IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රට හදන්න දරදඬු තීන්දු ගන්න ඕනෑ

විපක්ෂයේ කාර්යභාරය, ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, ණය බර, දෙමළ ජාතික සන්ධානයෙන් එ.ජා.ප.යට නැගෙන චෝදනා, 21 වැනි සංශෝධනය, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ භූමිකාව, එ.ජා.ප. නායකත්ව අර්බුදය හා සජිත් පිලේ ඊළඟ පියවර ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ය

ප්‍රශ්නය:- දේශපාලන පළිගැනීම් යන සටන් පාඨයම කියමින් රටේ ප්‍රශ්න කතා නොකරන විපක්ෂයක් බවට එක්සත් ජාතික පක්ෂය පත්ව ඇතැයි ඇතැම් දේශපාලන විචාරකයන් චෝදනා කරනවා. මේ චෝදනාව ගැන ඔබේ අදහස මොකක් ද?

පිළිතුර:- ඕකෙ දෙපැත්තක් තිබෙනවා. පළමුවැනි එක තමයි ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයක් හැටියට අප කරන දේවල්වලට බොහෝ මාධ්‍යවල අවස්ථාව දෙන්නේ නෑ. විද්‍යුත් මාධ්‍ය ගත්තාම ඇතැම් අය අමු අමුවේ ආණ්ඩුවට කඩේ යනවා. ජනාධිපතිවරණ කාලයේත් ඔවුන් මාධ්‍ය සදාචාරය ඉක්මවලා කඩේ ගියා. අපට ලැබෙන ඉඩ සීමා සහිතයි. ආණ්ඩුවේ වැරැදි ගැන කියලා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බත් මොනව හරි වැල් බයිලා ටිකක් දානවා මිසක් එහි හරය අන්තර්ගතය විකාශය කරන්නේ නෑ. දෙවැනි කාරණය නම් මැතිවරණ පරාජයකින් පසු සාමාන්‍යයෙන් ඕනෑම පක්ෂයක් තුළ කම්පනකාරී තත්ත්ව උද්ගත වෙනවා. කෙසේ නමුත් අපි පුළුල් විපක්ෂයක් හැටියට ඉදිරියේදී ආණ්ඩුවේ වැරැදි ජනතාවට පෙන්වමින් ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු ඉටුකරවා ගැනීමට අරගල ගණනාවක් කිරීමට ලෑස්තියි.

ප්‍රශ්නය:- අරගල කිරීමට නම් ප්‍රශ්න හඳුනාගත යුතුයිනේ. එහෙම හඳුනාගත් ප්‍රශ්න මොනවා ද?

පිළිතුර:- රත්තරන් මිල මුදල් හොරකම් කිරීම් ගැන අහලා තිබුණත් ලංකා ඉතිහාසයේ පළමුවැනි වතාවට තමයි ලූණු හොරකම් කරන තැනට සමාජය වැටුණේ. හැබැයි අපි මහින්ද රාජපක්ෂ වගේ දැන් සැප ද කියලා මිනිසුන්ගෙන් අහන්නේ නෑ. බඩු මිල, එළවළු මිල අහස උසට ගිහිල්ලා. අපේ ආණ්ඩුව කාලේ මිල පොඩ්ඩක් එහා මෙහා වුණු ගමන් කෑ ගහන්න අටවාගෙන තිබුණු පාරිභෝගික සංගමුත් නෑ. ගැබිනි මවුවරුන්ගේ පෝෂණ මල්ලටත් විදලා. අපිට නම් ඇත්තටම දුකයි. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නය. වියත් මගේ හිටපු ආර්ථික ඔස්තාර්ලා එක්ක රටේ ආර්ථික තත්ත්වය නොදැන ආණ්ඩුව බාරගත්තා වෙන්න බෑනේ. එහෙම නම් ආර්ථිකය කළමනාකරණය කළ යුතුයි. දැන් ඒ වෙනුවට රටේ ඉඩම් චීනාට විකුණනවා. ඩොලර් මිලියන 500කට ලේක්හවුස් එක ළඟ අක්කර තුනක් හොංකොංහි සමාගමකට දෙන්න යනවා. පරම්පරා හයකට මේ රටේ පුරවැසියන්ට ඒ ඉඩම් අහිමි වෙනවා. මේ සියලු විකිණීම් කරන්නේ කිසිදු ටෙන්ඩර් පටිපාටියක් නැතිව විනිවිදභාවයකින් තොරවයි. මේ ඉඩම් කොල්ලය දෙවැනි ප්‍රශ්නයයි. පාසල් නිල ඇඳුම්වලට වවුචර් දෙද්දි මැහුම් කුලියවත් නෑ කියලා කෑ ගහපු අය වවුචරේ මුදල අඩු කරලා. කමිසය මහපු ළමයාට කලිසම මහගන්න බෑ. රජයේ සේවකයන්ට මේ ජනවාරියේ සිට තිබූ වැටුප් වැඩි වීම අතිකාල දීමනා අත්හිටුවලා. ඊටපස්සේ දැන් කුරුමානම් අල්ලන්නේ තෙල් මිල වැඩි කරන්නයි. බරපතළම කාරණයක් වන්නේ අනාගතයේදී තමන්ට දේශපාලනික වශයෙන් අභියෝගයක් විය හැකි නායකයන්ට නඩු පටලැවීමයි. හැබැයි මේ ආණ්ඩුවේ ඇමැතිවරයකුගේ අතින් පහුගියදා හැප්පිලා සිවිල් ආරක්ෂක භටයෙක් මැරුණා. කෝ නීතිය? මේ ආකාරයට තිබෙන ප්‍රශ්න ගණනාවක් මුල් කරගෙන තමයි අපි අරගල කරන්නේ.

