IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අපි සියල්ල නැති කරගෙන


ලාංකේය සුභාවිත සංගීතයේ අඩසියවසක් පුරා එක ලෙස තම ජනප්‍රියත්වය රඳවා ගැනීමට කවුරුන් හෝ සමත් වෙයි නම් එය මහා භාග්‍යයකි. දුර්ලබ අවස්ථාවකි. මන්ද දසක 5 ක් පුරා රසික පරම්පරාවක් එක ලෙස තම හඬට වශී කරගත හැකිවීමට ඔහු හෝ ඇය සමත් නම්, එය උතුම් භාග්‍යයක් නොවන්නේද? එවන් භාග්‍යයක් හිමිවූ ප්‍රවීණ ගායන ශිල්පියෙක් ලෙස විශාරද සුනිල් එදිරිසිංහ ගාන්ධර්වයා හඳුන්වා දිය හැකියි. ඔහුගේ ගායන දිවියට අඩසියවසක් ගෙවී ගොස් තිබේ. 

“සඳකඩ පහණ” ගී ප්‍රසංගය හරහා එදා පරපුර වගේම අලුත් පරම්පරාවත් එක ලෙස තම ගී දැහැනට සම වදින්නට තරම් හඬ පෞරුෂයක් විශාරද සුනිලුන්ට තිබීම පැසසිය යුතු කරුණකි. ඒ නිසාවෙන්ම අලුත් පරම්පරාවේ තරුණයන් පිරිසකගෙන් සැදුම්ලත් ණසඑැි ෑඩැබඑි මේ සොඳුරු ගාන්ධර්වයා වෙනුවෙන් විශේෂ ඇගැයීම් ගී ප්‍රසංගයක් සංවිධානය කර තිබේ. “අඩසියවසක ගී සඳඑළිය - සුනිල යාමය” ලෙස නම් කර ඇති මෙම විශේෂ ගී ප්‍රසංගය ලබන අගෝස්තු මස 03 වැනි දින පස්වරු 6.30 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා රඟහලේදී පැවැත්වේ. අඩසියවසක් පුරා ශ්‍රී ලාංකේය සුභාවිත ගී මිහිරෙන් මන්මත් කළ හා අදටත් ඒ උතුම් කටයුත්තේ නියැළී සිටින මේ සොඳුරු ගාන්ධර්වයා මෙවර අපේ ආරාධිත කතාබහට එක් කරගන්නෙමු. මේ එම සංවාදයේ සටහනයි.

● ඔබගේ ගායන දිවියට දසක 5 ක් සම්පූර්ණ වෙනවා. මේ ගෙවී ගිය දසක 5 දෙස ආපසු හැරී බැලීමේදී ඔබට මොකද සිතෙන්නේ? 

බොහොම තෘප්තිදායක මනසකින් යුතුවයි ඒ අඩසියවස දිහා මම බලන්නේ. ඒකට හේතු ගණනාවක් තිබෙනවා. මම ජන්මලාභය 
ලැබුවේ කලා පවුලක. මගේ මවුපියෝත් කලා ලැදි දෙන්නෙක්. ඒ එක්කම මගේ සහෝදර, සහෝදරියන්ටත් කලා හැකියාවක් තිබෙනවා. එහෙම පවුලක බාලයා වෙලා තමයි මම ඉපදුනේ. එතැන ඒ ජන්ම ලාභය ලැබූ ස්ථානයෙන්ම මගේ ආරම්භය පටන් අරන් තිබෙන්නේ. ආපස්සට හැරී බැලීමේදී මුලම තැන එතැන නේද කියා වැටහුණා. 

