IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ආර්ථිකය අවුලෙන් අවුලට

වර්තමානයේ රටතුළ දේශපාලන අර්බුදයකි. එය කාලයක් තිස්සේ යටපත්ව තිබුණකි. යහපාලනයට එක්වූ පක්ෂ දෙක එදා පටන්ම නියමාකාරයෙන් ගමන් කරනු පෙනෙන්නට තිබුණේ නැත. නිරන්තරයෙන්ම ප්‍රතිපත්ති වෙනස්වන තත්ත්වයක් තිබුණි. ඒ කෙසේ වුවත් මේ අර්බුදකාරී තත්ත්වය මතුවන්නේ ඉතාමත් නරක ආර්ථික වාතාවරණයක ය. දේශීය ආර්ථිකය කඩා වැටුණු ස්වරූපයක් පෙන්නුම් කරමින් තිබේ. විශේෂයෙන්ම ප්‍රතිපත්තිමය ගැටලු හේතුවෙන් ආර්ථිකයේ පහළ වැටීම් දක්නට තිබුණි. බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ආර්ථිකයට වූ බලපෑම තවත් පැත්තකින් පෙන්නුම් කළේය. ස්වභාවික විපත්වලින් ආර්ථිකයට වූ බලපෑමද ප්‍රමුඛය. මේ සියල්ලේ ප්‍රතිඵලයක් වශයෙන් දේශීය ආර්ථිකය පවතින්නේ අසීරු අඩියකය.

මෙයට සමගාමීව ලෝක ආර්ථිකයත් අර්බුදකාරී තත්ත්වයක් පෙන්නුම් කළේය. එහි බලපෑම ලංකාවට දැනුණි. විශේෂයෙන්ම ඛනිජ තෙල්මිල ඉහළ යාම බරපතළ ආර්ථික කාරණයකි. මේ වනවිට ලෝක තෙල්මිල යම් තරමකට පහළ යමින් පැවතිය ද ඩොලරය ශක්තිමත්වීම සහ රුපියලේ අගය පිරිහීම එම වාසිය රටට අහිමි කර තිබේ. කැකෑරෙමින් තිබූ දේශපාලන අර්බුදය පුපුරා යන්නේ මෙවන් පසුබිමකය.

වසර 2018 සහ 2022 කාල සීමාවේදී ලංකාව ගෙවියයුතු ණය ප්‍රමාණය සාමාන්‍ය ගණනය කිරීම අනුව වාර්ෂිකව ඩොලර් බිලියන 3.9 කි. එය රටට අහිතකර වාතාවරණයකි. දේශපාලන අර්බුදයක් රටේ ගොඩනැගෙන්නේ මෙවන් අසීරු පසුබිමකය. එනිසා මතුපිටින් දකින අර්බුදයකට වඩා බෙහෙවින්ම ගැඹුරු අර්බුදයකට රට තල්ලුවී ඇති බව අමතක නොකළ යුතුය.

මේ දේශපාලන අර්බුදය හේතුවෙන් ඊට පෙර පටන් යම්තාක් දුරකට පැවැති දේශපාලන අස්ථාවරත්වයත් ආර්ථීක ප්‍රතිපත්තියේ අස්ථාවරත්වයක් වඩා නරක අතකට යොමුව තිබේ. මේ නිසා කෙටිකාලීනව මෙන්ම දිගුකාලීනව ඇතිවන බලපෑම බෙහෙවින්ම අහිතකරය. විදේශ ආයෝජකයන් කොටස් වෙළෙඳ පොළේ කරතිබූ ආයෝජනවලින් බිලියන අටකට දහයකට ආසන්න ගණනක් රටෙන් බැහැරවී තිබේ. එය මේ දේශපාලන අර්බුදයේ කෙටිකාලීන ප්‍රතිඵලයකි. ඒ වගේම ඩොලරයට සාප්ක්ෂව රුපියලේ අගය රුපියල් 176 ක් දක්වා මේ වනවිට අවප්‍රමාණයවී තිබේ. ඇතැම්විට මෙයට බලපෑවේ දේශපාලනමය කරුණු නොවන්නටම පුළුවන. එහෙත් අවම අවධානයක් හෝ මේ සම්බන්ධයෙන් යොමු කිරීමේ හැකියාවක් තිබුණා නම් යම් ආකාරයකට මෙවන් තත්ත්වයක් ඇතිවීම වළකා ගැනීමේ ඉඩ තිබුණි.

