IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


භාරකාර ආණ්ඩුව: රට රවටන කැරට් අලයක්

(සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)

20 වැනි සංශෝධනයට තුනෙන් දෙකක් ගැනීම, භාරකාර ආණ්ඩුව, එජාප-ශ්‍රීලනිප ආර්ථික ව්‍යාපෘති, රුපියලේ කඩාවැටීම, විදේශ සංචිත වැය කිරීම, ස්වාධීන කොමිෂන් සභා හා ව්‍යවස්ථා සභාව ගැන සිවිල් සමාජ විවේචන සම්බන්ධයෙන් මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතායි.

ප්‍රශ්නය - විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජවිපෙ ගෙන ආ 20 වැනි සංශෝධනය තල්ලු වුණේ හිතුවෙ නැති තැනකට ද?

පිළිතුර - මේකට ජනමත විචාරණයක් කැඳවීමට අවශ්‍ය බව අපි දැන සිටියා. ඒකට අපි කැමැතියි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකට අමතරව ජනතා වරමකින් මෙය සම්මත විය යුතුයි. එහෙම කළාම මේක කෙනෙකුට පාර්ලිමේන්තුවෙ ඇතුළෙ විතරක් වෙනස් කරන්නත් බෑ. ඒ නිසා අපි අපේක්ෂා කළ තීන්දුව අධිකරණය දීලා තිබෙනවා. අපි කියන්නෙත් අධිකරණ තීන්දුවට ගරු කරලා පාර්ලිමේන්තුවෙන් මෙය සම්මත කරලා ජනතාවට යොමු කරමු කියලයි.

ප්‍රශ්නය - මනෝ ගනේෂන්ගේ පක්ෂය, දෙමළ ජාතික සන්ධානය වැනි පක්ෂත් මේ ගැන සිටින්නේ වෙනම අදහසක නේද?

පිළිතුර - සමහරු මේක දිහා බලන්නේ තමන්ගේ පටු දේශපාලන අරමුණු සමගයි. ඉතින් පොදුවේ ගත්තාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි කෑගහපු සමහරු ඒක කරන්න ගියාම තම තමන්ට වෙන අලකලංචි දිහා බලලා විවිධ ප්‍රකාශ කරනවා. අපි ඒවා සැලකිල්ලට ගන්නේ නෑ. මොකද අවුරුදු ගණනාවක් තිස්සේ  බහුතර ජනතාවක් මේක අනුමත කළ දෙයක්. පහුගිය කාලේ හැම දේශපාලන පක්ෂයකම ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රධාන පොරොන්දුවක් වුණා. ඒකට ජනවරමකුත් ලැබිලා තිබෙනවා. මේක දේශපාලන පක්ෂවල පටු න්‍යායපත්‍රවලට යට නොවී රට වෙනුවෙන් කළ යුතු දෙයක්. මහින්ද රාජපක්ෂ මහතා 2005 දී 2010 දී හා 2015 දී වශයෙන් ජනාධිපති ව්‍යාපාර තුනේදීම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට පොරොන්දු දුන්නා. වර්තමාන ජනාධිපතිවරයා තදින්ම පොරොන්දු දුන්නා. එක්සත් ජාතික පක්ෂයත් පහුගිය කාලේ පක්ෂ සමුළුවකදී තීන්දුවක් ගත්තා. මම හිතන්නේ දෙමළ ජාතික සන්ධානයත් ඒ ස්ථාවරයේ සිටිනවා. 

ප්‍රශ්නය - ඒත් පවතින තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්තක් ගත හැකිද?

