IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඈවරයි! දෑවරයි!! විසුරුවයි!!!

තිසරණී ගුණසේකර 

මෛත්‍රීපාල සිරිසේන-මහින්ද රාජපක්ෂ නව හවුලේ පළමු රැලිය නොවැම්බර් 5 වන සඳුදා පැවැත්විණි. රැලිය පැවැත්වූයේ පිටියක් තුළ නොව මහ පාරේය. නිකම්ම නිකම් මහ පාරේ නොව පාර්ලිමේන්තු වටරවුම අබියසය. දින තුනක් පුරා රැලිය සඳහා දැවැන්ත වේදිකාවක් ඉදිවුණු අතර ඒ නිසා ප්‍රධාන මාර්ග තුනක් අවහිර වී දැඩි වාහන තදබදයක් හටගත්තේය. රැලියට සහභාගි කරවීම සඳහා පිරිස් රැගෙන ආ බස්රථ පෝලිම නිසා දකුණු අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසල ද මාර්ග තදබදයක් හට ගැනුණි. බස් රථවල ආ නරඹන්නන් මාර්ග නීති කඩමින් අධිවේගී මග පුරා ගමන් කරන ඡායාරූප අන්තර්ජාලයේ සංසරණය විය. 

මෛත්‍රීපාල-මහින්ද සංයෝගයේ මුල් රැලිය මෙලෙස ජන ජීවිතය අවුල් කරමින් නීති උල්ලංඝනය කරමින් පැවැත්වීම ලංකාවේ අනාගතය පිළිබඳ වූ ඉඟියක් ලෙස සැලකීම වැරදි නැත. 

මෙම රැස්වීමේ කතා කළ වුන් (සිරිසේන මහතා ප්‍රමුඛව) යළි යළිත් කීවේ තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරයක සහය ඇති බවය. මන්ත්‍රීන් 113 ක් නොව 120 ක් තමන්ට ඇති බවත් ඒ පිළිබඳව සැක නොහිතන ලෙසත් කථිකයෝ යළි යළිත් කියා සිටියෝය. 

බන්දුල ගුණවර්ධන මහතා මෙම රැස්වීමේදී ද එවන් ප්‍රකාශයක් කළේය. ගතවූ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද මිලියන 5.8 ක් ද මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද මිලියන 6.2 ක්ද ලැබූ බැවින් මෛත්‍රීපාල මහින්ද එකමුතුවට රටේ ජනතාවගෙන් මිලියන 12 ක සහාය ඇති බව ඔහු කියා සිටියේය. 

තමන්ට පාර්ලිමේන්තුවේ 113ක සහාය ඇතැයි ජනපතිවරයා ප්‍රමුඛ කථිකයන් කළ ප්‍රකාශ බන්දුල ගුණවර්ධන මහතාගේ අලුත්ම ගණිතමය විහිලුවන් අතර එතරම් වෙනසක් නොමැති බව පෙනුනේ යළිත් වතාවක් 19 වන සංශෝධනය උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සැරසෙන බවට කටකතා පැතිර යාමත් සමගමය. 

මෛත්‍රී-මහින්ද එකමුතුවේ සාමාජිකයන් ඇමති තනතුරුවලට පත් කෙරුණේ කඩින් කඩවය. එජාපයෙන් දෙමළ ජාතික සන්ධානයෙන් හා මුස්ලිම් පක්ෂවලින් තමන්ට එකතුවෙතැයි සිතා මන්ත්‍රීවරුන් සඳහා ඇමතිකම් වෙන්කර තබාගැනීම මෙම කඩින් කඩ දිවුරුම් දීමට හේතුව බව මාධ්‍යවල කියවිණි. එහෙත් මුල් හත හැරුණු විට අලුතෙන් කිසිවෙකුත් මෛත්‍රී-මහින්ද සන්ධානයට එක්වූයේ නැත. 

