IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නිරුවත ජාතික අර්බුදය

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා 
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ
ධම්ම දිසානායක

පිදුරංගල දී නිරුවත් වූ තරුණයන්ගේ ඇඳුම්වලින් රටේ පවතින අති දරුණු ආර්ථික, සමාජ සහ දේශපාලන අර්බුදයෙහි හෙළුව වසා දැමීමට මෙරට වගකිව යුතු බොහෝ අය සහ ආයතන ගන්නා උත්සාහය තාවකාලික පිළියමක් පමණි. ඊට හේතුව එවැනි මාධ්‍ය මෙහෙයුමකින් වසා දැමීමට බැරි තරමේ ආර්ථික, සමාජ සහ දේශපාලන අවපාතයක රට ගිලි ගිලී තිබීමය. මෙය චෝදනාවක් ලෙස නොගන්න. සාමාන්‍යයෙන් පුරුද්දක් ලෙස අප කරන්නේ මහා අර්බුද, ගැටලු, ව්‍යසන සහ අවපාතවල ස්වරූපය ඒවාට අදාළ අභ්‍යන්තර හා බාහිර හේතු සහ ඒවායින් ගැලවීමේ මඟ නොදන්නා විට, වහා තේරෙන අති සරල කාරණා සමඟ යුද වැදීම ය. 

ඒ හරහා ඇඟ කීරිගසන, කිලිපොලා යන මහා ඛේදවාචක මඳකට අමතක කොට සුව, එහෙත් හදිසියේ ඇහැරීමට සිදුවන කෙටි නින්දකට යාම ය. අවදි වූ සැණින් නැවත කුමක් හෝ අති සරල සිදුවීමක් සොයාගෙන යළි මහා යථාර්ථය කෙටි කලකට අමතක කිරීම ය. එසේ අමතක කළාට ඒ මහා අර්බුද සහ ව්‍යසන නවතින්නේ නැත. ඒවා තම බිහිසුණු බව සහ ආක්‍රමණශීලී බව දෙගුණ තෙගුණ කරමින් ඉදිරියට ඇදෙයි. මෙවර ලිපියෙන් මා උත්සාහ කරන්නේ බොහෝ අය සිතාමතාම අමතක කරන, කරවන මේ ඛේදවාචක රෑනට අභියෝග කරමින් සිට ගැනීම සඳහා වූ ඥානය ලබන ලෙස මෙරට තරුණ ජනයාට අරාධනා කිරීමට ඇවැසි පසුබිමක් සැකසීම ය.
සාමාන්‍ය ජනයා වන අප, මහා අර්බුද සහ ව්‍යසන එලෙස අමතක කර සුළු දෑ සමඟ සටනට යන්නේ අපේ අසරණ කමට ය. එහෙත් පාලකයන් සහ ඔවුන්ගේ සහායට සිටින සිය ගණනින් වූ අවතාර අපට ඒවා අමතක කරවන්නේ ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් සහ අප තව තවත් සත්‍යයෙන් ඈත් කොට මිථ්‍යාවේ ම ගිල්වමින් අසරණ කිරීම සඳහා ය. ඒ නිසා දැන් අවශ්‍ය වන්නේ මේ ප්‍රවෘත්ති සහ තොරතුරු අවතාර විසින් අපට අමතක කරවන මහා සත්‍යය සොයා ඒ තොරතුරුවලින් සහ ප්‍රවෘත්තිවලින් අභිනිෂ්ක්‍රමණය කිරීම ය.
බොහෝ පාලකයන් උත්සාහ ගන්නේ, සමාජයේ අතිශය සුළු පිරිසකගේ අශීලාචාර ධනවත් වීම, අති බහුතරයකගේ දරිද්‍රතා මට්ටම් වැඩිවීම, අති දරුණු පන්ති විසමතා, දූෂණ වංචා, සමාජ අසමානතා සහ ප්‍රජාතන්ත්‍රීය ආයතනික පද්ධතීන් හි පිරිහීම් යනාදිය වසා දැමීමට ඒවා නොවන වෙනත් මොනවා හරි දෙයක් පාවිච්චි කරමින් ජන අවධානය වෙනතකට හැරවීමට ය. පාලකයන්ගේ මේ වැඩේට මෙරට පුරෝගාමී වමත්, මැදි වමත්, නව රැඩිකල් වමත් නියමින් සහ අනියමින් තවමත් උදව් කරමින් සිටීම දෙස බලන විට පෙනී යන්නේ, එය එසේ නම් දකුණ සහ අනිත් අය ගැන කවර කතා ද යන්න ය.