පිළිතුර - මෙහෙමයි. ඒක තීන්දු වෙන්නේ ඉදිරියට දේශපාලනය පෙළගැහෙන ආකාරය අනුවයි. එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරණයක් වාසිද අවාසිද කියලා බැලුවාම ඒක ලේසි නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයලට වුණත් ජනාධිපතිවරණයකදී අපේක්ෂකයාගේ පටන්ම අභ්‍යන්තර වියවුල් නිර්මාණය වෙනවා. මේ අතරේ 20ට එරෙහිව හදන බිල්ලන් පරාජයට පත්කරමින් ජනතා විමුක්ති පෙරමුණ ජනතාව දැනුම්වත් කරමින් යනවා. දේශපාලනයේ පුංචිම හරි අවංකකමක් සදාචාරයක් තියෙනවා නම් අපේ පාර්ලිමේන්තුවේ සිටින දේශපාලන පක්ෂ කිසිවකට 20 ට විරුද්ධ වෙන්න බැරි වෙනවා යැයි ජවිපෙට විශ්වාසයක් තිබෙනවා. 

ප්‍රශ්නය - භාරකාර ආණ්ඩුවක් නිර්මාණය කිරීමෙන් පවතින ආර්ථික අර්බුදයට දේශපාලන විසඳුමක් දියහැකි යැයි සාකච්ඡාවක් හටගෙන තිබෙනවා. මේ සාකච්ඡාව ජවිපෙ දකින්නේ කොහොමද?

පිළිතුර - මේවා නිකන් මීඩියාවලින් හදන ප්‍රවෘත්ති විතරයි. භාරකාර නෙවෙයි මොන ආණ්ඩුවක් හැදුවත් පවත්වාගෙන යන්නේ මේ සමාජ ආර්ථික රටාවම නම් ඒ ප්‍රතිපත්තිම නම් රට වෙනස් කරන්න බෑ. දැන් හවුල් ආණ්ඩු, ජාතික ආණ්ඩු හදාගෙන තිබෙනවා. ඒවාටත් කරන්න බැරි නම් භාරකාර ආණ්ඩුවක් හැදුවා කියලා මුකුත් කරන්න බෑ. දැන් කළ යුත්තේ විශේෂයෙන්ම 1977 සිට දියත් වූ වැරැදි ක්‍රියාවලියම වෙනස් කිරීමක්. හොරු කණ්ඩායම් එකට එකතු වෙලා තවත් ආණ්ඩුවක් හදාගත්තට වැඩක් වෙන්නේ නෑ. 

ප්‍රශ්නය - ඒත් තල්ලුවෙමින් තිබෙන්නේ එතැනට නේද? 

පිළිතුර - ඇත්තටම ඕක හැදෙන ආණ්ඩුවක් නෙවෙයි. ඔහොම එකක් හදන්න බෑ. ඕවා නිකන් තමන්ගේ පාක්ෂිකයන්ට බලාපොරොත්තු දෙන්න හදන නිව්ස්. උදාහරණයකට මහින්ද මහත්තයා වටේ ඉන්න පාක්ෂිකයන් වර්ගයට නිතරම එයා අගමැති වෙනවාය, බලයට පත්වෙනවාය යන විශ්වාසය දුන්නේ නැත්නම් පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා පහුගිය ඉතිහාසය පුරාම මාස දෙකකට තුනකට සැරයක් මේ පොරොන්දුව දෙන හැටි අපි දැක්කා. පහුගිය පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය ඒගොල්ලො කළෙත් එහෙමයි. හැබැයි මහින්ද අගමැති වුණේ නෑ. කොළඹට මිනිස්සු ගෙනාවේ ආණ්ඩුව පෙරළලා මිස ගෙදර යන්නේ නෑ කියලයි. හැබැයි ආණ්ඩුව පෙරළුණේ නෑ. දැන් අලුත්ම එක භාරකාර ආණ්ඩුවක් හදලා මහින්ද අගමැති කිරීම. පාක්ෂිකයන් රැවට්ටීමේ කැරට් අල ලෙසත් ඕක පාවිච්චි වෙනවා. යම් හෙයකින් එහෙම එකක් හැදුණත් වෙන්නේ හොරු දෙගොල්ලො එකතු වෙලා නඩු ටික යට ගහන් හොරාකෑමේ දේශපාලනය යහතින් කිරීමයි.