ප්‍රශ්නය:- ඔබ එසේ කීවත් ආර්ථික අංශයෙහි බදු කප්පාදුව ගැන ඇතැම් පාර්ශ්ව කතා කරන්නේ ප්‍රසාදයෙන්. සියල්ලටම ඇඟිල්ල දිගු කළ හැකි ද?

පිළිතුර:- මේ ගොල්ල කළේ මොකක් ද? බලයට පත්වුණු ගමන් මාස එකහමාරක් පාර්ලිමේන්තුව වැහුවා. නොවැම්බර් 16 ඡන්දෙ තිබුණේ. ජනවාරි 3 වෙනතුරු පාර්ලිමේන්තුව වහලා. රටේ මූල්‍ය පාලනය අයිති පාර්ලිමේන්තුවට. රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් ඔය ගත්තා කියන තීන්දු කොළේ වහලා ගැහිල්ලක්නේ. එක පනතක් පාර්ලිමේන්තුවට ගේන්නේ නැතිව මාධ්‍ය හමු තියලා කතා කිව්වා. උදාහරණයකට රජයේ හා පුද්ගලික අංශ සේවකයන්ගේ උපයන විට ගෙවීමේ බද්ද ජනවාරි 1 සිට අඩු කරනවා කිව්වා. හැබැයි ඒක මේ මාසේ කරන්න බෑ. මොකද ඒක ගැසට් කරල කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පාර්ලිමේන්තුවට පනතකින් ඉදිරිපත් කරන්න ඕනේ. බහුතර ජනතාව අනුමත කළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඕනෑම පනතක් ගේන්න කියලා විපක්ෂය විදියට අපි කිව්වා. හැබැයි අද වෙනතුරු ඒක කළේ නෑ. පාර්ලිමේන්තුව නැවත රැස්වෙන්නේ අඟහරුවාදාට (21). මේ මාසෙට පාර්ලිමේන්තුව රැස්වෙන අවසාන සතිය. හැබැයි න්‍යාය පත්‍රයේ ඒක නෑ. එතකොට මේ කරන්නේ තනිකර බොරුවක්. අපි මේ දේවල් ජනතාවට හෙළි කරනවා.

ප්‍රශ්නය:- ඒත් දෙමළ ජාතික සන්ධානය කියන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය මත ආණ්ඩුව බාර දීලා වැඩේ වරද්ද ගත්තේම එක්සත් ජාතික පක්ෂය කියලයි?

පිළිතුර:- ඒ චෝදනාව පිළිගන්න බෑනේ. හැට නවලක්ෂයක් බහුතර ජනතාවක් ඒ අයව තෝරාගත්තට පස්සේ ඒක කරන්න බෑ. එහෙම නම් 2015 දී අපි හතලිස් ගාණක් තියාගෙන මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වුණාම ආණ්ඩුව බාරගත්තේ කොහොම ද? එහෙම බෑ. මොනම හේතුවක් නිසාවත් ජන මතයට විරුද්ධ වෙන්න බෑ.

