IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආර්ථිකය වැටිලා නෑ

ලංකා මහ බැංකුව විසින් 2016 වසරේ වාර්ෂික වාර්තාව ප‍්‍රකාශයට පත්කිරීමත් සමග ලංකාවේ ආර්ථිකය පිළිබඳ විශාල මතබේදාත්මක සාකච්ඡාවක් පැනනැඟී ඇත. මෙයට ප‍්‍රධානම දායකත්වය සපයන්නේ ලංකාවේ සිටින ඉතා කීර්තිමත් ආර්ථික විශ්ලේෂකයෙකු වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය මිල්ටන් රාජරත්න විසින් පුවත්පතකට සපයන ලද ලිපියකිනි. එම ලිපිය ලංකාවේ ආර්ථිකය පිළිබඳ ඉතා අග‍්‍රගන්‍ය විශ්ලේෂණයක් වන බවට කිසිදු තර්කයක් නැත.

රටක ආර්ථික වර්ධනය ලෙස හඳුන්වන්නේ රටේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ කාලීන වෙනස් වීමයි. ඒ අනුව 2014 වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය 5.0% ක් ලෙස පැවති අතර 2015 දී 4.8% ක සහ 2016 දී 4.4% ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම දත්තවලට අනුව 2014 වසරේ රු.මි. 8,228,986 ක් වූ අපගේ ද.දේ.නි.ය 2016 වන විට රු.මි. 9,012,026 දක්වා වර්ධනය වී ඇත. එයින් පෙන්නුම් කරන්නේ පවත්නා මිලට අනුව ආර්ථිකයේ වටිනාකම ඉහළ යෑමකි. එහෙත්, 2016 දී ආර්ථික වර්ධනය පෙර වසර සමඟ සැසඳීමේ දී මන්දගාමී වර්ධනයක් වාර්තා වී ඇත. එය රාජරත්නයන්ගේ එක් ප‍්‍රබල විවේචනයකි. ඔහු පෙන්වා දෙන්නේ, 2014 වසරේ ආර්ථික වර්ධනය 5.0% ක් වූ අතර 2016 දී එය 4.4% ක් දක්වා පහත වැටී ඇති බවයි. එමෙන්ම 2014 වසරේ 5.1% ක් වූ දළ ජාතික ආදායම් වර්ධනය 2016 වසරේ දී 4.1% දක්වා පිරිහී ඇති බවද පෙන්වා දී ඇත.

මහ බැංකුව පෙන්වා දෙන පරිදි, 2016 වසරේ දී ආර්ථිකයට 56.5% ක දායකත්වයක් ලැබී ඇත්තේ සේවා අංශයෙන් වන අතර, එහි සාපේක්ෂව වර්ධනය 4.2% කි (2014: 4.8%). කර්මාන්ත අංශයේ ආර්ථික දායකත්වය 26.8% ක මට්ටමක පැවති අතර පෙර වසරට සාපේක්ෂව එහි 6.7% ක (2015: 2.1%, 2014: 4.7%) සැලකිය යුතු වර්ධනයක් වාර්තා වීම විශේෂත්වයකි. කාර්මික අංශයේ වර්ධනයට ඉදිකිරීම් අංශයෙන් කර ඇති දායකත්වය 14.9% ක වීමද කැපී පෙනෙන කරුණකි. 2016 වසරේ දී කෘෂිකාර්මික අංශයේ දායකත්වය සියයට 7.1 ක් (2015: 7.8) දක්වා අඩු වී ඇති අතරම එහි වර්ධනය -4.2 දක්වා පහත වැටී ඇත (2015: 4.8%, 2014: 4.6%). මේ අනුව 2016 වසරේ දී කෘෂිකාර්මික අංශයේ දැකිය හැකි කඩාවැටීම රටේ සංවර්ධන වේගය අඩාල කිරීමට ඍජුවම බලපා ඇති බව පැහැදිලිවේ.