ප්‍රශ්නය - ශ්‍රීලනිපය හැර ගොස් කළ දේශපාලන පාපය භාරකාර ආණ්ඩුවක් හැදීමෙන් දුරු වන බව කියමින් මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන හිතෛෂියකු වන වීරවංශ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට මේ ගැන ඍජු ආරාධනයක් කරනවා. ජනාධිපතිවරයා ඒ ගැන තවම නිශ්චිත උත්තරයක් දීලත් නෑ නේද?

පිළිතුර - වෙලා තියෙන්නේ මේකයි. පහුගිය ආණ්ඩුවේ ඉඳලා නඩු වැටිලා දැනට නඩු අහමින් ඉන්න, තව අවුරුද්දක් විතර නඩු ඇහුවොත් අනිවාර්යයෙන් හිරගෙට යන්න සිද්ධවෙන හත් අට දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන් මාරාන්තික බයකින් ඉන්නේ. ඒගොල්ලන්ට ඕනෑ මොන ආණ්ඩුවක් හරි අටවලා ඒකට සම්බන්ධවෙලා නඩු ටික අහවර කරගන්නයි. ඔය කණ්ඩායමටම තියෙන ප්‍රධාන ප්‍රශ්නය ඕකයි. මේක මාරාන්තික වුවමනාවක්. පක්ෂය පාවා දුන්නාය.. සිරිසේනය කිය කියා ජනාධිපතිවරයාට බැන්නෙත් ඔය අයමයි. දැන් ජනාධිපතිකම එහෙමම තියාගෙන ආණ්ඩු හදන්න ඒ සිරිසේනම හොඳ වෙලා. මේ අය ඇවිල්ලා ප්‍රතිපත්තියක් නැති උපරිම අවස්ථාවාදය නියෝජනය කරන තමන්ගේ වාසිය ගැන විතරක් හිතලා දේශපාලන පෙළගස්වන්න හදන කණ්ඩායමක්. මෛත්‍රීපාල මහත්තයයි එජාපයයි අතර ප්‍රතිවිරෝධයක් තිබෙනවා. ඒත් ඒ මත අලුත් ආණ්ඩුවක් හැදීම ලෙහෙසි පහසු නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි ආණ්ඩුවක් හදනවා නම් 113 ක් පෙන්නන්න එපැයි. හැබැයි ඒ අයට 113 ක් නෑ. එහෙම නම් ශ්‍රී ලංකා යූඑන්පී ඔක්කොම එකතුවෙන්න ඕනෑ. රනිල්ට හොරා හොරා කියලා බැණ බැණ වීරවංශ මහත්තයලා එහෙම ආණ්ඩුවක ඉන්නේ කොහොමද කියලා එතකොට ප්‍රශ්නයක් එනවා.

ප්‍රශ්නය - ගම්පෙරළිය නමින් රජයේ ආර්ථික ව්‍යාපෘතියක් යන අතරේ ආර්ථික පුනරුදයක් ඇතිකිරීමේ අරමුණෙන් ජනාධිපතිවරයා ඉදිරි දෙවසරට වාර්ෂිකව රුපියල් බිලියන 50 බැගින් වෙන් කිරීමටත් කටයුතු කරනවා. එකම ආණ්ඩුව තුළ මේ ආර්ථික ව්‍යාපෘති ජවිපෙ දකින්නේ කොහොමද?

