IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇතිවන-නැතිවන සන්ධානයේ සමාදානය

අතට අත දී පසුගිය සතියේ සාමදාන වුව ද, එළිපිට සහ රහසේ සිදුවන දේශපාලන පක්ෂ අතර ගැටුම් ක්‍රම ක්‍රමයෙන් දරුණු වෙමින් ඇත.මේ සදහා සභාග රජය යටතේ තවමත් තමන් හදුන්වාදී ගනිමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ සන්ධාන රජයට වඩා හොද උදාහරණයක් සොයාගන්නට නැත.දෙපාර්ශවය අතර පවතින ඇතිවන - නැතිවන ආකාරයේ සම්බන්ධතාවයට පසුගියදා තවත් ප්‍රබල ප්‍රහාරයක් එල්ල විය.එය වූයේ බ්‍රහස්පතින්දා රැයේ ඉහළ දැමුනු ඉන්ධන මිලය.

බොහෝ ශ්‍රී ලංකා ජාතිකයන් මෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන ද මේ බව  දැනගත්තේ උදෑසන අවදිවීමෙන් පසුවය.වහාම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග ඇමතූ ඔහු කඩිනමින් ක්‍රියාත්මක වන පරිදි පැරණි මිලටම තෙල් ලබාදෙන ලෙස නියෝග කළේ ය.විනාඩි කිහිපයක් ගතවීමට මත්තෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කලාප කලමණාකාරවරුන් තම තමන්ගේ ප්‍රදේශයන්හි ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථාන අමතමින් නව මිලට තෙල් ලබානොදෙන්නැයි දැනුම්දුන්නේ ය.ඇතැමුන් එම උපදෙස් පිළිගත් අතර, තවත් අය එය ලිඛිතව අවශ්‍ය බව දැන්වූහ.මේ අතරේම ඒ වන විටත් වැඩි මිලට තෙල් ලබාදුන් අය හට සිදුව තිබුනේ වැඩිපුර ගෙවූ මුදල නැවත ලබාදෙන ලෙසට එසේ තෙල් ලබාගත් පාරිභෝගිකයන් නගමින් සිටි විරෝධයට මුහුණදීමටය.

තීරණයක් ගත නොහැකිව ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඒවායේ දොරටු එදින සවස්වන විට වඩා දැමුවේ ය.ලංකා ඉන්දියා ඔයිල් සමාගම (එල්අයිඕසි) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම සමාගම ඉන්ධන නිකුත් කරනුයේ ඉහළ නැංවූ නව මිල ගණන් යටතේ බවය.ඉන්ධන මිල ඉහළ නැංවීම අරබයා රජයේ මෙම නාඩගම සිකුරාදා උදෑසන විට රටේ ජනතාවගේ දැඩි අප්‍රසාදය ලක්ව තිබින.කෝපයෙන් අදහස් දැක්වූ ඔහුවු රජය විවේචනය කළහ.අවසන, සමාගමේ ලාංඡනය වන ගිනිසිලුව රැගෙන යන මිනිසා පරදවන වේගයකින් සිකුරාදා සවස් වන විට චක්‍රලේඛයක් නිකුත් කළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, මාධ්‍ය වාර්තා කරන අයුරින් නව මිල ගණන් යටතේ තෙල් ලබානොදෙන ලෙස කලාප කලමණාකාරකරුවන්ට දැනුම් දුන්නේ ය.එසේ දැනුම්දීමක් සිදුකැරුනේ, මාධ්‍ය, වෙන කිසිත් නොකර, තොරතුරු වාර්තාකරණයේ පමණක් යෙදී තිබූ වාතාවරණයකය.කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයකු වන වත්මන් ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන්, දග පන්දුවක් යවන ආකාරය ඛනිජ තෙල් සංස්ථාව ද ඉගෙන ගෙන ඇති බවක් පෙනෙන්නට තිබින.

එහෙත් සත්‍ය නම් මින් බොහෝ දුරක තිබෙන්නකි.එය සිකුරාදා රැයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත් කළ නිවේදනයක් හා බැදී ඇත.

“2018 මැයි මස 9 වැනිදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ ඉන්ධන මිල සූත්‍රයක් හදුන්වාදීම සිදුවිය.එම තීරණය අනුව සෑම මාස දෙකකට වරත් ඉන්ධන මිල සංශෝධනය කිරීම සදහා කමිටුවක් පත් කැරින.මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක වන්නේ තුන්වැනි මාසයේ පස්වැනි දිනයේදීය.පසුගිය 5 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කැරුනේ මෙම කමිටුව සතු බලතල ප්‍රකාරවය.“

