IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වෙළෙඳාම කරේ තියාගෙන කර්මාන්ත හෑල්ලු කරන ඇමැතිලා

ලංකාවේ කර්මාන්තකරුවන්ට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය කර්මාන්ත සඳහාම වෙන්වූ අමාත්‍යාංශයක් හෝ ඇමැතිවරයකු නැතිකමය. දැන් කලෙක සිට රටේ සිටින්නේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශයක් හා සම්බන්ධ ඇමැතිවරයෙකි. ඒ අමාත්‍යාංශයත් ඇමැතිවරයාත් කර්මාන්ත පිළිබඳව සොයා බලන්නේම නැත. අමාත්‍යවරයා වැඩියෙන් උනන්දු වන්නේ වෙළෙඳාම පිළිබඳවය. මීට පෙර පැවැති රජය යටතේ ද කර්මාන්ත ඇමැතිවරයා ලෙස සිටියේ මේ ඇමැතිවරයාය. එදා සිටම මේ ඇමැතිවරයාගෙන් කර්මාන්තවලට සිදු වූ සෙතක් නැත. එසේ වීමට හේතු වී තිබෙන්නේ වෙළෙඳ ඇමැතිවරයා ද ඔහුම වන බැවිනි. ඕනෑම කෙනෙකුට කර්මාන්තයක් කරනවාට වඩා වෙළෙඳාම ලෙහෙසිය. ඇමැතිවරයා සම්බන්ධයෙන් ද එය එසේමය. කර්මාන්ත හා වෙළෙඳාම අතර ගැටුමේ දී ඉදිරියට එන්නේ වෙළෙඳාමය. ඒ අනුව ඇමැතිවරයා ද වෙළෙඳාම දෙසටම තල්ලු වී සිටියි. කර්මාන්ත සඳහාම වෙන් වූ ඇමැතිවරයකු සිටියේ නම් ඔහු බලන්නේ රටින් බඩු ගෙන්වා විකිණීමට නොව රටෙහි නිෂ්පාදනය කිරීමටය. එසේ නම් කර්මාන්තකරුවන් දිරිගැන්වෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙයි. එසේ නොවූවත් කර්මාන්ත රැක ගැනීමටවත් ඔහු පෙළඹෙයි. අද එසේ නොවන්නේ වෙළෙඳාම පෙරට පැමිණ තිබෙන හෙයිනි. එහි ප්‍රතිඵලයක් ලෙස කර්මාන්ත අංශය කඩා වැටී තිබේ. කර්මාන්තකරුවන්ගේ ප්‍රශ්න ගොඩගැසී තිබේ. කර්මාන්ත අංශයෙන් රටේ ආර්ථික සංවර්ධනයට ලැබුණු දායකත්වය අඩුවී තිබේ. කර්මාන්ත නිෂ්පාදන අපනයනයෙන් ලැබෙන විදේශ විනිමය ආදායම පහත වැටී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස රුපියල දිනෙන් දින බාල්දු වෙයි. අප කියන්නේ. කර්මාන්ත සඳහාම වෙන්වූ අමාත්‍යවරයකු හා අමාත්‍යාංශයක් නොමැතිකම මේ සියල්ලට බලපා තිබෙන බවය.

