IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වරාය නගර පනත යකෙක්ද දෙවියෙක්ද



ලාංකික පුරවැසියන්ට වරාය නගර කලාපයට ගොස් එහි සේවා, විනෝදාස්වාද කටයුතු ආදියට සම්බන්ධවීමට බාධාවක් නැත. එහෙත් එම ප්‍රදේශයෙන් යම් භාණ්ඩයක් මිලදී රැගෙන එන විට යම් බදු මුදලක් අයකරන බව ප්‍රකාශ වී තිබේ.

කොළඹ වරාය නගර සංවර්ධන පනත් කෙටුම්පත සම්බන්ධව මේ දිනවල මහත් ආන්දෝලනයක් ඇතිව තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා මේ කාරණය දුරදිග ගොස් හමාරය. 

ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක් වැයකර වරාය නගරයට අදාළ භූමි ප්‍රදේශය ගොඩකර බාරදී ඇත්තේ 2019 වසරේදීය. මේ භූමි ප්‍රදේශය අපේ රටට අයිති කොටසක් වශයෙන් එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයට පත් කළේය. ඒ 2019 ඔක්තෝබර් 29 වැනිද‌ාය. එලෙස පවතින කොළඹ වරාය නගරය ආර්ථික කලාපයක් වශයෙන් සංවර්ධනය කිරීම අරමුණු කරගෙන ආයෝජකයක් ගෙන්වා ගැනීමට මෙම පනත් කෙටුම්පත දැනට සකස්කර තිබේ.

මෙය දැනට කෙටුම්පතක් මිස පනතක් නොවේ. මේ සම්බන්ධයෙන් විවිධ යෝජනා ඉදිරිපත් වී නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඒවා ඉදිරිපත් කර එම දෙපාර්තමේන්තුවෙන් සකස් කළ පනත නැවත වරක් ඇමැති මණ්ඩලයට යොමුවූ පසු පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරේ. එසේ ඇතුළත් කර සතියක් ඇතුළත ලංකාවේ සිවිල් පුරවැසියකුට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එය අභියෝගයට ලක්කරමින් තර්ක විතර්ක ඉදිරිපත් කිරීමට පුළුවන. මේ වන විට මෙම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 15 ක් පමණ ඉදිරිපත්ව ඇත්තේ ඒ අනුවය.

නීතිපතිවරයා මෙම පනත් කෙටුම්පත අධ්‍යයනය කර තිබේ. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිවක් එහි නොමැති බව නීතිපතිවරයා ආණ්ඩුවට දැනුම් දී තිබේ. එහෙත් එය අවසානයම නොවේ. වරාය නගරයේ භූමි ප්‍රමාණය වෙනත් පාර්ශවයකට සින්නක්කරව විකිණීමක් සම්බන්ධව නොයෙක් තර්ක විතර්ක දැකගත හැකිය. එවන් දීමක් එලෙසම සිදුවෙනවා ද? දැනට ඉදිරිපත්ව ඇති පනත් කෙටුම්පතට අනුව එලෙස සින්නක්කර ලබාදීමක් පෙනෙන්නට නැත.

මෙම යෝජිත පනතෙන් ආවරණය වන භූමි ප්‍රමාණය අක්කර 1102 කි. මෙයින් අක්කර 224 ක් අයත් වන්නේ යටිතල පහසුකම් සම්බන්ධයෙනි. මෙම යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ලංකා රජය මේ වන විටත් ගනිමින් තිබේ. මෙහි තිබෙන අක්කර 286 ක් පමණ බදු දීමට දැනට එකඟ වී තිබේ. එය මුළු ප්‍රමාණයෙන්  25% ක් පමණය. මෙය සින්නක්කර ලබාදීමක් නොවේ. 99 අවුරුද්දකට බදු දීමකි.

 මෙය මෙම ව්‍යාපෘතියට පමණක් අද‌ාළ වන්නක් නොවේ. මෙරට බොහෝ ව්‍යාපෘති අනූ නව අවුරුදු බදු ගිවිසුම් යටතේ ක්‍රියාත්මක වන බව රහසක් නොවේ. ඒ වගේම මෙහි තවත් අක්කර 156 ක් පමණ තවත් ආයෝජකයන්ට ලබා දීමට ශ්‍රී ලංකා රජයට පුළුවන.

