IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අය වැය වාද-විවාද

මීළඟ මැතිවරණයට පෙර ආණ්ඩුවේ අවසන් තුරුම්පුව  වූයේ අයවැය ලේඛනයයි. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කල්තියාම ප්‍රකාශ කළේ මෙවර ජනතාවාදී  අයවැයක් ඉදිරිපත් වන බවය. ඒ අතර විපක්ෂය චෝදනා කළේ ආණ්ඩුව ජනතාව රැවටීම සඳහා මැතිවරණ අයවැයක් ඉදිරිපත් කරනු ඇති බවටය. ආණ්ඩුවේ පස්වැනි අයවැය ලේඛනය ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ මෙවන් පසුබිමකය. මුදල් ඇමැතිවරයා ලෙස මංගල සමරවීර මෙවර දෙවැනි වරට අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඉකුත් අඟහරුවාදාය. අඟහරුවාදා පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්විණි. 

සාමාන්‍යයෙන් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර කැබිනට් අනුමැතිය ලබා ගැනීම ක්‍රමවේදය වෙයි. ඒ අනුව එදින වෙනත් කාර්යයක් සාකච්ඡා නොවූ අතර අයවැය ලේඛනයට කැබිනට් අනුමැතිය හිමිවිය. මංගල සමරවීර මුදල් ඇමැතිවරයා පස්වරුවේ සිය අයවැය කතාව ඉදිරිපත් කළේය. මෙවර අයවැය කතාව ඉදිරිපත් කිරීමේදී විපක්ෂයෙන් දෝෂාරෝපණය හෝ බාධා කිරීම් හෝ එල්ල වූයේ නැත. මීට ඉහතදී රවි කරුණානායක මුදල් ඇමැතිවරයා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ විරෝධතා එල්ල විය.

වචන හුවමාරු සිදු වූයේය. එහෙත් මෙවර එවැන්නක් සිදුවූයේ නැත. මහින්දානන්ද අලුත්ගමගේ යමක් ප්‍රකාශ කළ  අවස්ථාවේ මංගල සමරවීර විහිළුවෙන් පිළිතුරක්දී ඔහු අවනත කර ගත්තේය. ඒ අනුව මෙවර විශේෂත්වයක් වූයේ විපක්ෂයෙන් බාධා එල්ල නොවීමය. අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ විපක්ෂනායකවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුද මුදල් ඇමැතිවරයාගේ තේ පැන් සංග්‍රහයට සහභාගි වූහ. අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමෙන් පසුව මැති ඇමැතිවරුන් හා අමුත්තන් වෙනුවෙන් සාම්ප්‍රදායිකව තේ පැන් සංග්‍රහයක් පිරිනැමීමට මුදල් ඇමැතිවරයා කටයුතු කරයි. මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අගමැතිවරයා සමගත් කතානායකවරයා සහ මුදල් ඇමැතිවරයා සමගත් සුහද සාකච්ඡාවලද නිරත වූහ. ජනතා විමුක්ති පෙරමුණ තේ පැන් සංග්‍රහය වර්ජනය කළේය. ජනතාවට සෙතක් ලැබී නැති හෙයින් තේ පැන් බී සතුටුවීමට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැතැයි ඔවුහු කීහ. යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට විශේෂ කාර්යභාරයක් කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මීට පෙර අයවැය කතාවක් ඇසීමට පාර්ලිමේන්තුවට පැමිණියේ නැත. හිටපු ජනාධිපතිනිය ප්‍රථම වරට ඉකුත් අඟහරුවාදා විශේෂ අමුත්තන්ගේ ගැලරියේ සිට අයවැය කතාවට සවන් දුන්නාය. අයවැය ආරම්භයේ සිටම අවසානය වන තෙක්ම හිටපු ජනාධිපතිනිය අයවැය කතාවට සවන් දුන්නාය. ඒ අතරවාරයේ පාර්ලිමේන්තු සභාවේ මන්ත්‍රීවරුන් දෙස හා සිදුවීම් දෙසද හිටපු ජනාධිපතිනිය අවධානය යොමු කළාය. 

අයවැය කතාවෙන් පසුව හිටපු ජනාධිපතිනිය පාර්ලිමේන්තුවෙන් පිටත්ව ගියාය. සම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයට හිටපු ජනාධිපතිනිය සහභාගී වූයේ නැත. 

