IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අලි මරා රට හදන තියරිය

ගැමියන්ගේ අස්වැන්නෙන් සියයට 41 ක් වන සතුන්ට බිලි වීම නිසා ගැමි ආර්ථිකය දිනෙන් දින බිඳවැටෙමින් පවතින බව දස දෙසින් ඇසෙයි. මේ ඒ සම්බන්ධයෙන් නිතර පර් යේෂණ කරන පාරිසරික භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් ලියූ ලිපියකි. මංජුල කරුණාරත්න මහතා රුහුණ විශ්වවිද්‍යාලයේ සේවය කරයි. මේ ඔහුගේ හඬයි.

වන ජීවීන් හා මිනිසුන් අතර ගැටුම ගැන කතා කරන්නේ කාලයක සිටය. එය ලංකාවේ පමණක් පවතින්නක් නොවේ. ලොව බොහෝ තැන්වල, බොහෝ රටවල ඒ ගැන පර් යේෂණ කර තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල සේම සංවර්ධනය වූ ඇතැම් රටවලද මෙවැනි ගැටුම් තිබේ. ලංකාවේ එය පවතින්නේ කෘෂිකර්මාන්තයට අද‌ාළවය. ලංකාවේ පවතින මේ ගැටුම යම්කිසි අසමතුලිතතාවක ප්‍රතිඵලයකි. අපට පෙනෙන්නේ ඒ ප්‍රතිඵලයයි. ඒ දෙස අපට පැති දෙකකින් බැලිය හැකිය. ඒ සතුන්ගේ පැත්තෙන් හා මිනිසුන්ගේ පැත්තෙනි. අප කතා කරන්නේ මානව කේන්ද්‍රිය දෘෂ්ටියකිනි. සරලව කිවහොත් අප මේ ගැන කතා කරන්නේ මිනිසුන්ගේ පැත්තේ සිටිමිනි. එහිදී අපට ප්‍රතිඵල පෙනෙනවා මිස හේතු පෙනෙන්නේ නැත.

මීට බලපා තිබෙන ප්‍රධාන හේතුව ජනගහනය වැඩි වීමය. ඒ වැඩි වන ජනතාවට ගෙවල් දොරවල් හා ආහාර සොයා ගැනීමට සිදුවෙයි. ඊට අමතරව ගෝලීයකරණයේ බලපෑම් මත බහුජාතික සමාගම් ලංකාවේ භූමිය සම්බන්ධයෙන් කරන මැදිහත්වීමද වැඩි වී තිබේ. කැලෑ වනසා බඩඉරිඟු වවන්නේ බහුජාතික සමාගම්වල වුවමනා ඉටු කිරීමටය. බඩඉරිඟු වවන්නේ මිනිසුන්ගේ ආහාර සඳහා නොව සත්ව ආහාර සඳහාය. ඒ සත්ව ආහාර හදන්නේ මස් නිෂ්පාදනය සඳහාය. ඒ මස් නිපදවන්නේ ඇමෙරිකාව හා යුරෝපා රටවල් සඳහාය. ඒ අනුව මස් අනුභව කිරීමත් ලෝක සංරක්ෂණයට අභියෝගයකි. එය අතුරු කතාවකි. ලංකාවේ පෙනෙන්නට තිබෙන්නේ මිනිසුන්ට, වන සතුන්ට හා පරිසරයටත් මිනිසුන්ගේ දේපළ හා භවභෝගවලටත් වන හානියය. මේ නිසා සතුන්ට ඔවුන්ගේ නිජභූමි නැතිවී තිබේ. ඒ නිසාම පරිසර පද්ධතිවල තුලිත බවද නැතිවී තිබේ.

පරිසර පද්ධතියක ඉහළින්ම සිටින්නේ මාංස භක්ෂක සතුන්ය. ඊට පහළින් සිටින්නේ සර්ව භක්ෂක සතුන්ය. මිනිසුන් පරිසර පද්ධතියේ ඇතැම් මට්ටම්වල තිබෙන දේවල් ඉවත් කර තිබේ. එය උද‌ාහරණයක් ඇසුරින් සලකා බලමු. දැන් වල් ඌරන් වැඩි බව ගැමියෝ කියති. එය එසේ වී තිබෙන්නේ ඌරන් ආහාරයට ගත්  නරි හා පිඹුරන් පරිසර පද්ධතියෙන් ඉවත් කිරීම නිසාය. මොනරුන් ආහාරයට ගත්තේ නරි, මුගටි, උගුඩුවන් හා හෝතඹුවන් වැනි සතුන්ය.