පිදුරංගල නිරුවත ගැන පොලීසියට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද වෙනම පරීක්ෂණයක් සිදු කරන බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය. එය නරක නැත. එහෙත් අපට අවශ්‍ය වන්නේ එවැනි පරීක්ෂණවලට වඩා දිළිඳුකමේ, දූෂණයේ, වංචාවේ සහ අවපාලනයේ පුරාවිද්‍යාත්මක හේතු සොයන පරීක්ෂණ ය. එහෙත් ඒවා සිදුවන්නේ නැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඒ කාර්යය බැරි බව ඇත්තකි. ඊට වෙනත් අංශවල අවධානය සහ මැදිහත්වීම අවශ්‍ය බවත් සත්‍යයකි. එහෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද කරමින් සිටින්නේ නොවැදගත් ප්‍රවෘත්තියක් මහා ප්‍රවෘත්තියක් කොට ඛේදජනක මහා සත්‍යයෙන් ජනයා වෙනතකට හැරවීමේ වෑයමට සහාය දීම ය. ඒඅනුව ඒ දෙපාර්තමේන්තුවත් පාලක ප්‍රභූන් ගේ අවතාරයක් ම ය.

මෙවැනි ප්‍රවෘත්ති නිර්මාණය වන්නේ එක පෙළට ය. සිද්ධියක් ප්‍රවෘත්තියක් කරන්නේ මාධ්‍යය ය. ඇතැම් සිද්ධි ප්‍රවෘත්ති බවට පත් කිරීමෙන් සිදුවන විනාශය හෝ හානිය සිද්ධියෙන් වූ විනාශයට හෝ හානියට වඩා වැඩි වීම ගැන බොහෝ මාධ්‍ය ආයතන අවධානය යොමු නොකරයි. මෙහිදී රූපවාහිනී, රේඩියෝ මාධ්‍ය සහ නව (වනාන්තර) මාධ්‍යය වඩාත් ම සක්‍රීය ය. ජනාධිපති, හිටපු ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පිිළිබඳ ප්‍රවෘත්තිය ප්‍රධාන එකකි. රාජ්‍ය නායකයා සහ දේශපාලකයන් කීප දෙනෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධියක් ප්‍රවෘත්තියක් වීම වැළක්විය නොහැක්කක් බව අප පිළිගත යුත්තකි. ඒ හා සමානවම ක්‍රිකට් පරාජය සහ පිදුරංගල දී නිරුවත් වූ මිනිසුන්ගේ සිද්ධියට දෙන ප්‍රවෘත්තිමය වටිනාකම වටිනවා නම් වටින්නේ සියලු සිදුවීම් ප්‍රවෘත්ති බවට පත් කිරීමේ මාධ්‍ය කර්මාන්තයට සහ මහා සත්‍යයෙන් මිනිසුන් ඈත්කොට තැබීම සඳහා දැන හෝ නොදැන කරන අවතාර මෙහෙයුමට අදාළව මිස වෙනත් සමාජ දේශපාලන ආර්ථික මානයකින් නම් නොවන බව අප වටහා ගත යුතු ය.

