IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පළමු ශ්‍රේණියේ ඛේදවාචකය

තරිඳු ජයවර්ධන

([email protected])

සහ

බිඟුන් මේනක ගමගේ

([email protected])

අම්මාගේ, තාත්තාගේ අතේ එල්ලී අකුරු කරන්නට යන සිඟිත්තන් දෙස බලා තවත් සිඟිත්තියෝ දෙදෙනෙක් නිවසට වී සිටිති. ඒ  පාසලකට ඇතුළත් වීමට සියලූම සුදුසුකම් සපුරා තිබියදීය. ඔවුහු නිවුන්නුය. පියා ගුරුවරයෙකි. ‘මගේ දරු දෙදෙනාට පාසලක් අහිමි වී ඇත්තේ මා ගුරුවරයකු වුණ පාපයටද?’ මේ දියණියන්ගේ පියාට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් එසේ විමසන්නට සිදුවී ඇත්තේ  මාස පහක් තිස්සේ තම දියණියන් දෙදෙනාට පාසලක් අහිමි වීම නිසාය.

ලබන වසරේ පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම් පත‍්‍රය ද මේ වන විට නිකුත් වී ඇතත් පූර්විකාවේ සඳහන් කළ පරිදි  මෙම වසරේ ජනවාරියේ පාසල් යා යුතු වයසේ දරුවන් තවමත් පාසලක් ලැබෙන තුරු බලා සිටිති.

කතාව පටන් ගත්තේ නිවුන් දැරියන් දෙදෙනකුගෙනි. ඔවුහු ගම්පහ නගරයේ බාලිකා විද්‍යාලයක පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් වීමට සියලූ සුදුසුකම් සපුරා සිටිති. ඔවුන්ට පාසලක් අහි මිවීමේ ශෝකලාපය ගැන තවදුරටත් විමසා බැලිය යුත්තේ මෙවැනි සිදුවීම් තවත් කොතෙකුත් රටේ බොහෝ තැන්හි සිදුවන බැවිනි.

මෙම වසර එනම් 2017 වසරට පළමු ශ්‍රේණියට ළමයින් අතුළු කිරීම සඳහා වන චක‍්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යංශයේ ලෙකම්වරයා විසින් නිකුත් කරනු ලැබුවේ 2016   මැයි 16 වැනි දා ය. 17/2016 අංකයෙන් නිකුත් කැරුණු එම චක‍්‍රලේඛය ප‍්‍රකාරව අයදුම්පත් කැඳවා සම්මූඛ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු ලකුණු ලැයිස්තුව සහ පොරොත්තු ලේඛණය ප‍්‍රදර්ශනය කළේය. අභියාචනා මණ්ඩලය රැස්වන්නේ ඉන් අනතුරුවය. සෑම වසරකම පාහේ සිදුවන්නේ මෙයයි.

ජනප‍්‍රිය යැයි සම්මත පාසල්වලට පළමු ශ්‍රේණිය  සඳහා ළමයින් ඇතුළත් කර ගැනීමට ඇති පොරය නිසාම සෑම වසරකම පාහේ වංචා දූෂණ අක‍්‍රමිකතා රැසක් සිදු වුවද ඉන් නීතියේ රැහැනට හසුවන්නේ කිහිපයක් පමණි. නීති රීති අමු අමුවේ උල්ලංඝණය කරමින් ඇතැම් දේශපාලකයෝ ද ළමයින් ඇතුළත් කිරීමට සියතට ගෙන සිටිති.ආරක්ෂක අංශ කෝටාව ද ඔවුහු අතට ගත්හ. ‘මන්ත‍්‍රී’ ලැයිස්තු සැදුනේ එලෙසිනි.

ක‍්‍රියාන්විතයේ සිටි හෝ සිටින හමුදා සහ පොලිස් සාමාජිකයන්ගේ දරුවන් ඇතුළු කිරීමට වෙනම කෝටාවක් ඇති අතර ඒ යටතේ එක් පන්තියකට ළමයින් පස් දෙනකු ඇතුළු කළ හැකිය. සමාන්තර පන්ති හතරක් ඇති පාසලක (එක ශ්‍රේණියේ පන්ති හතරක්) එක් පන්තියකට ළමයින් පස් දෙනකු බැගින් ක‍්‍රියාන්විත කෝටාව යටතේ ළමයින් 20 දෙනකු ඇතුළත් කිරීමට අවස්ථාව ලැබේ. එම කෝටාව යටතේ ළමයින් ඇතුළු කිරීමේදී පුරප්පාඩු තිබුණොත් (එම ගණය යටතේ ප‍්‍රමාණවත් ළමයින් නොසිටිය හොත්) එම පුරප්පාඩු සඳහා ළමයින් ඇතුළත් කරන ආකාරය ගැන නිශ්චිතවම සඳහනක් 2016ට පෙර චක‍්‍රලේඛයේ නොතිබිණි. එනිසා දේශපාලකයන් කළේ එම කෝටාව සියතට ගැනීමයි. ඔවුහු තම හිතවතුන්ගේ දරුවන් ජනප‍්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමට එම කෝටාව පාවිච්චි කළහ.

