IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අති විශේෂ පුද්ගලයන්ට ප්‍රමුඛතාව

(පුස්තකාල ඡායාරූපයකි - ළහිරු හර්ෂණ)

ශ්‍රී ලංකා පොදු ජන නිදහස් සන්ධාන රජයේ පාලනය යටතේ එළැඹි දෙවැනි අලුත් අවුරුද්ද මෙයයි. පෙර වසරේ මෙන්ම මෙවර ද, අලුත් අවුරුද්ද සැමරීමට ශ්‍රී ලංකා ජනතාවට සිදුවූයේ කොවිඩ්-19 වසංගත තත්ත්වය මධ්‍යයේය. ඒ අතරම, මේ වන විට පස් අවුරුදු පාලනයක මාස 17ක් ගෙවා තිබෙන රජය සිටින්නේ, එක් අවුලකින් තවත් අවුලකට යමිනි. 

වරදේ සම්පූර්ණ බර රජයට පැටවීමට නොහැකිය. 

කෝවිඩ්-19 වසංගත තත්ත්වය රටේ ආර්ථිකයට දරුණු පහරක් එල්ල කළ අතර, ලොකු-කුඩා වෙනසක් නොමැතිව සියලුම ව්‍යාපාරවලට පාහේ ඉන් එල්ලවූ බලපෑම පුපුරා ගියේ මහා පරිමාණ රැකියා වියුක්තියක් ඇති කරවමින්ය. ප්‍රමාණයෙන් විශාල ව්‍යාපාරවලට අනුයුක්තව සේවයේ නියුක්තිව සිටියවුන්ට නම් සහන පැකේජයන් හිමිවිය. නමුත් අනෙක් අයට එය එසේ නොවීය. හෝටල සහ ආපනශාලා බොහෝමයක් තවමත් පවතින්නේ වසා දමාය. එවැනි තත්ත්වයක, සති හා මාස ගතවන විට අලුත් කතාවක් දිග හැරෙන්නට ගත්තේ ය. 

වසංගතය මට්ටු කිරීම සදහා ගෙන ආ එන්නත් බෙදා හැරීම කොටඋඩ ගිය අතර එම එන්නත් ලබාදීමේ ප්‍රමුඛතාවය හිමිවූයේ සෞඛ්‍ය සේවයේ ඉදිරි පෙළ සිටියවුන්ට නොව, වෛරසය මෙන්ම ස්වභාවයෙන්ම භයානක වන, දේශපාලන බලය අතැතිව සිටින්නවුන් හටය. 

ඔවුහු එන්නත් ලබාදීමේ මධ්‍යස්ථානවලට පැමිණියේ පැජරෝ, ප්‍රාඩෝ වැනි සුඛෝපභෝගී වාහනවල නැගීගෙනය. එම ඇතැම් රථවල ‘අතිවිශේෂ පුද්ගලයෙක්’ යැයි ස්ටිකරයන් පවා අලවා තිබිණ. මෙම පුද්ගලයින්ට ප්‍රමඛතාවය ලබාදීම හමුවේ එන්නත් ලබාගැනීමේ වාසනාව නොලද, එනිසාම බියෙන් ජීවත්වීමට සිදුව තිබෙන, පුද්ගලයින් ගණනාවකි. 

කෝවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉලක්කම් 3 කින් දැක්විය හැකි තත්ත්වයකට පත්ව තිබෙන වර්තමානයේ, වෛරසය ආසාදනය වන්නන්ගේ ප්‍රමාණය පහළ යමින් තිබෙන්නේදැයි කෙනෙකුට සිතෙන්නට පිළිවන. එසේ නොවේ නම්, හේතුව අඩු පීසීආර් පරීක්ෂණ ප්‍රමාණයක් කිරීම ද?, 

හේතුව කුමක් වුවත්, හොඳකට හෝ වේවා නරකකට හෝ වේවා, ඉන් සිදුව තිබෙන්නේ ජනතාව අතර විශ්වාසය ඉහළ යෑමය. මේ දිනවල සල්පිල්වල පොරකමින් සිටින ජනතාව දුටු විට මෙය මොනවට පැහැදිලි වේ. ගිය වසරේ අලුත් අවුරුදු සැමරුම් මග හැරුණු බොහෝ දෙනෙක්, මෙවර එය එසේ සිදුනොවීමට ඉටාගෙන සිටින සෙයකි.

නමුත්, රටේ පුරවැසියන්ගේ කරමත පැටවී තිබෙන වෙනත් ගැටලු ගොන්නකි. 

අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අභ්‍යාවකාශය දක්වාම ඉහළ ගොස් ඇත. විවිධ වර්ගවල හාල්වල මිල ගෙවුණු සති කිහිපය ඇතුළත පමණක් 10% ත් 30% ත් අතර ප්‍රමාණයකින් ඉහළට ගොස් තිබෙන අතර, වෙළදපලේ වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 1000 කි. 

අවුරුදු සමයේ ආහාර පිසීමට බහුලව භාවිතා කරන, මුං ඇට කිලෝවක මිල රුපියල් 750ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහෙත් සාමාන්‍ය සමයක නම් මුං ඇට කිලෝවක් රුපියල් 240 ත් 250 ත් අතර මිලකට ලබාගත හැකිය. ආනයනය තහනම් කර තිබෙන කහ කිලෝවක මිල රුපියල් 6500 කි. මේ හමුවේ පාරිභෝගිකයන් පෙළඹ සිටින්නේ රුපියල් 650 බැගින් මිල නියම කර ඇති කහ ග්‍රෑම් 100 පැකට්ටු මිල දී, ගැනීමටය.

“ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නා වැනිය” කියමන සිහි ගන්වමින්, කැවුම්, කොකිස්, ආස්මි වැනි සාම්ප්‍රදායික අවුරුදු කෑම පිළියෙල කරගැනීම කෙසේවෙතත්, ඒවා පිසගැනීමට වත් නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත. මෑත සමයේ ආනයනය කර තිබෙන පොල්තෙල්වල පිළිකාකාරක රසායනයන් අන්තර්ගත බව දැන් තහවුරු කර හමාරය. තෝස සහ වඩේ අලෙවිකරන වීදි වෙළදුන් ඔවුන්ගේ කඩපිල් වසා දමා තිබේ. විස සහිත පොල්තෙලෙන් බදින ලද ආහාර දරුවන්ට ලබා දිය නොහැකි යැයි මව්වරු මැසිවිලි නගමින් සිටිති. 

විස සහිත පොල්තෙල් හමුවීමත් සමග, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාම් තෙල් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගත්තේ ය. කොළඹ වරායෙන් නිදහස් කිරීමට තිබෙන පාම් තෙල් බහාලුම් නිදහස් කිරීම ද ඔහු තහනම් කළේ ය. නමුත් මේ හමුවේ පැමිණිලි කළ බේකරිකරුවෝ පාම් තෙල් නොමැතිව පාන් හෝ කේක් පුළුස්සා ගැනීමට නොහැකිව තමන් අපහසුතාවයට පත්වන බව පැවසූහ. බේකරිකරුවන්ට (බිස්කට් නිශ්පාදකයන් ද ඇතුලුව) පාම් තෙල් ආනයනය කිරීමට විශේෂ අවසරයක් ලබා දෙන බවට නිවේදනයක් නිකුත් කිරීමට වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට දින තුනක්ම ගතවිය. පැනවූ තහනම නිසා අඩුම තරමින් ශ්‍රී ලංකාවේ බිස්කට් නිෂ්පාදකයන් දෙදෙනෙකුට සිය නිෂ්පාදන කටයුතු හරි අඩකින් කප්පාදු කිරීමට සිදුවිය. 

සහල් සහ වෙනත් ආහාර වර්ග වෙළදපලේ මිලදී ගැනීමට නොමැත යන්නට ඔහුගේ පිළිතුර වූයේ සමූපකාර තොග වෙළද සංස්ථාවෙන් හෝ සමූපකාරවලින් මිලදී ගැනීමට තිබූ බජට් පැකට්ටුවකි. එහෙත් එම පැකට්ටුවට, මේ වන විට 30% කින් පමණ මිල වැඩිව තිබෙන හොඳ වර්ගයේ සම්බා සහල් වර්ගයක් ඇතුළත් කර නොමැත. එවැන්නක් සිදුවී තිබෙන්නේ, මෙවර මහ කන්නයෙන් හොඳ වී අස්වැන්නක් ලැබී තිබෙන පසුබිමකය. 


මිල ඉහළ දැමීමේ අවසරය

අලුත් අවුරුදු උත්සව සමය ඉලක්ක කරගෙන වෙළද අමාත්‍යංශය සැළසුම් සකස් නොකළේ ඇයි? මෙය ඕනෑම කෙනෙකුට නැගෙන සරළ පැනයකි. 