එහෙත් දැන් ඒ සතුන් ඉතා අඩුය. ඒ නිසා මොනරුන් වැඩි වී තිබේ. වල් නාශක, කෘමිනාශක හා උගුල් භාවිත කිරීම වැනි දේ මගින් පරිසරයේ සිටි නරි, මුගටි, උගුඩුවන්, හෝතඹුවන් හා පිඹුරන් වැනි සතුන් වනසා තිබෙන්නේ මිනිසුන්ය. ඒ නිසා ඌරන්ට හා මොනරුන්ට විලෝපිකයන් නැති වී තිබේ. නැතහොත් ඔවුන් ගොදුරු ලෙස ගන්නා සතුන් පරිසරයෙන් ඉවත් කර තිබේ. වන සතුන් වැඩි වීමට එය එක් හේතුවකි. රිළව් හා වඳුරු උවදුරු වැඩිවීමට නම් වෙනත් හානියක්ද බලපා තිබේ. ඒ ඕනැම පරිසරයකට අනුවර්තනය වීමට ඔවුන්ට තිබෙන හැකියාවය. නාගරික පරිසරවල පවා දැන් රිළව් වඳුරන් දකින්නට ලැබෙන්නේ එහෙයිනි. නව පරිසරවලට අනුවර්තනය වීමට ඔවුන්ට ඒ හැකියාව ලැබී තිබෙන්නේ ජානවලින්මය. කෙසේ වුවත් මා යළිත් කියන්නේ පරිසර පද්ධති තුලිතය බිඳවැටීම මේ ප්‍රශ්නයට ප්‍රධාන කාරණයක් බවය.

අලි මිනිස් ගැටුමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ අලින්ගේ සංක්‍රමණ මාර්ග ඇහිරීමය. අලි හැම තැනකම යන්නේ නැත. ඔවුන් ගමන්කරන සාම්ප්‍රද‌ායික ගමන් මාර්ග තිබේ. ඒ මාර්ග අවහිර කර හේන් වගාකර තිබෙන්නේත් ගොවිපොළ, හෝටල් හා නිවාස සංකීර්ණ ඉදිකර තිබෙන්නේත් මිනිසුන්ය. බඩ ඉරිඟු වැවීමට බහුජාතික සමාගම්වලට හා ඔවුන්ගේ නියෝජිතයන්ට ඉඩම් ලබාදී තිබෙන්නේ අලි සංක්‍රමණ මාර්ග අවහිර කරමිනි. එක්කෝ ඒ මාර්ගවලමය. හිතවතුන්ට හා හිතවත් සමාගම්වලට අලි සංක්‍රමණමාර්ගවල ඉඩම් දීම සෑම රජයක්ම කර තිබෙන වරදකි.

අලි සම්බන්ධයෙන් පවතින ප්‍රධාන ගැටලුව වන්නේ ඔවුන්ගේ සංක්‍රමණ මාර්ග අවහිර කිරීමය. ඒ නිසා අලින්ගේ ස්වභාවික චර්යා රටා වෙනස් වෙයි. ලංකාවේ අලි මිනිස් ගැටුමට ප්‍රධාන හේතුව එයයි. අලි සංක්‍රමණ මාර්ගවලින් අත්පත් කර ගන්නා ඉඩම්වල බොහෝ දුරට වගා කරන්නේ අලි ප්‍රියකරන කෙසෙල් හා උක්ය. එය පොඩි ළමයින්ට පැණි රස දෙයක් පෙන්වා එය නොදී සිටීම වැනි ක්‍රියාවකි. සතුන් හා මිනිසුන් පැත්තෙන් පවතින්නේ ඒ කාරණාය.