2016 වසරේ දී කෘෂිකාර්මික අංශය පිරිහීමට හේතු වූ කරුණු ගණනාවක් මහ බැංකු වාර්තාවේ පෙන්වා දී ඇත. ඒ අතර දශක හතරකට පසු පැවති දරුණුතම කාලගුණික තත්ත්වයන් සහ ගෝලීය ආර්ථිකයේ කඩාවැටීම් ප‍්‍රධාන වේ. 2016 වසර තුළ ලංකාවේ වී නිෂ්පාදනය 8.3% කින්, තේ 11.0% කින්, රබර් 10.7% කින් සහ පොල් 1.5% කින් පහළ වැටී ඇත. 2016 වසරේ යලකන්නයේ දී පමණක් වී නිෂ්පාදනය 21.9% කින් අඩු වී ඇත. මෙය සමස්තයක් ලෙස රටේ ආර්ථික වර්ධනය අඩාල කිරීමට මෙන්ම උද්ධමනකාරී පරිසරයක් රට තුළ නිර්මාණය කිරීමට හේතු වන්න ඇත.

එහෙත් ගෝලීයකරණය වූ ආර්ථික ව්‍යුහය තුළ එක් රටක් හුදකලා කර එහි ආර්ථිකය නිරපේක්ෂව විශ්ලේෂණය කිරීමට වඩා ඵලදායි වන්නේ සාපේක්ෂ විශ්ලේෂණයකි. එම නිසා ලොව අනෙකුත් රටවල ආර්ථික ගමන් මඟ පිළිබඳව ද සොයා බෑලීම වටී. ඒ සඳහා වඩා සුදුසු තොරතුරු මූලාශ‍්‍රයක් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අ.) මගින් කාලයෙන් කාලයට ප‍්‍රකාශයට පත්කරණ ආර්ථික විශ්ලේෂණය. එලෙස ජා.මූ.අ. මගින් 2016 ඔක්තෝබර් මස නිකුත් කළ උදරකා 2016 ප‍්‍රකාශනයේ ලොව ආර්ථික ගමන් මග පිළිබඳ තොරතුරු බොහොමයක් ඇතුළත් වේ. එහි පෙන්වා දෙන පරිදි 2014 ලෝක ආර්ථිකයේ වටිනාකම ඩොලර් බිලියන 78,042 ක් වූ අතර 2016 වන විට එය ඩොලර් බි. 75,213 ක් දක්වා 3.6% කින් පමණ පහත වැටී ඇත. එමෙන්ම 2014 වසරේ 3.4% ක්ව පැවති ලෝක ආර්ථික වර්ධනය 2016 දී 3.1% දක්වා පහත වැටෙන බව පෙන්වා දී ඇත.

ඒ අනුව මන්දගාමී ආර්ථික වර්ධනය හුදෙක් ලංකාවට සීමාවූ කාරණයක් නොව ලොව පුරාම දැකිය හැකි ප‍්‍රවනතාවක් බව අප පිළිගත යුතුය. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින ආසියාතික රාජ්‍ය සමග සැසැඳීමේ දී එය මැනැවින් පෙන්නුම් කරයි. 2014 (5.0%) - 2016 (4.4%) කාලය අතර ලංකාවේ ආර්ථික වර්ධන වේගය  12.0% කින් පමණ පහළ යනවිට, එම කාලය තුළ චීන ආර්ථික වර්ධන වේගය ද 9.6% කින් පහළ වැටී ඇත. මැලේසියාවේ එය 28.3% කි. ඉන්දියානු ආර්ථික වර්ධන වේගය 2014 (5.3%) සහ 2016 (2.5%) අතර කාලය තුළ 52.8% පහළ බැස ඇත. එම නිසා ලංකාවේ ආර්ථික වර්ධන වේගය පහළ යෑම යහපාලන ආණ්ඩුවේ ප‍්‍රගතිවාර්තාවේ අර්බුදයකට වඩා ලෝක ආර්ථිකයේ ප‍්‍රගතිවාර්තාවේ අර්බුදයක් බව පැහැදිලිවේ.

2016 වසරේ ලංකාවේ ඒක පුද්ගල ආදායම පහළ යෑම පිළිබඳවද රජයට චෝදනා එල්ලවී ඇත. 2014 වසරේ ලංකාවේ සාමාන්‍ය ආදායම එ.ජ.ඩොලර් 3,821 ක් වූ අතර, 2015 දී එය.