පැති මාරුකිරීමේ රාවයක් සිව් දෙස දෝංකාර නංවද්දී එජාපයේ පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් කැඳවා හඬ පටි කිහිපයක් ඉදිරිපත් කළේය. සන්ඬේ ටයිම්ස් පුවත්පතේ ඔසපැි ධබකසබැ වෙබ් අඩවියේ මෙම හඬපට වලට සවන් දිය හැක. කැබිනට් ඇමති ධුරයකුත් අති විශාල ධනයකුත් දී ඔහුව පැති මාරුවට කැමති කරවා ගැනීමේ උත්සාහයක් දැරුණු බව මේ හඬ පටවලින් කියවේ. 

නොවැම්බර් 8 වැනිදා ඬේලි මිරර් පුවත්පතේ පළවූ වාර්තාවකින් කියවුණේ ඒ වනවිටත් මෛත්‍රී-මහින්ද හවුලට තිබුණේ මන්ත්‍රීන් 105ක සහාය පමණක් බවය. පාර්ලිමේන්තුව යළි කැඳවීමට නියමිතව තිබූ නොවැම්බර් 14 වන විට 116 කගේ සහාය දිනාගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය මුස්ලිම් කොංග්‍රසය හා සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග තමන් සාකච්ඡා කරන බවත් එජාපයේ මන්ත්‍රීවරුන් ගණනාවක් සමගත් කථා කරන බවත් මෙම මාධ්‍ය හමුවේදී ඇස්.බී. දිසානායක මහතා කියා සිටියේය. කැබිනට් ඇමතිකමක් දී එජාප මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා අල්ලා ගැනීමට දරන අසාර්ථක උත්සාහය පිළිබඳව මධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් දිසානායක මහතා කියා සිටියේ රංගේ බණ්ඩාර මහතා මිලියන 200 කට පැත්ත මාරු කිරීමට කැමති වූ බවත් පසුව රුපියල් මිලියන 80 ක් දක්වා ලංසුව අඩුකළ බවත් මන්ත්‍රීවරයකුගේ සහාය දිනා ගැනීමට කැබිනට් ඇමතිකමක් පොරොන්දු වීම පගාවක් දීමක් නොවන බවත්ය. 

රංගේ බණ්ඩාර මහතා ඉදිරිපත් කළ හඬ පටවල වූ සාකච්ඡා ව්‍යාජයක් නොව සැබෑවක් බව දිසානායක මහතාගේ ඉහත ප්‍රකාශයෙන් පැහැදිලි වේ. එහෙත් කැබිනට් ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් හා ඇතෙක් බරට වස්තුව දෙමින් මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ සෙල්ලම අපේක්ෂිත තරම් සාර්ථක වූයේ නැත. 19 වන සංශෝධනය දෙවන වරටත් කඩකරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කළේ මේ නිසා බව පැහැදිලිය.

ග්‍රිමි සහෝදරවරුන්ගේ සුරංගනා කථා එකමුතුවේ එක කතාවක කියවනුයේ මීයකු හා බළලකු අතරවූ හාදකමක් ගැනය. බළලාගේ දැඩි පෙරැත්තය නිසා ඌ සමග එකට වාසය කිරීමට මීයා එකඟ විය. කථාව නිමා වූයේ මීයා බළලාගේ ගොදුරක් බවට පත්වීමෙනි. 

මෛත්‍රී-මහින්ද සන්ධානය තුළින් මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂා කළේ 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා රාජපක්ෂ පිලේ සහාය ලබාගැනීම බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය. 2020 ජනපතිවරණයට ඉදිරිපත් කරන්නේ කවුද යන්න පිළිබඳව රාජපක්ෂ පිලේ යම් මතබේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව මාස ගණනාවක සිට කතා බහට ලක්විණි. ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා කැමති වුවද ඔහු තවමත් ඇමරිකා ලංකා ද්විත්ව පුරවැසියකු වීම මීට බාධාවක් බවට ඉඟි පළවිය. ඕනෑම ද්විත්ව පුරවැසියකුට ඇමරිකානු පුරවැසිභාවය අත්හල හැකි වුවද ඔහුට/ඇයට එරෙහිව ඇමරිකානු උසාවියක නඩුවක් ඇතිනම් එවැනි අත්හැරීමකට නීතිමය බාධාවක් හටගැනේ. එබැවින් රාජපක්ෂ පිලෙන් ජනපතිවරණයට ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව යම් ගැටලුකාරි තත්ත්වයක් 2018 මැද භාගය මතුවී තිබුණි. 

