IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


එල්ලුම් ගස නැතිව බැරි ද

ශ්‍රී ලංකාව තුළ සිදුවන අපරාධ අවම කිරීම උදෙසා නැවතත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයයි දැඩි කතා බහක් සමාජය තුළ නිර්මාණය වී ඇත. මේ කතා බහ සමාජයේ ඇතිවන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මත්ද්‍රව්‍ය වැරැදි උදෙසා මරණ දණ්ඩනය නියම වූ අය එල්ලුම්ගසට යැවිය යුතුයයි ප්‍රකාශ කිරීමත් සමඟය. කෙසේ වුවත් දැනට මරණ දඬුවම ක්‍රියාත්මක වන රටවල් 53ක 2017 වසරේ දී 993 දෙනකු ද 2016 වසරේ 1,032 සහ 2015 වසරේ 1,634කු එල්ලුම්ගස් යවනු ලැබූ බව වාර්තා වේ. ඒ රටවල් 53 අතරට අප දන්නා කියන රටවල් වන ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, තායිවානය, කුවේටය, තායිලන්තය, ඉන්දුනීසියාව, වියට්නාමය, මැලේසියාව, සිංගප්පූරුව යනාදී රටවල් ද ඇතුළත් ය. මෙහි අරුමය නම් 2017 වසරේ දී ලෝකයේ සතුටින්ම සිටින ජනතාව පිළිබඳව වූ වාර්තාව (World Happiest Report) තුළ ඉහළින්ම සිටින රටවල් වන නවසීලන්තය, ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය ආදී රටවල මරණ දඬුවම ක්‍රියාත්මක නොවීමයි. මේ අනුව පෙනීයන්නේ සතුටින් සිටින ජනතාවක් සිටින දේශයක් ගොඩනැඟීම උදෙසා මරණ දඬුවම වැනි දේ අවශ්‍ය නොවන බවයි.

එහෙත් මරණ දඬුවම ක්‍රියාත්මක නොවූවත් එම රටවල් පාලනය වන්නේ ඉතා ප්‍රබල නීතිරීතිවලිනි. එම රටවල නීතිය කිසිදු ආකාරයක හෝ බලපුළුවන්කාරකම්වලට, දේශපාලනයට නැවෙන්නේ නැත. රිමාන්ඩ් කළ යුතු වූ විට සිකුරාදා හවසට මහේස්ත්‍රාත් ළඟට ඉදිරිපත් කරන්නේ නැත. කොටින්ම නීතිය ක්‍රියාත්මක වන්නේ පෞද්ගලිකත්වය අමතක කර දමා මිස පෞද්ගලික වූ කරුණු කාරණා පදනම් කරගෙන නොවේ.

ගැටලුව ඇත්තේ මෙතැනය. කවුරුන් කොහොම කිව්වත් මත්ද්‍රව්‍ය වැරදිවලට පමණක් නොව ඉදිරි කාලයේ දී තව තවත් වැරැදිවලට මරණ දඬුවම දීර්ඝ වනු ඇත. මේ මරණ දඬුවම ලබන පුද්ගලයා සැබෑ වැරැදිකරු නොවුනහොත් වත්මනෙහි මේ පිළිබඳව නිහඬව සිටින පරම්පරාවට එය ශාපයක් වනු ඇත. මරණ දඬුවම ක්‍රියාත්මක වන තායිලන්තයේ ඇති වූ සිද්ධියක් පිළිබඳව මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තාවක් මේ ප්‍රශ්නය විසඳාගැනීම උදෙසා අපට බොහෝ සේ උදව් වනු ඇතැයි සිතමි. තායිලන්තයේ ගොඩනැගිල්ලක වැසිකිළියක තරුණියක් වැටී සිටින ආකාරය දුටු තරුණයෙක් වහාම මැදිහත් වී ඇයට අවශ්‍ය ප්‍රථමාධාර දීමට කටයුතු කළේය. තරුණිය වඩාත් පහසුවෙන් තබා ගැනීමට කටයුතු කිරීම නිසා ඔහුගේ ඇඟිලි සලකුණු බෙල්ලේ, පපුවේ, කකුලේ ආදී තැන්වල ​රැඳී තිබුණි. කෙසේ වුවද අවසානයේ තරුණිය මිය ගියාය. මේ පිළිබඳව පරීක්ෂණ පැවැත් වූ පොලිසිය එම තරුණයා අත්අඩංගුවට ගත් අතර ස්ත්‍රී දූෂණය සහ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරීය. දීර්ඝ නඩු විභාග, නීතිඥයන්ගේ තර්කවිතර්ක මැද අවසානයේ දී තරුණයා වරදකරු වූ අතර ඔහුට මරණ දඬුවම නියමවිය.