දේශීය හා විදේශීය ආයෝජකයන් පවත්නා වාතාවරණය යටතේ ආයෝජන සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගන්නා ස්වභාවයක් දක්නට තිබේ. ඒ වගේම රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති අඩාලවීමක් මේ කාලසීමාවේදී සිදුව තිබේ. විශේෂයෙන්ම මේ ව්‍යාපෘතිවලට නායකත්වය දීමක් සිදු වන්නේ නැත. ඇතැම් ව්‍යාපෘති අතරමඟ නැවතිලාය. ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ආදී ව්‍යාපෘති නතරවී ඇති බවට වාර්තා පළවී තිබුණි. පසුගිය අයවැයෙන් මුදල් වෙන්කළ මෙවන් ව්‍යාපෘති අතරමඟ නතර කිරීමෙන් ඒවාට මේ දක්වා වියදම් කළ මුදල්වලට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැත. ඒ වගේම මේ යටතේ ආරම්භ කළ යම් යම් කටයුතු අතරමඟ කඩා වැටීමද වැළැක්විය නොහැක. අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ අනෙක් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ද වෙනස් වෙලාය. මේ පසුබිම යටතේ රාජ්‍ය අංශයේ ආර්ථික කටයුතු විශාල වශයෙන් කඩා වැටීමකට ලක්ව තිබේ. මෙය රට ඉදිරියට ගෙනයාමට දැඩි බාධාකාරී තත්ත්වයක් නිර්මාණය කරන බව පැහැදිලිය. දත්ත මගින් තවමත් ප්‍රකාශ නොවුණද ආර්ථිකයේ එක්තරා ආකාරයකට මන්දගාමී ස්වරූපයක් බැලූ බැල්මට දැකගත හැකිය. තවත් කාලයක් මේ මන්දගාමීබව පැවැතුනහොත් එය ඉදිරියේ ආර්ථිකය තවත් අඩාල කිරීමට හේතුවකි.

දේශපාලන පෙරැළියෙන් පසුව පත්වූ ආණ්ඩුව සහන පැකේජයක්ද හඳුන්වා දුන්නේය. මේ යටතේ ඇතැම් භාණ්‍ඩ මිල ගණන් පහළ දැමීම් සිදුවුණි. ඒ වගේම යම් යම් බදු පහළ දැමීමට ද කටයුතු කළේය. මේවා කළේ ක්ෂණිකවය. එහෙත් මේවා සම්බන්ධයෙන්ද ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. ලෝක වෙළෙඳ පොළේ ඛනිජ තෙල් මිල අඩුවීමේ වාසිය ලබාදිය යුතුව තිබුණි. එය පසෙකින් තබා අනෙක් මිල, බදු අඩුකිරීම් බැලූ බැල්මට හොඳ පියවරකි. එහෙත් මේ හරහා අයවැය හිඟයට සහ රජයේ ආදායමට කරන බලපෑම හේතුවෙන් අයවැය හිඟය පියවීමට තවත් ණය ගැනීමකට යොමු වන්නට ඉඩ තිබේ. පෙනෙන ආකාරයට මේ සහනදී තිබෙන්නේ දුරදිග බලා නොවේ. කෙටිකාලීනව යමක් කළ යුතුය යන හැඟීම සහ නව ආණ්‍ඩුවට යමක් කළ හැකිය යන අදහස ජනතාව අතරට ගෙනයාම මේවායේ අරමුණ බව පැහැදිලිය. එහෙත් මේ පියවරේ අනිසි ප්‍රතිවිපාක ගණනාවක් තිබෙන්නට පුළුවන.

