IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අඩ සියවසක මතක අතහැර සුමිත්‍රා අබිනික්මනට සැරසෙයි

(සමන්ත යහම්පත්)

ආසියාවේ මහා සිනමාකරුවකු මෙන්ම හෙළයේ මහා සිනමාවේදියා ලෙස ද සැලකූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් අපෙන් සමුගෙන මාස 9ක් ගෙවී ගොස් තිබේ. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාත් බිරිඳ වන  “හෙළ සිනමා කිවිිඳිය” ලෙස  සැලකෙන ප්‍රවීණ සිනමාවේදිනී සුමිත්‍රා පීරිස් මහත්මියත් ජීවත් වූ ඩික්මන් පාරේ (දැන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත) පිහිටි නිවස අතහැර දමා යෑමට ඇයට සිදුවී තිබේ. 

පුරා අවුරුදු 50ක් මේ දෙදෙනා ජීවත් වූ මෙම නිවස ලාංකීය සිනමාවේ මහ ගෙදර යයිද ඇතැමෙක් කියති. මක්නිසාද යත් බොහෝ සම්මානනීය සිනමාවේදීන් සිය මුල් කාලයේදී ලෙස්ටර් ශූරීන්ගේ ගුරුහරුකම් පතා එම නිවසට ආ බැවිනි. 

මෙම නිවස ජාතික උරුමයක් ලෙස රැක ගැනීමට කිසිම රජයකට හෝ නිලධාරීයකුට උවමනාවක් තිබුණේ නැත. මෙම නිවස රැක ගැනීමේ අවශ්‍යතාව පිළිබඳවත් ආචාර්ය ලෙස්ටර් ශූරීන්ගේ සිහිනය වූ සිනමා සංරක්ෂණාගාරයක අවශ්‍යතාව පිළිබඳවත් ලංකාදීපයේ ‘රසවින්දන’ අතිරේකයෙන් විවිධ අවස්ථාවලදී පෙන්වා දුන්නද ඒවා බීරි අලින්ට වීණා වාදනය කිරීමක් වැනි විය. 

දැන් සියල්ල සිදුවී හමාරය. අපි රටක් වශයෙන් ඒ පිළිබඳ ලජ්ජා විය යුතු නොවන්නේද? 
හෙළයේ මහා සිනමාවේදියා වෙනුවෙන් ගෞරවය  පුද කරන්නේ මෙලෙසද? 

ඒ පිළිබඳ සිතීම දැන් අතීතයට ගිය කාරණයක් පමණි. ලාංකීය සිනමාවේ මතක සියල්ල සිතේ තබා ගනිමින් ඇය දුක්බර ලෙසින් තමන් වසර 50 ක් ජීවත් වූ නිවස හැර දමා යන්නට තීරණය කර තිබේ. 

නිවස හැර දමා යෑමට ඇය ගත් තීරණයත්, සිනමාව පිළිබඳවත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාණන් පිළිබඳවත් ඇය හා කළ කතාබහ මෙසේ පෙළ ගැසේ.

හෙළයේ මහා සිනමාවේදියා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා ඔබතුමිය අඩසියවසක පමණ කාලයක් පදිංචිවී සිටි නිවෙස අතහැර යන්න හදන බව ආරංචියි. ඒ කතාවේ පසුබිම මොකක්ද ?

අපි දැන් සිටින නිවසට ආවේ 1969 වසරේ. මේ අවුරුද්දට අවුරුදු 50ක් වෙනවා. අපි එනවිට ඒ කාලයේ හැටියට මේ නිවස එතරම් හොඳට තිබුණේ නෑ. ගරා වැටුණු විදිහට තිබුණේ. අපි ඒක හදාගෙන වගේ තමයි පදිංචියට ආවේ. එංගලන්තයේ හිටියා ප්‍රනාන්දු කියලා පවුලක්. ඒගොල්ලො අපිට ගේ හදාගෙන බලාගෙන අපේ වගේ හිටියට ඉන්න දුන්නට අයිතියක් තිබුණේ නෑ. අපි ඉන්නවාට කුලියක් ගෙව්වා. 

ආචාර්ය ලෙස්ටර් පීරිස් මහත්මයා නැතිවෙන්න ඉස්සෙල්ලාම ඒ අය අපටත් නොකියා කම්පැණියකට මේ ගේ විකුණලා තිබුණා. ඒගොල්ලන්ට මුදල් අවශ්‍යතාවක් තිබෙන්න ඇති. නමුත් ඒ අය ඩොක්ටර් පීරිස් ජීවතුන් අතර ඉන්දැද්දීවත් මටවත් ලොකු ප්‍රශ්නයක් ඇති කළේ නෑ. ඒ අය හොඳ මිනිස්සු. 

ඒ අය මේ වෙනුවෙන් හුඟාක්  මුදල් වැය කරලා තිබෙන හින්දා ඒ අය මගෙන් ඇහුවා මෙය ආපහු ලබාගන්න පුළුවන්ද කියා. මොකද ඒ අය බිස්නස් එකක් වශයෙන් මෙය අරගෙන තිබුණේ. ඒ අයගේ සහයෝගයත් එක්කලා, මාත් මුදල් කොටසක් දාලා මිරිහානේ පැත්තේ ගෙයක් ගත්තා. මොකද මේ ගේ අපට අයිති නැහැනේ. ඒකයි යථාර්ථය. ඉතිං ඒ හින්දා යන්න මම තීරණය කළා. තීරණය කියන්නේ එකක්. නමුත් ඉතිං හිත ඇතුළේ දුකක් තිබෙනවා. 