වරාය නගරය පාලනය කිරීමට වෙනම කොමිෂන් සභාවක් පිහිටුවීමට යෝජනා වී තිබේ. එම කොමිසම සාමාජිකයන් පස් දෙනකුට නොඅඩු සහ සත් දෙනකුට නොවැඩි වන ආකාරයට පත් කෙරෙන බව සඳහන්ය. මෙම කොමිසම පත් කරන්නේ ජනාධිපතිවරයාය. එසේ වුවත් මේ කොමිසමට පත් කරන්නේ ලාංකිකයන්ද විදේශිකයන්ද යන්න ගැටලුවකි. මෙම ව්‍යාපාර සම්බන්ධව දැනුමක පලපුරුද්දක් ඇති අය පත්කළ යුතු යැයි සඳහන් වුවද ලාංකිකයන් පත් කරනවාද? වෙනත් රටක අය පත්කරනවාද? යන සඳහනක් නැත. මේ කවුරුන් පත්වුව ද ඕනෑම අවස්ථාවක ඔවුන් ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබේ. කෙසේ වුවත් මේ අයට යම් මුක්තියක් ලබාදීම සම්බන්ධව දැඩි කතාබහක් සමාජයේ තිබේ. එසේ මුක්තිය ලබාදීමෙන් ඔවුන්ගේ සිතැඟි පරිදි කටයුතු කිරීමට අවස්ථාව උද‌ාවෙනවාද? යන සැකය සමාජයට කාන්දු වෙමින් තිබේ. සද්භාවයෙන් කරන්නා වූ කටයුතුවලට මුක්තියක් ලැබෙන බව මෙහි සඳහන්ය. එය නීතිමය පැත්තෙන් සැලකිලිමත්වීමකි. එම සද්භාවය අර්ථ නිරූපණය වෙන්නේ කෙසේදැයි කල්පනා කර බැලීමට සිදුවනු ඇත.

නගර සභාවෙන් නාගරික සංවර්ධනයෙන් මේ සම්බන්ධව කටයුතු කරන වෙනත් ආයතනවලින් මෙම කලාපය බැහැර කර තිබීම යෝජිත පනතේ විශේෂ ලක්ෂණයකි. මෙහි හොඳ සහ නරක දෙකම සලකා බැලිය යුතුය. යෝජිත ආකාරය අනුව මේ කලාපයේ කිසිදු පාලනයක් නගර සභාවට හෝ පළාත් සභාවට අයිති නැත. ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම සකසා තිබේ. එයට බලපෑ හේතුකාරණා ද තිබේ. 

සාමාන්‍යයෙන් මෙවැනි ආර්ථික කලාපයක් ඇති කරන විට ඔවුන්ට සහනද‌ායී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට සිදුවනු ඇත. ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල දක්නට ඇති තත්ත්වය එයයි. විශේෂ ආර්ථික කලාපයකට පැමිණෙන ආයෝජකයන්ට විවිධාකාර ආයතනවලට ගොස් කාලය නාස්ති කරමින් අනුමැතිය ලබාගැනීම ආදී කටයුතුවලට යොමුවීමට සිදුවුවොත් ඔවුන් අධෛර්යමත් විය හැකිය. සාමාන්‍ය තත්ත්වය යටතේ මෙරට ආයෝජකයන්ට, ව්‍යාපාරිකයන්ට මුහුණ  දීමට සිදුවන දුෂ්කරතා අමුතුවෙන් පැහැදිලි කළයුතු නැත. එවන් දුෂ්කරතාවලට මුහුණ දීමට විදෙස් ආයෝජකයන් කැමැති නැත.


