IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දුප්පත්කමේ පතුලේ සිටින මේ පවුලේ දුක අනුන්ටත් දැනේවා

දිනකට එක් වේලක් පමණ කා ඉතිරි වේල් දෙකම කහට කෝප්පයකින් පිරිමසා ගන්නා කටු මැටි ගැසූ අබලන් පැල්පතක දිවි ගෙවන අසරණ මිනිස් පවුලක් සම්බන්ධ හද පාරවන පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 
හදවතේ සිදුරක් සහිත සැමියා ද හඳුනා නොගත් රෝගයකින් පීඩා විඳින බිරිඳ ද සමඟ එම පවුලේ දරුවෝ දෙදෙනෙකි. එක් දියණියකගේ වයස අවුරුදු හතකි. බාල දියණියට වයස අවුරුදු හතර හමාරකි. එම බාල දියණිය මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව කී බව මව පවසන්නීය. 

අංක 42/බී, කාවන්තිස්සපුර, තිස්සමහාරාම ලිපිනයේ පදිංචි බ්‍රාහ්මණගේ විපුලසිරි පෙරේරා නමැති පියා පවසන්නේ වසර අටක් පුරා තමන් සමෘද්ධි සහනාධාරය ඉල්ලුම් කළ ද එය මෙතෙක් නොලැබුණු බවය. මෙවර සමෘද්ධි සහනාධාර ප්‍රදානයේ දී තමන්ගේ නම අදාළ ලැයිස්තුවේ තිබුණ ද මෙවර ද එය නොලැබුණු බවය. 

මන්දපෝෂණය නිසාම මියගිය සිව් හැවිරිදි පුංචි පුතකු සම්බන්ධ පුවතක් ඉකුත් සතියේ වාර්තා වූයේ ද තිස්සමහාරාමයෙන්මය. ඒ සම්බන්ධයෙන් දැවැන්ත සමාජ කතිකාවක් නිර්මාණය වුවද යළිත් ඇති වී තිබෙන්නේ සන්සුන් නිහැඬියාවකි. ඒ නිහැඬියාව මැද මන්දපෝෂණයෙන් පෙළෙන තවත් එක් දරුවකු පිළිබඳව වාර්තා වී ඇත. බත බුලතින් පිරි සරුසාර බිමක ජීවත් වන පුරවැසියන් සිටින රටක දරුවන් බඩ ගින්නේ මිය යන්නේ නම් එය වූ කලී නොසලකා සිටිය යුතු නැත. 

මන්ද පෝෂණයෙන් මියගිය දරුවාගේ පියා සමෘද්ධි සහනාධාරය ප්‍රතික්ෂේප කළ බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය. එහෙත් විපුලසිරි පෙරේරා පියා වසර අටක් පුරා සමෘද්ධි සහනාධාරය ඉල්ලා සිටිය ද එය මෙතෙක් ලැබී නැත. නැති බැරි දුගී ජනයා ඇති හැකි ජනතාවක් බවට පත් කිරීමේ අරමුණෙන් අරඹා ඇති සමෘද්ධි සහනාධාරය එය ලැබිය යුතුම පිරිස් අතට පත්වන්නේ දැයි විමසිය යුතුය. 

යම් පවුලක නැති බැරිකම පොදු ප්‍රශ්නයක් සේ සලකා කටයුතු කළ යුතු දැයි ගරු කටයුතු ඇතැම් මහත්වරුන්ට විමසිය හැකිය. එහෙත් අත දිය යුතු නිසි මඟ පෙන්වීමක් කළ යුතු, විශේෂ මැදිහත් වීමක් කළ යුතු පවුල් මේ සමාජයේ වෙති. ඒ වෙනුවෙන් අවංකව කැප විය යුතුය. ඒ මිනිසුන් අමතක කර මඟ දමා යා නොහැකිය. සමාජයක වගකීම විය යුත්තේ එබඳු මැදිහත්විය යුතු අවස්ථාවල දී මැදිහත් වීමය. සාමූහික විචාර බුද්ධියෙන් අනූන, අවුළුවාගත් මහා මිනිස් අනුරාගයෙන් යුත් මිනිසුන් වෙසෙන සමාජයකින් එය අපේක්ෂා කටයුතුය. 