මේ සිද්ධිය ඇති වී කාලයක් ගිය පසු ස්ත්‍රී දූෂණ සහ තරුණියන් මරාදැමීම පිළිබඳව තායිලන්ත පොලිසිය මගින් වෙනත් පුද්ගලයකු අත්අඩංගුවට ගන්නා ලදී. ඉහත සඳහන් මිනීමැරුම ද ඔහුගේ බවට ඔහු පාපෝච්චාරණය කිරීමත් සමඟ නීතිය සුරකින බොහෝ ආයතන වෙව්ලා ගිය බව එම මාධ්‍ය වාර්තාවල පළ වී තිබුණි.

මේ ආකාරයේම සිද්ධි සමූහයක් පසුගිය කාල වකවානුවේ කොටකෙතන ප්‍රදේශයෙන් වාර්තා වූ ආකාරය ද අපට මතකය. එක්තරා අවස්ථාවක තමාගේ නැගණිය සහ පුංචි අම්මා මරා දැමූ බවට චෝදනා ලබා බන්ධනාගාරගත වී දහදුක් වින්ද තරුණ ව්‍යාපාරිකයා නිදොස් වී ගෙදර එනවිට ඔහුට බොහෝ දේ අහිමිව තිබිණි. සියලුම ව්‍යාපාර කටයුතු බිඳ වැටී, මානසික රෝගියකු වූ ඔහු අවසානයේ වස බී සියදිවි නසා ගන්නේ දුර්වල අපරාධ ගවේෂණයට, අදාළ එම ආයතනවලට ලැජ්ජාවක් ද එකතු කරමිනි. එමෙන්ම මුළු රටක්ම කළඹවමින් පුතා තම පෙම්වතියට තෑග්ගක් ලබාදීමට රත්‍රං බඩු ලබාගැනීම උදෙසා මව මරා දැමීමේ සිද්ධියකින් ලොකු ආන්දෝලනයක් ඇති කළේ ද පොලිසියයි. එහෙත් කාලයකට පසු හෙළිදරව් වූයේ එම කථාව ද පදනම් විරහිත බවයි. ඒ ආකාරයට අත්අඩංගුවට ගත් තම ආච්චි සමඟ ජීවිතය ගැටගසාගත් මන්ද මානසික තරුණයෙකුට දීර්ඝ කාලීනව සිපිරි ගෙයි රැඳී සිටීමට සිදුවූයේ වැරැදි ආකාරයෙන් සිදු වූ අපරාධ ගවේෂණය නිසා ය. ඔහු තවමත් සිරගෙදර දැයි නොදනිමි.

මීට අමතරව සේයා ළදැරියගේ ඝාතනය වෙනුවෙන් අත්අඩංගුවට ගත් කොණ්ඩයා එම අපරාධයට කිසිදු සම්බන්ධයක් නොමැති බව හෙළිදරව් විය. මේවා සාමාන්‍ය වැරැදි ලෙස සලකා බැහැර කිරීමට නොහැකිය. එල්ලා මැරීම ක්‍රියාත්මක නොවුන නිසා ඉහත පිරිසට ජීවිත දානය ලැබිණි. අනෙක් අතට මාධ්‍ය වැරැදි වාර්තා කරණය නිසා එම පිරිස් තව තවත් අපරාධකරුවන්ගේ ගොඩටම වැටුණු ආකාරය ද මතකය.

එසේ නම් කළ යුත්තේ කුමක්ද? පළමුව කළ යුත්තේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියට ඍජුවම මැදිහත් වන පොලිසිය වැනි ආයතන හැකි තරම් දියුණු කිරීමයි. දේශපාලනයෙන් පරිබාහිරව අපක්ෂපාතී කිරීමයි. නිලධාරීන්ට ඉතා ඉහළ පුහුණුවක් ලබාදීම එහිදී අනිවාර්ය අංගයක් වනු ඇත. තවමත් අප රටේ 119 සේවයට වඩා ටැක්සි සේවය දියුණුය. 119ට හදිසියේවත් ක්ෂණික අවධානයට දුරකථන ඇමතුමක් ලබා දුනහොත් ක්‍රියාත්මක වීමට කොපමණ වේලාවක් යාවිද කියා දෙවියන්ට තබා අදාළ නිලධාරීන්ටවත් කිව නොහැකිය. එහෙත් ටැක්සි සේවයට ඇමතුමක් ලබාදුනහොත් ළඟාවීමට ගතවන කාලය, දැනට ටැක්සි රථය තිබෙන ස්ථානය ආදිය පහසුවෙන් තාක්ෂණය මගින් සොයා ගත හැකිය. එමෙන්ම ටැක්සි රථ සේවාවකට වඩා දුරකථන ප්‍රමාණයක් 119ට පැමිණෙන බව අපි දන්නෙමු. එසේ නම් කළ යුත්තේ පොලිසිය උදෙසා ජංගම මුරසේවා රථ ප්‍රමාණය වැඩි කිරීමයි. මේවාට රජයට මුදල් නැතැයි කිසිසේත්ම කිව නොහැකිය. එක් ඇමැතිවරයකුට වාහනයක් ගෙන්වීම සඳහා කෝටි හතක් අටක් වියදම් කළ හැකි රජයකට පොලිසියට අවශ්‍ය නවීන රථ වාහන සපයා දීම මහා දෙයක් නොවනු ඇත. කෝටි අටක් එක් ඇමැතිවරයකුගේ රථයකට වියදම් කිරීමට හැකි රජයකට ඒ මුදල පොලිසියට වාහන ගෙන්වීමට වියදම් කිරීමට නොහැකිවීමට හේතුවක් නැත. ඇමැතිවරයකුගේ එක වාහනයක මුදලින් පොලිසිය සඳහා කොරියාවේ නිෂ්පාදිත ඉතා ඉහළ මට්ටමේ වාහන දහසයක් පමණ මිලදී ගත හැකිය.