ඇත්තටම මේ නිවස ලාංකීය සිනමාවේ එක් සන්ධිස්ථානයක්. මෙහි මතක සටහන් කොතරම්ද කියා නිම කරන්න බැරි තරම්. එහෙම නිවසක් අත්හැර යාම ගැන ඔබතුමියට දුකක් ඇතිවෙන එක සාධාරණයි. එහෙම නේද? 

ඇත්තෙන්ම ඔව්. අපේ හොඳම චිත්‍රපට හැදුණෙත් මෙහෙ ඉන්න කාලේ. මගේ චිත්‍රපට කලාව පටන් ගත්තේ මෙහේදී. අධ්‍යක්ෂවරියක් වශයෙනුත්, සංස්කරණ ශිල්පිනියක් ලෙසත් මේ නිවසේදී කළ වැඩ කොටස නිම කරන්න බැරි තරම්. එදා අපත් සමග සිටි හුඟාක්  අය අද නැති වෙන්නත් පුළුවන්. මේ නිවස අපේ සිනමාවේ මහගෙදරක් වගේ තිබුණේ.

ඕනෑම රැයක් ගත කරන්න හැමෝටම පුළුවන් තත්ත්වයක් තිබුණේ. මේක ගෙයක් නොවෙයි. සිනමාවේ එක් සංධිස්ථානයක්. ඇත්තටම සිනමාවේ එක් කොටසක් වගේ තමයි මේ නිවස තිබුණේ. අපට මේ නිවස ගන්න මුදල් තිබුණෙත් නෑ. ඒ අයටත් උනන්දුවක් තිබුණෙත් නෑ විකුණන්න. 

එක කාලයක උනන්දුවක් තිබුණ මේක විකුණන්න. එතකොට නීති ප්‍රශ්න තිබෙන්න ඇති. කලාකරුවෝ විදිහට අපි චිත්‍රපට කළා මිසක් මුදල් උපයන දේවල් කළේ නෑ. මට තිබුණු දේපළත් කලින් කළ විකුණලා ඒවාත් සිනමාවට යට කළා.  මේක සුවිශේෂි නිවසක්. ඒ හින්දයි මේ පාරත් (ඩික්මන් පාර) ඩොක්ටර් පීරිස් නමින් නම් කළේ. ඉතිං අවුරුදු 50ක් කියන්නේ කොයිතරම් කාලයක්ද? ඩොක්ටර් පීරිස් නැතිවුණාට පස්සේ ඇතිවු පාළුව කිසිදා මැකෙන එකක් නෑ. දැන් මේ ගෙදර බඩු මුට්ටු ඔක්කොම වගේ ඇදලා තිබෙන්නේ. ඉතිං මෙහි ඉඳගෙන උදේ තේ කොප්පයක් බොනකොට මට සිතුණේ මේක ලොකු හිස් පාළුවක් තිබෙනවා ජීවිතේ කියා. නමුත් යථාර්ථයට මුහුණ දෙන්න ඕනෑ නේද? අපිත් දැන් වයසට යන කාලයක්. 

ඔබතුමිය බොරලුගොඩ පරම්පරාවේ තැනැත්තියක්. ඒ ඥාතීන් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළට ගිය අය. ඒ අයටවත් වුමනාවක් තිබුණේ නැද්ද මේ නිවස රැක ගන්න. 

එහෙම ඉතිං රැක ගන්න කියා දෙයක් ඔවුන් සිතුවේ නැතිව ඇති. අනෙක ඉතිං මේවාට අපිම වගකියන්න ඕනේ නේද? අපටත් ඉතිං දෙමවුපියන්ගෙන් ලැබුණු දේපළ වුණත් රැක ගන්න තරම් උනන්දුවක් තිබුණේ නෑ. අපේ දේපළ විකුණලා සියලු දේ කැප කළේ සිනමාවටයි. ඒක තමයි යථාර්ථය. මට මතකයි ඩොක්ටර් පීරිස් නැතිවූ වෙලාවේත් මේ නිවස කෞතුකාගාරයක් කරනවා කියලා කතා කළා. දේශපාලනඥයෝ මේ ගැන ඒ වෙලාවේ ලොකුවට කතාබහක් ගෙන ගියා. නමුත් ඒවා  කට වචනයට විතරයි. අනෙක මගේ වයසත් එක්ක ඕවා ගැන කතා කරන්න ගියොත් මානසිකව තවත් මම වැටෙන්න පුළුවන්.  

නිදහසේ මේ කාලය ගත කරලා තව චිත්‍රපටයක් හදන්නත් ආසාවක් තිබෙනවා. එහෙම ලැබුණොත් ඊට වඩා තෘප්තියක් මට නෑ. එතැන තමයි මම ඉන්නේ. හොඳ තේමාවක් එක්ක චිත්‍රපටයක් කරන බලාපොරොත්තුව ඇරෙන්න වෙන කිසිම දෙයක් මා තුළ නෑ. 

මේ නිවස කෞතුකාගාරයක් බවට පත් කර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියාට ගෞරව කිරීමට පාලකයන්ට ඉඩ තිබුණා නේද? වෙන රටවල මහා සිනමාකරුවන්ගේ නිවාස ඒ තත්ත්වයට පත්කර තිබෙනවා. නමුත් අපට ඇයි ඒ අගය නොවැටහුණේ? ඔබතුමියට මොකද ඒ ගැන සිතෙන්නේ?

