IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ව්‍යවස්ථා සංශෝධනයට පෙරවදනක්

ස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ අරමුණෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පරිපාලන දිස්ත්‍රික්කයක් සඳහා මන්ත්‍රීවරයකු තෝරා ගැනීමේ ඡන්ද ප්‍රතිශතය 5% සිට 12.5% දක්වා ඉහළ දැමීම අන්තර්ගත වන පරිදි 21 වැනි සංශෝධන කෙටුම්පතක් යෝජනා කර ඇත. යෝජිත නීති සංශෝධනයේ හොඳ නරක ගැන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩ බලන උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා දැක්වූ අදහස්වලින් මෙම ලිපිය සකස් කර ඇත.

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය අපට ලැබුණේ මහා බ්‍රිතාන්‍යයෙනි. බ්‍රිතාන්‍ය සහ පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන බොහෝ රටවල අදටත් ක්‍රියාත්මක වන්නේ කේවල ඡන්ද ක්‍රමයයි. දෙදෙනකු හෝ කීප දෙනකු අතර කුඩා මැතිවරණ කොට්ඨාසයට සීමාවී පක්ෂවලින් හෝ ස්වාධීනව තරග කර වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගන්නා අපේක්ෂකයා ජයගැනීම මෙහිදී සිදුවේ. මෙවැනි කුඩා කොට්ඨාසයක මැතිවරණයක් පැවැත්වෙද්දී අපේක්ෂකයන් සංඛ්‍යාව සීමා කිරීමේ අරමුණෙන් ‘අවම ඡන්ද සංඛ්‍යාවක් නිර්වචනය වේ. ඒ අනුව මහා බ්‍රිතාන්‍යයේ අදටත් භාවිත වෙන්නේ සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් අටෙන් එකක් හෙවත් 12.5% කි. කේවල ඡන්ද ක්‍රමය හෙවත් (First Past the Post) ක්‍රමයේ  ප්‍රශ්නය වන්නේ ජයග්‍රාහී අපේක්ෂකයාට ලබා දෙන ඡන්දයට වටිනාකමක් ලැබුණ ද පරාජිත අපේක්ෂකයාට ලබාදෙන ඡන්දයට වටිනාකමක් නොලැබීමය.

මේ අඩුව ගැන ලෝකය පුරා සාකච්ඡාවක් නිර්මාණයවූ අතර සමානුපාතික හා මිශ්‍ර මැතිවරණ ක්‍රමය භාවිතයට පැමිණියේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. සමානුපාතික හා මිශ්‍ර මැතිවරණ ක්‍රමය යනු කුඩා මැතිවරණ කොට්ඨාසයේ ක්‍රියාත්මකවූ කේවල ඡන්ද ක්‍රමයෙන් බොහෝ ඈතට ගිය ක්‍රමයකි. සමානුපාතික ඡන්ද ක්‍රමය යොදාගන්නේ සමස්ත රටටමය. එහෙත් කේවල ඡන්ද ක්‍රමය යොදන්නේ තෝරාගත් මැතිවරණ බල ප්‍රදේශයකටය. සමානුපාතික ඡන්ද ක්‍රමය භාවිත කරන රටවල එනිසා පෙර කී අවම ඡන්ද සංඛ්‍යාව 5%, 10%, 12.5% හා 25% ආදී වශයෙන් එකිනෙකට වෙනස් වේ. ශ්‍රී ලංකාවට අදාළව ගත්විට සමානුපාතික ඡන්ද ක්‍රමය නිර්මාණය කරනු ලැබුවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසිනි. මෙසේ අප භාවිත කරන සමානුපාතික ඡන්ද ක්‍රමය ද ලෝක පරිමාණයෙන් ගත්විට සුවිශේෂීය. ඊට හේතුව නම් ජයග්‍රාහී අපේක්ෂකයා බලගැන්වීමට යම් යම් ක්‍රියාමාර්ග ගෙන තිබීමය. දිස්ත්‍රික්කය ජයගන්නා අපේක්ෂකයාට බෝනස් ආසනයක් ලැබීම ඊට එක් උදාහරණයකි. ජයවර්ධන ජනාධිපතිවරයා එමගින් උත්සාහ කළේ ජයග්‍රාහකයා වැඩියෙන් බලගැන්වීමටය.

