IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රට දැන් අරාජිකයි

ත්‍රස්තවාදය වෙනුවෙන් හඬ නැගීම, යහපාලනය කිළිටි වූ හැටි, සංහිඳියාව, සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම, තෙල් මිල, පළාත් සභා ඡන්දය කල්යාම, ආර්ථික වැඩ පිළිවෙළ යනාදී කරුණු සම්බන්ධයෙන් එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සමග කළ සාකච්ඡාවක් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.

ප්‍රශ්නය:- යළි ත්‍රස්තවාදය ඉල්ලන තැනට ආණ්ඩුවේ ඇමැතිවරු පත්ව සිටින්නේ ඇයි?

පිළිතුර:- රට අස්ථාවරයි කියා සමාජයේ හැමෝටම දැනී තිබෙනවා. රටේ නායකත්වයක් නෑ. රට අරාජිකයි කියන මානසිකත්වය ඇති ව තිබෙනවා. අපි ඒක තේරුම් ගන්න ඕන. දකුණේ සාමාජයේ තරුණ අසහනයක් විශාල වශයෙන් ඇති වී තිබෙනවා. ඒක විවිධ ආකාරයට මතුවෙන්න පුළුවන්. රටේ එක පැත්තක හිට්ලර් ගැන කතා කරනවා. තවත් පැත්තක ප්‍රභාකරන් ගැන කතා කරනවා. මේවා දෙස බැලුවාම රට විශාල අරාජිකභාවයක තිබෙන බව පිළිගන්න වෙනවා.

ප්‍රශ්නය:- එතකොට යහපාලනය කියන්නේ රට අරාජික වීමක් ද?

පිළිතුර:- යහපාලනය ගැන අපි ගෙනා බලාපොරොත්තු සමාජය තුළ බිඳවැටී තිබෙනවා.

ප්‍රශ්නය:- එවැනි තත්ත්වයක් නිර්මාණය වූයේ ඇයි?

පිළිතුර:- මුල්‍ය පරිපාලනය සම්බන්ධයෙන් ඇති වූ ප්‍රධාන ගැටලු මෙයට බලපෑවා. මේ සමාජයේ තිබූ මතය මහ බැංකු සිද්ධියත් සමග විශාල වශයෙන් බිඳ වැටුණා. මේ සම්බන්ධ පළවූ මාධ්‍ය වාර්තා සමග ර​ෙට් මහ බැංකුව කොල්ලකාපු අයට රට ගෙනියන්න පුළුවන් ද කියන මතය ගොඩනැගුණා.

ප්‍රශ්නය:- ඔබ වහන්සේ කියන්නේ මහ බැංකු වංචාවෙන් පමණක් යහපාලනය කිළිටි වුණා කියල ද?

පිළිතුර:- ඒක ප්‍රධානම කාරණයක්. වසර තුනකට අධික කාලයක් මාධ්‍යයේ ප්‍රධාන පුවත් සපයන ප්‍රවාහයක් බවට මේ සිද්ධිය පත්වුණා. අැලෝසියස් කියන නම පවා සාමාන්‍ය ජනතාව අපරට ගිය නමක් බවට අද පත්වෙලා.

ප්‍රශ්නය:- උතුරේ වගේම දකුණේ සමාජයත් අනාරක්ෂිත බවට චෝදනා නැගෙන්නේ ඔය කියන කාරණා නිසාමද?

පිළිතුර:- ර​ෙට් නායකත්වයක් හරියට නැති වුණාම ප්‍රශ්න එනවා. පොලිසිය, රජයේ නිලධාරීන් යනාදී සියලු දෙනා තමන්ගේ වගකීම් ඉටු නොකරන තත්ත්වයට පත්වුණා. යහපාලනයට ඇති බිය නිසාම සමහර නිලධාරීන් කිසිවක් නොකරන තත්ත්වයට පත්වෙලා. මේ අය යහපාලනය වැරදියට අරගෙන තිබෙනවා. ර​ෙට් රාජ්‍ය නායකයා කවුද කියන ප්‍රශ්නයට අනෙක් පැත්තෙන් ජනතාව මුහුණ දෙනවා.

ප්‍රශ්නය:- මෙවැනි තැනකට රට තල්ලු වුණේ කොහොමද?

පිළිතුර:- කතාවට ප්‍රජාතන්ත්‍රවාදය, සාකච්ඡාවෙන් සම්මුතියෙන් වුණාට අත්ථනෝමතිකව පුද්ගලයන් තුන් හතර දෙනකුගේ ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත්ව තිබෙනවා.