එ.ජ.ඩොලර් 3,843 දක්වා වර්ධනය වී තිබුණි. එහෙත් 2016 වසරේ දී ඒකපුද්ගල ආදායම එ.ජ. ඩොලර් 3,835 දක්වා ඩොලර් 8 කින් පමණ පහළ වැටී ඇත. රටේ ඒකපුද්ගල ආදායම ඩොලර්වලින් ප‍්‍රකාශ කළද රටේ සාමාන්‍ය ජනතාවට වැදගත් වන්නේ රුපියල්වලින් තමන්ගේ ආදායමට වූ බලපෑමයි.

 වාර්ෂික වාර්තාවට අනුව 2014 වසරේ දී ලංකාවේ ඒකපුද්ගල ආදායම රු. 503,032 ක් වූ අතර 2015 වසරේ දී එය රු. 522,355 ක් දක්වා වර්ධනය විය. 2016 වසරේදී ඒකපුද්ගල ආදායම රු. 558,363 ක් දක්වා තවදුරටත් රු 36,008 කින් වර්ධනය වී ඇත. එසේ නම් ඩොලර් 8 කින් සාමාන්‍ය ආදායම පහළ ගියේ කෙසේද යන්න සොයා බැලිය යුතුය. 2014 දී එක් ඩොලරයක් සඳහා අප ගෙවන ලද සාමාන්‍ය මිල රු 130.56 කි. එහෙත් 2016 වසර වන විට එය රු.145.60 දක්වා වැඩිවී ඇත. 2016 ඒකපුද්ගල ආදායම, 2014 පැවැති ඩොලරයේ වටිනාකමට ගැළපුවේ නම් එය එ.ජ.ඩොලර් 4,277 කි. ඒ අනුව පෙනීයන්නේ ගැටලූව ඇත්තේ අපගේ සාමාන්‍ය ආදායමේ නොව, රුපියලේ වටිනාකම ක්ෂයවීම තුළ බවයි. අනෙක් අතට 2016 වසර තුළ ලංකාවේ ජනගහනය 1.1% කින් වර්ධනයවීමද ඒකපුද්ගල ආදායමට බලපා ඇත (2014 වසරේ එය 0.9% කි). රටක ඒකපුද්ගල ආදායම පදනම් කරගෙන රටේ සංවර්ධනය තක්සේරු කිරීම පිළිබඳ ද විශාල විවේචන ඇති බවද මතකයට ගැනීම වැදගත්ය. විශේෂයෙන් රටේ සාමාන්‍ය ආදායම වර්ධනය වුවද එම ආදායම බෙදීයෑමේ විෂමතා පැවතීම සංවර්ධනයට අහිතකරය.

වසර 2014 ට සාපේක්ෂව 2016 වසරේදී ආයෝජන අනුපාතය සහ දේශීය ඉතුරුම් අනුපාතය පහළ යෑම පිළිබඳව ද රජයට විවේචන එල්ලවී ඇත. රටේ ආයෝජන අනුපාතය 32.3% (2014) සිට 31.5% (2016) දක්වාත්, දේශීය ඉතුරුම් අනුපාතය 24.2% සිට 23.8% දක්වා පහත බැස ඇත. එහෙත්, 2016 ආර්ථික වර්ධනයට (වියදම් ප‍්‍රවේශය අනුව) වැඩිම දායකත්වයක් ලබාදී ඇත්තේ රටේ ආයෝජනවල ඉහළ යෑම බව පැහැදිලිය. 2013 වසරේ සිට 2016 දක්වා කාලය තුළ පවත්නා මිල මත ද.දේ.නි.යේ වන වෙනසට සාපේක්ෂව ආයෝජන වටිනාකම සහ දේශීය ඉතුරුම් වෙනස්ව ඇත.

