IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බැඳුම්කර වාර්තාව පළමු රැස්වීමේදීම මැතිසබේට

පරිවර්තනය - කෝවිද ගුණසේකර

සන්ඬේ ටයිම්ස් - දේශපාලන විශ්ලේෂක විසිනි

බැඳුම්කර කොමිසම් විමර්ෂණයෙන් අනාවරණය වූ කරුණු පදනමේ සිට ජනපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය බදාදා මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් සංක්ෂිප්ත අනාවරණයක් සිදු කළේ ය.

මින් පෙර නොවූ විරූ අයුරින් පෙර අවස්ථාවක කරන ලද පටිගත කිරීමක් ඔස්සේ ජාතිය ඇමතූ ජනපතිවරයා, ඒ නිසාවෙන්ම බැදුම්කර සිදුවීමට “ජාතික ගැටලුවක“ ස්වරූපය ආරූඪ කළේ ය. එහෙත් එයට මුල සිටම රට පුරා ජනතාවගේ අවධානය හිමිව තිබින.

බැදුම්කරයක් යනු කුමක්දැයි නොදන්නා ගම් මට්ටමේ පවා, බැඳුම්කරය (බොන්ඞ්) යන යෙදුම ජේම්ස් බොන්ඞ් චිත්‍රපටවලින් පමණක් දැන සිටියෝ පවා, මහ බැංකු බැඳුම්කර සිදුවීමේ දී කුමක් වී දැයි දැනගැනීමට උනන්දු වූහ. ගනුදෙනුවේ දී කුමක් සිදුවිනිදැයි ඔවුන් නොදැන සිටියෝ මුත්, කිසියම් අයථා කටයුත්තක් සිදුව තිබෙන බවට ඔවුහු විශ්වාස කළෝ ය.

ජාතිය ඇමතීම ඔස්සේ තම ජනප්‍රියත්වය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නංවා ගැනීමට ජනපති සිරිසේන සමත් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් කිරීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වීම හමුවේ ජනපතිවරයාගේ ජනප්‍රියත්වය ඒ වන තෙක් පැවැතියේ ඉතාම පහළ අඩියකය. මෙම තත්ත්වය පළාත් පාලන මැතිවරණයට කෙසේ බලපානු ඇතිදැයි දැනගැනීමට හැකිවන්නේ ඉදිරියටය. මැතිවරණය ඉලක්ක කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොකුරු රැස්වීම් පවත්වමින් සිටින අතර, එළැඹෙන සතියේ සිට ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් මට්ටමින් ජන රැලි පැවැත්වීමට නියමිතය.

මෙය රජයක්, එම රජයේම කටයුතු විමර්ෂණය කිරීමට කොමිසමක් පත් කළ ඉතාම විරල අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. මේ දක්වා පත්ව තිබෙන රජයන් බහුතරයක් සිදුකර ඇත්තේ පෙර පැවැති රජයක කටයුතු සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා විවිධ කොමිසම් පත් කිරීමය. පක්ෂය එක්සත් කිරීමට දුන් පොරොන්දුව ඉටු නොකළේ යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ජනපති සිරිසේන තවමත් සිටිනුයේ කෝපයෙනි. ගෝඨාභය ඇත්ත වශයෙන්ම පක්ෂය එක්සත් වීම කෙරේ කැමැත්තෙන් කටයුතු කළ මුත්, ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී, ඒකාබද්ධ විපක්ෂ සාමාජික ප්‍රසන්න රණතුංග මහතා, පක්ෂය එක්සත් කිරීමේ මුවාවෙන් ඔවුන් ජනපති සිරිසේනව අයාලේ යැවූ බවට ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම හමුවේ ජනපතිවරයා තවත් කෝපයට පත්විය. මුල් අවස්ථාවල දී පක්ෂය එක්සත් කිරීමට එරෙහිව කටයුතු කළේයැයි ජනපති සිරිසේන දෝෂාරෝපණය කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන උපාය සැලසුම්කරුවා වන බැසිල් රාජපක්ෂ මහතාටය. පක්ෂයේ කුමන තරමක හෝ එක්සත්වීමකට එරෙහිව බැසිල් රාජපක්ෂ මුල සිටම තරයේ පෙනී සිටියේ ය.

බැඳුම්කර කොමිසම් වාර්තාව පදනමේ සිට ජාතිය ඇමතීම ඔස්සේ ජනපතිවරයා, ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධතාවය මතින් තියුණු කඩු තලයක් තැබීමට කටයුතු කිරීම තැතිගන්වන සුලුය. ඉතාම මැනවින් සකස් කර තිබූ ජනපති සිරිසේනගේ කතාව පෙබරවාරි මස 10 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන මැතිවරණය ඉලක්ක කර සකස් කර තිබුණක් බව පැහැදිලිවම පෙනින. බරපතල දේශපාලනමය කරුණු හා චෝදනා එල්ල කිරීම්වලින් එය පොහොසත් විය. මේ හරහා නැතිවී ගිය ගරුත්වය යම් තාක් දුරකට ගොඩනගා ගැනීමට ජනපති සිරිසේන සමත් විය. තම කඩුවෙන් කවුරුන් කැපේදැයි තමන් නොදන්නා බව ඔහු පවසා සිටියේ මීට සතියකට පෙරය. ඒ කී ලෙසම ඔහු කඩුව ඒ මේ අත කරකවා තිබෙන බව, ජනපතිවරයා ජාතිය ඇමතීම හමුවේ පැහැදිලිය. බැදුම්කර කොමිසම් වාර්තාව ප්‍රසිද්ධියට පත්වීමට පෙරම, එයින් පහර එල්ල කෙරෙනු ඇත්තේ, චෝදනා නැගෙනු ඇත්තේ, රජයේ ප්‍රධාන පාර්ශවකරුවා වන එක්සත් ජාතික පක්ෂයට බව පෙනෙන්නට ඇත.

ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් සහ විශ්‍රාමලත් නියෝජ්‍ය විගනන ජෙනරාල්වරයකුගෙන් සැදුම්ලත් විද්වත් කමිටුවකින් අනාවරණය කරගන්නා ලද කරුණු පදනමේ සිට ජනපති සිරිසේන පළමුවෙන්ම කළේ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව තම කෝපය මුදා හැරීමය. එය නිසැකවම රජයේ ප්‍රධාන පාර්ශවකරුවා ලෙස එක්සත් ජාතික පක්ෂයට හිමි ස්ථානය ඉතා අන්තරාය අඩියකට තල්ලු කරනු ඇති බව සහතිකය. දෙවනුව ඔහු තම රජයේ ප්‍රධාන පාර්ශවකරුවා ඉලක්ක කරගත් දේශපාලන මිසයිල කිහිපයක් එල්ල කළේ ය. ඒවා පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයට හානි පමුණුවනු ඇත. එම පක්ෂය දැන් සිටම, විදෙස් සන්නිවේදන විශේෂඥයින්ගේ සහාය ලබාගනිමින්, ඉදිරියේ එන ජනපතිවරණයට සහ පාර්ලිමෙන්තු මැතිවරණය ඉලක්ක කර සකස් කරමින් සිටින සැලසුම්වලට ද, ජනපතිවරයාගේ ප්‍රහාරය ඉතාම අයහපත් ලෙස බලපානු ඇත. මෙම කරුණු ඉතාම වැදගත් වන්නේ ඇයිදැයි පැහැදිලි කළ යුතුව තිබේ.

කතාව ආරම්භ වන්නේ බැදුම්කර වාර්තාව ඉදිරිපත් කිරීම සදහා 2017 දෙසැම්බර් මස 31 වැනිදා රැස්වීමක් ලබාදිය හැකිදැයි බැදුම්කර කොමිසමේ සාමාජිකයෝ ජනපති සිරිසේනගෙන් ඉල්ලීමක් කළ තැන සිටය. මේ වන විට දෙවරක්ම කොමිසමේ ක්‍රියාකාරී කාලය දීර්ඝ කර තිබින. එහෙත් ජනපතිවරයා 31 වැනිදා කොළඹින් පිට යන්නට නියමිතව සිටි හෙයින්, සෙනසුරාදා එනම් 30 වැනිදා, පස්වරු 12.30ට රැස්වීම පැවැත්විය හැකි බව කොමිසමේ සාමාජිකයන්ට දැනුම්දෙනු ලැබින. ජනපතිවරයාට සමීප ආරංචි මාර්ගයක් පවසා සිටි ආකාරයට බැදුම්කර වාර්තාව භාරදීමෙන් අනතුරුව ජනපතිවරයා කොමිසමේ සාමාජිකයන් සමග විනාඩි 45කට ආසන්න කාලයක් සාකච්ඡාවක් ද පවත්වා තිබේ. වාර්තාව පිටු 1257කින් යුතු වන බව හා තවත් ලේඛණ ඊට අමුණා තිබෙන බව දැනගැනීමෙන් පසු, වාර්තාවේ ඉතාම වැදගත් කරුණු පමණක් දැනගැනීමට ජනපතිවරයාට අවශ්‍ය වූ බව එම ආරංචි මාර්ගය වැඩිදුරටත් කීවේ ය.

පසුගිය සතියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ නුවරඑළියේ අගමැති නිවස්නයට වී වසර අවසාන නිවාඩුවක් ගත කරමිනි. ව්‍යවස්ථා කවුන්සිලයේ රැස්වීමක් සදහා ඔහුව සම්බන්ධ කරගත් පාර්ලිමෙන්තු නිලධරයන්ට පවා ඔහු කියා තිබුනේ තමන් නැවත කොළඹට පැමිණෙන්නේ ජනවාරි මස 2 වැනිදා බවය. එහෙත් කොමිසමේ වාර්තාව ජනපතිවරයාට භාරදුන් බව දැනගත් වහා ඔහු තම නෑදැයින් හා මිතුරන් සියලුදෙනා නුවරඑළියේ අතහැර දමා අලුත් අවුරුදු දාම කොළඹට පැමිණියේ ය. ජනපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාගැනීම ඔහුගේ අභිප්‍රාය විය. අගමැතිවරයාගේ අරමුණ වූයේ කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හා එයින් සිදුකර තිබෙන අනාවරණයක් සහ නිර්දේශයන් සම්බන්ධයෙන් සහතික කරගැනීම සදහා එහි පිටපතක් ලබාගැනීම බව එක්සත් ජාතික පක්ෂ ජේ්‍යෂ්ඨ සාමාජිකයෙක් පැවසුවේ ය.

