IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනතාව - පූජකවරු - දේශපාලනය

ගෙවීගිය සති දෙක තුළ රටේ දේශපාලන ක්ෂේත්‍රය ගිනියම් කිරීම කෙරෙහි බලපෑ කරුණු කාරණා අතුරින් ප්‍රමුඛස්ථානය ගත්තේ හරීන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයා විසින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් වහන්සේ සම්බන්ධයෙන් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශනයයි. පොලොන්නරුවේ පැවති දේශපාලන රැස්වීමක් අමතමින් හරීන් ප්‍රනාන්දු කියා සිටියේ මැල්කම් රංජිත් කාදිනල් වහන්සේ දේශපාලනයට මැදිහත් වීම හේතුවෙන් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස පරාජයට පත් වූ බවය. අඩුම වශයෙන් කතෝලික ඡන්දවලින් සියයට 3 ක් සජිත් ප්‍රේමදාසට ලැබුණා නම් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් වීමට බොහෝ දුරට ඉඩ තිබුණ බවත් එය වැළකුණේ කාදිනල්තුමන්ගේ මැදිහත් වීම නිසා බවත් හරීන් ප්‍රනාන්දු තවදුරටත් කියා සිටියේය.

හරීන් ප්‍රනාන්දු කළ මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යභාවය සෙවීමට කිසිවකු උත්සාහ ගත්තේ නැත. එසේ කරනවා වෙනුවට සිදුවූයේ හරීන් ප්‍රනාන්දු බලාපොරොත්තු නොවූ දෙයක්ය. එනම් ප්‍රකාශය කොට පැය ගණනක් ගතවීමට ප්‍රථමයෙන් කතෝලික පල්ලිය, බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා, දේශපාලනඥයන් සහ සිවිල් සමාජයේ සමහර ආගමික අන්තවාදීන් හරීන් ප්‍රනාන්දුට එරෙහිව නැගීසිටිමින් ඔහු විසින් කාදිනල්තුමන්ට බරපතළ ලෙස අපහාස කර ඇතැයි යන මතය විදුලිය වේගයකින් සමාජය පුරා විසුරුවා හරිමින් හරීන් ප්‍රනාන්දුට එරෙහිව පමණක් නොව ඔහු අයත් දේශපාලන පක්‍ෂයටද ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීමය.

මේ අතරතුර හිටපු අමාත්‍යවරයකු වූ මංගල සමරවීර විසින් හරීන් ප්‍රනාන්දුගේ ප්‍රකාශය අගය කරමින් සහ අනුමත කරමින් කරන ලද සහෝදරාත්මක ප්‍රකාශනය විරෝධකරුවන් තවදුරටත් ප්‍රකෝප කරවීම කෙරෙහි බලපෑවේය.  එල්ල වූ විරෝධතා මධ්‍යයේ හරීන් ප්‍රනාන්දු දිගින් දිගටම කියා සිටියේ වචන පටලැවීම හේතුවෙන් ‘අගරදගුරු’ යන වචනය නිවැරදිව උච්චාරණය කිරීමට නොහැකි වීම හැරුණ විට තමන් කාදිනල්තුමන්ට අපහාස කිරීමක් නොකළ බවය. එබැවින් තමන්ගේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට අවශ්‍යතාවක් නොමැතිවා පමණක් නොව කාදිනල්තුමාගෙන් සමාව අයැදීමේ අවශ්‍යතාවක්ද නොමැති බව ඔහු තවදුරටත් කියා සිටියේය. කෙසේවුවද දිනෙන් දින වර්ධනය වෙමින් ඉදිරියට ආ දැඩි ආගමික හා සිවිල් සමාජ විරෝධය හමුවේ තමන් දැරූ දැඩි මතය වෙනස් කිරීමට හරීන් ප්‍රනාන්දුට සිදු වූ අතර අවසානයේදී තම දේශපාලන පක්‍ෂයේ නායකයා වූ සජිත් ප්‍රේමදාස සමග කාදිනල්තුමන් බැහැදැකීමට ගොස් ඔහුගෙන් සමාව අයැදීමට පියවර ගත්තේය.

