IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ණය බර නැති සුව බර රටකට ජනතා ප්‍රාර්ථනා

කලුවාදේවගේ සිරිල් මැතිව් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන්නට ජේ.ආර්. ජනාධිපතිවරයා තීරණය කළේය. 1984 වසරේ දී ය. සිංහලයන් වෙනුවෙන් කතා කළ මහා නායකයකු සේ හෙතෙම ජනතා ප්‍රසාදය දිනා සිටියේය. බුදු දහම හා සිංහල ජාතිය ගැන කෘතියක් ද රචනා කර ජනතාව අතර බෙදාහැරියේය. උතුරේ ත්‍රස්තවාදය ඇවිළෙමින් තිබිය දී සියලු පක්ෂ කැඳවා වට මේස සාකච්ඡාවකට යන්නට ජේ.ආර්. ආණ්ඩුවට සිදුවිය. මැතිව් වට මේස සාකච්ඡාව තදට විවේචනය කළේය. ආණ්ඩුවක් ගන්නා තීරණ සාමුහික එකකි. කැබිනට් මණ්ඩලයේ දී එකට එකතු වී ගන්නා තීරණ ප්‍රසිද්ධ වේදිකාවේ දී වෙනම විවේචනය කිරීම ප්‍රශ්නයකි. ඇතුළත ගිනි තිබෙන්නට බැරිකමක් නැත. කවුළුවෙන් දුම් නැගෙන විට අවුලුවන්නට සුදුසු මොහොත සතුරෝ දැන ගනිති. දක්ෂ පාලකයකුට ඉවසිය නොහැකිය. ජේ.ආර්. ගේ තීන්දුව සිරිල් මැතිව්ට පමණක් කරන ලද තරවටුවක් නොවේ.  හැත්තෑ හතේ ආණ්ඩුවේ අත පය සොලවමින් සිටි බලවත් චරිතවලට අනතුරු ඇඟවීමක් විය.

ගැටුම් හා කෝලාහලවලින් රටක් දියුණු කරන්නට පුළුවන්නම් ශ්‍රී ලංකාව ලෝක සිතියමේ ඉදිරියෙන්ය. නායකයකු තෝරාගන්නේ ප්‍රශ්න විසඳා ගන්නය. නැති ප්‍රශ්න ඇති කරන්නට නොවේ. පසුගිය දශක හත තුළ ලංකාව අප්‍රමාණ අර්බුද ඇති කරගත්තේය. දේශපාලන, ජාතිවාදී, ආගම්වාදී පමණක් නොව හිතින් මවාගත් මිථ්‍යා අදහස්වලින් ද පැන නැගි ඒවාය.


ජනතාව තද නායකත්වයක් ඉල්ලා සිටි පසුබිම
රනිල් - චන්ද්‍රිකා සහ මෛත්‍රී - රනිල් ආණ්ඩු කාලය තුළ සිදුවූ වෙනස්කම් ගැන ජනතාවට වැටහීමක් තිබුණි. දෙපැත්තට ඇදීමෙන් සෙතක් සිදුවූයේ නැත. දේශපාලනඥයන් සිටිය දී දේශපාලනඥයකු නොවූ ගෝඨාභය තෝරා ගත්තේ පොදු ජනතාවය. ත්‍රස්තවාදය පරාජය කරන බලවේගය තුළ ගෝඨාභයගේ භූමිකාව අනන්‍ය එකකි. ලාබ ප්‍රසිද්ධිය පැත්තකට දමා යුද බිමේ සිටි සෙබළුන්ගේ ධෛර්යය නංවන පියවර ගත්තේය. අත්දැකීම් මනා සේ පිටුවහලක් විය. යුද බිමෙන් පසු වැඩබිමට පැමිණි ගෝඨාභය ආරක්ෂක සහ නාගරික අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් පරිවර්තනයකට තීරණ ගත්තේය. තැනට ඔබින තීරණ සහ ඡන්ද පදනම ගැන නොලසකා කරන ලද වැඩ කොටස ඔහු ඉහළටම ඔසවා තැබීය. විධායක ජනාධිපති ධුරය එහි ගිරි මුදුනය. පොදු ජනතාව තමන්ගේ කැමැත්තෙන් ඡන්දය පාවිච්චි කරන විට ඔහු ගේ පියවර මතින් ඇවිද ජයග්‍රහණයේ කොටස්කරුවන් වෙන්නට සෑහෙන කණ්ඩායම් පෙළගැසිණ. හැට නව ලක්ෂයක් කැමැත්ත දුන්නේ ගෝඨාභය අයිතිකරගන්නට තැත් කළ පිරිසකට නොවේ. ජනතාව සහ නායකයා අතර සෘජු තීන්දුවක් අනුවය.