වෙන රටවල එහෙම තිබෙන බව ඇත්ත. ඔබ කියු ආකාරයට ඩොක්ටර් පීරිස්ගේ අගය පාලකයන්ට දැනෙන කොට දැන් හුඟාක් ප්‍රමාද වැඩියි. ඉතිං මේ අවසාන කාලයේ ඕවා ගැන ගැටලු ඇති කර ගන්නයි, මිනිසුන්ගේ හිත් රිද්දවන්නයි වැඩක් නෑ කියලයි මට හිතෙන්නේ. අපි පුළුවන් විදිහට ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ.

ඔබතුමිය මේ නිවස හැරයන බව දැනගත් විටදීවත් අදාළ බලධාරීන් හෝ ඥාතීන් කතා කළාද? මොනවද ඔවුන් පැවසුවේ?

නෑ. එහෙම දෙයක් ඔවුන්ට මම කිව්වෙත් නෑ. අත්සන් කළාට පස්සේ තමයි මම සමහරුන්ට ඒ ගැන කිව්වේ. මගේ පවුලේ කවුරුවත් දැනගෙන හිටියේවත් නෑ. මමයි, රියදුරයි මාව බලාගන්න කෙනයි විතරයි ඒ බව දැනගෙන හිටියේ. මම සිතුවා මේ ගැන කියන්න ගියොත් එක එක අය එක එක දේවල් කියාවි. එයින් තව මට මානසිකව ප්‍රශ්න ඇති වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ. ඉතිං හරි හෝ නරක කියලා මම ඒ තීරණය ගත්තා. හරිද වැරදිද කියලා මම තවම දන්නේ නෑ. අලුත් ගෙදරට ගිහින් බලන්න ඕනේ. 

මට මේ නිවසින් අයින් වෙන්න අවසාන දිනය දීලා තිබෙන්නේ මේ මාසයේ 17 වැනිදා. නැතිවුණොත් මට වන්දියක් ගෙවන්න වෙනවා. මිරිහාන පර්චස් 12ක ඉඩමක් තුළ තිබෙන නිවසකට යන්නේ. බලමු ඉතිං එතනට ගියාම තමයි මොකද වෙන්නේ කියලා. 

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් ජීරිස් මහා සිනමාවේදියා මියගොස් දැන් මාස 9ක් විතර වෙනවා. ඔබතුමියට මොකද දැන් සිතෙන්නේ?

මට හිතා ගන්න බැහැ මෙච්චර කාලයක් ගතවුණා කියලා. ඒක තවම නිකම් ඊයේ පෙරේදා වගේ. හැම තිස්සේම ඩොක්ටර් පීරිස් ගැන කතා වෙනවා. පුවත්පත්වල පළවෙනවා. හැම තිස්සේම ඔහු මතක් කරනවා. පුද්ගලයකු වශයෙනුත් එතුමා හරිම කරුණාවෙන් කතාකරන කෙනෙක්. කාගෙවත් හිත රිද්දන්න කැමති නෑ. ඒ මතකය තවම මගේ සිතේ තිබෙනවා. මා තුළ හැමදාම ඩොක්ටර් පීරිස් ඉන්නවා. 

අපි දෙන්නා විවාහ වුණේ 1964 දී. අපේ විවාහ දිවියේ 50 වැනි සංවත්සරයත් මේ  නිවසේදී සමරන්න ලැබුණා. එතුමා අවුරුදු 99 ක් වනතුරු ජීවත් වුණා. මම හිතන්නේ එක අතකින් ඔහු නිදහස්. අන්තිම අවුරුදු 2 තුලදී දැනුම, කල්පනාව තිබුණාට නියම විදියට ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් ශක්තියක් එතුමාට තිබුණේ නෑ කියලයි මට සිතෙන්නේ. ඒ වුණාට සාමාන්‍යයෙන් දෙයක් වටහාගැනීමේ ශක්තිය තිබුණා. කොහොම වුණත් මට නම් එතුමා තවමත් ඉන්නවා වගෙයි හිතෙන්නේ. 

ආචාර්ය පීරිස් කියු දේවල් පිළිබඳව පාලකයන්, බලධාරීන් කිසිම දෙයක් නොකිරීම ගැන ඔබතුමියට දුකක් නැද්ද? එතුමාගේ සිහිනයත් මේ නිලධාරීන් බොරුවක් කළා නේද? 

හැම පාලකයෙක්ම හැම නිලධාරියෙක්ම ඩොක්ටර් පීරිස්ගෙන් ඇහුවාම හැම තිස්සේම කිව්වේ සංරක්ෂණාගාරයක් හදන්න කියලයි. එයාගේ ගැනවත් අපි හිටිය මේ නිවස ගැනවත් එතුමාගේ කටින් කවදාවත් කිසිම දෙයක් කියැවිලා නෑ. එයා හැම තිස්සේම පැවසුවේ මේ සිනමාව රකින්න ඕනේ, නියම විදියට සංරක්ෂණාගාරයක් හදලා මේ චිත්‍රපට ආරක්ෂා කරගත යුතුයි කියලයි. එයාගේ එකම සිහිනය වෙලා තිබුණේ ඒකයි. ඒකවත් හරියට කෙරුණේ නෑ. ආයතනවල ප්‍රශ්න නිලධාරීන්ගේ ගැටුම් නිසා ඒවා හැමදාම පස්සට ගියා. 