අනෙක් අතට පොලිසියේම සහෝදර ආයතනයක් වූ STF නිලධාරීන් අරබයා ජනතාවගේ මතය ඉතා ප්‍රසාදජනක ය. ඉතා විශිෂ්ට පුහුණුවත්, ඕනෑම අසීරු අවස්ථාවකට මුහුණදිය හැකි ජවයත් දේශපාලනයට නැවෙන්නේ නැති කොන්දත් STF භටයන් සතු බව ජනතාවගේ විශ්වාසයයි. එසේනම් මෙවන් විශ්වාසයක් ඇති STF භටයන්ට ලබාදෙන ශක්තිමත් පුහුණුව සාමාන්‍ය පොලිසියේ අනෙකුත් නිලධාරීන්ට ලබාදීමට නොහැක්කේ මන්ද යන්න ගැටලුවකි. STF භටයා දේශපාලනඥයන්ට පවා ඍජුවම කතා කළ හැකි කොන්දක් සහිත නිලධාරීන් බව පසුගියදා සූරියවැවේ දී ඇති වූ සිද්ධියත් සමඟ රටම දැනගත්තේය. එල්ලුම් ගසට අපරාධකරුවන් දක්කනවාට වඩා පොලිසිය බලවන්ත කිරීම තුළින් රටේ සිදුවන අපරාධ බොහොමයක් මැඩ පැවැත්විය හැකි බව ආණ්ඩුව තේරුම් ගත යුතුය.
මේ උදෙසා පොලිසිය දියුණු කිරීමට අවශ්‍ය භෞතික සම්පත් වහ වහා සැපයීම ආණ්ඩුවේ වගකීමකි. අනෙක් අතට දක්ෂයන්ට ඉහළට යා හැකි මාර්ග සකස් කිරීම පොලිස් කොමිසමේ වගකීමකි. තම තමන්ගේ වැටුප් සහ පහසුකම් ලබාගැනීම විනා ජනතාව වෙනුවෙන් වෙනත් කිසිම වෙනසක් ඇති කිරීමට පොලිස් කොමිසම අසමත් වී තිබේ. අඩුතරමින් ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථානවලට අවශ්‍ය අතිදක්ෂ පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කර ගැනීමේ ක්‍රියාත්මක වැඩපිළිවෙළක් හෝ සකසා ගැනීමට පොලිස් කොමිසම අසමත් වී තිබේ. තවමත් අනියම් ආකාරයෙන් හෝ තමන් කැමැති පොලිස් නිලධාරියා තම ප්‍රදේශයේ ඕ.අයි.සී. මහතා බවට පත්කර ගැනීමට දේශපාලනඥයාට හැකියාවක් තිබේ නම් මේ පොලිස් කොමිසම නඩත්තු කරන්නේ අහවල් කාරියකට දැයි ජනතාව ප්‍රශ්න කිරීම සාධාරණය, දැනට සිටින පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් බොහොමයක් අදාළ ප්‍රදේශවල නීතිය සුරක්ෂිත කිරීම කෙසේ වෙතත් ව්‍යාපාරික කටයුතුවල නියැලී සිටින බව නම් ප්‍රසිද්ධ රහසකි.

මීළඟට අපගේ අධිකරණ පද්ධතිය ද ස්වාධීනවීම ඉතා අවශ්‍ය කාරණයකි. පසුගිය ආණ්ඩුව ඔවුන්ගේ සිතැඟි පරිදි විනිසුරුවරුන් පත්කර ගනිමින් නීතිය හෑල්ලුවට ලක් කළා යයි චෝදනා කරන්නෝ මේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුය. එමෙන්ම මේ ආණ්ඩුව බලපුළුවන්කාරකම් පෙන්වා අධිකරණය දේශපාලනික තත්ත්වයට පත්කර ඇතැයි කියන්නෝ ද පසුගිය ආණ්ඩුවේ සිටි මැති ඇමැතිවරුය. එසේ නම් කොතැනක හෝ වරදක් තිබෙන බව නම් පැහැදිලිය. එසේ නම් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර කළ යුත්තේ අධිකරණ පද්ධතිය ඉතා ස්වාධීන කිරීමය. ඉතා ප්‍රබල ස්වාධීන වූ අධිකරණ පද්ධතියක් රටට හිමිවීම යනු බොහෝ අපරාධ අවම කිරීමට එය හේතුවක්ම වනු ඇත.