ප්‍රශ්නය:- ආණ්ඩුව බාර දුන්නත් මහ මැතිවරණයකට යන්නට අවස්ථාව නොදීමෙන් එ.ජා.ප.ය දේශපාලන වරදක් කර ඇති බවට ඇතැම් සිවිල් සංවිධාන චෝදනා කරද්දී ආණ්ඩුව පැත්තෙන් කියන්නෙත් බහුතර බලයක් නැතිව ආණ්ඩුකරණය අපහසු වෙලා කියලයි. කතාව ඇත්ත නේද?

පිළිතුර:- ඇත්ත වශයෙන්ම අපි අවුරුදු හතරහමාරක් ආණ්ඩු කළේ බහුතර බලයක් තිබිලා ද? නෑනේ. ඒත් අපි මැතිවරණ කොට්ඨාසයක සංවර්ධනයට රුපියල් ලක්ෂ තුන්දාහක් දුන්නා. අලුතින් සමෘද්ධිය දුන්නා. රජයේ පත්වීම් අලුතින් දුන්නා. නොයෙක් ව්‍යාපෘති කළා. බඩු මිල අඩු කරලා තෙල් මිල පාලනය කළා. ගෑස් මිල අදටත් අඩුයි. ගර්භනී මාතාවට පෝෂණ මල්ලක් දීම ඇතුළුව ගොඩක් වැඩ කළා. මෙතන තිබෙන්නේ කළමනාකරණ නොහැකියාව. ලංකා ඉතිහාසයේ ලොකුම ණය වාරිකය ගෙවන්න තිබෙන්නේ මේ අවුරුද්දෙයි. ඩොලර් බිලියන 4.8ක්. මේක ගෙවන්න මේ අයට ක්‍රමයක් නෑ. දන්නේ නෑ. මේ අය ආර්ථික කළමනාකරණය කියලා දන්නේ ගිනි පොලියට ණය පිට ණය ගන්නයි. ඉඩම් ටික චීනට විකුණන්නයි විතරයි. මේ අය දැන් උත්සාහ කරන්නේ පොලිස් රාජ්‍යකට යන්නයි.

ප්‍රශ්නය:- ස්ටෑන්ඩඩ් පුවර් දර්ශකය අනුව ලංකාව තවදුරටත් ණය ගැනීමට නුසුදුසු රටක් බවට පත්ව තිබෙද්දී ආණ්ඩුව නැවතත් විදේශ ණයක් ලබාගැනීමේ සූදානමක් ගැන වාර්තා පළවෙනවා. එ.ජා.ප.යත් ණය ගත්තා. ණය ගෙවන්න ණය ගන්නෙ නැතිව බැරි තැනට රට වැටිලා කියලා පිළිගන්නවා ද?

පිළිතුර:- දියුණු වෙමින් පවතින රටක් හැටියට යම් ප්‍රමාණයක ණය ගැනීමේ අවශ්‍යතාවක් තිබෙනවා. හැබැයි ණය ලබාගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි තිබෙනවා. දැන් ගමේ පොලී මුදලාලි කෙනෙකුගෙන් වුණත් ගිනි පොලියට ගත්තොත් මොකද වෙන්නේ? ඉන්න ගේත් සින්න වෙනවා. හැබැයි බැංකුවකින් ගත්තොත් වාරිකේ සහන පොලියට ලැබෙන්නේ. මූලික දේ වන්නේ ආධාර ලබාගැනීමට තිබෙන හැකියාවයි. ණය ගන්නවා නම් සහන කාලයක් යටතේ දීර්ඝ කාලීනව ගෙවන්න අවස්ථාවක් ලැබිය යුතුයි. හැබැයි දැන් අපට ඒ තත්ත්වය අහිමි වෙලා නිසා ආණ්ඩුව ගේ උකස් කරලා පොලී මුදලාලි ළඟට යන්නයි හදන්නේ. අපි විරුද්ධ ඒකටයි.

ප්‍රශ්නය:- මැතිවරණයකදී දිස්ත්‍රික්කයක මහජන නියෝජිතයන් තෝරා පත් කරගැනීමේදී ලබාගත යුතු අවම ඡන්ද සීමාව 5% සීමාව දක්වා එ.ජා.ප.ය කළ ව්‍යවස්ථා වෙනස නැවත වෙනස් කිරීමට විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා කරන යෝජනාව ගැන එ.ජා.ප.යේ හා මුස්ලිම් ජාතික මන්ත්‍රීවරයකු හැටියට දරන්නේ කවර මතයක් ද?