ප්‍රශ්නය:- ඔබ වහන්සේ මේ චෝදනා කරන්නේ ආණ්ඩුවේ කාටද?

පිළිතුර:- හොඳ හෝ නරක ගිය ආණ්ඩුවේ වගකීම බැසිල් රාජපක්ෂ මහත්තයා ගන්න ඕන වගේම මේ ආණ්ඩුවේ වගකීම අගමැතිතුමා ඇතුළු එතුමා යටතේ ඉන්න තුන් හතර දෙනා ගන්න ඕන. හොඳ හෝ නරක සමාජයේ ඇති වුණා නම් ඒ සියල්ලටම වගඋත්තරකරුවන් බවට ආණ්ඩුවට වඩා මේ අය පත්ව සිටිනවා.

ප්‍රශ්නය:- මේ තත්ත්වය නිර්මාණය වුණේ ජනාධිපති ධුරය දුර්වල කරන්න යාමේ ප්‍රතිඵලයක් හැටියට නොවේද?

පිළිතුර:- මම එහෙම සිතන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නිසා මෙහෙම වුණා කියා කියන්න බැහැ. සෑම විටම ජනාධිපතිවරයා පත්වුණේ ස්ථාවර පක්ෂයකින්. මෙවර ජනාධිපති පත්වුණේ එහෙම පක්ෂයකින් නෙමෙයි. ඔහුට පසුව පක්ෂයේ බලය ලැබුණත් ඒ ජනමතය තිබුණේ නැහැ. පසුගිය පළාත් පාලන ඡන්දයේ දී ඒක හොඳටම පෙනුණා. ශ්‍රීලනිප ජනමතය තිබුණේ මහින්ද මහත්තය සමගයි.

ප්‍රශ්නය:- සංහිඳියාව වෙනුවෙන් ආණ්ඩුව ප්‍රමුඛතාව දෙන බව කිව්වත් රටේ යම් යම් සිද්ධි වාර්තා වෙන්නේ ඇයි?

පිළිතුර:- සංහිඳියාව සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙනා වැඩසටහන් ඔක්කොම අසාර්ථකයි. ඒක මගේ අදහස. මහ බැංකු සිද්ධිය වගේ ප්‍රබල සිද්ධි මතුවුණාට පසුව එවැනි කරුණු සම්බන්ධව තිබෙන වුවමනාව බිඳ වැටී තිබෙනවා. ආණ්ඩුව යෝජනා කරන දකුණේ ලිබරල් ආර්ථික ක්‍රමය තුළ සංස්කෘතික අාධ්‍යාත්මික කඩා වැටීම ඔවුන්ට වැදගත් නැහැ. එනිසා මේවා ගැන කතා කරන්නෙවත් නැහැ. ආණ්ඩුවට එහෙම දැක්මක් නැහැ. සංස්කෘතිය, සමාජය නව ලිබරල් ආර්ථිකය යටතේ කුඩු පට්ටම් වෙලා යන එක හොඳයි කියන මානසිකත්වය තිබෙන අයත් ආණ්ඩුවේ ඉන්නවා. අද තිබෙන්නේ නව ලිබරල් ආර්ථිකයක්. පසුබිම සකස් වී තිබෙන්නෙත් ඒ වෙනුවෙන්.

ප්‍රශ්නය:- මේ වැරැදි සම්බන්ධයෙන් ඔබ වහන්සේලා ආණ්ඩුවට අනුශාසනා කරන්නේ නැතිද?

පිළිතුර:- ආගමික අනුශාසනාවලට ලංකාවෙ පාලකයන් සවන් දුන්නා කියා මම නම් කියන්නේ නැහැ. ඉතිහාසයේ ඇසුවෙත් නැහැ. දැනුත් අසන්නේ නැහැ. එහෙම අසන තත්ත්වයට පාලකයන් පත්කිරීමට අවශ්‍ය ජනතා ශක්තිය ගොඩනගාගෙන නැති කම අපේ අඩුවක්. ආණ්ඩුවට බලපෑමක් කළ හැකි ජනතාව මත පදනම් වූ විශාල ජනතා ව්‍යාපාරයක් නැතිකමේ ප්‍රශ්නයක් තිබෙනවා. එනිසා සමාජ සංස්කෘතික මනුෂ්‍යත්වය සිතන, පොදුජන දුක්වේදනා ගැන සිතන සියලු දෙනා එක්කරගත් මහා සමාජ බලයක් අපි ගොඩනගන්න ඕන. පාලකයන් දණ ගසන්නේ එම බලය ඉදිරියේ පමණයි.

ප්‍රශ්නය:- ඔය කියන බලය විපක්‍ෂය වටා ගොඩනැගෙමින් තිබෙනවාද?

