IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


භාරකාර ආණ්ඩුවේ ඉරණම

කස්තුරි 
[email protected]

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය එක්වී භාරකාර ආණ්ඩුවක් පිහිටුවන බවට බොහෝ ආරංචි ඉකුත් සතිවල පැතිර ගියේය. එහෙත් මේ වනවිට එම ආරංචිවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් දැන් දැන් දැකගත හැකිය. 

ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙක්ම භාරකාර රජයක් පිහිටුවීම සඳහා සහාය පළ නොකරන බවට ආන්දෝලනාත්මක ප්‍රකාශ කරමින් සිටිති. කෙසේ වෙතත් ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනුයේ භාරකාර ආණ්ඩුවක් හැදීමේ කතාව ශ්‍රීලනිපයේ පහළොස් දෙනාගේ කණ්ඩායමේ වැඩක් බවය. ඒ සඳහා ජනාධිපතිවරයාගේ උනන්දුවක් නැති බවද එම ආරංචි මාර්ගවලින් පැවසෙයි. “අපි භාරකාර ආණ්ඩුවක් හදන කතාව නතර කරන්නේ නැහැ. හැබැයි ඊට ජනාධිපතිවරයාගෙන් නිලවශයෙන් ආරාධනයක් එන්න ඕනෑ. ජනාධිපතිතුමාත් මීට ඉහතදීත් අවස්ථා කීපයකදීම අපි රැවැට්ටුවා. අනික් අතට ඉතින් එහෙම නම් එතුමා විශ්වාස කරන්න පුළුවන්ද? අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙනා වෙලාවෙත් ජනාධිපතිතුමා අපට සහාය දුන්නේ නැහැනේ” යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ සමහරු ප්‍රකාශ කරති. ඒත් ඒකාබද්ධ විපක්‍ෂයේම තවත් පිරිසකට ඇත්තේ වෙනත් මතවාදයකි. කොහොම හරි ආණ්ඩුව පෙරළගන්න එක හොඳයි. ඇතැම් අය එක්සත් ජාතික පක්‍ෂයේ මතවාදය ප්‍රකාශ කරනවා. අපේම අය රනිල්ට කඬේ යන එක හොඳ නැහැ” යැයි එම පිරිස කියන්නෝය. භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට නම් කොන්දේසි කීපයක් ඉටුවිය යුතු බවට ඒකාබද්ධ විපක්‍ෂය ජනාධිපතිවරයාට දන්වා ඇති බව තවත් ආරංචියකින් කියැවේ.

“මේ පොලිස්පතිවරයා සාධාරණ නැහැ. ඔහු අපට තර්ජනයක්. ඔහු ඉවත් කරන්න ඕනේ. අනිත් අපට අපක්‍ෂපාතීව කටයුතු කරන අගවිනිසුරුවරයකු පත් කරන්න ඕනේ කියල අපි ජනාධිපතිවරයාට දැනුම් දුන්නා යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනඥයෙක් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන්නේය. එම කතාවල සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් ඉදිරි සතිය තුළ පොලිස්පතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වන බවටද තවත් ආරංචියක් මේ දිනවල පැතිර යමින් තිබේ. එසේ වුවද ඔහුට ඉල්ලා අස්නොවන ලෙස එජාපයේ සමහරු බලපෑම් කරන බවට ද තවත් කතාවක් පැතිරෙමින් පවතී. පුරප්පාඩු වී තිබුණු අගවිනිසුරු ධුරයට පත්වීමක් කරමින් ජනාධිපතිවරයා ද ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණ. මේ සියලු කරුණු කාරණා අනුව පැතිර යන කතාවල සත්‍යතාවයක් තිබෙන බවට විශ්වාසයක් තැබිය හැකි යැයි ද දේශපාලන විචාරකයෝ මත පළකරති.