ළමයින් අතුළත් කිරීමේ පොරයේ ඉදිරියෙන්ම සිටිනුයේ බස්නාහිර පළාතයි.  2017 වසර සඳහා ළමයින් ඇතුළත් කිරීමට 17/2016 චක‍්‍රලේඛය නිකුත් කිරීමට පෙර එක ශ්‍රේණිය සඳහා ළමයින් ඇතළත් කිරීමට අදාළ වුණේ 23/2013 දරණ චක‍්‍රලේඛය සහ 2013/23 (1), 2013/23 (11) සහ 34/2015 යන චක‍්‍රලේඛයන්ය.  2016 වසර සඳහා එක ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගත්තේ එම චක‍්‍රලේඛ අනුවය. 2016 දෙසැම්බර මාසය වන විට සම්මූඛ පරීක්ෂණ මෙන්ම අභියාච මණ්ඩල කැඳවීම්ද අවසන් කර අවසන් ලැයිස්තුව සකස් කළ යුතු අතර ජනවාරි මාසයේ පළමු වැනි ශ්‍රේණියට ළමයින් ගැනීම අවසන් කළ යුතුව තිබිණි.

සුපුරුදු පරිදි ක‍්‍රියාන්විත කෝටාවෙන් ඉතිරි වූ පුරප්පාඩු දේශපාලන ලැයිස්තුවලින් පිරවීමට සූදානමින් සිටින අතර 2016 අපේ‍්‍රල් මාසයේ දී අධ්‍යාපන ලේකම්වරයා විසින් තවත් උපදෙස් සහිත ලිපියන් නිකුත් කරනු ලැබීය. ඉන් කියැවුණේ ක‍්‍රියාන්විත කෝටාවෙන් ඉතිරිවන පුරප්පාඩු පිරවිය යුතු ආකාරය ගැනයි. ඒ අනුව දේශපාලන ලැයිස්තුවලට තව දුරටත් ඉඩක් නොලැබුණු අතර ඉතිරි පුරප්පාඩු අනෙකුත් ගණ යටතේ බෙදා හැරිය යුතු විය.

2016 මැයි මාසය වන විට බස්නාහිර පළාතේ පාසල් සිසුන් ඇතුළත් කිරීම අවසන් කර තිබුණු අතර පාසලක් අහිමි දරුවන් ගැන කිසිම ඉල්ලීමක් නැති බව මැයි මාසයේ දී කලාප අධ්‍යක්ෂවරු තහවුරු කළහ. එලෙස තිබිය දී 2016 ජූලි 25 වැනි දා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස එවකට කටයුතු කළ විමල් ගූණරත්න මහතාට ලිපියක් ලැබිණි. ඒ බස්නාහිර පළාතේ වගකිව යුතු දේශපාලකයකුගෙනි.

’‘බස්නාහිර පළාතේ පළමු වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දී ඇතැම් පාසල්වල පවතින අධික තදබදය හේතුවෙන් සහ තවදුරටත් පළමු ශ්‍රේණිය සඳහා ඇතුළත් නොවූ සිසුන් බොහෝ සංඛ්‍යාවක් ඇති බවට බස්නාහිර පළාත් ගරු අමාත්‍ය මණ්ඩලය හා මන්ත‍්‍රීවරුන් විසින් දිගින් දිගටම මා වෙත ඉල්ලීම් කර ඇත. තවද, පළමු ශ්‍රේණියට  ළමුන් ඇතුළත් කිරීමේ චක‍්‍රලේඛය ප‍්‍රකාරව පංතියක ළමුන් සංඛ්‍යාව 40 ඉක්මවිය නොහැකි බැවින්, අධික තදබදය පවතින පාසල් සඳහා අමතර පංතියක් ලබා දීම අනුමත කරන අතර එහි දී උක්ත අවශ්‍යතාව පවතින අධ්‍යාපනික කලාපයක සීමිත පාසල් සංඛ්‍යාවක් පමණක් වන සේ තෝරා ගැනීම කළ යුතු බව ද දන්වා සිටිමි.’’ යනුවෙන් සඳහන් ලිපියට පාසල් ලැයිස්තුවක් ද අමුණා තිබිණි.