හැමෝම කඹ ඇද ඇද සිටියා මිසක් ඒවා කෙරුණේ නෑ. දැන් ඉතිං යන්තම් පොඞ්ඩක් සංරක්ෂණයක් තිබෙනවා. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ පිහිටුවා තිබෙන කොටසක් නිසා ඒකේ වායුසමීකරණ කාමරයක් තිබෙනවා. චිත්‍රපට සංස්ථාවේ වායු සමීකරණවත් හරියට තිබුණේ නැහැනේ. අපි පිටරට යනකොට අපේ චිත්‍රපටත් ගෙදර වායු සමීකරණයේ තිබූ දේවල් ඒ අයට භාර දුන්නාට පස්සේ ඒවාත් හුඟාක් ඒවා නැතිවෙලා ගියා. 1956 ඉඳලා ඩොක්ටර් පීරිස් කතාකළේ මේ සංරක්ෂණ ගැනයි. ඒක ගැන නියම අවබෝධයක් මේ අයට නෑ. සංරක්ෂණය වගේම පුනරුත්ථාපනයක් කරන්නත් ඕනේ. මේවා අලුතින් ඩිජිටල් ක්‍රමයට හරි අලුත් කරගත යුතුයි. නමුත් ඒවා කෙරුණේ නෑ. කෙරෙන්නේ නෑ. උනන්දුවක් ඇත්තෙත් නෑ. ඒ අපේ ඉතිහාසයයි. අනාගත පරපුරට ඒවා නැතිවීම දුකක්. 

දැන් ඔබතුමියත් සිනමාවෙන් ඈත්වෙලාද ඉන්නේ? 

සිනමාවෙන් අයින් වෙන්නේ නම් නෑ. දැන් ඉතිං ඇඟේ තිබෙන ශක්තිය වුණත් අඩුයි. චිත්‍රපටයක් කරන්න සෑහෙන්න මහින්සි වෙන්න ඕනේ. චිත්‍රපටයක් කරන්න ආසයි. මම දන්නේ නෑ අවස්ථාව ලැබෙයිද කියා. මුදල් ගොඩක් ඒ වෙනුවෙන් ඕනෑ. අනෙක් එක ප්‍රදර්ශනයත් දැන් හුඟාක් අවුල් ජාලාවක් වෙලා. සිංහල චිත්‍රපටවලට දී තිබු තිර කාලයත් දැන් ඉවර වෙලා. ඕනෑම දෙයක් ඕනෑ ඕනෑ විදියට පෙන්වන්න පුළුවන් වෙලා. අද කිසිම පාලනයක් නැතිවීම දුකක්. මම ඒවා ගැන වැඩිය දන්නේ නෑ. විමසීමෙන් ඉඳලත් නෑ. ප්‍රමිතියක් නෑ. කොහොම විදියට චිත්‍රපට රිලීස් වෙනවාද කියා මා දන්නේ නෑ. 

ඉස්සර ෑ සිනමාව ප්‍රතික්ෂේප කළා. ඊට වඩා ඉහළ ප්‍රමිතියෙන් යුත් 2ණ, 4ණ සිනමාවක් ගැන හැමෝම කතා කළා. නමුත් දැන් නම් ෘඪෘ ජංගම දුරකතනවලින් හැදු චිත්‍රපටත් තිරගත වෙනවා. ඒ හින්දා චිත්‍රපට 100ක්  විතර පෝලිම් ගැසිලා පෙන්වන්න බැරිව ඒවා වර්ග කිරීමක් නෑ. මම දන්නේ නෑ මේවායේ නියම තත්ත්වය මොකක්ද කියලවත්. හැබැයි මම දන්න විදියට නම් මේ සියල්ල නරක පැත්තට  ගිහිල්ලා වගෙයි පෙනෙන්නේ. 

ඔබතුමියට අපේ සිංහල සිනමාව පිළිබඳව අද දවසේදී මොකද සිතෙන්නේ? 

මට නම් ලොකු කලකිරීමක්  සිතෙනවා. මම හිතන්නෙ නෑ ලොකු අනාගතයක්  අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියා සිංහල සිනමාවේ. ලොකුම වෙනසක්  වුණොත් ඒ ගැන හිතන්න පුළුවන් වේවි. ප්‍රේක්ෂකයන්  අද වෙනස් වෙළා. එදා කිව්වා ගැලරියට හදන චිත්‍රපට තිබුණ කියලා. අද ඉතිං හැමෝම ගැලරියේ ඉන්නවා වගෙයි තමයි පේන්නේ. කිසිම රුචිකත්වයක් නෑ. හොඳ රුචිකත්වයක් තිබෙන සීමිත කොටසකුත් ඉන්නවා. ඒක තව දියුණු වෙලා ලොකු ඉල්ලීමක් ආවොත් මේ සිනමාවේ වෙනසක් ඇතිවේවි. 



අදහස් (28)

අඩ සියවසක මතක අතහැර සුමිත්‍රා අබිනික්මනට සැරසෙයි

Sajeewa Friday, 11 January 2019 11:12 AM

මේ පිළිබඳව ඔබතුමන්ලා පුද්ගලිකව හෝ ජනාධිපතිතුමන් හා නිවාස අමාත්‍යතුමන් දැනුවත් කරන්න... කරුණාකර !!!

:       55       52

PohottuwaFriday, 11 January 2019 03:25 PM

මොකටද? අයිතිකාරයාට ගෙය ඕනෑලු. ලොකු අමාරුවක් තියෙනවනම් ඔබගේ ගෙදර පූජා කරන්න. මෙයා ළඟ බැංකු වල තැන්පතු මුදල් හංගලා තියෙනවා.

:       345       347

lanka Friday, 11 January 2019 12:03 PM

සමහරුන් මෙන් තමන් කුලියට වසන නිවස බලෙන් අයිති කරගන්නට තැත් නොකර, තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන වෙනත් නිවසක පදිංචියට යාම කොතරම් විනීත ක්‍රියාවක්ද?