මේ අතර කලක් තිස්සේ අළුයට ගිනි පුපුරුමෙන් සැඟවී තිබූ ඒකාබද්ධ විපක්‍ෂයේ මත ගැටුම් හා විරසක දැන් දැන් කරළියට පැමිණෙන බවක් දක්නට තිබේ. ප්‍රධාන චරිතය බවට පත්ව ඇත්තේ කුමාර වෙල්ගමය. ඔහු ඉතා තදින් ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්‍ෂට ඒකාබද්ධයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා නොදිය යුතු බවය.

“ගෝඨාභය ඇමෙරිකානු පුරවැසියෙක්. ඔහුට ජනාධිපති වෙන්න ව්‍යවස්ථාවෙන් ඉඩක් නැහැ. මහින්ද රාජපක්ෂ හැර වෙනත් රාජපක්‍ෂ කෙනෙක් මම පිළිගන්නේ නැහැ” ආදී වශයෙන් කුමාර වෙල්ගම විවිධ කතා කියමින් සිටින්නේය. වෙල්ගමගේ මතවාදය ඒකාබද්ධ විපක්‍ෂයේ දෙදරායාමකට බලපෑමකැයි කියමින් එම පක්ෂයේම ප්‍රබලයන් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇතැයි ද දැනගන්නට තිබේ. “වෙල්ගම එක එක කතා කියනවා. මේක පාලනය කරගන්න ඕනේ. හිටපු ජනාධිපතිතුමාට අපි මේ ගැන කිව්වා” යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක් මිතුරන් පිරිසක් හමුවේ කීවේය. කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කුමාර වෙල්ගම සමඟ සාකච්ඡා කර හෝ අවවාද කර හෝ නැති බවය. වෙල්ගමට අමතරව වාසුදේව නානායක්කාර ද ගෝඨාභය රාජපක්‍ෂට ජනාධිපති ධුරය ලබාදීමේ යෝජනාවට විරෝධය දක්වමින් අදහස් ප්‍රකාශ කරයි. වාසුදේවගේ අදහස මීළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ චමල් රාජපක්‍ෂ බවය. ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ මත ගැටුම් එලෙස නිර්මාණය වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ එක්සත් ජාතික පක්‍ෂය හෝ ජනාධිපති අපේක්‍ෂකයකු ඉස්මතු කිරීමට එතරම් වෑයමක් දරන බවක් පෙනෙන්නට නැත.

