IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


දේශපාලන රංගන භූමිකාව උණුසුම්: ඇමැති පුටු මාරුවේ කොටසක් අහවරයි

පරිවර්තනය - කෝවිද ගුණසේකර

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල හමුවේ ගෙවුනු සති දෙක පුරාවට කුමකින් කුමක් වේදැයි සිතාගත නොහී සිටි ශ්‍රී ලංකා ජනතාවට විසදුමක් ඊයේ දිනයේ ලැබීමට නියමිතව තිබින.ඉරිදා (25) පෙරවරු 11.00ට පැවැත්වෙන දිව්රුම් දීමේ අවස්ථාවකට සහභාගීවන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා නව අමාත්‍යවරුන්ට දැනුම්දුන්නේ ය.අවස්ථාවේ සැටියට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ - එක්සත් ජාතික පක්ෂ සම්මුතිවාදී රජය ඉදිරියටත් පවතින බව එයින් පැහැදිලි විය.

ගෙවුනු සති දෙක පුරාවට ජනපති සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ සිටියේ සී සෝවක මෙන් මේ පස සිට අනෙක් පසටත්, අනෙක් පස සිට මේ පසටත් එහා මෙහා යමිනි.කැබිනට් තනතුරු සදහා අගමැතිවරයා ඉදිරිපත් කළ නම්, අවම වශයෙන් අවස්ථා තුනක දී පමණවත් ජනපතිවරයා ප්‍රතික්ෂේප කළේ ය.මේ අරබයා දෙදෙන අතර මුහුණට මුහුණ සාකච්ඡා කිහිපයක් ද පැවැත්වින.නව අමාත්‍යවරුන්ගේ දිව්රුම්දීම මේ දක්වා ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව වූයේ මේ ආකාරයට නම් ලැයිස්තු සංශෝධනය වෙමින් දෙදෙන අතර හුවමාරු වීමය.කෙසේහෝ අවසානයේ දී එක් වෙනසක් සිදුකරන ලෙස දෙන ලද උපදෙස් යටතේ නම් ලැයිස්තුවට ජනපතිවරයාගේ අනුමැතිය හිමිවිය.එම වෙනස වූයේ ආන්දෝලනාත්මක චරිතයක් වන හිටපු හමුදාපති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට, නීතිය හා සාමය අමාත්‍යංශය ලබාදීමට ඉදිරිපත් කර තිබූ නිර්දේශය ඉවත් කිරීමය.පොලිස් දෙපාර්තමෙන්තුව අයත් වන්නේ ද මෙම අමාත්‍යංශය යටතටය.

අගමැති වික්‍රමසිංහ නව අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව සකස් කිරීමේ නිරත වූයේ එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම මහතාගේ ද සහාය ඇතිවය.එක් එක් තනතුර සදහා නම් කර තිබූ පුද්ගලයින් හා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට පවා ඔහු පියවර ගැනීම ලැයිස්තුව සකස් කිරීම ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව විය.ඔහු අනුගමනය කළ මෙම පියවර එක්සත් ජාතික පක්ෂයේ අතීත නායකයන් වන ජේ.ආර්.ජයවර්ධන සහ රණසිංහ ප්‍රෙමදාස වැනි මහත්වරුන්ගෙන් හාත්පසින්ම වෙනස් විය.එම යුගයේ කැබිනට් තනතුරු දිව්රුම්දීමට පැමිණෙන අනාගත අමාත්‍යවරු, තමාට හිමිවනු ඇති විෂය ක්ෂේත්‍රය කුමක්දැයි දිව්රුම් දීම වනතෙක්ම නොදැන සිටියෝ ය.

සැලසුම් කර තිබෙන ආකාරයට සියල්ල සිදුවූයේ නම් අධිවේගී මාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ රාජ්‍ය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් අතර එම විෂය පථයන් හුමවාරු වීමට නියමිතව තිබින.තිරසාර සංවර්ධන සහ වනජීවී අමාත්‍යවරයා ලෙස පත්වීමට නියමිත වූයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී රවී සමරවීර මහතාය.ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙස ඉදිරියටත් කටයුතු කරන විට, සාගල රත්නායක මහතා දක්ෂිණ සංවර්ධන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට නියමිත විය.කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ තනතුරු වෙනසක් ද අපේක්ෂා කැරුනු අතර, මෙම ස්වාධීන තනතුරු හර්ෂ ද සිල්වා, අජිත් පෙරේරා සහ සුජීව සේනසිංහ යන මහත්වරුන් වෙත ලබාදීමටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු හෝ දෙදෙනකු හට කැබිනට් නොවන අමාත්‍ය තනතුරු ලබාදීමටත් නිර්දේශ වී තිබින.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාරයේ තිබූ සමෘද්ධිය එක්සත් ජාතික පක්ෂය වෙත ලබාදීමට ජනපති සිරිසේන අවසර දී තිබූ අතර, එය එක්සත් ජාතික පක්ෂය භාරයේ තිබෙන විෂය ක්ෂේත්‍රයක් සමෘද්ධිය වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ලබාදීමේ එකගතාවය යටතේය.මේ අනුව සමෘද්ධි නව නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා නම් කිරීමට නියමිත විය.තනතුරින් ඉවත්ව ජේ්‍යෂ්ඨ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන ලෙස කර තිබූ ඉල්ලීම සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රතික්ෂේප කර තිබින.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයේ සිදුවීමට නියමිත වූ වෙනස්කම් අතර, මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම නව අමාත්‍යවරයා ලෙස පත්කිරීමත්, එම ධූරය හොබවමින් සිටි දුමින්ද දිසානායක මහතා කුසලතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු අමාත්‍යවරයා ලෙස පත්කිරීමත් ප්‍රධාන වශයෙන් සදහන් කළ හැකිය.මේ දක්වා එම ක්ෂේත්‍රයේ විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ චන්දිම වීරක්කොඩි මහතාට ධීවර අමාත්‍යංශය ලබාදීමට නියමිතව තිබින.

