IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


උඩුගම්පොල පේඩිපොල තවත් ‘රතුපස්වලක්‘ වෙන හැඩ

(තරිඳු ජයවර්ධන)

[email protected]

සහ

(බිඟුන් මේනක ගමගේ)

[email protected]

රෝහිනී ගංගාවේ ජල ගැටලුව නිසා ඇති වන්නට ගිය මහා විනාශය එදා බුදුන් වහන්සේගේ මැදිහත් වීමෙන් වැළකී ගියද ගම්පහ රතුපස්වල ‘ජලයෙන්‘ උපන් අරගලය’ විසඳීමට කිසිවකු සිටියේ නැත. ගම්පහ උඩුගම්පොල පේඩිපොල නම් ප‍්‍රදේශයේ දැන් ඇවිලෙමින් ඇත්තේ එවැනිම අරගලයකි. ඒ අරගලය ද ජලය වෙනුවෙනි.  ජලය ගැන සොයා බැලිය යුතු රාජ්‍ය ආයතන කොතෙකුත් තිබුණ ද අනෙක් සිදුවීම්වලදී මෙන්ම මෙම සිදුවීමේදී ද එම ආයතන ප‍්‍රමාණවත් මැදිහත්වීමක් නොකරන බව බැලූ බැල්මට පෙනී යයි.

ගම්පහ නගරයේ සිට මිනුවන්ගොඩ පාරේ ගොස් උඩුගම්පොල මංසන්ධියෙන් දකුණට ඇති දිවුලපිටි පාරේ කිලෝමීටරයක් ගිය තැන පේඩිපොල ප‍්‍රදේශය හමුවෙයි. ජලය ගැන කියමින් මාර්ගය වසාගෙන දැවැන්ත උද්ඝෝෂණයක් මේ වසරේ මුල සිදුකළේ මෙම ප‍්‍රදේශවාසීන්ය.

‘ළිඳ කපලා අවුරුදු 10ක් විතර වෙනවා. මෙච්චර කාලෙකට වතුර හිඳිලා නෑ. පහුගිය පෑවිල්ලට වතුර හිඳිලම ගියා. දැන් මෙච්චර වැහැලත් තවම ළිඳේ වතුර අඩුයි. වෙනදා මේවගේ වහිද්දී සෑහෙන්න වතුර පිරෙනවා.’ පේඩිපොල පදිංචි කේ පී කේමාවතී කීවාය. කේමාවතීගේ සැමියා ‘ළිඳ බඹ හතක් විතර ගැඹුරුයි. කවදාවත් නැතිව අපට පහුගිය කාලේ පිටින් වතුර ගේන්න වුණා. මෙච්චර කාලෙකට නැතිව එකපාර වතුර අඩු වුණේ නල ළිං නිසා කියලයි අපි සැක කරන්නේ.’  පොඩි අප්පුහාමි කීවේය.

ගම්වාසීන්ට අනුව කතාව මෙසේය.

උඩුගම්පොල පේඩිපොල යනු අතීතයේ සිටම සශ‍්‍රීක ප‍්‍රදේශයකි. එම ප‍්‍රදේශයට නල ජල සම්බන්ධතාවක් හෝ නැත. ඊට හේතුව කිසිම දිනක ජලය හිඟ නොවන බැවිනි. මහා පෑවිලිවලට ද ගම්මානයේ ළිංවල ජලය සිදෙන්නේ නැත.

දේශපාලනය පැත්තෙන් ගත් විට මෙම ප‍්‍රදේශයේ වැඩිපුරම සිටින්නේ ‘රණතුංග පවුලේ’ උදවියට ඡන්දය දුන් ජනතාවය.

කරුණු මෙසේ වෙද්දී සාමකාමීව පැවැති ගම ගිනියම් වෙන්නට පටන් ගන්නේ පසුගිය ජනවාරි මාසයේ සිට ඇරුඹුණු වැහි රහිත කාලගුණත් සමඟය.

‘‘මේ ගමේ තිබ්බා ඉඩමක්.  ඕකට කෙටියෙන්ම කිව්වේ මඩවල කියලයි. වැහි කාලෙට මේ ඉඩමේ උල්දිය වගේ තිබෙනවා. ඒ නිසා වෙන්න ඇති මඩවල කියන්නේ.’’ ගම්වාසියෙක් කතාවට මුල පිරුවේය.