ජනතාවාදී නායකයා බලයට පත් කරන්නේ තමන්ගේ පදයට වැටුණ ඡන්දවලින් බව කල්පනා කරන පටු කණ්ඩායම් ජනාධිපතිවරයා කටයුතු කළ යුතු ඔවුන්ගේ අභිලාශ අනුව යැයි කල්පනා කරන්නේ නම් වරදකි. ජනාධිපතිවරයා තීරණ ගත යුතු සුළු පිරිසකගේ වාසි වෙනුවෙන් නොවේ. බහුතර ජනතාවගේ හිත සුව පිණිසය. සැනසිලිදායක රටක් හදන්නටය. ණය බර නැති දේශයක් ගොඩනගන්නටය. මානව අයිතිවාසිකම් ගැන බටහිර නගන චෝදනාවලට උත්තර දී නිදහස් අභිමානයක් වෙනුවෙන් බව අමතක කළ යුතු නැත. අවසාන වශයෙන් ජනතාව තමන්ගේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රටක් ප්‍රාර්ථනා කළහ. දෙකට, දෙපැත්තට නොව කෙළින් වැඩ කරන පිරිසුදු නායකයකු තමන්ගේ සිහින සැබෑ කරනු ඇතැයි විශ්වාස කළ බව රහසක් නොවේ. මෙම අභියෝගාත්මක අවස්ථාවේ දී රට නැවත ගොඩනගන කණ්ඩායම තුළ නොසිටිය යුතු සිරිල් මැතිව් ලා සොයා තීරණ ගැනීමත් විධායක ජනාධිපතිවරයා සතු අයිතිවාසිකමකි.  


පියවරක් පසුපසට ගැනීම සහ ආයෝජන අවස්ථා
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය මෙම ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධ සන්ධිස්ථානයකි. නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම ශ්‍රී ලංකා රජයේ තීරණයකි. එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණයක් නොවේ. ශ්‍රී ලංකා ආණ්ඩුව, ඉන්දියාව හා ජපානය යන මිතුරු රටවල් එකට එකතු කරන ආයෝජනයකි. එක පැත්තකින් චීනය, අනෙක් පැත්තෙන් ලාංකේය පෞද්ගලික සමාගමක් වන ජෝන් කීල්ස් ව්‍යාපාරය සමග කොළඹ වරායේ තරඟකාරීත්වයක් ඇති කරන ව්‍යුහයකි. නැවක් වරායට පැමිණීම රටට ආර්ථික වාසියකි. රස්සා හැදෙන්නේ මෙරට තරුණ පිරිසටය. වරායේ අංශ තුන හතරක කඩිමුඩියක් ඇති පසුබිමක සේවා සක්‍රීය වෙයි. එහෙම හිතන්නට පුළුල් දැක්මක් නැති පටු පිරිස් රට වෙන්දේසි කරන යෝජනාවක් සේ අර්ථ දක්වන්නට නැඹුරු වූහ. වරාය වෘත්තීය සමිති වෙඩි මුරය තැබීය. සංඝරත්නයේ ඇතැම් කණ්ඩායමක්, දේශපාලනඥයන්, විරුද්ධ පක්ෂ සහ වියත් මග ඇතුළු විවිධ කොටස් ඝෝෂාවට අනුව අවදි වූහ. අන්තිමේ දී කැබිනට් සාමාජිකයන් පමණක් නොව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද වරාය ආයෝජනය නතර කරන තීරණයට එකතු වී සිටී.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ආණ්ඩුව සන්තකයේ තබා ගෙන බටහිර පර්යන්තය ආයෝජනයකට වෙන්කරන තීරණයක් කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත. බටහිර පර්යන්තයේ කොටස්වලින් සියයට අසූ පහක් පවරන්නට සූදානම් බව ප්‍රකාශ වී තිබේ. නැගෙනහිර ආයෝජනයට ඉඩ නොදුන් බලවේග බටහිරට අත තබන්නට දෙන්නේ නැත. බටහිර ආරක්ෂා කරන බව දැනටමත් ප්‍රකාශ වී තිබේ. පෞද්ගලීකරණය නොකරන බවට තීරණයක් ව්‍යවස්ථාවට ඇතුළු කරන තෙක් සටන නතර නොකරන බව වෘත්තීය සමිති අවධාරණය කර ඇත. තීරණාත්මක කඩුල්ල ඩැහැගත් පසු ඉතිරි කඩුලු දවා ගැනීම තරඟයේ ස්වභාවයකි. ආණ්ඩුව පියවරක් පසුපසට ගෙන තිබේ. රට වෙනුවෙන් ද නැත්නම් ඡන්ද පදනම වෙනුවෙන් ගත් දේශපාලන තීන්දුවක් ද යන්න ඉතිහාසයේ ලියැවෙනු ඇත.