සමාව ගැනීමෙන් අනතුරුව සිද්ධිය සෙමින් සෙමින් යටපත් වී යන ආකාරය දැකිය හැකි වුවද එය හේතු කොටගෙන මතුවූ ප්‍රශ්න දෙකක් පිළිබඳව තවමත් සමාජය තුළ කතාබහ කරන ආකාරය දැකිය හැකිය. පූජකයන්ට දේශපාලනය කිරීම අකැපද යන්න එයින් එක් ප්‍රශ්නයකි. පූජකයන් දේශපාලනය කරනවා නම් ඒ ගැන ප්‍රශ්න කිරීමට සිවිල් පුද්ගලයන්ට අයිතිය නැතිද යන්න දෙවැනි ප්‍රශ්නයයි. මෙම ප්‍රශ්න අද ඊයේ ඇතිවූවක් නොවේ. මේ ලෝකය තුළ ආගම් බිහිවූ දිනයේ සිට අද දක්වාම මෙම ප්‍රශ්න නොකඩවාම මතුවෙමින් ඉදිරියට ඇදෙමින් තිබෙන අයුරු දැකිය හැකි අතර මිනිස් සමාජය මුහුණ දී තිබෙන ප්‍රශ්න අතුරින් විසඳුමක් සොයා ගැනීමට නොහැකි තවත් ප්‍රශ්න දෙකක් බවට ඒවා පත්ව තිබේ.

මෙම ප්‍රශ්න පිළිබඳව මතුපිටින් බලන විට පෙනීයන්නේ ඒවා පූජකයන් හා සිවිල් පුද්ගලයන් අතර ඉඳහිට හටගැනෙන හුදකලා ප්‍රශ්න ලෙසය. එහෙත් සැබෑ තත්ත්වය එයට මුළුමනින්ම වෙනස්ය. එම ප්‍රශ්නවලින් නිසැකවම පෙන්නුම් කරන්නේ විශ්වය තුළ සදාකාලිකවම පවතින අර්බුදයක් වන දේශපාලනය හා ආගම අතර පවතින නොගැළපීමය. මෙම නොගැළපීමට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ වෙන කිසිම දෙයක් නොව පූජකයන් සියලුම දෙනා නොවුණත් සමහර පූජකයන් තමන්ගෙන් අපේක්‍ෂා කරන ආගමික පැවැත්මෙන් ඉවත් වී සිවිල් සමාජයේ ලෞකික කාරණාවලට අනවශ්‍ය අයුරින් ඇඟිලි ගැසීමය. විශේෂයෙන්ම අනෙක් කරුණු කෙසේ වෙතත් පූජකයන් දේශපාලනයට ඇඟිලි ගැසීමය. මෙම තත්ත්වය තේරුම් ගැනීමට නම් ලෞකික පැවැත්ම සහ පූජක පැවැත්ම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න විමසා බැලිය යුතුය.

මිහිපිට වාසය කරන සෑම මිනිස් ජීවියකුටම භෞතික පැවැත්ම (ලෞකික පැවැත්ම) සහ ආධ්‍යාත්මික පැවැත්ම (ආගමික පැවැත්ම) යනුවෙන් පැවැත්මවල් දෙකක් තිබේ. මෙයින් භෞතික පැවැත්මට අයත් වන්නේ ධනය, බලය සහ ලිංගික ජීවිතයක් ගතකිරීම ප්‍රධාන කොටගත් මේ ලෝකයේ ජීවිතයයි. ආධ්‍යාත්මික පැවැත්මට අයත් වන්නේ මිනිස් ජීවිතයේ ආරම්භය, පැවැත්ම සහ අවසානය ගැන සලකා බලන ආගමික සිද්ධාන්තවලට අනුගත වී ගතකරන ආගමික ජීවිතයයි. මිනිසුන්ගේ භෞතික පැවැත්ම හා සම්බන්ධ අරමුණු ඉටුකර ගැනීම සඳහා මිනිසුන් විසින් රාජ්‍ය නමැති සංවිධානය පිහිටුවාගෙන තිබේ. මිනිසුන්ගේ ආධ්‍යාත්මික අරමුණු ඉටුකර ගැනීම සඳහා මිනිසුන් විසින් ආගම් සංවිධානය කරගෙන තිබේ. මිනිසුන්ගේ භෞතික පැවැත්මේ අරමුණ වන්නේ ධනය, බලය සහ ලිංගික ජීවිතයක් ගතකිරීම යන ආශාවන් හැකිතාක් පමණින් අයත් කර ගනිමින් සැපවත් සහ තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමය. අනෙක් අතට ආධ්‍යාත්මික පැවැත්මේ අරමුණ වන්නේ ධනය, බලය හා ලිංගික ජීවිතයක් ගතකිරීම යන ආශාවන්ගෙන් මිදී ආගමේ දැක්වෙන නියමයන් අනුව ආගමානුකූල ජීවිතයක් ගතකරමින් මරණින් මතු ජීවිතය සුවපත් කර ගැනීමය. භෞතික ඡීවිතයේ අරමුණු ඉටුකර ගැනීම සඳහා මිනිසුන්ට මග පෙන්වන්නේ රාජ්‍ය විසිනි.