වර්තමාන රජයේ ප්‍රතිපත්තිය වී තිබෙන්නේ ආනයන දිරිගැන්වීම මිස නිෂ්පාදන දිරිගැන්වීම නොවේ. 2018 දී ආනයන අපනයන පරතරය ඇමෙරිකන් ඩොලර් බිලියන 10කි. 2018 දී ආනයන අපනයන පරතරය ඩොලර් බිලියන දහය පසු කළේ ලංකා ඉතිහාසයේ පළමු වරටය. එයට හේතු වූයේ ආනයන දිරිගන්වන රාජ්‍ය ප්‍රතිපත්තියයි. ආණ්ඩුව මේ ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ මඟපෙන්වීම යටතේය. සරලව කිවහොත් ඒ ආයතන දෙක සතුටු කිරීමටය. ඊට අමතරව ඒ ආයතනවල උපදෙස් හා මඟපෙන්වීම මත මේ ආණ්ඩුව දේශීය බදු ප්‍රතිපත්ති ද වෙනස් කර තිබේ. එය දේශීය ව්‍යාපාරිකයන්ට එල්ල කළ මරු පහරකි. සියයට 11ක්ව තිබූ වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කිරීම එක උදාහරණයකි. කර්මාන්තකරුවන් සිය කර්මාන්ත සඳහා මිලදී ගන්නා අමුද්‍රව්‍යවලට පවා වැට්බදු ගෙවිය යුතු වූවද ආනයනකරුවන්ට ඒ කොන්දේසි අදාළ නොවේ. ආනයනකරුවන් දිරිගැන්වීමට ඔවුන් භාණ්ඩ ආනයනය කරන රටවලින් දිරිගැන්වීම් ලබාදෙයි. ඒවා අපට අසාධාරණ ලෙස බලපායි. ඒ අසාධාරණ වෙළෙඳ ප්‍රතිපත්ති නවතා දැමීමට හෝ ඒවා ගැන සාකච්ඡා කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවෙති. උදාහරණයකට ඉන්දියාව චීනය වැනි රටවලින් අපේ ආනයනකරුවන්ට එසේ සහන සලසන විට ආනයනකරුවන්ට ලැබෙන සහන නොලැබෙන කර්මාන්තකරුවන් ඉන්දියානු හා චීන භාණ්ඩ සමඟ තරග කරන්නේ කෙසේද? ඇත්තෙන්ම තරග කළ නොහැකිය. දේශීය කර්මාන්ත වසරින් වසර හැකිළෙන්නේත් වැසී යන්නේත් මේ අසාධාරණය හා අයුක්ති සහගත රාජ්‍ය ප්‍රතිපත්තිවල මහිමයෙනි.

අනෙක් කාරණය විශේෂයෙන් ආහාර ද්‍රව්‍ය වෙනත් රටවලින් ගෙන්වීමේ දී ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳව සොයා බැලීමේ විධිමත් ක්‍රමවේදයක් ලංකාවේ නොතිබීමය. ඕනෑම දෙයක් ලංකාවට ගෙන්විය හැකිය. ලංකාවේ ආහාර පාලන අධිකාරියක් නැත. වෙනත් රටවලට එසේ ආහාර ද්‍රව්‍ය යැවිය නොහැකිය. ඒ රටවල ආහාර පාලන අධිකාරිවලින් අනුමැතිය ලබාගත යුතුය. උදාහරණයට අසල්වැසි ඉන්දියාවට අප කැමැති ඕනෑම දෙයක් යැවිය නොහැකිය. අදාළ ආහාර ද්‍රව්‍යවල සාම්පල් එරටට යවා එරට ආයතනවලින් අනුමැතිය ගන්නා විට ඒ ආහාරය භාවිතයට ගත යුතු කාලය ඉක්මවා ගොසිනි. නොමැතිනම් කල් පැන ගොසිනි. ඉන්දියාව වැනි රටවල් එවැනි කොන්දේසි පනවා තිබෙන්නේ අත්‍යවශ්‍ය නොවන දේවල් එරටට පැමිණීම වැළැක්වීම සඳහාය. එහෙත් විදෙස් රටවලින් ආහාර ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට තමන් සූදානම් බව පෙන්වන්නේ ඒ රටවල් සමග හොඳ හිත පවත්වාගෙන යාමටය. එසේ හොඳ හිත පෙන්වමින් එරටට අනවශ්‍ය දේවල් ඇතුළුවීම වැළැක්වීම සඳහා දැඩි නීති පද්ධතියක් හා ක්‍රමවේද ක්‍රියාවට නඟයි. 

ඒ ක්‍රමවේදවලට යටත්ව අපට ඉන්දියාවට සේම වෙනත් රටවලට ද ආහාර ද්‍රව්‍ය යැවිය නොහැකිය. 