ඒ අනුව, 2016 වසරේ ද.දේ.නි. 8.1% කින් වර්ධනය වනවිට ආයෝජන 19.6% කින් සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත. එමෙන්ම, දේශීය ඉතුරුම් ද සැලකිය යුතු ලෙස 23.2% කින් ඉහළ නංවාගැනීමට රජයට හැකිවී ඇත. එයින් ගම්‍ය වන්නේ 2014 ට සාපේක්ෂව 2016 දී ආයෝජන සහ දේශීය ඉතුරුම් අනුපාතය පහළ යෑමට හේතුව 2016 වසරේ ආර්ථික ගැටලූවක් නොව 2015 වසරේ දී ආයෝජන සහ ඉතුරුම්වල පහළ යෑමයි.

භාණ්ඩ සහ සේවාවල මිල මට්ටම් ඉහළ යෑම පිළිබඳව ද රජයට විවේචන එල්ලවී ඇත. 2014 වසරේ දී 2.1% උද්ධමනය 2016 වනවිට 4.1% දක්වා වැඩිවී ඇත. 2016 වසරේ ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල උද්ධමනය 3.1% ක් වූ අතර, චීනයේ 2.1% ක, සහ ඉන්දියාව 5.5% ක උද්ධමනයක් වාර්තා විය. මෙලෙස උද්ධමනය ඉහළ යෑමට බලපෑ ප‍්‍රධාන කරුණ දක්වන්නේ රටේ මුදල් සැපයුම විශාල ලෙස පුළුල්වීම සහ රුපියල පිරිහීමයි. 2014 වසර අවසානයේ අප එක ඩොලරයක් වෙනුවෙන් රු 131.05 ක් ගෙවා තිබූ අතර 2016 අවසන දී එය රු: 149.80 ක් දක්වා ඉහළ යන ලදි. වර්තමානයේ රට තුළ සැපයුමේ විශාල පහළ යෑමක් ඇතිවීමට මූලික වශයෙන් හේතුවී ඇත්තේ අපේක්ෂා කළ පරිදි ඍජු විදේශීය ආයෝජන රටට නොපැමිණීමත්, ඉතා ඉහළ ණය සේවාකරණයත්, අපනයන වෙළෙඳපොළේ පහළ යෑමත්  වැනි කරුණුය. එමෙන්ම, ඇමෙරිකානු රජය තම මුදල් ප‍්‍රතිපත්තිය ක‍්‍රමයෙන් දැඩි කිරීමත්, වසර තුළ දී ලංකාවේ රාජ්‍ය සුරැුකුම්පත් වෙළඳපොළ වෙතින් විදේශීය ආයෝජන ඉවත් කර ගැනීම වැනි කරුණු ද මෙම තත්ත්වය වඩා තීව‍්‍ර කිරීමට හේතුවිය. මහ බැංකුවේ මූල්‍ය වෙළෙඳපොළට මැදිහත්වීම සීමා කිරීම තුළින් විනිමය අනුපාතිකය වැඩි වශයෙන් වෙළඳපොළ තත්ත්වය අනුව හැඩගැසීමට ඉඩ සලසනු ලැබීම හේතුවෙන් ද ඩොලරයේ මිල ඉහළ යෑම වේගවත් විය.

2014 දී ඍජු විදේශීය ආයෝජන වටිනාකම ඩොලර් මිලියන 1,528 ක් වූ අතර 2016 දී එය ඩො.මි. 801 දක්වා පහත වැටී ඇත. රජය අපේක්ෂා කළ ඍජු විදේශීය ආයෝජන රටට ආකර්ෂණය කරගැනීමට නොහැකි වූ කරණු අතර රාජ්‍ය ප‍්‍රතිපත්තිවල අස්ථාවර බව සහ රට තුළ නිර්මාණය වූ වෘත්තීය සමිති අරගල ප‍්‍රධාන වේ. 2014 වසරේ දී පෞද්ගලික වැඩ වර්ජන හේතුවෙන් මිනිස් දින 37,323 ක් අහිමි වූ අතර 2016 වසරේ එය මිනිස් දින 104,327 ක් දක්වා වර්ධනය වී තිබුණි. මෙය නව ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමට විශාල බාධාවක් වන බව රජය තේරුම්ගත යුතුය.