පිළිතුර - ආණ්ඩුවේ පක්ෂ දෙක තම තමන්ට ගැළපෙන්න ආර්ථික වැඩපිළිවෙළ හදනවා. හැබැයි මේ එකකින්වත් රටට සතපහක වැඩක් නෑ. එජාපය ගම්පෙරළිය ගෙනැල්ලා ගම්වල සිටින පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් අතට කීයක් හරි දීලා ඊළඟ ඡන්දයට මුහුණදීමට ඒ අයව ශක්තිමත් කරන්න බලනවා. එතකොට මෛත්‍රීපාල මහත්තයත් ඒගොල්ලන්ගෙ පක්ෂෙ අය ශක්තිමත් කරන්නෙ කොහොමද බලනවා. මේ විනාශ කරන්නේ මහජන මුදල්. ඔය දෙගොල්ලම පහුගිය කාලේ ආර්ථික සභා දෙකක් හැදුවා. හැබැයි ඒ සභා දෙකටම රුපියල වේගයෙන් කඩා වැටෙන එක වැළැක්වීමට බැරිවුණා. මේවා නිකන් බොරු කතා. මේ ජාතියේ ආර්ථික පුනරුද ව්‍යාපෘති මීට කලින් ඇවිල්ලා නැද්ද? රාජපක්ෂ ආණ්ඩුව කාලේ දිවිනැඟුම කියලා එකක් ආවා. වෙච්ච දෙයක් නෑ. ගම නැඟුම ආවා. වෙච්ච දෙයක් නෑ. ගෙවතු වගා දස ලක්ෂයක් කියලා වැඩක් බැසිල් මහත්තයා ගෙනාවා. ඒකට කෝටි ගණන් සල්ලි වෙන් කළා. හැබැයි එක ගෙවත්තක්වත් නෑ. තාමත් ලංකාවට පරිභෝජනයට අවශ්‍ය වියළි මිරිස් 80% ක් ගේන්නේ පිටරටින්. මේ වගේ බොරු ප්‍රචාරවලින් කරන්නේ පාක්ෂිකයන්ට සල්ලි පොම්ප කිරීමයි. 

ප්‍රශ්නය - රුපියල ශක්තිමත් කිරීමට විදෙස් සංචිත පාවිච්චි නොකරන්නැයි මුදල් ඇමැතිවරයා මීට පෙර කියා සිටියත් ඩොලර් මිලියන 180 ක් වෙළෙඳපොලට මුදාහැරිය බව පසුගියදා මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයාම කිව්වා. රුපියල කඩාවැටීමට ආර්ථික පිළියමක් ජවිපෙ දකිනවාද?

පිළිතුර - මංගල සමරවීර මහතා ආර්ථිකය හැසිරවීම සම්බන්ධයෙන් විශාල දැනුමක් තිබෙන කෙනෙක් නෙවෙයි. දෙවැනියට මේ අයගේ ආර්ථික වැඩපිළිවෙල නවලිබරල්වාදයයි. එහි අධිරාජ්‍යවාදී වුවමනාව වන්නේ රටේ මූල්‍ය ක්‍ෂේත්‍රය විවෘත කිරීමයි. ඒත් අපි වගේ දුප්පත් රටකට රුපියල පාවෙන්න ඉඩහැරියාම ඒක වළක්වාගන්න බැරිවුණාම ප්‍රතිඵලය බරපතළයි. ඒක දන්නේ මහ බැංකුවයි. මේ සංචිත දාලා හරි ඒක වළක්වාගමු යැයි ඔවුන් කියන්නේ ඒ නිසයි. ඒත් දැන් ඔවුන් ඉන්නේ දෙගිඩියාවෙන්. අධිරාජ්‍යවාදී වුවමනාව ඉටුකරන්නත් ඕනෑ. රුපියල කඩාවැටීමේ නස්පැත්තියට මුහුණ දෙන්නත් ඕනෑ. අපි දන්න විධියට රටක මුදලේ අගය තීරණය වෙන්නේ ඒ රට වසරක් තුළ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවාවල වටිනාකම අනුවයි. අපේ රටේ භාණ්ඩ, සේවා නිපදවන්නේ නෑ. ඒ නිසා අපේ රටට වටිනාකම් එන්නේ නෑ. අපි ඩොලර් ගොඩක් වියදම් කළාට හම්බකරන්නේ අඩුවෙන්. මේ අවුරුද්දේ ගත්ත ණයවලට ණය වාරික ගෙවන්න ඩොලර් මිලියන 4000 ක් ඕනෑ. එච්චර ඩොලර් ප්‍රමාණයක් රටින් එළියට යනකොට රුපියල තවත් කඩාවැටෙනවා. 