එහි ඇති සියලූම පාසල් පාහේ ජනප‍්‍රිය යැයි සම්මත පාසල්ය. ඉන් නොනැවතී එසේ වැඩි කරන පන්තියට ඇතුළත් කළ යුතු දරු දැරියන්ගේ නාම ලේඛණයක් ද ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බස්නාහිර පළාත් අධ්‍යක්ෂවරයාට යවා තිබිණි.මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයය, කොට්ටාව ධර්මපාල ප‍්‍රාථමික විද්‍යාලයය, නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය, පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලය, රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලය, අවිස්සාවෙල්ල ජනාධිපති විද්‍යාලය, පාදුක්ක සිරිපියරතන විද්‍යාලය, කොළඹ අට සංඝමිත්තා බාලිකා විද්‍යාලයය, මැද කොළඹ ෆාතිමා මුස්ලිම් බාලිකා විද්‍යාලයය, කොළඹ 10 අශෝක විද්‍යාලයය, මැද කොළඹ අල් කහිරියා මුස්ලිම් බාලිකා විද්‍යාලය, ගම්පහ යශෝධරා දේවි බාලිකා විද්‍යාලය, අත්තනගල්ල රන්පොකුණුගම විද්‍යාලය, බියගම සපුගස්කන්ද විශාඛා විද්‍යාලය, මහර ධර්මදස්සී මහා විද්‍යාලය, පානදුර අගමැති බාලිකා විද්‍යාලය, පානදුර රාජකීය විද්‍යාලය, කළුතර ඥානෝදය විද්‍යාලය, දර්ගා නගරයේ ඥාණිස්සර විද්‍යාලය, හොරණ තක්ෂිලා විද්‍යාලය සහ මතුගම ශාන්ත මරියා මහ විදුහල එම පාසල් ය.

වසර අවසන් වීමට ඔන්න මෙන්න තිබිය දී පන්ති වැඩි කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි  ඕනෑම කෙනකුට සිතා ගත හැකිය. මෙය නීති විරෝධී බැවින් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දිගින් දිගටම විරෝධය පළ කරන්නට විය. අලූතින් පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් 2016 අගෝස්තු පළමු වැනි දා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් විමසීමක් කරන අතර ඊට පිළිතුරු ලෙස පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සවිස්තර වාර්තාවක් ලබා දුන්නේය.

2016 අපේ‍්‍රල් මාසයේ අධ්‍යාපන ලේකම්වරයා ලිපියක් නිකුත් කරමින් ක‍්‍රියාන්විත පුරප්පාඩු පිරවිය යුතු ආකාරය දැනුම් දුන් අතර එනිසා තවදුරටත් මන්ත‍්‍රී ලැයිස්තු හෝ දේශපාලන නිර්දේශ මත ළමයින් ඇතළු කිරීම සිදු කළ නොහැකි බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දුන්නේය.

පාසල්වල ඉඩ පහසුකම් සලකා බැලීමේදී ද පන්තියක් වැඩි කිරීම ප‍්‍රායෝගික නොවන බව දැන්වූ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඒ වන විට පාසල් අහිමි දරුවන් නොසිටින බව කලාප අධ්‍යක්ෂවරුන් තහවුරු කර තිබිය දී අලූතින් පන්තියක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවක් නැති බව පෙන්වා දුන්නේය.

දේශපාලන ලැයිස්තු සඳහා පන්තියක් අලූතින් එකතු වීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න තරයේ විරෝධය පළ කරද්දී ඔහුගේ තනතුරට ද තට්ටු විය. විමල් ගුණරත්න මහතා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කරනු ලැබීය. ඉන් පසු ලැබුණු අවසරයෙන් පාසල් කිහිපයක පන්තිය බැගින් වැඩි කළේය. සිසුන් ඇතුළු කළේ සාමාන්‍ය ක‍්‍රමවේදයට නම් නොවේ. පන්තියක් වැඩි කිරීමට යෝජනා වූ පාසල් අතර පූර්විකාවේ අප සඳහන් කළ ගම්පහ  බාලිකා විද්‍යාලය ද විය.

ගුරු සංගම් චෝදනා කළේ පන්තියක් වැඩි කිරීම යනු මහා දවාලේ සිදු කළ හොරකමක් හා සමාන බවයි. එම පන්ති සඳහා සිසුන් තෝරා ගත්තේ කෙසේද? ඒ සඳහා තෝරා ගත් සිසු සිසුවියන් අදාළ පාසල්වලට ඇතුළු කිරීමට සුදුසුකම් සපුරා තිබුණේද? ඔවුන් සම්මූඛ පරීක්ෂණයට බඳුන් කළේ කවුරුන් විසින්ද? ඔවුන් අසාධාරණයට ලක්වූ අය නම් අභියාචනා කමිටුවලට සහභාගී වී තිබේද? මේ ප‍්‍රශ්නවලට පිළිතුරු සොයා සාධාරණ විමර්ශනයක් කළහොත් තවත් බොහෝ කරුණු හෙළිදරවන් වනු ඇත.ඒ පළමු ශ්‍රේණියට සිසුන් ගැනීමේ එක් කතාවක් පමණි. පූර්විකාවේ සඳහන් සිදුවීම දැන් අවධානය යොමු කරමු.