පවතින මූලික ගැටලුව වන්නේ ස්වභාවික සම්පත් කළමනාකරණය කර ගැනීමේ නොහැකියාවය. ප්‍රතිපත්ති සම්පාදකයන් හා විද්වතුන්ය කියන අය අතර පවතින මේ නොහැකියාව නිසා මිනිසුන් හා වන සතුන් අතර ගැටුමක් නිර්මාණය වී තිබේ. සතුන් හා මිනිසුන් මිය යන්නේත් ගෙවල් දොරවල් හා භව භෝග වැනසෙන්නේත් ඉහත කී දෙපිරිසගේ නොහැකියාව නිසාය. අවශ්‍යතාව හා ප්‍රමුඛතාව දිය යුත්තේ කුමකටදැයි ඔවුනට නොතේරෙයි. දේශපාලකයන්ට නම් මෙය හිඟන්නාගේ තුවාලයකි. ප්‍රශ්නය ගැන කතා කරමින් ඔවුනට මිනිසුන්ගේ ඡන්ද ගත හැකිය. අනෙක් පැත්තෙන් තම ව්‍යාපෘති කරගත හැකිය.

දේශපාලකයන් කියන්නේ ඔවුන් තමන් රට සංවර්ධනය කරන බවය. නූතන ලෝකයේ කොහේවත් පරිසර සංරක්ෂණය නොසලකා හරින සංවර්ධනයක් ගැන කතා නොකරයි.
අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් කියන්නේ අලි මරා රට සංවර්ධනය කරන බවය. කැලෑ එළිකර වනය විනාශ කර සංවර්ධනය කරා යන බවද ඔවුහු කියති.

පවතින ගැටුමට කෙටි, මධ්‍ය හා දිගු කාලීන පිළියම් තිබේ. වගා හානිවලට හා මිනිස් ජීවිතවලට මුදලින් වන්දි ගෙවීම කෙටිකාලීන පිළියමකි. සතුන් පළවාහැරීම තවත් කෙටි කාලීන විසඳුමකි. එසේම ඇතැම් සතුන් අල්ලා වෙනත් තැනකට ගෙන ගොස් දැමීමද එවැනි ප්‍රතිකර්මයකි. එහෙත් වල් අලින් සම්බන්ධයෙන් නම් එය සම්පූර්ණයෙන්ම අසාර්ථක ප්‍රතිකර්මයක් බව විද්‍යාත්මකව ඔප්පු වී තිබේ. වෙනත් තැනකට ගෙනගොස් දමන අලි යළිත් සිටි තැනටම පැමිණෙති.

එසේ පැමිණ වෙඩි කා මිය ගිය සතුන්ද ඕනෑ තරම්ය. රිළව් වැනි සතුන්ට වඳ සැත්කම් කිරීම තවත් කෙටිකාලීන පිළියමකි. එසේම ඇතැම් රටවල සතුන් ගහනය වැඩි වූ විට වෙඩි තබා මරා දමයි. ඒ සියල්ල කෙටි කාලීන විසඳුම්ය. ඒ ඇතැම් ක්‍රම ලංකාවේ දැනටත් ක්‍රියාත්මක වෙයි.
මධ්‍ය කාලීන විසඳුම් වන්නේ විකල්ප මාර්ගවලට යොමුවීමය. අලි මරනවාට වඩා ඔවුන් උපයෝගිකරගෙන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කළ හැකිය. ලංකාවේ වගාබිම්, හෝටල්, වරාය, නෙළුම් කුලුන වැනි දේවල් බැලීමට සංචාරකයෝ නොපැමිණෙති. සංචාරකයන් ලංකාවට එන්නේ ස්වභාවික සෞන්දර්ය අත්විඳීමට හා ඓතිහාසික උරුම නැරඹීමටය.