“මෙම වැඩපිළිවෙල අනුව රටේ ඉන්ධන මිල ලෝක තෙල් මිල අනුව වෙනස්වනු ඇත.ලෝක වෙළදපලේ තෙල් මිල ඉහළ යන විට ඉන්ධන මිල ද එයට සාපේක්ෂව ඉහළ ගිය ද, ලෝක තෙල් මිල පහළ ගිය විට එයට සාපේක්ෂව ඉන්ධන මිල පහළ යාමේ වාසිය ද පාරිභෝගිකයන්ට මේ හරහා හිමිවේ.ඒ අනුව, ඉන්ධන විකුණන ආයතනයන්ට මෙම මිල වෙනස්කිරීම අනුව නිකුත් කැරෙන ඉන්ධනවල මිල තීරණය කිරීමට ද අවස්ථාව ලැබේ.ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල සම්බන්ධයෙන් තීරණයක් එළැඹෙන කැබිනට් රැස්වීමේ දී ගැනෙනු ඇත.“
මෙම නිවේදනය හමුවේ මතුවන වැදගත් ගැටලු කිහිපයකි.මැයි මස 9 වැනිදා අමාත්‍ය මණ්ඩල හමුවේ දී මෙසේ ඉන්ධන මිල සූත්‍රයක් හදුන්වාදීමට තීරණයක් ගැනුනේ නම්, ඒ අනුව ඉන්ධන මිල වෙනස් කිරීමට යන බව සම්බන්ධයෙන් ජනපතිවරයා දැනුම්වත් කිරීමක් සිදුනොවුනේ ඇයිද යන්න එවන් එක් ගැටලුවකි.විශේෂයෙන් එය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිදුවන බව අරබයා ජනපතිවරයා දැනුම්වත් කිරීමක් සිදුව නොතිබීම ගැටලු සහගතය.මෙය සමාජ ජාල ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් තිබූ කාටූනයකින් මනාව නිරූපණය කොට තිබින.ඉන්ධන මිල ඉහළ නැංවීමට, ජනපතිවරයා පස්වරු 10ට නින්දට යන තෙක් සිටියේ මන්දැයි කෙනෙකු විමසනු එම කාටූනයේ සටහන්ව තිබින.

සභාග රජයේ ප්‍රධාන දෙපාර්ශවය අතර සන්නිවේදනයේ ඇති දුර්වලතාවය බ්‍රහස්පතින්දා මැදියම් රැයේ ඉන්ධන මිල වෙනසක් සිදුවන බව ජනපතිවරයා නොදැන සිටීමට ප්‍රධාන හේතුවයි.කෙසේවුවද, ඉන්ධන මිල ඉන්ධන මිල සූත්‍රයන් හා සම්බන්ධ කිරීමට එකගත්වය පළවූ අවස්ථාවේ ඔහු ද එතැන සිටි එක් පාර්ශවයක් බව සත්‍යයකි.එසේ තීරණයක් ගෙන තිබූ හෙයින් මිල සංශෝධනය කැරෙන සෑම අවස්ථාවකම ජනපතිවරයා දැනුම්වත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ඇතැමුන් මතුකළ තර්කය විය.

එසේවුව ද, ජනතාවගේ විවේචනයන් සහ ඔවුන්ගේ කළකිරීම කෙලින්ම පැටවුනේ ඔහුගේ කර මතටය.ක්‍රම ක්‍රමයෙන් නැගෙන පීඩනය ඉවසා සිටීමේ පිළිවෙතක් නොමැති නිසාවෙන්ම එයට අවනත වූ ඔහු පැරණි මිලටම ඉන්ධන ලබාදෙන ලෙසට නියෝග කළේ ය.මෙසේ හදිසියේම ඉන්ධන මිල ඉහළ නැංවීම, ජනපතිවරයා නින්දාවට පත්කිරීමට සහ ඔහුව තවදුරටත් හුදකලා කිරීමට ගත් උත්සාහයක් බව ඇතැම් මෛත්‍රී හිතවතුන්ගේ අදහස විය.ජනපති සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂ නායකත්වය අතර සම්බන්ධතාව දිගින් දිගටම බිද වැටෙමින් පවතින බවට මෙය කදිම නිදසුනකි.