ඉන්පස්සේ රටේ ප්‍රසිද්ධ කලාකාරයෙක් සහෝදරයෙක් වීම හා ඔහු අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටයක මුල් ගායනය සිදුකරන්න මට අවස්ථාව ලැබීම විශේෂ සිදුවීමක්. ඒක ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. ආධුනිකයෙක් කොයිතරම් උත්සාහයක් ගන්නවාද තමන්ගේ නමක් හදාගන්න. “මාතර ආච්චි” චිත්‍රපටයේ “සඳකඩ පහණක කැටයම් ඔපලා” ගීතයෙන් තමයි මම කලා ලොවට පිවිසුණේ. ඒ අවස්ථාව මට දුන්නේ සතිස්චන්ද්‍ර. එදිරිසිංහ නමැති මගේ ජ්‍යෙෂ්ඨ වැඩිමහල් සොහොයුරාණන්. එතුමා තමයි “මාතර ආච්චි” චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ. 1970 වසරේ තමයි මේ ගීතය ගායනා කළේ. 73 වසරේදී “මාතර ආච්චි” චිත්‍රපටය තිරගත වුණා. එක රැයින්ම මට ජනප්‍රියත්වයක් හිමිවුණා. බලන්න එතකොට සිද්ධි 2 ක්. 

ඊට පස්සේ  “සඳකඩ පහණක” ගීතයට තනු හා සංගීතය නිර්මාණය කළ ආචාර්ය වික්ටර් රත්නායකයන් මට කිව්වා, “මල්ලි ඔයාට බොහොම දුර ගමනක් යා හැකි කෙනෙක්. ඔයා තවදුරටත් සංගීතය හදාරලා මේ ක්ෂේත්‍රයේ නියැළුණොත් දිගු ගමනක් යන්න පුළුවන්” කියලා. මගේ අයියාත් ඒ කතාවම කිව්වා. එතැනින් ඒ පන්නරයත් ලැබුණා. ඊට පස්සේ මම ශාස්ත්‍රීය සංගීතය හැදෑරුවා. මගේ ගුරුතුමා වන සංගීත් නිපුන් පී.වී. නන්දසිරි ඇදුරුතුමාණන්ගෙන්. “සඳකඩ පහණක” ගීතය පටිගත කරන අවස්ථාවේදී මට තව මිත්‍ර සම්පත්තියකුත් ලැබුණා. හැබැයි මට පවුලේ අයගෙන් අමතක කරන්න බැහැ නිමල් අයියා. සතිස්චන්ද්‍ර අයියාට අමතරව මගේ ලොකු අයියා ධර්මසිරි එදිරිසිංහ. ඒ දෙන්නත් මට හරියට උදව් කළා. සහෝදරයෝ තුන්දෙනාම එහෙමයි. එතකොට සහෝදරියුනුත් එහෙමයි. 

● ඒ කියන්නේ “සඳකඩ පහණක” ගීතය ඔබේ ගීත කලාවේ අනන්‍යතාවයි. එහෙම නේද? 

ඇත්තෙන්ම ඔව්. එතනදී තමයි මට මිත්‍ර සම්පත්තියක් ගොඩ නැඟුණේ. ඒ චිත්‍රපටයේ සමූහ ගායනයට ආචාර්ය රෝහණ වීරසිංහ, ලක්‍ෂමන් විජේසේකර හා ආනන්ද වීරසිරි ඇවිත් හිටියා. ඒ තුන්දෙනා මගේ මිත්‍රයෝ බවට පත්වුණා. ඊට පස්සේ ඔය මිත්‍ර සංගමයට කුමාරදාස සපුතන්ත්‍රී, කුලරත්න ආරියවංශ, බණ්ඩාර ඇහැළියගොඩ, බන්ධුල නානායක්කාරවසම්, වසන්ත කුමාර කොබවක, සිසිර විජේතුංග වැනි අය එකතු වුණා. ඒ මිතුරු කැළත් සමඟ තමයි මම ඊට පස්සේ නිර්මාණකරණයට පිවිසුණේ. 

ගුවන් විදුලියේ සරල ගී විශිෂ්ට ශ්‍රේණියේ සංගීත ශිල්පියෙක් වුණාට පස්සේ, සරල ගී වැඩසටහන් රාශියක් මමයි රෝහණයි ඉදරිපත් කළා. ඔය කට්ටියගේ සහයෝගය ඇතුව. ඒ ආ ගමන තමයි ඔය 70, 80, 90 දශක වන විට ගීත රාශියක් රෝහණගේ තනු නිර්මාණ මගේ ගායනයට මුසුකරගෙන එළිදැක්වුණේ. ඒ කාලයේ තමයි මගේ නිර්මාණ ගොඩක් කරලා තිබෙන්නේ. අද දක්වාම මම නිර්මාණකරණයේ නියැළෙන කලාකරුවෙක්. ඉතිං ආපසු හැරී බලද්දී පුදුම තෘප්තිදායක මනසකින් තමයි මම ඒ අතීතය දෙස බලන්නේ. 