පිදුරංගල සිදුවීම ගැන බොහෝ විද්‍යුත් මාධ්‍ය නොනවතින අරගලයක ය. එසේ කරන්නේ එකී සිදුවීම රටේ ආර්ථිකයට, දේශපාලනයට, සභ්‍යත්වයට, සංස්කෘතියට සහ සදාචාරයට බරපතළ හානියක් ඇති කරන බවට චෝදනා කරමිනි. ඒ ගැන යමක් කියන ලෙස එක් මාධ්‍ය නාලිකාවකින් මට ද ඇරයුමක් ලැබුණි. ඊට මගේ ප්‍රතිචාරය වූයේ එය කතා කිරීමට හෝ හිත හිතා සිටීමට තරම් මාතෘකාවක් හෝ ප්‍රවෘත්තියක් නොවේ ය යන්න ය. දුරකථනය හරහා ඇරයුම කළ තරුණයාගෙන් ප්‍රශ්නයක් ඇසීමට මා අවසර පැතුවේ හිත නොරිද්දා ගන්නා ලෙස ඉල්ලීමක් ද කරමිනි. රටට සිදුවන මෙවැනි සංස්කෘතික සහ සදාචාරාත්මක හානි ගැන මේ ආකාරයෙන් වෙහෙසෙන ඔබේ නාලිකාව විසිහතර පැය පුරා, දිනපතා විකාශනය කරන කිසිදා නිම නොවෙන නාට්‍ය සහ සකලවිධ අමන වැඩසටහන් නිසා සිදුවන සංස්කෘතික, සදාචාරාත්මක, ශ්‍රම සහ බුද්ධි විනාශය ගැන දැනුවත් ද යන්න මා ඇසූ එම ප්‍රශ්නය ය. ඔහු අවංක තරුණයකු ලෙස කීවේ ඒක නම් ඇත්ත කියා ය. ඔහුට මගේ ගෞරවය.

මේ සියල්ල මැද මහ බැංකු විනාශය කිසිදු ප්‍රවෘත්තිමය වටිනාකමක් නැති සිද්ධියක් ම බවට ලඝු විය. තෙල් මිල ඉහළ ගියේ ය. පාරිභෝගිකයන් ගැන නොව වෙළෙන්දන් ගැන හිතූ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සහ ජීවන වියදම් කමිටුවේ කරුණාව නිසා ගෑස් මිල දෙවතාවක් ම ඉහළ ගියේ ය. රුපියල දවස ගානේ බාල්දු වන්නේ ය. බේකරිකරුවෝ තම නිෂ්පාදනවල මිල ඉහළ දැමූහ. ආපනශාලාකරුවෝ ආප්ප ඇතුළු අනෙකුත් ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළෝ ය. සියලු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල නොනැවතී ඉහළ යන්නේ ය. බස් ගාස්තු ඉහළ ගියේ ය. ගම්මිරිස් මිල පහළ බැස්සේ ය. අගහිඟකම් වසා ගැනීම තවදුරටත් කළ නොහැකි නිසා මැද පාන්තික ජනයා නඩත්තු කළ බොරු පුරාජේරු ජීවිතයේ රෙදි ගැලවී ගොස් බොහෝ කල් ය. කිසිදු ආදායම් මාර්ගයක් නැති ජනයා විපතින් විපතට ගොස් ය. නැති බැරිකම් පමණක් නොව මානසික අසහනය ද ඔවුන්ව වෙලා ගෙන ඇත. එහෙත් මේ සියල්ල හරහා පෙන්නුම් කරන ආර්ථික සමාජ මහා අර්බුදය ගැන සෙවීමට වඩා පිදුරංගල නිරුවත ගැන වූ පුරාවිද්‍යාත්මක සහ පොලිස් පරීක්ෂණවලට ලැබී ඇති වැදගත්කම සහ ප්‍රසිද්ධිය අපේක්ෂා කරන්නේ කුමක් ද?

රටේ වගකීම ස්වදේශික පාලකයන්ට තීරණාත්මකව පැවරුණේ 1931 ඩොනොමෝර් ආණ්ඩු ක්‍රමයෙනි. එදා සිට අවුරුදු අසූහතක් ගතවී ඇති අද වන විට ගොඩ නැඟී ඇති දේශපාලන සංස්කෘතිය, නියෝජන සංස්කෘතිය, පාර්ලිමේන්තු සංස්කෘතිය පෙන්නුම් කරන්නේ ඒ හැම එකකම පිරිහීම ය. මේ සියල්ල නිරුවතින් ය. 1956 ජනසතු කළ මගී ප්‍රවාහන සේවය ට එනම් සීටීබීයට වයස අවුරුදු 62කි. 1977 දී ඊට සමගාමීව ඇරඹූ පෞද්ගලික මගී ප්‍රවාහන සේවයට වයස අවුරුදු 41කි. දෙකට ම ලොකු වයසක් තිබුණ ද අපේ රටේ මගී ප්‍රවාහන සංස්කෘතිය ලබා ඇති කිසිදු දියුණුවක් නැත. ඇත්තටම පොදු මගී ප්‍රවාහනය සඳහා යොදවා ගෙන ඇති වාහන බොහෝදුරට සමාන වන්නේ බස්වලට නොව ලොරිවලට ය. ඒවායේ උදේ හවස මිනිසුන් පටවාගෙන යන විට සිහිවන්නේ හිට්ලර් තම වධකාගාරවලට යුදෙව්වන් පටවාගෙන ගිය ආකාරය ය. සංචාරකයන් නංවා ගත් සැබෑවටම වූ බස් එකක් දෙකක් කොළඹ නගරයේ දී ඉඳ හිට දැකීමට හැකි නිසා අවශ්‍ය නම් බස් යනු මොනවා දැයි ඉන් වටහා ගත හැකිය. ඉතින් බස් නැති රටක දියුණු බස් හෝ මගී ප්‍රවාහන සංස්කෘතියක් තිබිය හැකි ද?