මේ දක්වාම ඔහුට කොමිසම් වාර්තාවේ පිටපතක් ලැබී නොමැත. ඔහු හා ජනපතිවරයා අතර සාකච්ඡාවක් ද පැවැත්වී නොමැත. ජනපති ලේකම් කාර්යාලයේ නිලධරයින් ඔහුට දැනුම් දී තිබෙන්නේ අලුත් අවුරුදු දිනයට පෙර දිනයේ ජනපතිවරයා පොළොන්නරුවේ කාලය ගත කිරීමට සැලසුම් කර තිබෙන නිසාත්, අලුත් අවුරුදු දිනයේ ඔහු නුවර හා කතරගම කාලය ගත කිරීමට සැලසුම් කර තිබෙන නිසාත්, ඉල්ලා සිටින අයුරින් ජනපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාදිය නොහැකි බවය. මේ හමුවේ අගමැති වික්‍රමසිංහ අලුත් අවුරුදු දිනය ගත කළේ එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම සහ මහලේකම් කබීර් හෂීම් යන මහත්වරුන් සමග පළාත් පාලන මැතිවරණය ඉලක්කර කරගත් එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරමිනි. කෙසේ නමුත්, ජාතිය ඇමතීමට පැය කිහිපයකට මත්තෙන් අගමැතිවරයා හා සම්බන්ධ වූ ජනපති සිරිසේන, පවසා සිටීමට යන දේ සම්බන්ධයෙන් ඔහුව දැනුම්වත් කිරීමට කටයුතු කළේ ය. වාර්තාවේ සදහන්ව තිබූ දේ සම්බන්ධයෙන් ජනපතිවරයා, අගමැතිවරයාව දැනුම්වත් කළ ප්‍රථම අවස්ථාව එය විය. එහෙත්, ඔහු අතට කොමිසම් වාර්තාවේ පිටපත් නොලැබින.

දෙසැම්බර් මස 30 වැනිදා බැදුම්කර කොමිසමේ සාමාජිකයන් හා පැවැති හමුවේ දී දැනගැනීමට හැකි වූ කරුණු කාරණා සහ ශ්‍රී ලංකා පුරවැසියන්ට හමුවේ සිදුකළ අනාවරණය හමුවේ වුව ද, විසදාගත යුතු බරපතල අර්බුදයක් ජනපති සිරිසේන ඉදිරියේ තිබේ. සාමූහික වගකීම නිසාවෙන් නම සදහන් නොකිරීමේ පොරොන්දුව ප්‍රකාරව සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරයකුගේ අදහස් මෙවැනි විය.

“අප සියලුදෙනාම දන්නා පරිදි, ඉතාම නිවැරදිව කියනවා නම්, ශ්‍රී ලංකාවේ තියෙන්නේ එක රජයයි. ඒ රජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව තනා තිබෙන රජයක්. මෙන්න දැන් තියෙනවා. තත්ත්වයක්, ප්‍රසිද්ධියේම පෙන්වනවා දැන් මේ රටේ රජයන් දෙකක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් හා එක්සත් ජාතික පක්ෂ රජයක් තියෙනවා කියලා. පාර්ලිමෙන්තුව හරහා ප්‍රසිද්ධියට පත්කිරීමට ප්‍රථමයෙන් ජනපතිවරයෙක් තමන්ගේ අගමැතිවරයාගේ විශ්වසනීයත්වය ගැන ගැටලුවක් මතු කරමින්, ඔහු සමග වාර්තාවක් හුවමාරු කරනොගත් පළමු අවස්ථාව මේක වෙන්න ඇති.“

මෙම මස 23 වැනිදා රැස්වෙන පාර්ලිමෙන්තුවේ දී බැදුම්කර වාර්තාව, පාර්ලිමෙන්තු සැසි වාර්තාවක් ලෙස මුද්‍රණය කැරෙනු ඇත. මෙහිදී නැගෙන ප්‍රධානම ගැටලුව වන්නේ මෙයයි. ජනපති සිරිසේන, අගමැති වික්‍රමසිංහ කෙරේ තබා තිබූ විශ්වාසය වියැකී ගොස් ද?, කොමිසමේ වාර්තාව ඔහු හා හුවමාරු කර නොගැනීමටත්, ජනතාව ඇමතීමට පැය කිහිපයක් තිබියදී පමණක් ඒ සම්බන්ධයෙන් ඔහුව දැනුම්වත් කිරීමටත්, ජනපතිවරයා කටයුතු කළ ආකාරය සැළකීමේ දී, එය වඩාත් තීව්‍රව නැගේ.