● ඔබ පෞද්ගලිකව සතුටුවුණත්, අද පවතින සංගීත ක්ෂේත්‍රය ගැන එහෙම සතුටක් ලබන්න පුළුවන්ද? 

කොහෙත්ම බැහැ. ඒ ගැන මගේ සතුටක් නම් නැත. ඒ ප්‍රශ්නය හරිම කාලෝචිතයි. මොකද අපිට පෞද්ගලිකව අපි ගැන සතුටුවුණාට, අපට රට ගැන සතුටුවෙන්න බැහැ. ඒක අපිටත් බද්ධ වූ කාරණයක්. නමුත් මගේ පෞද්ගලිකත්වයත් එක්ක ඒක සැසඳෙන්නේ නැහැ. නමුත් මම තෘප්තිදායකයි ජීවිතේ මම ආ ගමන ගැන. නමුත් රට ගැන තෘප්තිදායක නෑ. 

● සංගීත ක්ෂේත්‍රයේ පවතින මේ විනාශකාරී හරසුන් තත්ත්වය ගැන ප්‍රවීණයන් කොයිතරම් කතා කළත්, කිසිම කෙනෙක් මේවාට පිළියම් යොදන්නේ නෑ. හරියට බීරි අලින්ට වීණා වාදනය කරනවා වගෙයි නේද? 

මෙහෙමයි, එක කට්ටියකට විතරක් වේදනාව තිබිලා වැඩක් නෑ. රෝගියකුට තිබෙන වේදෙනාව දොස්තර මහත්තයා හඳුනාගත යුතුයි. වෛද්‍යවරයා හඳුනා ගන්න ඕනේ, මේ රෝගියාට තිබෙන්නේ මේ රෝගයයි. ඔහු ඒ රෝගයෙන් දැඩි ලෙස පීඩා විඳිනවා කියන එක.

එතකොට වෛද්‍යවරයා පාලක පක්‍ෂය නම් රෝගියා තමයි කලා ක්ෂේත්‍රය. අන්න ඒ උදාහරණයෙන් තමයි අපි මේක විසඳා ගන්න වෙන්නේ. එතකොට මේ දෙකම එකට බද්ධ විය යුතුයි, එහෙම නැතුව පාලක පන්තිය තමන්ගේ අභිප්‍රායන් ඉටුකරගනිමින් රට ගැන හිතන්නේ නැතුව වෙනම ගමනක් යනවා නම්, කලාවට කවදාවත් තැනක් ලැබෙන්නේ නැත. මුලින්ම කලා රසය ඒ අය හඳුනාගන්න ඕනේ. සංස්කෘතිය, භාෂාවේ තිබෙන වටිනාකම තේරුම්ගත යුතුයි. ඒ තේරුම් ගන්නේ නැති තාක්කල් ඔය ප්‍රශ්නයට විසඳුමක් නෑ. අපි කොච්චර කතා කළත්, මා හිතන්නේ ඒක නිෂ්ඵලයි කියා. 

● කලාකරුවන් තමන්ට වරදාන, වරප්‍රසාද ලබාගන්න තමයි බොහෝ වෙලාවට කතා කරන්නේ. ඉතිං කොහොමද කලාවේ ප්‍රශ්න විසඳෙන්නේ. ඔබ කියන ආකාරයට කතා කරන දේවල් නිෂ්ඵල වන්නේ මේ හින්දා නේද? 

තමා පිළිබඳ සිතීමේ ප්‍රවණතාව දැන් සමාජයේ ගොඩාක් ඉස්මතු වෙලා තිබෙනවා. ඒකට කලාකරුවන්ද හසුවෙලා ඉන්නවා, ඔබ කිව්වා වගේ. පොදුවේ කලාකරුවොත් මේ තත්ත්වයට වගකියන්න ඕනේ. මොකද දැන් හරියට රට පාලනය කරන්නේ නැති කෙනකුට පක්‍ෂග්‍රාහී වෙනවා කියන්නේ ඒ පාලකයො හිතනවා, එයා හරි කියලයි. එයා හරි කියලා හිතන නිසයි මගේ පස්සෛන් මේ අය එන්නේ කියලා. එතනම තමයි වරද්දාගන්නේ. කලාකරුවොත් වරද්දා ගන්නේත් එතැන තමයි. පාලකයො වරද්දාගන්නේත් එතැනමයි ඕක නිරන්තරයෙන් සිදුවෙන ක්‍රියාවලියක් මේ රටේ. 

