ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා 2000කගේ පමණ සහභාගිත්වයෙන් ජුනි 08වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැති මහා සඟ සමුළුවේදී සම්මත කරගෙන රජයට ඉදිරිපත් කළ යෝජනා මාලාව දෙස දැන් රටේ අවධානය යොමුවී තිබෙන බව විවිධ පැතිවලින් කියැවෙන කතාවලින් අනාවරණය වෙයි.
ඒ යෝජනා සම්බන්ධයෙන් වැඩියෙන්ම අවධානය යොමු වී තිබෙන්නේ මෙරට මුස්ලිම් ආගමික නායකයන්ගේ වීම විශේෂත්වයකි. ඊට හේතු වී තිබෙන්නේ මුස්ලිම් අන්තවාදීන් අප්‍රේල් 21 වැනිදාට යෙදුනු පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් මියගියේ මෙරට සිංහල හා දෙමළ ජනතාව සේම විදේශිකයන් වුවත් ඒ ප්‍රහාරවලින් පසුව වැඩිම හානියක් වී තිබෙන්නේ මුස්ලිම් සමාජයට වීමය.
මුස්ලිම් ආගමික නායකයන් සහ ජනතා නියෝජිතයන් කියන හැටියට ඔවුන් අද මුහුණ දී සිටින බරපතළ කාරණය වන්නේ සිංහල මුස්ලිම් සහජීවනය කඩා වැටීමය.
අප්‍රේල් 21 වැනිදා මුස්ලිම් අන්තවාදීන්ගේ ජනසංහාරයෙන් පසු සිංහල අන්තවාදීන් මැයි 13 වැනිදා රටේ ප්‍රදේශ කීපයක දියත් කළ මුස්ලිම් ජනයාට එරෙහි ත්‍රස්තවාදය ද ඒ සහජීවනයට එල්ල කළේ බරපතළ තර්ජනයකි. අන්තවාදයට සහාය දුන් නොදුන් සියලු මුස්ලිම් ජනතා නියෝජිතයන් තමන් දැරූ තනතුරුවලින් ඉවත්වීමට ගත් තීරණයට බලපෑ ප්‍රබල සාධකයක් වූයේ ඒ මැයි 13 වැනිදා දියත් වූ ත්රස්තවාදයයි.
මේ පසුබිම මත අන්තවාදයටත් ත්‍රස්තවාදයටත් එරෙහි එසේම ඒ සියල්ල පිළිකෙව් කරන සිංහල දෙමළ මුස්ලිම් කවුරුත් දැන් යළි වෙහෙසෙන්නේ තිබූ සහජීවනය යළි ගොඩනගා ගැනීමටය. ඒ සඳහා මුස්ලිම් සමාජයෙන් ද විවිධ යෝජනා ඉදිරිපත් වී තිබේ. පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනාගත නොහැකි ආකාරයේ ඇඳුම් පැළඳුම් තහනම් කළ යුතු බවට දැන් මුස්ලිම් සමාජයෙන්ම යෝජනා වෙයි. එසේම ආගමික පදනමින් අමාත්‍යාංශ හා පාසල් ගොඩනැගීම හා පවත්වාගෙන යාමට ද දැන් දැන් උගත් මුසල්මානුවන්ගෙන් එල්ලවන්නේ ප්‍රබල විරෝධයකි.
එසේම විවාහය සහ දික්කසාදය සම්බන්ධයෙන් දැනට පවතින මුස්ලිම් නීති පිළිබඳව මුස්ලිම් සමාජ ක්රියාකාරිනියන්ගෙන් එල්ල වන්නේ ද බරපතළ විවේචනයකි. පවතින නීති නිසා මුස්ලිම් දැරියන්ට වයස අවුරුදු 18 දක්වා පාසල් අධ්‍යාපනය ලැබීමට ද නොහැකිව තිබෙන බව ඒ සමාජ ක්‍රියාකාරීහු පෙන්වා දෙති. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය මුස්ලිම් කාන්තාවන්ට අවාසි සහගත අයුරින් භාවිත කෙරෙන බවය. ඉස්ලාම් දහම අදහන බොහෝ රටවල් ඒ නීති සම්බන්ධයෙන් ඉතාම ප්රගතිශීලී පියවර ගෙන තිබෙන බව අනාවරණය කරන ඔවුහු ඒ රටවල ඒ නීති ලෝකයේ නව ප්රවණතා සමඟ කාලෝචිත ආකාරයෙන් සංශෝධනය වී තිබෙන බවද පෙන්වා දෙති. පවතින නීති වෙනස් කරගැනීමට අවුරුදු 30ක් තිස්සේ සටන් කළත් මුස්ලිම් කතුන්ට ඒ සම්බන්ධයෙන් තවමත් යුක්තිය ඉටු වී නොමැති බව ඒ මුස්ලිම් සමාජ ක්‍රියාකාරීහු පවසති.
