රජය යටතේ පවතින විශ්වවිද්‍යාල 17 තුළ සීමිත සම්පත් විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමට තරම් ප‍්‍රමාණවත් නොවන බව පැවැති සියලූම ආණ්ඩු විසින් හඳුනාගෙන ඇත. එබැවින් රජය විසින් උසස් අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීමට සහ උපාධි පාඨමාලා පවත්වන රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන පිහිටුවීමට පෞද්ගලික ආයෝජකයන්ට අවස්ථාව සලසා දීම සඳහා පියවර ගෙන ඇත.

දේශීය සිසුන් විදේශ විශ්වවිද්‍යාලවලට ඇතුළුවීම නිසා මෙරටින් ගලා යන විදේශ මුදල් ප‍්‍රමාණය අඩු කිරීමටත්, විදේශීය සිසුන් මෙරට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වීමෙන් රටට ගලා එන විදේශ මුදල් ප‍්‍රමාණය වැඩිකිරීමටත් මෙම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන ඉතා වැදගත් වේ. (මහබැංකු වාර්තාව - 2016)

පවතින ආණ්ඩුව කුමක් වුවද උසස් අධ්‍යාපනය පිළිබඳ මේ වනවිට රටේ පිළිගත් පොදු ප‍්‍රතිපත්තිය ඉහත සඳහන් මහබැංකු ප‍්‍රකාශනයෙන් පැහැදිලි වේ. මෙම ප‍්‍රතිපත්තියට අනුව 2016 වසර අවසන් වනවිට රජයේ ආයතන 313ක් හා පෞද්ගලික හා රාජ්‍ය නොවන ආයතන 451කින් සමන්විත කාර්මික, තාක්ෂණික, වෘත්තීය පුහුණු ක්ෂේත‍්‍රය පුළුල් විෂය පරාසයක පිළිගත් පාඨමාලා 2656ක් මේ වනවිට පිරිනමා ඇත. මේ නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල අහිමි වූවද විවිධ ක්ෂේත‍්‍රවල පාඨමාලා ඇසුරින් ඩිප්ලෝමා හා උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථා ශී‍්‍ර ලාංකීක සිසු දරු දැරියනට මේ වනවිට උදා වී තිබේ.

ගෝලීය ජාත්‍යන්තරය ගත්විට රාජ්‍ය නොවන ක්‍ෂෙත‍්‍රය අපටත් වඩා උසස් අධ්‍යාපනය වෙනුවෙන් විවෘතව පවතී. එය ධනවාදී පමණක් නොව දැනට ඉතිරි වී ඇති සමාජවාදී රටවලද දක්නට ලැබෙන ප‍්‍රවණතාවකි. කෙසේ නමුත් මේ වනවිට අපේ රටේ ජනතාව භූක්ති විඳින නිදහස් අධ්‍යාපන වරප‍්‍රසාදය නිසාත්, රාජ්‍ය නොවන ක්‍ෂෙත‍්‍රයට උසස් අධ්‍යාපනය යම් පමණකට හෝ විවෘතකර තිබෙන නිසාත්, ගෝලීය තරගකාරී වාර්තාවට අනුව ශී‍්‍ර ලංකාව අධ්‍යාපනයේ ගුණාත්මකභාවය අතින් සමීක්ෂණයට භාජන කළ රටවල් 142ක් අතුරින් 40 වැනි ස්ථානය ලබා ගෙන ඇත.

මේ අතර නවතම වාර්තාවට අනුව 2015-2016 අධ්‍යයන වර්ෂ සඳහා රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගනු ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 28,952කි. එහෙත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් සම්පූර්ණ කළ ශිෂ්‍ය සංඛ්‍යාව 155,550කි. මේ නිසා 126,598 දෙනකුට සුදුසුකම් සහිතව රජයේ විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හැදැරීමේ අවස්ථාව අහිමි වේ.

අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ ප‍්‍රධානීන් සඳහන් කරන පරිදි රාජ්‍ය නොවන අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා අහිමි කිරීමේ පිළිවෙතක රට පැවතියේ නම් 126,598ක් වූ මේ රටේ පුරවැසියනට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අප පිළිගත් ‘සැමට අධ්‍යාපනයේ අවස්ථා’ සලසා දීමේ පිළිවෙත හා ප‍්‍රඥප්තිය කඩ වනු ඇත.