‘‘මේ ඉඩමේ වතුර බෝතල් කර විකුණන ආයතනයක් දැම්මා. මෙය කලින් තිබුණේ වෙන තැනක. ඉස්සර කළේ පිටින් වතුර ගෙනත් බෝතල් කළ එකයි. ඉන් පසු එතන ඔවුන් නල ළිඳක් හදා වතුර ගන්න පටන් ගත්තා. ආයතනය මෙතනට ගෙනාවට පස්සේ මෙතනත් නල ළිඳක් ගහලා වතුර ගන්න පටන් ගත්තා. ටික දවසක් යද්දී ඒ ළඟම ඉන්න අශෝකා ප‍්‍රියන්තිගේ ළිඳේ වතුර වුණා. කිසිම දවසක මෙහෙම වෙලා නැති නිසා ඒ ගොල්ලොත් කලබල වෙලා බැලූවා ඇයි කියලා.

ඉන් පසු පසුගිය කාලයේ පෑවුම පටන් ගනිද්දිම අවට අනිත් ළිංවලත් වතුර අඩු වෙන්න පටන් ගත්තා. ඒ සමඟම ග‍්‍රාම නිලධාරී, ප‍්‍රාදේශීය ලේකම්, මධ්‍යම පරිසර අධිකාරිය, පොලිසිය, ජල සම්පත් මණ්ඩලය, ජල සම්පාදන හා ජලාපවහනය, භූවිද්‍යා හා පතල් කැණීමේ කාර්යංශය, ආදී ආයතන රැසකට දැනුම් දුන්නා. ජනාධිපති, අගමැති ඇතුළු දේශපාලන අධිකාරියටත් ලිව්වා. නමුත් කිසිම තැනකින් යහපත් ප‍්‍රතිචාරයක් ලැබුණේ නෑ. ටික දවසක් යද්දි බොහෝ ළිංවල වතුර හිඳිලම ගියා.‘‘ යැයි ඔහු කීවේය.

සාගරිකා ලසන්ති මහත්මියගේ පදිංචිය ද පේඩිපොලය. කිසිදා නොසිඳෙන ඇගේ නිවසේ ළිඳද මෙවර සිඳී ගිය බව ඇය කීවාය.

‘‘මීට පෙර කවදාවත් වතුර නැතිව යන්නේ නෑ. මේ පාර වතුර නැතිව ගියා. අන්තිමට අපිට පිටින් වතුර ගේන්න වුණා. නාගන්න තැන තැන යන්න වුණා.’’ සාගරිකා කීවාය.

‘‘මේ ප‍්‍රශ්නය ගැන රජයේ හැම තැනකටම වගේ ලිව්වා. හැබැයි කිසිම ප‍්‍රතිචාරයක් ලැබුණේ නෑ.’’ යැයි කියමින් කතාවට මුල පිරුවේ ප‍්‍රසන්න රෝහණ මහතාය.

‘‘ප‍්‍රාදේශීය ලේකම්ට පවා කිව්වා. නමුත් ප‍්‍රතිචාරයක් හම්බුණේ නෑ. ආයතනවලින් කළේ බෝලේ පාස් කළ එක විතරයි. පේඩිපොල කවදාවත් වතුර නැති වෙලා නෑ. මේ පාර ගමේ බොහෝ දෙනකුට වතුර නැතිවුණා. අපි ඉල්ලන්නේ මේ ආයතනයේ නලළිං මගින් වතුර ගන්න එක නවත්වන්න කියලයි. පිටින් වතුර ගෙනත් බෝතල් කළාට අපට ප‍්‍රශ්නයක් නෑ. අපි සැක කරන්නේ නලළිං ගහලා වතුර ගත්ත නිසා තමයි අවට ළිංවල වතුර නැති වුණේ කියලයි.’’ ඔහු කීවේය.

ගම්වාසීන් ආයතනවලින් ඉල්ලා ඇත්තේ අංක 219 ස්ථානයේ ඇති නලළිද පරික්ෂා කරන ලෙස වුවත් මධ්‍යම පරිසර අධිකාරිය එවූ ලිපියක සඳහන් වන්නේ අංක 215 නම් ස්ථානයක් ගැනයි. ගම්වාසීන් චෝදනා කරනුයේ තම පැමිණිල්ලට අදාළ ස්ථානය ආයතන පරීක්ෂා නොකළ බවයි.