පිළිතුර:- එහෙම මතයක් විපක්ෂයට තිබෙනවා කියා මම සිතන්නෙ නැහැ. ඔවුන්ට තිබෙන්නේ සම්පූර්ණ විරෝධාකල්පයක්. සමාජයේ තිබෙන කිසිදු ප්‍රශ්නයකට ඔවුන් හරියට ආමන්ත්‍රණය කරනවා කියා මම සිතන්නේ නැහැ.

ප්‍රශ්නය:- නව ලිබරල් ආර්ථිකය පිළිබඳ ඔබ වහන්​ෙස් ප්‍රකාශ කළා. මතභේදයට ලක්ව ඇති සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම එහි කොනක්ද?

පිළිතුර:- මේ ගිවිසුම පිටු එක්දහස් ගණනක ලියැවිල්ලක්. මෙවැනි ලොකු ලියැවිල්ලක් ඉදිරිපත් කරන්න කලින් අඩුම තරමින් මැති ඇමැතිවරුන්ට දී මේ ගැන සාකච්ඡා කළ යුතුව තිබුණා. කැබිනට් එකේදී මේක සම්මත වුණා ද නැද්ද කියා නිශ්චිතභාවයක් නැහැ. කැබිනට් එ​ෙක්දී මේක විධිමත්ව සාකච්ඡා කර නැහැ. සම්මත වුණා කියා බොහෝ අය කියනවා. එහෙමම කිව්වට මගේ අදහස නම් මේක කැබිනට් එකේ සම්මත වුණේ නැති බවයි. ඒක ලොකු වරදක්. තිබෙන්නේ යහපාලනයක් නම් මෙවැනි බරපතළ ගිවිසුමක් එනවිට ආණ්ඩුවේ පාර්ශව තුළ සහ විපක්ෂයේ අය අතර පවා ඒ ගැන සාකච්ඡා වෙන්න ඕන. රට දන්නේ නැතිව ජනතාවගේ අදහස් විමසන්නේ නැතිව මෙවන් ගිවිසුමක් අත්සන් කිරීම ලොකු වරදක්.

මෙහි අන්තර්ගතය ගැන විවිධ අය විවිධ අදහස් කියනවා. මේක රටට වාසිදායක බව ආණ්ඩුව කියනවා. එහෙත් ලෝක ප්‍රවණතාව අනුව නව ලිබරල් ආර්ථිකයට එරෙහිව ප්‍රධානම අත ඔසවන්නා බවට ඇමෙරිකාව පත්ව සිටිනවා. චීන නිෂ්පාදනවලට බදු වැඩි කරන්න ට්‍රම්ප් කතා කරනවා. එහෙම පසුබිමක වසර පහක් තුළ අපේ බදු ලිහිල් කරන්න කතා කරනවා. සිංගප්පූරුව කියන්නේ භාණ්ඩ නිපදවන රටක් නෙමේ. ඒක වෙළෙඳ පොළක්. ඒ වෙළෙඳ පොළට අපනයනය කරන්න අපට පුළුවන්. බොහෝ භාණ්ඩවලට බදු නැහැ. එහෙනම් මෙවන් වෙළෙඳ ගිවිසුමක් අපේක්ෂා කළේ ඇයි? මේ හරහා විශාල වශයෙන් ලංකාවට භාණ්ඩ පැමිණීමේ ඉඩකඩක් තිබෙනවා. සිංගප්පූරු සමාගම් හරහා මේක පහසුවෙන් කෙරන්න පුළුවන්. ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම අනුව තේකොළ අපනනය කළ හැකි වුවත් අපට ඒකට ඉඩ දෙන්නේ නැහැ. අපි ඉන්දියාවට යැව්වේ පුවක්. ලංකාවේ පුරවැසියෙක් ඉන්දුනීසියාවෙන් පුවක් ගෙන්වා ඉන්දියාවට සැපයුවා. බදු සහනයක් තිබුණාට ලංකාවෙ පුවක් අපනයනය කළේ නැහැ. මේ ආකාරයට සිංගප්පූරු ගිවිසුම හරහා වෙනත් රටවල නිෂ්පාදන ලංකාවට එන්න පුළුවන්.