ඉන්ධන මිල ඉහළ යෑමට පෙර සිටම එක්සත් ජාතික පක්ෂයට එරෙහිව දැඩි පියවරක් ගත යුතුව ඇති බවට මෛත්‍රී හිතවත්හු හඩ නගමින් සිටියහ.සත්‍ය ලෙසම හෝ වැරදි වැටහීමකින් හෝ මෛත්‍රී විරෝධී යැයි පසුගිය සමයේ සිදුවූ සිදුවීම් කිහිපයක් අරබයා ඔවුන් අතර ඇතිව තිබූ මතය මෙයට ප්‍රධානම හේතුව විය. එහෙත්, එසේ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ප්‍රතිචාර දක්වනුවස් ජනපතිවරයාගේ අවධානය යොමුව තිබෙන ක්‍රියාමාර්ගයන් අරබයා ඔවුහු කිසිත් නොකීහ.කොළඹ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සමහරකගේ දෙසවන් මත පතිතව තිබෙන ඇතැම් තොරතුරු කිහිපයක් හැරෙන්නට එම ක්‍රියාමාර්ග  සම්බන්ධයෙන් කිසිදු දෙයක් දැනගන්නට නැත.එම රාජ්‍ය තාන්ත්‍රිකයෝ එම තොරතුරු පදනමේ සිට, එසේ එකට එක කිරීමක් සුදුසු නොවන බවට උපදෙස් දී ඇතත්, ඔවුන්ට පෙරළා දැනුම්දෙනු ලැබ තිබෙන්නේ එවැනි කිසිදු උත්සාහයක් නොමැති බවය.මේ සම්බන්ධයෙන් දැනුම්වත් ආරංචිමාර්ගයන්, යම් සැලැස්මක් ක්‍රියාවට නැංවෙමින් තිබෙන බව සදහන් කළේ ය.එහෙත් ඒ පිළිබදව වැඩිදුර තොරතුරු දැක්වීම එම ආරංචි මාර්ගයෝ ප්‍රතික්ෂේප කළහ.“ඉදලා බලන්නකෝ,“ එක් අයෙක් පැවසුවේ ය.කෙසේවුව ද, මොවුන් අතර විවේචකයින් ද වේ.ඉදිරියේ සිදුවන දේ ගැන සෙවණැල්ලක් හෝ දැකගැනීමට හැකියාවක් නොමැති බව එම එක් ආරංචි මාර්ගයක් පවසා සිටියේ ය.එසේවුව ද, දැනට තිබෙන තොරතුරු සැලකිල්ලට ගැනීමේ දී කිව හැක්කේ දැඩි පියවර ගැනීමක් අපේක්ෂාවෙන් සිටිය ද, විවිධ හේතු නිසා එය යථාර්ථයක් බවට පත්වනු නොමැති බවය.

එවන් එක් හේතුවක් වන්නේ දිගින් දිගටම දුර්වල වෙමින් ජනපති සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයයි.මෙම තත්ත්වය වෙනස් කිරීමට විපක්ෂයේ අසුන්ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ මුල් පෙල සාමාජිකයන් දෙදෙනෙකු දැරූ උත්සාහයන් ඵල දැරුවේ නැත.එයින් එකක් වූයේ හිටපු කතානායක තිලංග සුමතිපාල මහතා කැදවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකි.කණ්ඩායමේ අනෙක් කිසිවෙකු හෝ එයට සහභාගී නොවූහ.ඕස්ටේ්‍රලියාවේ සිට පසුගිය සතියේ මෙරටට පැමිණි එස්.බී.දිසානායක මහතා කෙටි පණිවුඩ හරහා 16 දෙනාගේ රැස්වීමක් කැදවීමට පියවර ගත්තේ ය.ඊට සහභාගී වීම සදහා හිටපු ඇමැති චන්දිම වීරක්කොඩි මහතා, ඒකාබද්ධ විපක්ෂයේ නිල නොවන නායකයා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අවසර ඉල්ලා සිටියේ ය.16 දෙනාගේ කණ්ඩායම ද සාමාජිකයන් ලෙස පිළිගන්නා ලෙසට ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් නම්මා ගත්තේ ඉතාම අපහසුවෙන් බවත්, ඒ නිසාම නැවත වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පෙනී සිටීමට යන්නේ නම් එය තමාව ඉතාම අපහසු තත්ත්වයකට පත්කරනු ඇති බවත්, හිටපු ජනපතිවරයා වීරක්කොඩි හමුවේ පැහැදිලි කළේ ය.ඒ අනුව රැස්වීමට සහභාගී නොවී සිටීමට වීරක්කොඩි තීරණය කළේ ය.හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද, දිසානායකගේ ආරාධනය බැහැර කළේ ය.