සහල් තොග පවතින බවත් එනිසා අඩු මිලට සහල් ලබාදිය හැකි බවත් මාධ්‍ය නිවේදනවලින් පුනපුනා පවසන ලදි. එහෙත් යථාර්ථය එසේ නොවීමෙන් සිදුව තිබෙන්නේ පාලක සන්ධානයේ නායකයින් තවත් අපහසුතාවයට පත්වීම පමණකි. 

කුකුල් මස් කිලෝවක මිල රුපියල් 800 ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව කුකුලු ගොවිපල හිමිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත. එයට අමාත්‍යවරයාගේ පිළිතුර වූයේ එසේ මිල ඉහළ දැමීම සඳහා ඔවුන් තවමත් අවසරයක් ලබාගෙන නොමැති බවයි. මෙහි එකම අදහස වන්නේ වෙළදපොලේ දැනට තිබෙන කුකුලු මස් තොග අසුරු සැණින් අතුරුදන්ව, ඒවා කළුකඩයේ දී ඉහළ මිල ගණන්වලට විකිණීම ඉඩ පෑදෙන බව යන්න අමුතුවෙන් කිව යුත්තක් නොවේ.

මේ අතරවාරයේදී වෙළද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ සහල් කිලෝ 3 ක්, පවුලකට සති දෙකක කාලයක් සදහා සෑහෙන බවය. එය මුල් කරගෙන ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවූ පසු ඔහුම එය වෙනස් කරමින් කියා සිටියේ තමා අදහස් කළේ පවුලක් නොව පවුලේ එක් පුද්ගලයෙක් බවය. මෙවන් අතපසුවීම් නිසා රජය කෙරේ පළුදුවන ජනතා විශ්වසනීයත්වය නැවත ගොඩනැගීමේ ක්‍රමයක් නොමැති වීම කණගාටුවක කාරණයකි. 

එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව රුපියල අවප්‍රමාණය වෙමින් පැවැතීම මෙම තත්ත්වය තවත් බරපතල කර තිබේ. නිදහස ලැබීමෙන් පසු පළමු වතාවට, ගෙවුණු සතියේ රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව සටහන් වූයේ රුපියල් 203.50 ක් ලෙසය. 

රටේ විදෙස් සංචිත ආරක්ෂා කරගැනීම සදහා ඔවුන්ම හදුන්වාදුන් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ රැසක ආනයනය තහනම් කිරීමට රජය මීට මාස කිහිපයකට පෙර පියවර ගත්තේ ය. නමුත්, එදිනෙදා ජන ජීවිතයට අවශ්‍ය වන ආනයන භාණ්ඩ කිහිපයක්ම (ආහාර සහ ඉන්ධන වැනි) පවතී. එවැනි නිශ්පාදනවල මිල වර්තමානයේ පවතින තත්ත්වයේම පවත්වාගත නොහැකිය. රුපියලේ අවප්‍රමාණය වීම හමුවේ, පසුවී හෝ නුදුරේදීම හෝ, මේ සියල්ලේ මිල ඉහළ යාම නොවැළැක්විය හැක්කකි.

විදේශ සබදතා

රුපියල් සහ ඩොලර් කතාව හමුවේ අවධානය නිතැතින්ම යොමුවන්නේ ශ්‍රී ලංකාවේ විදේශ සබදතා දෙසටය.ශ්‍රී ලංකාව, සියලුම බටහිර රටවල් සමග සිය සබදතා නරක අතට හරවාගෙන තිබෙන ආකාරය, තමන්ටම වෙඩි තබාගෙන තිබෙනවාක් වැනිය.මෙහිලා, කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශය සහ ජිනීවා නුවර සිටින එක්සත් ජාතීන්ගේ මෙරට නිත්‍ය නියෝජිතයා, ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවලිය අරබයා කටයුතු කළ ආකාරය ඉතිහාසගතවන සිදුවීමකි.මානව හිමිකම් කඩකිරීමේ සහ අන්තර්ජාතික මානවවාදී නීතිය කඩකිරීමේ සිදුවීම්වල හවුල්කරුවන් යැයි කියන ආරක්ෂක අංශ සාමාජිකයන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ දේශපාලඥයින්ට එරෙහිව මින් පෙර නොවූ විරූ ආකාරයෙන් පියවර ගැනීමට මෙම රටවල් සූදානම් වෙමින් සිටී.