ගෙවුනු සති දෙක පුරාවට ද ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය හැලහැප්පීම්වලින් ගහණ විය.එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනපතිවරයාට ලිපියක් යොමුකළ අමාත්‍යවරුන් දෙදෙනගෙන් එක් අයෙක් වූ අතර, එක්සත් ජාතික පක්ෂ මනාප යටතේ පත්ව සිටින අගමැතිවරයකු යටතේ පාලනය වන රජයක පාර්ශවකරුවකු ලෙස කටයුතු කළ යුතු වීමේ තත්ත්වයක් පිළිගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බව එම ලිපියේ සදහන් විය.නව රජයක් තැනීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවස්ථාව ලබාදෙන ලෙස එම ලිපියෙන් ඔහු වැඩිදුරටත් ඉල්ලා තිබින.නව රජයක් යනු නව අගමැතිවරයකු ද පත්වීමය. එහෙත් එය අසාර්ථක විය.

ගෙවුනු සතියේ මෙම මහින්ද අමරවීරම අදහස් දැක්වූයේ හාත්පසින්ම වෙනස් ස්වරයකිනි.සම්මුතිවාදී රජය තවමත් නොබිදී පවතින බවත්, ඉදිරියටත් පවතින බවත්, පසුගියදා පාර්ලිමෙන්තුව අමතමින් ඔහු පැවසුවේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම ප්‍රකාරව කටයුතු කැරෙන බව ඔහු කීවේ ය.අමාත්‍යවරයා එසේ කීව ද, මෙම ගිවිසුම පසුගිය සැප්තැම්බරයේ දී අවසන් විය.අවබෝධතා ගිවිසුම පිළිබද කළ සදහනෙන් අමරවීර, රජයේ අගමැතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ බවත් ඔහු එම තනතුරේ ඉදිරියටත් කටයුතු කරනු ඇති බවත්, පිළිගන්නා බව පැහැදිලි විය.වෙනසක් සිදුකිරීමේ අවශ්‍යතාවය ද ගෙන හැර දක්වමින් අදහස් දැක්වූ අමරවීර, රජයේ ආර්ථික කළමණාකරන කටයුතු විවේචනය කරමින්, රටේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන් වන යහපාලන ප්‍රතිපත්තීන්ට පිටුපා ඊට සම්පූර්ණයෙන්ම වෙනස් වැඩපිළිවෙලක් අනුගමනය කරමින් සිටින බවට චෝදනා කළේ ය.එය සත්‍යයක් වුව ද, දේශපාලනයේ දී එවැනි වෙනස්කම් අපේක්ෂා කළ යුතුය.ඇතැම් අවස්ථාවල උද්ගත වන තත්ත්වයන් තම තමන්ගේ ප්‍රතිපත්ති මත දැඩිව එල්බගෙන සිට කටයුතු කිරීමට දේශපාලඥයින් යොමු කිරීමට තරම් ප්‍රබල වන අතර, තවත් අවස්ථාවල එවැනි තත්ත්වයන් තම තමන්ගේ පැවැත්ම තකා ඒ දක්වා කටයුතු කරමින් සිටි ආකාරයේ පැහැදිලි වෙනසක් සිදුකිරීම දක්වා දේශපාලඥයින් යොමු කිරීමේ සමත්ය.හාස්‍යයට කරුණ වන්නේ මෙසේ දෙපසට කකුල් තබාගෙන කටයුතු කරනාතුර ඔවුන් පවසන දෙය ජනතාව විශ්වාස කරතැයි බලාපොරොත්තු වීමය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් හා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාය.පළාත් පාලන මැතිවරණයෙන් පසු විවෘතවම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටීම නිසා ඔහු දේශපාලන කරළියෙන් මදක් වසන් කර තිබූ අයුරු දැකගත දැකිවිය.වාර්තා වන ආකාරයට ඔහු රෝගාතුරව සිටින අතර, ශල්‍යකර්මයකට ද මුහුණ දී ඇත.

