කුරුණෑගල රාජසභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධියේ උණුසුම පහව යාමටත් පෙර තවත් ඩෝසර් කිරීමක් වාර්තා වී තිබේ. පුත්තලම ආනවිලුන්දාව අභයභූමියේ කොටසක සිදුකෙරුණු මෙකී ඩෝසර් කිරීමෙන් අක්කර 04කට ආසන්න තෙත් භූමියක් මුඩු බිමක් බවට පත්ව ඇත. රාජසභා මණ්ඩප පමණක් නොව අභයභූමි වුවද ඩෝසර් කිරීම ශ්‍රී ලංකා ජනරජයේ සාමාන්‍ය පුරවැසියකුට නම් කළ හැකි ක්‍රියාවක් නොවන බවත් එවැනි ක්‍රියාවක් පසුපස බලවත් දේශපාලන හස්තයක් තිබිය යුතු බවත් දෙකේ පන්තියේ ළමයකුගෙන් වුවද දැනගත හැකිය.
ආනවිලුන්දාව ජාත්‍යන්තර රැම්සා තෙත් බිමක් වශයෙන්ද ප්‍රකාශයට පත්කර තිබෙන අභයභූමියකි. මේ වටිනා පරිසර සම්පත තමන්ගේ බල ප්‍රදේශයට කොතරම් වාසනාවක්දැයි නොදන්නා අමනයකුට හැර වෙන කිසිවකුටත් නම් ඒ මතින් ඩෝසර යවා එය විනාශ කිරීමට අනුබල දීමක් ගැන සිතීමට පවා නොහැකි බව අපගේ වැටහීමය. රටටම වැදගත් පරිසර පද්ධතියක් විනාශ කොට එම ප්‍රදේශය ඉස්සන් කොටු ගැසීමට සුදුසු යැයි තීරණය කළ හැක්කේ කාගේ නීතියකට අනුවද? මේ ගැන සොයාබැලීමට කිසිදු බලධාරියකු එදා එම ප්‍රදේශයේ නොසිටියේද? මේ ප්‍රශ්නවලට පිළිතුර වහාම සොයාගත යුතු යැයි අපි සිතමු.
හෙක්ටයාර 1357ක විශාලත්වයකින් යුත් ආනවිලුන්දාව අභයභූමියක් බවට පත්කර ඇත්තේ 1997 වසරේදී බව සඳහන්ය. සංක්‍රමණික පක්ෂීන් විශාල සංඛ්‍යාවකගේ සංචාරක ගමනාන්තයක් වන සුන්දර ආනවිලුන්දාව 2001 වසරේදී ජාත්‍යන්තර රැම්සා තෙත්බිමක් වශයෙන් නම්කරනු ලබන්නේ එහි ඇති පාරිසරික වැදගත්කම හේතුවෙනි. ජාත්‍යන්තරය පවා පිළිගත් මේ පාරිසරික වැදගත්කමට වඩා ඉස්සන් කොටු ගැසීම වැදගත් යැයි සිතන අසමජ්ජාතීන් කිහිප දෙනකු සහ ඔවුන්ට තල්ලුව දුන් බලවතා විසින් සිදුකර ඇත්තේ බරපතළ පාරිසරික අපරාධයකි.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර ඇති බවත් වාර්තාවේ. එය යහපත් පියවරකි. එහෙත් සිද්ධියක් වීමෙන් පසුව, විනාශයකින් පසුව පියවර ගන්නවාට වඩා වැදගත් වන්නේ එවැනි විනාශකාරී ක්‍රියා සිදුවීම වැළැක්වීමට කල්තබාම පියවර ගෙන තිබීමය. එය නොසිදුවීමේ ප්‍රතිඵලය වී ඇත්තේ රටටම වැදගත් පරිසර කලාපයක් විනාශ මුඛයට යාමය. ඇතැම් විට එම හානිය කවදාවත් ප්‍රතිපූරණය කිරීමට නොහැකි වීමට ඉඩ තිබීම ලොකුම කනගාටුවයි.