වියතුන් ගේ දිග පළල මැන ගත හැකි දර්ශක
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් කරගැනීමත්, පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ආණ්ඩුව ලබාගත් ජයග්‍රහණයත් ප්‍රතිපත්ති ප්‍රකාශනයකට ලඝු කළ යුතු නැත. ඉතා පටු අදහසකි. අණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොරෝනා වසංගතය මැඩ පවත්වන කාර්ය සාධක බළකායක් ගැන වගන්තියක් නොතිබුණි. වයිරසය පාලනය කරන එන්නතක් සොයා ගතහොත් මිල දී ගැනීමට මෙහෙයැවෙන ආකාරය ලියා තිබුණේ නැත. එහෙම නොතිබුණ පමණින් තීරණ ගැනීම බාධාවක් නොවේ. සාමුහිකත්වය වැදගත්ය. නායකත්වය එයටත් වඩා උසස්ය.

ආණ්ඩුවක් හෝ නායකයකු හෝ ජනතාව වෙනුවෙන් ගන්නා තීරණ සියයට සියයක් සාර්ථක නොවෙන්නට ඉඩ තිබේ. අසාර්ථක හා අත්හදාබැලීම් ගණනාවක් අවසානයේ එකක් හරියටම හරියන්නට ඉඩ තිබේ. වරදින දහයක් ගැන තීන්දුවක් ඉල්ලන්නට කලින් රටක් හදන්නට ගන්නා ප්‍රයත්නය සාධාරණීකරණය කිරීම අවශ්‍යය. කල්පනා කර හැම පැත්තෙන්ම හිතා බලන්නට විද්වතුන් පියවර ගත යුතුය. වත්මන් ආණ්ඩුව වටා විද්වත්හු පෙළ ගැසුණෝය. තීරණවල දී යුක්ති යුක්තභාවය වෙනුවෙන් පර් යේෂණාත්මකව කල්පනා කරනු ඇතැයි අපේක්ෂාව විය. අන්තිමේ දී අන්තවාදී අදහස්වලට ගොදුරු වී තිබේ. රටක් අන්තවාදයට නතු කිරීම සුදුසු ස්වභාවයක් නොවේ.

ලෝකයේ ස්වභාවය එක තැනක නැත. දැවැන්ත තරඟකාරීත්වයක් තිබේ. බල අරගලයකි. ඇමරිකාව හා සෝවියට් දේශය සමග තිබුණ සීතල යුද්ධයට සමාන එහෙත් එයට වඩා තියුණු පසුබිමක් ඇත. එක පැත්තකින් ඇමරිකාවය. අනෙක් පැත්තෙන් චීනය බව පෙන්වා දිය යුතුය. දෙපැත්තෙන් එන පීඩනය විසිරෙන්නේ ඉන්දියන් සාගරයේය. වාසනාවකට හෝ අවාසනාවකට ශ්‍රී ලංකාව එහි කේන්ද්‍රය බවට පත්ව ඇත. කියැවීම හරියට කරගතහොත් නැගෙන්නට බැරිකමක් නැත. වරද්දා ගත්තොත් පීඩන අවපාතයකට හසුවීම වැළැක්විය නොහැකිය. බලවත් රාජ්‍යයන්ගේ බල අරගලය තුළ ක්‍රියාත්මක විය යුතු උපායශීලී පිළිවෙළක් තිබේ. ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනැගිය යුතු ආකාරයක් තිබේ. ප්‍රතිපත්ති සකස් කළ යුතු එළැඹුම අනුවය. දියවැල එන දිසාව බලා හසුරවන්නට සමත්විය යුතු කපිතාන්ය. ආධාරකරුවන්ට ද අදහසක් තිබේ. ඒවා කිරා මැන තීරණය නැව්පතියාගේය. දෙපැත්තකින් නැගෙන රැලි දෙස බලා නැගෙන රැල්ලට පැනීම බුද්ධිමත් තීරණයක් නොවේ.   