ඇත්තටම අද වනවිට ඉතාම වගකීම් විරහිත ආයතනය බවට පත් වී ඇත්තේ බන්ධනාගාරයයි. බන්ධනාගාරය තුළ සිට අපරාධකරුවන් අපරාධ මෙහෙයවන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ රටේ ජනාධිපතිවරයා වීම මෙහිදී සුවිශේෂී සිද්ධියක් වේ. කෙසේ වුවත් තමන්ට ලැබී ඇති සීමිත සම්පත් තුළ ඉතා කැපවීමකින් කටයුතු කරන නිලධාරීන් ද බන්ධනාගාරය තුළ නැතුවාම නොවේ. එහෙත් රටේ සිදුවන බොහෝ අපරාධ මෙහෙයවීම සිදුවන්නේ බන්ධනාගාරය තුළ සිට බව මේ වනවිට වගකිවයුතු බොහෝ දෙනෙක් දන්නා කරුණකි. සමහර දරුණු අපරාධකරුවන් සමාජයේ සිටින තමාගේ සතුරන්ගෙන් බේරීම උදෙසා ආරක්ෂාවට පවා බන්ධනාගාරගත වන බව මේ පිළිබඳව කාරණා විමසීමේ දී හෙළිවන සත්‍යයකි. මෙවන් බිහිසුණු තත්ත්වයක් බන්ධනාගාර තුළ තිබේ නම් සහ ඒ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත්නම් එය මැඬ පැවැත්වීම සඳහා ක්ෂණික සහ ප්‍රතිඵලදායක වැඩපිළිවෙළක් සකස් නොකරන්නේ කවරෙකුගේ බලපෑමක් මත ද යන්න පැහැදිලි නැත.

කවුරුන් කෙසේ විග්‍රහ කළත් රට තුළ අපරාධකාරී චර්යා වැඩි වී ඇත. අද මාර්ගයේ පවා සිදුවන්නේ රිය අනතුරු නොව අපරික්ෂාකාරීව රිය පදවා සිදු කරන මනුෂ්‍ය ඝාතනය පසුගියදා මැල්සිරිපුර දී සිදුවූ බස්රථ අනතුරේ දී පවා හෙළිදරව් වූයේ රියැදුරන්ගේ අවිනීතකමය. ජනතාව විනීත කිරීමට නම් ඉතා ප්‍රබල නීති පද්ධතියකින් රට පාලනය විය යුතුය. එහෙත් නීති සකස් කරන, ප්‍රතිපත්ති සකස් කරන ඉතා ප්‍රබල ආයතන පවා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අණසකට යටත් වී ඇති ආකාරයක් පෙනේ. ඔවුන්ගේ මත්ද්‍රව්‍යවලින් උපයන මුදල් වැය කරමින් එම ස්ථානවල බලය ලබාගැනීම, අනාගතය පිළිබඳ යහපත් බලාපොරොත්තු ඇති රටකට එතරම් හොඳ දේවල් නොවේ. මත්ද්‍රව්‍ය පමණක් නොව අහස පොළොව නුහුලන අපරාධ කරන ඕනෑම අපරාධකරුවකු තවදුරටත් සමාජයේ තබාගත යුතු නැත. එය අවිවාදාත්මකය. එහෙත් අප රට තුළ සිදු වූ අපරාධ විමර්ශනවල දී බොහෝවිට දඬුවම් ලබා ඇත්තේ නියම අපරාධකරුවා නොවන බවට තොරතුරු ඕනෑ තරම් ඇත. එසේ නම් පළමුව කළ යුත්තේ එම ක්‍රමවේද දියුණු කර ගනිමින් එම ආයතන ශක්තිමත් කිරීමයි. එවිට අපරාධකරුවන් බිහිනොවන දේශයක් ගොඩනැගෙනු ඇත. එවන් දේශයකට කොහොමත් මරණ දඬුවම ඕනෑ නැත.