ජනපති තලයේ ඇතිව තිබෙන අර්බුදය සහ වියවුල අවබෝධ කරගැනීමට අමරවීරගේ හැසිරීම හා ප්‍රකාශයන් පමණක් ප්‍රමාණවත්ය.අමරවීර ප්‍රමුඛ තවත් දේශපාලන චරිත දරමින් සිටි මත අවස්ථා කිහිපයකදීම එක් පසෙක සිට අනෙක් පසට වෙනස්වීමෙන්, ජනපති සිරිසේන තමන් ඉදිරියේ දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් තනි තීරණයක් ගැනීමට නොහැකිව සිටින බව වඩවඩාත් පැහැදිලි විය.මෙය බරපතල කරුණක් වන්නේ ජනපතිවරයාගේ තීන්දුව ප්‍රමාද වීම නිසා එම අවිනිශ්චිතතාවයෙන් ආර්ථිකයට එල්ලවූ බලවත් පහර නිසා පමණක් නොව සති දෙකක කාලයක් පුරාවට රටේ සමස්ත ජනතාව කුමකින් කුමක්වේදැයි සිතාගත නොහී අදුරේම සිටීම නිසාය.පුවත් සාකච්ඡාවක් කැදවමින්, තමන් ඉවත් කිරීමේ බලයක් ජනපතිවරයාට නැතැයි පවසා ජනතාව හමුවේ යම් පැහැදිලි කිරීමක් සිදුකළේ අගමැති වික්‍රමසිංහ පමණක් බව මෙහිදී සදහන් කළ යුතුය.ජනපතිවරයා අවස්ථා කිහිපයකදීම ඒකාබද්ධ විපක්ෂය වෙත යොමුවූ අතර, දෙපාර්ශවය අතර සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්වින.නමුත් ඊයේ (25) දිනට යෙදී තිබූ අමාත්‍ය දිවරුම්දීම ඒ සියල්ලට නැවතීමේ තිත තබා තිබින.කාලය ගතවෙමින් තිබූ නිසා අවසන් තීරණයක් ගැනීම සදහා ජනපතිවරයා සතුව තිබූයේ විකල්ප කිහිපයක් පමණක් බව එයින් පැහැදිලි වේ.

මැතිවරණයෙන් පසු ජනපතිවරයා අරක් ගෙන සිටි කෝපසහගත ස්වභාවය තවමත් එලෙසම පවතින බව පසුගිය අගහරුවාදා පැවැති ජාතික ආර්ථික කවුන්සිල හමුවේදී ද පෙනී ගියේ ය. මහා පරිමාන ආර්ථික මට්ටම්හි දියත් කිරීමට බලාපොරොත්තු වන අනාගත සංවර්ධන සැලසුම් පිළිබද අනාවරණයක් මෙහි දී අගමැති රනිල් වික්‍රමසිංහ සිදුකළේ ය.මුදල් අමාත්‍ය මංගල සමරවීර, විශේෂ පැවරුම් අමාත්‍ය සරත් අමුණුගම යන මහත්වරු ද, ප්‍රධාන අමාත්‍යංශවල ලේකම්වරු ද මෙම හමුවට සහභාගීව සිටියෝ ය.

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත්වීමට ප්‍රධානම හේතුව ලෙස ජනපති සිරිසේන සලකන්නේ ජීවන මිල ඉහළ යාමය.මේ නිසා හමුවේ දී ඔහුගේ වැඩි අවධානය යොමුවූයේ ද එයටය.
“මට ඔය ජාත්‍යන්තර දේවල් වැඩක් නැහැ.කියන්න කොහොමද බත් පැකට් එකේ මිල අඩු කරන්නේ කියලා,“ අගමැතිවරයාගේ අදහස් දැක්වීම මධ්‍යයේ ඔහු පැවසුවේ ය.වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා ආර්ථික කළමණාකරන කටයුතු පිළිබද කැබිනට් කමිටුව ගන්නා තීරණ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට ප්‍රථමයෙන් ජාතික ආර්ථික කවුන්සිලය වෙත යොමුකිරීම මින් ඉදිරියට සිදුවිය යුතු බව අවධාරණය කළේ ය.එය අගමැති වික්‍රමසිංහට එල්ල කළ ප්‍රහාරයක් ලෙස සැලකිය හැක්කේ ආර්ථික කළමණාකරන කටයුතු පිළිබද කැබිනට් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනුයේ අගමැතිවරයා වීම නිසාවෙනි.පිහිටැවුනු මුල් වකවානුවේ දී ආර්ථික කළමණාකරන කටයුතු පිළිබද කැබිනට් කමිටුව ක්‍රියාත්මක වූයේ සමාන්තර කැබිනට් මණ්ඩලයක් මෙන් අතර, එසේ කටයුතු කිරීම සදහා එම කමිටුවට අවසරය ලැබුනේ කමිටුව ගන්නා තීරණ කැබිනට් මණ්ඩලයට යොමුකළ යුතුය යන නියමය මතය.එහි සාමාජිකයෝ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරු සහ එක්සත් ජාතික පක්ෂ හිතවත් උපදේශකයෝ පමණක් වූහ.මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය කණ්ඩායම චෝදනාවක් එල්ල කළේය.කැබිනට් මණ්ඩලයේ සිටින ඔවුන්ගේ එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය සගයකු මෙම කමිටුව හරහා ඔහුගේ ව්‍යාපෘති අනුමත කරවාගෙන තිබෙන බව ඔවුහු කීවෝ ය.