එහෙත් ලංකාව කිසිදු සොයා බැලීමකින් තොරව පිටරටවලින් එන ඕනෑම කුණුගොඩක් භාරගනියි. පිට රටවලින් එන ආහාර, ද්‍රව්‍ය ඇතුළු සියලු භාණ්ඩවල ප්‍රමිතිය ගැන සොයා නොබැලුවද මෙරට නිෂ්පාදකයන් හා කර්මාන්තකරුවන් සියලු භාණ්ඩ හා ආහාර නිෂ්පාදනය කළ යුත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිති මතය. ඒ ප්‍රමිතිවලට අනුකූල නොවන නිෂ්පාදන කළ නොහැකිය. එවැනි නිෂ්පාදන මෙරට වෙළෙඳපොළට නිකුත් කළ නොහැකිය. එසේම අපනයනය කිරීමට ද නොහැකිය. අප කියන්නේ ප්‍රමිතිය ගැන නොසැලකිය යුතු බව හෝ ප්‍රමිතිය නොසලකා ක්‍රියා කළ යුතු බව නොවේ. සියල්ලේම ප්‍රමිතියක් තිබිය යුතුය. එහෙත් ඒ කොන්දේසි දේශීය නිෂ්පාදකයාට හා කර්මාන්තකරුවාට පමණක් අදාළ කිරීම අසාධාරණය. විදේශීය භාණ්ඩවල ද ප්‍රමිතිය සොයා බැලිය යුතුය. ප්‍රමිතියෙන් යුතු භාණ්ඩවල නිෂ්පාදන වියදම ඉහළය. ප්‍රමිතියෙන් තොර භාණ්ඩවල නිෂ්පාදන වියදම පහළය, අඩුය. ඉඳින් පිටරටවලින් එන කුණු ගොඩවල් සමඟ දේශීය නිෂ්පාදකයන් තරග කරන්නේ කොහොමද? පවතින මේ තත්ත්වය ආණ්ඩු කරන අය නොදැන සිටිනවා විය නොහැකිය. දැන දැනම මේ ප්‍රතිපත්ති ක්‍රියාවට නඟන්නේ දේශීය කර්මාන්ත වළපල්ලටම යැවීමට දැයි අපට ඇත්තේ බරපතළ සැකයකි.

දේශිය කර්මාන්තවල දියුණුව අරමුණු කරගත් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා යම් ආයතනයක් හෝ සමාගමක් රුපියල් 100ක් වැය කළහොත් ඒ සමාගමට බදුවලින් සියයට 200ක් අඩු කිරීමේ ක්‍රමවේදයක් අතීතයේ තිබිණි. ඒ ක්‍රමවේදය පැවැතුණේ දේශිය කර්මාන්ත නඟා සිටුවිම සඳහාය. දිරිගැන්වීම සඳහාය. එසේම මෙරට විද්වතුන් රට යාම වැළැක්වීම සඳහාය. අද අපේ බොහෝ විද්‍යාඥයන්ට රැකියා නැත. ඔවුන් රට යන්නේ රැකියා හොයාගෙනය. ඒ ක්‍රමවේදය යටතේ දේශීය විද්‍යාඥයන් රටේ නැවතුණු අතර විදෙස් විද්‍යාඥයෝ ද රැකියා සොයාගෙන මෙරටට පැමිණියහ. එසේම රජයේ ආයතනයක් සමඟ එකතු වී පර්යේෂණ හා සංවර්ධන කටයුතු කරන්නේ නම් සියයට 200ක් නොව 300ක් ගෙවන ක්‍රමයක්ද එකල ක්‍රියාත්මක විය. එහෙත් 2019 අය වැයේ දී ඒ ක්‍රමය සම්පූර්ණයෙන්ම අකුලා දැම්මේය. එය දේශීය කර්මාන්තවලට එල්ල කළ මරු පහරකි. පර්යේෂණ කරමින් අලුත් අලුත් නිෂ්පාදන කළ, අගය එකතු කළ භාණ්ඩ නිෂ්පාදනය කරමින් ඒවා අපනයනය කරමින් රටට විදේශ විනිමය ඉපයූ කර්මාන්තවලට ඒ ක්‍රමය ඉවත්කිරීමෙන් එල්ල වූයේ මරු පහරකි. කර්මාන්ත දිරිගැන්වීමට අලුත් අලුත් ක්‍රම හඳුන්වා දෙනු වෙනුවට තිබෙන දේවලුත් තිබෙන සහනත් නැති කළ විට දේශීය කර්මාන්ත දියුණු වෙන්නේ කොහොමද? අපනයන ඉහළ යන්නේ කොහොමද? ඩොලර් වැඩි වැඩියෙන් රටට ලැබෙන්නේ කොහොමද? ඉතින් එවැනි ප්‍රතිපත්තිවලින් රට දියුණු කළ හැකි ද? 