කොමිසමේ ධූර කාලය අවසන් වීමට නියමිත වූ දෙසැම්බර් 31 වැනිදා ආසන්න වත්ම, කොමිසම් වාර්තාවේ වූ අනාවරණයන් හා නිර්දේශයන් දැනගැනීමේ නොතිත් ආශාවක් ජනතාවට තිබින. බහුතරයකගේ මුවග තිබුනේ ද එයයි. නමුත් පසුගිය අගහරුවාදා, නව වසරේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම පැවැති අවස්ථාවේ බැදුම්කර කොමිසම සම්බන්ධයෙන් කිසිදු සදහනක් සිදු නොවින. ඊට පෙර සතියේ පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් මණ්ඩල හමුව හදිසියේ අවලංගු කෙරුනු අතර, එසේ හෙයින් කොමිසම් වාර්තාවේ පිටපත් මෙවර කැබිනට් මණ්ඩල හමුවේ දී තමන් අතට ලැබෙනු ඇතැයි ඇතැම් අමාත්‍යවරු අපේක්ෂාවෙන් සිටියෝ ය.

ජනවාරි මස 23 වැනිදාට පෙර පාර්ලිමෙන්තු සැසියක් පැවැත්විය යුතුව තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහසයි. මේ සම්බන්ධයෙන් එම පක්ෂය මෙන්ම, ඒකාබද්ධ විපක්ෂය ද, ජනතා විමුක්ති පෙරමුණ ද, දරනුයේ එකම මතයකි. එකිනෙකා වෙන් වෙන් වශයෙන් කතානායක කරූ ජයසූරිය මහතාට ද මේ බව දැනුම් දී තිබේ.

එසේවුවත්, නියමිත දිනයට පෙර පාර්ලිමෙන්තුව කැදවීම සදහා අවසරය ලබාදීම රදා පවතින්නේ අගමැතිවරයා අතය. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එළැඹෙන 9 වැනිදා පක්ෂ නායක හමුවක් කැදවීමට කතානායකවරයා සැළසුම් කර ඇත. බැදුම්කර වාර්තාව පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට පක්ෂව එක්සත් ජාතික පක්ෂය ආරම්භයේ සිටම පෙනී සිටි හෙයින්, මෙම අවස්ථාවේ දී එම පක්ෂය ඊට විරෝධය දක්වනු ඇතැයි සිතීම උගහටය.නමුත් වාර්තාවේ කරුණු කිසිවෙක් නොදන්නා වාතාවරණයක, ඒ සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු විවාදයක් පැවැත්වීම කෙරේ ඇත්තේ ඉතා අඩු අවස්ථාවකි. එහෙත් ඉක්මන් දිනයක්, පාර්ලිමෙන්තුවට වාර්තාව ඉදිරිපත් කිරීම හා සම්මත කිරීම කඩිනම් කරනු ඇත.

නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකු, වර්තමානයේ ජනපති සිරිසේන කටයුතු කරමින් සිටින ආකාරයෙන් පසුගිය පාර්ලිමෙන්තු මැතිවරණ සමයේ ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යැවූ ලිපියකින් පවසා සිටි කරුණක සෙවණැලි මතුවන බව පැවසුවේ ය. 2015 පාර්ලිමෙන්තු මැතිවරණයට පෙර ජූලි 13 වැනිදා හිටපු ජනපතිවරයාට ලිපියක් යවමින් ජනපති සිරිසේන සදහන් කළේ, “අගමැතිවරයා ලෙස පත්විය යුත්තේ ඔබ නොව අප පක්ෂයේ ජේ්‍යෂ්ඨ සාමාජිකයකු බවය.“ එම සදහන, රාජපක්ෂවරුන් එවක පාර්ලිමෙන්තු මැතිවරණය පරාජයට පත්වීමට ප්‍රධානම හේතුව වූ බව එම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයා කීවේ ය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා නැගෙන චෝදනා සියල්ල බැහැර කළේ ය. සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මෙවැන්නකි.

“අනෙක් පාර්ශව සමග සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා ජනතාව අමතන එක ජනපතිවරයා ලෙස වඩා ප්‍රජාතන්ත්‍රවාදී සහ අපක්ෂපාතී බව අප සිතුවා. එහෙම සාකච්ඡාවක් සිදුවුනා නම් ජනපතිවරයාගේ ප්‍රකාශයට යම් යම් වෙනස්කම් සිදුවන්නට ඉඩ තිබුනා.“

ජනපති සිරිසේනගේ සමීපතමයකු ලෙස සැලකෙන අමාත්‍යවරයකු මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීමෙන්, කොමිසමේ වාර්තාව අගමැතිවරයාගෙන් වසන් කිරීම වුවමනාවෙන්ම සිදුවූවක් බව ඉතාම පැහැදිලිය. නමුත් ඊට අමරවීර ඉදිරිපත් කරන හේතු දැක්වීම, එසේ කළේ නම් වෙනස්කම් සිදුකිරීමට ඉඩ තිබූ බව, කරුණු කිහිපයක් නිසා ගැටලුකාරීය.පෙර අවස්ථාවක, කබීර් හෂීම්, මංගල සමරවීර, සහ මලික් සමරවික්‍රම යන එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් . තම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බැදුම්කර කොමිසම හමුවකට නොකැදවන ලෙස කළ ඉල්ලීම ජනපති සිරිසේන ප්‍රතික්ෂේප කළේය.කොමිසමේ කටයුතුවලට මැදිහත් වීමේ හැකියාවක් තමන්ට නොමැති බව ඔහු පැවසුවේ ය.මේ ආකාරයෙන්ම, තම ප්‍රකාශයට වෙනස්කම් සිදුකරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වුනි නම්, ඒ සියල්ල ප්‍රතික්ෂේප කිරීමට ද ජනපතිවරයාට හැකිව තිබින.