2015 ජනපතිවරණය ජයගත් දා සිට මාස කිහිපයක් යනතුරු මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේ තමන් දෙවන වතාවට තරග නොවදින බවය. එහෙත් කාලයත් සමග විධායක ජනපතිකමට ලොල් බවක් ඔහු තුළ හටගත් බව දක්නට ලැබිණි. 2015 දී ජනපති ධුරකාලය සිව් වසරකට සීමා කළ යුතු යැයි කී සිරිසේන මහතා 2017 තම ධුරකාලය වසර 6ක් දක්වා දික්කර ගැනීම සඳහා අධිකරණයේ අවසරය පැතීය. ඒ අතරම නිදහස් සංධානයේ 2020 ජනපති අපේක්ෂකයා සිරිසේන මහතා බව නිල වශයෙන් ප්‍රකාශ විය. නිදහස් සංධානයට 2018 පළාත් පාලන මැතිවරණයෙන් ලබාගත හැකි වූයේ මුලු ඡන්ද සංඛ්‍යාවෙන් 12.1%ක් පමණි. එබැවින් වෙන කාගේ හෝ හව් හරණක් නොමැතිව 2020 ජනපතිවරණය තමන්ට තනියම ජයගත නොහැකි බව සිරිසේන මහතාට වැටහෙන්නට ඇත. 2020 දීත් ඔහුට එජාපයේ සහාය ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා කැමති වූවා නම් ඔහු 2020 ජනපතිවරණය නිමවනතෙක් වික්‍රමසිංහ මහතා සමගම සන්ධානය පවත්වා ගන්නවා නිසැකය. එහෙත් වික්‍රමසිංහ මහතාට ජනාධිපති අපේක්ෂක නම්වූ ව්‍යාධිය වැළඳුණේ සිරිසේන මහතාට බොහෝ කලකට පෙරය. අවස්ථා ගණනකදීම තමන්ට අහිමිවූ ජනපතිධුරය 2020 දී හෝ දිනාගැනීමේ අපේක්ෂාවෙන් ඔහු පසුවූවා නිසැකය. 

ගතවූ මාස කිහිපය තුළ අවස්ථා ගණනකදීම තමන් අගමැතිධුරය කරු ජයසූරිය මහතාටත් සජිත් ප්‍රේමදාස මහතාටත් පිරිනැමීමට උත්සාහ කළ බවත් ඔවුන් දෙදෙනාම එය යළි යළිත් ප්‍රතික්ෂේප කළ බවත් පාර්ලිමේන්තු වටරවුමේ පැවති රැස්වීම අමතමින් සිරිසේන මහතා කියා සිටියේය. ඔහුගේ අපේක්ෂාව වන්නට ඇත්තේ එජාපය තුළ බල අරගලයක් ජනිතකොට එහි එක් පාර්ශවයක හෝ සහාය 2020 දී ලබා ගැනීමටය. මෛත්‍රී-මහින්ද සන්ධානයක් පිළිබඳව කතා බහක් ජනිත වන්නට ඇත්තේ ජනපතිවරයා මෙලෙස අපේක්ෂා භංගත්වයට පත්ව සිටින සංදර්භයක් තුළය. 