ගම්පහ බාලිකා විද්‍යාලයකට පළමු ශ්‍රේණිය සඳහා තම නිවුන් දියණියන් දෙදෙනා ඇතුත් කිරීමට ගුරුවරයකු වන පියා ගණ තුනක් යටතේ අයදුම් කළේය. පාසලට ආසන්න තාව මත ඔහු අයැදුම් කළේ ඒ සඳහා සියලූම සුදුසුකම් සපුරා තිබුණු හෙයිනි. ඊට අමතරව අධ්‍යයන කාර්ය මණ්ඩල යටතේ අයැදුම් කළේ ද එම ගණය යටතේ ද සියලූ සුදුසුකම් සපුරා තිබුණු බැවිනි. අධ්‍යාපන ලේකම්ගේ චක‍්‍රලේඛ ප‍්‍රකාරව ගණ කිහිපයක් යටතේ අයැදුම් කළහොත් ගණ කිහිපය සඳහාම සම්මූඛ පරීක්ෂණයට කැඳවිය යුතු වුව ද එලෙස සිදුවූයේ නැත. එම බාලිකා විද්‍යාලයයේ සම්මූඛ පරීක්ෂණයට මෙම ගුරුවරයා කැඳවූයේ ආසන්නතාවය යන ගණය යටතේය.

චක‍්‍රලේඛ ප‍්‍රකාරව නිවසේ සිට පාසලට ඇති අහස් දුර බැලිය යුතු වුවද බැලූවේ අහස් දුර නොව මහා මාර්ගය ඔස්සේ එන දුරයි. සම්මූඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටි පිරිස ඊට නිදහසට කාරනා ලෙස කීවේ ‘ගුවන් දුර බලන්න ළමයා අහසින් එන්නේ නැහැනේ. පාර දිගේනේ එන්නේ. ඒ නිසා අපි බලන්නේ පාර දිගේ එන දුර.’ යනුවෙනි. මේ පිරිස අධ්‍යාපන ලේකම්ගේ චක‍්‍රලේඛයවත් හරි හැටි කියවා නැති බව මෙවැනි ප‍්‍රකාශ වලින් බැලූ බැල්මට පෙනී යයි.

එම ගණය යටතේ ඔහුගේ දියණියන් දෙදෙනාට ලකුණු 95 බැගින් ලැබිණි.  එහෙත් තාවකාලික ලකුණු ලැයිස්තුව ප‍්‍රදර්ශනය කරද්දී ඒ නම් දෙක හැලී තිබුණු අතර ඊට වඩා අඩු ලකුණු ගත් දරුවන් පාසලට තේරී තිබිණි. පොරොත්තු ලේඛණයේ 13 සහ 14 අංක යටතේ ඔවුන්ගේ නම් සඳහන් කර තිබිණි. සියලූ සුදුසුකම් සපුරා තිබියදිත් තම දරුවන් පාසලට තෝරා නොගැනීම ගැන සහ ගණ තුනක් යටතේ අයදුම් කර තිබිය දී එක් ගණයක් යටතේ පමණක් සමූඛ පරීක්ෂණයට කැඳවීම ගැන පාසල් ප‍්‍රධානියාගෙන් විමසුවත් නිසි පිළිතුරක් නොලැබිණි. එක ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක‍්‍රලේඛ ප‍්‍රකාරව අයැදුම්කරුවන් සම්මූඛ පරීක්ෂණයට කැඳවීමේ වගකීම තිබෙන්නේ පාසලේ විදුහල්පතිවරයාටය.

ඉන් පසු ඔහුට අභියාචනා කමිටුවට එන ලෙස දැනුම් දීමක් ලැබුණු අතර අභියාචනය විභාග කළේ ආසන්නතාව මත පදනම් වූ ගණය යටතේ නොව අධ්‍යයන කාර්ය මණ්ඩලය යටතේය. අභියාචන මණ්ඩල සභාපතිවරයා ලෙස කටුතු කළේ ප‍්‍රදේශයේම වෙනත් පාසලක විදුහල්පතිවරයෙකි. සම්මූඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටි තවත් දෙදෙනෙකු අභියාචන මණ්ඩලයේ සිටි අතර අභියාචන මණ්ඩලයේ සාමාජිකයන් ලෙස කටයුතු කළ යුතු බවට චක‍්‍රලේඛයේ සඳහන් උදවිය සිටියේ නැත.

අභියාචනා මණ්ඩලයේ දී සියලූ කරුණු සැලකිල්ලට ගෙන ලකුණු 80ක් ලබා දී තිබිණි. අභියාචනා මණ්ඩල සභාපතිගෙන් ලද දුරකතන ඇමතුමකට අනුව ඊට සතියකට පමණ පසු යළිත් අභියාචන මණ්ඩලයට ගිය විට මෙම ගුරුවරයාගේ දරුවා පාසලට ඇතුළත් කළ නොහැකි බව දැනුම් දී තිබේ. ඊට හේතුව ලෙස සභාපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ පියා වන ගුරුවරයාගේ නමේ කොටසක් වෙනස් කර ඇති නිසා දරු දෙදෙනා පාසලට ඇතුළත් කර ගත නොහැකි බවයි. තමා නම වෙනස් කළේ නිත්‍යනුකූලව බව කියමින් අවශ්‍ය ලේඛණ ඉදිරිපත් කළ ද ඒ කිසිවක් ගණනකට නොගත් අභියාචන මණ්ඩල සභාපතිවරයා මෙම ගුරුවරයාගේ ලේඛණ අඩුපාඩු ඇති බව කියමින් සටහනක් තැබීය.