රටේ බොහෝ මාර්ගවල පයින් ගමන් කරන්නන්ට යෑමට ඉඩක් හෝ තීරුවක් නැත. වාහන එනවිට පදිකයන් එක්කෝ කැලයට අයින් විය යුතුය. නැත්නම් කාණුවට බැසිය යුතුය. වහා කළ යුතු ශල්‍යකර්ම කර ගැනීමට සිටින රෝගීන්ගේ පොරොත්තු ලේඛනවල දිග සැතපුම් ගණන් ය. ඒවාට දින දී ඇත්තේ සති මාස නොව සමහරවිට අවුරුදු ගණන්වලින් ය. මෙවැනි උදාහරණ රාශියක් ඉදිරිපත් කිරීමේ හැකියාව ලිපිය කියවන ඔබට ද ඇති නිසා තවත් පැහැදිලි කිරීම් අනවශ්‍ය යැයි සිතමි.

රට සහ කෝටි ගණනක් වූ රටේ පොදු ජනයා බරපතළ ආර්ථික සමාජ අර්බුදයක් විසින් බලහත්කාරයෙන් නිරුවත් කොට ඇති මොහොතක කැමැත්තෙන් නිරුවත් වූවන් ගැන සෙවීමට වඩා දෙයක් අප කළ යුතුව ඇත. එනම් ඉහත කී අර්බුදයේ ජාත්‍යන්තර හෝ ගෝලීය හේතු, ස්වභාවය සහ සම්බන්ධතාව සෙවීම ඉන් එකකි. දෙවැන්න වන්නේ පවත්නා අර්බුදයේ ජාතික ස්වභාවය සහ ඊට වගකිවයුත්තන් කවුද, කවරක්ද යන්න සෙවීම ය. ඊ ළඟ කාර්යය විය යුත්තේ මෙවැනි අර්බුදවලින් ගැලවී ජනයාගේ යහ පැවැත්ම සඵල කරගත හැකි මඟක් සහ වැඩපිළිවෙළක් සෙවීම ය. එය ක්‍රියාවට නැගීම සඳහා පියවර ගැනීම ඊළඟ කාර්ය ය. එය සාර්ථක කරගතහොත් සැබෑ බස් නුදුටු මගීන්ට සැබෑ බස්වල ගමන් කිරීමට හැකිවනු ඇත. ඒ සඳහා මාධ්‍ය සතු වගකීම සහ කළ යුතු කැපකිරීම අති මහත් ය.



අදහස් (18)

නිරුවත ජාතික අර්බුදය

Amila indika Friday, 28 September 2018 06:03 AM

වටිනා ලිපියක්.

:       192       474

SamwilFriday, 28 September 2018 08:10 AM

සිතා නැත යමක් ඇති... කාලෝචිත අදහස් දැක්වීමක්...

:       55       86

vinu Friday, 28 September 2018 09:58 AM

මේ කියන දේ සහතික ඇත්ත. එ්ත් ගොඩක් දෙනෙකුට මෙය තේරෙන්නේ නැත. එහෙම නැත්නම් තේරුම් ගන්න තරම් දියුණු මනසක් නොමැත.

:       57       140

achira Friday, 28 September 2018 02:23 PM

තමන් උගත් බව පෙන්වීමට උත්සහ කර ඇත. නමුත් මෙම ලිපිය මගින් නූගත්බව, සමාජශීලී නොවන සහ ප්‍රායෝගික නොවන පොත පතේ දැනුම පමණක් ඇති පොතේ ගුරෙක් බව පෙනෙන්නට ඇත.