එස්.බී.දිසානායක, තිලංග සුමතිපාල සහ දයාසිරි ජයසේකර හැරෙන්නට 16 දෙනාගේ කණ්ඩායමේ ඉතිරි 13 දෙන ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොව ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් ලෙස කටයුතු කරනු ඇති බව දැන් පැහැදිලිය.හිටපු ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, විජේරාම පාරේ පිහිටි ඔහුගේ නිවසේ දී පසුගිය සදුදා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමෙන්තු කණ්ඩායමේ රැස්වීමට ද ඔවුහු සහභාගී වූහ.ඒකාබද්ධ විපක්ෂය හා එක් නොවන මෙම කණ්ඩායමේ එක් සාමාජිකයකු, ඒ.එස්.පී.ලියනගේ මහතා යටතේ පිහිටුවා තිබෙන දේශපාලන පක්ෂය තමන් අතට ලබාගැනීමට දැරූ උත්සාහයක් අරබයා පසුගිය සතියේ අවධානයට ලක්විය.දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ නියුතු ඒ.එස්.පී.ලියනගේ මේ වන විට කටයුතු කරමින් සිටින්නේ කටාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසය.පෙර සදහන් කළ සාමාජිකයාට එසේ ඒ.එස්.පී ලියනගේ නායකත්වය දරන දේශපාලන පක්ෂය අත්පත් කරගැනීම සදහා ජනපති සිරිසේනගේ ආශිර්වාදය ද හිමිව ඇති බවක් පැහැදිලිවම කියා සිටීමේ හැකියාවක් නැත. එහෙත් සිරිසේනට එරෙහි කිසිවෙකු සමග හෝ තම පක්ෂය බෙදා ගැනීමේ කිසිදු වුවමනාවක් ලියනගේට නොමැති බව දැනට පැහැදිලිය.අඩුම තරමේ කටාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටින මේ අවස්ථාවේ ඊට වෙනස් දෙයක් ඔහු නොකරනු ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ - එක්සත් ජාතික පක්ෂ ගැටුම නැවත කරළියට පැමිණ තිබෙන්නේ තවත් දේශපාලනමය තත්ත්වයක් හමුවේය.එය නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ බහුතරයක් හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පවතින සම්බන්ධතාවයයි.පසුගිය පාර්ලිමෙන්තු මැතිවරණයෙන් පසු දෙපාර්ශවය අතර ඉතා සමීප සම්බන්ධතාවයක් ඇතිව තිබෙන්නේයැයි බහුතරයකගේ විශ්වාසය බව රහසක් නොවේ.මෙයට ඌණ පූර්ණයක් සපයන්නේ පසුගිය රජය සමයේ සිදුව තිබෙන බවට චෝදනා නැගී ඇති වංචා හා දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ අරබයා එක්සත් ජාතික පක්ෂය අනුගමනය කරමින් සිටින මෘදු පිළිවෙතයි.එය කොතෙක් දුරට ගියේ ද යත්, ජනපති සිරිසේන පවා කැබිනට් රැස්වීම්වල දී එක්සත් ජාතික පක්ෂයට දොස් තැබුවේ ය. එහෙත් මේ වන විට ක්‍රම ක්‍රමයෙන් පළවෙමින් තිබෙන ලකුණුවලට අනුව දෙපාර්ශවය අතර පැවැති එම සම්බන්ධතාවය දැන් අවසානය.

පළමු බෙදීම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම 69වැනි ජන්ම දිනය වෙනුවෙන් නුගේගොඩ පිහිටි තම නිවසේ දී සංවිධානය කර තිබූ සාංඝික දානයක දී සනිටුහන් විය.අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියෝ එම අවස්ථාවේ දී අදහස් දක්වමින්, තවත් හිට්ලර් කෙනෙකු ලෙස හෝ ඉදිරියට පැමිණ රට නැවත ගොඩනංවන ලෙසට ගෝඨාභයගෙන් ඉල්ලා සිටියහ.හමුදා පාලනයක් යටතේ හෝ රට ගොඩනැංවීමට පෙරට පැමිණෙන ලෙස මහා සංඝරත්නය හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බව උන්වහන්සේ පැවසූහ.
මෙම අවස්ථාව වන විට හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නායකත්වය යටතේ වන වෘත්තිකයන්ගේ කණ්ඩායම වන වියත් මග, කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී එම කණ්ඩායමේ වාර්ෂික රැස්වීම පවත්වා ගතව තිබූයේ සති කිහිපයකි.එම රැස්වීමට සැලකිය යුතු පිරිසක් සහභාගීව සිටි අතර, එක්සත් ජාතික පක්ෂ හිතවත් ව්‍යාපාරිකයන් ද ඔවුන් අතර විය.එම රැස්වීම එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති තේමා කොටගෙන සංවිධානය කර තිබුනේයැයි ගෝඨාභය රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින්ගේ උදහසට ලක්විය.තම ආර්ථික ප්‍රතිපත්ති ගෝඨාභය රාජපක්ෂ සොරාගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායකයෝ චෝදනා කළහ.

මෙම තත්ත්වය යටතේම හිට්ලර් සදහන අරබයා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ හිටපු ආරක්ෂක ලේකම්වරයාට දිගින් දිගටම පහර ගැසූහ.එක් අවස්ථාවක දී පක්ෂ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ, හිට්ලර්ගේ සහෝදරයා යැයි මහින්ද රාජපක්ෂව හදුන්වාදුන්නේ ය.එයට ප්‍රතිචාරයක් ලෙස, මහින්ද රාජපක්ෂ පෙරළා වික්‍රමසිංහව හදුන්වාදුන්නේ පොල් පොට්ගේ සහෝදරයා ලෙසය.පොල් පොට් යනු 1975 - 1979 සමයේ කැම්බෝඩියාව පාලනය කළ කැමරූජ් රජයේ දේශපාලන නායකයාය.ඔහුගේ පාලනය යටතේ සාගතයෙන්, ඝාතනයෙන්, රෝගාබාධ වැළදීමෙන්, පමණ ඉක්මවා වැඩ කිරීමෙන් මිය ගිය කැම්බෝඩියා ජාතිකයන් සංඛ්‍යාව ලක්ෂ 15ක් - 20ක් පමණ වේයැයි ගණන් බලා තිබේ.ඔහු යටතේ පවත්වාගෙන ගිය එක්තරා රැදවුම් මධ්‍යස්ථානයක්, එහි රැදවියන් 20,000ක් අතුරින් 7 දෙනෙකු පමණක් දිවි ගලවාගැනීමට සමත්ව තිබීම නිසාවෙන්ම කූප්‍රකටය.එකම සමාජ තලයක් සහිත සමාජවාදී සමාජයක් නිර්මානය කිරීමට කැමරූජ් රජය දැරූ උත්සාහයේ දී, බුද්ධිමතුන්, නාගරිකයන්, වියට්නාම ජාතිකයන්, රජයේ සේවකයන් සහ ආගමික නායකයන්, ඔවුන්ගේ ප්‍රධාන ගොදුරු විය.රාජපක්ෂ සහ වික්‍රමසිංහ අතර වදන් හරඹය ගලා ගියේ එලෙසය.