සිරිසේන-වික්‍රමසිංහ පාලනයේ වැරදි අඩුපාඩු නිසා ආණ්ඩුව පිළිබඳව ජනතා කලකිරීම වර්ධනය වෙමින් පැවති බව අවිවාදිතය. එබැවින් 2020දී ජනපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් ජයගැනීමේ සැබෑ හැකියාවක් රාජපක්ෂවරුන්ගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හෙවත් පොහොට්ටු පක්ෂයට විය. එවන් හැකියාවක් තිබියදී පස්ස දොරින් පැමිණ සිරිසේන මහතා යටතේ අගමැතිකමක් ලබාගැනීමට රාජපක්ෂ මහතා කැමති වූයේ ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය සඳහා මිලියන 80ක් පමණ වූ රජයේ මුදල් වැයකිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කිහිප දෙනකුට පවරා ඇති නඩුව ඉවත් කරගැනීමටද? විශේෂ මහාධිකරණයක් ඉදිරියේ දෙසැම්බර් 4 වැනිදා සිට මෙම නඩුව දිනපතා විභාග වීමට නියමිතව තිබේ. පරණ එදිරිවාදිකම් මොහොතකට පසෙකලා සිරිසේන මහතා සමග සන්ධාන ගතවීමට රාජපක්ෂ මහතා පෙළඹවූ හේතුව මෙයද? 

එජාපය අත්හැර මහින්ද රාජපක්ෂ මහතා හා සමග සන්ධානගතවීමට සිරිසේන මහතා ගත් තීරණය ඔහුටම පාරාවළල්ලක් වන ලකුණු මේ වන විට මතුවෙමින් තිබේ. එළඹෙන මහා මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ එක්විය යුතු බවට සිරිසේන පාර්ශවයේ ඉල්ලීම විය. එහෙත් පොදුජන පෙරමුණ වෙනම පක්ෂයක් ලෙස මැතිවරණයට තරග කරන බවට එහි ලේකම්වරයා මැතිවරණ කොමසාරිස්වරයාට දන්වා ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ ලියන මොහොත වන විට මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු නාමික හා ක්‍රියාකාරී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 50කට අධික සංඛ්‍යාවක් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇත.

දැනට තිබෙන තත්ත්වය අනුව ඉදිරි මැතිවරණයත් එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එජාපය අතර ගැටුමක් ලෙස නොව සන්ධානය පොදුජන පෙරමුණ හා එජාපය අතර තුන්කොන් සටනක් බවට පත්වීමට ඉඩ ඇත. එලෙස වුවහොත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශ්‍රීලනිපය/නිදහස් සන්ධානය තෙවැනි තැනට (ඇතැම්විට ජවිපෙටද පහළින් සිව්වන තැනට) වැටීමට ඉඩ තිබේ. එවැනි මැතිවරණ තීන්දුවකින් පසු ශ්‍රීලනිපයත් එහි නායක ජනපතිවරයාත් දේශපාලනයේදී අවලංගු කාසි බවට පත්වනු නිසැකය.

ගතවූ සතියේ කළුතර පැවති සම්මන්ත්‍රණයකදී ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ තම අරමුණ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් ලබාගැනීමට බවය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ හෝ ඊට ආසන්න බලයක් ලබාගැනීමට පොදුජන පෙරමුණ සමත් වුවහොත් දෝෂාභියෝග තර්ජනය තුළින් මෛත්‍රීපාල සිරිසේන මහතා අකර්මන්‍ය කොට ජනපති ධූර කාල සීමාව ඉවත්කරන ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකර 2020 දී තරග කිරීමේ මාවත මහින්ද රාජපක්ෂ මහතාට විවර කරදීමට පොදුජන පෙරමුණට හැකිවනු ඇත.