විධිමත් ලෙස සාකච්ඡා නොකර වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීම තවත් බරපතළ කාරණයකි. ඒ නිසා ද දේශීය ව්‍යාපාරවලට අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවී තිබේ. එසේ වී තිබෙන්නේ ඒ ගිවිසුම්වලින් ලංකාවට වඩා අනෙක් රටවලට වාසි සිදුවී තිබෙන හෙයිනි. ආසන්නම හොඳම උදාහරණය සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමයි. ඒ ගිවිසුමෙන් වාසි අත් වී තිබෙන්නේ සිංගප්පූරුවට මිස ලංකාවට නොවේ. විධිමත් ලෙස සාකච්ඡා කළේ නම් අපේ රටට එවැනි ඉරණමක් අත් නොවන බව අපේ විශ්වාසයයි. ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සමඟම කතා කළ යුතු අනෙක් කාරණය වන්නේ සෙස් බද්දය. ආනයනය කරන භාණ්ඩ මත සෙස් බද්ද පනවා තිබෙන්නේ දේශීය නිෂ්පාදකයන් ආරක්‍ෂා කිරීමටය. මේ රජය ඒ බද්දද ක්‍රමයෙන් ඉවත් කරගෙන යයි. චීනය සමඟ අත්සන් කිරීමට යන වෙළෙඳ ගිවිසුම් යටතේ චීනයෙන් ආනයනය කරන භාණ්ඩවලට දැනට අය කරන සෙස් බද්ද අවුරුදු දහයක දී සියයට 90ක් දක්වා අඩු කිරීමට යෝජනා කර තිබෙන බව ද කියැවෙයි. එය ඉතා භයානකය. එහි අවසාන ප්‍රතිඵලය විය හැක්කේ චීන සුපිරි වෙළෙඳසල් මෙහි බිහිවීමය. චීන්නු දැනටත් මෙරට සිල්ලර වෙළෙඳාමට පිවිස සිටිති. කොළඹ කොල්ලුපිටිය හා බම්බලපිටිය ප්‍රදේශවල දැනටත් චීන සිල්ලර වෙළෙඳසල් තිබේ. රටේ ප්‍රධාන නගරවලත් එලෙස චීන වෙළෙඳසල් පටන්ගත්තොත් ඒ පළාතේම තිබෙන දේශීය ව්‍යාපාර බිඳ වැටෙනු නිසැකය. එමගින් වන්නේ පළාතේම ආර්ථිකය කඩාවැටීමය. ලංකාවේ මිනිසුනට සිල්ලර වෙළෙඳාමත් නැතිවන තැනට දැන් වැඩ සිදුවෙමින් තිබේ. කොළඹ චීන වෙළෙඳ සල්වල සේවය කරන්නෝ ද චීන සේවකයෝය. ගම්වලත් ඒ තත්ත්වය ඇති වුවහොත් රටට විය හැකි විනාශය බරපතළය.

මෙතෙක් කාලයක් මෙරට සිල්ලර හා තොග වෙළෙඳාම කළෝ  ලාංකිකයෝය. ලාංකිකයන්ට එය කිරීමේ නොහැකියාවක් නොමැත. එහි සේවය කළෝ ද ලාංකිකයෝය. එය මෙරට විරැකියාවට ද සහනයකි. වර්තමානයේ දේශීය සමාගම් රටපුරා සුපිරි වෙළෙඳ සල් පිහිටුවාගෙන යයි. ඒවාට ජනතාවගේ ඇත්තේ ඉහළ ආකර්ෂණයකි. ඒ වෙළෙඳ සල්වලට භාණ්ඩ හා සේවා සපයන්නෝද ලාංකිකයෝමය. එයින් ගැමි ආර්ථිකය ද දියුණු වෙයි. විරැකියා ප්‍රශ්නයට ද යම් පිළියමක් ලැබෙයි. එසේ තිබිය දී චීනුන්ට මෙරට තොග හා සිල්ලර වෙළෙඳාම විවෘත කර දෙන්නේ කුමක් අරබයාදැයි අපට ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි, සැකයකි. දිගට හරහට රටින් බඩු ගෙන්වීමට යන විදේශ විනිමය උපයන්නේ කවුද?. රටින් පිටට යන ඩොලර් ප්‍රමාණය දිගින් දිගට ඉහළ ගිය විට ඩොලර්වලට තිබෙන ඉල්ලුම ඉහළයාමෙන් රුපියල තවත් බාල්දු වෙයි. එදාට සීනි, පරිප්පු, කිරිපිටි, බෙහෙත් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පිම්මේ ඉහළ යනු නිසැකය. අවසානයේ රටේ මිනිසුන්ට කෑමට සිදුවන්නේ පොළොවේ පස්ය. 