:       1       191

Atthanayake Friday, 11 January 2019 12:22 PM

මොන සම්මාන ගත්තත් වැඩක් නැහැ.. මැරෙන්න ගෙයක් හදාගත්තේ නැත්නම්... ඔය කී කතන්දර අපිට නම් වැඩක් නැහැ..

:       204       160

ChandimaFriday, 11 January 2019 02:46 PM

මේ වගේ මිනිස්සුන්ට ඔය විදියට කතා කරන එක තමන්ගේ හැදියාවේ අඩුවක්...

:       112       276

pohottuwaSaturday, 12 January 2019 05:30 AM

අනුන්ගේ දේපල බලයෙන් අයිති කරගන්න බලන එක තමන්ගේ හැදියාවේ අඩුවක්...

:       23       104

sakrayaSaturday, 12 January 2019 05:57 AM

අනුන්ගේ දේපල අල්ලාගන්නට කුරුමානම් අල්ලන උදවිය ජන්මයේ අඩුවක් පෙනෙනවා..

:       3       90

upasena hewageSunday, 13 January 2019 12:10 PM

හොඳ චිත්‍රපට පෙන්වන ශාලාවකට වැස්සකටවත් ගොඩවුණු කෙනෙක් මේ වගේ අමන කතාවක් කියන්නේ නැහැ...

:       52       21

niwaasa deyyoMonday, 14 January 2019 03:59 AM

හෙවගේ මහත්තයෝ ඔවුන් සිනමාවට කල අනුපමේය සේවය පිළිබඳව කිසිම වාදයක් නැහැ. ඉතාමත්ම සුපිරි සේවයක් සිදුකලේ. ඒ සඳහා අපගේ උත්තමාචාරය. ගෙදරින් දොට්ට වැටිච්ච සහ ගෙය දාල යන්න ඇති අමාරුව ලෝකයාට පෙන්වන විදිහ අමූලික ප්‍රෝඩාවක් විතර බව ගැනයි මේ කතිකාව. නිවසේ අයිතිකරුට අඩුම වශයෙන් අවුරුදු 25 විතර නඩු කියමින් , කුලී ආදායම මෙන් දහස් වරක් නීතීඥයන් සඳහා ගෙවන්ට සිදුවීමත්, අනෙක වාරයක් උසාවි ගානේ රස්තියාදු වෙමින් නිවසේ අයිති කරුවන්ට තමන්ට නීත්‍යානුකූලව හිමි නිවසස්ථානය නිසි කලට ලබා නොදීම / වැලැක්වීම මත පීරිස්ලට වඩා දහස් වරක් සුසුම් හෙලා නොමැතිද ? සුමිත්‍රා අඩුතරමේ අමාරුවෙන්, නොකෙමත්තෙන් ගෙයින් අභිනිෂ්ක්‍රමණය කරනවා . නමුත් නිවසේ අයිතිකරුවන් තමන්ට හිමි දේපල ලබාගැනීමට නොහැකියාව මත සුසුම් හෙලමින් ජීවිතයෙන් අභිනිෂ්ක්‍රමණය කරවීමට කල ක්‍රියාවන් මොන තරම් අසාධාරණද ? තමන් හිටි කුලි නිවස බලෙන් අයිති කරගන්නට තැත් කල ක්‍රියාව වසන් කර සිනමාවට කල සේවය , මුදල් නොමෙතිකම, සිනමාවේ සන්දිස්තානය නිසා දුක් වන බව පෙන්වීම ප්‍රෝඩාවක් බව තමයි කතිකාව.

:       3       105

pohottuwa Friday, 11 January 2019 03:19 PM

මේක පීරිස්ට අයිති නිවසක් නොවෙයි. අයිතිකරු වෙනත් පුද්ගලයෙක්... නමුත් පීරිස්ලා දන්නා දහම් ගැට සියල්ල ගහලා අයිතිය ලබා ගන්න බැලුවා. මේ ගෙය අයිති ඔබට නම්, ඔබ පීරිස්ලාට නොමිලේ ගෙය අයිති වෙන්න දෙනවාද? මොන ලෝකේ සාධාරණ නීතියක්ද? හිතලා බලන්න ඔබගේ කුලී නිවැසියා ඔබට අයිති නිවාසය නීතියක් දාල ගන්න හැදුවොත් ඔබ ඉඩ දෙනවාද? ඔබ එයට කැමතිද?. ඔබ දාඩිය මාන්සියෙන් උපයපු දේපල කුලී නිවෙසියාට පූජා කරනවද? එය එසේ නම් අයිතිකරුට අවශ්‍ය වෙලාවට ගෙය ලබා ගැනීමට හැකියාව තිබිය යුතුයි. අවුරුදු 50න් හම්බකරපු සල්ලි කොහෙද යටිමඩි ගැහැව්වේ? බොක්ස් ඔෆිස් වාර්තා/ ආදායම් වාර්තා පිහිටවපු ෆිල්ම් සියල්ලම. සල්ලි බැංකුවල දාලා බැලුවා අවුරුදු 50 ක් හිටිය නිසා ගෙය අයිති කරගන්න. මේවාට කියන්නේ කිඹුල් කඳුළු කියලා. මේවා ඔක්කොම බොරු බබා පාට්...