පාරිසරික සංචාරක කර්මාන්තය හා කෘෂිකාර්මික සංචාරක කර්මාන්තය නූතන ලෝකයේ පවතින විකල්ප දෙකකි. ලංකාව දූපත් රාජ්‍යයකි. රට වටේ තිබෙන මුහුද සංචාරක කර්මාන්තයට කදිම ආශිර්වාදයකි. එහෙත් ඉන් නිසි ප්‍රයෝජන ගෙන තිබේද? වසර පුරාම තල්මසුන් නැරඹිය හැකි මුහුදක් තිබෙන්නේ ලංකාවේ පමණකි. ඒ මිරිස්ස මුහුදය. එහෙත් අපේ මිනිසුන් එය තිරසර ලෙස කර ගැනීමට නොදන්නා නිසා තහනම් කර තිබේ. තවත් විකල්ප විසඳුමක් වන්නේ සිරස් අතට වගා ව්‍යාප්ත කිරීමය. වගාව සඳහා හැකි තරම් අවකාසය භාවිත කළ යුතුය. අක්කරයකින් ගන්නා අස්වැන්න වැඩි කළ යුතුවා මිස වගා කරන අක්කර ගණන වැඩි නොකිරීම නූතන ලෝකයේ පවතින ක්‍රමයකි. එහෙත් අපේ රටේ කෙරෙන්නේ ලඳු කැලෑ හා වනාන්තරද විනාශ කරමින් වගාකරන භූමි ප්‍රමාණය තව තවත් වැඩි කිරීමය. නිවාසවල නම් බිත්ති හා බැල්කනිවල වගා කළ හැකිය. එසේ කළ යුතුයි. ඒවා ලොව පවතින විකල්ප වගා ක්‍රමය. අපේ රටේ කෙරෙන්නේ විකල්ප පැත්තකට දමා විනාශය බද‌ා ගැනීමය.

අර්බුදයට පවතින දිගු කාලීන විසඳුම් අතර ප්‍රධාන වන්නේ නව ප්‍රතිපත්ති සම්පාදනය කිරීමය. ඊට අමතරව තිබෙන ප්‍රතිපත්තිවල ඒකාබද්ධතාවක් ඇති කළ යුතුය. උද‌ාහරණයකට වන සතුන්ගෙන් ගැමි ආර්ථිකයට වන විනාශය වැළැක්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්, වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තුවත් එකතු වී වැඩ කරන බවක් අපට නොපෙනෙයි. ආයතන, දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ එකිනෙකට සම්බන්ධ නොවෙයි. කිසිවක් සම්බන්ධයෙන් රටට ජාතික ප්‍රතිපත්තිද නැත.

වන සතුන්ගෙන් ගැමි ආර්ථිකයට වන හානි වැළැක්වීමට නම් කෘෂිකර්ම, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ඒකාබද්ධව කටයුතු කළ යුතුමය. එහෙත් නොවන්නේද එයමය.
අනෙක් කාරණය පරිසර සාක්ෂරතාව ලංකාවේ ඉතා අඩුය. හෝර්ටන් තැන්නේ ගස් සිටුවන්නේත් සිරිපා රක්ෂිතයේ පලතුරු ඇට සිටවන්නේත් පරිසර සාක්ෂරතාව නැති මිනිසුන්ය. එසේ කිරීම ඒ පරිසර පද්ධතීන්ට ඉතා හානිකරය. ඒ බව රටට කියා දිය යුත්තේ ජනමාධ්‍යවලිනි. කළු කොටියා මැරෙන්න කලින් ඔහු සිටින තැන් අනාවරණය කළේ ජනමාධ්‍යවලිනි. ඉන්පසුව මිනිස්සු ඒ ප්‍රදේශයේ උගුල් ඇටවූහ. කළු කොටියා මැරුණේ ඒ උගුලකට හසුවීමෙනි. ඒ අනුව එහි වරද පැටවෙන්නේ ජනමාධ්‍යවලටය. ජනමාධ්‍ය කළයුත්තේ ජාතික සම්පත් සංරක්ෂණයට අවශ්‍ය පියවර ගැනීම මිස ඒ සම්පත් විනාශයට හේතුවන අනාවරණ කිරීම නොවේ. මැරුණු අලි ගැන සහ විනාශ වන දේපළ හා භවභෝග ගැන ජනමාධ්‍යවල නිතර වාර්තා පළ වෙයි. එහෙත් ඒ විනාශයට හේතු ගැන ජනමාධ්‍යවල ගැඹුරින් සාකච්ඡා නොවෙයි.

ජනතාවට පරිසර සාක්ෂරතාව ලබාදීමේදී ජනමාධ්‍යවලට මහා මෙහෙවරක් කළ හැකි බව මගේ තක්සේරුවයි. ඉන් අදහස් කරන්නේ පවතින පරිසරයෙන් ප්‍රතිලාභ ලබමින් ඉදිරියට පවත්වාගෙන යන්නේ කෙසේද යන්න ගැන දැනුම ලබාදීමය. පරිසරය සංරක්ෂණය කළ යුත්තේ ප්‍රයෝජන ලබාගැනීමටය. එසේ ප්‍රයෝජන ලබාගනිමින් එය නොනසා පවත්වාගෙන යා යුතුය. සංරක්ෂණය කියන්නේ එයටය.