ප්‍රශ්නය - හොඳයි. මේ නොනවතින අර්බුදයට පිළියම් නැද්ද එතකොට?

පිළිතුර - මේකට තියෙන්නේ උත්තර දෙකයි. එක අප නිෂ්පාදනය වැඩි කරලා ඩොලර් වැඩිපුර උපයන්න ඕනෑ. දෙවැනියට ඩොලර් වියදම් කිරීම හැකි තරම් අඩු කරන්න ඕනෑ. අද අනවශ්‍ය විදියට කිසි තේරුමක් නැතිව ලංකාවට භාණ්ඩ තොගයක් ගේනවා. මේවා සීමා කළ යුතුයි. ඔබ කැමැති නම් මාත් ලෑස්තියි කියලා ජනාධිපති කියනවා. මිනිස්සුන්ගෙන් අහන්න දෙයක් නෑනෙ. ජනාධිපතිකම ගත්තේ තීන්දු ගන්නනේ. එයා ඒක නොගෙන සාමාන්‍ය පුරවැසියෙක් වගේ කතා කරනවා. ඒ වගේම ඒ අයගේ වියදම් අඩු කරන්නේ නෑ. පහුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතන්න එතුමා ගියෙත් හැට තුනක් පිරිවර අරගෙනයි. ගුවන් ටිකට්වලට, සාප්පු සවාරිවලට, හෝටල්වලට ගිහින් වියදම් කරන්නේ ඩොලර්වලින්. මේ ඔක්කොම මහජන මුදල්. එතුමා එනකොට අගමැතිතුමා ඔස්ලෝ ගියා. එතුමා එනකොට ජනාධිපතිතුමා ආයෙත් සීෂෙල්ස් ගියා. ඇමැති මණ්ඩලෙත් එහෙමයි. ලෝකෙ වටේ රවුම් ගහනවා. මෙහෙම බැලුවාම ආණ්ඩුව සතු ඩොලර් ප්‍රමාණය මේ අයත් වේගයෙන් වියදම් කරනවා. ඇමැති මණ්ඩලේ අය තඩි කාර් අරගෙන රජයේ සේවකයාට පර්මිට් එකට ගන්න තියෙන වාහනෙත් වළක්වනවා. ආණ්ඩුව නාස්තිය නතර නොකර ජනතාවට කැපකිරීම් කරන්නැයි කීම ලැජ්ජාවක්. ආණ්ඩුවත් කැපකිරීමක් කරනවා නම් රුපියලේ වැටීම යම් පමණකට හෝ වළක්වාගන්න පුළුවන්.

ප්‍රශ්නය - පොලිස් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හා පාර්ශ්වික බව ඇතුළු චෝදනා රැසක්  පොලිස්පතිවරයාට එල්ල වුණා. මේ හමුවේ ආණ්ඩුවත් මත දෙකක් දරමින් සිටිනවා. නීතිය හා සාමය විෂයෙහි මේ සිදුවීම් දාමය බරපතළව සැලකිය යුතු නොවේද?

පිළිතුර - සමස්ත ක්‍රමයම කුණු වෙලා තිබෙන්නේ. දේශපාලකයන් හොරකම්වලට සම්බන්ධයි. පාර්ලිමේන්තුවත් පිරිහිලා. පහුගියදා අශෝභන ලෙස හැසිරුණා කියලා මන්ත්‍රීවරු දෙන්නෙකුට පාර්ලිමේන්තුව තහනම් වුණා. මෙහෙම පිරිහිච්ච රටක පොලිසිය විතරක් ඉතිරි වෙනවාද? අපේ රටේ ජනාධිපති විහිළු කරනවා. අගමැති විහිළු කරනවා. හිටපු ජනාධිපති විහිළු ගොඩක් කරනවා. ඒ අස්සේ පොලිස්පතිත් විහිළු කරනවා. කොහොම නමුත් පොලිස්පතිගේ හැසිරීම තනතුරට ගැළපෙන්නේ නෑ. ඒක වෙනස් වෙනවා නම් හොඳයි. එහෙත් ආණ්ඩුවේම සමහරු ඒ අයව ආරක්ෂා කරනවා. මොකද ඒ අයට අවශ්‍ය හොඳ පොලිස්පති කෙනෙක් නෙවෙයි. තමන්ට පක්ෂපාතී පොලිස්පති කෙනෙක්. ස්වාධීන කොමිෂන් දාලා මේ දේශපාලනීකරණය වළක්වන්න උත්සාහ කළත් ඒ අස්සෙත් මේ අය දේශපාලනීකරණය කරනවා. ඒකෙන් මුළු රටම හෑල්ලු වෙනවා. 