අදහස් (23)

එල්ලුම් ගස නැතිව බැරි ද

rukshan Wednesday, 18 July 2018 06:24 AM

මෙයත් එක්තරා ප්‍රකාශයක් පමණි. රටකට නායකයෙක් අවශ්‍ය අදහස් ප්‍රකාශ කිරීමට නොව තීරණ ගනීමටි. ඒ අතින් අපි ඉතාමත් අවසන්වන්ත ජාතියක්. බොරු පොරොන්දු ලබාදී බලයට පත්වෙයි. ඉන්පසු ගියපාර හිටපු උන් කරපු ටිකම මේ පර එවුනුත් කරනවා එක සහතිකයි. දේශපාලකයෝ තමයි කුඩු ගෙන්වන්නේ ඒ නිසා ඕක ක්‍රියාත්මක කරන්නේ නැති බව සහතිකයි. හිටපු අගමති කුඩු කන්ටෙනේර් එකක් ගෙනත් අහුවුනහම ඔහුට ජනධිපති උපදේශක තනතුරක් ලබාදීපු රටක් මේක.ඇත්තටම සිද්ද වෙන්නේ අපිව රැවටීමක්. රටේ ජීවත් වෙන ජනතාව වශයෙන් අපි හරිම අවාසනාවන්තයි. රටේ ජනතාව ගැන කැක්කුමකින් බලයට එන්නේ නැ කිසිම නායකයෙක්.කුඩු නිසා විනාස උන තරුණ පරපුර ගැන මෙතෙක් කතා කරපු නැති පුද්ගලයින් . කුඩු ගෙනත් හිරේ ඉන්න පුද්ගලයෝ වෙනුවෙන් දැන් කතාකරන්නට පටන් අරන් ඇත. දැන් පැහැදිලි ඔය කතා කරන පුද්ගලයින්ට යටින් කුට්ටිය ලැබෙනවා ඇති. දෙගොල්ලෝ එකතුවෙලා ඕක ක්‍රියාත්මක කරන්නේ නැත.ඉදිරියටත් ජනතාව වශයෙන් දුක්විදීමට බලාපොරොත්තුවෙන් අපි සිටින්නෙමු.දේශපාලකයෝ කුඩු ගෙනෙයි . උන්ගේ දරුවන් රට යවවී. අපි ඉදිරියත් කුඩුවලින් දුක් විදිති.......

:       0       214

gayan Wednesday, 18 July 2018 06:34 AM

ඔබ තුමාගේ යෝජනා වටිනවා. නමුත් ඒ ටික කරනකං ඉන්න පුළුවන් වටපිටාවක් ලංකාවේ නෑ. ඔනම දේක හොඳ හා නරක තියෙනවා. පළමුව ආසන්න විසඳුම ලෙස මරණ දඩුවම ක්‍රියාත්මක කරමු. අඩුම වශයෙන් වසර දහයකට. ඒ අතර ඔය කියන ප්‍රතිසංස්කරණ කරමු. ඒ වගේම නිවැරදි කරුවෙක් වරදකරවකු වී මරණ දඩුවමට ලක්වූ බව හෙලිවුවහොත් අදාල නිලධාරීන්ටද මනුෂ්‍ය ඝාතන වරදටම එල්ලල දාමු. ආයෙ ඒ වගෙ සක්කිලිවැඩක් වෙන එකක් නෑ එතකොට. කොහොම උනත් වැඩක් කරන්න හඳන කොට ඒකට බාධා කරන්න එපා.

:       44       150

රාජේශ් ඛන්නා 1 Wednesday, 18 July 2018 08:05 AM

ලෝකයේ පළවැනි පන්තියට හෝ ඒ කිට්ටුවට ගැනෙන ඉහත සඳහන් රටවල ක්‍රියාවට නංවා ඇති අනෙකුත් නීති රීති සම්බන්ධයෙන් කතා නොකර මරණ දඬුවම නැති බවක් පමණක් සැලකිල්ලට යොමු කිරීම නිවැරදි නොවේ. උදාහරණ වශයෙන් මෙවැනි රටවල ජාතික අාදායම පාලනය වන්නේ බොහෝ විට රට වැසියන්ගේ බදු මුදල් වලිනි. රැකියාවේ තරාතිරම කුමක් වුවත් උපයන සැම ශතයකටම අනිවාර්යයෙන්ම රජයට බදු ගෙවිය යුතුය. රටෙහි ස්ථිරව හෝ තාවකාලිකව ජීවත්වෙමින් උපයන සියල්ලන්ටම උප්පැන්න සහතිකය මෙන් අදායම් බදු දෙපාරතමේන්තුවේ ලියා පදිංචි අංකයක් අනිවාර්යයෙන්ම ඇත. පාසල් ළමයකු පාසල් වේලාවෙන් පසු අදායමක් ලැබෙන දෙයක් කරන්නේ නම් ආදායම ලබන පළමු දිනයේම බදු අංකයක් ලැබේ. දිනපතා, සතිපතා හෝ මාස්පතා තම වැටුප බැංකු ගිණුමකටම පමණක් බැර වන්නේ උපයන මුදලට නියමිත බදු මුදල තම බදු අංකය යටතේ රජයට අඩුකර ගැනීමකින් පසුවය. ගිණුම් වර්ෂය අවසානයේ අදාළ වසර තුළදී උපයන ලද මුළු මුදලට නියමිත බදු නැවත ගණනය කර හිඟ මුදලක් වෙතොත් එය රජයට තමන්ගේ බදු අංකය යටතේ ගෙවිය යුතු අතර වැඩිපුර අයකර තිබුණහොත් එය ආපසු ලබා ගැනීමට ක්‍රමවේදයක්ද ඇත.