ඒ සම්බන්ධයෙන් ඉන්දියාව අපට කදිම නිදසුනකි. පසුගිය කාලයේ එනම් මීට අවුරුදු දහයකට පමණ පෙර ඉන්දියාවේ කොටි ගහනය ඉතා අඩුවිය. අනතුරුව එරට නළු නිළියන්, ක්‍රිකට් ක්‍රීඩකයන් හා දේශපාලකයෝ එක්ව ලොකු ව්‍යාපෘතියක් දියත් කළහ. එය හැඳින්වූයේ කොටි සුරැකීමේ ව්‍යාපෘතිය නමිනි. අවුරුදු දහයක් තරම් කෙටි කාලයක් ඇතුළත එරට කොටි ගහනය 12,000 ක් දක්වා ඉහළ නංවා ගත්තේ ඒ ව්‍යාපෘතියෙනි. එහිදී එරට ජනමාධ්‍ය ඉටු කළේ මහා මෙහෙවරකි. කොටි ගහනය වැඩිකර ගැනීමට බාධාවක් වූ ගම්මාන සහමුලින් ඉවත් කළේය. ඒ ජනතාව වෙනත් ප්‍රදේශවල පදිංචි කළහ. එහෙත් අපේ රටේ වන්නේ වන සතුන්  වෙනත් ප්‍රදේශවල පදිංචි කරවීමය. අලි අල්ලාගෙන වෙනත් ප්‍රදේශයකට ගොස් දැමීම ඔවුන් වෙනත් ප්‍රදේශයක පදිංචි කරවීමකි. එහෙත් එය අසාර්ථකය. ඒ බව දැන දැනම යළි යළිත් එයම කරති.

බ්‍රසීලයේ ප්‍රධාන ආදායම් මාර්ගය ගව පාලනයයි. ඇමර්සන් වනාන්තරයේ තැන් තැන්  කපා තණ පිටි පවා එහි සකසා තිබේ. ඒ වනාන්තර යා කිරීමට ගස් සිටුවා තිබේ. සතුන් වනාන්තර අතර මාරුවන්නේ ඒ ගස් සිටවූ ප්‍රදේශ හරහාය. ලෝකයේ විවිධ රටවල එවැනි නොයෙක් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙයි. ලංකාවේ පවතින ප්‍රශ්නය එසේ නොකිරීය. සිංහරාජය සම්බන්ධයෙන් එවැන්නක් කරන්නැයි මම ජනාධිපතිවරුන් තුන්දෙනකුටම යෝජනා කළෙමි. ඒ ව්‍යාපෘති හා වාර්තා සකස් කළේ මගේ වියදමෙනි. එහෙත් කිසිදු ජනාධිපතිවරයෙක් ඒවා කළේ නැත. මා යෝජනා කළේ දැනට හෝටලයක් හදන හඳපාන්ඇල්ලේ වන සතුන්ගේ සංචරණයට අවශ්‍ය වනාන්තරයක් නිර්මාණය කළ යුතු බවටය. හඳපාන්ඇල්ල හා වළංකන්ද අතර තිබෙන්නේ තේ ඉඩමකි. ඒ දෙක යා කළහොත් කරවිට දක්වා සිංහරාජය යා වෙයි. එවිට ඒ වනාන්තර අතර බාධාවකින් තොරව සතුන්ට ගමන් කළ හැකිය. මා යෝජනා කළේ කැලයක් හදන්න මීටර් 100ක් වෙන්කරන ලෙසය. එසේ කළානම් ඉතිරි භූමියේ මිනිසුන්ට හා දේශපාලකයන්ට ඕනෑ දෙයක් කරගත හැකිය. මගේ යෝජනාව වන සංරක්ෂණ හා වනජීවි දෙපාර්තමේන්තුවලටත් මැති ඇමැතිවරුන්ටත් ජනාධිපතිවරුන්ටත් දුන්නත් පලක් වූයේ නැත. මා කියන දේ කළොත් සතුන්ගේ සංචරණයට අවශ්‍ය පිළියම්ද යෙදී මිනිසුන්ගේ අවශ්‍යතාද ඉටු කරගත හැකිය. එහෙත් කිසිවෙක් එසේ නොකරති. මා කියන්නේ පරිසරය භුක්ති විඳිමින් එය රැකගත හැකි ක්‍රමයකි. එහෙත් විනාශයටම කැමැත්තෝ මට සවන් නොදෙති.