මේ නිසා ලංකාවේ ගොවි නිෂ්පාදන තමන් කඩා වැටෙන්න පුළුවන්. සිංගප්පූරු ගිවිසුම හරහා අපේ නිෂ්පාදන සම්පූර්ණයෙන් නැති වෙන්න පුළුවන්. අපේ සාගරය පරිහරණය කිරීමට සම්බන්ධ රටේ ස්වාධිපත්‍ය පිළිබඳ විශාල ප්‍රශ්නයක් තිබෙන බව දැනට මතුව තිබෙනවා. ඒ අතර මේ ගිවිසුම සම්මතයි කියා සැලකිය යුතු භාණ්ඩ ගණනක බදු අඩු කරන්න කියා මේ වන විට මුදල් අමාත්‍යාංශය වරායට ලිපියක් ගොස් තිබෙනවා. මේක ඉතාම නරක තත්ත්වයක්. එ්නිසා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම රටට ඉතාම අහිතකර ලෙස රටේ ජාතික නිෂ්පාදනය බිඳ වැටීමට, පාරිසරික ප්‍රශ්න නිර්මාණයට බලපානවා. කුණු ප්‍රතිචක්‍රීකරණ මහා ව්‍යාපෘති මේ හරහා ලංකාවට ගේන්න පුළුවන්. එවැනි කරුණු මේ ගිවිසුමට ඇතුළත්. ලංකාව කුණු ශුද්ධ කරන ලෝක මධ්‍යස්ථානය විය යුතු නැහැ. පිටරට කැළි කසළ ගෙනත් සල්ලි හම්බකරන්න ඕන නැහැ. මෙවන් බරපතළ තත්ත්වයක් තිබෙනවා.

විවෘත ආර්ථිකය හඳුන්වාදුන් ජේ.ආර්. ජයවර්ධනත් එකල වෙළඳ ඇමැති ලලිත් ඇතුලත් මුදලිත් දේශීය නිෂ්පාදන ගොවි නිෂ්පාදන ආරක්ෂා කර ගැනීමට විශේෂ ආරක්ෂක බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නා. ජාතික නිෂ්පාදනය රැක ගැනීමට එදා ගෙනා බදු සියල්ල ඉවත්වීමේ ප්‍රශ්නයට සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සමග මුහුණ දෙන්න සිදුවන පසුබිමක් ඇති වී තිබෙනවා. මේවාට ආණ්ඩුව නිසි පිළිතුරු දෙන්නේ නැහැ. ඉදිරි දේශපාලනය තීරණය වන සාධකයක් බවට මෙය පත්ව තිබෙනවා. වෛද්‍යවරුන්ගේ සංගමය මෝඩයෝ නීතිඥ සංගමයට මොළේ නෑ මොළේ තිබෙන්නේ ආණ්ඩුවට පමණයි කීම උත්තරයක් නෙමෙයි. මෙහි අනතුරු සෑම අංශයකින් ආණ්ඩුවට පෙන්වා තිබෙනවා. එනිසා ආණ්ඩුව නිහතමානී වී මේ ගිවිසුම ගැන විධිමත් විවෘත සාකච්ඡාවක් කරන්න ඕන. නව ලිබරල් පාරෙ යනවා කියන්නේ අපේ රට බංකොළොත් වෙච්ච, ගොඩ එන්න බැරි අගාධයකට රට ගෙනයාමක්. එජාතීන්ගේ සංවිධානයේ කරුණු 17 අනුව කටයුතු කළා නම් ලෝකයේ ගෞරවාන්විත රටක් බවට පත්වීමේ ඉඩකඩ අපට තිබුණා. ඒ අවස්ථාව අහුරා ගත්තා. සිංගප්පූරු ගිවිසුමෙන් කරන්න යන්නේ ඒ කරුණු 17ට විරුද්ධ කාරණා

ප්‍රශ්නය:- ඒ කියන්නේ ආණ්ඩුව ජනතාවට කොළේ වහල ගහලද?

පිළිතුර:- මේක කලබලයට අැතිකරගත් ගිවිසුමක්. මෙවැන්නක් ගැන රටේ ජනතාව දැනුවත්ව සිටිය යුතුයි. ජනතාව නොදැන මෙහෙම ගිවිසුම් අත්සන් කරන්න බැහැ. දැන් මේක ජාතික ආණ්ඩුවක් නෙමෙයි. යම් තරමකට හෝ ජාතික ආණ්ඩුව තිබුණා කියන කාලයක් තිබුණා නම් ඒ කාලෙවත් එතන සිටි අයට අදහසක් තිබුණේ නැහැ. විධිමත් සාකච්ඡාවක් වුණෙත් නැහැ.

ප්‍රශ්නය:- ආණ්ඩුව රෑට වැඩි කරන තෙල් මිල ජනාධිපතිවරයා උදේට අඩු කිරීම බල අරගලේ ප්‍රතිඵලයක් ද?