උදාහරණයකින් තවදුරටත් පැහැදිලි කළහොත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිටින්නේ තෝරාපත් කරගනු ලබන මන්ත්‍රීවරු සිව් දෙනෙකි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ජයගන්නා අපේක්ෂකයාට බෝනස් අසුනක් ලැබේ. කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාපත් කරගනු ලබන මන්ත්‍රීවරු විස්සකි. එහෙත් කොළඹ ජයගන්නා අපේක්ෂකයාට ලැබෙන්නේ ද එක් බෝනස් අසුනකි. එනිසා ගණිතමය වශයෙන් බැලුවොත් බෝනස් ක්‍රමයේ පවා ගැටලුවක් තිබේ. කෙසේ වෙතත් මේ ආකාරයට මැතිවරණ දිස්ත්‍රික්ක 22ට බෝනස් ආසන 22ක් ලැබේ. ඒ සමඟම ජයවර්ධන ජනාධිපතිවරයා හඳුන්වා දුන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවම ඡන්ද සංඛ්‍යාව 12.5% හැටියට සඳහන් වේ. ජයවර්ධන ජනාධිපතිවරයා අවම ඡන්ද සංඛ්‍යාවට එය යොදාගත්තේ ඊට පෙර පැවැති කේවල ඡන්ද ක්‍රමයේත් 12.5% සීමාව තිබූ නිසාය. නොඑසේව මේ ආකාරයෙන් 12.5% සීමාවක් පැමිණියේ කෙසේද එහි මූලාරම්භය කුමක්ද යන්න ගැන පැහැදිලි කිරීමක් කිරීමට අපට අපහසුය. විශේෂයෙන්ම සමානුපාතික ඡන්ද ක්‍රමයේදී කුඩා පක්ෂ හෝ ස්වාධීන අපේක්ෂකයන්ට අවකාශයක් තිබුණොත් මැතිවරණ බල ප්‍රදේශ රැසක් ඇති දිස්ත්‍රික්කයක දී 12.5%ක ඡන්ද ගැනීම අපහසුය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා 15 වැනි සංශෝධනය හරහා මෙම 12.5% සීමාව 5% දක්වා අඩු කළේ එහෙයිනි. ඒ අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 12.5% අවම ඡන්ද සීමාව හඳුන්වා දුන්නද 1989 පළමු මහමැතිවරණයටවත් එය යොදාගත්තේ නැත. භාවිත කළේ 5% යි. එක්සත් ජාතික පක්ෂය බලවත්ව සිටි එසමයේ පාර්ලිමේන්තුවේ 113 නමැති සරල බහුතරය දිනාගැනීම අපහසු වුණේ නැත. එහෙත් 113 නමැති සරල බහුතරය ආණ්ඩුවකට දිනාගැනීමට හැකිවුණේ එම අවස්ථාවේදී හා 2009 මහමැතිවරණය යන අවස්ථා දෙකේදී පමණි. අනෙක් සෑම මහමැතිවරණයකදීම ජයග්‍රාහී පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 113 ක් දිනාගැනීමට හැකිවුණේ නැත.