එසේ කළහොත් පාරිසරික සංචාරක කර්මාන්තයද දියුණු කළ හැකිය. ඉකෝ  ටුවරිසම් කියන්නේ කැලේ හෝටලයක් හදලා එයට සංචාරකයන් ගෙන්නා ගැනීම නොවේ. ඒ ගමේ මිනිසුන්ට ප්‍රතිලාභයක් තිබිය යුතුය. පළමුව සංරක්ෂණයට ඉඩ දිය යුතුය. බෙදාහරින්නේ වගකීම් හා ප්‍රතිලාභය. එය දිය යුත්තේ ගැමියන්ටය. ඔවුන් පරිසරය සංරක්ෂණය කරන්නේ එවිටය. ඒ ගැමියන්ගේ ආර්ථිකය දියුණු වන්නේ එසේ කළහොත්ය. වනය රැකගෙන ප්‍රතිලාභ ලබාගන්නා ක්‍රමය ගැමියන්ට කියාදී සංරක්ෂණය කිරීමේ වගකීම ඔවුන්ට පැවරිය යුතුය. එසේම එහි ප්‍රතිලාභයද ලැබිය යුත්තේ ඒ ගැමියන්ටය. පිටස්තරයකුට ප්‍රතිලාභ ලැබුණොත් ගැමියෝ වනය සංරක්ෂණය නොකරති.

අනෙක් කාරණය පර් යේෂණ පහසුකම් වැඩි කළ යුතුය. විශ්වවිද්‍යාලවල ඉන්න අයට වඩා වැඩ කරන්නේ එළියේ සිටින අයයි. ඔවුන් කටයුතු කරන්නේ හුදෙකලා පර් යේෂකයන් ලෙසිනි. පර් යේෂණ කිරීමට ඔවුනට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුය. ස්වභාවික විද්‍යාඥයන්ට පමණක් නොව සමාජ විද්‍යාඥයන්ටත් ඒ පහසුකම් දිය යුතුය. අනතුරුව ඔවුන්ගේ පර් යේෂණවල ප්‍රතිඵල මත ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුය. ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයනුත් නිලධාරියනුත් කරන්නේ තමන්ට හිතෙන දේවල්ය. පර් යේෂණ ප්‍රතිඵල හා ප්‍රතිපත්ති සම්පාදනය අතර සම්බන්ධයක් නැත. ඒ දෙක අතර සම්බන්ධතාවක් ගොඩනැගීමෙන්  සෑම ගැටලුවකටම විසඳුම් සොයා ගත හැකිය. එසේ නොකර තනි තනිව කතා කිරීමත් ක්‍රියා කිරීමත් නිරර්ථකය. සෙවිය යුත්තේ සාමුහික පිළියම්ය. පිළියම් කළ යුත්තේ  හේතුවලට මිස ප්‍රතිඵලවලට නොවේ.


(***)
(සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)



අදහස් (2)

අලි මරා රට හදන තියරිය

ඩී. තිලක පියදාස Thursday, 22 April 2021 01:19 PM

පරිසරයට ආදරය කරන කෙනෙක් විදිහට මේ ලිපිය මුහුණුපොතට එක් කරන්න විදිහක් තිබුණා නම් වටිනවා. මේ තමයි, පාලකයන් කෙසේ වෙතත් මිනිසුන් තේරුම් ගත යුතුම සත්‍යය.

:       0       2

Kumara Monday, 26 April 2021 06:23 PM

පාලකයන්ට මෙවැනි දේ තේරුම් ගැනීමට අවශ්‍යතාවයක් නැත. ඔවුන්ට එවැනි හැකියාවක් ද නැත. මෙවැනි ලිපි පුවත් පතක පමණක් නොව වෙනත් සමජජාලා වලද පල කිරීම තදබල අවශ්‍යතාවයකි. සටන දිගටම ගෙනයාමට ඔබට ශක්තිය ලැබේවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 138 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 265 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 193 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 241 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 244 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 829 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site