පිළිතුර:- සතිපතා කැබිනට් එක රැස්වෙනවා නම් තෙල් මිල ගැන එතැන කතා කරන්න පුළුවන්. එහෙම තියෙද්දී තෙල් මිල වැඩි කරන්න මුදල් අමාත්‍යාංශය තනි තීන්දුවකට යනවා නම් ඒක බරපතළ ප්‍රශ්නයක්. රට තුළ කැකෑරෙන ප්‍රශ්නයක් අසහනයක් තිබෙද්දී බදු ප්‍රශ්නයකට උත්තරයක් ලෙස එක ලියුමකින් තෙල් මිල වැඩි කරන්න යනවනම් ඒක බරපතළයි. ජනපතිවරයා කළේ ජනතාවගේ පැත්තෙන් එ් ප්‍රශ්නයට පිළිතුරු දීමයි. මේවා හරහා රට අද සම්පූර්ණයෙන් විහිළුවක් බවට පත්වෙලා.

ප්‍රශ්නය:- පළාත් සභා ඡන්දයත් කල්යන ලකුණු පහළ වෙනවා. පළාත් පාලනයේ දී වෙගේම පළාත් සභා ඡන්දයේ දී ජනතා අයිතිය උදුරාගන්න ද ආණ්ඩුව කැසකවන්නේ?

පිළිතුර:- පළාත් සභා කල් දැම්මේ කරුණු කීපයක් නිසා.

ඡන්ද ක්‍රමය වෙනස් කර එකවර ඡන්දය පැවැත්වීම ඉන් එකක්. සෑහෙන කාලයක් ඡන්ද කල් දැම්මා. දැන් ආණ්ඩුව බලන්නේ ඒ සංශෝධන නැතිව පළාත් සභා ඡන්දය තියන්න. රටේ ඉන්නේ පිස්සො කියා ආණ්ඩුව සිතනවාද දන්නේ නැහැ. ක්‍රමය වෙනස් කරනවා නම් ඡන්දය කල් දැම්මාට කමක් නැහැ කියා ජනතාව සිතුවා. හැබැයි දැන් ක්‍රමය වෙනස් නොකර ඡන්දය තියන්න ආණ්ඩුව බලනවා. මේක වැරැදියි. ඡන්ද ක්‍රමය වෙනස් කර ඉදිරි ඡන්ද තියන්නවත් ශීලාචාර ඕනකමක් ආණ්ඩුවට නැහැ. ඡන්දය කල් දැම්මේ යම් හේතුවක් මත නම් වහාම ඒ ප්‍රශ්නය විසඳා එක දවසක රට පුරා ඡන්ද තියන සැලසුම හදන්න ඕන.

ප්‍රශ්නය:- ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන් ද?

පිළිතුර:- සිංගප්පූරු ගිවිසුම් හෝ ඉන්දීය ගිවිසුම් හෝ ජාතික සම්පත් විකුණා රටේ ආර්ථිකය ගොඩගන්න බැහැ. ණය ගන්න මහා ව්‍යාපෘති අරඹා තිබෙනවා. මහජන ප්‍රවාහන ප්‍රශ්නය නොවිසඳා අධිවේගී මාර්ගවලට ප්‍රමුඛත්වය දෙන්න එපා කියා අපි එදා කිව්වා. මේ ආණ්ඩුව කළෙත් ඒකමයි. අද ගම්පහ සිට කොළඹට කෝච්චි පහක සෙනග එනවා. අත ඉස්සුවොත් අත පහත් කරන්න බැහැ. අනෙක් පැතිවලත් එහෙමයි. අධිවේගී මාර්ග හැදුවට පොදු මහජන ප්‍රශ්නය විසඳී නැහැ. ඉක්මනින් කෝච්චි පාරවල් හදන්න කියා පෙන්නා දුන්නා. දැනට තිබෙන ලයින් ඩබල් කරමු කිව්වා. යාපනයට යන කෝච්චිය වව්නියාව දක්වා යන්නේ ගාටමින්. පාර අබලන්ව තිබීම එයට හේතුවයි. එහෙත් වව්නියාවෙන් එහාට ඒ ප්‍රශ්නය නැහැ. එයට හේතුව පාර අලුතෙන් හදපු නිසයි. එහෙනම් රට පුරා අබලන්ව පවතින රේල් පාරවල් අලුතින් හදන්න ඕන. ඩබල් ලයින් කරන්න ඕන. මේවා හරහා පොදු ප්‍රවාහන ප්‍රශ්නය විසඳන්න පුළුවන්. කෙටිදුර ධාවනයට පැහැදිලි පිළිතුරක්. බීජිං නගරයේ පමණක් පාපැදි කෝටියක් තිබෙනවා. බොහෝ තැන්වලදී අපට මේ පිළියම් යොදාගන්න පුළුවන්. ඒවා නොකර සොරා කන්න පුළුවන් අධිවේගී මාර්ගයම හදනවා. ගිය ආණ්ඩුව කළෙත් ඒක. මේ ආණ්ඩුව කරන්නෙත් ඒක.