මේ අතර භූගත ජලය වැඩිමනක් උකහා ගැනීමෙන් සිදුවන පරිසර හානි ගැන ප‍්‍රදේශවාසියකු වන ජයන්ත ධර්මසිරි මහතා ජල සම්පත් මණ්ඩලයෙන් ලිඛිතව කරුණු විමසා ඇති අතර ඊට පිළිතුරු ලෙස ලැබුණු ලිපියේ ජල සම්පත් මණ්ඩලය මෙසේ සඳහන් කර තිබේ.

‘පොම්ප කරනු ලබන ළිංවල ජල මට්ටම සීඝ‍්‍ර ලෙස පහළ බැසීම නිසා ළිං සි`දී යාම ද ඒ සමගම අවට ළිං සිඳී යාමද සිදු විය හැකිය.’

‘2017 වර්ෂයේ දී බලපෑ විලි කාලගුණික තත්ත්වය යටතේ විවිධ ආයතන භුගත ජලය වැඩිමනක් උකහා ගැනීම් සිදු කරීම නිසා අවට ළිං සිඳී ගොස් ජනතාවට බීමට පවා ජලය ලබා ගැනීමට නොහැකි වූ අවස්තා වාර්තා විය.’
ගම්වාසියකු වන අනුර කුමාරසිංහ මහතා කීවේ පසුගිය පෑවිල්ලට ළිදේ වතුර කඳුළක්වත් නොතිබුණු බවයි. ඒ මහතා ප‍්‍රකාශ කළේ ද මින් පෙර කිසි දිනෙක මෙලෙස ළිං සිඳී ගොස් නොමැති බවයි.

නල ළිං සම්බන්ධයෙන් 2017 මාර්තු 16 වැනි දා වාර්මාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා ලෙස ගාමිණී විජිත් විජිතමුණි සොයිසා මහතා නිකුත් කළ 2010/23 අංකයෙන් යුත් අති විශේෂ ගැසට් පත‍්‍රයකින් ප‍්‍රකාශයට පත් කරනු ලැබීය. එහි දෙවැනි වගන්තියේ මෙසේ සඳහන් වෙයි.

‘‘නල ළිං ඉදිකිරීම ජල සම්පත් මණ්ඩලය විසින් ලබා දෙනු ලබන උපදෙස් අනුව සිදු කළ යුතු අතර පරිසරයට හානි නොවන පරිදි එයින් ලබා ගත හැකි ජල ප‍්‍රමාණය නිවැරදි ලෙස තක්සේරු කිරීම ජල සම්පත් මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සිදු කර ඊට අදාළ අනුමැතිය ලබා ගත යුතුය. ඒ අනුව දිනකදී ලබා ගන්නා ජල ප‍්‍රමාණය මැනීම සඳහා අදාළ ආයතනය විසින්ම ජල මනු  සවි කිරීම සිදු කළ යුතු අතර දෛනිකව ලබා ගන්නා ජල ප‍්‍රමාණය පිළිබඳ දත්ත නඩත්තු කිරීම කළ යුතුය. අවශ්‍ය අවස්ථාවන්හිදී පරීක්ෂා කිරීම සඳහා මෙය ඉදිරිපත් කිරීමට අදාළ ආයතනය බැඳී සිටියි.’’

එම ගැසට්ටුවේ පස් වැනි වගන්තිය මෙසේය.

‘‘ස්වාභාවික ජල උල්පතක් හෝ භූගත ජලය උපයෝගී කර ගනිමින් නිෂ්පාදන හෝ සේවා කටයුතු සිදු කරනු ලබන ආයතන හෝ ස්ථාන පූර්ව දැනුම් දීමක් සහිතව හෝ රහිතව දවසේ කුමන හෝ සාධාරණ කාලයන්හි දී එකී නිෂ්පාදන හෝ සේවා ස්ථානවලට ඇතුළු වී පරීක්ෂා කිරීමේ අයිතිය ජල සම්පත් මණ්ඩලය සතුය.’’
ගැසට්ටුවේ එසේ සඳහන් වූවත් මෙය ප‍්‍රායෝගිකව සිදු නොවන බවට හොඳම උදාහරණය පේඩිපොල ගම්මානයයි. නල ළිං මගින් ලබා ගන්නා ජලය බෝතල් කර විකිණීමේ ව්‍යාපාරයක් නිසා ප‍්‍රදේශයේ ළිං ජලය සිඳී ගොස් ඇති බවට ගම්වාසීන් කෙතරම් පැමිණිලි කළත් තවමත් ජල සම්පත් මණ්ඩලය පැමිණ සිය පරීක්ෂණ සිදු කර නැත.