ගමක වගකීම දරන රාජ්‍ය නිලධාරීහු විශාල පිරිසක් සිටිති. පොලිස් නිලධාරියා, ග්‍රාම සේවක, පවුල් සෞඛ්‍ය සේවිකාව, සමෘද්ධි නිලධාරියා, සංවර්ධන සහකාර ආදී වශයෙන් සිටින එම නිලධාරීන්ට පැවරුණු වගකීම් ද වෙයි. තමාගේ වසම තුළ සිටින සෑම මිනිස් පවුලක්ම සම්බන්ධයෙන් වගකීමක් ඔවුන්ට තිබේ. එහිදී විශේෂ මැදිහත්වීම් කළ යුතු පවුල් හඳුනා ගනිමින් කළ යුතු දේ කිරීම ඔවුන්ගෙන් බලාපොරොත්තු විය යුතුය. එය එසේම සිදු වන්නේ නම් අප රටේ දරුවන්ට මන්දපෝෂණයෙන් මිය යාමට සිදුවන්නේ නැත. මව පියා රෝගී තත්ත්වයෙන් සිටීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය අතරමඟ නතර වන්නේ නැත. මවු පොළොවට බරක් වන මිනිසුන් නිර්මාණය වන්නේ නැත. 

දුගී බවම උරුම කරගත් වේල් තුනෙන් එක වේලක් කා ජීවත් වන විපුලසිරි පෙරේරා පවුලට සමෘද්ධි සහනාධාරය නොලැබීමට හේතුව කුමක්දැයි විමසිය යුතුය. එය පෞද්ගලික කෝන්තරයක් ද දේශපාලන හේතුවක් ද නැතහොත් වෙනත් හේතුවක් ද යන්න සොයා බැලිය යුතුය. රාජ්‍ය සේවය විනිවිද භාවයෙන් යුතු විය යුතුය. එය සාධාරණ විය යුතුය. 

ගමට යන එන රාජ්‍ය සේවකයා යනු මහජනයාගේ බදු මුදලින් යැපෙන්නෙකි. ඔවුන්ගේ පඩි පත ගෙවා දමනු ලබන්නේ මෙරට මහජනයාය. හදවත් සිදුරු රෝගයකින් පෙළෙමින් වුවද කුලී වැඩ කර විපුලසිරි පෙරේරා පියා උපයා සපයා ගන්නා සොච්චම ද රාජ්‍ය සේවකයාගේ පඩි පතට ඇතුළත්ය. එහෙයින් රාජ්‍ය සේවකයාට ගැලවීමක් නැත. ඔහු නිවැරැදිව තම වගකීමත් යුතුකමත් ඉටු කළ යුතුය. එය අනුල්ලංඝනීය වගකීමකි. 

සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් කට මැත දෙඩවීම ජාතික සිරිතක් වශයෙන් ප්‍රගුණ කරන රටක දරුවන් මන්දපෝෂණයෙන් මිය යා හැකිය. එහෙත් එය රටක ගමන නොවේ. රටක් නිවැරැදිව ඉදිරියට යාමට නම් ඒ ඒ පුරවැසියාගෙන් ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටුකළ යුතුය. එසේ ඉටු නොකරන්නේ නම් එය නිවැරැදි කිරීමට සමත් දියුණු යාන්ත්‍රණයක් තිබිය යුතුය. රට යනු කොළඹ යැයි බලධාරීන් සිතන්නේ නම් එසේ සිතන තාක් කල් රටේ ප්‍රශ්න නොවිසඳෙනු ඇත. අප තේරුම් ගත යුතු වඩාත් වැදගත්ම කාරණය වන්නේ එය ය. 

 



අදහස් (4)

දුප්පත්කමේ පතුලේ සිටින මේ පවුලේ දුක අනුන්ටත් දැනේවා

dilal Tuesday, 02 July 2019 04:36 PM

තවමත් හම්බන්තොට එදා 1930 ගණන්වල සුදු ඒජන්ත ලෙනාඩ් වුල්ෆ් මහතා දුටු හම්බන්තොටමද? මෙහි අසරණ ජනතාවට කාගෙන්වත් පිහිටක් ලැබිලා නැද්ද?

:       0       91

සනාථා Wednesday, 03 July 2019 01:38 AM

මේ දරුවන් ගේ පවුලේ විස්තර සොයා දෙන්න

:       0       58

Senarath Wednesday, 03 July 2019 07:44 AM

ඒ වුණාට අගමැතිගේ කතාව නම් මුළු රටේම ජනතාව හොඳින් තුන්වේල කාලා බීලා, වයිෆයි බලමින්, චුයින් ගම් හපමින් ඉන්නවා වගේ...

:       1       54

Chathuri Thursday, 04 July 2019 01:07 PM

කලින් හිටපු රජ්ජුරුවන්ගේ ගම නේද? රජ්ජුරුවෝ මැරුණ දෙමව්පියන්ගේ සොහොනට මිලියන ගණන් යට කෙරුවේ මේ දුප්පත් ජනතාවගේ මුදල් නේද? මැරුණු කෙනාට වියදම් කරන්නේ... ජීවත් වෙලා ඉන්න මිනිසුන්ගේ බඩට පහරදීලා. මොන නායකයාද? ඒ වුණාට අප්පච්චි නැතිව ඒ දවස්වල කට්ටියට උණ ගත්තා...

:       0       101

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 137 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 274 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 350 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 85 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 527 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 290 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 218 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1428 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site