ආධ්‍යාත්මික ජීවිතයේ අරමුණු ඉටුකර ගැනීම සඳහා මිනිසුන්ට මග පෙන්වන්නෝ ධනය, බලය සහ ලිංගික ජීවිතයක් ගතකිරීම යන ලෞකික ආශාවන්ගෙන් මිදුන තාපස ජීවිතයක් ගතකරන පූජකයෝය. මෙයින් පැහැදිලි වන එක් කරුණක් තිබේ. එනම් ගිහියන්ගේ ලෞකික ඡීවිතය සහ පූජකයන්ගේ ආගමික ජීවිතය කිසිසේත්ම එක සමාන නොවන බවය. එසේ වුවද ගිහියන් සහ පූජකයන් යන දෙවර්ගයම ජීවත් වන්නේ එකම සමාජයක් තුළය. මෙලෙස එකට ගතකරන සමාජ ජීවිතයේදී පූජකයන් ගිහියන්ගෙන් අපේක්‍ෂා කරන පැවැත්මක් තිබේ. ඒ හා සමානව ගිහියන්ද පූජකයන්ගෙන් අපේක්‍ෂා කරන පැවැත්මක් තිබේ. මෙම පැවැත්මවල් දෙක අතර අසමතුළිතභාවයක් ඇතිවන විට ගිහියන් සහ පූජකයන් අතර ගැටුම් ඇති වේ. හරීන් ප්‍රනාන්දු සහ කාදිනල්තුමන් අතර ඇතිවන අර්බුදයෙන් පෙන්නුම් කරන්නේ මෙම යථාර්ථයයි. එසේනම් මී ළඟට අවධානය යොමුකළ යුතු කරුණ වන්නේ මිනිසුන්ගේ ලෞකික ජීවිතය සහ පූජකයන්ගේ ආගමික ජීවිතය එකිනෙකින් වෙනස් වන්නේ කෙසේද යන්න පිළිබඳවය.

මිනිසුන්ගේ ලෞකික ජීවිතය හසුරුවන ධනය, බලය සහ ලිංගික ජීවිතය යන මූලික ආශාවන් තුන මිනිසුන් රැගෙන එන්නේ උපතින්මය. ඒවා ස්වාභාවික ආශාවන් වන අතර එම ආශාවන්ට සීමාවක්  හෝ කෙළවරක් නොමැත. ඒවා කොපමණ තිබුණත් මිනිසුන් සෑහීමට පත් වන්නේද නැත. මෙම ආශාවන් අවසාන වන්නේ මිනිසුන්ගේ මරණයෙන් පමණි. මේ අනුව මිනිසුන් වූ කලී ධනය, බලය සහ ලිංගික ජීවිතය යන රෝද තුන උඩ ගමන් කරන වාහනයකට එනම් ත්‍රී වීලරයකට සමාන වේ. මිනිසුන්ට මෙම ආශාවන් තුන සංතෘප්ත කරගත හැකි ප්‍රමාණය රඳා පවතින්නේ ත්‍රී වීලරය දුවවන වේගය අනුවය. වේගයෙන් ධාවනය කරන්නාට වැඩියෙන් අයත් කරගත හැකිය. සෙමින් ධාවනය කරන්නාට අයත් කරගත හැකි ප්‍රමාණය ඒ අනුවම අඩු වේ. මේ පදනම මත බලන විට මිනිසුන්ගේ ලෞකික ජීවිතය රේස් එකකට සමාන වේ. ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට නම් වේගයෙන් දිවිය යුතුය. දුවන්නේ නොමැතිව එකතැන රැඳී සිටිය හොත් ලැබෙන කිසිවක් නොමැත. දිවීම ලෞකික පැවැත්ම සඳහා අත්‍යවශ්‍යම වුවද මිනිසුන්ට හිතෙන හිතෙන ආකාරයටද දිවීම කළ නොහැක.