සරලව කිවහොත් එහි අර්ථය නම් අස්ථාවර ආණ්ඩු බිහිවීමය. ජයග්‍රාහී දේශපාලන පක්ෂය හෝ සන්ධානය දිනාගත්තේ මන්ත්‍රී ආසන 105, 109 ආදී අඩු අගයකි. මේ නිසා පාර්ලිමේන්තුවේ බහුතරය නිර්මාණය කරගැනීම සඳහා නිරන්තරයෙන්ම සභාග ආණ්ඩු පිහිටුවීමට සිදුවිය. එසේ පිහිටුවූ සභාග ආණ්ඩු සෑම එකකම පාහේ පැවැත්ම රඳා පැවැතුණේ සුළු පක්ෂ හෝ සුළු ජාතික පක්ෂවල ආධාරයෙනි. රජුන් තනන්නන්ගේ භූමිකාව යන වචනය දේශපාලන ශබ්ද කෝෂයට මේ සමග ආගමනය වූ අතර ඊට ප්‍රතිපක්ෂව සරල බහුතර බලයකින් ආණ්ඩුවක් නිර්මාණය කරගන්නේ කෙසේදැයි යන සාකච්ඡාවක් ද නිර්මාණය විය. ඒ අනුව සරල බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පහසුවෙන් සකසා ගැනීමේ අරමුණෙන් ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කළා යැයි සිතිය හැකිය. ආචාර්ය රාජපක්ෂ මහතා එමගින් අපේක්ෂා කරන්නේ ස්ථාවර රජයක් බිහිකරගැනීම විය යුතුය. එහෙත් 1989 සිට 2019 දක්වා වසර තිහක්ම අප පාවිච්චි කර ඇත්තේ 5% ක අවම ඡන්ද සීමාව බව අපට අමතක කළ නොහැකිය. අනෙක් අතට එම ක්‍රමවේදයේ කිසියම් නිරවද්‍යතාවක් ඇත. උදාහරණයකට ගත්තොත් කොළඹ, ගම්පහ, නුවර ආදී විශාල ජනගහනයක් ඇති දිස්ත්‍රික්කවලදී සුළු පක්ෂවලට 12.5% ක් වැනි ඉලක්කයක් මගින් ගණිතමය අර්බුදයක් ද නිර්මාණය වන බැවිනි. එනිසා එක්වරම 12.5% සීමාවකට යෑම ප්‍රායෝගික නොවන බව මගේ අදහසයි. එනිසා කළයුතුව තිබුණේ ස්වාභාවික අවම සංඛ්‍යාව (Natural cut off) නිර්මාණය කරගැනීමය.

එවිට මන්ත්‍රීවරුන් 20 ක් සිටින කොළඹ වැනි දිස්ත්‍රික්කයක දී අවම සංඛ්‍යාව 5% ක් වැනි අගයකට පැමිණෙනු ඇත. මන්ත්‍රීවරුන් 4 දෙනකු සිටින ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්කයක දී 25% කි. එවිට දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට බොහෝවිට අවම ඡන්ද සංඛ්‍යාව වෙනස් වනු ඇත. ඉතා නිරවද්‍ය ගණිතමය ක්‍රමය හැටියට ද එය හැඳින්විය හැකිය. එහෙත් නීතිය නිර්මාණය කරනවිට දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට අවම ඡන්ද සංඛ්‍යාව වෙනස් කිරීමට බැරිය. සෑම දිස්ත්‍රික්කයක් සඳහාම එක් අගයක් සැකසීමට අපට සිදුවන්නේ ඒ නිසාය. එසේම 1978 න් පසුව ඡන්දදායකයන් ඡන්දය පාවිච්චි කර ඇත්තේ 5% අවම ඡන්ද සීමාවේ මැතිවරණ ක්‍රමයකට නිසා ඒ සමඟ ගොඩනැඟුණු දේශපාලන සංස්කෘතියක් ද තිබේ. එම දේශපාලන සංස්කෘතියෙහි කුඩා පක්ෂ හා සුළු ජාතික පක්ෂ ද බිහිව තිබේ. සභාග ආණ්ඩු නිර්මාණය වී තිබේ. ඒවා කඩාවැටී ද තිබේ. එමෙන්ම දුර්වල ආණ්ඩු මධ්‍යයේ ශක්තිමත් විධායකය සමඟ ආණ්ඩුකරණය ද සිදුව තිබේ. 2015 දී 19 වැනි සංශෝධනය සම්මත කර විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කළේ පාර්ලිමේන්තුව බලවත් කිරීමටය. එහෙත් අද පාර්ලිමේන්තුව ද අස්ථාවරය. ආචාර්ය රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානයක් යොමුවන්නට ඇතැයි සිතිය හැක්කේ මේ කාරණයටය.