පිළිතුර:- මෙහෙමනේ. මේ පාර්ලිමේන්තුව මාර්තු 3 විසුරුවනවා කියලා ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා. එතකොට මේ මාසෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් නීතියක් බවට පත් කරන්න බෑ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකට ඡන්ද විමසන්නේ නෑ. ඒක පනතක් විදියට දානවා නම් කැබිනට් මණ්ඩලය අනුමත කරලා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට දාලා එන්නම මාස හත අටක් යනවා. මේක බොරු විජ්ජාවක්. මොකද විජයදාස මහත්තයා මාරුවෙන් මාරුවට දෙපැත්තට පැනලා ඉවර වෙලා ඉන්නේ. මේක තනිකරම මනාප ගන්න දාපු බොරු ෂෝ එකක්.

ප්‍රශ්නය:- හැබැයි මහජන නියෝජිතයකු හැටියට ඔබට ඒ ගැන අදහසක් තිබිය යුතුයි නේද?

පිළිතුර:-  ජාතිකත්වය මත පදනම් වූ දේශපාලන පක්ෂවලට මම එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි. මේ රටට ද්වි පාක්ෂික හෝ ත්‍රෛ පාක්ෂික ක්‍රමය හොඳයි. මේ බෙදීම්වලට මූලික හේතුව මුස්ලිම්, දෙමළ, සිංහල ආදී වශයෙන් දේශපාලන පක්ෂ ක්‍රමයයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ එදා සිටම සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ලන්ටම ඉන්න පුළුවන් පක්ෂයක්. අතීතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එහෙමයි. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂවල නියෝජනයන් මේ රටට අවශ්‍ය යැයි මම විශ්වාස කරනවා. පාර්ලිමේන්තුවේ සිට ප්‍රාදේශීය සභාව දක්වා ඒ මතවාදය දරන මිනිස්සු අවශ්‍යයි. ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයකට පාර්ලිමේන්තු නියෝජනය අහිමි කරනවා නම් ඒ වැඩේට මම පුද්ගලිකව විරුද්ධයි.

ප්‍රශ්නය:- රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපයෙන් පක්ෂයේ ඡන්ද ව්‍යාපාරයට විශාල බලපෑමක් වූ බව කියමින් රනිල් වික්‍රමසිංහ මහතාම ලිපියක් යොමු කරද්දී රාමනායක මන්ත්‍රීවරයා කියන්නේ හොරු දෙගොල්ල එකතු වෙලා තමාව හිරේ දැමූ බවයි. වැස්ස දරුණු වෙද්දී රන්ජන් පක්ෂයට අලවංගුව වුණා ද?

පිළිතුර:- එහෙම හිතන එකේ වරදක් නෑ. මොකද මේ හඬ පට එන්නේ හරිම සංවිධානාත්මකව. පොලිසියට නම් මේවා බාරදුන්නේ දේශපාලකයන්ගේ හා මාධ්‍ය ආයතන අතට එන්නේ කොහොම ද? මේක විශාල දේශපාලන කුමන්ත්‍රණයක්. ඡන්දෙත් එක්ක තව ඒවි. හඬ පටිගත කළා කියලා හිරේ දාන්න පුළුවන්දැයි මම දන්නේ නෑ. ඒත් ඔබ මිතුරකු හෝ මාධ්‍යවේදියකු විදියට කතා කරන එක මම රෙකෝඩ් කිරීම සීලාචාර සමාජයට ගැළැපෙන්නේ නෑ. මම ස්පීකර් ඔන් කළත් ඔබට කියන්න ඕනේ. ඒ අර්ථයෙන් ගත්තම රන්ජන් රාමනායක මහතාගේ අරමුණ හොඳ එකක් වෙන්න පුළුවන්. ඒත් ඔහු කළේ ශිෂ්ටසම්පන්න සමාජයකට නොගැළැපෙන සදාචාර විරෝධී වැඩක්.

ප්‍රශ්නය:- රනිල් වික්‍රමසිංහගේ කාලසටහනට තවදුරටත් අපි වැඩ කරන්නේ නැතැයි සජිත් පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨයකු වූ රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා පවසනවා. ඇත්තටම එහෙම වැඩ කරන්නේ නෑ කියලා ඊළඟට මොකක් ද කරන්නේ?