:       880       454

Sumedha Nandasiri Friday, 28 September 2018 04:24 PM

අමන දේශපාලකයන් නිසා මුළු රටම විනාශ වී ඇති ආකාරය පැහැදිලි කර ඇත. උගතකු වශයෙන් ඔබ හා අප දකින යථාර්තය තේරුම් ගත නොහැකි මෝඩ වන්දිභට්ටයින්ද තවමත් සිටින බව මෙම ලිපියේ හරය තේරුම් නොගෙන ඊර්ෂ්‍යා සහගතව විවේචනය කිරීමෙන් පෙනීයයි.

:       169       282

vipulaFriday, 28 September 2018 06:05 PM

දේශපාලකයින්ට හැමදාම බැනලා ඇති නේද? දේශපාලකයින් බිහි කරන්නේ ජනතාව... ජනතාවගේ බුද්ධි මට්ටම දේශපාලකයින්ගෙන් පිලිබිඹු වේ. ජනතාව තමන්ගේ පෞද්ගලික වැඩ කරගන්න ඡන්දය දෙනවා හැර රට ගැන දේශපාලකයින්ගේ චරිතය ගැන හිතලා ඡන්දෙ දෙනවා අඩුයි.

:       3       44

saranapala Saturday, 29 September 2018 06:22 AM

මේ ලිපිය ලියන්න මහරජාගේ ආණ්ඩුව කාලේ හවුල් වී රටට කල විනාශය ගැනත් කියනවද?

:       213       101

somapala Saturday, 29 September 2018 12:09 PM

2015 ට කලින් කල ඝාතන, සුදු වෑන්, වෙලිකඩ, තාජුදීන්, ලසන්ත සේරම අමතක වුණා නොවේද මේක ලියන වෙලාවේ?

:       296       234

BamunuarachchiFriday, 05 October 2018 09:48 AM

ඔය පහුගිය දේවල් කතා කරලා මැරිච්ච අයට පණ එනවැයි.

:       0       0

somapala Saturday, 29 September 2018 01:38 PM

හොරකම්වල අලුත්ම තොරතුරු දැන් ඇසෙනවා එයාර් ලංකා කොමිසමේ... මහ බැංකුව ගැනම අඬන්නේ නැතුව මේ ගැනත් ටිකක් ලියන්නකෝ...

:       140       65

ලුම්බිණි Sunday, 30 September 2018 03:44 AM

මට නම් හිතන්න බැහැ පිදුරංගල දී නිරුවත් වූ තරුණයන්ගේ ඇඳුම්වලින් රටේ පවතින අති දරුණු ආර්ථික, සමාජ සහ දේශපාලන අර්බුදයෙහි හෙළුව වසා දැමීමට මෙරට වගකිව යුතු බොහෝ අය සහ ආයතන උත්සාහ ගන්නවා කියල. මේ සිද්ධිය ලොකුවට ගෙන ගිය එකනම් අනවශ්‍ය දෙයක්. ඒත් මේකත් දේශපාලන අර්බුධයත් අතර සම්බන්ධයක් ගොඩනගන්න හැකියාවක නැහැ.