ඉහළ විදේශීය ණය සේවාකරණ වගකීම් ද රුපියල ක්ෂයවීමට හේතුවේ. මහ බැංකු වාර්තාවට අනුව, 2014 වසර අවසන් වනවිට රජය ගෙවිය යුතු සමස්ත ණය ප‍්‍රමාණය රු.බි. 7,391 ක් (විදේශීය ණය රු.බි. 3,113 ක් සහ දේශීය ණය රු.බි. 4,278 ක්) වූ අතර 2016 අවසන් වන විට එම ණය ශේෂය රු.බි. 9,387 ක් (විදේශීය ණය රු.බි. 4,046 ක් සහ දේශීය ණය රු.බි. 5,341 ක්) දක්වා 27% කින් පමණ වැඩිවී තිබුණි. ඒ අනුව 2014-2016 අතර ණය සේවාකරණ අනුපාතය (අපනයන ආදායමේ % ලෙස) 20.8% සිට 25.0% දක්වා ද, රජයේ සමස්ත ණය (ද.දේ.නි. % ලෙස) 71.3% සිට 79.3% දක්වා ද, විදේශ ණය (ද.දේ.නි. % ලෙස) 30.0% සිට 34.2% දක්වාද වැඩිවී ඇති බව යහපාලන රජයට ඇති තවත් චෝදනාවකි.

2017 වසරේ අවසන් මාස නමය (අපේ‍්‍රල්-දෙසැම්බර්) තුළ රජ්‍ය දේශීය මුදලින් කළයුතු ණය සේවාකරණ ගෙවීම් රු.මි. 490,159 ක් (ප‍්‍රාග්ධනය රු.මි. 225,785 ක් සහ පොලිය රු.මි. 264,373 ක්) වන අතර විදේශ මුදලින් කළ යුතු ණය සේවාකරණ ගෙවීම් ඩොලර් මි. 2,950 ක් (ප‍්‍රාග්ධනය ඩො.මි. 2,081 ක් සහ පොලිය ඩො.මි. 868 ක්) පමණ වන බව ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව ණය සේවාකරණයට මාසිකව රු.මි. 76,500 ක් පමණ අවශ්‍ය වේ. එයින් අඩකට ආසන්න මුදලක් ඩොලර්වලින් සොයාගත යුතුය. ඒ සඳහා රජයට නැවත ණය ගැනීමට වීම හේතුවෙන් කුමණ ආණ්ඩුව බලයට පැමිණිය ද ණය සම්බන්ධ ආර්ථික දර්ශක යහපත් කරගැනීම අපහසු කරුණක් වනු ඇත.

සමස්තයක් ලෙස ගත්විට, මහාචාර්ය මිල්ටන් රාජරත්න තම ලිපිය මගින් රටේ ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට නව දෘෂ්ඨි කෝණයකින් ආර්ථිකය දෙස බලන්න විශාල පෙළඹවීමක් කර ඇති බව දැකිය හැකිය. එහෙත් ලෝක ප‍්‍රවණතාව නොසලකා හැර ලංකාව පිළිබඳ නිරපේක්ෂ විශ්ලේෂණය කිරීම තුළ එහි යම් අඩුපාඩුවක් සිදුවී ඇති බව මගේ විශ්වාසයයි. එමෙන්ම ලිපියේ දැක්වෙන පරිදි 2014 ට සාපේක්ෂව 2016 දී ආර්ථික පැතිකඩ ගණනාවක පහළයෑම් දැකිය හැකි වුවත්, 2015 ට සාපේක්ෂව 2016 දී සැලකිය යුතු වර්ධනයන් ආර්ථිකයේ දැකිය හැකිවේ. එමනිසා මහාචාර්ය රාජරත්නගේ ලිපිය 2015 වසරේ ලියැවුණි නම් රජය අතිශය අපහසුතාවකට පත්වනු නියතය.