පිළිතුර:- මම මැද ඉඳලා කතා කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ශත වර්ෂ කාලක් පක්ෂ නායක වෙලා හිටියත් පක්ෂය බලයේ හිටියේ වසර කිහිපයයි. ලෝක ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියමින් රටට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න හදන පක්ෂයක් විදියට මුලින්ම පක්ෂෙ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න එපැයි. ඒත් අපේ පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය දැන් පිරිහිලා. එ.ජා.ප.යේ හවුල්කාර පක්ෂ සමග සාකච්ඡා කරලා ජනතාව බලාපොරොත්තු වන විකල්පයකට යන්නයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ.

ප්‍රශ්නය:- ඒ කියන්නෙ වෙනම පක්ෂයක්?

පිළිතුර:- මම ප්‍රාර්ථනා කරනවා එහෙම නොවේවා කියලා. ජනමතයට ඇහුම්කන් දීලා මේක විසඳුවොත් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට එරෙහිව ප්‍රබල සටනක් දිය හැකි දක්ෂයන් කණ්ඩායමක් මේ පක්ෂයේ ඉන්නේ. එතකොට මේක බෙදිලා විසිරිලා යනවා කියන්නේ ඒ පාඩුවත් මේ රටේ ජනතාවටයි. සමහරවිට සජිත් ප්‍රේමදාස මහතා අගමැති වෙන ආණ්ඩුවකට ගෝඨාභය රාජපක්ෂ මහතාත් කැමැති වේවි. මොකද අද වෙද්දී රාජපක්ෂ පවුලේ විශාල පිරිසක් රාජ්‍ය ආයතනවලට පත්කරලා තිබෙනවා. මේවා මාධ්‍යවල යන්නේ නෑ. මහ මැතිවරණයේදී රාජපක්ෂවරුන් අටදෙනෙක් දිස්ත්‍රික්ක අටකින් තරග කරන්න නියමිතයි. අපි දන්න තරමින් ජනාධිපතිතුමා මේවාට කැමැති නෑ. එතුමා යමක් කරන්න උත්සාහ කරන බව අපි කුහක නොවී කිව යුතුයි. හේතුව එතුමා දේශපාලනඥයෙක් නොවීමයි. දූෂිතයන්ට තනතුරු දීමට එතුමා කැමැති නැතත් පවුල් බලය ඇතුළේ හිරකාරයෙක් වෙලා. සජිත් ප්‍රේමදාස මහතා වැනි කෙනකු අගමැති වුණොත් එක්සත් ජාතික පක්ෂය පාලනය කිරීමේ හැකියාව එතුමාට තිබෙනවා. මිලිටරි නායකයකු විදියට එතුමාට දේශපාලකයන්ට ගන්න බැරි තීන්දු ගන්න පුළුවන්. සිංගප්පූරුව, මැලේසියාව වගේ රටවල් දියුණු කළ හැටි ගැන අපි කරනවා නම් එවැනි ගමනකට අවශ්‍ය දරදඬු තීන්දු ගන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට පුළුවන්. රට වෙනුවෙන් එවැනි දරදඬු තීන්දු ගත යුතුයි. අපි ඊට සහාය දෙනවා. ඒත් මේ පොදුජන පෙරමුණ එක්ක ඒක කරන්න බෑ.

ප්‍රශ්නය:- ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඒකාධිපතියෙක් ආඥාදායකයෙක් කියලා පතුරු ගහපු විදියට මේක හතරබීරි කතාවක් නෙවෙයි ද? එ.ජා.ප.යේ මතවාදය එක්ක ගත්තම මේක ගැළැපෙනවා ද?

පිළිතුර:- ගැළැපෙනවා. සුදු වෑන් දාලා මිනිස්සු උස්සන්නේ නැතිව මාධ්‍ය නිදහස නැති කරන්නේ නැතිව සොඳුරු ඒකාධිපතියෙක් වෙන්න පුළුවන්නේ. උදාහරණයකට කිසිදු දූෂිතයකුට ඇමැතිකමක් රාජ්‍ය ආයතන තනතුරක් දෙන්නේ නෑ. හොරකම් කරලා අහුවුණොත් තරාතිරම නොබලා ඉවත් කරනවා. උදාහරණයකට අර වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුවට ගියපු වැඩේ හොඳයි. දැන් පොලිස් රථවාහන අංශය කිසිම සන්තෝසමක් ගන්නේ නෑ.