සිරිසේන - රනිල් හමුවීම්

උද්ගතව තිබූ තත්ත්වයේ නව මානයක් සනිටුහන් වූයේ පසුගිය ඉරිදා සන්ධ්‍යාවේදීය.ජනපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහ අතර හමුවක් එදින පැවැත්වුනු අතර, එයට කතානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම සහ පක්ෂ මහලේකම් කබීර් හෂීම් යන මහත්වරු එක්ව සිටියහ.පාර්ලිමෙන්තු සභාවාරය අවසන් කිරීමට තමන් නිර්දේශ කරන බව ජනපතිවරයා පැවසූ විට පිරිස අතර නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවිය.එසේ කිරීමට හේතු දැක්වීමක් ජනපතිවරයා සිදුනොකළේ ය.මේ සම්බන්ධයෙන් පසු අවස්ථාවක අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයකු අනාවරණය කර සිටියේ උද්ගතව තිබූ අවාසිදායක දේශපාලන වාතාවරණය ගෙවා ගැනීමට එවැනි පියවරක් අනුගමනය කිරීමෙන් අවස්ථාව සැලසෙන්නට ඉඩ තිබූ බවයි.තවත් අය පවසා සිටියේ ඉදිරිපත්වන්නට හැකිව තිබූ විශ්වාසභංගයක් අපේක්ෂාවෙන් ජනපතිවරයා එවැනි ප්‍රකාශයක් කළ බවයි.නමුත් විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමේ කිසිදු සැලැස්මක් කිසිවෙකුටත් නොතිබින.අනපේක්ෂිත කිසිදු දෙයක් සිදුනොවනු ඇති බවට කතානායකවරයා ජනපතිවරයා හමුවේ අවධාරණය කළේ ය.ඔහු සහ අගමැති වික්‍රමසිංහ පාර්ලිමෙන්තු සභාවාරය අවසන් කිරීමකට එරෙහිව තරයේ පෙනී සිටි අතර, මෙම අවස්ථාවේ එවැන්නක් සිදුකිරීම කිසිසේත්ම යහපත් නොවන බවත් ඒ බව සහතික කරම කිව හැකි බවත්, කියා සිටියෝ ය.ජනපති අණින් පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමේ අමිහිරි අත්දැකීමකට අගමැති වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය මුහුණ දී ඇත.ඒ 2004 වසරේදීය.එවක ජනපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පාර්ලිමෙන්තුව විසිරුවා නොහරින බවට ලිඛිත පොරොන්දුවක් දී තිබුන ද, අවසන පාර්ලිමෙන්තුව විසිරුවා හැරියා ය.රනිල් වික්‍රමසිංහ නව කැබිනට්ටුවක අගමැතිවරයා ලෙස කටයුතු කිරීම අරබයා කිසිදු ගැටලුවක් තමාට නොමැති බව කරූ ජයසූරිය පැවසුවේ ය.ඔහු මෙම අවස්ථාවට එක්ව සිටියේ අගමැතිවරයා ලෙස පත්වන ලෙස ඔහු වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ වාතාවරණයක, ඔහුගේ සහාය රනිල් වික්‍රමසිංහටම වන බව පෙන්වීමටය.

සාකච්ඡාව අතරතුරදී රජය සිදුකර තිබෙන අතපසුකම් සම්බන්ධයෙන් ජනපති සිරිසේන අදහස් දැක්වූයේ ය.ඉහළ ගොස් තිබෙන ජීවන වියදම සහ ගොවියන් වෙත පොහොර ලබාදීමේ දී සිදුවූ ප්‍රමාදය ඒ අතර ප්‍රධාන විය.අගමැතිවරයා ද මේ බව පිළිගත්තේ ය.සභාග රජය ඉදිරියටත් පවතිනු ඇති බවට අනතුරුව දෙපාර්ශවය අතර එකගතාවයක් ඇති විය.

මෙම කෙටි හමුවෙන් පසුව අගමැති වික්‍රමසිංහ, එක්සත් ජාතික පෙරමුණු දේශපාලන පක්ෂ නායකයින්ගේ හමුවකට සහභාගීවීම සදහා අරලියගහ මන්දිරයට පැමිණියේ ය.මෙම රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් කණ්ඩායමක් සදහා බව පසුගිය සතියේ දේශපාලන තීරුවේ සදහන්ව තිබූයේ වැරදීමකිනි.දිව්රුම් ප්‍රකාශ අනවශ්‍ය බව අගමැතිවරයා පැවසූ අතර, අප අපේ සාමාජිකයන් විශ්වාස කරනවා යැයි ඔහු කීවේ ය.එක්සත් ජාතික පෙරමුණු දේශපාලන පක්ෂ නායකයින්ට පිළිගැන්වුනු රාත්‍රී භෝජන සංග්‍රහය ඉදි ආප්ප, සීනි සම්බෝල, කට්ට සම්බෝල හා වෙනත් ව්‍යංඡනවලින් සමන්විත විය.මේ නිසාම පැමිණ සිටියෝ අතර විහිලු තහලු හුවමාරු වූ අතර, එක් අයෙක් තම සගයෙක් අමතමින්, “දැන් කාලා අනෙක් පැත්ත එක්ක එහෙම එකතු වෙන්න එපා“ යැයි කීවේ ය.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් අරලියගහ මන්දිරය වෙත පැමිණි එවක සෞඛ්‍ය ඇමැතිව සිටි මෛත්‍රීපාල සිරිසේන, ආප්පවලින් සමන්විතව තිබූ රාත්‍රී ආහාරය පිළිගෙන පසුදින කියා සිටියේ තමන් රාජපක්ෂගේ ජනපතිවරණ ප්‍රතිවාදියා ලෙස ඉදිරිපත් වන බවය.අරලියගහ මන්දිරයට පැමිණ සිටි එක්සත් ජාතික පෙරමුණු දේශපාලන පක්ෂ නායකයෝ සිහිපත් කළේ එම සිදුවීමය.
වඩා බරපතල අවස්ථාවක් සනිටුහන් වූයේ සදුදා දිනයේදීය.19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනපතිවරයා වන තමා හට අගමැතිවරයා තනතුරින් ඉවත් කිරීමේ බලයක් නොමැති බව ජනපති සිරිසේන ප්‍රථම වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු කණ්ඩායම හමුවේ හෙළි කළේ ය.සියල්ල නිවැරදි මාර්ගයට ගැනීමට තමාට තවත් මසක කාලයක් ලබාදෙන ලෙස ජනපතිවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ය.නව කැබිනට් මණ්ඩලය යටතේ කටයුතු කිරීමට කැමැති අයට ඒ සදහා අවස්ථාව තිබෙන බවත්, එසේ අකමැති අයට ඉදිරියට කුමක් කළ යුතුදැයි තීරණය කිරීමට පූර්ණ නිදහස තිබෙන බවත් ඔහු කීවේ ය.මෙහි දී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය අමාත්‍යධූරයෙන් ඉවත්වන බවට ඉගි කළ අතර, තමන් සතුව තිබෙන ලිපිගොනු අමාත්‍යංශය වෙත භාරදෙමින් පවතින බව ඔහු කීවේ ය.ප්‍රේමජයන්ත ඊයේ දිනයේ ජපානය බලා යෑමට නියමිතව සිටියේ ය.බදාදා දිනයේ කැබිනට් තනතුරු සංශෝධනයක් සිදුවනු ඇති බවට ජනපතිවරයාගේ කතාවෙන් ඇගවුන ද, එය එසේ සිදුනොවින.එක්සත් ජාතික පක්ෂ නම් ලැයිස්තුව ඒ වන විටත් පැවැතුනේ දෙපාර්ශවය අතර හුවමාරු වෙමින්ය.