දේශීය කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ඛේදවාචකයට විදේශවල සිටින ලංකාවේ තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් ද වගකිව යුතුය. ඔවුන් තම රට හා රටේ කර්මාන්තකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ නම් ඒ රටවල් ලංකාවට මෙසේ සලකන්නේ නැත. ද්වී පාර්ශ්වික ගනුදෙනුවල දී හා වෙළෙඳ ගිවිසුම්වල දී අපට වාසිදායක තත්ත්වයක් ලබාගැනීමට අපේ තානාපතිවරුන් ඒ රටවල නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ යුතුය. එහෙත් අද බොහෝ විදෙස් ගනුදෙනු හා ගිවිසුම්වලින් ලාංකික අපට සිදුවී තිබෙන්නේ අවාසිය. ඕනෑම රටක් තවත් රටක් සමඟ ගනුදෙනුවක් කරන්නේ හෝ ගිවිසුමක් අත්සන් කරන්නේ තම රටට වාසි ලබාගැනීමටය. ඒ ගනුදෙනුවල දී සේම ගිවිසුම්වල දී පාර්ශ්ව දෙකම ජයග්‍රහණය කළ යුතුය. ඉංග්‍රීසි භාෂාවෙන් උසබ අසබ ිසඑම්එසදබ කියන්නේ එයටය. එවැනි තත්ත්වයක් දිනා ගත හැකි වන්නේ තානාපති හා මහකොමසාරිස් තනතුරුවලට සුදුස්සන් පත් කිරීමෙනි. එහෙත් අපේ රටේ ඒ තනතුරුවලට පත් කරන්නේ රාජ්‍ය නායකයන්ගේ පෞද්ගලික සබඳතා මතය. එක්කෝ ඥාතීන්ය. නැතිනම් හිතවතුන්ය. එසේත් නැතිනම් මැතිවරණවලින් පැරදුණු දේශපාලකයන්ය. ඔවුන් කරන්නේ රට හා රටේ නිෂ්පාදකයන් ජයග්‍රහණය කරවීම නොව තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සැප සම්පත් භුක්තිවිඳීමය. ගැමි වහරෙන් කිවහොත් කලදුටු කල වළ ඉහ ගැනීමය.

අනෙක් කාරණය රටේ ප්‍රතිපත්ති සම්පාදනයේ දේශපාලන ක්‍රියාවලියට දේශීය ව්‍යවසායකයන් සම්බන්ධ කරගත යුතුය. බුද්ධිමත්, දක්‍ෂ දැනුවත් ව්‍යවසායකයන්, විශේෂයෙන් නිෂ්පාදන කර්මාන්තවල නියුතු ව්‍යවසායකයන් රටේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කරගත යුතුය. කර්මාන්තකරුවන් දේශපාලනයෙහි, ප්‍රතිපත්ති සම්පාදනයෙහි නියුතුව සිටින්නේ නම් දේශීය කර්මාන්තකරුවන්ට දේශීය කර්මාන්තවලට සහ සමස්තයක් ලෙස රටේ ආර්ථිකයට මේ ඉරණම අත්වන්නේ නැත. අද රටේ තිබෙන බරපතළ ප්‍රශ්නය විදේශ විනිමය හිඟයයි. විදේශ විනිමය ඉපයිය හැක්කේ අපනයනයෙනි. එහෙත් ඉහළ ගොස් ඇත්තේ ආනයන මිස අපනයන නොවේ. අපනයන ඉහළ දැමිය හැක්කේ ඒ පිළිබඳ දැනුම්වත් පුද්ගලයන් ප්‍රතිපත්ති සම්පාදනයෙහි නියුතුවීමෙනි. ඒ පිළිබඳ දැනුමක් හා දැක්මක් ඇති පුද්ගලයෝ අතීතයේ දේශපාලනයෙහි නියැළුණහ. එහෙත් වර්තමාන දේශපාලනයෙහි එවැන්නෝ නොසිටිති. ඒ හිස්තැන පිරවිය යුත්තේ දේශීය කර්මාන්තකරුවන්ගෙනි. ඔවුනට මනාප පොරයක් ද සහිත මේ මැතිවරණ දේශපාලනයට පිවිසිය නොහැකිය. එහෙත් ප්‍රතිපත්ති සම්පාදනයට ඔවුන් දායක කරගැනීමේ හැකියාව තිබේ. ඒ ජාතික ලැයිස්තුව මගිනි. ජාතික ලැයිස්තුවෙන් පත් කළ හැකි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 29කි.