අදහස් (8)

ආර්ථිකය වැටිලා නෑ

shan saudi Wednesday, 07 June 2017 04:54 AM

එක ඇත්ත ආර්ථිකය වැටිලා නෑ. වැටිලා තියෙන්නේ ජනතාවනේ. දැන් ජනතාව කබලෙන් ලිපට වැටිලා. තව ටික දවසක් යනකොට ලිපෙන් තව කොහාට වැටෙයිද දන්නේ නැ. හැබැයි ආර්ථිකය වැටිලා නෑ, නැත්නම් ඇමතිලාට වාහන ගන්න සල්ලි කොහෙන්ද ආණ්ඩුව ලබා දෙන්නේ. ඔය අපුරුවට මුදල් වෙන්කරලා තියෙන්නේ පසුගිය කලෙත් ආර්ථිකය වැටිලා නෑනේ ලෝක ආධාර ලබාගත්ත නිසා වූනේ රට ලෝකෙට ණය වුනා. ණය ගත්ත අය ගොඩ ගියා ජනතාව වලපල්ලට ගියා එච්චරයි

:       1       117

Bandula Wednesday, 07 June 2017 05:41 AM

පුළුවන් තරම් බදු වැඩි කරන්න. එතකොට මල් හතට ආර්ථිකේ වර්ධනය වෙයි .

:       1       15

sam Wednesday, 07 June 2017 07:17 AM

පැදුරේ නිදියන මිනිහා බිමට වැටෙන්නේ නැහැ කිව්වා වාගේ තමයි .

:       0       40

ලකියා Wednesday, 07 June 2017 07:55 AM

නිර්ලජ්ජිත ආකාරයෙන් රජය පසුපස යාම සඳහා කියපු දෙයක් වගෙයි පේන්නේ... පදනමක් නොමැති තර්ක හා උදාහරණ සපයමින් නොගැලපෙන්නා වූ නිදර්ශක යොදා ගනිමින් කල දෙයකි.

:       0       76

ධර්මප්‍රිය Wednesday, 07 June 2017 02:10 PM

කොයික ද ඇත්ත? කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු කියන්නේ? මේක 2015 ජනාධිපතිවරණයට කලින් හොඳටම දැකපු එකක්. ලෝක ආර්ථිකය පසුබාපු අවධියක් තමයි, 2015 ට කලිනුත් තිබුණේ. ලෝකයේ බැංකු බංකොලොත් වුණා. ඇමරිකාවේ ලක්ෂ ගණන් රැකියාවලින් ඉවතට දැම්මා. නමුත් අපට එහෙම බයක් ඇති කළේ නැහැ ඒ කාලේ. හරි නේද?

:       0       124

Senarath Thursday, 08 June 2017 04:21 AM

පසුගිය රජය කාලේදී මෙයට වඩා උග්‍ර ලෝක ආර්ථික අර්බුද තියෙද්දිත් අපේ රට යම් සංවර්ධනයක් කරා ගෙන ගියා. එයට අමතරව යුද්ධයක් රටේ තිබුණා. සුනාමියෙන් මුළු මුහුදුකරයම විනාශවෙලා තිබුණේ... උතුරු පළාතට නොමිලේ ආහාර බෙදාදීමට සහ යටිතල පහසුකම් දීමට කොපමණ වියදමක් දැරුවද? මේ ආණ්ඩුවට තියෙන්නේ පළිගැනීමේ වැඩසටහනක් පමණි. මේ රජය ගැන කිසිම ආයෝජකයෙක් විශ්වාස කරන්නේ නැහැ. මේ රජය බටහිරයන්ගේ රූකඩයක් විතරයි. රටේ වී අතිරික්තයක් තියෙනවා කියලා වී ගොවිතැන අඩුකරන්න ඕනේ... කියන නායකයෝනේ ඉන්නේ...

:       0       15

thilina Thursday, 08 June 2017 05:45 AM

ඇත්ත පෙනී පෙනී මේ ආකාරයට රජයට කඩේ යන්න එපා.. ඒක පුද්ගල අදායම ඩොලර් වලින් අඩු වුනාට රුපියල් වලින් වැඩි වෙලාලු.. රුපියල තවත් බාල්දු කලානම් ඩොලර් වලින් කොච්චර අඩු වුනත් රුපියල් වලින් වැඩි වෙනවනේ.. ලැජ්ජයි මහත්තයෝ..

:       0       5

rocky Friday, 09 June 2017 02:27 AM

වැටිලා නැහැ කියන්නේ කොහොමද? මටත් ඊයේ රුපියල් 20 ක් අහුලාගන්න ලැබුණා.. පාරේ තිබිල!

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 65 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 128 0

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 329 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 46 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 489 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 270 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site