:       0       107

රාජේශ් ඛන්නා 2 Wednesday, 18 July 2018 08:09 AM

කොන්ත්‍රාත්කරුවන් හෝ සමාගම් සම්බන්ධයෙන් ද අාදායමට නියමිත බදු නියමාකාරයෙන් වසර අවසානයේ අදාළ බදුඅංක යටතේ රජයට ගෙවිය යුතුය. නීති සකසා ඇත්තේ කිසිම වංචාවකට ඉඩ නොලැබෙන පරිද්දෙනි. රටට ඇතුලුවෙන මුදල් හා පිටවන මුදල් නිසියාකාරව හඳුනා ගැනෙන හෙයින් අයුතු ආදායම් ලැබීමට ඇති ඉඩකඩ අහුරා හෝ අවමකර ඇත. බෝඩ් උස්සගෙන ගිරිය කඩාගෙන පාරවල් අවහිර කරමින් හැසිරීමට මිනිසුන්ට වෙලාවක් නැත. ජීවත්වීමට නම් පාන්දරින් නැගිට වාහන තදබද ඇතිවීමට පෙර වැඩට ගොස් මහන්සියෙන් වැඩ කළයුතු හෙයින් මරණ දඬුවමක් හිමිකර ගැනීමට තරම් දෙයක් කිරීමට හෝ හිතීමට වෙලාවක් නැත. දේශපාලකයන්ටද ක්‍රමය එසේමය. මේ ඉතා කෙටියෙනි.

:       0       74

BamunuarachchiFriday, 20 July 2018 12:40 AM

මොනවද මේ කතා? වාහන තදබදය නැති කොරන්න තදබය නැති අවස්තාවක සියලුදෙනාම රාජකාරී වලට පිටත් උනොත් ඒ වෙලාවටත් පාරවල් බ්ලොක් වෙන්න්න පටන් ගන්නවා, අතුරු පාරවල්වල ගියොත් ඒවත් ටික දිනකින් වාහන තදබද පාරවල් වෙනවා හොඳයි අපි වාහන තදබදයෙන් බේරෙන්නේ උදේ 7 ට රැකියාවට අවා කියයමු. නමුත් වැඩකරන ස්ථානය අරින්නේ 8.30 ට. ඒ පැය එකහමාර මිනිස්සු මොනවා කොරන්නද? මේවා ප්‍රායෝගික ප්‍රශ්ණ.

:       93       23

රාජේශ් ඛන්නා Friday, 20 July 2018 05:16 AM

ඒ පැය එකහමාරේ දී තමන් සියල්ල දත් වගේ මෝඩ තර්ක ඉදිරිපත් කරන අය ගැන කම්පා වෙනවා.

:       0       31

BamunuarachchiFriday, 20 July 2018 03:00 PM

ඒ කියන්නේ මට පාරේ බ්ලොක් නැතිවෙලාවට, 7.30 කාර්යාලයට ගිහිල්ලා 8.30 ට දොර අරිනතුරු ඔබගැන සිතමින් ඉන්න කියනවාද? හලෝ මම පළමු ඵල කිරීමෙන් කීවේ මම සහතිකවම මුහුණ දුන්න ප්‍රශ්නයක්... වෙලාවල් දාලා ඔබේ තර්කය පැහැදිලි කරන්නකෝ... ලංකාවේ පමණක් නොව කටාර්වලත් අපිට මේ ප්‍රශ්නය ආවා. ක්ෂේත්‍රයේ වැඩකරන අපි ඉහළට කතා කරලා රාජකාරි වේලාවන් උදේ 6 සිට 1 දක්වා වෙනස් කර ගත්තා. එහෙ රජයේ වැඩ කරන්නේ පැය 7 යි. ලංකාවේ උදේ 7ට පාර්ලිමේතු පාරට ඇවිත් බලන්න ට්‍රැෆික් එක කොහොමද කියලා... කොහෙවත් ඉඳගෙන බයිලා කියන්නේ නැතුව...

:       56       18

රාජේශ් ඛන්නාFriday, 20 July 2018 09:48 PM

ලෝකේ හැමතැනම එකවගේ නොවෙයි කියල තර්ක කරන අයම කටාර් ගැන බයිලා කියනවා.