මෙයට ගත හැකි හොඳම උදාහරණය තමයි සුනිල් සාන්ත කලාකරුවා අතීතයෙන්. හොඳ කශේරුකාවක් සහිත අදීන මහා පෞරුෂයකින් තමන්ගේ කලා කටයුතුවල නියැළුණු මහා යුග පුරුෂයෙක් සුනිල් සාන්ත කියන්නේ. අඩුම ගණනේ එතුමාවත් ආදර්ශයට අරගෙන, අනෙක් අයට හැදෙන්න පුළුවන් කියන එක තමයි මගේ මතය. 

● 70, 80 දසකවල ඔබ ඇතුළු ප්‍රවීණයන් සුභාවිත ගීතයෙන් මෙරට රසිකයන්ගේ මනස උසස් තැනකට ගේන්න කටයුතු කළා. රවින්දනය පුරුදු කළා. නමුත් අද පවතින ගීත කලාවෙන් ඒ සුභාවිත රසවින්දනය මිනිසුන් තුළින් ඈත් කරන්න සමත් වෙලා නේද? මේ දේ නැතීවීම නේද මේ සියල්ලටම බලපා තිබෙන්නේ? 

නැතිකරගත්ත එකයි ප්‍රශ්නය. නැතිවීම නොවෙයි. නැතිවෙනවා කියන එක එකක්. නැතිකරගන්නවා කියන එක තව එකක්. ඉන්දියාවේ ඔය තත්ත්වය ඇතිවෙන විටම මහත්මා ගාන්ධිතුමා “නොයෙකුත් සංස්කෘතික ආක්‍රමණ, අපට නුහුරු, නුපුරුදු දේවල් මේ රටට ගලාගෙන එන්න පුළුවන්. නමුත් ඔබගේ අනන්‍යතාවය රැක ගන්න. මාතෘභූමිය ගැන සිතන්න. වැදූ මවත්, මාතෘභූමියත් ස්වර්ග රාජ්‍යයට වඩා ඉහළින් සලකන්න” කියන සංකල්පය භාරතයට දුන්නා. අපිට කවුද දුන්නේ?

අපිට දුන්නේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා විතරයි. “සුද්දෝ මේ රට දාලා යනකොට තව කළු සුද්දෝ බෝ කරලා යාවි. උන්ගෙන් තමයි නුඹලාට ප්‍රශ්න එන්නේ” කියලා දැක්ක එකම පුද්ගලයා එතුමායි. ඒක අද වෙලා නැද්ද? ඒක වෙලා තිබෙනවා. මේ සියලු දේ නැති කරගැනීමක්. නැතිවීමක් නොවෙයි. ඕනකමින් නැතිකර ගැනීමක් මේ වෙලා තිබෙන්නේ. 

● ඔබේ ගායන දිවියේ වසර 50 වෙනුවෙන් “සුනිල යාමය” නමින් විශේෂ ගී ප්‍රසංගයක් ඉදිරිපත් කරනවා. මෙහිදී ඔබේ දියණියත්, පුතාත් ගීත ගායනයෙන් එක් වෙනවා. මෙය විශේෂ අවස්ථාවක්. කලාතුරකින් පියකුට ලබන්න පුළුවන් ඉහළ අවස්ථාවක්. ඒ ගැන මොකද සිතෙන්නේ? 