එමෙන්ම තම ආයතනයේ පරීක්ෂණයක් සිදු කරන ලෙස අදාළ ආයතනය ද මුදල් බැඳ ඇතත් තවමත් ජල සම්පත් මණ්ඩලය පැමිණ පරීක්ෂා කර නැත.

ජලය නිසා උපන් අරගලය ගැන කතා කරන රතුපස්වල ගම්වාසීන් නිතර කියන කාරණයක් ඇත.
‘‘රතුපස්වල ප‍්‍රශ්නය මෙච්චර දුර දිග ගියේ දේශපාලන අධිකාරියෙන් නිසි මැදිහත් වීමක් නොවුණු නිසයි. ඒ වගේම අවුරුදු ගණනක් තිස්සේ මිනිස්සු අදාළ ආයතනවලට පැමිණිලි කළා. ඔවුන් ගණන් ගත්තේවත් නෑ. හැමෝගෙම ඇස් ඇරුණේ තුන් දෙනෙක් මරලා දැම්මට පස්සෙයි.’’ ඒ රතුපස්වල ගම්වාසීන් නිතර කියනා කතාවයි.

උඩුගම්පොළ පේඩිපොල ගැන තවත් කොතෙකුත් කාරණා කියන්නට තිබේ. දේශපාලන අධිකාරියට සහ රාජ්‍ය ආයතනවලට ලියූ ලිපි ෆයිල් පිටින් ගම්මුන් සතුව තිබේ. අප පේඩිපොලට ගිය විට ඒවා එකිනෙක දිග හැර ගම්මු සිය දුක්ගැනවිලි කීහ.

එකක් පැහැදිලිය. ගම්මුන් චෝදනා කරන කම්හල නිසා හෝ වෙනත් හේතුවක් නිසා හෝ පසුගිය කාලයේ ඇතැම් ළිංවල වතුර කඳුලක් නැතිව සිඳී ගියේය. ඊට හේතුවක් තිබිය යුතුය. ඒ හේතුව සොයා ගැනීමට අපේ නිලධාරීන් තවමත් අපහොසත්ව ඇත්තේ තාක්ෂණයේ දෝෂයක් නිසා නම් නොවේ. ඇත්තටම සිදුවී ඇත්තේ සුපුරුදු පරිදි ‘බෝලය පාස් කිරිම’ පමණි.

අශ්වයා ගිය පසු ඉස්තාලය වසා පළක් නැත. අශ්වයා පැන යෑමට පෙර ඉස්තාලය වැසිය යතුය. උඩුගම්පොල පේඩිපොල ගම්මානය තවත් රතුපස්වලක් ලෙස ඉතිහාස පොතට එකු වීමට ඉඩ නොදීම දේශපාලන අධිකාරියේ මෙන්ම වගකිව යුතු රාජ්‍ය ආයතනවල ද වගකීමකි.

අදාළ ආයතන ඒ සඳහා අදම මැදිහත්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. පේඩිපොල ජනතාවගේ බලාපොරොත්තුව ද එයයි.