:       164       736

hesa Friday, 11 January 2019 09:21 PM

මෙතන කුමක් හෝ ලොකු දෙයක් ඇති නොකියන. ඇත්ත නම් කිසි කෙනෙක් මේ ගැන දන්නේ නැත්ද, මේ වසර ගානට ඉපයූ මුදල කෝ ..එක්කෝ ගේ හිමි කරුට නයක් වී ඇත්ද "මේක ගෙයක් නොවෙයි. සිනමාවේ එක් සංධිස්ථානයක්. ඇත්තටම සිනමාවේ එක් කොටසක් වගේ තමයි මේ නිවස තිබුණේ. අපට මේ නිවස ගන්න මුදල් තිබුණෙත් නෑ. ඒ අයටත් උනන්දුවක් තිබුණෙත් නෑ විකුණන්න. " මේ කතාව අහල රජයෙන් අරන් දෙවි මෙයලටම

:       46       7

kulee niwasiya. Saturday, 12 January 2019 05:07 AM

"ඒ අයගේ සහයෝගයත් එක්කලා, මාත් මුදල් කොටසක් දාලා මිරිහානේ පැත්තේ ගෙයක් ගත්තා. මොකද මේ ගේ අපට අයිති නැහැනේ. ඒකයි යථාර්ථය. " යතාර්ථය එය නොවෙයි. යතාර්ථය තේරුම් ගත්තේ අවුරුදු 50ක් ගිය පසුයි.

:       3       142

niwaasa deyyo Saturday, 12 January 2019 05:23 AM

"මේ කතාව අහලා රජයෙන් අරන් දෙවි මෙයාලටම" ? රෙදි ගලෝගෙන හිටපු අයටත් රජයෙන් ගෙවල් දීපු කොට ඇයි මෙයාට නොලැබෙන්නේ? ඉල්ලුවොත් දුන්නා. මම දන්නා හැටියට ගෙවල් තියෙන අයටත් රජයෙන් අපගේ බදු මුදලින් පිනට ගෙවල් දුන්නා. ගෙවල් තිබුණු අය ඒවා විකුණලා රජයෙනුත් පින් ගෙවල් ගත්තා... මෙයාට විතරක් නොලැබුණේ ඇයිද කියලා පොඩ්ඩක් බුද්ධිමත්ව හිතන්න පුරුදු වෙන්න...

:       1       77

niwaasa deiyo Saturday, 12 January 2019 05:28 AM

මෙන්න යතාර්ථය නඩු තීන්දුවක්... මට මේ නිවසින් අයින් වෙන්න අවසාන දිනය දීලා තිබෙන්නේ මේ මාසයේ 17 වැනිදා. නැතිවුණොත් මට වන්දියක් ගෙවන්න වෙනවා. අනුන්ගේ ගෙවල් බලෙන් අල්ලගන්න බලන අයට අවසානයේ වෙන දෙය තමයි මේ... ගානක් අරගෙන කලින්ම ගියානම් නේද හොඳ?

:       0       77

ලුම්බිණි Saturday, 12 January 2019 07:35 AM

මෙතුමිය කියනවා 'ඒ අයගේ සහයෝගයත් එක්කලා, මාත් මුදල් කොටසක් දාලා මිරිහානේ පැත්තේ ගෙයක් ගත්තා. මොකද මේ ගේ අපට අයිති නැහැනේ. ඒකයි යථාර්ථය' කියල. ඉතින් මොකද්ද මෙතන ප්‍රශ්නය? මම හිතන විදියට මෙතුමියල හිතාගෙන ඉන්න ඇති දවසක රජයෙන් මෙම නිවාස මේ අයට අරගෙන දේවී කියල. නැත්නම් අවුරුදු 50ක් කුලියට ඉඳීද? ජේ ආර් ජයවර්දන යුගයේදී මෙතුමියගේ සිනමා පටියකට ජනාධිපති සම්මාන ලැබුනේ නැහැ කියල මෙතුමිය හැසුරුන අයුරු මතක අය ඇති මම හිතන්නේ.

:       3       30

sampath Saturday, 12 January 2019 10:16 AM

අකන්ද නිර්බාධි භුක්තියක් වසර 10ක් තිබුනා නම් එය ඔවුන්ට හිමිවෙනවා. නමුත් හිමිකරු විදෙශ ගත වෙලනම් එම කාලය වසර 30ක් දක්වා වෙනවා.තමන්ට දේපොලක් තිබේනම් එය මානව පාලනය කරන්න නිසි පරිදි බදු ඔප්පුවකින් ලබා දෙන්න අවසර ලබින් විදියට එන අය පසු කාලීනව ඉවත් කර ගැනීමට අපහසුයි..ඒ වගේම භුක්තියෙන් ඉවත් කිරීමට බලයක් පොලිසියටත් නැහැ එවෙනි තත්ත්වයකදී සිවිල් නඩුවක් පැවැරිය යුතුයි.දේපල සම්බන්දව ඉතා විමසිම්මෙන් ක්‍රියා කිරීම හැමොටම හොද ආදර්ශයක්