රටේ ණය බර වැඩි වීම හා රුපියල පිරිහීම යන ප්‍රශ්න දෙක තිබෙනවා. රට ඇතුළට ගෙන එන ඩොලර් ඉතිරි කරගැනීම මෙයට පිළිතුරක්. වසරකට ඩොලර් බිලියන හතළිස් ගණනක් ණයයි. තව තවත් ණය ගන්නවා. ණය ගත්තාම රට සංවර්ධනය වෙනවා කියා මේ අය සිතනවා. ණය ගත්තාම දේශපාලනඥයන්ගේ සාක්කුවලට නම් සල්ලි යනවා. ඡනතාවගේ ණය කන්ද වැඩි වෙනවා. ණය අඩු කරගන්න එදා අය වගේම අද අයත් කල්පනා කරන්නේ නැහැ.

රටේ නිෂ්පාදනය වැඩි කරන්න ක්‍රමයක් නැහැ. විස පිරි ආහාර නිසා ප්‍රශ්න රාශියක් නිර්මාණය වෙලා. ආහාර ආනයනයට විශාල මුදලක් වැය කරනවා. මේවා නිපදවා මුදල් ඉතිරි කරගන්න ක්‍රමයක් කල්පනා කර නැහැ. ගොඩ ගොවිතැනේ ප්‍රශ්න ගැන ආණ්ඩුව කල්පනා කර නැහැ. විකල්ප ගැන ආණ්ඩුව සොයා බලා නැහැ. ආහාර පොහොර කෘෂි රසායන ආනයනයට වැය කරන මුදල බිලියන තුනහමාරක්. ණය නොගෙන රට තුළ ආර්ථික පිළිවෙළක් හදා එය සාර්ථක කර ගන්න තිබුණා. එහෙම කිසිම ව්‍යාපෘතියක් ආණ්ඩුවට නැහැ. ගිවිසුම් අත්සන් කළාට නිෂ්පාදනය වැඩිවෙනවද?

2025 වන විට ඇතිවන විදුලි අර්බුදයට විසඳුම් අපට නැහැ. එක් එක් අයට ඕන විදියට ගල්අඟුරු බලාගාර හදන්න යනවා. අනෙක් රටවල් පුනර්ජනනීය බලශක්තියට යනවා. ගෙවුණු වසර තුනේ විකල්ප බලශක්තියට නොගිය එකම රට ලංකාව වෙන්න පුළුවන්. ගල්අඟුරු තිබෙන රටවල් ඒවා ඉවත් කරද්දී අපේ රටේ තවත් ඒවා හදන්න යනවා.
වස විසෙන් තොර ගොවිතැන යම් තරමකට අපි දියුණු කළා. මෙහි තිබූ මිථ්‍යා මත බිඳ දැමුවා. මේවායේ සාර්ථක ප්‍රතිඵල තිබුණත් ආණ්ඩුවේ මාධ්‍යවත් එය ඉදිරියට ගත්තේ නෑ. විදේශ බලවේග සමග එක්වී රට විකුණා බිස්නස් එකක් කරගන්න හැරෙන්න රට ගොඩනගන අදහසක් මේ ආණ්ඩුවට නැහැ. ජාතික ආර්ථික වැඩ පිළිවෙළක් හඳුනානොගෙන ඉදිරියට යන්න බැහැ.



අදහස් (12)

රට දැන් අරාජිකයි

Fernandosudattha Monday, 09 July 2018 07:53 AM

ඔබ වහන්සේලාත් එයට වග කිය යුතුයි.