ප්‍රශ්නය - ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් ජවිපෙ සහාය දක්වනවා. ඒත් කොමිෂන් සභා සාමාජිකයන් පත් කෙරෙන ව්‍යවස්ථා සභාවට පත් වූ සිවිල් සංවිධාන නියෝජිතයන් ගැන මේ වනවිට සිවිල් සමාජයෙන්ම දෝස්මුරයක් නැඟෙමින් තිබෙනවා. වැඬේ හරියට වෙලා නැද්ද?

පිළිතුර - මේ ව්‍යුහය සුබවාදියි. ප්‍රජාතන්ත්‍රවාදියි. මේ ක්‍රමය හොඳයි. ඒත් මේ ක්‍රමයට පත්කිරීම් කරද්දී ඒවා කරන්නේ දේශපාලන පක්ෂ විසින්. එතැනදී තමන්ට හිතවත් අය පත්කිරීමට උත්සාහ ගනීවි. සිවිල් සමාජයෙන් පත් වූ අය ගැන විවේචන තිබෙනවා. ඒත් අපේ රටේ සිවිල් සමාජයේ දේශපාලනයට සම්බන්ධ කවුරුත් නැතිව ඇති කියලා අපි හිතනවා. කවුරු පත්කළත් ඔය විවේචනය එන්න ඉඩ තිබෙනවා. එනිසා එවැනි විවේචන ඉදිරිපත්වීමට අඩුම ඉඩක් ඇති අය පත්කරගැනීම ආණ්ඩුවේ වගකීමයි. තමන් කලින් මොන දේශපාලන පක්ෂයකට ලැදි වුණත් තනතුරේ ගෞරවයට අනුව හැසිරීම පත් වූ අයගේ වගකීමයි. ප්‍රජාතන්ත්‍රවාදයට පුංචි හෝ වාසියක් ලැබෙන්නේ එයින්. නැත්නම් මේ ආකෘති පවා පසුකාලීනව පල රහිත වේවි. 

ප්‍රශ්නය - පාර්ලිමේන්තුවේ සිදුවන බල හුවමාරුවකින් යම් හෙයකින් ආණ්ඩුවක් නිර්මාණය වුණොත්, එතැනදී ජවිපෙට ආරාධනා කළොත් පක්ෂයේ තීන්දුව මොකද්ද?

පිළිතුර - පැහැදිලිවම මේ කිසිම ධනපති ආණ්ඩු ඇටවිල්ලකට ජනතා විමුක්ති පෙරමුණ යන්නේ නෑ. මොකද මේ අර්බුදය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය තුළවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේවත් මහින්ද මහත්තයලගෙ කණ්ඩායමේවත් නෙවෙයි. ඒගොල්ලො එකතු වෙලා පවත්වාගෙන යන සමාජ ආර්ථික ක්‍රමය තුළයි. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කිසි ආණ්ඩුවක් සාර්ථක වෙන්නේ නෑ. ඒගොල්ලො එක්ක කිසිම ආණ්ඩුකරණයක් අපට ඕනෑ නෑ. එකිනෙකාට බැණ අඬ ගසමින් ආණ්ඩු කරන්න හදන්නේ ඒගොල්ලම තමයි.

 



අදහස් (0)

භාරකාර ආණ්ඩුව: රට රවටන කැරට් අලයක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 66 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 131 0

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 331 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 46 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 489 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 270 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site