:       0       9

chathuri Saturday, 12 January 2019 10:55 AM

මේ. කතාව කියවනකොට ඇත්තටම. දුකයි ජිවිත කාලය පුරාවටම උපයා ගත් මුදල් සියල්ලම. , රට වෙනුවෙන් ,සිනමාව වෙනුවෙන් රටේ ජනතාවගේ විනෝදාස් වාදය වෙනුවෙන් චිත්‍ර පටි තැනුවා. තමන්ගේ. හිසට සෙවනක් වෙනුවට , ජනතාවගේ වෙනුවෙන් ඒ අයගේ. හිත. පිනෙව්වා. කාල ,බීලා ජොලි කරලා මුදල් නාස්ති. කෙරුවේ. නැහැ. සේරම. රට වෙනුවෙන් මුළු ලෝකෙට්ටම අපේ රටත් සිනමාවෙන් ඉදිරියෙන් තිබ්බා දැන්. වයසයි. නමුත්. හිත තවමත්. ශක්තිමත් , ඔබ ගන්නාවූ අලුත් නිවස. කෞතුකාගාරයක් කරන්න. පුළුවන් , ඔබට අන්තිම ආශාව රටේ ජනතාව. වෙනිඋවෙන් තව චිත්‍ර පටියක් අධයක්ෂණය කිරීමයි , සියලු. දනවතුන් ඔබට උපකාර කළ යුතුයි , නමුත් මෙයට අදහස් දමා සමහරුන් තිරිසන්නු වගේ , මුන්ට වැඩිහිටියා , රටේ ශේෂ්ට මිනිසුන්ට කතා කරන්න දන්නේ. නැහැ. වැඩක් නැහැ. මේ අමන ගතිගුණ තියෙනකම්. මේ රට ගොඩ ගන්න. බැහැ. ඔබතුමියගේ අවසාන නිෂ්පාදනය වැඩිහිටියන්ට පමණක් කියන කතාවක් හදන්න ඔබට දොස් කියනමේ කට්ටිය ඉදිරියේන්ම ඉඳි මංගල දර්ශනයට ඒ වගේ කට්ටියක් මේ. ලැජ්ජයි

:       24       4

kapTuesday, 15 January 2019 09:23 AM

ඔච්චර දුක නම්, ඔයාගෙ ගෙයක් දෙන්නකො , අඩුම ගානෙ ජීවිත බුක්තියට..තමන්ගෙ ගේ නොවන නිසා, හෑමෝම අයිතිකාරයට බනිනවා . නමුත් ඈත්ත කතාව, කුලී ගෙයක් හිටියොත් යන්න ඕනෙ. එච්චරයි. මේක ඕනෙම කෙනෙක්ට අදාලයි. අතේ සල්ලි වලින් ෆිල්ම් හදන්නෙ මොකටද? නිශ්පාදකයනෙ සල්ලි දෙන්නෙ?

:       0       4

hesa Saturday, 12 January 2019 11:27 AM

කාට ගෙවල් දුන්නත් කමක් නැහැ. මම අදහස් , කලේ මෙයාල හිටියේ රජවරු වගේනේ. දැන්නේ දන්නේ මේ කතාව. ඉතා ප්රවීන රංග ධරයන් දුක් විඳලා මැරිලා ගිය මොකුත්ම නැ

:       2       11

ප්‍රදීප් Saturday, 12 January 2019 03:43 PM

ලෙස්ටර් යුවල සිනමාවට ලොකු සේවයක් කලා. එය අගේ කලයුතුයි. නමුත් මේ නිවස ඔවුන්ගේ නෙමෙයි. වෙනත් නිවසකට යන එක නීතිගරුක පුරවැසියකුගේ යුතුකම. චිත්‍රපටි හදන්නට මුදල් වැය කලත්, මේ ගෙය ලබාගන්නට සිතුවා නම් වැරදියි. ලංකාවට සේවයක් කලා කියලා හැමෝම රජයෙන් ගෙවල් බලාපොරොත්තු වෙන පුරුද්ද නැතිවෙන්න ඕනේ නේද? මෙතුමිය ගෙයක් මිලදී ගත්ත එක නම්බුකාරයි.

:       0       169

niwaasa deyyo Sunday, 13 January 2019 06:03 AM

මෙන්න යතාර්ථය "ඒ අයටත් උනන්දුවක් තිබුණෙත් නෑ විකුණන්න. " මේ කියමන අමූලික බොරුවක්. මේ අය ලොකු ලොක්කන්ගේ හයියෙන්, බලයෙන්, ගෙදර බලහත්කාරයෙන් රැඳිලා හිටියා. අයිතිකරු නොවඳිනා වැඳුම් වැඳලා ගෙය ඉල්ලුවා. මුලින් දරුවන්ගේ අනාගතය සඳහා තෑගිදීමට ඉල්ලුවා. දුන්නේ නෑ. අයිතිකරුවන්ට වෛද්‍ය කටයුතුවලට මුදල් අවශ්‍යයි, එ්කට ගෙය විකුණන්න ඕනෑ කියලා ඉල්ලුවා. දුන්නේ නෑ. එතකොට අයිතිකරු උනන්දු වුනත් විකුණන්න බෑ. ගෙවපු කුලිය කීයද? ගෙවූයේ 1972 විතර " සම්මත කුලිය" නොවේද? ලෝකයට පෙන්වන පරකාසේ සත්‍ය වශයෙන් මේ චරිත වල නැහැ. රෙදි ගලෝගෙන හිටපු අයටත් රජයෙන් ගෙවල් දීපු කොට ඇයි මෙයාට නොලැබුණේ? වර්තමාන අයිතිකරුගෙන් ලබාගත් සන්තෝසම් මුදල මිරිහානේ ගෙය වගේ 2- 3 ගුණයක් නෙමෙයිද? කොහොමද පුද්ගලික නිවසක "මේක ගෙයක් නොවෙයි. සිනමාවේ එක් සංධිස්ථානයක්. ඇත්තටම සිනමාවේ එක් කොටසක් වගේ තමයි මේ නිවස තිබුණේ ". පුද්ගලික නිවසක ව්‍යාපාරයක් කිරීම නීති විරෝධියි. ලෝකය දැන් හරි දැනගන්න ඕනි සත්‍යය...

:       3       126

සත්‍ය Sunday, 13 January 2019 10:12 AM

සත්‍ය සැමදා ජය ගනියි. ඒකයි ලෝක ධර්මතාවය... බොරුවෙන් හොරකමින් සැමදා ජීවත්විය නොහැක..