ලාබ ජනප්‍රියත්වයක් ද ජනතා ගෞරවය ද
රටක් ඉදිරියට ගෙනයන්නට පරිණත දේශපාලනයක් අවශ්‍යය. ලාබ ජනප්‍රියත්වය පලක් නැත. වර්තමාන සංකීර්ණ සන්නිවේදන පරිසරය අභියෝගයක් බව පිළිගත යුතුය. මාධ්‍යකරණයේ විලාසය වෙනස් වී තිබේ. සාම්ප්‍රදායික මාධ්‍ය අභිබවා සමාජ මාධ්‍ය ඉදිරියෙන්ය. මතය හැදෙන්නේ එතැනය. සමාජ මාධ්‍යයෙහි මතය හදා පාඩමක් ඉගෙනගත් නායකයෝ මෑත ඉතිහාසයේ අවලංගු කාසි බවට පත්වූහ. ඩොනල්ඩ් ට්‍රම්ප් හොඳම උදාහරණයකි. ට්වීට් පණිවුඩවලින් රට පාලනය කළේය. ජනප්‍රියත්වය තීරණවල එල්බ සිටියේය. අන්තිමේ දී ඇමරිකානුවෝ යථාර්ථය වටහා ගත්හ. ලාබ අදහස්වලින් රටක් පාලනය කරන්නට පුළුවන්කමක් නැත. බහුතරයක් පිනවන තීන්දු ජනප්‍රියත්වය ඇති කරයි. ජනප්‍රිය නායකයන් ජනතා ගෞරවය දිනාගන්නේ කලාතුරකින්ය. තීරණ තිත්තය. තිත්ත තීරණ තුළ මිහිරි පැවැත්මක් තිබේ. අරගලය තිබිය යුතු රට හදන්නටය. අලුත් දෙයක් නිර්මාණය කරන්නටය. පවතින රාමුව එහෙමම ඔසවාගෙන යන්නට විශාල ප්‍රයත්නයක් අවශ්‍ය නැත.

රටට ඇති ප්‍රශ්නය වරාය සංවර්ධනය නොවේ. වරාය ආයෝජනය  එක පුපුරකි. ආර්ථිකය හා ජාත්‍යන්තර බලපෑම් ඇවිළෙමින් තිබේ. අනෙක් පැත්තෙන් දියුණු තියුණු වී ඇති කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සමග බව අමතක කළ යුතු නැත. ආයෝජනයක් ගැන තීරණ ගැනීම ආණ්ඩුව විශාල මතබේදාත්මක තැනකට තල්ලු කරන විට අනෙක් තීරණාත්මක තීරණවලට මුල පුරන්නට පුළුවන්කමක් නැත. ජනතාව ප්‍රාර්ථනා කළ වෙනස ඇති කරන පියවර අඩාල වනු නිසැකය.


මෙම විරුද්ධත්වය හැර තවත් විරෝධතා තිබේ ද?
පසුගිය අවුරුද්ද තුළ රට තුළ විරෝධතා හැර තිබුණ අනෙක් දෙයක් නැත. රට ලොක් වඩුන් කර නොතිබුණානම් තත්ත්වය තවත් වෙනස්ය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තුළ විරෝධතාවලට ඉඩක් තිබේ. විරුද්ධත්වය පමණක් නොව එකඟවීමත් වැදගත්ය. පාරක් හැදුවත්, ඉඩමක් වෙන් කළත්, දුක් ගැනවිල්ලක් හමුවේත් පමණක් නොව ආයෝජනයකත් පරහක් දැකීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. සමාජ සංස්ථාව විකෘතිවීමේ ප්‍රතිඵලයකි. වගකීම් හා යුතුකම් මතක නැත. වෘත්තිකයන්, ආගමික නායකයන්, දේශපාලනඥයන් හා විපක්ෂ නියෝජිතයන් අතර ප්‍රතිසන්ධානයක් අවශ්‍යය. එහෙම නැති පසුබිමක් තුළ ජාතීන් අතර සමගි සන්ධානයක් හා සහජීවනයක් ගොඩනගන්නේ කෙසේද? මෙම කෝලාහලය ලෝක ප්‍රජාව ඉදිරියේ අවමානයකි. එක අරමුණක්, එක අනන්‍යතාවක් නැති රටකට කෙණෙහිලිකම් කෙළවරක් නැත. ජිනීවා මානව හිමිකම් කොමිසම පවා එයින් ප්‍රයෝජන ගෙන තිබේ. ත්‍රස්තවාදය පරාජය කර රටක් නිදහස් කරගන්නට සමත් වූ දවසේ සිට අද දක්වා එක උත්තරයක් දෙන්නට අප අසමත්ව තිබේ. ආණ්ඩු වෙනස්වන සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මාරුවන පිළිවෙළ අනුව වචන වෙනස් කර තිබේ. මෙවැනි තැන්වලින් ඇතිකරන ගැහැට අවසානයේ වන්දි ගෙවන්නට සිදුවෙන්නේ ජනතාවටය.