මේක නම් කරලා තිබෙන්නේ අඩසියවසක ගී සඳඑළිය - සුනිල යාමය” ලෙසටයි. මේ ප්‍රසංගයේ ආකෘතිය ගැන කතා කළොත් මගේ “සඳකඩ පහණ” ඒක පුද්ගල ගී ප්‍රසංගයේ තිබෙන ආකෘතිය නොවෙයි. ඒ ගී අනුපිළිවෙළද නොවෙයි. ඒ ගීතත් සමග තවත් ප්‍රසංගවල නොගැයෙන අර්ථාන්විත ප්‍රසිද්ධියට පත්වූ වෙනත් ගීත ඇතුළත් කර තිබෙනවා. ඒක තමයි පළමු විශේෂත්වය. දෙවැනි එක තමයි මගේ පුතා හා දියණිය මගේ ගීතත් ගායනා කරනවා. ඒ අයගේ ගීත කිහිපයකුත් ඉදිරිපත් කරනවා. ඔබ කිව්වා වගේ පියෙක් ලෙස එය මට නිහතමානී ආඩම්බරයක් ගෙන දෙන මොහොතක්. තුන්වැනි පරම්පරාව වශයෙන් සමහර වෙලාවට මගේ මිනිපිරියන් දෙදෙනාත් ගීත ගායනයෙන් ඉදිරිපත් වෙයි. 

ගායන දිවියට 50 වසර සපිරෙන කොට වයසින් අවුරුදු 70 ක් වෙනවා කියන්නේ මම දැන් සැඳෑ සමයට ඇවිත් කියන එක නේද? මගේ දරුවෝ හා ඊළඟ පරම්පරාවත් මගේ ගීත පවත්වාගෙන යෑමේ ක්‍රියාවලියට ඒ අය නැඹුරුතාවක් දක්වනවා කියන එක මට විශාල සතුටක්. එයත් ප්‍රධාන වෙනවා මගේ මේ ප්‍රසංගයේ. ඒක මගේ ගීත ක්ෂේත්‍රයේ බොහොම සනිටුවහනක්, සටහනක් තබන මොහොතක් “සුනිල යාමය” කියන්නේ. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතය මෙහෙයවන්නේ. සමන් අතාවුද හෙට්ටි ප්‍රසංගය මෙහෙයවනව.ා අපේ පුෂ්කර වන්නිආරච්චි මල්ලී විශාල සහයෝගයක් ලබාදෙනවා සංවිධාන කටයුතුවලට. ප්‍රසංග පිටපතත් ඔහුගේමයි. මේක කරන්නේ ගයාන් රුක්ෂාන් ඇතුළු තරුණ කණ්ඩායමක්. මෙය මම සංවිධානය කරන ප්‍රසංගයක් නොවෙයි. ඒක මට හරිම සුවිශේෂයි. තරුණ පරම්පරාව අපි ආ ගමන් මග තේරුම් ගත්ත හින්දනේ මෙහෙම දෙයක් සංවිධානය කරන්නේ. ඒක ඉතිං ලොකු ගෞරවනීය තත්ත්වයක්. 

● අද පවතින ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය පිළිබඳව පොදුවේ ඔබ දකින්නේ මොනවගේ තත්ත්වයක තිබෙනවාද කියා? 

අපි සුභාවිත ගීතය දසක 5 කටත් අධික කාලයක් අරගෙන ආවා. නාඩගම් යුගය, නූර්ති, ග්‍රැමෆෝන්, ගුවන් විදුලි බැලුවොත් තවත් අවුරුදු 50 ක් ඈතට යා යුතුයි. ඒ යහපත්වූ කලාවේ තත්ත්වය රැක ගැනීමේ ප්‍රවණතාවේ දෝෂයක්, අඩුවක් මා දකිනවා. 70, 80 යුගය ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ ගුවන් විදුලි යුගය හින්දයි. එදා ගුවන් විදුලිය විතරයි රසිකයාට තිබුණේ. අසන්නෙක් හිටියේ, අසන්නාට තිබුණේ ගුවන්විදුලිය පමණයි. ඒ කාලේ දේශාභිමානී, බොදු ගුණ ගීත මිස අපේ සංස්කෘතියට අදාළ නැති ගීත ගුවන් විදුලියේ ප්‍රචාරය කළේ නෑ. එතන වාරණ මණ්ඩලයක් හිටියා. ඒ නිසා අර්ථ රසභාවයෙන් යුක්ත ප්‍රබුද්ධ ගණයේ සුභාවිත ගීත රාශියක් ඒ කාලේ බිහිවුණා. ඒක ගුවන් විදුලිය තිබුණු තාක් කල් පැවතුණා. 