  
 ව්‍යාපාර කිරීමේ පහසුව පිළිබඳ දර්ශකයක් තිබේ. එම දර්ශකයේ ලංකාව සිටින්නේ 165 වැනි ස්ථානයේය. ලංකාව සිටින්නේ පහළම අගයක බව මෙයින් පැහැදිලිය. ආයෝජනයකට අනුමැතිය ගැනීමේ සිට අනෙක් කටයුතුවලට ගතවන කාලය සහ මුහුණ දීමට සිදුවන ගැටලු ආදිය නිසා විදෙස් ආයෝජකයන් ලංකාවට ඒමට එතරම් උනන්දුවක් නැත. මේ තත්ත්වය වෙනස්කර ‘‘එක කවුළුවකින්’’ සියල්ල කරගත හැකි පසුබිමක් සකසා ආයෝජකයන්ට පහසු වාතාවරණයක් ඇති කිරීමට වරාය නගරයට අද‌ාළ පනත් කෙටුම්පතෙන් යෝජනා වී තිබේ. වරාය නගරය පාලනයට පිහිටුවන විශේෂ කොමිෂන් සභාව හරහා සියල්ල කරගත හැකි පසුබිම ආයෝජක හිතකර වන්නට පුළුවන. මේ තත්ත්වය යටතේ වරාය නගරය ලංකාවේ පාලනයන් බැහැර වෙනවාද යන්න අවධානයට ගත යුතුය. ලංකාවේ භෞමික අඛණ්ඩතාවට, ස්වාධීනත්වයට හානි නොවන ආකාරයට සහ ලංකාවේ පාලනයට යටත්ව මෙවන් ආයතන පාලනය කර ගැනීමට විවිධ ක්‍රමවේද යෝජිත කොමිෂන් සභාවට ලබා දී ඇති බව පෙනෙන්නට තිබේ.

ආයෝජකයකු පැමිණ තමන්ට අනුමැතිය අවශ්‍ය යැයි කියූ පමණින් අනුමැතිය ලැබෙන්නේ නැත. ලංකාවේ මුදල් මෙයට ආයෝජනය කළ නොහැක. ආයෝජකයකු පැමිණෙන්නේ නම් විදෙස් මුදල් රැගෙන ආ යුතුය. යම් ආයෝජකයකුට අනුමැතිය හිමිවන්නේ කොමිෂන් සභාවේ නිර්නායකවලට අනුගත වන්නේ නම් පමණි. චීන සමාගම ඩොලර් මිලියන 500 ක් පමණ ආරම්භක ප්‍රාග්ධනයක් වශයෙන් යෙදවීමට නියමිතය. ඒවා යෙදවෙන්නේ කොමිෂන් සභාව හරහාය. එසේ ව්‍යාපාර කිරීමේ දී ලැබෙන ආද‌ායමෙන් සියයට එකක් රජයට ලබාදිය යුතුය. කොමිෂන් සභාවට ලැබෙන මෙම මුදල් බැර වන්නේ රජයේ ඒකාබද්ධ අරමුදලටය. මීට අමතරව කොමිසමට ලැබෙන බදු සහ අනෙක් ආදායම් ද රජයේ ඒකාබද්ධ අරමුදලට බැරවිය යුතු බව පැහැදිලිව පෙන්වා දී තිබේ.

විගණනය සම්බන්ධව විවිධ මත තිබේ. එය ඉතා වැදගත් කරුණකි. විගණන කටයුතු ජාත්‍යන්තර විගණකවරුන්ට බාරදීම සම්බන්ධව සඳහන් වී තිබේ. එසේ කළ යුතු වන්නේ මෙරට විගණකාධිපතිවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව ඔහුගේ නිර්දේශ ද සමගය. මේවා පැහැදිලිව දක්වා තිබේ. ඒ තත්ත්වය යටතේ වරාය නගරයේ මූල්‍ය කටයුතුවල දී මෙරට විගණකාධිපතිගේ යම් සම්බන්ධයක් පවතින බව පෙනෙන්නට තිබේ. ඒ නිසා හිතුමතේ කටයුතු කිරීමේ අවස්ථාවක් නැත. ලංකාවේ පවත්නා අපරාධ නීතියට මේ කියන්නා වූ කලාපය යටත්ය. සිවිල් නීතිය ද බලපාන්නේ ඒ ආකාරයෙන්මය. වරාය නගරය වෙන්කොට වෙනත් නීතියක් ක්‍රියාත්මක වීමකට ඉඩක් නැත. එහෙත් ගිවිසුම්, කොන්ත්‍රාත් සම්බන්ධව යම් ප්‍රශ්නයක් පවතින විට එවැන්නක් සම්බන්ධව නීතිමය ක්‍රියාවලියකට ගතවන කාලය බෙහෙවින් දීර්ඝය. එවන් අවස්ථාවක දී ප්‍රයෝජන ගැනීමට අන්තර්ජාතික බේරුම්කරණ මධ්‍යස්ථානයක් වරාය නගරයේ පිහිටුවීමට යෝජනා වී තිබේ. ඒ අනුව ඕනෑම කෙනකුට මෙම මධ්‍යස්ථානයට ගොස්  තමන්ගේ ගැටලුව ඉක්මනින් විසඳ‌ා ගැනීමේ පහසුව තිබේ. මෙරට සිටින විගණකවරුන්ට සහ අද‌ාළ නිලධාරීන්ට මේවාට ඉදිරිපත්ව කටයුතු කිරීමට බාධාවක් නැත.