ආසන්නතාව යටතේ ලකුණු 95ක් ගත් මේ දියණියන් දෙදෙනා පාසලට අතුළත් කිරීමට නොහැකි වුවද ලකුණු 91 ලබාගත් දියණියන් විශාල පිරිසක් පාසලට ඇතුළු කර ගෙන තිබිණි. අධ්‍යයන කාර්ය මණ්ඩල ගණය යටතේ (අභියාචනයේදී) ලකුණු 80ක් ගත් මේ දියණියන් දෙදෙනා පාසලට බඳවාගෙන නොගත්තද ලකුණු 63  ලබාගත් වෙනත් දරුවන් පාසලට ඇතුළත් කර ගෙන තිබිණි.

කුමන හෝ පාසලක් ලබා දෙන ලෙස ඉල්ලමින් කිහිප වරක්ම ගුරුවරයා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හමුවීමට ගියද සහනයක් නොලැබිණි. අවසානයේ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සරණ පැතීමට ඔහුට සිදු විය.

පළමු වසරට සිසුන් ඇතුළත් කිරිමේදී සිදුවන අක‍්‍රමිකතා ගැන සඳහන් කිරීමට  ඉදිරිපත් කළේ එක් උදාහරණයක් පමණි. ඒ දියණියන් දෙදෙනා පාසලට නොගත්තේ ඇයි? ඇත්තටම ඒ දියණියන් පාසලට ඇතුළත් කර නොගත්තේ වෙනත් හොර පාරවල් වලින් හිතවත්කම් මත සිසුන් පාසලට ඇතුළත් කර ගැනීම සඳහා ඉඩ වෙන් කර තබා ගැනීමට ද?. ආරක්ෂක අංශ කෝටාව යටතේ හොරට සිසුන් දැමීම දැන් අවුල් සහගත නිසා (අවුල් සහගත වුවද දිගින් දිගටම සිදුරකන විදුහල්පතිවරු සිටිති.) සුදුසුකම් ඇති සිසුන් කපා දමා සුදුසුකම් නැති සිසුන් ගැනීමේ සිදුවීම් තවත්  ඕනෑ තරම් තිබේ.

පළමු ශ්‍රේණියට සිසුන් දැමීමේදී සිදු කරන අයථා වැඩ කටයුතු ගැන සහ අසාධාරණකම් එක් උදාහරණයක් ආශ‍්‍රයෙන් විමසූ නිසා එම උදාහරණයටම ඈඳෙන තවත් සිදුවීමක් ඉදිරිපත් කරමු.

ගුරුවරයාගේ දියණියන් දෙදෙනාට සියලූ සුදුසුකම් සපුරා තබිය දී පාසලට ඇතුළත් කර නොගත්තද සුදුසුකම් නැති දියණියකඑම පාසලටම ඇතුළත් කළ ආකාරයයි මේ.

ඔවුන්ගේ පදිංචිය පෝෂිත ප‍්‍රදේශයේ නොවේ. එනිසා ආසන්නතාව මත අයැදුම් කළ ද සම්මූඛ පරීක්ෂණ මණ්ඩලයට කැඳවිය නොහැකිය. සම්මූඛ පරීක්ෂණයට සහභාගී නොවූවන්ට අභියාචනා පරීක්ෂණයට සහභාගී විය නොහැකිය. අපට ලැබී ඇති තොරතුරු අනුව මේ දියණියගේ පියා 1982 වසරේ හෝ ඊට ආසන්න වර්ෂයක උපන්නෙකි. ඔවුන්ට සම්මූඛ පරීක්ෂණයට කැ`දවීම් නොලැබිණි. පාසලේ අභියාචනා මණ්ඩලයට ද සහභාගී වීමට නීත්‍යනුකූල කැඳවීමක් ලැබී නැත.

මුදලේ බලය නිසා ඔවුන්ට අභියාචන මණ්ඩලයෙන් ලකුණු ලැබීමේ වරම ලැබිණි. ඔවුන්ගේ නිවසේ ලිපිනය ලෙස යෙදා තිබුණේ ගම්පහ පහළගම ලිපිනයකි. එම ලිපිනයේ සැබැවින්ම පදිංචිව සිටින්නේ දේවාලයක කපු මහත්මයෙකි. 1994 වසරේ රුපියල් ලක්ෂ පහකට ලියූ බව සඳහන් සින්නක්කර ඔප්පුවක් පදිංචිය සනාථ කිරීමට ඔවුන් ඉදිරිපත් කර තිබිණි. සාමාන්‍යයෙන් පදිංචිය සනාථ කර ගැනිමට එම ස්ථානයට යා යුතු වුවද මෙම පදිංචිය සනාථ කර ගැනීමට ගියේ නැත. අවශ්‍යතා රැසක් සපුරා නොතිබිය දී සහ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර තිබිය දී එම දියණිය පාසලට ඇතුළත් කර ගත්තේය.  මෙහි තවත් තොරතුරු ඇතත් මානුෂීය හේතූන් මත ඒවා හෙළි නොකරමු.