රූපවාහිනිය පැමිණීමත් සමඟ නරඹන්නෙක් ඇතිවුණා. අසන්නාට අමතරව නරඹන්නෙක් පැමිණීමත් එක්ක ගීත ඇසෙන්නට ලැබුණේ රූපත් එක්කයි. රූප කලාව එක්ක වෙනම ගමන් මඟක් එනකොට මේ ගීතයේ තිබෙන අර්ථාන්විත බව එන්න එන්න දුර්වල තත්ත්වයට පත්වුණා. ගීතය සැහැල්ලු දෙයක් වුණා. ගුවන් විදුලිය රැකගත් අර්ථාන්විතභාවය පොඞ්ඩ පොඞ්ඩ අඩුවෙන්න ගත්තා. සරල බවක් ආරෝපණය වුණා. එතැන තමයි පටන් ගැනීම. ඒක විශේෂයෙන් වුණේ පෞද්ගලික විද්‍යුත් නාලිකාවලින්. ඒවාට ඉතිං වගකිවයුත්තෝ ඉන්නවා. ඔවුන් වගකිව්වත් නැතත් වෙන්න ඕන හානිය වෙලා ඉවරයි. දැන් ඒ අය ජීවතුන් අතරත් නෑ. නමුත් ඉතිං කනගාටුදායක තත්ත්වයක් තමයි ඇතිවුණේ?

මගේ අඩසියවසක ගමන් මඟත් එක්ක විශේෂයෙන් කිවයුතු දෙයක් තිබෙනවා. මම මේ ගමන ආවේ රසික 
පරම්පාවක් එක්කයි. ඒ රසිකයන්ට මගේ ගෞරවය, කෘතවේදීත්වය පුද කළ යුතුයි. සුභාවිත ගීතය ආරක්‍ෂා වෙන්නේ රසිකයෝ නිසයි. ඔවුන් අපිව අගය කළොත් විතරයි. එහෙම අගය කරමින් මා වටා සිටින රසික පිරිසට ඇත්ත වශයෙන්ම බොහොම කෘතවේදීත්වයෙන් යුතුව ගෞරව හා ප්‍රණාමය පුද කරනවා. එවැනි අය සිටි නිසා තමයි මට අඩසියවසක් සමරන්න පුළුවන් හැකියාවක් තිබෙන්නේ. ඒ අය නැත්නම් ඒකවත් කරන්න ලැබෙන්නේ නෑ.

සංවාද සටහන - සමන්ත යහම්පත් 

[email protected]

 



අදහස් (7)

අපි සියල්ල නැති කරගෙන

kamal Friday, 26 July 2019 11:42 AM

ඔය සුභාවිත කට්ටිය කළ එකම දෙය තමයි ලංකාව ඉන්දියාවේ සංගීත යටත් විජිතයක් බවට පත්කරලා ලංකාවේ සැබෑ සංගීතයක් ඇතිවීම වැළැක්වීමයි. ලංකාවේ හිටිය සැබෑ සංගීතකරුවන් කීපදෙනයි. ඉන් පළමුවැන්න සුනිල් ශාන්ත... ඔය සුභාවිත කට්ටිය දහස් වාරයක් සංගීත ප්‍රසංග තියලා රන් මසුරන් උපයලා සත්මහල් ප්‍රසාද හදාගෙන ඉන්නකොට සුනිල් සාන්ත කඩේ කරවල විකුණන කොට අාධාරයක් කරන්න බැරිවුණා. සුනිල් ශාන්තත් බත්කන්දේ උපාධිධරයෙක්, අමරදේවට වඩා ඉහළින් විභාගේ සමත් වුණු නිසා ලංකාවට අාවහම ගුවන් විදුලියේ මුල්තැන දුන්නේ උන්නැහේට, අමරදේවට නොවෙයි. රාගධාරි සංගීතේ එපා කියලා ලංකාවේම සංගීතයක් හදන්න උත්සාහ කරපු නිසා රාගධාරී ගැත්තෝ බයවෙලා සුනිල් ශාන්තට කටුව ගැහුවා. තව කියන්න දේවල් තියෙනවා. තිස්ස අබේසේකරගේ පොතේ මේ කරපු අපරාධය ගැන අගනා විස්තරයක් තියෙනවා. සුභාවිත සංගීතයට අද යන එන මං නැතිවෙලා තියෙන්න ඇයි? බොරුවට හැමදාම රජ කරන්න බැරි නිසයි.