තවත් වැදගත් කාරණයක් තිබේ. එනම් මහ බැංකුවේ ක්‍රියාකාරිත්වයයි. මහ බැංකුවට මෙහි නියාමනයක් තිබෙනවාද? මෙරට මූල්‍ය කටයුතු පාලනය වන්නේ නියාමනය වන්නේ මහ බැංකුවෙනි. මේ ක්‍රියාවලියේ දී මහ බැංකුවේ සම්බන්ධයක්, මැදිහත්වීමක් දක්නට නොමැතිවීම අඩුපාඩුවකි. ඒ නිසා ඒ පිළිබඳව අද‌ාළ පුද්ගලයන්ගේ අවධානය යොමු වීම වැදගත්ය.

විදේශවලින් මේ කලාපයට පැමිණෙන අයට මුල් අවස්ථාවේ දී එම කලාපයෙන් බැහැරව ද කටයුතු කිරීමට අවකාශ සලසා දී තිබේ. මේ අය මේ කලාපයෙන් බැහැරව සිට කරන කටයුතු නියාමනය වෙන්නේ කෙසේදැයි ප්‍රශ්නයකි. යෝජිත කොමිෂන් සභාවෙන් මේ කටයුත්ත කෙරෙන ආකාරය සම්බන්ධව පැහැදිලි තත්ත්වයක් නැත. ඒ නිසා පැමිණෙන ආයෝජකයන් හෝ වෙනත් අය මේ අවස්ථාව වැරැදි ආකාරයට ප්‍රයෝජනයට ගනීවි ද යන ප්‍රශ්නය මතුවන්නට පුළුවන.

මුදල් විශුද්ධිකරණය පිළිබඳ කාරණයක් ඇමෙරිකානු තානාපතිවරිය මතුකර තිබුණේ මේ අනුව විය හැකිය. එහෙත් මෙරට ඇති මුදල් විශුද්ධිකරණ පනත වරාය නගරයට බලපාන්නේ නැති බවට සඳහනක් කිසිදු තැනක නැත. මෙරට සාමාන්‍ය නීතිය වරාය නගර ආර්ථික කලාපයට බලපාන්නේ නම් මුදල් විශුද්ධිකරණ පනත ද එයට බලපවත්වන බව පැහැදිලිය. ඒ අනුව යම් පාලනයක් පෙනෙන්නට තිබේ.

රැකියා 83000 ක් ජනිත කිරීමට හැකි බව සඳහන්ය. එය ඉතා වැදගත්ය. ලංකාවේ මුදල් වැටුප් වශයෙන් ගෙවීමක් නැත. විදෙස් මුදල් ඒකකවලින් වැටුප් ගෙවීමට හැකියාව තිබේ.

මේ කලාපයට පැමිණෙන ආයෝජකයන් අපේ රටේ සමාගම් නීතියට අනුව සමාගමක් හැටියට ලියාපදිංචි විය යුතුය. එය ඉතා වැදගත් කරුණකි. එසේ නොතිබුණා නම් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබුණි. ලියාපදිංචි වියයුතු ආකාරය ගැන යම් යම් කාරණා පැවතිය ද සමාගමක් වශයෙන් මෙරට ලියාපදිංචි වියයුතු බව පෙන්නා දී තිබේ. වරාය නගරයේ ආයෝජනයට කොමිෂන් සභාවට ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට හැකි වන්නේ එම ලියාපදිංචියෙන් පසුවය.