අගමැතිවරයා සම්බන්ධයෙන් කොමිසම් වාර්තාවේ වූ කරුණු දැක්වීම පිළිබදව ද ජනපතිවරයා තම කතාවේ දී අදහස් පළකළේ ය.

“මහබැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත් කිරීමේ දී අගමැති රනිල් වික්‍රමසිංහ නිසි අයුරින් කටයුතු කර තිබේ.අගමැතිවරයා පාර්ලිමෙන්තුවේ දී, මහේනද්‍රන්ගේ පත්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළේ, මහේන්ද්‍රන් සහ සමරසිරි යන මහත්වරුන් ඉදිරිපත් කර තිබූ කරුණු විශ්වාසයට ගැනීමෙන් බව කොමිසමේ අදහසයි.අගමැතිවරයා එසේ නොකළ යුතුව තිබූ බව කොමිසමේ පවසයි.මෙම කරුණු කෝප් කමිටුව හමුවේ අනාවරණය වූ බවත්, තමන් මහේන්ද්‍රන්ට එරෙහිව කටයුතු නොකළේ එම කරුණු නිසා යැයි අගමැතිවරයා සදහන් කර නොමැති බවත්, කොමිසම කියයි.“

සදුදා අගමැති ලේකම් කාර්යාලයේ නිලධරයකු මාර්ගයෙන් සන්ඬේ ටයිම්ස් හට වාර්තා කිහිපයක් පරිශීලනය කිරීමට අවස්ථාව ලැබින.2016 නොවැම්බර් මස 11 වැනිදා දාතමින් යුත් එක් වාර්තාවක් යවා තිබුනේ අගමැති ලේකම් සමන් ඒකනායක මහතාය.එයින් පහත සදහන් වාර්තා පිළිබද සදහන් විය.

2016 ඔක්තෝබර් මස 28 වැනිදා පාර්ලිමෙන්තුවේ සම්මත කරන ලද අංක 109 වන කෝප් කමිටු වාර්තාව 2015 පෙබරවාරි සිට 2016 මැයි දක්වා මහ බැංකුව නිකුත් කරන ලද බැදුම්කර සම්බන්ධයෙන් පිළියෙල කැරුනු හා කෝප් කමිටුව වෙත යැවුනු විශේෂ වාර්තාව ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස අගමැතිවරයාගෙන් තමන්ට 2008 වසරේ සිට මහබැංකුව නිකුත් කර ඇති බැදුම්කර වල නීත්‍යානුකූල භාවය පිළිබද නීතිපති අදහස් විමසන ලෙසට උපදෙස් ලැබුනු බව ඒකනායක එම වාර්තාවේ සදහන් කර තිබින.ඊට අමතරව, අ. අනුගමනය කර තිබෙන ක්‍රියාපටිපාටියේ වගවිය යුතු ස්වභාවයේ ගැටලු පවතී නම් එවැනි වැරදි නිවැරදි කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හදුනාගැනීම සහ, ආ. පොදු වෙන්දේසි හා පෞද්ගලික ස්ථානගත කිරීම් අරබයා විගනකාධිපති ජෙනරාල්වරයා ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ නිරීක්ෂණයන් සම්බන්ධයෙන් ඔබගේ අදහස් ඉදිරිපත් කරන ලෙස සදහන් කර තිබූ බව වැඩිදුරටත් සදහන් විය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා, මෙයට පිළිතුරු ලෙස නොවැම්බර් මස 7 වැනිදා යවා තිබෙන පිටු තුනකින් සමන්විත ලිපියක, වෙනත් කරුණු අතරේ මේ සම්බන්ධයෙන් ද සදහනක් වේ.ලියාපදිංචි කොටස් හා ආරක්ෂන සම්බන්ධයෙන් වන නීතිය යටතේ නැවත අයකරගැනීම් සලකන විට, රජයට කුමන මට්ටමේ අලාභයක් සිදුව ඇතිදැයි යන්න නීතිපති ජෙනරාල්වරයාගේ දෙපාර්තමෙන්තුව යටතේ ස්වාධීන විශේෂඥයකුගේ සහාය ඇතිව - එම කටයුතුවලට යෙදා ගැනෙන සාක්කි අධිකරණයක් හමුවේ සහතික කරගැනීමක් ඇතිව, ගණනය කළ යුතුව තිබෙන බව එහි දැක්වේ.මෙම නීතිය කඩවීමක් හෝ වෙනත් නීති කඩවීමක්, මෙම කටයුත්තේ දී සිදුව ඇතිදැයි නීතිපති දෙපාර්තමෙන්තුව විමසමින් සිටින බව එම ලිපියේ වැඩිදුරටත් සදහන්ය.