ජනපතිවරයා බලය පෙන්වයි

ගෙවුනු සතියේ පැවැති කැබිනට් මණ්ඩල හමුවේ දී ජනපතිවරයා පෙරට වඩා වැඩි අධිකාරීත්වයකින් යුතුව කටයුතු කරනු දැකගත හැකිවිය.පාසල් සිසුන්ට ටැබ්ලට් පරිගණක මිලදී ගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට ඊට පෙර සතියේ තමන් ලබාදුන් අනුමැතිය ඉවත් කිරීමට ඔහු කටයුතු කළේ ය.පසුගිය සතියේ දේශපාලන තීරුවෙන් මෙම අවස්ථාව පිළිබද සවිස්තර අනාවරණයක් සිදුකැරුනු අතර, රුපියල් බිලියන 5ක මුදලක් මේ සදහා වැයවන නිසාවෙන්, නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කර පසුව ව්‍යාප්ත කළ නොහැකිදැයි ජනපතිවරයා විමසූ විට එයට පිළිතුරු දුන් අගමැතිවරයා පවසා තිබුණේ අයවැයෙන් මේ සදහාම මුදල් වෙන් කර තිබෙන නිසාත්, මෙසේ ටැබ්ලට් පරිගණක ලබාදෙන බවට තමන් පොරොන්දුවක් දී ඇති නිසාත් එය එසේ කළ නොහැකි බවය.මේ හමුවේ ජනපතිවරයා පවසා තිබුනේ අගමැතිවරයා එසේ පවසන්නේ නම් තමාට වෙනත් විකල්පයක් නොමැති බවය.

එහෙත් පෙර සදහන් කළ ආකාරයට මෙම සතියේ දී ජනපතිවරයා තම තීරණය වෙනස් කළේ ය.
අගමැති වික්‍රමසිංහ ඉදිරිපත් කළ (අධිවේගී මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙනුවෙන්) මධ්‍යම අධිවේගී මාර්ගයේ 3වැනි කොටසේ ඉදිකිරීම් සදහා ජපාන යෙන් බිලියන 100ක (ඩොලර් ලක්ෂ 9360ක) වටිනාකමින් යුත් ව්‍යාපෘති යෝජනාවක් සදහා වූ නිර්දේශයකට අනුමැතිය ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට ද ජනපති සිරිසේන කටයුතු කළේ ය.ඔහු එවැනි පියවරක් ගත්තේ මේ අරබයා ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාඨළී චම්පික රණවක යන මහත්වරුන් අතර පැවැති උණුසුම් වාද විවාදයකට පසුවය.මේ සදහා ලබාගැනීමට යෝජිත ණය මුදල පිළිබද වන ගිවිසුම අත්සන් තැබීමට පෙරම, ජපානයේ තයිසෙයි සමාගම වෙත ව්‍යාපෘතියේ ටෙන්ඩරය භාරදීමට නිර්දේශයක් ඉදිරිපත් කර තිබෙන බව රණවක අනාවරණය කළේ ය.එම නිර්දේශය අනුව, වියදම් ප්‍රකාරව මුදල් නැවත පියවන පදනමේ සිට කොන්ත්‍රාත්කරු හට ඔහුගේ මුදල් භාවිතා කර වහාම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවසර ලබා දී තිබෙන බවත්, මෙම සමස්ත ක්‍රියාදාමය අවධිමත් බවත්, ඔහු පෙන්වා දුන්නේ ය.