:       17       63

PerakumSunday, 22 July 2018 05:12 AM

බමුණුආරච්චි මහත්තයෝ: වාහන තදබදයට හේතුව නොදැන කතා කරන්න එපා. පාරේ වාහන වැඩි නෑ. පාරවල් පළල මදිත් නෑ. ප්‍රශ්නය වාහන පදවන්නන්ගේ අවිනීතකමයි. නීතිගරුකව පාරේ යනවා නම් කිසි තදබදයක් වෙන්නේ නෑ. දැක්කනේ ගාලු පාර කොයිතරම් පළල් කරලා කොයි තරම් මං තීරු දැම්මත් වැඩක් වුණාද? අපි දැකල තියනවා වාහන ඉතා අධික නගරවලත් තදබදයකින් තොරව වාහන යනවා. හේතුව නීතිගරුක බව හා මාර්ගනීති කඩන්නන්ට නිසි දඬුවම් දීමයි. තව කියන්න පුළුවන් කතා කරලා වැඩක් නෑ.

:       0       86

BamunuarachchiMonday, 23 July 2018 04:32 PM

ඛන්නා මහතා අටුවා ටීකා ඕනේ නැහැ වෙලාවල් ලියලා ඔබේ තර්කය පැහැදිලි කරන්න.

:       0       0

BamunuarachchiMonday, 23 July 2018 04:49 PM

පැරකුම් මහතා සැමදාම තලවතුගොඩ සිට පාර්ලිමේන්තුව හරහා බොරැල්ල පසුකරන මට වාහන තදබදය නොදැන කතා කොරන්න එපාලු. ඔබ කොහේ සිටද මට වාහන තදබද කියාදෙන්න එන්නේ. රාජගිරිය ගුවන්පාලම ඉදීකලත් වාහන තදබදය පවතින බව මා එදා කී දේ අදටත් වලංගුය. නීතිගරුකව වාහන පදවනවානම් වාහන තදබද නැහැල්ලු. මහත්මයෝ විහිළු කියන්නෙපා. ඔබ වාහන පදවනවානම් තේරේවි අවිනීතව වාහන පැදවීම නොවෙයි.

:       0       0

රාජේශ් ඛන්නාTuesday, 24 July 2018 09:07 PM

" අටුවා ටීකා ඕනේ නැහැ වෙලාවල් ලියලා ඔබේ තර්කය පැහැදිලි කරන්න".---------- අදහස් දක්වන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පමණි. ඔය වෙලාවල් ගැන ලියපු අය ඒවා පරිස්සම් කරලා තියාගන්න. පිස්සෝ ගැන කම්පාවෙන්න පැය එකහමාරත් මදි වගෙයි.

:       0       0

BamunuarachchiThursday, 26 July 2018 11:45 PM

උදේපාන්දරින් නැගිටලා වාහන තදබදයට කලින් වැඩට යන කතාව කීවේ රාජේශ් ඛන්නා

:       0       0

Bamunuarachchi Wednesday, 18 July 2018 11:58 AM

සමරකෝන් මහතා ඔබට විශාල වැරදීමක්. නොර්වේ, ඩෙන්මාර්ක්, ස්වීඩන් සහ ශ්‍රී ලංකාවේත් ජීවත් වෙන්නේ මිනිස්සු කියන වර්ගයා තමයි. එ්ත් ඒ බාහිර පෙනුමෙන් පමණයි. ඒ නමුත් ගති පැවතුම්, සිතුම් පතුම්, ක්‍රියාකාරකම් ආදී මෙකී, නොකී සියල්ලෙන්ම ශ්‍රී ලාංකිකයෝ අර මිනිසුන්ට වඩා අහසට පොළව මෙන් වෙනස්. එමනිසා ඒ සිතුම් පැතුම් හා ආර්ථික වශයෙන් දියුණු ඒ රටවල මිනිසුන් ඒ රටවල ක්‍රියාකාරකම් අපේ රටට සසඳන්න ලැහැස්තිවීම මහා විහිළුවකි. ඒ රටවල් ස්කැන්ඩිනෙවියානු රටවල්ය. අපි දකුණු ආසියාතික රටක්ය. එමනිසා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්තානය, තමිල්නාඩුව සමග සසඳන්න. ඉතිරි ටික පසුව ලියන්නම්...

:       201       132

ranjith Thursday, 19 July 2018 12:42 AM

පණ්ඩිතයෝ නොයෙක් තර්ක කාරනාව මරණ දඩුවම නැතුව අපරාධ මඩින්න පුළුවන්, එහෙනම් නීතියම ඉවතට දාලා ඔය බන අනුව කරන්න බැරිද.? මේවා නිකන් ජාවාරම් කාරයන්ගෙන් සල්ලි වලට කරන ප්‍රකාශ.