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉකුත් අඟහරුවාදා අයවැය කතාවට පෙර පැවැත්විණි. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැති අතර එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ එජාප මැති ඇමැතිවරුන්ට විශේෂ අවවාදයක් කළේය. අයවැය විවාදය පැවැත්වෙන කාලයේදී හැම මන්ත්‍රීතුමෙක්ම අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට සහභාගි විය යුතුයි. තම තමන්ගේ ආසනවල තියෙන විවෘත කිරීම් හා වෙනත් උත්සව ආදී කටයුතු මේ දිනවල දාගන්න එපා. මොකද ඕනෑම වෙලාවක ඡන්දයක් ඉල්ලන්න පුළුවන්. එහෙම වුණොත් ඡන්දය දෙන්න මන්ත්‍රීවරු ඉන්න ඕනේ. විශේෂයෙන් කාරක සභා අවස්ථාවේදී මැති ඇමැතිවරුන් ඉන්න ඕනේ යැයි අගමැති රනිල් එජාප මන්ත්‍රීවරුන්ට කීවේය. ඉන්පසුව අගමැතිවරයා අයවැය ලේඛනය ගැනද එජාප මැති ඇමැතිවරුන්ට පැහැදිලි කිරීමක් කළේය. මේක මැතිවරණ අයවැයක් නෙවෙයි. ගිය අවුරුද්දේ අයවැයේම දිගුවක්. රට සංවර්ධනය කරන්නයි දුප්පතුන්ට රැකවරණයක් දෙන්නයි තමයි මෙවර අපේ අරමුණ යැයි රනිල් පැහැදිලි කිරීම කළේය.

මේ අතර අයවැයෙන් පසුව එජාප මැති ඇමැතිවරුන් පස්වරුවේ අරලියගහ මන්දිරයේ රාත්‍රී භෝජනා සංග්‍රහයකට සහභාගී වූහ. එහිදී එජාප මැති ඇමැතිවරු සුහද කතාබස්වල යෙදෙමින් අයවැයේ ගුණදොස් විවේචනය කළහ. ආණ්ඩුවේ දුර්වලතා වැඩපිළිවෙළ හා අනාගතය මැතිවරණය ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ආදී විවිධ මාතෘකා එජාප මැති ඇමැතිවරුන්ගේ සාකච්ඡාවට බඳුන්වී තිබිණ. එහිදී එජාප ඇමැතිවරුන් සමෘද්ධි හා එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන ගැන විශේෂ අවධානයක් යොමු කළහ. අවසානයේදී අගමැතිවරයා මැති ඇමැතිවරුන්ගේ අදහස් හා යෝජනා විමසීය. අයවැයට සමස්තයක් වශයෙන් කැමති බව එහිදී එජාප මැති ඇමැතිවරු අගමැතිවරයාට කීහ. එහිදී රංගෙ බණ්ඩාර අගමැතිවරයාට ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය. අගමැතිතුමනි ජනාධිපතිගේ වැය ශීර්ෂය ගැන අපට ප්‍රශ්නයක් තිබෙනවා. එතුමා ආණ්ඩුවේ කකුළෙන් අදිනවා අපි ඊට විරුද්ධ වෙන්න ඕනේ. ආදි වශයෙන් රංගෙ බණ්ඩාර අදහස් පළ කළේය. සිඞ්නි ජයරත්න සහ චමින්ද විජේසිරිද රංගෙ බණ්ඩාරට අගුල්පත් තැබූහ. ජනාධිපතිගේ  වැය ශීර්ෂය කප්පාදුවට පක්ෂව එලෙස එම මන්ත්‍රීවරු අදහස් පළ කරද්දී පසුපෙළ මන්ත්‍රීවරු අත්පුඩි ගැසූහ. කෙසේ වෙතත් අගමැතිවරයා ස්ථිර නිගමනයක් දුන්නේ නැත. විපක්ෂයක් ලෙස තීන්දුවකට  පැමිණයේද නැති අතර එජාප මන්ත්‍රීවරු වෙනත් මාතෘකා පිළිබඳව කතා කළහ.

මෙවර අයවැය පිළිබඳව දෙමළ ජාතික සන්ධානය තරමක සතුටු බවක් පෙන්වනවා යැයි ඒකාබද්ධ විපක්ෂය චෝදනා මුඛයෙන් ප්‍රකාශ කරයි. මේ පාර දෙමළ ජාතික සන්ධානය සතුටු කරන්න ආණ්ඩුව ගුලියක් දීලා තියෙනවා. අයවැයෙන් උතුරු හා නැගෙනහිර දියුණු කරන්න අරමුදලක් ආරම්භ කරන්න යෝජනා කරලා ඒකෙ නම ‘තල් අරමුදල’ රුපියල් මිලියන 5000ක් වෙන් කරලා. ඩයස්පෝරාවෙන් සල්ලි ගන්න ආධාර ගන්නත් යෝජනාවක් කර තිබෙනවා. මේ කරන්නේ  ටී.එන්.ඒ. මන්ත්‍රීවරු සතුටු කරන වැඩක්. ඒ අයට සල්ලි ගසා කන්න පාර හදා දීමක් යැයි ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි. 