ලාංකික පුරවැසියන්ට වරාය නගර කලාපයට ගොස් එහි සේවා, විනෝද‌ාස්වාද කටයුතු ආදියට සම්බන්ධවීමට බාධාවක් නැත. එහෙත් එම ප්‍රදේශයෙන් යම් භාණ්ඩයක් මිලදී රැගෙන එන විට යම් බදු මුදලක් අයකරන බව ප්‍රකාශ වී තිබේ. ඒ නිසා මේ ප්‍රදේශය වෙනත් රටක් කලාපයක් හැටියට අර්ථ නිරූපණය කිරීමේ හැකියාවක් තිබේදැයි අවධානයට ගත යුතුය. ඒ නිසා මේ බදු සම්බන්ධ අර්ථ නිරූපණයක් අවශ්‍යය. එය නිරාකරණය කරගත යුතුය. එසේ නොවුණොත් වෙනත් ප්‍රශ්න මතුවිය හැකිය. යම් භාණ්ඩයකට ගෙවන බද්දක් වශයෙන් මෙය පවතින්නේ නම් ප්‍රශ්නයක් ඇතිවිය නොහැක. ඒ නිසා මේවා නිරවුල් කරගත යුතුය.

මතුපිටින් පෙනෙන කාරණා දෙස වැරැදි ආකල්පයකින් බැලුවහොත් සියල්ල වැරැදි විය හැකිය. මෙය බදු ගිවිසුමක් පමණක් බව පැහැදිලිය. එහෙත් ඒවාට පැනවෙන කොන්දේසි කවරාකාර වේවිද යන්න සම්බන්ධව සැලකිලිමත් විය යුතුය. ගිවිසුම් විවිධාකාරය. ඒවාට ලබාදෙන සහන විවිධය. දැනට ලංකාවේ කෙරෙන විදෙස් ආයෝජනවලදීද ආයෝජන මණ්ඩලයෙන් විවිධ සහන දෙන බව අපි දනිමු. කෙසේ වුවත් වරාය නගරයේ ආයෝජනවලදී ලබාදෙන බදු සහන ආදිය පිළිබඳ අවසන් තීන්දුව ඇත්තේ කොමිෂන් සභාව සතුවය. කොතරම් වැට කඩොලු බැන්දත් මේවාට යන පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය අනුව සියලු වටිනාකම් අහිමිවිය හැකිය. ඒ නිසා සෑම විටම සෘණාත්මකව නොසිතිය යුතුය. කල්පනාවෙන් අවදියෙන් කටයුතු කළ යුත්තේ ඒ හේතුවෙනි.
බදු සම්බන්ධ නියාමනයක් තිබේ. බදු සහන ලබාදීම වෙනම කතාවකි. වසර හතළිහක පමණ කාලයක් බදු සහන ලබාදෙන බව සඳහන්ය. මෙය ආවාට ගියාට දෙන සහන නොවේ. එවන් කාලයක් සහන දීමට නම් එම ආයෝජකයා විශාල ආයෝජනයක් කර එයින් රටට විශාල ප්‍රතිලාභ ලබාදිය යුතුය. එවන් තැනකට විරුද්ධවීමට කාටවත් නොහැක. එහෙත් මේ අවස්ථා ප්‍රයෝජනයට ගෙන බදු සහන පමණක් ලබාගෙන රටට ප්‍රතිලාභ ලබා නොදී ඔවුන්ගේ කටයුතු පමණක් කරගෙන යාමට යම් අය සූද‌ානම් වන්නට පුළුවන්. ඒ නිසා ඒවා නිසි නියාමනයකට යටත් කළ යුතුය. කොමිෂන් සභාවට එම වගකීම තිබේ. එය පැහැර හැරීමට නොහැක.

එද‌ා මහකොළඹ ආර්ථික කොමිසම පිහිටුවීමට යාමේදීද යම් යම් කාරණා මතුවුණි. එහෙත් ඒවා විසඳ‌ා ගෙන ඉදිරියට යාමට හැකි වුණි. සෑහෙන ආර්ථික ප්‍රගතියක් එයින් ලබා ගත්තේය. අද අවශ්‍ය එද‌ාට වඩා වැඩි ප්‍රගතියක් ලබා ගැනීමය. ආයෝජක හිතකර පහසු වටපිටාවක් සකස්කර ගැනීමය. ඒ නිසා අවශ්‍ය තැනට දැඩි කොන්දේසි පනවමින් නිසි නියාමනයකින් මේ කටයුතු කරගෙන යාමේ වගකීම අද‌ාළ කොමිෂන් සභාවට පැහැර හැරිය නොහැක.