අයවැය හිඟයට මේවායෙන් බලපෑමක් නොවන බව ආණ්‍ඩුවේ අදහසය. ඒ වගේම ප්‍රාග්ධන වියදම් නැවත සලකා බලන බව ද කියා තිබේ. එහි අදහස ප්‍රාග්ධන වියදම් කපා හැරීමක් විය හැකිය. එවන් පියවරක් ආර්ථිකයට දැඩි බලපෑමක් කරන්නට පුළුවන. වර්තන වියදම් වැඩි කිරීමට ප්‍රාග්ධන වියදම් කපා හැරීම හොඳ ආර්ථික කළමනාකරණයක ලක්ෂණයක් නොවේ. මේ අනුව බලනවිට දේශපාලන අර්බුදය ඇතිවූ කාලසීමාවේදී ජනිත වූ තත්ත්වය කෙටිකාලීව ආර්ථිකයට දැනෙන බලපෑමක් කර තිබේ. ඒවාගේම එයින් ඇතිවූ යම් යම් තත්ත්ව පවතින ආර්ථික අර්බුදය අනාගතයේදී තව තවත් තීව්‍ර කිරීමට බලපාන්නට වැඩි ඉඩකඩක් තිබේ.

මේ අර්බුදය නිර්මාණය වීමට පෙර ආසියානු සංවර්ධන බැංකුව ලංකාව සම්බන්ධයෙන් පුරෝකථනයක් කර තිබුණි. ලංකාවේ ආර්ථික වර්ධන වේගය පහත හෙළීමක් එයින් කළේය. වසර 2018 සඳහා සියයට 4.2 ක ආර්ථික වර්ධනයක් මුලින් ප්‍රකාශයට පත්කර තිබුණද පසුව එය සියයට 3.8 දක්වා පහළ දැම්මේය. ඒ පසුගිය සැප්තැම්බරයේදීය. 2019 වසර සඳහා සියයට 4.8 ආර්ථික වර්ධනයක් මුලින් පුරෝකථනය කර තිබුණද පසුව එය සියයට 4.5 ක් දක්වා අඩු කළේය. ආර්ථික කාර්යසාධනය යහපත් නොවන බව දේශපාලන අර්බුදයට පෙර සිටම පෙන්නුම් කළේය. මෙයින් ගම්‍ය වන්නේ දේශපාලන අර්බුදයත් සමඟ පුරෝකථනය කර ඇති ආර්ථික වර්ධනය පවා තවත් පහළ යාමට ඉඩකඩ ඕනෑවටත් වඩා තිබෙන බවය. කුමන ආණ්‍ඩුවක් පැවතියත් ඉදිරි වසර දෙක තුනක කාලයේදී ආර්ථිකමය වශයෙන් ජනතාවට ඉතාමන්ම අමාරු කාලයක් උදාවීමට අවකාශ පවතින බව මෙයින් පෙන්නුම් කරන්නකි. රැකියා වියුක්තිය වැඩි විය හැකිය. උද්ධමනය ඉහළ අගයක් ගන්නට පුළුවන.

කුමන පක්ෂයක් බලයට පැමිණියත් අය වැයට නරක ප්‍රතිඵල උදාකිරීමට ඇති ඉඩකඩ වැඩිය. පළාත් සභා, මහ මැතිවරණය, ජනාධිපතිවරණය ඉදිරි වසර දෙකක පමණ කාලයේදී පැවැත්විය යුතුව තිබේ. මේ නිසා කුමන පක්ෂයක් බලය හෙබවූවත් ජනතාවට විවිධාකර සහන ලබාදෙන ආකාරයේ වැඩ සටහන් දියත් කරන්නට පුළුවන. මේ හරහා නිර්මාණය වන්නේ රටේ ණය බර තවදුරටත් වැඩිවන තත්ත්වයකි. ඉදිරිපත්ව ඇති සංඛ්‍යා දත්ත අනුව රජයේ වියදම ආදායම මෙන් දෙගුණයකි. මේ අඩුව පියවීමට ණය ගැනීමට අනිවාර්යයෙන්ම සිදුවනු ඇත. එලෙස තවදුරටත් රට ණය කිරීම හරහා ජනතාව තමන් වෙත දිනා ගැනීමට දේශපාලන පක්ෂ යොමුවනු ඇත. දේශපාලනඥයන් රට ණය කරවීම හරහා ජනතාව සිහින ලෝකවලට ගෙනයාම භයානක ප්‍රතිඵල අත්කර දෙන බව මහ බැංකු අධිපතිවරයා පවා ප්‍රකාශ කර තිබුණි. මේවා සුළුකොට තැකිය යුතු කාරණා නොවේ.