රුපියල් බිලියන ගණනින් වැයවන ව්‍යාපෘතිීන් ජාතික භෞතික සැලැස්ම හා අනුගත විය යුතු බව පාඨළී චම්පික රණවක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය.එනම්, ඔහු පැහැදිලි කළ ආකාරයට, ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුත්තේ හදුනාගත් ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව මිස හිතුමතයට නොවේ.කොළඹ - නුවර අධිවේගී මාර්ගය ඉතා සංවේදී කලාපයක් හරහා යන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඉඩම් පවරාගැනීම සදහා රුපියල් බිලියන 200කට වඩා වැයවනු ඇති බවත් පැවසූ අමාත්‍යවරයා, මෙම මුදලින් තුනෙක් එකක් දැරිය යුතු වන්නේ ශ්‍රී ලංකා රජය බව ද සිහිපත් කළේ ය.මෙම ව්‍යාපෘතියට අනුමැතිය ලබාදුනහොත් අනෙක් සියලු ව්‍යාපෘතිවල වියදම් කපාහැර මේ සදහාම මුදල් යෙදවීමට සිදුවනු ඇති බවට ඔහු අනතුරු ඇගවීමක් ද කළේ ය.කොළඹ නුවර අධිවේගී මාර්ගයේ උද්ගතව තිබෙන මෙම තත්ත්වය සම්බන්ධයෙන් රජයේ නිද්‍රාශීලී භාවය අරබයා ඇනුම්පදයක ස්වරූපයෙන් අදහස් දැක්වීමට මෙය අවස්ථාවක් කරගත් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා, මේකත් හරියට රෝමය ගිනි ගන්නා විට නීරෝ වීණා වාදනය කළා වගේ තමා යැයි කීවේ ය.කරුණු සැලකිල්ලට ගත් ජනපති සිරිසේන අවසන් තීරණයක් ලබාදීම සතියකින් කල් දැමුවේ ය.ඔහුට සමීප ආරංචි මාර්ගයක් සදහන් කළ ආකාරයට අධිවේගී මාර්ග ක්ෂේත්‍රයට නව අමාත්‍යවරයකු පත්වීමට ඉඩ තිබෙන අතර, ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කැරෙනු ඇත.

අනෙක් පසින්, කබීර් හෂීම් හා තම අධිවේගී මාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය හුවමාරු කරගැනීමට නියමිතව සිටින ලක්ෂ්මන් කිරිඇල්ල, මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය ද තමන් යටතට ගැනීමට උත්සාහ කර ඇතත් එය සාර්ථකව නොමැත.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යවරයා ලෙස අගමැති වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවේ දැක්වෙන ආකාරයට,
ජපාන බැංකු සමූහයකින් සැදෙන යෙන් ණය මුදලක් ආධාරයෙන් ඉදි කැරෙන මධ්‍යම අධිවේගී මාර්ගයෙන් 3වැනි කොටසට අදාළ මුල්‍ය කටයුතු පිළියෙල කිරීමේ වගකීම සදහා ශ්‍රී ලංකා රජය තෝරාගෙන තිබෙන්නේ ද බෑන්ක් ඔෆ් ටෝකියෝ මිට්සුබිෂී බැංකුවයි.

මේ අනුව එම බැංකුව සමග විදේශ සම්පත් දෙපාර්තමෙන්තුව ඇතිකරගත් එකගතාවයට අනුව ණය මුදලේ මුළු වටිනාකම ජපාන යෙන් බිලියන 100කි (ඩොලර් මිලියන 936)
නැවත ගෙවීම්වල සදහන් වන ආකාරයට, ණය ලබාගැනීම සදහා වසර 4ක උපරිමයක් දක්වා වන අවස්ථාව ඇතුළත්, වසර 2ක සහන කාලයක් ඇතුළත්, නැවත ගෙවීම සදහා වසර 9ක කාලයක් ඇතුළත්, මුළු වසර 25 කාලයක් ඇතුළත ණය මුදල ගෙවිය යුතුය.ණය මුදල ලබාගැනීම සදහා වන උපදේශන වියදම ජපාන යෙන් ලක්ෂ 300, සහ නීති කටයුතු සදහා වියදම, ඩොලර් 201,312 දරනු ඇත්තේ ශ්‍රී ලංකා රජයයි.
මුල්‍ය සැපයුම්කරු සමග ඇතිකරගෙන තිබෙන කාල සැලැස්මට අනුව මූලික ණය ගිවිසුම 2018 අප්‍රේල් මාසයේ දී අත්සන් තැබීමට නියමිතය.මෙම ගිවිසුම ඇතිකරගැනීම අරබයා මේ දක්වා ප්‍රගතිය සැළකිල්ලට ගනිමින් අධිවේගී මාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයත්, මාර්ග සංවර්ධන අධිකාරියත්, ඉහත සදහන් ණය මුදල ඇතුළත ව්‍යාපෘතිය කටයුතු ආරම්භ කරන ලෙස කොන්ත්‍රාත්කරුට යෝජනා කර ඇත.මෙම යෝජනාව සිදුකර ඇත්තේ ලියකියැවිලි සකස් කිරීමේ දී උද්ගත විය හැකි ප්‍රමාද දෝශයන් මගහැරීමටය.

මේ අනුව ණය මුදල ලැබෙන තුරු කොන්ත්‍රාත්කරු ව්‍යාපෘතියේ වැඩකටයුතු ඔහුගේ මුදල් යොදවා ආරම්භ කිරීමට නියමිතය.තවද, ණය ගිවිසුම නියමිත දිනයේදී හෝ නියමිත දිනයේ සිට දින දින දර්ශන දින 365ක් ඇතුළත අත්සන් නොකෙරුණහොත් කොන්ත්‍රාත්තුව අවලංගු වේ.ටයිසෙයි කොර්පරේෂන් සමග ඇතිකරගත් එකගතාවය අනුව, සේවායෝජකයා (මාර්ග සංවර්ධන අධිකාරිය), කොන්ත්‍රාත්කරුගේ මුදල් වැයකර සිදුකරන කටයුතුවලට, මුල්‍ය වියදම් ද ඇතුළත්, පමණක් මුදල් ගෙවනු ඇත.

