සටහන - බිඟුන් මේනක ගමගේ

කිතුවස් හෙවත් භාවිත වර්ෂ ක්‍රමයෙන් මාස දොළහක් ගෙවා නව වසරක් උදාවේ. ජූනුස් නැමැති දෙවියාගේ නම මේ උදාවන පළමු මාසයට ජනවාරි යනුවෙන් භාවිතා වේ. මෙම දොළොස් මාස ක්‍රමය ආරම්භ වූයේ යේසුස් වහන්සේගේ උපත මුල්කරගෙනය. එයට ජුලියස් සීසර් කැලැන්ඩරය යනුවෙන් හඳුන්වයි.

මේ අතර රෝම රාජ්‍ය නායකයකු වූ ඔගස්ටස් සීසර් නම් කළ කැලැන්ඩරය සමාජ සම්මත කළ නිසා, ග්‍රෙගරියානු කැලැන්ඩරය යනුවෙන් වර්ෂ 2017 කට පෙර සිට භාවිතයට පුරුදු විය.

සූර්යා වටා පෘථිවියට ගමන් කිරීමට දින 365 ක් සහ පැය 6 ක් ගතවන බව අපි දනිමු. මෙම පැය 6 කාලය වසර හතරක් ගතවන විට පැය 24 ක් හෙවත් එක් දිනක් වේ. ඒ වර්ෂය අධික වර්ෂය ලෙස හැඳින්වේ. එම අධිකය අඩු දින ගණනක් ඇති පෙබරවාරි මාසයට එකතු කර වසර හතරකට පසු පෙබරවාරි මාසයට එකතු කර දින 29 ක් ලෙස හැඳින්වේ.

මේ වර්ෂ ක්‍රමය යේසුස් වහන්සේ උපතේ සිට දින 31, 30, 28 ආදී වශයෙන් අද ලෝකේ බොහෝ රටවල භාවිත කරන අතර ඔවුන් එහි ආරම්භක දිනය ජනවාරි 1 දින අලුත් අවුරුද්ද ලෙස සමරනු ඇත.

මෙම ක්‍රමයටත් පෙර කලියුග වර්ෂ වශයෙන් භාවිත වර්ෂ ක්‍රමයක්ද තිබුණි. ඒ අනුව දැනට 5118 වැනි වර්ෂය ගතවේ.

බෞද්ධයන් වශයෙන්, බෞද්ධ රටවල භාවිත කරන්නේ බුද්ධ වර්ෂයයි. මෙහිදී බුදුරදුන්ගේ බෝධි සත්ව උපතේ සිට ගණන් නොගනී. බෝසතාණෝ බුදු වූ දිනයේ සිට සම්බුද්ධත්ව වර්ෂය වශයෙන් සලකනු ඇත. පසුගිය වසර හතකට පෙර සැමරුවේ සම්බුද්ධත්ව ජයන්තිය 2600 වැනි වසරයි. සිදුහත් කුමරා මව්කුසින් බිහිවීමට වඩා වැදගත්, සම්බුධත්වයේ උපතයි. එය අති ශ්‍රේෂ්ඨ උපතක් වශයෙන් මනුෂ්‍යයන් අතර පමණක් නොවේ. දෙවියන් බ්‍රහ්මයින් අතරත් ඒ බුදු උපත අසිරිමත් උපතක්ය.

එනිසා අන්න ඒ බුද්ධත්වයේ දිනය බුද්ධ වර්ෂ වශයෙන් භාවිතා කිරීම නිසා බුදු වසයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට මාරයා ආරාධනා කිරීමට පෙර බැරි වෙලාවත් ආනන්ද තෙරුන්, “අනේ බුදු පියාණනි, ඔබ වහන්සේ කල්පයක් මුළුල්ලේ ජීවමානව වැඩ සිටන සේක්වායි” ආරාධනා කළා නම් අදත් බුදු රජාණන් වහන්සේ ලෝකවාසීන්ට දැක බලා ගැනීමට තිබිණි.

බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ සිට බුද්ධ වර්ෂය අද භාවිතා කළත් පිරිනිවන් නොපා අද වැඩ සිටියා නම් අද බුද්ධ වර්ෂයක් නැත. එනිසා පිරිනිවන් පෑමේ සිට 2561 ක් සලකනවාට වඩා සම්බුද්ධත්වයට පත්වීමේ සිට බුද්ධ වර්ෂය භාවිතා කිරීම නිවැරැදියි.

ඒ අනුව බෞද්ධයාගේ වර්ෂය ආරම්භ වීම සිදුවන්නේ වෙසක් පුන් පොහොය දවසයි. වෙසක් දිනය අපේ වර්ෂාරම්භය වශයෙන් ඉතා උසස් අන්දමින් සමරන්නේ ඒ නිසයි.

බෝසතාණන් වහන්සේගේ මෙලොව උපතත්, බුදුවීමත්, පිරිනිවන් පෑමත් වෙසක් පුන් පොහෝ දිනකම ආශ්චර්‍ය්‍යවත් ලෙස සිදුවීමෙන් වෙසක් බොදු වර්ෂ නව උදාවක් ලෙසින් මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ලෝකවල පවා සමරනු ඇත.

ජ්‍යොතිෂය අනුව අලුත් අවුරුද්ද සැමරීම ඉන්දියානුවන් විසින් සැලැකුවේ වෙනත් ආකාරයකටයි. එය සූර්‍ය්‍යා අහසේ පිහිටා ඇති රාශි සටහන් අනුව, මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා දින 365 යි පැය 6 ක් ගතවන විට සූර්‍ය්‍ය මාස ක්‍රමයෙන් අලුත් අවුරුද්ද යෙදෙන්නේ අප්‍රේල් මස 13 දින සහ 14 දින දෙකයි. එය සූර්‍ය්‍ය මංගල්‍ය ලෙස සූර්‍ය්‍ය වාංශිකයන්ගේ පටන් ආරම්භ වේ. චන්ද්‍ර වංශිකයන් චන්ද්‍රයාගේ ගමන අනුව වර්ෂය සලකනු ඇත.

කෙසේ නමුත්, ලෝක ජනසම්මතය අනුව බොහෝ දෙනා ජනවාරි 1 දින නව වසරක් ලෙස සමරනු ඇත.

මේ නව වසර උදාවන විට වැරදි ක්‍රියාවලින් අත් මිදී තම තම ආගම් දහම්වල තිබෙන චාරිත්‍ර වාරිත්‍ර පිළිපදිමින්, සමඟියෙන් සාමයෙන් ජීවත්වීම නව වසර වාසනාවන්ත කරගැනීමේ උපාය මාර්ගයයි.

අප රට තුළ මේ මොහොතේ කුඩා මැතිවරණය මේ දිනවල යොදා ගැනීමෙන් මිනිසුන්ගේ සිත් තුළ ක්‍රෝධය, වෛරය, පළිගැනීම් ආදිය ක්‍රියාත්මක වීමෙන්, නව වසර ලබන විටම ජීවිත විනාශය ළං කර ගනී. දේශපාලන නායකයින්, සංවිධායකයන් ජනතාවට මත් වතුර, මත්ද්‍රව්‍ය නොදී බොරුවෙන් මුළා නොකර සුපිරිසිදු මැතිවරණයකට මඟ පාදා යහපාලනය, සංහිඳියාව සහජීවනය කියන වචන අර්ථ ගන්වා ඒ අනුව රටේ සමගිය සාමය උදාකිරීමට උත්සාහ කරන්නේ නම්, යහපත් පාලනයක් ඇතිවනවා සේම ලැබූ නව වසරද වාසනාවන්ත සාමකාමී නව වසරක් වනු නොඅනුමානය.

 

අන්තර් ආගමික සාම අධිෂ්ඨාන පදනමේ සභාපති
පොලිස් උපදේශක,
මහාධිකරණ සංඝනායක
 කෑගල්ලේ පඤ්ඤාරාම නාහිමි