ප්‍රශ්නය:- ඔබ ඔහොම කිව්වත් වජිර අබේවර්ධන කියන එ.ජා.ප ජ්‍යෙෂ්ඨයා චෝදනා කරන්නේ පක්ෂයට පිටින් හා මෑත කාලයේ ආ කණ්ඩායම් වසර විස්සක් තිස්සේම උත්සාහ කළේ විරුද්ධවාදීන් පරාජය කිරීම වෙනුවට නායකයා පාගා දමන්න කියලයි. එහෙම බැලුවොත් චෝදනාව හරි නේද?

පිළිතුර:- එ.ජා.ප.ය විපක්ෂයේ සිටිද්දී සිරිකොතේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට වාඩිවෙලත් දුරකථනයෙන් ඇමතුමක් අරගෙන එතන කතාව එවක ආණ්ඩුවේ ප්‍රධානීන්ට අහන්න දීපු අය ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රීකමවත් නැතිව ඇමැති ආරක්ෂක අංශයෙන් ආරක්ෂාව ඇතුළු සියලු වරප්‍රසාද භුක්ති විඳපු අය ඉන්නවා. ඊට පසුව අපේ ආණ්ඩුව ආවාම ඒකට කෘතගුණ සලකන්න හොරු රැකපු ඩීල්කාරයන් ඉන්නවා. ඩීල්කාරයෝ බලන්නේ ඩීල් එකම විතරයි. පක්ෂය හෝ පාක්ෂිකයා ගැන ඩීල්කාරයන්ට හැඟීමක් නෑ. හැබැයි ජනතාව දැන් වෙනස්. එන මැතිවරණයේදී පක්ෂ දෙකේම ඉන්න ඒ ඩීල්කාරයන්ට ජනතාව උත්තර දෙනවාමයි. ඒ නිසා ඔය ප්‍රශ්නයට ජනතාව උත්තර දේවි.

සංවාද සටහන
බිඟුන් මේනක ගමගේ



අදහස් (7)

රට හදන්න දරදඬු තීන්දු ගන්න ඕනෑ

janahitha Monday, 20 January 2020 06:30 AM

දරදඬු තීන්දු අරන් බැංකුව කඩලා අපි මහපාරට දැම්මා... මම හරිද මන්දා

:       0       145

janahitha Monday, 20 January 2020 06:38 AM

ලංකා ඉතිහාසයේ ලොකුම ණය වාරිකය ගෙවන්න තිබෙන්නේ මේ අවුරුද්දෙයි. ඩොලර් බිලියන 4.8ක්. මේක ගෙවන්න මේ අයට ක්‍රමයක් නෑ. දන්නේ නෑ. මේ අය ආර්ථික කළමනාකරණය කියලා දන්නේ ගිනි පොලියට ණය පිට ණය ගන්නයි. ඉඩම් ටික චීනට විකුණන්නයි විතරයි. මේ අය දැන් උත්සාහ කරන්නේ අධිකරණ රාජ්‍යකට යන්නයි මේ ඔක්කොම අපිත් කලා නේ

:       104       1

ලැවොයිසියර් Monday, 20 January 2020 06:51 AM

මරික්කාර්ගේ පිළිතුරු සහ පැහැදිළි කිරීම් ඉතා හොඳයි. පක්ෂෙටත් හොඳයි, රටටත් හොඳයි.ගෝඨාභය ජනපති සජිත් අගමැති. ඒකත් හොඳයි.

:       168       2

sira Tuesday, 21 January 2020 09:57 AM

කොහෙන් හරි පුටුවක ඇළවෙන්න බලාගෙන ඉන්න යු.එන්.පී කාරයෝ දැන් කියනවා සජිත් ගෝඨා හුටපටයක්, ගෝඨා යනු සිරිසේන කෙනෙක් නොවන බව දන්නා යු.අැන්.පි අපිට එපා.

:       0       79

Bamunuarachchi Monday, 20 January 2020 10:20 AM

ගොනා හැරෙන්නේ පොල් පැළේ කන්නලු......................මරික්කාර් හැරෙන්නේ මොකටද?

:       0       57

ලුම්බිණි Tuesday, 21 January 2020 12:45 AM

දරදඬු තීන්දු දැනටම අරගෙන තියෙන්නේ. පන්තියක ළමයි ගණන 40 ට වැඩිකරන්න.

:       1       1

helaya Tuesday, 21 January 2020 03:36 AM

කියන දෙයක් අහන්නම් බෝම්බ විතරක් එපා රටට

:       1       34

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 142 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 280 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 351 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 86 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 527 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 290 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site