අප කළ සොයා බැලීම් අනුව තොරතුරු ලැබුණේ සුදුසුකම් සපුරා නොතිබිය දී එම පාසලට ඇතූළත් කර ගත් ළමයින් ගණන සිව් දෙනෙකු බවයි. එලෙස ඇතුළත් කර ගත් තවත් සිසුන් කොතෙකුත් සිටිය හැකිය.

උදරහණය ලෙස එක් පාසලක් ගත්තද බොහෝ ජනප‍්‍රිය යැයි සම්මත පාසල්වල සිදුවන්නේ ඒ දෙයමය.

පාසලට ළමයින් ඇතුළත් කිරීමේ දී සිදුවූ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් මීට මාස කිහිපයකට පෙර කොළඹ රාජකීය විද්‍යාලයයේ අභියාචනා මණ්ඩලයේ සිටි වෙනත් පාසලක විදුහල්පතිවරයකු ඇතුළු හත් දෙනකුගේ වැඩ තහනම් කරනු ලැබීය. අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන සිදුකෙරෙන අතරතුර රාජ්‍ය සේවා කොමිසම මගින් යළිත් ඔවුන්ට රාජකාරි ලබා දුන්නේය.

කොළඹ රාජකීය විද්‍යාලයයේ සිදුවීමත් සමඟ අධ්‍යාපන අමාත්‍යංශය කීවේ ළමයින් ඇතුළත් කිරීමේදී සිදුවූ අයථා ක‍්‍රියා සම්බන්ධයෙන් පාසල් 15ක පමණ විමර්ශන සිදු වන බවයි. නමුත් තවමත් ඒවායේ ප‍්‍රතිඵල ලැබී නැත.පාසලකට සිසුන් ඇතුළත් කිරීමේදී වංචා, දූෂණ, අක‍්‍රමිකතා සිදුකිරීම සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය යටතේ ද ක‍්‍රියා කළ හැකිය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට මෙන්ම පොලිස් වංචා විමර්ශන අංශයටද විමර්ශන සිදු කළ හැකිය.

දිගින් දිගටම පාසල්වල සිදුවන මෙවැනි අක‍්‍රමිකතා නැවැත්වීමට නම් නිර්දේශවලට පමණක් සීමා නොවී අපරාධ නීතිය ද ක‍්‍රියාත්මක කළ යුතුමය. එම පරීක්ෂණ ආරම්භ කිරීමට හොඳම සිදුවිම් තුන ගම්පහ බාලිකා විද්‍යාලය,  කොළඹ රාජකීය විද්‍යාලය සහ බස්නාහිර පළාතේ පාසල් කිහිපයක අමතර පංතියක් වැඩි කිරීමේ සිදුවීමයි. එසේ නැතිනම් ලබන වසරට ළමයින් ඇතුළත් කිරීමේදී ද දේශපාලන අතපෙවීම්, වංචා, දූෂණ සිදුවිය හැකිය. 

‘ළමයින් ඇතුළු කිරිම ගැන ජාතික ප්‍රතිපත්තියක් ඕනෑ‘

- ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් -  

‘‘ජනාධිපතිවරයාගේ දින සියයේ වැඩ පිළිවෙලේ 59 යටතේ තිඛෙනවා පාසල්වලට ළමයින් ඇතුළත් කර ගැනීම ස`දහා සාධාරණ, විනිවිද පෙනෙන ක්‍රමවේදයක් සකස් කරන බව. නමුත් තවමත් එය සිදුවෙලා නෑ. පාසල් වළට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. අද පාසලට ළමයින් ගැනීම තීරණය වන ප්‍රධානම සාධයකය මුදල් බවට පත් වෙලා. පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේදී ආදි ශිෂ්‍ය සංගම් අනවශ්‍ය අතපෙවීම් කරනවා. පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේ බලය විදුහල්පතිට දුන් විට විදුහල්පති ආදි ශිෂ්‍ය සංගමයේ ගොදුරක් කර ගැනීමට උත්සාහ කරනවා. මෙය එක් පාසලක ගැටළුවක් නොවෙයි. බොහෝ පාසල් වන සිදුවන දෙයක්.  මීට පෙර අධ්‍යාපන දෙපාර්තමේන්තුනේ හෝ පළාත් අධ්‍යාපන පොර්තමේන්තුවේ නිලධාරියෙකු සම්මූඛ පරීක්ෂණ මණ්ඩලයට ආවා. නව චක්‍රලේඛවලින් එයත් ඉවත් රක තිඛෙනවා. පාසල් වලට ළමයින් ඇතුළත් කිරීම රටේ ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙලා තිඛෙනවා.  මේ නිසා පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම ගැන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි.‘‘

 