පොතුහැර සිට ගලගෙදර හරහා රඹුක්කන දක්වා වන මධ්‍යම අධිවේගී මාර්ගයේ 3වැනි අදියරේ ඉදිකිරීම් කටයුතුවලට වැයවන මුදල ඩොලර් බිලියනයකට ආසන්නය.මේ නිසාම මෙම ව්‍යාපෘතියට ඉහළ ප්‍රමුඛතාවයක් හිමි ද? යන ගැටලුව නිතැතින්ම නැගේ.විශේෂයෙන්ම මෙවැනි පැනයක් මතුවන්නේ ප්‍රමුඛතාව ලබාදිය යුතුයැයි හදුනාගෙන ඇති ව්‍යාපෘති ගණනාවක් මුල්‍ය ශක්තියක් නොමැතිකම නිසාවෙන් අඩපණව තිබෙන වාතාවරණයකය.ණය ගිවිසුම අත්සන් තැබීමට පෙරම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හදිසි වන්නේ ඇයි ද? යන්න මෙහිදී නැගෙන තවත් ප්‍රබල පැනයකි.ටැබ්ලට් පරිගණක කැබිනට් පත්‍රිකාවට ලබාදුන් තීන්දුව මෙන් මෙය ද ජනපතිවරයා, අගමැතිවරයා වෙත එල්ල කළ ප්‍රහාරයක් ලෙස සැළකිය හැකිය.සභාග රජය ඉදිරියටම පැවැතිය ද, ජනපතිවරයා හා අගමැතිවරයා අතර සම්බන්ධතාවය ගැටුම්කාරී වනු ඇති බව මේ හමුවේ පැහැදිලි වේ.
“අගමැතිවරයා නිර්දේශ කරන දෙය ජනපතිවරයා ප්‍රතික්ෂේප කරනවා,“ අමාත්‍යවරයකු පැවසුවේ ය.මේ ආකාරයෙන් දෙදෙනට කොතරම් කාලයක් කටයුතු කළ හැකිවනු ඇති ද යන්න මෙතැනදී නැගෙන ප්‍රබලම පැනයයි.මේ අරබයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කරන අදහස් දැක්වීම උද්ගතව තිබෙන තත්ත්වයට අතිශයින් අදාළය.එය පහතින් දක්වා ඇත.


රිශාඞ් - මලික් ගැටුම

බරපතල කැබිනට් සංශෝධනයක් සිදුකැරෙන බව පැවසුන ද, එය ජනපති සිරිසේනගේ පරම අපේක්ෂාව වුව ද, තනතුරු සදහා යෝජනා වූ පුද්ගලයින්ට ඔහුගේ අනුමැතිය හිමිනොවීම නිසාවෙන් ප්‍රමාදයන් කිහිපයක්ම සිදුවිය.මෙම සමස්ත ක්‍රියාවලියම නාට්‍යයක ස්වරූපයෙන් මිස එයින් වෙනස් නොවීය.එක් අවස්ථාවක අමාත්‍ය මලික් සමරවික්‍රම, වානිජ අමාත්‍ය රිශාද් බදියුදීන් මහතා අරලියගහ මන්දිරයේ දී හමුවිය.වානිජ අමාත්‍යවරයා ලෙස බදියුදීන්ගේ කටයුතු කෙරෙහි පැහැදීමක් නොමැති නිසා ඔහුගේ තනතුර වෙනස් කිරීමට ජනපති සිරිසේන සැලසුම් කර තිබෙන බව සමරවික්‍රම ඔහු හා පැවසුවේ ය.එසේ නොමැති වුවහොත්, විකල්ප ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනු ඇති ජනපතිවරයා, ඉහළ ගොස් තිබෙන ජීවන වියදම කෙරේ පැහැදිලි මැදිහත්වීමක් සිදුකිරීමට අපොහොසත්වීම නිසාවෙන් වානිජ අමාත්‍යවරයාගේ විෂය පථයට අයත් වන ආහාර දෙපාර්තමෙන්තුව සහ මහජන සේවා අධිකාරිය ඔහුගෙන් ඉවත් කිරීමට පියවර ගනු ඇතැයි සමරවික්‍රම බදියුදීන් හා කීවේ ය.අතිරේක විෂය පථයන්වල වගකීම් ද භාරගෙන ඔහු හට උපකාර කරන ලෙස ජනපතිවරයා තමා සමගම පවසා තිබෙන නිසා මෙවැන්නක් කෙසේ සිදුවිය හැකි ද යන්න බදියුදීන්ගේ පැනය විය.අමතර විෂය පථයන් භාරගැනීම තමා කාරුණිකව ප්‍රතික්ෂේප කළ බව ද ඔහු කීවේ ය.

අතිශය කෝපයට පත්වූ බදියුදීන් ජනපති සිරිසේන හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියේ ය.එහි ප්‍රතිපඵලයක් ලෙස ජනපතිවරයා හමුවූ ඔහු, ඉහළ යන ජීවන වියදමේ වගකීම දැරිය යුතුයැයි තමාට නැගෙන චෝදනා භාරගත නොහැකි බව අවධාරණය කළේ ය.ගංවතුර, නියගය, වැනි ස්වභාවික විපත්වලින් එල්ල කළ බලපෑම සහ ඇතැම් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම ඔහු ඊට හේතු ලෙස පෙන්වා දුන්නේ ය.ජීවන වියදම පිළිබද කැබිනට් උප කමිටුවේ නායකත්වය දැරූයේ අමාත්‍ය මලික් සමරවික්‍රම බව ඔහු පැවසුවේ ය.මෙසේ කරුණු ගෙන හැර දැක්වීමෙන් අනතුරුව ඔහු, තම කැබිනට් තනතුරෙහි වෙනසක් සිදුකිරීමට ජනපතිවරයා අපේක්ෂා කරන්නේදැයි විමසුවේ ය.එවැන්නක් මලික් සමරවික්‍රම තමා හට දැනුම්දුන් බව ද ඔහු කීවේ ය.මේ ඇසූ ජනපතිවරයා අතිශය කෝපයට පත්විය.වහාම සමරවික්‍රම ඇමතූ ඔහු, “ඇයි එක එක්කෙනා මාත් එක්ක කොටවන්නේ?“ යැයි ඔහුගෙන් විමසුවේ ය.සමරවික්‍රම එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින්, බදියුදීන්ගේ තනතුර එළෙසම පවතින බව කීවේ ය.එය ඇසූ ජනපතිවරයා දුරකතනය බදියුදීන් අතට ලබාදුන්නේ ය.ජනපතිවරයාට දුන් පොරොන්දුවම සමරවික්‍රම බදියුදීන්ට ද දුන්නේ ය.මේ ආකාරයට බදියුදීන්ගේ තනතුර වෙනස් කිරීමට ගත් උත්සාහය අසාර්ථක විය.