------------------
ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා
-----------------------

 



අදහස් (5)

වරාය නගර පනත යකෙක්ද දෙවියෙක්ද

Wijesekara Tuesday, 20 April 2021 02:03 AM

ඉතාමත් වටිනා විමසුමක්. මෙය පල කිරීම පිළිබඳව ලංකාදීපයට අපගේ ප්‍රණාමය. රටට හොඳක් වෙනව නම් ඒක පෙන්නල දෙන්නත්, ඒ හොඳත් එක්ක නරකක් එන්න තියෙනවා නම් ඒක වළක්වා ගන්න එකත් මේ ලිපියේ ලස්සනට පෙන්නල දීල තියෙනවා. හැම දේකම නරක දැක දැක ඉන්නෙ නැතුව රටට කාලෙකට පස්සෙ යහපතක් වෙනවා නම් ඒක වෙන්න දෙන්න ඕනෙ.

:       6       13

Channa Tuesday, 20 April 2021 02:33 AM

ඔබතුමාට මෙහි හොඳ විතරක් පෙනීම පුදුමයක් නොවේ .. කෙසේ නමුත් විග්‍රහය ඉතා හොඳයි !! මෙම භූමියෙහි ආරක්ෂාව සිවිල් නීතිය සාමය පිළිබඳව කිසිදු සඳහනක් නොමැත ..

:       3       9

chathura Tuesday, 20 April 2021 06:13 AM

මේ ව්‍යාපෘතියේත් නම විනාස කරන්ඩ කට්ටියම උපරිම උත්සහයක් ගන්නවා. එතකොට ආයෝජකයන් පැමිණියේ නෑ කියල නැවතත් බැන බැන ඉන්ඩ පුලුවන්. මතකනේ හමබන්තොට වරායට කරපු දේ. තිබ්බ ගලකුත් නෑ. දැන් වරායත් නෑ. විකිනුවාට කාටවත් ගානක් වුණොත් නෑ.

:       6       7

tharindu Tuesday, 20 April 2021 01:05 PM

වරාය නගරයෙන් සිදුවන හොඳ හෝ නරක එකිනෙකාගේ කරුණු ඉදිරිපත් කිරීම් සහ තර්ක මත බලපාන බවක් මේ දිනවල පෙනී යයි. නමුත් එක් දෙයක් නම් ස්ථීර වශයෙන්ම සත්‍යයයි. එනම් බදු සහන, උපයන ලාභය මව් රටට ගෙනයාමට හැකිවීම වැනි දිරි ගැන්වීමකින් තොරව, කිසිම විදේශීය ආයෝජකයෙක් ලංකාවට නොපැනීමයි. ව්‍යාපාර පහසුවෙන් කර ගැනීමට ඇති දර්ශක අතුරින් ජාත්‍යන්තරව අද ලංකාව ඇත්තේ ඉතා පහළ තැනකයි. විදේශීය ආයෝජන මගින් රටට සිදුවිය හැකි යහපතක් නම්, අපේ තරුණ පරම්පරාවට රැකියා උත්පාදනය වීමයි. එබැවින්, මෙවැනි ව්‍යපෘති වලට විරුද්ධ වන උදවිය, රටේ රැකියා ජනනය කරන අනිකුත් විකල්ප මාර්ගත් ඉදිරිපත් කළ යුතුයි.

:       0       5

Raveendra Wednesday, 21 April 2021 04:59 AM

ඉතාමත්ම හොද විග්‍රහයක්.සරලව සදහන් කරන්නේ නම් පනත දෙවියෙක් වීමට නම් ඉඩකඩ අඩුවිය හැක නමුත් යකෙක් වුවත් ඒ යකාගෙන් රටට පල ප්‍රයෝජන ගැනුමට පාලන තන්ත්‍රය දුර දක්නා ඥානයෙන් ක්‍රියා කිරීම වඩාත් උචිත නොවේද? "සෑම වස්ත්‍රයටම" එපා කියන ඍනාත්ම අදහස් වලින් පරිපුර්නවූ සමාජයක හෙට දවස නිසැකව අදුරු වනවා නොවේද ?

:       4       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 300 0

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 434 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 253 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 670 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 801 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2930 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site