ගෝඨාභයට එරෙහිව මෙවන් හඩක් නැගෙමින් තිබෙන්නේ ඉදිරි ජනපතිවරණය සදහා ඒකාබද්ධ විපක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස ඔහු ඉදිරිපත්වනු ඇතැයි බහුතරයක් අතර තිබෙන විශ්වාසය නිසාවෙනි.එසේ ඉදිරිපත්වන්නේ නම් තම ඇමරිකා පුරවැසිභාවය අත්හැරීමට ඔහුට සිදුවේ.එය අවම වශයෙන් මාස 3ක් හෝ ඊට වැඩි කාලයක් ගතවන ක්‍රියාවලියකි.

දෙපාර්ශවය අතර බෙදීම තවත් පුලුල් වූයේ වංචා හා දූෂණ සම්බන්ධයෙන් වන චෝදනා විභාග කිරීම සදහා විශේෂ අධිකරණ පිහිටුවීමට රජය පියවර ගැනීමත් සමගය.මේ අතරවාරයේ නිව්යෝරක් ටයිම්ස් පුවත්පතේ පළව තිබූ වාර්තාවකින්, 2015 ජනපතිවරණ ව්‍යාපාරය සදහා චීනයෙන් මුදල් ලබාගත්තේයැයි මහින්ද රාජපක්ෂට චෝදනා නගා තිබින.එම වාර්තාවට අනුව චයිනා හාර්බර් ඉංජිනියරින් සමාගම යටතේ වන ස්ටෑන්ඩර්ඞ් චාටඞ් බැංකුවේ ගිණුමින් ඩොලර් ලක්ෂ 76කට ආසන්න මුදලක් රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය හා සම්බන්ධව සිටියවුන් වෙත ලබා දී ඇත.පුවත්පත එම තොරතුරු ලබාගෙන තිබුනේ ඒ සම්බන්ධයෙන්ම පැවැත්වෙන රජයේ විමර්ෂණයක වාර්තාවක් මාර්ගයෙනි.එම වාර්තාවෙන් චයිනා හාර්බර් සමාගමේ බැංකු ගිණුම් අංකය දක්වා තිබූ අතර, එය එම සමාගමට අයත් ගිණුමක් බව සහතික කරගෙන තිබෙන බව ද සදහන් විය.බුද්ධි තොරතුරු හරහා සහ චෙක්පත් ලබාගත් පුද්ගලයින්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හරහා එය තහවුරු කරගෙන තිබෙන බව ද, එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වින.පහත දැක්වෙන්නේ එම වාර්තාවෙන් ගත් කොටසකි.

“ඡන්ද විමසීම පැවැත්වෙන්නට දින 10කට පෙර, ඩොලර් ලක්ෂ 37ක මුදලක් චෙක්පත් හරහා බෙදා හැරීම සිදුව තිබේ.ප්‍රවර්ධන කටයුතු සදහා ටී ෂර්ට මුද්‍රණය කිරීමට ඩොලර් 678,000ක මුදලක් ද, ආධාරකරුවන් සදහා සාරි සහ වෙනත් ත්‍යාග මිල දී ගැනීමට ඩොලර් 297,000ක මුදලක් ද යොදවා තිබේ.තවත් ඩොලර් 38,000ක මුදලක් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටි ප්‍රසිද්ධ බෞද්ධ භික්ෂුවකට ලබා දී තිබෙන අතර, මුලු වටිනාකම ඩොලර් ලක්ෂ 17ක් වන චෙක්පත් දෙකක්, ඔහුගේ නිල නිවස වූ අරලියගහ මන්දිරය වෙත ගෙනගොස් භාරදීමට මැතිවරණ ව්‍යාපාරයේ ස්වේච්ඡා සාමාජිකයන් කටයුතු කර තිබේ.බහුතරයක් ගෙවීම් සිදුකර තිබෙන්නේ චයිනා හාර්බර් සමාගම යටතේ වන, එච්පීඩීපී පේස් 2 යන ගිණුම යටතේ වන අතර, එච්පීඩීපී යනු හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය හැදින්වීමේ කෙටි යෙදුමකි.“