මේ අතර ආණ්ඩුවට තවත් අභියෝගයක් එල්ල වී තිබේ. ඒ දෙමළ ජාතික සන්ධානයෙනි. දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් සඳහන් කර ඇත්තේ “අපි අයවැයට ඡන්දය දෙනවාද නැද්ද කියලා තීන්දුවක් ගන්නවා. ඒ පිළිබඳව අපි ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා අපේ පැත්තෙ කරුණු කියනවා. ඊට පස්සේ ජනාධිපතිතුමාගේ ප්‍රතිචාරය මත අයවැයට සහාය දෙනවාද නැද්ද කියන එක තීන්දු කරනවා” යැයි විපක්‍ෂ නායකවරයා කියන්නේය. පාර්ලිමේන්තුවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව දහසයකි. යම් හෙයකින් ජනතා විමුක්ති පෙරමුණ අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ හොත් ආණ්ඩුවේ ආරක්‍ෂාවට දෙමළ ජාතික සන්ධානය අවශ්‍ය වේ. මෙවර අයවැය ලේඛනය සම්මත කර ගැනීමේදී දෙමළ ජාතික සන්ධානයට තීරණාත්මක කාර්යභාරයක් හිමිවන බව දේශපාලන විචාරකයන්ගේ අදහස්ය. ඒ බව හොඳින්ම දන්නා දෙමළ ජාතික සන්ධාන නායකයා ආණ්ඩුවට කොන්දේසි දාන්නේ ඒ නිසා විය යුතුයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ඉංජිනේරුවන්ගෙන් සමන්විත පෙරමුණක් ඉකුත් බදාදා පිහිටුවා ගත්තේය. “ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ” නමින් එය නම්කර තිබුණු අතර කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පස්වරුවේ පැවැති උත්සවයකදී එම පෙරමුණ කළඑළි දුටුවේය. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ හිටපු ජනාධිපතිවරයාය. විවිධ ක්‍ෂේත්‍රයන්හි සේවය කරන ඉංජිනේරුවෝ රැසක් එම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයක් වූවෝය. ඉංජිනේරු පෙරමුණ පිහිටවූයේ බැසිල් රාජපක්‍ෂගේ අදහසකට අනුවය. ඉංජිනේරුවන්ට අමතරව විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන්ගේ පිරිසක්ද එක්ව සිටියහ. ගෝඨාභය රාජපක්‍ෂ වියත්මඟ සංවිධානය පිහිටුවා විවිධ වෘත්තිකයන් සමඟ කතිකාවතක් ගොඩනගා ගත්තේය. ඔහුගේ අපේක්‍ෂාව වී ඇත්තේ මීළඟ ජනාධිපති අපේක්‍ෂකයා වීමය. බැසිල් රාජපක්‍ෂ ද අතහැර නැත. බැසිල් රාජපක්‍ෂ ඉංජිනේරු පෙරමුණ පිහිටුවා ගත්තේ ගෝඨාභයගේ වියත්මඟට විකල්පයක් ලෙස යැයි ඇතැම් දේශපාලනඥයෝ මත පළකරති.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසෙහිදී පැවැත්විණ. එහිදී රටේ ආර්ථික තත්ත්වය හා ආරක්‍ෂක තත්ත්වය ගැන වැඩිදුරටත් කරුණු සාකච්ඡා කෙරුණ අතර මන්ත්‍රීවරු ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළහ. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අතර මහාචාර්ය ජී.එල්. පීරිස් විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය. පැය කිහිපයක් පුරා සාකච්ඡාව පැවැති අතර එහිදී තීරණය කෙරුණේ රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කිරීමටය. කමිටුවේ ප්‍රධානියා ලෙස අජිත් නිවාඞ් කබ්රාල් පත් කෙරිණ. ඒ අනුව එම කමිටුව සති දෙකකින් පසුව හිටපු ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ලබාදීමට ද තීරණය කෙරිණ.

කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල  නිවසෙහි පැවැති එම පක්‍ෂ නායක රැස්වීමට කුමන හෝ හේතුවක් නිසා බැසිල් රාජපක්‍ෂ පැමිණ සිටියේ නැත. පළාත් සභා ඡන්දය ඉල්ලා කොළඹ දී උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට එහිදී කතිකා කරගත් ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරු කොළඹ දී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට ද එකඟ වූහ. එහිදී හිටපු ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ බැසිල් රාජපක්‍ෂ සමඟ එක්ව එම සංවිධාන කටයුතු සිදුකරන ලෙසය. කොළඹ දී පැවැත්වීමට නියමිත එම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය සඳහා බැසිල් රාජපක්‍ෂ සමඟ කාල වේලාවන් සකස් කරගන්නට ද එහිදී මන්ත්‍රීවරු තීරණය කළහ.

මේ අතර අඟහරුවාදා රාත්‍රියේ තවත් යමක් සිදුවූයේය. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා කුමාර වෙල්ගමට සහ ඔහුට එරෙහිව සිටින මහින්දානන්ද අලුත්ගමගේ පාර්ශ්වයට දැඩි අවවාදයක් කළේය. “අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක මම හොඳ වෙලාවට කියන්නම්. කරුණාකර තම තමන්ගේ පෞද්ගලික මතවාද කියන්න යන්න එපා. ඒක විශාල හානියක්” යැයි මහින්ද රාජපක්‍ෂ කීවේය. එහෙත් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඊට එතරම් එකඟතාවයක් දැක්වූයේ නැත. “මහනුවරදී මට මහින්දානන්දලා හොඳටම ගැහුවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා වේදිකාවේ තියාගෙන තමයි ඒ අය මට දොස් කිව්වේ. මට මතකයි මීට පෙර නාමල් රාජපක්‍ෂ ළඟ තියාගෙනත් මේ උදවිය මට චෝදනා කළා. හැබැයි මම නිශ්ශබ්ද වෙන්නේ මේවාට පිළිතුරු දීලයි” යැයි වෙල්ගම කීවේය. කුමාර වෙල්ගම ඊට පසුවදාම මහින්දානන්ද අලුත්ගමගේට පිළිතුරු දෙමින් පැවසුවේ ඔහු ආණ්ඩුවට බියෙන් මුල් කාලයේදී නුගේගොඩ සහ මහනුවර වේදිකාවලට නොපැමිණි බවය. “නුගේගොඩ මහින්ද සුළඟ වේදිකාවට මෙයා ආවේ නැහැ එදා බයෙන් හිටියා” යැයි ආදී බොහෝ නෝක්කාඩු කියමින් වෙල්ගම ඔහුට එරෙහි පිරිසට පිළිතුරු ලබා දී තිබිණ.

ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම උණුසුම් ස්වභාවයක් ගත්තේය. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී තද ප්‍රකාශ ආදිය කරමින් යම් යම් කරුණු කාරණා ඉස්මතු කරන්නට වූයේය. ඇතැම් කැබිනට් පත්‍රිකා  දැඩි ලෙස විවේචනය කරන්නටත් ඒවා සම්මත කිරීම ප්‍රතික්‍ෂේප කරන්නට ජනාධිපතිවරයා කටයුතු කළේය. මේ අතර කොළඹ වරාය නැගෙනහිර ජැටිය ශ්‍රී ලංකාවට අවශ්‍ය බවත් එය වෙනත් රටක පාලනයට යටත් කිරීම අවාසි සහගත බවත් කියමින් ජනාධිපතිවරයා කරුණු කියන්නට වූයේය. නැගෙනහිර ජැටිය පිළිබඳ කතාවේදී ඇතැම් එජාප ඇමැතිවරුන් කරුණු දක්වමින් ජනාධිපතිවරයාගේ අදහස් ප්‍රතික්‍ෂේප කිරීමට පටන් ගත්තද ජනාධිපතිවරයා ඊට ඉඩක් තැබුවේ නැත. මේ අතර ඉකුත්  කාලයේ දේශපාලන කරළියේ උණුසුම් පුවත් මැවූ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට සම්බන්ධ කතාවද ජනාධිපතිවරයා මාතෘකාවක් කර ගත්තේය.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන කියැවෙන කතාවල ඇත්ත නැත්ත සොයා බැලිය යුතුයැයිද එය ඉතා ගැඹුරින් විමර්ශනය කළ යුත්තකැයිද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් අඟහරුවාදා රාත්‍රියේ පැවැති කැබිනට් රැස්වීමෙන් පසුව ජනමාධ්‍යවේදීන්ට උණුසුම් පුවත් රැසක් දැනගන්නට ලැබුණේය. කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කළ කී දෑ මෙන්ම එහිදී මතු කෙරුණු විශේෂිත කාරණා ද ජනමාධ්‍යවේදීන්ට ප්‍රධාන පෙළේ උණුසුම් පුවත් බවට පත් විය. මේ අතර තමා ඝාතනය කිරීම සඳහා ඉන්දියානු ඔත්තු සේවාවක සාමාජිකයකු මෙරටට පැමිණ ඇති බවත් හා එම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේයැයි කියන කතාවක්ද ජනමාධ්‍ය වෙත දැනගන්නට ලැබිණ. පසුදින ඇතැම් පුවත්පත් මෙන්ම ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදැයි කියන එම කතාව ප්‍රධාන ප්‍රවෘත්තියක් ලෙස පළකර තිබිණ. බදාදා පෙරවරුවේ එම පුවත්වලට තටු ලැබී තිබුණ ද කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට එම උණුසුම් පුවත අඟහරුවාදා කැබිනට් රැස්වීම නිම වී මිනිත්තු දහයක් යන්නත් පෙර දැනගන්නට ලැබුණේය. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කලබලයට පත්ව කරුණු කාරණාවල සත්‍ය අසත්‍යතාවය තහවුරු කරන්නට උත්සාහ ගත්තේය. මේ අතර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදැයි කියන එම කතාව නවදිල්ලිනුවරටද වාර්තා වූයේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඉන්දීය විදේශ අමාත්‍යාංශය කොළඹට කතාකර මහකොමසාරිස්වරයාට අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය. ඒ අනුව ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු බදාදා පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල  හමු වූයේය.