බ්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂය ද නිවේදනයක් නිකුත් කළේ ය. වෙනත් පාර්ශව හා සාකච්ඡා නොකළේ ජනපතිවරයාගේ ප්‍රකාශයට වෙනස්කම් සිදුකරන ලෙසට බලපෑම් එල්ල වනු ඇතැයි සිතූ හෙයින් බව පවසා සිටි අමරවීර මෙන් නොව, එම නිවේදනය අවබෝධාත්මක හා සහයෝගී ස්වරූපයකින් යුතු විය. නිවේදනය එවැනි ස්වරූපයක් ගත්තේ කොමිසම් වාර්තාව නොලැබුනු නිසා වන්නට ඉඩ තිබේ. පහත දැක්වෙන්නේ එම නිවේදනයේ සංක්ෂිප්තයකි.

“බැදුම්කර ගැටලුව සම්බන්ධයෙන් පත් කෙරුනු ජනපති විමර්ෂණ කොමිසමේ වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමට ජනපතිවරයා කටයුතු කර තිබේ.මාස 10ක් පුරා විමර්ෂණ පවත්වමින් ලබාදුන් සේවයට බැදුම්කර කොමිසමට ස්තූති කිරීමට අපි කැමැත්තෙමු.“

“සුනිල් හදුන්නෙත්ති මහතාගේ සභාපතීත්වය යටතේ බැඳුම්කර ගැටලුව සම්බන්ධයෙන් පිළියෙල කැරුනු කොප් කමිටු විමර්ෂණ වාර්තාව අගමැතිවරයාගේ උපදෙස් මත 2016 දෙසැම්බර් මස නීතිපතිවරයා වෙත යැවින.බැදුම්කර ගැටලුව සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව ගත යුතු පියවර සම්බන්ධයෙන් සහ බැදුම්කර නිකුත් කිරීම් ක්‍රමානුකූල කිරීම අරබයා නිර්දේශ ඉදිරිපත් කරන ලෙස අගමැතිවරයා නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය.“

“ඒ අනුව බැදුම්කර ගැටලුව සම්බන්ධයෙන් අදාළ නීතිමය පියවර ගන්නා ලෙස 2016 දෙසැම්බර් මාසයේ අගමැතිවරයාත්, 2018 ජනවාරි මාසයේ ජනපතිවරයාත්, නීතිපතිවරයාට දැනුම් දී ඇත.“

මේ හමුවේ අගමැතිවරයාගේ ඉල්ලීම ප්‍රකාරව කටයුතු නොකළේ මන්දැයි පැහැදිලි කිරීමට නීතිපතිවරයාට සිදුවනු ඇත.නමුත් මෙවැනි කටයුතු සදහා සැලකිය යුතු කාලයක් ගතවන බව සිහිතබා ගත යුතුය.

ශ්‍රී ලංකා මහබැංකුව අගමැතිවරයා යටතට පැවරීමේ නීත්‍යානුකූල භාවය අරබයා ද බැදුම්කර කොමිසම ගැටලු මතුකර තිබෙන බව සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවිය.නිසි අයුරින් නම්, මහ බැංකුව පැවැතිය යුත්තේ මුදල් අමාත්‍යංශය යටතේය. එහෙත් එය අගමැතිවරයා යටතට පත්කිරීමට හේතු වූ කරුණු එවක තිබින.එදා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමක් සිදුව තිබූ අතර, ඇමරිකාවේ නිව්යෝරක් නුවර කොටස් තැරැව්කරුවකු ලෙස කටයුතු කළ රාජ් රාජරත්නම් නැමැති ශ්‍රී ලංකා ජාතිකයකුගෙන් මුදල් ලබාගෙන ඇතැයි ඔහුට නැගී තිබූ චෝදනාව විය.අභ්‍යන්තර අයථා මුදල් ගනුදෙනුවල යෙදුනේයැයි රාජරත්නම් මේ වන විට සිටින්නේ එක්සත් ජනපදයේ සිරගතවය.අමාත්‍යවරයාට නැගී තිබූ චෝදනාව සම්බන්ධයෙන් විනිමය පාලන දෙපාර්තමෙන්තුව විමර්ෂණයක් ආරම්භ කර තිබින.එම දෙපාර්තමෙන්තුව අයත් වූයේ ශ්‍රී ලංකා මහබැංකුව යටතටය.මේ නිසා මහ බැංකුව අගමැතිවරයා යටතට පත්කිරීම වඩා යෝග්‍ය යැයි සැළකින.

ජාතිය අමතමින් ජනපති සිරිසේන කළ කතාවේ බැදුම්කර වාර්තාවෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක සම්බන්ධයෙන් සිදුකර තිබූ අනාවරණයන් ද අන්තර්ගත වූ අතර, ඇලෝසියස් පවුලට අයත් නිවසක වාසය කිරීම සහ එම නිවසට කුලිය ඇලොසියස් පවුලෙන්ම ගෙවා තිබීම සැළකිල්ලට ගනිමින්, ඔහුට එරෙහිව වංචා හා දූෂණ පණත යටතේ කටයුතු කළ යුතුව තිබෙන බවත්, කොමිසමට සාවද්‍ය සාක්කි ඉදිරිපත් කිරීම සැළකිල්ලට ගනිමින් ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ කටයුතු කළ යුතුව තිබෙන බවත්, සදහන් විය.