දෙවන ධුර කාලයක් පිළිබඳව සිරිසේන මහතා තුළ ඇති සිහිනය සැබෑ නොවන බව මේ වනවිට සක්සුදක්සේ පැහැදිලිය. ඒ වෙනුවට ඔහුට අත්වීමට ඉඩ ඇත්තේ කොටි වල්ගය අල්ලාගත් මිනිසාට හිමිවූ ඛේදජනක ඉරණමයි.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් නිසා ලංකාවේ දේශපාලනය පමණක් නොව එහි ආර්ථිකයත් බරපතළ අර්බුදයකට ලක්ව ඇත. උදාහරණයක් වශයෙන් ඔහු ව්‍යවස්ථා විරෝධීව සිදුකළ පාර්ලිමේන්තු විසුරුවා හැරීම නිසා 2019 අයවැය තබා අතුරු අයවැයක් හෝ ඉදිරිපත් කිරීමට ඉඩක් නැත. ඔහුගේ ගැසට්ටුවට අනුව පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත ජනවාරි 19 වැනිදාය. එතෙක් වන පිරිවැය සඳහා ව්‍යවස්ථාවේ ඒකාබද්ධ අරමුදල හරහා මුදල් වැයකිරීමට 150 (3) වගන්තිය යටතේ ජනපතිවරයාට හැකිවුවද ඉදිරි මාස කිහිපයේදී කළ යුතු ණය සේවාවන් සඳහා මුදල් සම්පාදනය කර ගැනීමට ඒ වගන්තිය යටතේ හැකිවේද යන්න අවිනිශ්චිතය.
නැති අර්බුදයක් නිර්මාණය කොට ස්ථාවර රටක් අවිනිශ්චිතභාවයේ නරා වලට ඇද දැමීමට එක් පුද්ගලයකුට හැකිවූයේ අපරිමිත බලයක් එක් පුද්ගලයකුට ලබාදුන් විධායක ජනාධිපති ක්‍රමය නිසා නොවේද?

විධායක ජනාධිපති ධුරය නිර්මාණය කළ ජේ.ආර්. ජයවර්ධන මහතා වරක් කියා සිටියේ පිරිමියකු ගැහැනියක කිරීමත් ගැහැනියක පිරිමියකු කිරීමත් හැර අනෙක් සියලු බලතල විධායක ජනාධිපති ධුරය සතු බවය. අසීමාන්තික බලය මෙන්ම එම බලය රිසි සේ අපයෝජනය කිරීමට අසීමාන්තික හැකියාවක් ලාංකීය විධායක ජනාධිපති ක්‍රමය තුළ අන්තර්ගතවූ බව මින් පැහැදිලි වේ.

2015 ජනපතිවරණයට මුහුණදීම සඳහා නිර්මාණය වූ විපක්ෂ සන්ධානයේ මූලිකම අරමුණක් වූයේ විධායක ජනපති ධුරය අහෝසි කිරීමයි. විධායක ජනපති ධුරය තුළ උපතේදීම අන්තර්ගත වූ මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ඊට අනුබද්ධ කළ අසීමිත බලතල ගණනාවකට සීමා බන්ධන පැනවූ 19 වන සංශෝධනය මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛ බොහෝ දෙනා දුටුවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුවට විකල්පයක් ලෙස නොව ඒ දිශාවට තැබූ පළමු පියවරක් ලෙසය.

එහෙත් 2015 මහා මැතිවරණය වන විට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුව එජාපයේත් ශ්‍රීලනිපයේත් මතකයෙන් හා දේශපාලන වැඩපිළිවෙළින් ඉවත් විය. එදා ඒ පොරොන්දුව වූ විලස ඉටු කළා නම් අද ලංකාව අනවශ්‍ය අර්බුදයක ගිල්වීමට තනි පුද්ගලයකුට නොහැකි වනු ඇත.

2014 අවසන් කාර්තුවේදී ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රය කළ ජනමත අධ්‍යයනයකට අනුව විධායක ජනපති ක්‍රමය අහෝසි කරනවාට විරුද්ධ වූයේ ලාංකිකයන්ගෙන් 29% ක්වූ සුලුතරයක් පමණි. විධායක ජනපති ක්‍රමය අහෝසි කරන පොරොන්දුව මැතිවරණ පරාජයට තුඩුදෙන පොරොන්දුවක් නොවන බව මෙයින් පෙනී යයි. විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වී ජනපතිවරණයත් ජයගත් මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන මහත්වරුනුත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියත් බලයට ආ පසු එම පොරොන්දු අමු අමුවේ උල්ලංඝනය කළේ විධායක ජනපති ධුරය ඡන්ද දායකයන් අතර ජනප්‍රිය නිසා නොව විධායක ජනපති ධුරයට දේශපාලකයන් ලොල්වන නිසාය. කවුරුන් හෝ ජ්‍යොතිෂ්‍යවේදියකුගේ අවිද්‍යාත්මක ප්‍රකාශයක් හෝ ස්වයංවම තම සිත්වල බිහිවුණු බල තණ්හාවක් හෝ නිසා විධායක ජනපති වීමට සිහින මවන දේශපාලකයන් මෙරට ප්‍රධාන පක්ෂ/සන්ධාන තුළ කෙතරම් නම් ඇත්ද?