මිනිසා දිවිය යුත්තේ ඒ සඳහා අදාළ වන නීතිරීතිවලට අනුකූලවය. මෙම නීතිරීති මගිනුයි රේස් දිවීමෙන් කුමක්, කෙලෙස, කුමන අවස්ථාවකදී ලබාගත හැකිද යන අවසාන ප්‍රතිඵලය තීරණය කරන්නේ. මිනිස් සමාජයක් තුළ මෙම අවසාන තීරකයාගේ කාර්යභාරය ඉටුකරන්නේ රාජ්‍ය විසිනි. මේ හේතුවෙන් රේස් දුවන්නන්ගේ තවත් අරමුණක් වන්නේ රාජ්‍යයේ බලය අල්ලාගෙන තමන්ට හිතකර ආකාරයට රේස් දිවීමේ තරගය හා සම්බන්ධ නීතිරීති වෙනස් කිරීමය. මෙයාකාරයට රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා මිනිසුන් කරන අරගලයයි දේශපාලනය  ලෙස හඳුන්වන්නේ. මෙම අරගලය එක්කෝ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ හරහා කළ හැක. නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව ප්‍රචණ්ඩත්වය හරහා කළ හැක. මේ කුමන ආකාරයකට කළද දේශපාලනය යනු ලෞකික මිනිසුන්ගේ මිහිපිට ජීවිතය පවත්වා ගෙනයාම හා සම්බන්ධ දෙයකි. එබැවින් එය මුළුමනින්ම ලෞකික මිනිසුන්ගේ කාර්යයක් වේ.

මිනිස් සමාජයක යම් පුද්ගලයකු පූජක දිවියට ඇතුළුවනවා යනුවෙන් අදහස් කරන්නේ ධනය, බලය සහ ලිංගික ජීවිතය යන රෝද තුන ගලවා සිවුරකින් හෝ ලෝගුවකින් සිරුර වසාගෙන ශාසනික ජීවිතයකට ප්‍රවිෂ්ට වී සංසාර ගමන කෙටිකර ගැනීමට අවතීර්ණ වීමය. මේ අනුව ලෞකික පුද්ගලයන් ගත කරන ත්‍රීවීල් ජීවිතය පූජකයන්ට ගතකළ නොහැක. ශාසනික කාර්යය සඳහා ඔබමොබ යාම හැරුණ විට පූජකයන්ට රේස් දිවිය නොහැක. මෙයාකාරයටයි මිනිසුන්ගේ ගිහි ජීවිතය සහ පූජකවරුන්ගේ ආගමික ජීවිතය එකිනෙකින් වෙනස් වන්නේ. රෝද තුන ගැලවීම හේතුවෙන් පූජක ජීවිතයේ සිදුවන එක් වෙනස්කමක් වන්නේ සෑම ආකාරයකයම භෞතික බැඳීම්වලින් පූජකයන් වෙන්වීමය. මේ හේතුවෙන් පූජකයන් අපක්‍ෂපාතීභාවයේ, යුක්තියේ සහ සාධාරණත්වයේ ජීවමාන සංකේත බවට පත් වේ. දෙවනුව රෝද ගැලවීම හේතුවෙන් පූජකයන්ගේ පැවැත්ම ගිහියන් මත රඳා පවතින දෙයක් බවට පත්වේ. මේ හේතුව නිසයි චීවරය හෝ ලෝගුව දා ගත් අවස්ථාවේ සිට අපවත් වීම දක්වා පූජකයන්ගේ ජීවිත ගිහියන්ගේ වගකීමක් බවට පත්වන්නේ. පූජකයන්ට උවටැන් කිරීමට ගිහියන් බැඳී සිටින්නේ මෙම හේතුව නිසාය.

ඉහත දැක්වූ  කරුණුවලින් පෙනීයන්නේ යම් පූජකයකු ඔහුගේ ශාසනික නිල මට්ටම කුමක් වුවද ශාසනික පැවැත්මෙන් පිටපැන ත්‍රීවීලර් පැවැත්ම හා සම්බන්ධ යම් ක්‍රියාවක යෙදෙනවා නම් ඒ ගැන ප්‍රශ්න කිරීමට ත්‍රීවීලර්කරුවන්ට අයිතිය තිබෙන බවය. හේතුව එසේ පිටපැන්න හොත් එක් අතකින් පූජකයන්ගෙන් අපේක්‍ෂා කරන ආධ්‍යාත්මික පැවැත්ම පළුදු වීමය. අනෙක් අතින් ඔවුන්ගෙන් අපේක්‍ෂා කරන සාධාරණත්වය, යුක්ති සහගතභාවය සහ අපක්‍ෂපාතීභාවය ගිලිහී යාමය. මීට ඉහතින්ද සඳහන් කළ පරිදි දේශපාලනය ත්‍රීවීලර් ජීවිත හා සම්බන්ධ දෙයක් විනා පූජකයන් හා සම්බන්ධ දෙයක් නොවේ. එබැවින් පූජකයන් දේශපාලනයේ නියුක්ත වෙනවා නම් එහි හොඳ නරක ගැන කථා කිරීමට සහ ප්‍රශ්න කිරීමට ගිහියන්ට අයිතිය තිබේ. එහෙත් එසේ ප්‍රශ්න කිරීමෙන් පූජකයන්ට අවමන් කිරීමට ගිහියන්ට අයිතියක් නොමැති බවද ගිහියන් තේරුම් ගත යුතුය. අනෙක් අතට දේශපාලනයේ නියැලීම පූජකයන්ට අකැප වුවද පාලකයන්ට රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් අවවාද කිරීම හා උපදෙස් දීම පූජකයන්ට අකැප නොවන බවද ගිහියන් තේරුම් ගත යුතුය. එයාකාරයටම දේශපාලනය කිරීම සහ පාලකයන්ට අවවාද අනුශාසනා කිරීම යන දෙක අතර පවතින වෙනසද පූජකයන් තේරුම් ගත යුතුය. අවසාන වශයෙන් කිව යුත්තේ හරීන් ප්‍රනාන්දු සහ කාදිනල්තුමා අතර හටගත් අර්බුදය දෙස බැලිය යුත්තේ මෙම සන්දර්භය තුළ පිහිටා බවය.