“ශ්‍රී ලංකාවේ 2015 වසරේ මැතිවරණ සමයේ චයිනා පෝර්ට් කන්ස්ට්‍රක්ෂන් සමාගමෙන් ඉතා විශාල මුදල් ප්‍රමාණයන් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සහ එහි කටයුතු සදහා සෘජුවම ලැබී ඇත.සෑම අවස්ථාවකදීම චීනය හා අත්වැල් බැදගෙන කටයුතු කර තිබෙන රාජපක්ෂ, දකුණු ආසියාව ඉන්දියාවේ ග්‍රහණයෙන් මුදවා ගැනීමට චීනය දරන උත්සාහයේ වැදගත් පාර්ශවකරුවකු ලෙස හදුනාගැනුනෙකි.ගෙවීම් සහ චෙක්පත් නිකුතු සැබෑ ලෙසම සිදුව තිබෙන බව මේ සම්බන්ධයෙන් රජය සිදුකරමින් සිටින, නිව්යෝරක් ටයිම්ස් ද දුටු, විමර්ෂණ වාර්තාවක දැක්වේ.හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනයට ඇත්තේ හුදෙක් ආර්ථිකමය උනන්දුවක් බව චීන නිලධරයන් අවධාරණය කළ ද, බුද්ධිමය සහ මූලෝපායිකමය කරුණු අරබයා වරායේ භූගෝලීය පිහිටීම, ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවල දී සෑම අවස්ථාවකදීම අවධානයට ගැනුනු බව ශ්‍රී ලංකා බලධරයෝ පැවසූහ.“
“ආරම්භයේ දී ව්‍යාපෘතිය සදහා සහනදායී ක්‍රමවේදයක් යටතේ මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට එකගතාවය පළව තිබුණ ද, ඒ සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට සහ තවදුරටත් මුල්‍ය ප්‍රතිපාදන එකුත කිරීමට ශ්‍රී ලංකා බලධරයින් ඉල්ලා සිටීම හමුවේ තත්ත්වය දරුණු විය.ගතවූ වසර කිහිපයේ දී හැකිතාක් දුරකට රටේ ණය ඉවත් කරගැනීමට කුමන හෝ පියවරක් අනුගමනය කිරීමට රජය යොමුව සිටි නිසාවෙන්, කොන්දේසි ලිහිල් කිරීමක සිට වරායේ හිමිකාරීත්වය තමන් වෙත පැවරීමක් දක්වා චීන බලධරයින්ගේ අවධානය යොමුවිය.“

විවිධ දේශපාලන පක්ෂවලට ලැබී තිබෙන චීන ආධාර සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන විශේෂ විමර්ෂණ ඒකකයේ විමර්ෂණයක් 2015 වසරේ මුල් භාගයේ සිට පැවැත්වෙන බව සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවිය.මෙසේ මුදල් ලබාගෙන ඇති බවට මුල්ම වතාවට අනාවරණය කරගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි අංශය වන අතර, පොලිස්පතිවරයා යටතේ වන විශේෂ විමර්ෂණ ඒකකය අනතුරුව එහි විමර්ෂණ කටයුතු එය යටතට ගෙන ඇත.මෙම විමර්ෂණ කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමුනේ හෝ එම කටයුතු මන්දගාමී වූයේ කවර හේතු නිසාදැයි පැහැදිලිවම කිව හැකි තත්ත්වයක් නොමැති අතර, සියල්ල වට කොට තිබෙන්නේ අභිරහසකි.නොනිල ආරංචි මාර්ගයෙන්ගෙන් ලත් තොරතුරුවලට අනුව එසේ විමර්ෂණ කටයුතු නවතා දැමීමට නියෝග කර තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ප්‍රබල නිලධරයෙකි.තවත් නොනිලඅනාවරණයකින් සදහන් කැරුනේ මේ සම්බන්ධයෙන් වන වාර්තාවක් විශේෂ විමර්ෂණ ඒකකය නීතිපති දෙපාර්තමෙන්තුවට යවා ඇති බවය.

මෙම මුදල් ගනුදෙනුව සම්බන්ධයෙන් මීට පෙර තම දෙපාර්තමෙන්තුව විමර්ෂණයක් පවත්වා නොමැති බව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ මුල් පෙළ ආරංචි මාර්ගයක් සදහන් කළේ ය.ඔවුන් දැන් බලා සිටින්නේ නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය අරබයා විමර්ෂණයක් පැවැත්වීමට ලිඛිත නියෝගයක් ලැබෙන තෙක්ය.කෙසේවුව ද, 2015 ජූලි මස 22 වැනිදා ඬේලි නිව්ස් පුවත්පතෙහි, ජනපතිවරණයේ දී සිදුවූ මහා පරිමාණ මුදල් ගනුදෙනුවක් සීඅයිඩීය අනාවරණය කරගනී, මැයෙන් පළව තිබූ පුවතක් අරබයා අදහස් දැක්වීමෙන් මෙම ආරංචි මාර්ගය වැළකී සිටියේ ය.

“අපි ඒ වගේ විමර්ෂණයක් පැවැත්වූයේ නැහැ කියලා විතරයි මට කියන්න පුලුවන්.“ එය සදහන් කළේ ය.එම පුවත්පත් වාර්තාවේ ද, නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව හා සමාන කරුණු සදහන් වන අතර, එසේ නමුත් මුදල් ප්‍රමාණයන් සම්බන්ධයෙන් වන තොරතුරු එකිනෙකට වෙනස්ය.පහත දැක්වෙන්නේ ඬේලි නිව්ස් වාර්තාවෙන් ගත් උපුටනයන් කිහිපයකි.