:       64       121

Chef Borhan Sunday, 30 September 2018 09:44 AM

අප්‍රසන්න වූ තිත්ත ඇත්ත... මෙවන් අසාධාරණයට විරුද්ධව අරගලය කරන්න මිනිස්සු නිහඬව සිටීම නිසා තමයි අධමයින් රජ කරන්නේ මේ වටිනා මෙහෙවර හදවතින්ම අගයමි. මොවුන් දෙදෙනාට සාධාරණත්වයක් ලැබිය යුතුයි. හොඳට හොයලා බලන්න දශක තුනක් සිට අපි අත්විඳින අත්දැකීම් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව විභාග කිරීම අත්හිටුවමින් අතුරු නියෝගය ලබාදෙනවා. අපරාධ සහා මිනීමරු නඩු හරියට කල් මරණවා. සමහර නඩුවල ලෝයර්ස්ලා ඉල්ලා අස්වෙනවා. අපරාධ සහ හොරකම් ගැන පැහැදිලි සාක්ෂි තිබියදීත් ආණ්ඩුව තවමත් මිනිස්සු ගොනාට අන්දන්න. ඇයි එහෙනම් ඒ වැරැදිකරුවන් අත්අඩංගුවට නොගන්නේ...? රටේ නීතිය වල්වැදිලා දූෂිත ලෝයර්ස්ලා නඩුකාරයින් හොරා වෙනුවෙන් පෙනී සිටිනවා... ඒ අයව නිදහස් කරනවා. සැබෑ අපරාධකරුවන් අල්ලලා දඬුවම් පැමිණවීම රජයේ යුතුකමක්... ලැජ්ජයි මේ නිලතල දරණ මිනිස්සු ගැන... 2015ට කලින්, හිරිහැර කිරීම ඒ කාලේ මාධ්‍ය ආයතන ගිනිතියපුවා, මාධ්‍යවේදීන් මරා දමපුවා, අතුරුදහන් කරපුවා, පෝද්දල ජයන්තට පහර දීම.... මේ නිර්භීත, අවංක මාධ්‍යවේදීන්, සුදු වෑන් කළ ඝාතන සංස්කෘතියේ ගෝඩ් ෆාදර්ලා, භාරත ලක්ෂ්මන් ඝාතනය, වැලිකඩ, තාජුදීන්, ලසන්ත, ශ්‍රීපති, එක්නැලිගොඩ, කටුනායක චානක... වගේ...

:       53       33

achira Thursday, 04 October 2018 03:35 PM

මෙම මිනිසුන් පෞද්ගලිකව කල යුතු කාර්යක් ප්‍රසිදධ තැනක කර ප්‍රසිද්ධ සමාජ ජාල මාධ්‍යකට එම චායාරුප මුදාහැර ඇත. මෙය මානසික රෝගයක් මෙම මිනිසුන්ව හොඳ වෛද්‍යවරයකුට යොමුකළ යුතුයි.

:       0       0

DD Thursday, 04 October 2018 10:02 PM

කිරල බලන්ඩ පිදුරංගල සිදුවීම සහ බැංකු විනාශය. පිදුරංගල සිදුවීමට ඔච්චර ප්‍රසිද්ධිය ඇයි. ඒ සිද්ධිය ඒ තරුණයන්ට මුළු ජීවිත කාලයටම විනාශයක්. ඕක සමාජීය වශයෙන් හොඳ නෑ තමයි. ඒ ළමයින්ට දැන්වත් නිදහසේ ඉඩ දෙන්න; ඒ වගේම බැංකු හොරුනට යහතින්ම යහ පාලනය ගෙනයන්න යහපලනයම උදව් කරන්න. බැංකු හොරු; පව්, අර කොල්ලෝ ටික තව පතුරු ගැහුවනම් ඇති නැති වෙනකන්.

:       0       0

Bamunuarachchi Friday, 05 October 2018 09:46 AM

පොටෝ එකේ හැට්යට මට පෙනෙන්නේ මේ ගොල්ලෝ තරඟෙට මුත්‍රා කරනවා. වෙන දෙයක් නොවෙයි.

:       0       0

Rane Sunday, 07 October 2018 02:56 AM

මොනවා කරන්නත් ලැජ්ජා බය ඇති නැති හැමදෙනාමත්, උගත් නුගත්, ඇති නැති, ආදී හැමෝමත් එකතු විය හැකි ක්‍රමයක් ගැන කල්පනා කල යුතු බව වැටහේ. හොඳට හෝ නරකට ජන මාධ්‍යයද පෙනී සිටීම වටී.

:       0       0

BamunuarachchiMonday, 08 October 2018 02:23 PM

ලජ්ජා බය නැතිකමත් මහා මුදලිකමටත් වඩා ලොකු වෙන අවස්ථා තිබෙනවා.

:       0       0

Sisira Monday, 08 October 2018 02:52 AM

පිදුරංගල හඳුනන්නේ නැති හැටියක්. මෙහෙම තමා ලංකාවේ නීතිය. ගොරක දඩමස් කරනවා වාගෙම, ඇල්ලක් ලඟ ෆොටෝ එකක් පිදුරංගල කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 85 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 154 0

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 334 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 52 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 513 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 274 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site