කැබිනට් රැස්වීමේදී තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව පැතිර යන කතාව ගැන තමන් අදහස් දැක්වූ බව මහකොමසාරිස්වරයා හමුවේ ජනාධිපතිවරයා පිළිගත්තේය. එහෙත් ජනාධිපතිවරයා කීවේ ඉන්දීය ඔත්තු සේවාවක් ගැන තමා අදහස් නොකී බවය. ඉන්දීය මහකොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේ  සටහන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලැබුණ ද ඔහු ඉන් සෑහීමකට පත්වූයේ නැත. බදාදා රාත්‍රියේ අගමැති මෝදි ජනාධිපති මෛත්‍රීපාලට දුරකතනයෙන් කතා කළේය. එහිදී ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තමා එවැන්නක් ප්‍රකාශ නොකළ බවත් ජනාමාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවතක් ප්‍රචාරය වී ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කරන්නට වූයේය. ඉන්දීය අගමැතිවරයා සහ මෛත්‍රීපාල ජනාධිපතිවරයා අතර සාකච්ඡාව විනාඩි විස්සක පමණ කාලයකට සීමා වූ බවද පසුව වාර්තා වූයේය. මේ අතර බදාදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ කතාව ඇදී ආවේය. එහිදී මාධ්‍යවේදීන් හමුවේ කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න කීවේ ජනාධිපතිවරයා එවැන්නක් ප්‍රකාශ නොකළ බවය. එහෙත් ‘ද හින්දු’ පුවත්පතේ ශ්‍රී ලංකා මාධ්‍යවේදීනිය ඇමති රාජිතට පිළිතුරු දුන්නාය. “මම ළඟ කැබිනට් ඇමතිවරුන් හතර දෙනෙකුගේ වොයිස් කට් තිබෙනවා මට ඒක සනාථ කරන්න පුළුවන්. එහෙම නම් කැබිනට් ඇමැතිවරු  ප්‍රකාශ කරන්න ඇත්තේ බොරුදැයි කියන්නට වූවාය.

මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදැයි කියන කතාව විදෙස් මාධ්‍යයට ලබාදී ඇත්තේ මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද අමරවීර බවට ජනාධිපතිවරයා සැක කරන බවය.

ස්විට්සර්ලන්තයේ පෞද්ගලික සමාගමක් මෙරට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක් වෙනුවෙන් රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ අල්ලස් ඉල්ලූ බවට එම සමාගමේ උසස් නිලධාරීහු පිරිසක් ඉකුත්දා ප්‍රසිද්ධියේ චෝදනා කළහ. එහෙත් සුජීව සේනසිංහ රාජ්‍ය ඇමැතිවරයා චෝදනා ප්‍රතික්‍ෂේප කළේය. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ අල්ලස් ඉල්ලූ සිද්ධිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත සමාගමේ මෙරට නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාකර ඇති බවය. 
තවත් ආරංචියකින් කියවුණේ එම නියෝජිතයන්ට අල්ලස් නඩුවක් ගොනුකරන ලෙස ඉහළම දේශපාලනඥයකු සහාය ලබාදී තිබෙන බවය. 



අදහස් (2)

භාරකාර ආණ්ඩුවේ ඉරණම

KAMAIL Friday, 19 October 2018 01:10 PM

මේක බැසිල්ගේ යෝජනාවක් දැන් කට්ටිය රාජපක්ෂලාට බය ඩබල්වෙලා බැසිල් කියන කියන දේ කරන්න හදනවා... නමුත් 19 වැනි සංශෝධනය ඉතා බලවත් බව දැන් දැන් දැනේ...

:       0       0

julien Friday, 19 October 2018 01:13 PM

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ භාරකාර ආණ්ඩුවකට ඉඩක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 46 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 51 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 163 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 328 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 367 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 104 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site