මේ රටේ සිදුවූ අදූරදර්ශීම ව්‍යවස්ථා සංශෝධනය හැටියට සැලකිය හැක්කේ 19 වැනි සංශෝධනයයි. මැතිවරණ ක්‍රමය සංශෝධනය කළේ නම් මේ ප්‍රශ්නය අපට යම්තාක් දුරකට විසඳාගත හැකිව තිබුණත් එය සිදුවුණේ නැත. එනිසා 19 සැලකිය හැක්කේ බාග සංශෝධනයක් හැටියටය. අනෙක් අතට එවැනි සීමාසහිතකම් මධ්‍යයේ වුවද 19 වැනි සංශෝධනයේ සමස්තයම වැරැදි යැයි මම නොකියමි. ස්වාධීන කොමිෂන් සභා වැනි ඉතාම ප්‍රගතිශීලී කාරණා ද තිබේ. ප්‍රශ්නය වූයේ එකී සංශෝධනය ගෙනආවේ දුර බලා නොවීමේය. මා කියන්නේ 19 වැනි සංශෝධනය තිබුණත් නැතත් මේ සුළුතර ආණ්ඩු ප්‍රශ්නයට විසඳුමක් සොයාගත යුතු බවය. අප විමසිය යුත්තේ 21 වැනි සංශෝධනය සමස්තයක් වශයෙන් ඊට විසඳුමක් වන්නේද යන්නයි. උදාහරණයකට ගතහොත් දකුණේදී ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයකට මෙකී 12.5% සීමාව විශාල ප්‍රශ්නයක් වනු නිරනුමානය. නැගෙනහිරදී ටී.එම්.වී.පී. වැනි පක්ෂ ද ඇතැම්විට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද උතුරේදී ඊ.පී.ඩී.පී. පක්ෂයට ද අත්වනු ඇත්තේ එම ඉරණමමය.

එවැනි පක්ෂ තවදුරටත් දේශපාලන ලෝකයේ පවතිනවාද යන පැනයට පවා මුහුණ දෙනු ඇත. එනිසා මගේ හැඟීම නම් 21 වැනි සංශෝධනය කළයුත්තේ අවම ඡන්ද සංඛ්‍යාව ඉහළ දැමීමෙන් නොවේ. ජයග්‍රාහී දේශපාලන පක්ෂයට තවත් ටිකක් බෝනස් ආසන සංඛ්‍යාව වැඩිකිරීමෙනි. සමානුපාතික ඡන්ද ක්‍රමය මගින් මැතිවරණ දිස්ත්‍රික්කවලින් 196 දෙනකු තෝරාගන්නා අතර ජාතික ලැයිස්තුවෙන් පත්වන මන්ත්‍රී සංඛ්‍යාව 29 කි. මෙකී ජාතික ලැයිස්තුවේ අවම ඡන්ද සංඛ්‍යාව 1% කි.  මට හිතෙන හැටියට නම් ප්‍රශ්නය ඇත්තේ මෙතැනය. ජාතික ලැයිස්තුවේ සීමාව 5% ක් කළහොත් තෝරාගැනීමට තිබෙන්නේ මන්ත්‍රීවරුන් 20 කි. එවිට 29 දෙනාගෙන් ඉතිරි වන 9 දෙනා ජයග්‍රාහී දේශපාලන පක්ෂයට බෝනස් මන්ත්‍රී ධුර හැටියට ප්‍රදානය කළ හැකිය. ජාතික අනුපාතය අනුව ඒ ඒ දේශපාලන පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 20 බෙදාදිය හැකිය. මෙහි ඇති වාසිය නම් බෝනස් ආසන 9ක් ජයග්‍රාහී අපේක්ෂකයාට ලබාදෙන්නේ යැයි කී සැණින්ම ප්‍රාදේශීය වශයෙන් සිටින සුළු ජාතික හා සුළු පක්ෂ ප්‍රධාන ප්‍රවාහයට එකතුවීමය. පවතින 5% සීමාව යටතේ තනිව තරග කර ජයගැනීම ද අපහසු පසුබිමක ඔවුන්ට බොහෝවිට ලැබෙන්නේ මන්ත්‍රී ධුර එකක්, දෙකක් හෝ තුනක් වැනි සුළු සංඛ්‍යාවකි. තමන්ට හිමි කුඩා ඡන්ද ප්‍රතිශතය නිසා ප්‍රධාන ප්‍රවාහයට එකතු වුවහොත් වැඩි මන්ත්‍රී ධූර ගණනාවකට යාම අපහසුය. ඔවුන් තනිව තරගකරන්නේ එහෙයිනි. ඉතින් පෙර මා යෝජනා කළ ආකාරයට බෝනස් ආසන වැඩි සංඛ්‍යාවක් ජයග්‍රාහකයාට ලැබෙන ආකාරයට මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කළහොත් සුළු පක්ෂ ප්‍රධාන පක්ෂ සමඟ සන්ධානගත වනු ඇත.