ලොව විවිධ අගනගරවලින්, මෙකී පුද්ගලයින්ට එරෙහිව නුදුරේදීම සංචාරක තහනම් පැනවෙනු ඇත. ශ්‍රී ලංකාව, ජිනීවාහි දී අනුගමනය කළේ පැහැදිලි සහ ක්‍රමවත් උපායක් නොවන බව දැන් රහසක් නොවේ. එය, අවසානයේ කිසිදු ප්‍රතිඵලයක් නොලද මාධ්‍ය ව්‍යාපාරයකට පමණක් සීමා වූ අතර, එයින් සිදුවූ එකම දෙය වූයේ සුලු පිරිසකගේ මමත්වය තවත් පිම්බී යාම පමණය. විවිධ නම්වලින් බටහිර රටවලට ආමන්ත්‍රණය කිරීමෙන් පසුව, තමන්ගේ වැඩක් බලාගන්නැයි විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා ඇමරිකානු ජනපති ජෝ බයිඩන් මහතාට දුන් උපදෙස ද ඇතුලුව, ආර්ථික සහාය පතා මෙම රටවල් දෙසට හැරෙන්නට ශ්‍රී ලංකාවට කෙසේනම් හැකි ද? මෙම රටවලින් ආයෝජන දිනාගැනීමට කෙසේනම් හැකි ද? අප සහ ඔවුන් අතර විශ්වාසය දිනෙන් දිනම පළුදු වෙමින් තිබේ. 

අසල්වැසි ඉන්දියාව සමගත් අපගේ සබදතාවල තත්ත්වය මෙවැනිය. ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී, ඉන්දියාව අපට සහාය දක්වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ඉතා විශ්වාසගතව පවසා සිටියද ඉන්දියාව කළේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමය. ලේකම්වරයා දැන් පවසන්නේ තමන් එවැනි ප්‍රකාශයක් නොකළ බවය. 

මානව හිමිකම් කවුන්සිලය මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී නැවත වරක් හමුවීමට නියමිත අතර එහිදී ගෙවුණු මාර්තුවේ සම්මත වූ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවේ ප්‍රගතිය විමසා බැලෙනු ඇත. 

සිදුවිය හැකි හානිය

ජාතියක් මෙන්ම ජනතාවක් ලෙස ලොවක් ඉදිරියේ අපව නින්දාවට සහ අපහසුතාවයට පත් කැරෙන, ඇතැම් පුද්ගලයින්ගේ හැසිරීම් සහ ප්‍රකාශයන් සම්බන්ධයෙන් පියවර ගැනීමක් හෝ ඉදිරි මානව හිමිකම් කවුන්සිල සැසිවාරයන් සළකා උපාය මාර්ගයක් සකස් කිරීමක් හෝ මේ දක්වාම සිදුව නොමැත. අප බලවත් රටවල ඉත්තන් බවට පත්ව සිටින්නේ යැයි ද, මෙම යෝජනාවලිය අප ප්‍රතික්ෂේප කරන්නේයැයි ද, එමෙන්ම මෙම යෝජනාවලිය නීති විරෝධීයැයි ද, ප්‍රකාශ කිරීමෙන් පමණක් ලැබෙන සහයක් නැත. දැනටමත් ලොව ඉදිරියේ බලවත් ලෙසම අපසුතාවයට පත්ව සිටින සන්ධානයේ නායකයින්ට, මෙවන් තත්ත්වයකින් වඩාත් හානි සිදුවන්නේ වෙන කවරකටවත් නොව තමන්ගේම ප්‍රතිරූපයට බව තවමත් තේරුම්ගොස් නොමැත.

අප විසින් කෝප කරවනු ලබන ඇතැම් රටවල්, එම පිළිවෙතින්ම අපට (විශේෂයෙන්ම ඉහත කී නායකයින්ට) සළකන්නට පටන් ගතහොත් සිදුවන හානිය අතිමහත්ය. 

මෙවැනි වාතාවරණයක් නිර්මාණයවී තිබෙන්නේ තමන්ම, අදාළ තනතුරු සහ තානාන්තරවලට පත්කළ පුද්ගලයින් නිසායැයි ඔවුන්ට අවබෝධයක් නැත. විදේශ සේවයට නවක සාමාජිකයන් 40 දෙනෙක් බඳවාගැනීමට විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබෙන්නේ දැන්ය. මෙය, 1998 වසරේ විදේශ සේවයට බදවාගත් 24 දෙනාට පසුව, ශ්‍රී ලංකාවේ විදේශ සේවාවට වැඩිම පිරිසක් බඳවාගැනීමට යන අවස්ථාවයි. බදවාගැනීම් ප්‍රමාණය වුවමනාවට වඩා ඉහළ ද?, නැතහොත් මෙය වර්තමාන විදේශ කටයුතු අමාත්‍යවරයාට සහ අමාත්‍යංශ ලේකම්වරයාට තමන්ගේ නම ඉතිහාසයේ සටහන් කිරීමට තිබෙන වුවමනාවක් ද? යන්න ගැටලුකාරීය.