දීර්ඝකාලීන ගැටුම් තිබුණ රටක සමාජ එකඟතාව ඇතිකර ගැනීම පහසු නැත. බුද්ධිමත්ව වචන හැසිරවෙන තැනකට කැඳවීම දුෂ්කරය. සැකය, අවිශ්වාසය මුලට පැමිණෙයි. සුළු පිරිසක් අත උඩතබා මවා පෙන්වන මිථ්‍යාවට ගොදුරු වීම සාමාන්‍යයෙන් සිදුවෙයි. දියුණු රටවල් සමාජය හදන්නට කලින් මානසිකත්වය දියුණු කරයි. ධනාත්මකව හිතන්නට හුරු කරයි. ලංකාවේ පාසල් අධ්‍යාපනයේ සිට ආත්මාර්ථකාමීත්වය ඉහවහා ගොස් තිබේ. තැනක් ගන්නට අනෙකා යටපත් කළ යුතුය යන ආකල්පයෙහි සිටී. අනුන්ගේ විපතෙන් සතුටට පත්වන සමාජයක ආඩම්බර විය යුතු දෙයක් නැත. සමබරව හිතන්නට සහ මධ්‍යස්ථව තීරණගන්නට අධිෂ්ඨානයක් අවශ්‍යය. මධ්‍යම ප්‍රතිපදාව සහ අටලෝ දහම ගැන වැඩිම අවබෝධය ඇත්තේ අපටය. අන්තවාදයෙන් පලක් නැති බව බුද්ධ දර්ශනය සනාථ කර තිබේ. සාකච්ඡාවෙන් සම්මුතියෙන් ප්‍රශ්න විසඳාගැනීම ගැන හොඳම පාඩම අපගේ හදවත් තුළ ඇත. වෛරයෙන්, ගැටුම් ඇතිකර ගැනීමෙන් කෙළවරක් සෙවීමට තීරණය කිරීම සුදුසු නැත. මේවා ගැන පිළිවෙළකට ක්‍රියා කරන්නට ආගමික හා සමාජ නායකයන් පියවරගත යුතුය.

(*** සාරා කන්දෙගොඩ)



අදහස් (1)

ණය බර නැති සුව බර රටකට ජනතා ප්‍රාර්ථනා

අමිල Monday, 08 February 2021 04:06 AM

"කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ආණ්ඩුව සන්තකයේ තබා ගෙන බටහිර පර්යන්තය ආයෝජනයකට වෙන්කරන තීරණයක් කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත. බටහිර පර්යන්තයේ කොටස්වලින් සියයට 85ක් පවරන්නට සූදානම් බව ප්‍රකාශ වී තිබේ. " 85% කොටස් පැවරීමෙන් බටහිර පර්යන්තයේ හිමිකාරිත්වයක් ලංකාවට කොහෙද? රටට විශාල ලෙස ආදායම් උපයන ස්ථාන 100% අපේ රටේ හිමිකාරීත්වයේ තබා ගැනීම අත්‍යවශ්‍ය නොවේද? සිදුකළ යුත්තේ පරිපාලන හෝ කළමනාකරණය දුර්වලතා නම් ඒවාට ඍජු තීරණගෙන දක්ෂ ලෙස ඒවා මෙහෙයවිය හැකි සුදුසුකම්ලත් පුද්ගලයින් ඒ සඳහා යොමුකර එවන් පුද්ගලයින්ගේ උපක්‍රමික නිවැරැදි තීරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඍජු මැදිහත්වීම ලබාදීම නොවේද? පෞද්ගලික කරණය අකාර්යක්ෂම රාජ්‍ය ආයතන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ එක් උපක්‍රමයක් බව සැබෑයි. එහෙත් එය දේශීය ව්‍යවසායකයින් හරහා සිදුකිරීමෙන් දේශීයව ආර්ථික වැඩිවීමක් ඇති කරනු ඇත. කොටසක් පෞද්ගලීකරණය කර කොටසක් රජය යටතේ පවත්වා ගැනීම සාපේක්ෂව රජයේ කොටසේ කළමනාකරණය, ආදායම ඉහළ නැංවීමට උචිත උපක්‍රමයක් වනු ඇත. මෙලෙසින් ගුවන් සේවය, දුම්රිය සේවය කෙරෙහිද සොයාබැලිය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 189 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 192 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 47 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 291 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 207 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 259 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site