:       1137       105

kawisha Saturday, 27 July 2019 11:41 AM

හරියට හරි. දැන් සුනිල් සාන්තව පොරක් කරන් බොරුවට කියවනවා හැම කෙනෙක්ම. මනුස්සකම ගැන සිංදු කියන, මනුස්සකමේ ගුණ සුවඳ වෑහෙන අයගෙන් රචකයාට, සංගීත ශිල්පියාට කතෘභාග ඉල්ලුවම ඇතුලේ ඉන්න සතා එළියට පනිනවා. සුනිල් එදිරිසිංහ කිසිම තැනක ලූෂන් බුලත්සිංහලගේ සිංදු කියන්නේ නෑ. ලූෂන් කතෘභාග ඉල්ලලා නඩු දාල තියෙන හින්දා. මේ තරම් සියුමැලිද කළුගල් සිංදුව කියන්නෙත් නෑ. රජී වෙල්ගම නඩු දාන නිසා. මම දන්නා හැටියට ප්‍රේමකීර්තිගේ සිංදු කියන්නෙත් නෑ. ශෝ එකකට ලක්ෂ ගණන් අරන් ස්ටේජ් එක උඩ ඉඳන් මනුස්සකම ගැන ටෝක් දෙන්න පුළුවන්. ඒ ලක්ෂ ගානෙන් රුපියල් 1000ක් සිංදුව ලියපු මිනිහට දෙන්න බෑ...

:       391       5

palihawadana Sunday, 28 July 2019 05:32 AM

සඳකඩ පහණ ගීතය ලියු ගීත රචකයා ගැන සඳහන් නොවීම අඩුවක්.

:       1       1

ජයරත්න Sunday, 28 July 2019 08:33 PM

ඔබ තුම ඇතුළු සුබාවිත ගීත ගයන අයට මම ගොඩක් කැමතියි. නමුත් ඔබලාගේ ප්‍රසංගයක් දුප්පත් කෙනෙකුට නරඹන්න බෑ (ටිකට් එකක් අධික මිල) ඒ ගැන දුකයි.

:       1       3

වික්‍රම Monday, 29 July 2019 06:50 AM

ලංකාවේ හැමදාම වුනේ තමන්ගේ ගුරුකුලේ එක්කෙනාව උස්සලා තිබ්බ එක... අමරදේව කියන්නේ ලෙජන්ඩ් එකක්... ඒ ගැන වචන දෙකක් නැහැ. හැබැයි ඒ මට්ටමට සහ ඊටත් උඩින් තියන්න පුළුවන් අති විශිෂ්ට අය හිටියා නිමල් මෙන්ඩිස් , ක්ලැරන්ස්, සුනිල් ශාන්ත වැනි අය..., හැබැයි තමන්ගේ ගුරුකුලේට අයිති නැති නිසා පාගලා පොඩි කරලා.., ලේබල් ගහලා පැත්තකට කළා. ඔය මහ ලොකුවට කතා කරන පරම්පරාව "ජෝතිපාලට " පීචං ලේබල් එක අලෝලා පැත්තකට කරේ...

:       1       11

anuraMonday, 29 July 2019 11:47 AM

ගායකයන් බොහෝමයක් ගීත රචකයන් කෙරෙහි දක්වන්නේ ඉතාම අඩු සැළකිල්ලක්. අමරදේවයන් පවා මහගමසේකර ගැන සඳහන් කෙරුවේ ඉතාම කලාතුරකින්. මම හිතන්නේ මහගමසේකරයන් නොහිටියා නම් අමරදේවයන් පවා ඉතාම ඉහළ තත්වයකට පත් නොවීමට ඉඩ තිබුණා.

:       1       14

priyantha Monday, 29 July 2019 10:13 AM

මොකක්ද මේ සුභාවිත කියන්නේ? හැමෝම ගැහැණියකගේ මුහුණ ගැන නාහෙන් අඬන එක නේද කරන්නේ..?

:       1       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 121 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 240 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 345 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 76 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 523 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 287 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1422 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site