:       0       34

Chaminda Thursday, 19 July 2018 10:14 AM

මේ ඔක්කොම බයිල ගහන්නේ ඔක්කොම කියන්නේ දියුණු රටවල මේක කරන්නේ නැහැ කියලා. ඒක වෙන්න පුළුවන් ඒ රටවල සමාජ තත්වය, ආර්ථික දියුණුව, අධ්‍යාපනය මේ සියලු කාරණා සමගින් තමයි වෙලා තියන්නේ අපේ රට එහෙම වෙලා නැහැනේ ඉතින් සමහර දේවල් වලට ඒ අය කරන්නේ නැති දේවල් කරන්න වෙනවා. මොකද කාමර ඇතුලේ, පොත්වල සහ අරෙහෙ මෙහෙමයි අපිට බැරි වගේ තර්ක හරියන්නේ නැහැ. මේ රට එහෙම කරන්න ගිහිල්ලා පේනවනේ වෙලා තියෙන දේ...

:       1       38

Bamunuarachchi Thursday, 19 July 2018 11:05 PM

ඔව් සමරකෝන් මහතා ඔබ අහන්නේ දිව්‍යලෝකයේ කටුඉඹුල් ගස් නැතිනම් ඇයි අපායේ තිබෙන්නේ කියලානේද? ඔබේ ලිපියේ පලමු චේදය කියවුවාම මට ඉතිරිහරිය කියවන්න එපාඋනා.

:       1       20

Bamunuarachchi Thursday, 19 July 2018 11:23 PM

මිනීමැරුම් වලදී නාමිකව මරනදඬුවම නියම කර ක්‍රීයාත්මක නොකරන්න එකහෙතුවක් තමයි අහිංසකයෙක් මරණයට පත්වෙවී යන සැකය .නමුත් කුඩු ගෙන්වන්නන් සහ ප්‍රවාහකයින් සැකයකින් තොරව අසුවෙනවා. ඔවුන් මරා දැමීම සාමාජයට කරන යපතක්. මෙක්සිකෝවේ නිෂ්පාදන වෙන කුඩු ලංකාවේ පාසල් දරුවන්ට ලැබෙන්නේ කුඩු ගෙන්වන්නන් සහ බෙදාහරින්නන් නිසයි. ගෙන්වන්නන් සහ බෙදාහරින්නන් නැතිඋනොත් කිසිම නිෂ්පාදනයක් ව්‍යාප්ත වෙන්නේ නැත. එම නිසා අටුවා ටීකා උවමනා නැත නෙන්වන්නවුන් සහ බෙදා හරින්නවුන් පරසිද්දියේ මරා දැමිය යුතුය.

:       0       32

Bamunuarachchi Thursday, 19 July 2018 11:42 PM

රන්ජිත් බණ අනුව අපරාද මඩින්න පුළුවන් බන අහන සහ බණ පිලිපදිනවානම්. ටීවී නාලිකා කීපයක ගුවන්විදුලි නාලිකා කීපයකම නිරන්තරයෙන්ම බණ කියනවා එත් පුවත් පත් වල පිටුගණන් තිබෙන්නේ අපරාද. ඔය අතර බණ කියන අයත් අපරාද කර එල්ලුම් ගස් ගිය බව අපි දන්නවා. සෝමාරාම, බුද්දරඛිත, මැතිව් පීරිස් ගැන අමතකද?

:       0       40

Bamunuarachchi Friday, 20 July 2018 12:13 AM

සිතන්ගී පරිදී විනිසුරුවන් පත්කිරීමද පත්කළ විනිසුරුවන් තමන්ට අභිමත තීන්දුව නොදුන්නා කියා විනිසුරුවන්ගේ නිවාසවලට ගොස් හූ තියා ගල් ගැසීමද වඩා දරුණු කියා කියන්න සමරකෝන් මහතා. මටනම් දෙවැන්න බොහොම දරුණුයි.

:       0       41

Bamunuarachchi Friday, 20 July 2018 12:20 AM

පලාතක කලබලයක් ඇතිඋන අවස්තාවක වෙඩිතබා හෝ එය නතරකිරීමද නැතිනම් පොලිස්සියට නිවාඩුදී රටම ගිනිගනීමට ඉඩදීමද වඩා දරුණු. මේවා සිදුවන කාලේ ඔබ ඉපදී සිටියේ නැද්ද?

:       0       27

ranjith Monday, 23 July 2018 11:28 PM

එල්ලුම් ගස තිබුනට වරදවල් කරේ නැතිනම් එල්ලුම් ගස් යන්න වෙන්නේ නැනේ.

:       1       1

mahesh perera Wednesday, 25 July 2018 01:52 PM

ඔක්කොටම කලින් මේ වගේ හොර තක්කඩියන්ට මහාචාර්යකම් දුන්නු අය එල්ලන්න ඕනේ...

:       1       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 96 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 96 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 280 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 518 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 581 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 95 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site