යෝධ සංවර්ධන ව්‍යාපෘති කොතරම් දුරට ඵලදායිද යන්න ගැන සැලකිල්ලකින් තොරව ක්‍රියාත්මක කිරීමෙන් දින් දිගටම රට ණයවන තත්ත්වයක් පසුගිය කාලයේදී නිර්මාණයවී තිබේ. එනිසා මුහුණදීමට සිදුවන අර්බුදය බෙහෙවින්ම බරපතළ ස්වරූපයක් ගන්නා ලකුණු පහළවී තිබේ.

දේශීය හා විදේශීය ආයෝජකයන් මේ මොහොතේ අනුගමනය කරන්නේ ආයෝජන තීරණ ගැනීමෙන් වැළකීමේ ප්‍රතිපත්තියකි. දේශපාලන අර්බුදය කුමන දිශාවකට කැරකේවිද යන අවිනිශ්චිතතාව මත මේ තත්ත්වය උග්‍රවීමටත් ඉඩ තිබේ. වගකිවයුතු අංශ ගන්නා තීන්දු තීරණ මත දේශපාලන අර්බුදය දිග්ගැස්සුනහොත් එයින් ජනිතවන නරක ප්‍රතිඵල ආර්ථිකයට කරන්නේ සුබවාදී බලපෑමක් නොවේ. ඒ සමඟම ජාත්‍යන්තර සමාජය මේ අවස්ථාවේ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් දරන මතය ද ලංකාවට අතිශය වැදගත්ය. ලංකාවේ ඉදිරි ආර්ථිකය තීරණය කරන ප්‍රධාන සාධකයක් වන්නේද එයයි. මේ අර්බුදය ජාත්‍යන්තරය දකින්නේ එක්තරා ආකාරයකට ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයක් වශයෙනි. මේනිසා ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව ආදී ආයතන පවා ලංකාව කෙරෙහි ආකල්පය වෙනස් කර ගැනීමට ඉඩ තිබේ. බටහිර රටවල් යම් යම් කොන්දේසි යටතේ ලංකාවට සහන ලබාදී තිබේ. ජී.එස්.පී. ප්ලස් එයට උදාහරණයකි. දේශපාලන අර්බුදයෙන් ජය ගන්නා පාර්ශ්වය අනුව මේ සහන මත යම් යම් අහිතකර බලපෑම් කිරීමට ඉඩ කඩ ඇති බව ද අමතක නොකළ යුතුය. ජී.එස්.පී. ප්ලස් යළි සලකා බැලීමකට, වෙනත් මූල්‍ය ආයතන හා සංවිධාන යෝජනා කර ඇති සංවර්ධන ව්‍යාපෘති අතරමඟ නවතා දැමීමට හෝ ආරම්භ නොකරන්නට පුළුවන. දේශපාලන අර්බුදයේ අවසන් ප්‍රතිඵලය කුමක්දැයි අපි නොදනිමු. එහෙත් එම අවසන් ප්‍රතිඵලය මත ජාත්‍යන්තර ප්‍රජාව කරනු ලබන බලපෑමද කුමන ස්වරූපයක් ගනීවිදැයි නිශ්චිතව කිව නොහැක.
කෙසේවුවත් ලංකාව කුඩා ආර්ථිකයකි. එනිසා එයට කරන සුළු බලපෑමක් පවා ආර්ථිකයේ දැඩි කම්පනයක් ඇති කරන්නට පුළුවන. වි​ෙද්ශ ආයෝජකයන්, සංචාරකයන්, ජාත්‍යන්තර සංවිධාන, විශේෂයෙන්ම ණය දෙන ආයතන හරහා කළ හැකි බලපෑම සුළුපටු නොවේ. දේශපාලන අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙරට ආර්ථිකය එවන් ඉරණමකට මුහුණ දෙන්නේ නම් එය බෙහෙවින්ම කනගාටුදායකය.