එහෙත් සයිටම් විරෝධී ජනපවුර නියෝජනය කරන ප‍්‍රධාන බලවේගයක් වන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා සමහර අන්තවාදී වෘත්තීය සමිති පසුවන්නේ රාජ්‍ය නොවන අධ්‍යාපනය ප‍්‍රතික්‍ෂෙප කිරීමේ ස්ථාවරයකය.

”අපේ මූලික ගැටලූව සයිටම් ප‍්‍රමිතිය ගැන නොවේ. අධ්‍යාපනය මුදලට විකුණන එකටයි. ආණ්ඩුව සයිටම් ආයතනය ප‍්‍රමිතිගත කරන්න කතා කරනවා. එහෙම කළත් අධ්‍යාපනය විකුණන කිසිම ආයතනයකට එකඟවෙන්න අපට බැහැ.”

රයන් ජයලත්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ කැඳවුම්කරු (12.03.2017)

අපේ රටේ මේ වනවිට පරිණතවෙමින් සිටින වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණද මේ පොල්පොට්වාදී (කම්බෝජයේ මිනීමරු වාමාංශික නායකයාගේ සංවිධානය) දේශපාලන ගුබ්බෑයමේ ලැග සිටීම කනගාටුදායකය. එහෙත් සයිටම් විරෝධී ජන පවුර නියෝජනය කරන බුද්ධිමත් සංවිධානයක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ස්ථාවරය මේ සම්බන්ධයෙන් ප‍්‍රශංසනීය වෙයි. ඉදිරිගාමීය. කනගාටුව ජනාධිපතිවරයා හැරෙන්නට ආණ්ඩුවේ ප‍්‍රබල සමහරු ඔවුනට ඇහුම්කන් නොදීමයි.

මේ වනවිට රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක් පවතින විට රාජ්‍ය නොවන මුදල් ගෙවා තම අධ්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කරගත හැකි ඩිප්ලෝමා හා උපාධි පිරිනැමීමේ පෞද්ගලික ආයතන 17ක් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ අනුමැතියෙන් කි‍්‍රයාත්මක වේ. මේවා දේශීය හා විදේශීය විශ්වවිද්‍යාලවලට අනුබද්ධිත ආයතන ලෙසින් සැලකේ. මේ ආයතන ඇසුරින්, නීති, ඉංජිනේරු, ගණකාධිකාරී, පරිගණක තාක්ෂණය, සිවිල් ඉංජිනේරු, කළමනාකරණ, ගෘහ නිර්මාණ ආදී පාඨමාලා ඇසුරින් ඩිප්ලෝමා හා උපාධි අපේක්ෂිත ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 60,000ක් පමණ උසස් අධ්‍යාපනය ලබති.

මේ පිරිසට (60,000) පෞද්ගලික අංශයෙන් මුදල් ගෙවා හෝ ලබාගත හැකි උසස් අධ්‍යාපන අවස්ථා අහිමි කරන්නේ නම් එය මොන තරම් අපරාධයක් දැයි අමුතුවෙන් කිව යුතු නැත. එයම රටේ තරුණ කැරැල්ලකට හේතු විය හැකිය. විවිධ නම්වලින් පාරට බැස සිටින අන්තවාදීන්ට හා පෙරටුගාමීන්ට අවශ්‍ය වී තිබෙන්නේ තවත් එවන් කැරැල්ලක් දැයි කියන්න දන්නේ නැත. එහෙත් කිරි කෑවත් සිරිත්තමට කියා දකුණේ කියමනක් තිබේ. මේ හැමදෙයක්ම සිදුවිය යුත්තේ පිළිගත් ප‍්‍රමිතියකට අනුවය. පෞද්ගලික උපාධි පිරිනැමීමේ ආයතන මුදල් පමණක් මුල්කර ගනිමින් ‘උපාධි කඩ’ විය යුතු නැත. ඊට යම් ඉඩක් ලැබෙන්නේ නම් එමගින් රටට සිදුවන හානිය හා විපත අන්තවාදීන්ගෙන් සිදුවන විපතටත් වඩා වැඩිය.