‘අසාධාරණයක් නම් පැමි‚ලි කළ හැකියි‘

 - නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ -

 ‘පාසැල්ව  පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී අධ්‍යපන අමාත්‍යාංශලේකම් විසින් දැනට නිකුත් කරනු ලැබූ ඇති චක්‍රලේක අනුව සිදු විය යුතුයි. එහිදී නිසි සුදුසුකම් සහ අදාළ නිර්ණායක අනුව එක් එක් ගනයන් යටතේ සුදුසුකම් සපුරන සිසුන් ප්‍රමුඛතා පිළිවෙලට පාසැල් සඳහා ඇතුළත් කරගත යුතු වෙනවා. දරුවන් ඇතුළත් කරගැනීමේදී මුදල් හෝ වෙනත් ද්‍රව්‍ය ඉල්ලා සිටීමින් බලපෑම් කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. එවන් අක්‍රමිකතා සිදුවන්නේ නම් පළමු අවස්ථාවේම අධ්‍යාපනය අමාත්‍යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකියි. ළමයින් ඇතුළත් කිරීම සඳහා මුදල්,ද්‍රව්‍ය හෝ ලිංගික අල්ලස් ඉල්ලා සිටින අවස්ථාවක ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්ට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්.

සෑම දරුවකුටම පාසලක් හිමි විය යුතුය. නමුත් සුදුසුකම් සපුරන දරුවන් සිටියදිී අඩු සුදුසුකම් සහිත දරුවන් ඇතුළත් කර ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේකයට පටහැනියි. එය අදාළ දරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් ලෙස සැලකිය හැකිය. එවන් අවස්ථාවකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධීකරණයේ ගොනු කිරීමට අවස්ථාව තිඛෙනවා. එමෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද හැකියාව තිඛෙනවා. මානව හිමිකම් නිර්දේශ මත දරුවන් පාසල්වලට ඇතුළු කළ අවස්ථා ඕනෑ තරම් තිඛෙනවා.‘

 

‘කලාප කාර්යාලයෙන් පරීක්ෂණ කරනවා‘

-බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් -

බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමැතිගේ ඉල්ලීමකට අනුව වැඩි කළ එක ශේ‚යේ පන්ති වලට ළමයින් ඇතුළත් කර ගත්තේ කොහොමද?

එවැනි ඉල්ලීමක් අපට තාම සිදුකරලා නෑ. එහෙම නම් අමාත්‍යංශ ලේකම්තුමා හරහා ලිඛිතව සිදුවිය යුතුයි.

පළාත් අධ්‍යාපන ඇමැති ඉල්ලීමක් කළ පළියට පන්තියක් වැඩි කරන්න පුළුවන්ද?

ඒ ගැන යමක් කිවහැක්කේ එවැනි ඉල්ලීමක් ලැබුණු විටයි.

ගම්පහ යශෝදරා දේවි බාලිකා විද්‍යාලයට එක වසරට ළමයින් ගනිද්දී දූෂණ අක්‍රමිකතා රැසක් වූ බව වාර්තා වෙනවා. ඒ ගැන විමර්ශනයක් කළාද? ප්‍රතිඵල මොනවාද?

ඊට අදාළව විමර්ශනයක් සිදුවෙනවා. එය සිදුවන්නේ කලාප අධ්‍යාපන කාර්යාලයෙන්.

 

‘ජනප්‍රිය පාසල් තර`ගය අවම කරනවා‘

-අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් -

දින 100 වැඩ පිළිවෙලේ අංක 59 තියෙන ආකාරයට පාසල්වලට ළමයින් ඇතුළු කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් හදන්නේ කවදාද?

සියල්ල එකවර වෙනස් කිරීම පහසු නෑ. එක වසරට ළමුන් බඳවාගැනීමේ චක්‍රලේඛයේ යම් වෙනසක් කළා. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය දියත් කරමින් නව විදුහල්පති පත්වීම් කරමින් අධ්‍යාපන පරිපාලන සේවයට අලූතින් බඳවාගනිමින් සියල්ල කරන්නේ ඒ සඳහායි. දිවයින පුරා අලූත් ව්‍යාපෘති 1800 ක් ආරම්භ කළා. මේ සියල්ල කරන්නේ ජනප්‍රිය පාසල් තරඟය අවම කිරීමේ අරමුණ පෙරදැරිවයි.

රාජකීය විද්‍යාලයේ අභියාචන මණ්ඩලයේ වැඩ තහනම් කළ පිරිස යළි සේවයේ පිහිටෙව්වේ අධ්‍යාපන අමාත්‍යංශයේ ඉල්ලීමක් උඩද?

කිසිසේත්ම නැහැ. අපි පැහැදිලිවම වැරැදිකරුවන් හඳුනාගත්තා. ඔවුන් යළි සේවයේ පිහිටුවූයේ රාජ්‍ය සේවා කොමිසමේ නියමයෙනුයි. මා එයට එකඟ වන්නේ නෑ. මා ඊට විරෝධය පළ කළා. නමුත් මට රාජ්‍ය සේවා කොමිසමට ඉහළින් යන්න බෑ.

තවත් පාසල් 15ක පමණ විමර්ශන සිදු වෙන බව කිව්වා. දැන් තත්ත්වය මොකද?