මේ පසුබිම යටතේ අපේක්ෂිත ඉලක්ක කරා ආර්ථීකය මෙහෙයවීමේ අපහසු තත්ත්වයක් නිර්මාණයවී තිබේ. ණය ගෙවීමට නොහැකි පසුබිමක් නිර්මාණයට ඇති ඉඩකඩ බෙහෙවින්ම වැඩිය. ආර්ථික වර්ධනය අඩාල වීමෙන් බරපතළ ප්‍රශ්න රාශියක් නිර්මාණය වන බව ද අමතක නොකළ යුතුය. ආදායම් ඉහළ යන්නේ බෙහෙවින්ම මන්දගාමීවය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනතාව ආර්ථික අහේනියකට ගමන් කිරීමට ඉඩ තිබේ. කුමන ප්‍රතිඵලය ලැබුණත් පවත්නා දේශපාලන අර්බුදය කෙටිකාලීනව විසඳේ යැයි සිතිය නොහැක. බලය හොබවන ආණ්ඩුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සිටින්නේ හොඳ ස්ථාවරයක නොවේ. ඒ වගේම බලයෙන් පහ කෙරුණු ආණ්‍ඩුව සම්බන්ධයෙන් දේශීය ප්‍රජාව සිටින්නේ හොඳ ස්ථාවරයක නොවන බවද පැහැදිලිය. එනිසා කුමන පක්ෂයක් ආණ්‍ඩු කළත් ආර්ථිකමය වශයෙන් නරක ප්‍රතිඵල වැඩි පරිසරයක් ඇති වන්නට පුළුවන.

පසුගිය ආණ්‍ඩුව යටතේ ව්‍යාපාරික විශ්වාසය දැඩි ලෙස පහළගොස් තිබුණි. එහෙත් ආණ්‍ඩු මාරුවත් සමඟ ව්‍යාපාරිකයන්ට යම් විශ්වාසයක් ගොඩනැඟී තිබේ. කොටස් වෙළෙඳ පොළේ දේශීය සහභාගිත්වය ඉහළ යාමක් දැකගත හැකිය. මේ නිසා දේශීය ආයෝජකයන් ඔවුන්ගේ පැත්තෙන් හොඳ තීරණ ගන්නට පුළුවන. එහෙත් නව පාලනය ගැන විදේශීයව ඇත්තේ නරක දැක්මකි. මේ අය ඉදිරියට ගෙනයාවි යැයි විශ්වාස කරන ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධව බටහිරට පැහැදීමක් නැත. මේ කවර තත්ත්වයක් යටතේ වුවත් මෙරට ආර්ථිකයේ විශාල පසුබෑමක් නම් ඇතිවන බව පැහැදිලිය.

පසුගිය පාලනය ගෙනගිය ප්‍රතිපත්ති හමුවේ නිරන්තරයෙන් අරගල තිබුණි. රාජ්‍ය සම්පත් විදේශවලට පැවරීම, වෙළෙඳ ගිවිසුම් මෙයට උදාහරණය. මේ කාරණා විදේශ ආයෝජන හෝ දේශීය ආයෝජන දිනා ගැනීමට හේතුවූයේ නැත. දේශීය ආයෝජකයන් නොසලකා හැරීමක්ද පසුගිය ආණ්‍ඩුව යටතේ සිදුවුණි. එනිසා පැවැති ආණ්‍ඩුව යළි ස්ථාපිත වුවත් ආර්ථික ප්‍රබෝධයක් ඇති වේ යැයි සිතිය නොහැක. කෙසේ වුවත් පවත්නා තත්ත්වය යම් සමථයකට පත්වන්නේ යම් ආකාරයක දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නැඟීමෙනි. ඒ වගේම පැහැදිලි ආර්ථික වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමෙනි. එසේ නැතිව අර්බුදයෙන් ගොඩයාමට නොහැක. කුමන පක්ෂයක් බලයට පැමිණියත් ඉදිරි වසර දෙක තුනේදී ආර්ථිකයේ පිබිදීමක් ඇති කිරීමට හැකිවන්නේ නැත.

සටහන - චමින්ද මුණසිංහ



අදහස් (0)

ආර්ථිකය අවුලෙන් අවුලට

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 142 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 278 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 350 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 85 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 527 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 290 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site