:       2       639

Senarath Monday, 09 July 2018 09:34 AM

ඔබවහන්සේ, සොභිත හිමි මේ වෙච්ච වරදේ වැඩි වගකීම ගන්න ඕනේ. 2015දී දේශපාලන වේදිකාවල කිව්වේ කොහොමද "යුද්ධය කලේ අපි, රාජපක්ෂලා නෙමෙයි' සහ තවත් ලොකු කතා. තමාගේ හැකියාව මොකක්ද කියන එක දැන් හොඳට පෙනෙනවානේ... සිංහයෝ පස්සේ යන නරිත් හිතාගෙන ඉන්නේ, අනෙක් සත්තු බයවෙලා දුවන්නේ තමන්ට තියෙන බයට කියලා. එ්ක ප්‍රායෝගිකව දැනෙන්නේ සිංහයා වෙනුවට වෙන සතෙක් එක්ක යනකොටයි. එ්කම තමයි 2015 දී කලෙත්. සිංහයෝ වනුවට නරි රජ කළාම, කැලේ ඉන්න වඳුරන්ටත් බයේ ඉන්න වෙනවා. අද පෙනෙනවානේ "බෙසම්වල කිඹුල්ලු දකිනවා' කියපුවායේ ප්‍රතිඵල... විජයකලා එළිපිටම කිව්වනේ. ඒ වගේම විදුලි පුටුත් එන දවස වැඩි ඈතක නෙමෙයි. ව්‍යවස්ථා එම ජේ.වී.පී. එක ගෙනැල්ල තියෙන්නේ නිකම්ම නෙමෙයි නේද? 1987 දී ව්‍යවස්ථාවට විරුද්ධ වූ ජේ.වී.පී. එක අද ගෙනැල්ල තියෙන ව්‍යවස්ථාවේ කොහේ හරි කියලා තියෙනවද පළාත් සභා අහෝසි කරන්න කියලා.

:       92       2339

Keppetipola Monday, 09 July 2018 10:03 AM

අප්පච්චියේ හාමුදුරුවන්ට තේරුනේ රට අරාජිකයි කියලා. අපිට නම් තේරිලා ගොඩක් කල්... ඉස්සර ඔබ වහන්සේ රට, ජාතියට යම්කිසි සේවයක් කළා තමයි. නමුත් කණගාටුවෙන් කියන්න ඕනෑ ඔබවහන්සේවත්, චම්පිකවත්, ගම්මන්පිලවත් කියන දේවල් වත් කිසිම කෙනෙක් ගණන්ගන්නේ නැහැ. එ්ක නිසා ඔය සිවුරට අගෞරව නොකර පන්සලට වෙලා බණ, භාවනා කරලා එලොවට වැඩක් කරගන්න බලන්න. රට, ජාතිය, ආගම ඉදිරියට ගෙනියන්න නව සඟ පරපුරක් බිහිවේගෙන එන කාලය දැන් උදා වී තිබෙනවා.

:       1       784

ananda Monday, 09 July 2018 11:32 AM

කරගන්න ඕනේකම තිබුනේ ඕකනේ... යහපාලන උන්නාන්සේලා දේශපාලකයින්ට ඒ කටයුත්ත බාරදීලා තමුන්ට අයති වැඩක් බලාගත්තා නම් ඉවරයි. දැන් රටත් නෑ, බණත් නෑ....

:       1       690

Raveendra Monday, 09 July 2018 11:55 AM

අවසරයි අපේ හාමුදුරුවනේ.!!! ගිහියන් හැටියට අවංකවම මෙසේ පැවසීමට සිදුවීම ගැන අප කණගාටු වන්නෙමු. ඔබවහන්සේ දැන හෝ නොදැන මේ සඳහා දායකවීම හා දැන් මෙසේ පැවසීම පිළිබඳව අපගේ බලවත් අකමැත්තක් ඇත. අප සැමවිටම හොඳ දෙයට හොඳයි කීමට නිර්ලෝභී නොවන්නෙමු. එමෙන්ම වැරදි දෙයට (මොන ජගතා කලත්) වැරදියි කීමට බිය නොවන්නෙමු. අද රටේ පවතින සියලුම පක්ෂ අසීලාචාර පක්ෂ බවත් කීමට කැමැත්තෙමු. තම බලය වෙනුවෙන් තමන්ව මෙලොවට බිහිකළ ඒ ආදරණිය මෑණියන්ව වුණත් පාවාදීමට " දේශපාලුවා නමැති අම්බරුවා " පසුබට නොවන බව මේ සෑම සිදුවීමකින්ම අවංක පුරවැසියන් හැටියට අපට නම් හොඳින් පැහැදිලිය. ඔබවහන්සේට අපගේ මෙම නූගත් අදහස්වලින් සිත්තැවුලක් ඇති වුණිනම් අපගේ බලවත් කණගාටුව පළකරමු.

:       0       554

අලුගොල්ල Tuesday, 10 July 2018 12:19 AM

හාමුදුරුකෙනෙක් නොවේ. චීවර ධාරියෙක්. හැකි නම් ජනතාවට කළ සේවයක් කියන්න. බුදු දහම විනාශ නොකර මන්ත්‍රීකමෙන් ඉවත් වෙන්න. බයිලා වලින් වැඩක් නැහැ.