බොහෝ විමර්ශන කරගෙන යනවා. නමුත් අපට ප්‍රශ්නයක් තිඛෙනවා. අපිට සිටින්නේ විදුහල්පතිවරු ටික දෙනයි. මේ නිසා සියලූම පාසල්වල පුරප්පාඩු ගැසට් කරලා සම්මුඛ සාකච්ඡා පවත්වා බඳවාගැනීම් කිරීමට අපි කටයුතු කරනවා.

 



අදහස් (3)

පළමු ශ්‍රේණියේ ඛේදවාචකය

disanayaka Wednesday, 14 June 2017 05:09 AM

මුදල් වලට ගිජු ගුරුවරුන් සහ අධ්‍යාපන නිලධාරීන් නිසා අහිංසක දරුවන්ට මේ සිදුවන අසාධාරණය ඉතාම පිළිකුල් සහගත තත්වයකි. සියලුම දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය මනව හිමිකමකි. එ්ත් අපේ රටේ පවතින අකාර්යක්ෂම ක්‍රියාපටිපාටීන් විනිවිද භාවයක් නොමැති අතර ඒවා නිලධාරීන් සහ දේශපාලකයන්ට අහිංසක ජනයාගේ මුදල් ගැනීමට හොඳ තෝතැන්නකි. අද අලුත් ලෝකය ඉතා දියුණු කාර්යක්ෂම ක්‍රියා පටිපාටීන් අනුගමනය කරනවා. මේ සඳහා ඉතා විනිවිද පරිගණක පද්ධතීන් ඉතා කාර්යක්ෂම ලෙස යොදාගැනීමේ හැකියාව තියෙනවා. මේවට තමයි කියන්නේ ඉතා හොඳ වැඩ කියලා... වෙනත් රටවල්වල මේ වගේ දේවල් යොදාගන්නේ නැහැ අධ්‍යාපන කටුතු සඳහා. අපේ රට ඇත්තට අපිට පේනවා කවදාවත් දියුණු නොවන බව මොකද මේ මුදල් වලට ගිජු ගුරුවරුන් සහ අධ්‍යාපන නිලධාරීන් සහ දේශපාලකයන් අපේ රට නැතිකරනවා. අපේ රටේ වැඩක් නොකරන අමාත්‍යවරු සහ අමාත්‍යංශ දුසින් ගණන් තියෙනවා.

:       0       0

වි.කුලතුංග Wednesday, 14 June 2017 09:29 AM

බැලූ බැල්මට මෙම දරුවන් ට අසාධාරණයක් වි අැති බව පෙණුනත් මෙම ක්‍රමය තුළ තවත් හුදකලා සිදුවීමක් පමණි. චක්‍ර ලේඛවල උපදෙස් නිවැරදි ව අර්ථ කථනය කර නොගැනීම හෝ තමාට රිසි පරිදි අර්ථකථනය කර ගැනීම යන වැරදි ඇතැම් විදුහල්පතිවරු කරති. අධ්‍යාපනයට අත්‍යාවශ්‍ය ප්‍රතිපත්ති නොමැති රටක මෙවන් දේවල් අහඹු දෙයක් යැයි කීමට නොහැකි ය. දේශපාලකයින් තමාට රිසිදේ කරගැනීම ගැන හිතන විට අැතැම් විදුහල්පතිවරුන් තම පටු අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනී සිටීම වේ. පරිපාලන ක්ෂේත්‍රයේ විනය පිළිබඳ ගැටලුවක් තිබෙන බව පමණක් කිව යුතුය. දේශපාලකයින් එය තුළ රිසි සේ පිනුම් ගසන බවයි පේන්නේ...

:       0       2

Campaign for Productive Education Thursday, 15 June 2017 04:54 AM

කරුණාකරල අපි අධ්‍යාපන ඇමතිතුමාගෙන් සහ ලේකම්තුමාගෙන් ඉල්ලන්නේ සිංහල දන්න නිළධාරින් ටිකක් අරගෙන මෙම චක්‍ර ලේඛණ පැහැදිලිව අර්ථකථනය නිකුත් කරන්න. හොරුන්ට රිංගන්න චක්‍ර ලේඛණ වල ඡේද ලියන්න එපා. හොරුන්ව රකින්න හදන්න එපා. විදුහල්පතිවරු නැතිනම් නැති විදියට පාසල් යන්න දෙන්න. අක්‍රමිකතා වලට සම්බන්ධ විදුහල්පාපතිවරු පාසල් වල තබා ගැනීමෙන් පාසලක විදුහල්පතිවරු නැති තත්වයට වඩා ප්‍රථිපල භායානකයි. කරුණාකර වැරදි කරන විදුහල්පතිවරු පාසල් වලට දාන්න එපා. වැරදි කරන විදුහල්පතිවරු පාසල් ඉන්න දෙන්න ආන්ඩුව හිතනවනම් ඒ කරන්නේ පාසල් දියකර හැරිමේ පෞද්ගලික පාසල් වල කොන්ත්‍රත්තුවකි.

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 138 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 0 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 265 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 193 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 241 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 244 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site