වර්තමාන දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්ෂවල නායකයෝ ද සිටින්නේ අවධානයෙනි.

“ ජනතාවගේ මතය ඉතාම පැහැදිලියි.බලයේ හිටපු කාලයේ අපි ආර්ථික අවශ්‍යතාවලට විසදුම් ලබාදීලා නැහැ.ඉහළ යන ජීවන වියදමට විසදුම් ලබාදීලා නැහැ.පොහොර නිසි පරිදි බෙදා හරින්නටත් අපට නොහැකි වුනා.ගම්මානවල කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන්නේ නැහැ.ඉතින් අපි කොහොමද අපේ ණය ගෙවන්නේ?“

“වැරදිවලට කිසිම කෙනෙකුට දඩුවම් දීලාත් නැහැ.ගන්න පසුගිය අවුරුද්දේ මීතොටමුල්ල කුණු කන්දේ සිදුවීම.ඒ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත වෙනුවෙන් වගකිව යුතු අයට එරෙහිව අපි කිසිම පියවරක් අරගෙන නැහැ.විදුලිය බිද වැටීම් සිදුවෙලා තියෙනවා, කිසිම කෙනෙකුට දඩුවම් දීලා නැහැ.ඉන්ධන හිගයක් ඇතිවුනා.කිසිම කෙනෙක් ඒ ගැන වගකීම භාරගත්තේ නැහැ.මහා පරිමාන වංචා හා දූෂණ නොසළකා හැර තිබෙනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය නිවැරදි නායකත්වයක් ලබාදිය යුතුයි.එහෙම නැතිනම් අපි ඔක්කොම අමාරුවේ.“

සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතා පැවසුවේ ය.
වසර තුනක් වියැති සභාග රජයේ නව මුහුණුවර කවරෙකු දැරිය යුතුදැයි අරබයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම එක්සත් ජාතික පක්ෂය ද සිටින්නේ සෙවිල්ලකය.මැතිවරණ ප්‍රතිඵලය මත පිහිටා වෙනස්කම් සිදුකරන බවට රජය දී තිබෙන පොරොන්දු ගැන ද ජනතාව දැන් සිටින්නේ අවධානයෙන්ය.ඔවුන් සති දෙකක් පුරාවට සිටියේ අදුරේය.ඊයේ (25) සිදුවුනු කැබිනට් තනතුරු සංශෝධනය යහපාලන රජය එහි ඉදිරි කාලය කෙසේ ගෙවනු ඇතිදැයි යන්නට ඉගියක් ලබාදෙනු ඇත.ගැටලුව ඇත්තේ එය හොද අතට වනු ඇති ද, එසේත් නොමැති නම් මේ පවතින ආකාරයටම පවතිනු ඇති ද, යන්න මතය.කෙනෙකුට කිව හැක්කේ, ශ්‍රී ලංකා දේශපාලනය එවැනි ආකාරයේ වන බවය.


රජයේ අනාගතය

නායකයන් දෙදෙනාට එකිනෙකා සමග මුහු වන්නට බැරි වුනොත්, එකට වැඩකරන්නට බැරි වුනොත්, රට තවත් දුර්වල වෙන එක නම් වළක්වන්න බැහැ.මේ නිසාමයි අපි කීවේ පිටස්තර පාර්ශවයක් විදිහට ඉදගෙන හරි පත්වන නව රජයකට අපි උදව් කරන්නම් කියා.මේ නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ - ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කමිටුව සියලු කරුණු විමසුමට ගනිමින් සිටිනවා.

ණය ගැනීම සදහා අගමැතිවරයාට බලය ලබාදෙන පණත පිළිබදව

මේක නිකන් හොරුන්ට ලයිසන් දෙනවා වගේ.

හිටපු ජනපතිවරයා මෙසේ අදහස් දැක්වූයේ පසුගියදා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කෙරුනු සක්‍රීය බැරකම් කළමණාකරන පණත් කෙටුම්පත සම්බන්ධයෙන්ය.ශ්‍රී ලංකාවේ මහජන ණය කළමණාකරනයේ තත්ත්වය උසස් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවෙන් හෝ ශ්‍රී ලංකාවෙන් පිටතින් ණය ලබාගැනීමේ අවසරය මෙම පණත හරහා අගමැතිවරයාට හිමිවේ.

 



අදහස් (0)

දේශපාලන රංගන භූමිකාව උණුසුම්: ඇමැති පුටු මාරුවේ කොටසක් අහවරයි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 44 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 40 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 168 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 159 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 533 2

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 777 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 291 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1655 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site