හිටපු මුදල් හා විදේශ කටයුතු අමාත්‍යවරයාට එරෙහිව කටයුතු කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම සූදානම් වෙමින් සිටී.නමුත් මෙය සැලකිය යුතු කාලයක් ගතවන ක්‍රියාවලියක් නිසා පළමුවෙන්ම ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ කටයුතු කැරෙන ලකුණු පෙනෙන්නට තිබේ.විමර්ෂණ කොමිසමක් හමුවේ සාක්කි දෙන නිසා, එම සාක්කි සම්බන්ධයෙන් පසුව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට තිබෙන අවදානමෙන් ආරක්ෂාව සැළසෙන්නේ වුවත්, අධිකරණමය ක්‍රියාමාර්ගයක දී සාවද්‍ය සාක්කි ලබාදුන්නේ යැයි වැරදිකරුවකු වුවහොත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වසර 7ක් දක්වා වන සිරදඩුවමකට සහ දඩයකට එම පුද්ගලයා යටත් කළ හැකිය.කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නිසාත්, කරුණානායක සාවද්‍ය සාක්කි දී ඇතැයි යන අදහසේ ඔවුන් සිටින නිසාත්, ඔහුට එරෙහිව දැනටමත් ප්‍රබල චෝදනාවක් තිබෙන බව නීතිපති දෙපාර්තමෙන්තුවේ අදහසයි.නමුත් කරුණානායක තවමත් සිටින්නේ තමන් නිර්දෝශී යැයි යන මතයේය.තමන් වසර 25ක් දේශපාලනයේ සිටි බවත්, තම අවංකභාවය මෙසේ අභියෝගයට ලක් කෙරෙන්නේ ප්‍රථම වතාවට බවත්, ඔහු ඬේලිමිරර් පුවත්පත හා පවසා තිබින.

බදාදා ජාතිය ඇමතීමෙන් පසුව ජනපති සිරිසේන එක්සත් ජාතික පක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය හමුවකට සහභාගී විය.ඉදිරි මැතිවරණ කටයුතුවල දී දෙපාර්ශවය එකිනෙකා වෙත චෝදනා එල්ල කිරීමෙන් වළක්වාගැනීම එහි අරමුණ විය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයෙන්, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, සහ තිලංග සුමතිපාල යන මහත්වරුන් ද, එක්සත් ජාතික පක්ෂ පාර්ශවයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් සහ මංගල සමරවීර යන මහත්වරුන් ද ඊට සහභාගිව සිටියෝ ය.බැදුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් අදහස් පළකළේ නැත.බරපතලම කාරණය වන්නේ සිරිසේනගේ ප්‍රකාශයෙන් ප්‍රබල ලෙසම පහර වැදුන ද, එයින් තම මැතිවරණ ව්‍යාපාරයට සැළකිය යුතු හානියක් සිදුවීම සහතික වුව ද, එක්සත් ජාතික පක්ෂය ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීමය.බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් නිසි අයුරින් ප්‍රතිචාර දැක්වීමට එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය යාන්ත්‍රණයට එදා සිටම තිබූ නොහැකියාව තවත් හොදින් පෙනී ගිය එක් අවස්ථාවක් ලෙස මෙය සැළකිය හැකිය.

ඊයේ (07) බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ වාර්ෂික පක්ෂ සම්මේලනයේ දී බැදුම්කර වාර්තාව පිළිබදව පක්ෂයේ පදනම අගමැති වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට නියමිතව තිබින.මෙම වර්ෂය වන විට එක්සත් ජාතික පක්ෂය පිහිටුවා වසර 70කි.පක්ෂ නායකයා පැවැසීමට යන්නේ මින් පෙර අවස්ථාවලද පක්ෂය දැරූ ස්ථාවරයම බව දැනගන්නට ඇත.ඒ අනුව බැලූ විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ වැඩි වෙනසක් නොමැති බව කිව යුතුය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය, එහි පළමු ප්‍රධාන රැස්වීම පසුගිය බදාදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වින.එම පෙරමුණේ නායක හිටපු ජනපති රාජපක්ෂ ඇතුලු පක්ෂ නායකයෝ පැමිණ සිටියෝ ඇමතූහ.නමුත් ඔවුන් කිසිවෙක් බැදුම්කර සිදුවීම ගැන සදහන් නොකළෝ ය.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන උපාය සැළසුම්කරු වන බැසිල් රාජපක්ෂ සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වීමක නිරත වෙමින් පවසා සිටියේ මෙවැන්නකි.