ඇත්ත-බොරු ඕනෑ වේලාවක ඇවිත්-චෝදනා එල්ල වන සමාගමේ හිමිකරු එරංග රණතුංග
‘මම මේ ව්‍යාපාරය පටන් අරං අවුරුදු 13ක්. පේඩිපොල ප‍්‍රදේශයේ ඉඩමක් විකුණන්න තිබුණා. මේ ඉඩම ගන්න අවට මිනිස්සු ඉඩ දුන්නේ නෑ. ගන්න එන අයට විවිධ දේවල් කියනවා. කොහොම වුණත් 2015 වසරේදී අක්කර දෙකයි තුන්කාලක එම මම ඉඩමක් ගත්තා. මේ ඉඩම අසල නිවසක ඉන්නවා  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි පුද්ගලයෙක්. එයත් මේ ඉඩම ගන්න උත්සාහ කළා. මම වැඩි ගාණට ඉඩම මිලදී ගත්තා.
පරිසර අධිකාරියේ නිර්දේශ සහ ප‍්‍රාදේශීය සභාවෙන් අවසර අරගෙන ඉදි කිරීම් සිදු කරන්න පටන් ගත්තා. 2015 දී විශේෂඥයන්ට කියා තැන බලලා ඞීප් වෙල් එකක් ගැහුවා.2017 ජනවාරි මාසේ පෑවිල්ල ආවා. ඉන් පස්සේ මිනිස්සු කියන්න ගත්තා මෙතන නල ළිං ගොඩක් තියෙනවා ඒක නිසා ළිංවල වතුර අඩු වෙනවා කියලා. මිනිස්සු මේකට විරුද්ධව විවිධ දේවල් කරන්න ගත්තා. ඇත්තටම ඞීප්වෙල් එකයි අපි ගැහුවේ. මිනිස්සු කියපු කතා බොරු.
මම පොලිසියට, ප‍්‍රදේශීය ලේකම්ට සහ අදාළ බලධාරීන්ට මෙන්ම ගමේ මිනිසුස්සුන්ටත් විවෘත ආරාධනාවක් කළා ඇවිත් පරීක්ෂා කර බලන්න කියලා. හැබැයි සමහරු දැන්වීම් ගසා තිබුණා එතනට යන්න එපා කියලා. පොලිසිය, ප‍්‍රදේශීය ලේකම් නියෝජනය කරමින් ග‍්‍රාම නිලධාරිවරයෙක් වගේම අනෙකුත් ආයතනවල පිරිස් ආවා. ප‍්‍රදේශවාසීන් කිහිප දෙනකුත් ඇවිත් හිටියා. අපි පැය 24 ටෙස්ට් එකක් කළා. එතැනදි ඔප්පු වුණා ළිංවල වතුර නැතිව යෑම සහ මේ ආයතනය අතර සම්බන්ධයක් නැති බව. ඞීප්වෙල් එකෙන් වතුර ගන්න ගමන් අවට ළිං පරික්ෂා කළා. නමුත් වතුර අඩුවීමක් වුණේ නෑ.
අවශ්‍ය සියලූ නිර්දේශ අරගෙනයි මම මේක කරගෙන යන්නේ. තවමත් ෆැක්ටරිය හදන ගමන්. මෙතන ගහලා තියෙන්නේ එක නල ළිඳයි. මේ නිසා ළිංවල වතුර අඩු වෙලා නෑ.
මම  ඕනෑම කෙනකුට විවෘත ආරාධනාවක් කරනවා ඇවිත් බලන්න කියලා.  ඕනෑ කෙනකුට පුළුවන් ඇවිත් බලලා ඇත්ත නැත්ත තේරුම් ගන්න.’

ප‍්‍රශ්නය - ජල සම්පත් මණ්ඩලයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා තියෙනවද?

පිළිතුර - තවම කරලා නෑ. පරීක්ෂණයක් කරන්න අපි සල්ලි බැඳලා තිබෙනවා.

 

 