මැතිවරණයක් අද හෙට නොලැබෙන තත්ත්වයක් තිබියදී මැතිවරණ කොමිසම මේ දිනවල අලුත් වැඩකට අත ගසා තිබේ. අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට  සමගාමීව මැතිවරණ කොමිෂන් සභාව රටපුරා කාන්තාවන් දැනුම්වත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. අපි කාන්තාවන් දැනුම්වත් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන සර්වජන  ඡන්ද බලය ගැන ජනතා පරාමාධිපත්‍ය පිළිබඳව, දේශපාලනයට කාන්තා නියෝජනයේ වැදගත්කම පිළිබඳව ආදී වශයෙන් අපේ දැනුම්වත් කිරීම් සිදු වෙනවා යැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. දිවයිනේ සියලුම මැතිවරණ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර ඒවායේ සම්පත්දායකයින් ලෙස මැතිවරණ නිලධාරීන් කොමිෂන් සභාවේ සාමාජිකයින් හා විද්වතුන්ද සහභාගී කර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව  කියයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව නැවතත් කතාබහක් මතුව තිබේ. මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති 20වැනි ව්‍යවස්ථා සංශෝධනය පදනම් වී ඇත. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ ජවිපෙ නායකයින් විශේෂ සාකච්ඡාවක් පසුගිය හයවෙනිදා විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වූයේ මේ සම්බන්ධයෙනි. ජවිපෙ නායකයෝ යොදාගෙන තිබුණ වේලාවටම එනම් පස්වරු හතර වනවිට විපක්ෂ නායක කාර්යාලය වෙත ගියහ. අනුර දිසානායක, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති ඒ අතර වූහ. විනාඩි කිහිපයකට පසුව මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම සාකච්ඡාව සඳහා පැමිණ අසුන් ගත්හ. “ආයුබෝවන්” මහින්ද රාජපක්ෂ විසින් ජවිපෙ නායකයින් පිළිගනිමින් අසුන් ගත්තේය. “අද අයවැය පාර්ලිමේන්තුව කතාව කාගෙද?” මහින්ද විමසීය. “මම කතා කළා. විනාඩි 20ක්” හඳුන්නෙත්ති පැවසීය. “ඇයි, පැය භාගයක් ලැබුණේ නැද්ද?” මහින්ද විමසීය. “විපක්ෂයට ලැබෙන්නේ විනාඩි 168යි” ඩලස් පැවසීය. “විපක්ෂයට විනාඩි 255ක් ලැබෙන්න ඕනෑ” අනුර කීවේය. සිදුවී ඇත්තේ කුමක්දැයි මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු ලේකම් කැඳවා විමසීය. ඔහු කියා සිටියේ විපක්ෂයට කාලය වෙන්වී ඇත්තේ 60:40 අනුපාතයට බවයි. “50:50 ලැබෙන්න ඕනෑ මේ ගැන පක්ෂ නායක රැස්වීමේදී කතා කරමු. මොකද දැන් විපක්ෂයේ මන්ත්‍රී ප්‍රමාණය වැඩියි. සාධාරණ කාලයක් ලැබෙන්න ඕනෑ” දිනේෂ් ගුණවර්ධන කීය. 

සාකච්ඡා සභාව ප්‍රධාන මාතෘකාවට හරවමින් අනුර කතාව ආරම්භ කළේය. “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අපි පක්ෂයක් ලෙස විශාල කාලයක ඉඳන් අරගලයක ඉන්නවා. වරින් වර කිහිප දෙනෙක් මේක අහෝසි කරන්න එකඟ වුණත් ඒක කළේ නැහැ. ඒ නිසා තමයි අපි 20 ගෙනාවේ. 20ට ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා අධිකරණය තීරණය කරලා තිබෙන නිසා අපි ඔබතුමාලගෙන් ඉල්ලන්න ආවේ මේක පාර්ලිමේන්තුවේ හිර කරන්නේ නැතුව 2/3න් සම්මත කරලා ජනමත විචාරණයකට යමු කියන්න. ජනතාවට මේ සම්බන්ධයෙන් තීරණය ගන්න තියෙන අවස්ථාව නැති කරන්න එපා කියන්න.” අනුර පැහැදිලි කළේය. “ඔව්, ජනමත විචාරණයක් අනිවාර්යයි. ජනමත විචාරණයකට කාලය ඇතිද?” මහින්ද විමසීය. “කාලය නම් ප්‍රමාණවත් කියලා අපි හිතනවා. ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න 20 නැතුව වෙන යෝජනාවක් ඔබතුමාලා ඉදිරිපත් කරනවානම් අපි ඒකටත් එකඟයි. මොකද විධායක ජනාධිපති ක්‍රමයේ විපාක මුළු රටම අත්විඳලා තියෙන්නේ.” අනුර කියා සිටියේය. 