:       0       109

රාජේශ් ඛන්නා Tuesday, 10 July 2018 12:35 AM

දෙන දේ වළඳා වෙන දේ බලාගෙන ඉන්න තත්වයකට පත්ව සිටින බවක් පෙනේ. බෙරේ පලුවකුත් නැත. චීවරධාරියකු වශයෙන් රට තවතවත් පසුපසට ගමන් කරවන ප්‍රකාශයන් කිරීමට වඩා පින්වත් සංගයා වහන්සේ නමක් ලෙස හැසිරෙමින් උතුම් වූ ශාසනයට වඩා ඵලදායි සේවාවක් කිරීම වඩා උචිතය. අද පවතින රටට දරාගත නොහැකි තත්වයන්ට බොහෝවිට වග කිව යුත්තේ මිට අවුරුදු දහයකට පමණ පෙර රට කළ රෙජිමවල ක්‍රියා කලාපයන්ය. වර්තමාන රෙජීමයේ ක්‍රියා කලාපවල පාට එළියට එන්නේ රටට දැනෙන්නේ තව අවුරුදු දහයකින් පමණය. දෛනික ක්‍රියාකලාපයන් හා සිදුවීම් අනුව රටේ බහුතරයේ උගත්කම කෙසේ වෙතත් බුද්ධිමත් කමක් පිළිබිඹු නොවේ. රටට අවැසි වන්නේ මේ සියල්ල හොඳින් ජීර්ණය වූ බහුතර ජනවරමක් ලැබුවත් නැතත් ඇත්තටම රටට ආදරයක් ඇති නායකයකු මිස නායකයන් යයි තමන් ම කියාගන්නා මෙතෙක් රට කෑ වර්ගයේ අයකු නොවේ. තම තමන්ගෙන් රටට ඉටුවිය යුතු මෙහෙය පසෙක ලා කුණු පමණක් අවුස්සමින් ගඳ ගස්සවන රෙජීමද එමටය. මෙලෝ රහක් නැත.

:       20       15

Anil gamaqge Tuesday, 10 July 2018 01:16 AM

හාමුදුරුවෝත් වගකියන්න ඕනේ මේ දූෂිත වැඩවලට... විලිලැජ්ජා තියෙනවා නම් ආයේ ඡන්දේ ඉල්ලන්න එපා. ශාසනයත් ඉවරයි... දැන් රටත් කාලා ඉවරයි...

:       2       118

ධම්ම Tuesday, 10 July 2018 05:04 AM

ඔබට ස්තුතියි ස්වාමීන්වහන්ස රට මෙතනට ගෙන ආවාට.

:       0       35

සමන්ත Tuesday, 10 July 2018 01:20 PM

රතන හාමුදුරුවන්ට විශ්ව විද්‍යාල කාලේ ඉඳලා අද දක්වාම රට අරාජිකයි. එදා කිව්වෙත් ඕක ..අද කියන්නෙත් ඒක. කන්න ඕනවෙනකොට කබරගොයාත් තලගොයා වෙනවා. එදා ඕක කියද්දීත් මම අහගෙන හිටියා. අදත් අහගෙන ඉන්නවා. අනේ මේ හාමුදුරුවනේ..ඔබ වහන්සේ රජ වෙන්නකෝ එහෙනම්. එදාට බැරියයි අපිට බලාගන්න. ඕවා නොදන්නා මිනිස්සුන්ට කිව්වට කමක් නැහැ, එත් අපිට කියන්න එපා. ඉගෙනගන්න කාලේ වෙච්ච දේවල් අපිනේ දන්නේ.

:       0       104

p.d goonawardena Friday, 13 July 2018 03:19 AM

අරාජික කරන්න මුල් වෙලා උනාට පස්සේ ඒක කියල වැඩක් තියේද ???වෙන්න ඉස්සර අපිට දැනුණ දේ තමුන්ට දැනුණා. නමුත් මුළු රටේම මුනිස්සුන්ව මන් මුලා කරන්න කෝට්ටේ සහ තමා කටයුතු කලා....එක්කෙනෙකුට කර්මය පල දුන්නා...තමුනුත් බලාපොරොත්තුවෙන් ඉන්න එක හොඳයි ....

:       4       56

සමන්ත Saturday, 14 July 2018 09:52 PM

මෙය තර්ජනයක්ද? එහෙම නම් ඔය කතා කරන්නේ අර පැරදිලා නන්නත්තාර වුනු කොටසේ අදහස්. අපි කියන්නේ බොරු නොකර රටේ දියුණුවට වැඩ කරන්න කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 260 0

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 412 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 236 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 638 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 759 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2864 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site