එහෙත් අද ජාතික ලැයිස්තුවෙන් පත් කරන්නේ ද හිතවතුන් හා ඥාති මිත්‍රාදීන්ය. එක්කෝ තරග කර පැරැදුණු දේශපාලඥයන්ය. ජාතික ලැයිස්තු ක්‍රමය ඇති කළේ ඥාති හෝ හිතමිත්‍ර සංග්‍රහය සඳහා නොවේ. විවිධ ක්ෂේත්‍රවල නියුතු පුද්ගලයන්ගේ, විද්වතුන්ගේ බුද්ධිමතුන්ගේ දැනුම, අවබෝධය, පළපුරුද්ද හා අත්දැකීම් ප්‍රතිපත්ති සම්පාදනයට ලබාගැනීම සඳහාය. එහෙයින් ජාතික ලැයිස්තුව අපයෝජනය කිරීම දැන්වත් නවතා දමා එහි දොරටු දේශීය කර්මාන්තකරුවන්ට විවෘත කළ යුතුය. එහි අරමුණ රටේ ඉදිරිගමන මිස රට වළපල්ලට යැවීම නොවේ. අපේ ව්‍යවසායකයන් වෙහෙසෙන්නේ රට ගොඩ දැමීමට මිස වළපල්ලට යැවීමට නොවේ. ඔවුනට ප්‍රතිපත්ති සම්පාදනයේ දොර විවර කිරීම පොදු දේපළ අපයෝජනයට ද යම් පිළියමක් වනු නිසැකය. එසේම එය වර්තමානයේ තිබෙන දූෂිත දේශපාලනය පිරිසුදු කිරීමට ද කිසියම් මට්ටමකින් ඉවහල් වන්නේය. ඉදිරියට එළඹෙන්නේ මැතිවරණ සමයකි. එහෙයින් අප කියන කරුණු ගැන සිතා බැලීමට මෙය බොහෝ සුදුසු කාලයකි. අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම දේශපාලන නායකයන්ගේ වගකීමකි. 

සාකච්ඡා සටහන  - ගුණසිංහ හේරත්



අදහස් (5)

වෙළෙඳාම කරේ තියාගෙන කර්මාන්ත හෑල්ලු කරන ඇමැතිලා

himal Thursday, 04 July 2019 03:35 AM

මේ අඳෝනාවක්. වෙළෙඳාම නැතුව කර්මාන්තවලට පවතින්න බෑ. කර්මාන්ත අංශයේ ආංශික දායකත්වය පහත වැටෙන්නේ සේවා අංශයේ වර්ධනය නිසා... අනෙක් අතට දේශීය කර්මාන්ත ගණනාවක් පාරිභෝගිකයින්ට දරන්න බැරි ඉහළ මිලකට භාණ්ඩ සපයනවා නම් ආනයනකරුවන්ට කොහොමත් තැනක් එනවා. ඔය කර්මාන්තකරුවන් කී දෙනෙක් තමන්ගේ සේවකයින්ට හරියට සලකනවද? ඔවුන්ගේ ආරක්ෂාව ගැන බලනවද? පරිසරය ගැන බලනවද?