‘ජලයට ඇති අයිතිය මානව හිමිකමක්’-නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ
‘ජලය කියන්නේ මූලික මිනිස් අවශ්‍යතාවක්. 2010 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජලයට ඇති අයිතිය මානව හිමිකමක් ලෙස නිල වශයෙන් පිළිගනු ලැබුවා. එක්සත් ජාතීන්ගේ ජල දශක වැඩසටහන මගින් දක්වා ඇති පරිදි, දිනකට ඒක පුද්ගල ජල අවශ්‍යතාවය ලීටර් 50 ත් 100 ත් අතර ප‍්‍රමාණයක්. ජලය සපයා ගන්නා මූලාශ‍්‍රය පදිංචි ස්ථානයේ සිට කි.මි. 1 ක සීමාව තුළ තිබිය යුතුයි. ගෘහස්ථ ආදායමෙන් ජලය සඳහා වැය කළ යුතු මුදල 3% ක සීමාව ඉක්මවා නොයා යුතුය. ජලය රැස්කිරීම සඳහා දිනකට ගතකළ හැකි උපරිම කාලය මිනිත්තු 30 ක් පමණයි. ඒ අනුව පුරවැසියන් වෙනුවෙන් ජල සම්පත ආරක්ෂා කිරීම හා ප‍්‍රමාණවත් පරිදි ජලය සැපයීමට කටයුතු කිරීම රාජ්‍යයක වගකීමක් ලෙස දැක්වන්න පුළුවන්.
ශ‍්‍රි ලංකාව තුළ සමාගම් විසින් ජල උල්පත් සහ භූගත ජලය යොදා ගනිමින් ජල බොතල් නිශ්පාදන ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන නමුත් එම ආයතන නියාමනය කිරීම සඳහා කටයුතු කරන යාන්ත‍්‍රණයන් සකස් නොවීම බරපතළ ගැටලුවක්.අත්තනෝමතික ලෙස නිශ්චිත සීමාවක් නොමැතිව අධික ලාබයන් ඉපයීම සඳහා උල්පත් සහ භූගත ජල මූලාශ‍්‍ර භාවිත කිරීම රටේ සාමාන්‍ය ජනතාවගේ ජල අයිතියට හා අවශ්‍යතා ඉටු කරගැනීමට බාධාවක් විය හැකියි. ඒ නිසා මෙම ආයතන නියාමනයට සහ නිසි අධීක්ෂණයකට යටත් කිරීමේ දැඩි අවශ්‍යතාවක් තිබෙනවා.
ශ‍්‍රී ලංකාවේ ජල සම්පත සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් 1964 අංක 29 දරණ පණත ස්ථාපිත කරන ලද ජල සම්පත් මණ්ඩලයට මූලික වගකීමක් පැවරෙනවා. ජල සම්පත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට සහ නියෝග පැනවීමට මෙම ආයතනයට බලය තිබෙනවා. ඒ අනුව 2017 නිකුත් කරන ලද 2010/23 දරණ ගැසට් පත‍්‍රය මගින් ස්වාභාවික ජල උල්පත් සහ භූගත ජලය භාවිත කිරීම සම්බන්ධයෙන් යම් නියාමන යාන්ත‍්‍රණයක් හඳුන්වාදී තිබෙනවා.
ඒ අනුව නළ ළිං ඉදිකරන සියලුම ආයතන ජල සම්පත් මණ්ඩලය තුළ ලියාපදිංචිම අනිවාර්යයි . ජලය බෝතල් කිරීමේ කර්මාන්ත සහ බීම නිශ්පාදන කර්මාන්ත පවත්වාගෙන යනු ලබන ආයතන මාස 6 ට වරක් ජල මූලාශ‍්‍රයේ සාම්පල පිළිගත් රසායනාගාරයකින් පරීක්ෂා කළ යුතුයි. එමෙන්ම මසකට ජලය ලීටර් 30000 ට වඩා භූගත ජලය යොදාගන්නා කර්මාන්ත අදාළ ජල මූලාශ‍්‍රය පිළිබඳ තත්ව වාර්තාවක් ජල සම්පත් මණ්ඩලයෙන් ලබාගැනීමද අනිවාර්යය කර තිබෙනවා.’’

 