එක්සත් ජාතික පක්ෂය යැයි ව්‍යවහාර කළ ද සැබැවින්ම මැතිවරණවලට තරග කරන්නේ එක්සත් ජාතික පෙරමුණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද කිසිදා මැතිවරණයක් තනිව තරග කර නැත. 1956 දී පවා ශ්‍රීලනිපය තරග කළේ මහජන එක්සත් පෙරමුණ හැටියටය. වමේ නොඑසේව මැද කඳවුර සැමදා තරග කර තිබෙන්නේ සන්ධානගතවය. 1977 දී ඔවුන් දරුණු පරාජයකට මුහුණ පෑවේ ද කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය ආදිය සමගි පෙරමුණෙන් ඉවත්වීම නිසාය. අන්තිමේදී සමසමාජ කොමියුනිස්ට් වාම බලවේගය ද විනාශ වූ අතර පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගණන අටට බැස්සේය. එනිසා ඉතිහාසය පුරාම මැතිවරණ දේශපාලනයේ ශක්තිමත් වී තිබෙන්නේ සන්ධාන දේශපාලනය බව පැහැදිලිය. මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂ නැගෙනහිර දී පමණක් තනිව තරග කර සිය මන්ත්‍රී ධූර ගණන වැඩිකිරීමට කල්පනා කරන අතර අන් සෑම තැනකදීම එ.ජා.ප. ය හෝ එ.ජ.නි.ස. සමග සන්ධානගතව තරග කරයි. කඳුරට දී සිදුවන්නේ ද එයමය. ඉතින් මා කියන්නේ සරල බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් ද නිර්මාණය කරගෙන 5% අවම ඡන්ද සංඛ්‍යාවද තබාගෙන අවශ්‍ය ප්‍රතිසංස්කරණ අපට පහසුවෙන් කළ හැකිය. ඒ සඳහා දිස්ත්‍රික්කවල ජාතික ලැයිස්තු සීමාව ද පෙර කී ලෙස 5% සීමාවට ගෙන ආ යුතුය.

මේ සමඟ අපේ දේශපාලනය බොහෝදුරට ද්විපාක්ෂික පක්ෂ ක්‍රමයකට තල්ලු වනු ඇති අතර මැතිවරණයට පෙරම සන්ධානගත වීමට උත්සාහ දරනු ඇත. මෙය ඉතා හොඳ තත්ත්වයකි. එහෙත් මහමැතිවරණයෙන් පසුව සිදුවන සන්ධානගතවීම්වලදී ආණ්ඩුකරණය කෙරෙන්නේ පක්ෂ කීපයක වුවමනාකම් මතය. නොඑසේව සුළු ජාතික පක්ෂ කියන ආකාරයට ප්‍රධාන පක්ෂයට නම්‍යශීලී වීමට සිදුවේ. මෙමගින් බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වනු ඇතැයි ඇතැමෙකුට තර්ක කළ හැකි වුවද දැනටත් දකුණේදී තරග කෙරෙන්නේ ප්‍රධාන සන්ධාන දෙක පමණක් බව අවධාරණ කළ යුතුය. දකුණේ තෙවැනි බලවේගය හැටියට ජනතා විමුක්ති පෙරමුණ තිබුණ ද එය විශාල සාධකයක් නොවේ. 5% සීමාව වැඩි වටිනාකමක් ගෙනදී ඇත්තේ නැගෙනහිර, උතුර හා කඳුකරයටය.