ඉස්සන් කොටු ගැසීම සඳහා ආනවිලුන්දාවට මීට පෙරද විවිධ පිරිස් ඇතුළු වී එහි කොටස් බලහත්කාරයෙන් අල්ලාගෙන සිට ඇතැයිද ඒවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් එම පිරිස් එකී ස්ථාන හැරගොස් ඇතැයිද වයඹ පරිසර හඬ සංවිධානයේ පරිසරවේදී අජිත් ගිහාන් මහතා ප්‍රකාශ කර තිබිණි. කිසියම් දේශපාලන සහයෝගයක් නොමැතිව අභයභූමියකට ඇතුළු වී මෙවැනි විනාශයක් කිරීම අපහසු බැවින් මේ පිටුපස දේශපාලන හස්තයක් ඇතැයි සැකයක් පවතින බවද ඒ මහතා කියා තිබිණි. අපගේ සැකයද ඒ මහතාගේ සැකය හා සමපාත වන බව ප්‍රකාශ කළ යුතුය.
දේශපාලනඥයන් මෙවැනි කඩප්පුලි වැඩවලට සහයෝගය දෙන්නේ තම හෙංචයියන් තමන්ට ලබාදෙන දේශපාලන සහයෝගයට ප්‍රතිචාර වශයෙන් බව අපි දනිමු. එහෙත් පරිසරය රැක ගැනීමේ වැදගත්කමට මුල් තැනක් ලබාදෙන ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි ජනාධිපතිවරයකු යටතේ මෙවැනි ක්‍රියාවලට කිසිසේත්ම ඉඩක් තිබිය යුතු නැත. ඒ බව ආනවිලුන්දා විනාශය පසුපස සිටින දේශපාලන හස්තයද දැන සිටීම වැදගත් යැයි අපි සිතමු.
ආනවිලුන්දාව සීමාව තුළ කාලයකට පෙර අටවා තිබූ ඉස්සන් කොටු 1997 දී අභයභූමියක් වශයෙන් නම් කෙරුණු විට අත්හැර දමා තිබිණි. එහෙත් එම බිම්වල විනාශයට පත්ව තිබූ කඩොලාන යළි හටගෙන ඇත්තේ ඉතා අවම වශයෙන් බව පරිසරවේදීහු පෙන්වා දෙති. මේ විනාශය සිදුවීමෙන් අභයභූමිය ආරක්ෂා කර ගැනීම සඳහා 2003 වසරේදී පුත්තලම දිස්ත්‍රික්කයේ වළවල් හාරා ඉස්සන් කොටු ගැසීම වැළැක්වීමට කැබිනට් තීන්දුවක්ද ගෙන තිබේ. එසේ තිබියදීත් දේශපාලන වශයෙන් බලවත් පිරිසක් විසින් සිදුකරන ලද මේ විනාශය වළක්වා ගැනීමට නොහැකිවීම පිළිබඳව කනගාටු වෙනවා හැර වෙන කුමක් කරන්නද?
අප එසේ අසන්නේ දේශපාලන වශයෙන් බලවත් පිරිස්වල වුවමනාවට සිදුකෙරෙන විනාශකාරී ක්‍රියාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම මන්දගාමීව සිදුවන බවට රටේ මතයක් පවතින නිසාය. මේ ඩෝසර් කරන ලද භූමියේ යළි කඩොලාන වැවෙන තුරුම සිද්ධියට වගකිවයුතු සැබෑ වැරදිකරැවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නූනොත් ඒ ගැන පුදුම විය යුතු නැත. අපේ රටේ ස්වභාවය එයයි. කෙසේ වුවද දැන් නීතිය ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ ගැන අපි සතුටුවෙමු.
පරිසරය බිල්ලට ගනිමින් තම හෙංචයියන්ගේ බඩවියත සරිකර දීමට උත්සාහ කරන දේශපාලනඥයන්ට අප කියන්නේ දැන්වත් මේ විනාශකාරී ක්‍රියා නැවැත්විය යුතු බවය. පරිසරය අයිති රටේ ජනතාවට මිස දේශපාලනඥයන්ට නොවේ. ඒ බව නොදන්නේ නම් ඒ ගැන දන්නා අයගෙන් හෝ විමසා දැනගන්නැයි පවසමු.
(***)
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය
අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව
අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය
මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු
අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ
ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අභයභූමිය වැනසූ අයට දැඩි දඬුවම් ඕනෑ