයේ ලුණු බැඳිලා කියලා කිව්වා.
ප්‍රශ්නය: අතුරු වාර්තාව තමන් දැකලාවත් නැහැ කියලා ඔබ කිව්වා යැයි වෘත්තිය සමිතිය ජනපතිට යැවූ ලිපියේ සඳහන් වෙනවා?
පිළිතුර: මට අදාළ නැහැනෙ. මගේ ධූර කාලෙ වෙච්ච දෙයක් නෙවෙයිනෙ. ඒ නිසා මම ඕවා ගැන හෙව්වේ නෑ. මම ආවෙ ළමයි බලාගන්නන. ඇමැතිතුමියගේ පටන් ඔය කෑ ගහන මිනිස්සු ඒ කාලෙත් හිටියනෙ. මුකුත් කළේ නෑ. මම වින්ධිතයන් වෙනුවෙන් වැඩ කරන නිසා මේක බොරුවට උලුප්පලා පෙන්නුවා. මේ රටේ ජනගහණයෙන් සීයට 25 ක් ඉන්නේ ළමයි. ඔය කුණු අවුස්සන මිනිස්සු ඒ ළමයි ගැන හොයන්නේ නෑ. දැන් ළමයි ගැන බලන්න කවුරුත් නෑ. මේක හරිම කනගාටුදායක තත්ත්වයක්. දූෂණය වෙච්ච කෲරත්වයට භාජනය වූ ළමයි විශාල පිරිසක් සිටිනවා. අවුරුදු 15 ක් විතර නඩු කල් යනවා. ඒවා හොයන්න අද ළමාරක්ෂක අධිකාරියක් නෑ.
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය
අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව
අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය
මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු
අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ
ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ළමාරක්ෂක අධිකාරිය සදාචාර අර්බුදයක
dasun Saturday, 28 April 2018 02:52 AM
ඕවා මට වැඩක් නැත්නම් මේ අයගෙන් රටට වැඩක් තියෙනවද?
kanthi Monday, 30 April 2018 10:29 PM
ලංකාවේ කාන්තා හා ළමා කටයුතු ඇමැතිනියට මඟලකුයි ලොකුයි තමන්ගේ අමාත්‍යාංශයෙට අදාළ විෂය පථයට අදාළ දරුවෙකුගේ ප්‍රශ්නයකට වඩා මෙහෙමමත් ඇමතිනියලා. මෙයාලා පඩි ගන්නේ මේවා විසදනවයි කියලා
එස්. නන්දලාල් Tuesday, 01 May 2018 01:49 AM
ඇමතිතුමිය මහජන බදු මුදලින් වැටුප් ගන්නේ නැද්ද?
himal Wednesday, 02 May 2018 10:51 AM
මේවට කියන්නේ අභ්‍යන්තර දේශපාලන ගැටුම් කියලා. නිලධාරියෙකු ගැන අභ්‍යන්තරව පරීක්ෂණයක් කරන්න බැරි කමක් නෑ. එහෙම බෑ කියලා හිතුවොත් කොහොමද ආයතනයක අභ්‍යන්තර පරීක්ෂණ කරන්නේ? එක්කෙනෙක් කියනවා දුරකථනය පාවිච්චි කරේ නෑ කියලා. එහෙම නම් ඇමතුම් ගත්තේ කොහොමද? අර හුවමාරු වෙච්ච කෙටි පණිවිඩවල මොනවද තිබුණේ? අර ළමයගේ දෙමව්පියන් මේ ගැන මොනවද කියන්නේ? මේවා අනාවරණය කර ගත්තොත් ඇත්ත හොයාගන්න පුළුවන්.