***
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ
හිටපු මහාචාර්ය
එම්.ඕ.ඒ. ද සොයිසා

 



අදහස් (3)

ජනතාව - පූජකවරු - දේශපාලනය

පී කේ හරිශ්චන්ද්‍ර Monday, 06 July 2020 04:03 AM

ජාතික වැදගත්කමකින් යුත් ලිපි සාමාන්‍ය පුරවැසියෙකුට පලකරවා ගත හැක්කේ පුවත්පත් ආයතනයේ හැඳුනුම් අනුව බවට මත පලවේ.

:       0       0

ravi Tuesday, 07 July 2020 08:31 AM

පූජකයින්ගේ කල්ක්‍රියාව දිහා බලනකොට... ඔය කියන දෙවිවරු හිටියයි කියලා හිතාගන්නත් අපහසුයි.

:       0       0

සමන් - ඕමානය Tuesday, 07 July 2020 08:59 AM

උගත් මහාචාර්යතුමා සඳහන් කළ කරුණු පිළිබඳව විවේචන කිරීමට මම අදහස් නොකරමි. නමුත්, එහි අන්තර්ගත වචනයක් පිලිබඳ නිවැරදි අදහස දැක්වීමට කැමැත්තෙමි.. එතුමා "පූජකයින්" යන වචනයෙන්, බෞද්ධ භික්ෂුන් වහන්සේලා ද අදහස් කරන බව පැහැදිලිය. මහාචාර්යතුමාගේ ආගම කුමක් වුවත්, ඔහු සිංහලයෙකු බව, ලාංකිකයකු බව නිසැකයි. තම රටෙහි බෞද්ධ භික්ෂූන් "පූජකයින්" ලෙස හැඳින්වීම වැරදි බවත්, නිවැරදි යෙදුම "පූජ්‍ය පක්ෂය" බවත් උගත් මහාචාර්ය තුමෙකු නොදැන සිටීම (හෝ නොසලකා හැරීම) කණගාටුදායක කරුණකි. "පූජක" හා "පුජ්‍ය පක්ෂය" යන යෙදුම් වල පැහැදිලි වෙනසක් ඇති බව ඔහු නොදැන සිටීම පුදුමයට කරුණකි. "පූජක" යනු, යමෙකු (දෙවි කෙනෙකු) වෙනුවෙන් පුද පූජා පවත්වන, යදින, පිහිට ඉල්ලා සිටින, ඒ සඳහා ඇප කැප වූ තැනැත්තෙකි. බෞද්ධ භික්ෂුන් ඒ ගණයට නොවැටෙති. බෞද්ධ භික්ෂුන් බුදුන් වහන්සේ ගේ අනුගාමිකයින් වන අතර, සාමාන්‍ය ජනතාව භික්ෂුන් වහන්සේලා පූජ්‍යත්වයෙන් සලකති. එහෙයින්, බෞද්ධ භික්ෂූන් හැඳින්විය යුත්තේ "පූජ්‍ය පක්ෂය" (පිදිය යුත්තන්) ලෙස මිස "පූජකයන්" (පූජා පවත්වන්නන්) ලෙස නොවේ. මෙම පැහැදිලි කිරීම කලේ, පාඨක ජනතාවගේ නිවැරදි අවබෝධය පිණිසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 134 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 264 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 350 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 78 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 526 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 289 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site