‘නල ළිං නිසා භූගත ජල මූලාශ‍්‍ර සිඳී යා හැකියි’-පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්
‘‘නල ළිං මගින් ගන්නේ භූගල ජලය.  නල ළිං ගහලා වතුර ගනිද්දි භූ ගත ජල මට්ටම අඩු වෙනවා.  කම්හලකින් නිශ්පාදනයක් කරද්දී වතුර ලීටර ලක්ෂ ගණනක් ගන්නවා. එතකොට ප‍්‍රදේශයේම ජලය අඩු වෙනවා. ජල මූලාශ‍්‍ර සිඳී යනවා. ගම්පහ දිස්ත‍්‍රික්කයේම වෙනත් තැනක මේ වගේ කර්මාන්තයක් පටන් අරගෙන අවුරුදු පහකට පස්සේ ප‍්‍රදේශයේම වතුර නැතිව ගියා.
ගම්පහ ප‍්‍රදේශයේ ජලය නැතිව යන්න   පළමුවෙනිම කාරණය තමයි ගම්පහ තිබුණු වගුරුබිම් පුරවලා ඉදි කිරීම් සිදු කිරීම.
වතුරවල අයිතිය තිබෙන්නේ බෝතල් කරන කොම්පැණියට නොවෙයි. ඔවුන් කරන්නේ ස්වාභාවිකව තිබෙන වතුර බෝතල් කරලා නමක් ගහගෙන විකුණන එකයි. බෝතල් කළ වතුර බොන එක හොඳ නෑ. ගෙදරක වතුර බෝතලේක දාලා අවුරුද්දක් තියා ගන්න බැහැ. බෝතල් කර වතුර ලොකු කාලයක් තියා ගන්න නම් ‘එම්බාම්‘ කරන්න  ඕනෑ. අද ලංකාවේ වතුර විකුණන මාෆියාවක් තිබෙනවා. මේ බෝතල් කර විකුණන්නේ පොදු ජනතාවගේ වතුර. ඉන්දියාවේ කර්නාටකවල බීම කොම්පැණියකට වතුර ගන්න ගිහින් පළාතම හිඳුනා. ඒකට නඩුවක් ගිහින් කොම්පැණියත් තහනම් කළා. ’’

 

 


නොමිලයේ වතුර බෙදූ ජී පී ගුණවර්ධන
පේඩිපොල ගම්මානයේ ළිංවල වතුර සිඳෙද්දී නොමිලයේ වතුර දුන් පිරිස අතර ජී පී ගුණවර්ධන මහතා ද සිටියි. ඔහු  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිකරුවකු වන අතර මාස කිහිපයකට වරක් ලංකාවට පැමිණෙන බව ගම්වාසීහු කියති.
‘‘මේ ප‍්‍රදේශයේ ළිං රැසක වතුර නැතව ගියා. අපේ අවුරුදු 200ක් පමණ පැරණි ළිඳක් තිබෙනවා. ඒ ළිඳේ වතුරත් වෙනදාට වඩා අඩු වුණාට හිඳුනේ නෑ. ඒ නිසා ලොකු ටැංකියක් ගහලා ගමේ මිනිස්සුන්ට වතුර දෙන්න කියලා මම කිව්වා. මම  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි වෙලයි ඉන්නේ. ටැංකිය පුරවද්දී ළිඳේ වතුර මට්ටම බලන්න (වතුර අඩු නම් හුළං අදින නිසා) කෙනෙක් දැම්මා. පෑවිල්ල වැඩි වෙද්දි අපේ ළිඳෙත් වතුර ගොඩක් අඩු වුණා. ලීටර 50ක්වත් ටැංකියට ගහන්න බැරි වුණා. හැබැයි ගහන ටික මිනිස්සුන්ට දුන්නා. මම ඉඩමක් ගන්න බලං හිටපු නිසා මම ගමේ මිනිස්සුන්ට අවුස්සනවා කියන කතාව සම්පූර්ණ බොරු. ප‍්‍රශ්නය තියෙනවා කියන ෆැක්ටරියේ හිමිකරු මාත් එක්ක ප‍්‍රශ්නයක් නැහැ. හමුවුණාම කතා කරනවා. ගමම මං ගැන දන්නවා.’’



අදහස් (9)

උඩුගම්පොල පේඩිපොල තවත් ‘රතුපස්වලක්‘ වෙන හැඩ

sam Friday, 23 June 2017 12:22 PM

අපේ අය කරුණු හරියට තේරුම් ගන්නේ නැතිව අවිස්සෙන්න නම් දක්ෂයි. මේක හොඳට හොයන්න වුවමනායි. මම කොහේ හරිය කියෙව්වා රතුපස්වල පරණ ලිංවලින් දැන් වතුර බොනවා කියලා. එ් කියන්නේ දැන් එහෙ ළිං හරිද? කව්රුහරි දැනුවත් කරන්න.

:       222       30

Rasi Friday, 23 June 2017 04:13 PM

ඔය රට ඉන්න අයියා නම් දෙවියෙක්, පායන කාලේ වතුර බිවුවේ ගමේ මිනිස්සු ඔය අයියා නිසා... නැත්නම් සල්ලි වලට තමා මිනිස්සුන්ට වතුර බොන්න වෙන්නේ...