“20 ආපු වෙලාවේ අපි කතා වුණා මේකත් එක්ක මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුයි කියලා. ඒ වගේම 13 එක්කත් විධායක ජනාධිපති ක්‍රමය ගැටගැහිලා තියෙනවා. ඒ දෙක ගැනම හිතන්න වෙනවා.” ඩලස් කියා සිටියේය. “ඒ ගැන සාකච්ඡාවකට අපි එකඟයි. නමුත් අලුත් මැතිවරණ ක්‍රමයකට මේ වෙලාවේ ගියොත් සීමා නීර්ණ ප්‍රශ්න නිසා මහ මැතිවරණය කල් යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපි කියන්නේ පවතින ක්‍රමයට මහ මැතිවරණයට යමු. දිනන පක්ෂයට බෝනස් මන්ත්‍රී ප්‍රමාණයක් ලැබෙන විදියේ සංශෝධනයක් කළොත් දැනට ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න පුළුවන්.” අනුර යෝජනා කළේය. “අපි 20න් 13ට අත තියලා නැහැ. ඒ නිසා 20න් පස්සේ එන විධායක නොවන ජනාධිපතිටත් 13 අනුව පළාත් සභා බලතල තිබෙනවා. ඒ ගැන අවුලක් වෙන්නේ නැහැ.” විජිත කියා සිටියේය. “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළොත් පළාත් සභාවලට ප්‍රශ්නයක් කියලා තමයි අනෙක් අය කියන්නේ. කොහොම වුණත් අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ප්‍රතිපත්තිමය ලෙස එකඟයි. ඒ වගේම මැතිවරණ ක්‍රමය සහ 13 ගැනත් කතා කරන්න ඕනෑ, ඒ වගේම අපිත් එක්ක ඉන්න අනෙක් පක්ෂ සමඟ මේ ගැන සාකච්ඡා කරලා අවසන් තීරණයක් ගන්න ඕනෑ.” මහින්ද රාජපක්ෂ කියා සිටියේය. 

සාකච්ඡාව අවසන් වී අසුන්වලින් නැගිටින අතරේ දිනේෂ් ගුණවර්ධන විජිතගෙන් ප්‍රති ත්‍රස්ත පනත ගැන ජවිපෙ අදහස කුමක්දැයි විමසීය. “අපි දැනටමත් ප්‍රති ත්‍රස්ත පනත ගැන විරෝධය පළකරලා තියෙන්නේ. මේකට එරෙහිව ජනතාව දැනුවත් කරන සම්මන්ත්‍රණ ක්‍රියාමාර්ගත් අපි ඉදිරි දිනවල ගන්නවා. අපිට පාර්ලිමේන්තුවේදී මේකට විරුද්ධව කටයුතු කරන්න පුළුවන්.” විජිත කියා සිටියේය. “ඔව්, තියෙන එක අහෝසි කරලා බරපතළ එකක් ගේන්න යන්නේ. මේක ගෙනාවොත් වෘත්තීය සමිතිවලටත් මොකවත් කරන්න බැරි වෙනවා. ඒ නිසා මේකට විරුද්ධව අපි  ක්‍රියාමාර්ග ගනිමු.” දිනේෂ් යෝජනා කළේය.

මේ අතර සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය අයවැයට විරෝධය පළකරමින් දිස්ත්‍රික්ක පුරා විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කළේය. ඒ, අයවැයෙන් කිසිදු සහනයක් ගොවීන්ට ලබානොදීමට ආණ්ඩුවට විරෝධය පළකිරීම සඳහාය. මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා නාමල් කරුණාරත්න අයවැය දින රාත්‍රීයේදීම විජිත හේරත්ට දුරකතන ඇමතුමක් ලබාදුන්නේය. “අයවැය දාපු දවසට පහුවදාම පාරට බහින්න ගොවියෝ සූදානම්ද?” විජිත හේරත් විමසීය. “ඔව්, ඔව්, පක්ෂ පාට බේදයක් නැහැ. හැම ගොවි සමිතියක්ම කතා කරනවා. එකතුවෙලා වැඩක් කරමු කියලා. පොහොර සහනාධාරය ගැන කතාවක් නැහැ. වීවලට සහතික මිලක් දුන්නේ නැහැ. නියඟයෙන්, සේනා දළඹුවාගෙන් බැට කාලා ඉන්න ගොවියට කිසිම සහනයක් නැහැ. ඉතිං ගොවි ජනතාව ඉවසගෙන ඉඳීද? අපි හෙට ඉඳලා රට පුරාම ගොවි උද්ඝෝෂණ ආරම්භ කරනවා.” නාමල් කරුණාරත්න කියා සිටියේය.



අදහස් (0)

අය වැය වාද-විවාද

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 146 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 288 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 353 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 89 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 530 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 291 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site