“හිටපු ජනපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට පසුගිය වසරේ චයිනා හාර්බර් ඉන්ජිනියරින් කම්පැනි සමාගම ලබා දී තිබෙන බව කියන රුපියල් ලක්ෂ 1490ක අති විශාල මුදල් ප්‍රමාණයක් සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විමර්ෂණයක් ආරම්භ කර තිබේ.“

“හිටපු ජනපතිවරයා බලයේ සිටි සමයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයකටම චයිනා හාර්බර් සමාගමේ දායකත්වය හිමිව තිබූ අතර, හම්බන්තොට අන්තර්ජාතික වරාය ද එම ව්‍යාපෘති අතරට අයත්ය.මෙම සමාගම අන්තර්ජාතික මට්ටමේ ඉදිකිරීම් සමාගමක් වන අතර, එය චයිනා කමියුනිකේෂන්ස් කොන්ස්ට්‍රක්ෂන් කම්පැනි ලිමිඩට් සමාගම හා අනුබද්ධය.“

“ස්ටෑන්ඩර්ඞ් චාටඞ් බැංකුවේ මෙම සමාගම සතු 0113359190 19 අංක දරන, එච්ටීපීඩී පේස් 02 යන ගිණුමින් මුදල් ලබාගෙන තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අනාවරණය කරගෙන තිබේ. වී.එච්.ආර්.එච්.ෆ්‍රැන්සිස්කෝ නම් පුද්ගලයෙක් 2014 දෙසැම්බර් මස 12 සහ 2015 ජනවාරි මස 7 යන දිනයන්හි දී, චෙක්පත් 3ක් හරහා රුපියල් ලක්ෂ 890ක මුදලක් මෙම ගිණුමෙන් ලබාගෙන තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තු ආරංචි මාර්ග සදහන් කළේ ය.“

“හිටපු ජනපතිවරයාගේ රුව රැගත් ටී ෂර්ට් 245,000ක් සහ හිස්වැසුම් 25,000ක් නිශ්පාදනය කිරීම සදහා මෙම මුදල, අරලිය ගහ මන්දිරයේ සිට මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ හේමා මාදිවල නම් පුද්ගලයකුට ලබා දී තිබෙන බවට සාක්කි පොලිසිය අනාවරණය කරගෙන තිබේ.“

“රාජපක්ෂගේ රුව රැගත් ටී ෂර්ට්, අත් ඔරලෝසු, පසුගිය ජනපතිවරණ සමයේ දී රට පුරා බෙදා හැරින.“
“මේ අතර, ප්‍රියන්ත සමරසිංහ නම් පුද්ගලයකු මෙම ගිණුමින්ම අවස්ථා 2ක දී රුපියල් ලක්ෂ 580ක මුදලක් ලබාගෙන තිබේ...“

මේ සම්බන්ධයෙන් විමර්ෂණයක් පවත්වා නොමැති බව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව සදහන් කරන නිසාවෙන් මතුවන ගැටලුව වන්නේ එහි නිලධරයෝ පොලිස් විශේෂ විමර්ෂණ ඒකකයේ විමර්ෂණ වාර්තාවේ තොරතුරු සහ නීතිපති දෙපාර්තමෙන්තුවට වාර්තාවක් යොමුකර ඇත්නම් එම වාර්තාවේ තොරතුරු ද, අධ්‍යනය කරනු ඇති ද යන්නය.මෙය වඩාත් අවධානයට ලක්වන්නේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙම විමර්ෂණය පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට භාරකර ඇති බැවින්ය.එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා, නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව ද මෙහි දී සදහන් කළ යුතුය.

“මගේ මැතිවරණ ව්‍යාපාරය හා සම්බන්ධව සිටි අය මුදල් ගත් බවයි, ස්වේච්ඡා සාමාජිකයන් එම මුදල් අරලිය ගහ මන්දිරයට ගෙනවිත් දුන් බවයි, මේ අය කියන්නේ.මම මුදල් ගත්තා කියන්නේ නැහැ.ජීවන බරින් මිරිකිලා ඉන්න ජනතාව දැන් ටික ටික අපේ පැත්තට හැරෙනකොට මේ වගේ දෙයක් ආපු එකෙන්ම කුමන්ත්‍රණයක ලකුණු හොදටම පේනවා.“ නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනපති රාජපක්ෂ අදහස් දැක්වූයේ එළෙසය.