:       56       100

lalithm Friday, 05 July 2019 03:23 AM

අඳෝනාවක් නොවේ. ඇත්ත. නිෂ්පාදනයක් නොකර විකිණීම පමණක් කරන ජාතියකට කවදාවත් ඔලුව උස්සන්න බැහැ. දරාගන්න බැරි මිල එන්නේ කර්මාන්ත පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නැතිකම නිසා අමුද්‍රව්‍ය වලට වැඩි බදුත්, නිමි බඩුවලට අඩු බද්දකුත් අය කරන රැකියා උත්පාදනයක් ගැන නොහිතන ආණ්ඩු රට පාලනය කරන සහ කරපු හින්දා. ඉගෙන ගන්න අයට රැකියා කරන්න නිෂ්පාදන ආර්ථිකයක් අත්‍යාවශ්‍ය බව නොතේරෙන එක අපේ රටේ කරුමේ. වෙනත් රටවල් නිෂ්පාදන වලට දිරි දෙන්න බදු සහන අඩුමිලට විදුලිය සහ ප්‍රමිතිගත භාණ්ඩ තම රටේ නිපදවනවා නම් එම භාණ්ඩ ආනයනය තහනම් කිරීමත් කරනවා. උදාහරණ ඕනෙනම් ඇමෙරිකා සහ ජපාන රාජ්‍ය ආනයන ගැන හොයා බලන්න. ජපානෙට පිට රටකින් සහල් වත් ගෙන්නන එක තහනම්. මෝටර් රථ පිටින් ගෙනෙනවා නම් ඉතා ඉහළ බදු ගන්නවා. රටේ උගත් තරුණ පරපුර පිට රටවල් ගානේ හිඟාකනවා...

:       41       2

himalFriday, 05 July 2019 05:46 PM

ඔබ ඔය කතා කරන්නේ 1970 ගණන්වල කතාවක්. ඒ කාලේ ඇමරිකානු ව්‍යාපාරිකයින් හිතුවේ ජපානය ඇමරිකානු වෙළෙඳපළට ප්‍රපාතනය කරනවා කියා. නමුත් ඔවුන් ජපාන සමාගම්වල නිරීක්ෂණ චාරිකාවලින් පස්සේ තේරුම් ගත්තා, තත්ත්ව පාලනය ගැන. ඒකෙන් කොහොමද පිරිවැය අඩු කරන්නේ කියලා. අනෙක් අතට ඔබ කියවලා බලන්න මහැදුරු තියඩෝර් ලෙවිට්ගේ අලෙවිකරණයේ වැරදි දෘෂ්ටිය යන සංකල්පය ගැන. මේ පාරිභෝගික අවශ්‍යතා නිවැරදිව වටහා නොගත් පුද්ගලයින්ගේ අඳෝනාව හරි අපූරුවට එතන විස්තර කෙරෙනවා. මහ ලොකුවට ආනයනිත නිමි භාණ්ඩ වලට බදු ගහන්න කියන අය ජපන් කාර්වලට බදු වැඩි කරලා කියලා මයික්‍රෝ ගන්න කියලා කියන්නේ නෑනේ...

:       1       36

rama Sunday, 07 July 2019 09:28 AM

බොහොම වටිනා ලිපියකි. මේවා කියවා බලා දියවන්නා මී හරක් රැලගේ ඇස් ඇරවන්න. රටකට ඕන අපමණ අගයක් නේද?

:       0       0

piyal Sunday, 07 July 2019 02:26 PM

ලොව බලගතු රාජ්‍යන් බලවත් වී ඇත්තේ අධි තාක්ෂණික කර්මාන්ත මතය. අවාසනාවකට අපේ රටේ නිමි ඇඳුම් හැරුණු විට වෙනත් සැලකිය යුතු කර්මාන්තයක් නොමැතිය. මෙයට හේතුව ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීමයි. අප යවන 225ට මේවා තේරුම් ගැනීම තබා ලිපියක් වත් කියවා ගත නොහැකි අය සිටිය හැකිය.. ඒ 225 න් 94ක් සා.පෙ අසමත් වීමය. අප දශක කිහිපයකට පෙර සිංගප්පූරු සිහිනයක් පහළව සැලස්මක් නොමැතිව විවෘත ආර්ථිකයක් හඳුන්වා දී තිබුණු කර්මාන්ත පදනම විනාශ කර ගත්තෙමු. ඉන්දියාව ආර්ථිකය විවෘත කලේ සැලසුමක් සහිතවය. අපේ විද්වතුන්ද තම වරප්‍රසාද ගැන කතා කළද මේවා ගැන පීඩනයක් ඇති කිරීමට උනන්දු නොවෙති. අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ උගත් තරුණ පරපුර රට හැර යාමයි. මෙයට හේතුව සුදුසු රැකියා නොමැති වීමයි. මෙවර 225 යවනවිට කල්පනාවෙන් වැඩ කළොත් යන්තම් සහනයක් ලැබිය හැකිය.

:       0       27

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 88 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 245 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 178 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 229 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 234 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 785 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site