ත්‍රෛනිකායික මහාසඟ සමුළුවේ යෝජනා දෙස අප බැලිය යුත්තේ ඒ පසුබිම මත සිටිමිනි. ඒ සඟ සමුළුවේ පළමුවැනි යෝජනාව වන්නේ “දැනට වෙන්වෙන් වශයෙන් පවතින ආගමික අමාත්‍යාංශ එක්කර ආගමික කටයුතු අමාත්‍යාංශය නමින් එක් අමාත්‍යාංශයක් පිහිටුවා එය එක් ලේකම්වරයකුගේ නියාමනයට ලක් කළ යුතු” බවය. එය බෙහෙවින් කාලීන යෝජනාවකි. බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් ලෙස ආගම් අනුව අමාත්‍යාංශ පවත්වාගෙන යාම බෙදාවෙන් කොට පාලනය කිරීමකි. ජාතීන් බෙදා වෙන්කර පාලනය කිරීමේ ඒ ක්‍රමය බි්රතාන්ය අධිරාජ්‍යවාදීන් මෙරටෙහි පවත්වාගෙන ගියේ ජාතීන් අතර සමගිය ඇතිවීම වැළැක්වීමටය. ජාතීන් භේද භින්න වී සිටීම ඔවුන්ගේ පාලනයට පහසු හෙයිනි. ඒ බව තේරුම් ගත් මෙරට අතීත නායකයන් ආගමික හා සංස්කෘතික කටයුතු සඳහා පවත්වාගෙන ගියේ එක අමාත්‍යාංශයකි. රට යළිත් යා යුත්තේ ඒ ක්රමයටය.
“දැනට හදිසි නීති මගින් තහනමට ලක්ව ඇති පුද්ගල අනන්‍යතාව තහවුරු නොවන ඇඳුම් ස්ථිර නීතියකින් තහනම් කළ යුතු” බව ඒ සඟ සමුළුවේදී සම්මත කරගත් දෙවැනි යෝජනාවයි. එය ද මුස්ලිම් සමාජයෙන්ම දැන් මෙරටට පැමිණ තිබෙන යෝජනාවකි. “ජාති, ආගම් හෝ පළාත් අනුව පවතින විවිධ විවාහ නීති හා ඉඩම් නීති” අහෝසි කර එක් රටක් තුළ සියලු ජනවර්ගයන්ට පොදු එක් නීතියක් සම්මත කළ යුතු බව ඒ සඟ සමුළුවේ තෙවැනි යෝජනාවයි. ඒ සම්බන්ධයෙන් ද දැන් රටේ පවතින්නේ පුළුල් ඉල්ලීමකි. ඒ ඉල්ලීම ඉටු කිරීම ජාතික, ආගමික හා ප්‍රාදේශීය වශයෙන් තිබෙන විවිධ භේද බින්නතා අකාමකා දැකීමක් ද වන්නේය. ඒ සඟ සමුළුවේ හතරවැනි යෝජනාව වන්නේ “දැනට මතබේදයට තුඩු දී තිබෙන මද්රසා පාසල් ජන අනුපාතයට සාපේක්ෂව සීමා කළ යුතු අතර ඒ පාසල් ද අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගෙන නියාමනයට ලක් කළ යුතු” බවය. මද්රසා පාසල් සම්බන්ධයෙන් ද මුස්ලිම් සමාජයෙන්ම එල්ල වී තිබෙන්නේ බරපතළ විවේචනයකි.
ඒ මහා සඟ සමුළුවේදී සම්මත කරගෙන තිබෙන යෝජනා ගණන 12කි. ඒ සියල්ල 2019 ජුනි 13 වැනිදා ලංකාදීපයේ 21 වැනි පිටුව පුරා දැන්වීමක් ලෙස පළවිය. ඒ පිළිබඳ අවධානය යොමුකර ඒ යෝජනා නීති මගින් බලගන්වා ගැනීමට කටයුතු කිරීම සිවිල් සමාජයේ වගකීමකි. ඒ සියල්ල කළ යුත්තේ අදාළ පාර්ශ්ව සියල්ල සමඟ සාකච්ඡා කර සම්මතයකට එළඹීමෙන් අනතුරුවය. මක්නිසාද යත් නියම ලිච්ඡවී පිළිවෙත එයම වන බැවිනි.
මැතිවරණ සම්බන්ධයෙන් මේ දිනවල සිදුවන සංවාදය තුළ මැතිවරණ ක්රමයේ සංශෝධනයක් විය යුතු බවට කතාබහක් නැවත කරළියට පැමිණ තිබේ. මෙහි දී මිශ්‍ර නියෝජන ක්‍රමයක්
පාතාලයට සම්බන්ධකම් පවත්වන සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් දුන් නියෝග හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කිරීමක
නිදහස ලබා ගත වු වසර 76 ක කාල පරිච්ඡේදය තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ මාරුවෙන් මාරුවට රට පාලනය කළ බවත්, එම පක්ෂ විසින් එම කාලය තුළ අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හේ
පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සියලු දරුවන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමේ වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන
පසුගිය වසරක පමණ කාලයේ සමාජ මාධ්‍ය ජාලාවල වගේම ප්‍රධාන මාධ්‍යවල ද වාර්තා වූ පරිදි, පාසල් සිසු සිසුවියන්ට මුහුණ දෙන්නට සිදු වූ හිංසන, අතවර, අපචාර, අපයෝජන
රටක ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටෙමින් පවතී නම් එවැනි රටක සංවර්ධනය පිළිබඳ කොතරම් පුරාජේරු කතා කිව්වත් පලක් නැත. ඒ මක්නිසාද යත් ඉදිකිරීම් කර්මාන්තය සමත
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ත්‍රෛනිකායික යෝජනා ක්‍රියාවට නැංවීම කාලීන අවශ්‍යතාවක්