“එක්සත් ජාතික පක්ෂය දැන් වැඩි වැඩියෙන් එල්.ටී.ටී.ඊ ය වෙනුවෙන් පෙනී සිටින බවක් පෙනෙනවා.එක් එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරයෙක්ට, ඩී.එම්.ස්වාමිනාදන්ට වුවමනා වෙලා තියෙනවා ත්‍රස්තවාදීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට දීමනාවක් ගෙවන්න.අඩුම තරමේ දෙමළ සහ මුස්ලිම් සාමාන්‍ය ජනතාවටවත් එහෙම දීමනාවක් මේ වෙනතෙක් ලැබිලා නැහැ.මේක උතුරට නැවත එල්.ටී.ටී.ඊ ය අවශ්‍ය බවට රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයටත් වඩා බරපතලයි.එවැනි දේවලට අපි ඉඩ දෙන්නේ නැහැ.ජාතිය ආරක්ෂා කරන්නට අපේ හමුදාවන් සියල්ල කැප කළා.“ රාජපක්ෂ වැඩිදුරටත් කීවේ ය.

ස්වාමිනාදන් අමාත්‍යවරයාගේ මෙම නිර්දේශය සම්බන්ධයෙන් පසුගිය ජූනි මස 17 වැනිදා සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් සවිස්තර අනාවරණයක් සිදුකැරින.උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ වාර්තාව මත පිහිටා මෙම නිර්දේශය ඉදිරිපත් කැරන බව අමාත්‍යවරයා සදහන් කළ ද, පසුව කොමිසමේ වාර්තාව අධ්‍යනය කිරීමෙන් එය සම්පූර්ණයෙන්ම නොමග යවන සුලු ප්‍රකාශයක් බව අනාවරණය විය.දීමනා දීමක් ගැන සළකා බැලෙන්නේ නම්, එය තනිව සැළකිය නොහැකි බවත්, නැවත පදිංචි කිරීම සහ සංවර්ධන මූලෝපාය යන සියල්ල සමස්ථයක් ලෙස සළකා හදුන්වාදිය යුතු බවත්, කොමිසමේ නිර්දේශයයි.

එක්සත් ජාතික පක්ෂයේ කටයුතු සහ ප්‍රකාශ  නිසා දැනටමත් අපහසුතාවයට පත්ව සිටින උතුරේ දේශපාලඥයින්, පළාත් සභා මැතිවරණය නොපැවැත්වෙන ලකුණු පෙනෙන්නට ඇති නිසාවෙන් කෝපයටත් පත්ව සිටී.පළාත් සභා මැතිවරණය නියමිත පරිදි පැවැත්විය යුතු බව දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී තිබේ.මැතිවරණය පැවැත්වෙන බව අගමැතිවරයා ද පාර්ලිමෙන්තුවට දැනුම්දුන් අතර, නමුත් ඊට පෙර මැතිවරණ ක්‍රමය ආදී පටිපාටිගත ගැටලු විසදාගත යුතුව තිබෙන බව ඔහු කීවේ ය.නමුත් පසුගිය සතියේ මෙම තීරුවෙන් අනාවරණය කළ ආකාරයට මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඇත්තේ බරපතල සැකයකි.

දේශපාලන පක්ෂ අතර ගැටුම් උත්සන්නව තිබෙන්නේ වංචා හා දූෂණ චෝදනා විභාග කිරීම සදහා විශේෂ අධිකරණයක් පිහිටුවීමට රජය පියවර ගෙන තිබෙන අවස්ථාවකය.නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ගයන්ට අනුව එම අධිකරණය ඉදිරියේ විභාගයට ගැනීමට නියමිත පළමු නඩුව වන්නේ දකුණු පළාතේ වරායක් අරබයා මුදල් අවභාවිතා කර ඇතැයි රජයේ නිලධරයින් දෙදෙනෙකුට එරෙහිව නැගී තිබෙන චෝදනාවකි.මුල් පෙලෙහි ලා සැලකෙන අනෙක් සිදුවීම් විභාග කිරීම තවදුරටත් ප්‍රමාද කැරෙනු ඇත.

 එනම්, 2015 වසරේ මැතිවණවලදී වත්මන් රජය ජනතාවට දුන් පොරොන්දු තව දුරටත් වචනවලටම සීමාවනු ඇත.ආර්ථිකය දරුණු අර්බුදයකට මුහුණ දී තිබෙන, නීතිය හා සාමය ඉතාම පැහැදිලි ලෙස විනාශය කරා යමින් තිබෙන, වංචා හා දූෂණ සම්බන්ධ සිදුවීම් දිනෙන් දිනම වැඩිවෙමින් තිබෙන, වාතාවරණයක රජය කටයුතු කරමින් සිටින්නේ මේ සියල්ල නොදකින, නොපෙනෙන, නොඇසෙන, නොදැනෙන ගානටය.ඒ වෙනුවට ඔවුන්ගේ අවධානය යොමුව තිබෙන්නේ ඉදිරියේ සිදුකිරීමට යන දේ පෙන්වා ජනතාවගේ කැමැත්ත දිනාගැනීමටය.ජනතාව විස්සෝපයෙන් සිටින්නේ මේ නිසාමය.ඔවුන්ගේ ඡන්දයෙන් පත්වූ රජයේ හැසිරීම මෙවැනිය.

 

 



අදහස් (0)

ඇතිවන-නැතිවන සන්ධානයේ සමාදානය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 270 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 219 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 63 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 302 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 212 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 263 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site