“අගමැතිවරයා ඇතුලු සම්පූර්ණ රජයම ඉල්ලා අස්විය යුතුව තිබෙන බවයි අපේ නම් මතය.හිටපු මුදල් අමාත්‍යවරයා මත වරද පටවලා නිහඩව ඉන්න ඔවුන්ට කොහෙත්ම බැහැ.“

පක්ෂයේ පැහැය ලෙස කුරක්කන් පැහැය තෝරාගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ එකගව තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමුව තිබෙන්නේ 2015 සිට 2016 දක්වා සිදුවීයැයි කියන වංචා හා දූෂණ, අයථා ක්‍රියාකාරකම්, අවකටයුතු පිළිඹද වන චෝදනා සම්බන්ධයෙන්ය.කොමිසම පිහිටැවුනේ 2015 පෙබරවාරි මස 1 වැනිදා සිට 2016 මාර්තු මස 31 වැනිදා දක්වා කාලයේ කටයුතු සම්බන්ධයෙන් විමර්ෂණ පවත්වා, සැබෑ තොරතුරු අනාවරණය කරගෙන, ගැටලු ඇති නොවන පරිදි අනාගතයේ අනුගමනය කළ යුතු පියවර සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමට බව, ජනපති සිරිසේන පැවසුවේ ය.

එහෙත් 2008 සිට 2015 දක්වා බැදුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට කොමිසමට බලයක් නොතිබුණු බව ජනපතිවරයා කීවේ ය.එම කාලය සම්බන්ධයෙන් ද විමර්ෂණයක් පැවැත්විය යුතුව තිබෙන බව කොමිසමෙන් නිර්දේශ කර තිබෙන බව කියා සිටි ඔහු, සේවක අර්ථසාධක අරමුදලේ මුදල් වැඩි වශයෙන් නාස්තිව ඇත්තේ එම කාලයේ බව ද පැවසුවේ ය.එම අරමුදල ඇතුලු තවත් රජයේ ආයතන එම සමයේ ලබා ඇති අලාභය රුපියල් බිලියන 8.5ක් ඉක්මවන බව ද ජනපතිවරයා කීවේ ය.

මේ සන්දර්භයේ අගමැතිවරයාගේ අවධානය යොමුව තිබෙන්නේ 2008 සිට 2016 දක්වා කාලයේ බැදුම්කර ගනුදෙනු කෙරෙහිය.එම කාලයේ පැවැති මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ද අයථා ක්‍රියාකාරකම් සිදුවූ බවට චෝදනා නැගී තිබේ.තවත් වචනවලින් කියතොත් මෙයින් පෙනී යනු ඇත්තේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ ද බැදුම්කර අර්බුද ඇතිවන අයුරින් කටයුතු කර තිබෙන බවය.එවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළේ මෛත්‍රීපාල සිරිසේන බව රහසක් නොවේ.සිකුරාදා අගමැතිවරයා, මහ බැංකුවේ මුල්‍ය මණ්ඩල සාමාජිකයන් හමුවූ අතර, එහිදී ද ඔහු කියා සිටියේ අතීතයේ සිදු වූ ගනුදෙනු සම්බන්ධයෙන් ද විමර්ෂණ පැවැත්විය යුතු බවය.එය ඔහු මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගෙන් ද ඉල්ලා සිටියේ ය.

මාස තුනකට පත් කැරුනු කොමිසම අවසන මාස දහයක කාලයක් දක්වා දීර්ඝ කිරීමට සිදුවූයේ නම්, එම කාලය මුලුල්ලේ සිදුවූයේ සාක්කි විමසීම පමණක් නම්, වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට ඊට වඩා වැඩි කාලයක් ගතවනු ඇත.

කෙසේ හෝ ගැටලුව දැන් ඇත්තේ මහජන මතය නම් අධිකරණය ඉදිරියේය.තීන්දුව කුමක්වනු ඇතිදැයි යන්න දැනගත හැකිවනු ඇත්තේ පෙබරවාරි මස 10 වැනිදාටය.ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය නොයෙක් කරුණු කාරණා හා ගැටලු අරබයා දෙපක්ෂය අතර ප්‍රහාරයන් හුවමාරු කරගනු ඇත.ඇති - නැති වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ - එක්සත් ජාතික පක්ෂ සම්බන්ධතාවය හමුවේ කුමක් සිදුවනු ඇතිදැයි යන්න මෙම වසර ආරම්භයේ සිටම මතුව තිබෙන ප්‍රධාන ගැටලුවයි.

 



අදහස් (3)

බැඳුම්කර වාර්තාව පළමු රැස්වීමේදීම මැතිසබේට

indunil Tuesday, 09 January 2018 02:14 AM

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටියක් සෙවීම.......

:       1       0

Bandara Wednesday, 10 January 2018 11:02 AM

මේ දෙගොල්ලම හොරු කියලා අපේ රටේ මිනිස්සු තේරුම් ගන්නේ නැත්තේ ඇයි? හැමදාම රැවටෙනවා. වෙනසක් කරන්න හිතන්න දැන්වත්.

:       0       0

sena Thursday, 11 January 2018 05:34 AM

මම කවදාවත් හිතුවේ නැහැ ජනාධිපති තුමා මෙච්චර බාල ගේමක් ගහන්න පෙළඹෙයි කියලා....

:       2       10

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 273 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 219 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 63 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 302 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 212 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 263 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site