මැතිවරණ ක්‍රමය සමග කතා කෙරෙන තවත් ප්‍රධාන ප්‍රශ්නයක් නම් පක්ෂ මාරුවයි. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට වරුණ ලියනගේ මහතා පත්ව පක්ෂය මාරු කිරීම ඊට ආසන්නතම හේතුවය. එහෙත් අපේ පවතින නීතියේ ඇති දුර්වලතාව නිසා මන්ත්‍රී ධුරය හිමිවූයේ ඔහු මීට වසර පහකට හයකට පෙර දැරූ දේශපාලන මතය සැලකිල්ලට ගෙනය. එම නීතිය ද අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුය. පුරප්පාඩු වන මන්ත්‍රී ධූරයකට යමකු පත්කරද්දී ද එය අදාළ පක්ෂයටම ලැබිය යුතුය. කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පවසන්නේ ද තමා දිගටම විරුද්ධ පක්ෂයේ අසුන්ගන්නා බවය. මේ නිසා ජනතාව නිශ්චිත මොහොතක ප්‍රකාශ කළ මතය විකෘති වී තිබේ. මෙම දේශපාලන විකෘතිය නතර කිරීමට ඉන්දියාවේ ප්‍රතිහුවමාරු පනත (Anti crossover act) නමින් නීතියක් ගෙන ආවේය. ඊට අනුව මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් පක්ෂ මාරු කළ හැකිය.

එහෙත් ඒ සඳහා අදාළ පක්ෂයෙන් හෝ සන්ධානයෙන් තුනෙන් එකක මන්ත්‍රී පිරිසක් එසේ පක්ෂය මාරු කළ යුතුය. එනිසා මා සිතන්නේ 21 වැනි සංශෝධනය සම්මත කරන්නේ නම් ඒ සමඟ එවැනි නීතියක් ද අනිවාර්යයෙන්ම සම්මත කළ යුතුය. නොඑසේව විවිධ හේතු මත ඕනෑම මොහොතක තනි මන්ත්‍රීවරුන් එහාට මෙහාට පැනීම වළක්වාගැනීමට අපට නොහැකිවනු ඇත. මිනිසුන් ඡන්දය දෙන්නේ පුද්ගලයාට මෙන්ම පක්ෂයටය. ඉතින් එක් පක්ෂයක් නියෝජනය කර ජයගෙන තමන්ට කැමැති වේලාවට දේශපාලන ස්ථාවරය වෙනස් කරන්නන් නිසා අවසන සිදුවන්නේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වීමය. එනිසා අවම ඡන්ද සංඛ්‍යාව 12.5% දක්වා වැඩිකිරීම සරල බහුතර බලයක් සහිත ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමට මේ මොහොත් ඇති එකම මඟ නොවේ. එම මඟට පමණක් අප අවතීර්ණ වුවහොත් රටේ බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයටත් දේශපාලනයටත් සිදුවනු ඇත්තේ අනර්ථයකි. එනිසා මා නැවතත් අවධාරණය කරන්නේ එවැනි අවදානමක් නොගෙන ජාතික ලැයිස්තුවෙන් ආසන 9ක් බෝනස් හැටියට ලබාදෙමින් ඉන්දියානු ආභාසය ඔස්සේ ප්‍රතිහුවමාරු පනත වැනි විකල්ප ක්‍රමයක් අනුගමනය කිරීම හොඳම සහ පහසුම මඟ බවය.

 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩ බලන උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුදන්ත ලියනගේ



අදහස් (0)

ව්‍යවස්ථා සංශෝධනයට පෙරවදනක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 118 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 256 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 189 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 233 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 240 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 808 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site