ඔක්තෝබර් 26 දායින් ආරම්භවී මේ වන විට ඔඩුදුවා ඇති මුලුමනින්ම එක් පුද්ගලයකු විසින් නිර්මිත වත්මන් අර්බුදය තුළින් හෙළිදරව් වනුයේ රටේ ස්ථාවරත්වයටත් ජනතාවගේ යහපතටත් ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මටත් විධායක ජනාධිපති ක්‍රමය ඉවහලක් නොව බාධාවක් බවය.

නිසි කාලයට නොව පාලකයන්ට අවශ්‍ය-අවශ්‍ය වෙලාවට මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. තමන්ට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් නැති නිසා ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසිරුවා මහා මැතිවරණයක් කැඳවීම කිසි ලෙසකින් ප්‍රජාතන්ත්‍රවාදී නොවේ.

1933 ජනවාරියේදී එවකට ජර්මන් ජනාධිපතිවරයා වූ පෝල් ෆොන් හින්ඩන්බර්ග් මහතා සමග ඇතිකරගත් රහසිගත එකඟතාවයන් තුළින් පස්ස දොරින් අගමැති පුටුවට පත් ඇඩොල්ෆ් හිට්ලර්ගේ මුල්ම කටයුත්තක් වූයේ පාර්ලිමේන්තුව කඩිමුඩියේ විසුරුවා හදිසි මහා මැතිවරණයකට යාමය. පාර්ලිමේන්තුව අකර්මන්‍ය කිරීමට පාර්ලිමේන්තුවේ බහුතර බලය භාවිත කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදය වළදැමීමට මැතිවරණ ජයකින් ලැබෙන ජනවරම භාවිතා කිරීමත් ඔහුගේ අරමුණ විය. අරමුණ ඒ අයුරින්ම ඉටු විය.

රාජපක්ෂවරුන් තුනෙන් දෙකේ බලයක් ඉල්ලන්නේ 2015 දී නතරවුණු පවුල්වාදී ඒකාධිකාරී පාලනය යළි ආරම්භ කිරීමටය. තුනෙන් දෙකේ හෝ ඊට ආසන්න බලයක් දිනා ගැනීමට ඔවුන් සමත් වුවහොත් ප්‍රජාතන්ත්‍රවාදී හැවක් තුළ ඒ රාජ්‍ය බලය සොහොයුරාගෙන් සොහොයුරාට හෝ පියාගෙන් පුතාට මාරුවන නොනිල රාජාණ්ඩුවක් නිර්මාණය කිරීමට ඔවුන් කටයුතු කරනු ඇත.

එවන් තත්ත්වයක් තුළ 2015දී මියැදීමෙන් තිබූ ප්‍රජාතන්ත්‍රවාදයට නව පණක් දී 2018 දී දලුලා ලියලමින් තිබූ ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් සිඳලූ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉතිහාසයට එක්වනු ඇත.

 



අදහස් (1)

ඈවරයි! දෑවරයි!! විසුරුවයි!!!

Alex Fernando Thursday, 15 November 2018 10:00 AM

කොලපාට ඇහෙන් බලනකොට මේ රටට හෙන ගැහුවත් කමක්නැහැ අපි කැපුවත් කොළ කියල රට විනාස කරන දේශ පාලුවෝ පස්සේ ආවඩන තිසරණි ල වගේ උන්ට අබ සරණි. රට ජාතියක ප්‍රව්දත්වය නොදන්නා අන්ද ගැණු.

:       424       217

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 262 0

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 413 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 237 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 640 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 761 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2869 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site