:       1       75

hesa Sunday, 13 January 2019 10:13 AM

"මේ අය ලොකු ලොක්කන්ගේ හයියෙන්, බලයෙන්, ගෙදර බලහත්කාරයෙන් රැඳිලා හිටියා." ඒ අයට ඒ සඳහා බලය ශක්තිය තිබිලා. නැති බැරි එකාට මොකද වෙන්නේ... ඇදල දානවනේ එළියට. එදාට පත්තරේ දාලා රටටම දැනුම් දෙනවද?... නැහැ. අනන්තවත් රටට මහත් සේවයක් කළ, පිළිගත් කලාකරුවන් මැරිලා යනවා මොනවත් නැතිව... එ්ත් ප්‍රසිද්ධ හැකි ඇති අයටමනේ සැලකිලි... මේ අයට ලැබුණා කියලා ඇති දෙයක් නැහැ. සාධාරණය ගැනයි මේ කතාව...

:       2       81

dias Monday, 14 January 2019 01:45 PM

මේ අයට නිවසක් මිලදී ගැනීමට මුදල් නොතිබුණා යයි කීම විශ්වාස කල නොහැක. මෙතන බොහෝවිට සිදුවී ඇත්තේ අතීතයේ ගෙව් සුළු කුලිය වර්තමානය දක්වා ගෙවමින්, නිවස බලෙන් අත්පත් කරගැනීමට තැත් කිරීමකි. ඒ උත්සාහය වැරදුනු පසු, නිවෙස් හිමියාගෙන් මුදල්ගෙන වෙන නිවසක් මිලදී ගත් බවයි පෙනී යන්නේ. මෙය පීරිස් පවුලට රටේ තිබුණු පිළිගැනීමට සරිලන හැසිරීමක් නොවේ යයි නොසිතමි...

:       1       91

athula Monday, 14 January 2019 06:00 PM

මේවගේ දේවල් වලට කුණු වැඩ නොකර හරි දෙයක් කතා කලොත් නරකද ? රටේ හිටපු පාලකයෝ සහ ඉන්න පාලකයෝ යටි මඩි ගහ ගත්ත මහජන ධනය මෙවගේ දෙයකට යොදවලා මේ මහා සිනමා කලාව සංරක්ෂණය කරන එක ඒ අයට ලොකු දෙයක්ද? කතාව අවශ්‍ය එතුමා රටට ඉතිරි කල සිනමාව සංරක්ෂණය කරන එක රජයේ යුතුකම නොවේද ? කියන එකයි.

:       3       13

chinthana Wednesday, 16 January 2019 02:43 AM

"කලාකරුවෝ විදිහට අපි චිත්‍රපට කළා මිසක් මුදල් උපයන දේවල් කළේ නෑ" එතකොට මේ දෙන්නා චිත්‍රපටි අධ්‍යක්ෂණය කලේ සල්ලි ගන්නෙ නැතුවද? වාහන, රියදුරන්, සේවකයන් තියාගෙන ඔවුන්ට පඩි ගෙවාගෙන ඉන්න පුලුවන්ද සල්ලි නැත්නම්? සම්භාව්‍ය කියන අයගෙ ගාස්තු සරල විනෝදාත්මක කලාව කරන අයගෙ ගාස්තුවලට වඩා වැඩියි. කලාකාරයො අතර තියන බෙලිකැපිලි ගැන කලාකාරයොම ප්‍රසිද්ධියෙ කියනවනෙ. බොරලුගොඩ පවුල කියන්නෙ ධනවත් රදල පවුලක්. මෙයාටත් ගෙයක් නැතත් ඉඩමක්වත් උරුමයෙන් ලැබෙන්න ඇතිනෙ. ඒකෙ ගෙයක් හදා නොගෙන මේ කොළඹ නගරයෙ ඉන්න ඕනෑවට කුලියට හිටියෙ. ඩික්මන් පාරෙ ගෙයක් කුලියට ගන්න ලොකු මුදලක් ඕනැ. මෙයා කීයක් ගෙව්වද දන්නෙ නෑ. සමහරවිට අවුරුදු 50කට කලින් ගෙවපු ගානම මේ වෙනකම් ගෙවන්න ඇති. රටේ නීතිය දේශපාලකයන්ට හැර අනිත් හැමෝටම එකයිනෙ. ඒනිසා අනුන්ගෙ ගෙදරක බලෙන් ඉන්නෙ නැතුව යන්න ඕනැ. වමේ දේශපාලකයෙක් බලෙන් අල්ලගෙන ඉන්න සෝනියා දිසාගෙ ගෙදර තාම දෙන්නෙ නෑ. රජයෙන් මොකවත් කරන්නෙත් නෑ.

:       0       20

chinthana Wednesday, 16 January 2019 02:44 AM

සංරක්ෂණාගාරයක් හදන එක හොඳයි. ඒක මෙතනම හදන්න ඕනැ කියල නීතියක් නෑ. සුදුසු තැනක හදයි. කවුරු මොනවා කිව්වත් පරණ චිත්‍රපටි ඩීවීඩී කරල විකුණන අය නිසා තමයි මේ තරමින් හරි පරන චිත්‍රපටි සංරක්ෂණය වෙලා තියෙන්නෙ. සංරක්ෂණය වෙන්න ඕනැ චිත්‍රපටිය බලන්න පුලුවන් ඕනැම ආකාරයකින්. එහෙම නැතුව පරණ සෙලියුලොයිඩ් පටි රෝල් වායුසමනය කළ කාමරවල තියන්නම ඕනැ නෑ.

:       0       1

Duncan Thursday, 17 January 2019 03:59 AM

මේ කලාකරුවන් ජාතියේ සම්පත්.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 245 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 213 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 58 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 301 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 211 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 260 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site