ඉහත සදහන් කළ ගැටලුවලින්, සමස්තයක් ලෙස, ශ්‍රී ලංකා ජනතාව මුහුණදී සිටින වියවුල් සහගත තත්ත්වය කැටිකර දැක්විය හැකිය. පාලක සන්ධානය සහ එහි නායකයින් ගත්විට, මෙම ගැටළුවලින් ඔවුන් හමුවේ උද්ගත වන තත්ත්වය, වඩා විශාල ගැටලුවේ කොටසක් පමණකි. මීටත් වඩා විශාල ගැටලු රැසක් ඇත. 

රටේ විදේශ සංචිත දියව යමින් තිබීම එවැන්නකි. පිළිගත් ආර්ථික න්‍යායන් සියල්ලම බැහැර කරමින් සිටින අතලොස්සක් දේශපාලඥයෝ සියල්ල සුමුදුව සහ මැනවින් සිදුවෙමින් පවතින බවත්, සෞභාග්‍යය ඊළග වංගුවේ දී ළගාකරගත හැකි දුරක පවතින බවත් පවසමින් සිටින්නෝය. යමක් උත්කර්ෂයට නැංවීම, වර්තමානය සැළකූ විට, ඉහළින්ම සිදුවෙමින් තිබෙන දෙයකි. දශක ගණනාවකට එහා සිදුවූ ඇතැම් සිදුවීම්, ස්මර්ණය කිරීම සදහා පමණක් වැය කැරෙන මුදල අති විශාලය.

---------------------------------------

ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර
--------------------------------------

 



අදහස් (4)

අති විශේෂ පුද්ගලයන්ට ප්‍රමුඛතාව

nimal Friday, 16 April 2021 01:43 PM

පිටරටින් ගෙන්වන වසවිස ආහාර නැවත දේශීය ආහාර ප්‍රයෝජනයට ගන්න. ජනාධිපතිගේ සෞභාග්‍යයේ දැක්ම නිවැරැදිව ක්‍රියාත්මක කරන්න. පේනවා නේද රජයේ වැඩපිළිවෙළ වසවිස තිබෙන පිටරටින් ගේන ද්‍රව්‍ය නවත්වන්න. දේශීය ගොවියාව ශක්තිමත් කරන්න.

:       2       26

Sakura Saturday, 17 April 2021 08:36 AM

ඔක්කොම හරි. නමුත් ලිව්වේ මාධ්‍යවේදියෙක් කියලා තියෙන එක වැරදියි. පක්ෂයේ නම දැම්මා නම් ගොඩක් පැහැදිලියි.

:       1       37

fairoosMonday, 19 April 2021 07:21 AM

හා හාාා ඔහොම යමු

:       19       1

Pradeep Sunday, 18 April 2021 07:46 AM

උග්‍ර පිළිකා කාරක අඩංගු ෆාම් තෙල් ගෘහස්ථ පරිභෝජනයට අහිතකරයි. නමුත් බේකරි සහ බිස්කට් වැනි කර්මාන්තවලට යොදා ගැනීම අහිතකර නෑ. මාර ලොජික් එකක්... හාල්, මිරිස්, මුං ඇට සහ කහ ඇතුළු අනිකුත් කෘෂි නිෂ්පාදනවල ඇති හිඟයට සහ අධික මිලටත් වග කිවයුතු වන්නේ එදා මෙදා දක්වා රට පාලනය කළ අපගේ පාලක පන්තියමයි. කෘෂිකර්මාන්තයට මෙතරම් හිතකර වූ රටක් කෘෂිකාර්මිකව දියුණු කළ නොහැකි නම් ඉන් ගම්‍ය වන්නේ ඔවුන්ගේ නොහැකියාවයි. කලාපයේ අනිකුත් රටවල් ක්‍රම ක්‍රමයෙන් ආර්ථිකව ඉදිරියට යන විට අප තවමත් අතීත සිදුවීම් සමරමින් වලපල්ලට යමින් ඇත. මේ පාදඩ සහ බඩගෝස්තරවාදී දේශපාලන ක්‍රමය සහ දේශපාලකයින් පන්නා දමන තුරු මෙරටට ගොඩ ඒමක් නම් නැත.

:       12       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 234 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 211 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 58 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 299 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 211 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 260 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site