:       2       103

lusenaa Friday, 23 June 2017 04:43 PM

මෙම ප්‍රදේශ වලට පමණක් නොව , කොටුගොඩ ,ඕපාත, නැහැල, යාගොඩමුල්ල ,හීනටියන, මිරිස්වත්ත, රද්දොළුගම මේ ආදී ප්‍රදේශවලටද මේ වසරේ මාර්තු මාසයේ සිට ලින්වලට ජලය නැත. මේ ගැනත් සොයා බලන්න. ලුසේනා newzealand

:       0       29

මහින්ද Saturday, 24 June 2017 03:45 AM

රාජ්‍ය ආයතන වලින් ජනතාව යවන ලිපි වලට පිළිතුරක් යවන්න තරම් ජනතාවගේ සල්ලිවලින් යැපෙන නිලධාරීන් කටයුතු නොකිරීම මෙන්ම ප්‍රේමදාස මහත්තයාගේ කාලේ නීතියක් තිබුණා පළමුව දින 3 ක් තුළ පිළිතුරු යැවිය යුතු බව... එහෙම බැරි නම් දින 3 ඇතුළත කෙටි පිළිතුරක් යවලා දින 10 කින් සම්පූර්ණ පිළිතුරු යවන්න ඕනේ. දැන් ඒ නීති කිසිවක් නැහැ.

:       0       17

bandula Saturday, 24 June 2017 06:28 AM

ඕස්ට්‍රේලියාවේ ජලය හිඟ ප්‍රාන්තවල නල ළිං ගැනීම තහනම් කර ඇත. හේතුව නල ළිං මගින් ගන්නේ භූගල ජලය. නල ළිං ගහලා වතුර ගනිද්දි භූ ගත ජල මට්ටම අඩු වෙනවා. වැසි වතුර එකතු කරන ටැංකියක් ගෙදරකට අනිවාර්ය කර තිබෙනවා. වාණිජ කර්මාන්ත සහ වගාව සඳහා ගංගා වලින් වතුර මිලදී ගත යුතුය.

:       0       5

Gemunu Perera Sunday, 25 June 2017 01:29 AM

අපේ මෝඩ හරක් දැන් අහයි ගම්වාසීන්ට පාරවල් බ්ලොක් නොකර, කාටවත් හිරිහැරයක් නැතුව මේක කතාකරගන්න බැරිද කියලා. එහෙමනේ ශිෂ්‍ය උද්ඝෝෂණ වලට කියන්නේ.

:       98       117

jayantha Sunday, 25 June 2017 10:03 AM

අපි උද්ඝෝෂණය කළා... පාර වහලා පොලීසිය නඩු දැම්මා... නඩු දාට ප්‍රසන්න රණතුංග මහත්තයත් උසාවියට එනවා. සාක්කිදෙන අය බය වෙනවා.

:       1       305

dasuni Sunday, 25 June 2017 03:13 PM

වග කිව යුතු නිලධාරීන් නිදාගෙන සිටීම වාසියක් කරගෙන ස්වභාවික සම්පතක් වන ජලය පමණක් නොව පස්, වැලි විකුණා මුදල් උපයන්නන්ට පවා ස්වභාව ධර්මයෙන්ම දඬුවම් ලැබී ඇති අවස්ථා අප සමාජයේ ඕන තරම් ඇත. අහිංසක මිනිසුන්ට බීමට ඇති ජලය විකුණා ලබා ගත් මුදලින් ඒ වන්දිය ගෙවා නිම කිරීමට නොහැකි වන බව හැම කෙනෙක්ම මතක තබා ගත යුතුය.

:       3       4

nisha Monday, 26 June 2017 03:07 PM

යම් ප්‍රදේශයක ස්වභාවධර්මයෙන් නිර්මාණය වී ඇති ජලයේ අයිතිය ඇත්තේ ඒ ප්‍රදේශයේ ජීවත් වන මිනිසුන්ට, සතුන්ට හා ශාකවලටයි. එක ප්‍රදේශයක ජලය එතනින් බැහැරට ගෙන යාමට නොහැකි සේ නීතියක් නොගෙනෙන්නේ ඇයි? ගරු පාරිසරික ඇමතිතුමා හා වගකිවයුත්තන්ගේ අවධානය පිණිසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 133 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 122 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 410 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 651 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 655 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 114 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site