”ශී‍්‍ර ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම ඉතා යහපත්. ඒ සමඟම විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ ඒවා නිසි ප‍්‍රමිතිකරණයකට ලක්විය යුතු බවයි. ප‍්‍රමිතියෙන් තොර පෞද්ගලික විශ්වවිද්‍යාල ලංකාවේ ඇති ප‍්‍රශ්නවලට අර්බුද එකතු කරනවා මිස විසඳුම් ලබා දෙන්නේ නැත.”

මහාචාර්ය ඉන්ද්‍රකිර්ති සිරිවීර (12.07.2017) ලංකාදීප

මේ වනවිට ගණකාධිකාරි, කළමනාකරණ, පරිගණක තාක්ෂණය ආදි වශයෙන් පෞද්ගලික උපාධි පිරිනැමීමේ ආයතන මගින් විවිධ උපාධි පිරිනැමේ. එහෙත් විරෝධතාව පැන නගින්නේ ‘සයිටම්’ ආයතනය මගින් වෛද්‍ය උපාධිය පිරිනැමීම කරණකොට ගෙනය. එසේ නම් ඊට අදාළ ප‍්‍රමිතිය තීරණය කරන බලධාරී ආයතනය වියයුත්තේ කුමක්ද? රජයේ වෛද්‍ය සභාවයි. අවසානයේදී වෛද්‍යවරුන් ලියාපදිංචි කරන්නේද රජයේ වෛද්‍ය සභාව මගිනි. මේ නිසා වෛද්‍ය සභාව මඟින් මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයට අදාළ අවම ප‍්‍රමිතීන් ප‍්‍රකාශයට පත්කර තිබිය යුතුය. කනගාටුවක මහත තවමත් එවැන්නක් විධිමත් ආකාරයෙන් ප‍්‍රකාශයට පත්නොවීමය.

සමහරවිට වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතීන් ප‍්‍රකාශයට පත්නොකළ ලෝකයේ එකම වෛද්‍ය සභාව ඇත්තේ සසිරිබර මෙසිරිලකේ වියහැකිය. ඊට රජයේ වෛද්‍ය සභාවේ හිටපු සභාපති අතීත කීර්තියත් විනාශ කරගනිමින් සිටින මහාචාර්ය කාලෝ ෆොන්සේකාද වගකිව යුතුය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එදා මහාචාර්ය කාලෝ ෆොන්සේකා රජයේ වෛද්‍ය සභාවේ සභාපති ධූරයට පත්කරන්නේම මේ ප‍්‍රශ්නය විසඳා මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතීන් ප‍්‍රකාශයට පත්කිරීමටය. එහෙත් ඔහු නොකරන්නේම එයමය. මෙවන් වෛද්‍ය සභාවක් තිබෙන රටක සයිටම් විරෝධී ජනපවුරක් නිර්මාණය වීම පුදුම වියයුතු නැත. මේ නිසා වත්මන් අර්බුදයේ අංක එකේ වග උත්තරකරුවා රජයේ වෛද්‍ය සභාවයි. දෙවනුව උසාවි තීන්දුවක් ගැන කතාකරමින් ප‍්‍රශ්නය දිගින් දිගටම රස්තියාදුවේ යැවූ රජයට ද එම වගකීම බැර වේ.

මේ වනවිට සමහරු හේතුවක් ඇතිව හෝ නොමැතිව ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීමට වාගේ සයිටම් විරෝධී ජනපවුර වටා එක්වෙමින් සිටී. ජනතා විමුක්ති පෙරමුණ හා ඉන් කැඞී ගිය කොටසකින් නිර්මාණය වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂ අතර දේශපාලන ගැටුමද සයිටම් අර්බුදයේ වේදිකාවට පැමිණ ඇත.

ජ.වි.පෙ. ලාල් කාන්ත සහෝදරා රජයේ විසඳුම ඉරා දමන්නේ පෙරටුගාමීන්ට වඩා ඔවුන් අරගලයේ සිටින බව පෙන්වීමට දැයි කියන්න දන්නේ නැත. ඊට හේතුව ජ.වි.පෙ. රාජ්‍ය නොවන අධ්‍යාපනයට වර්තමානයේ විරුද්ධත්වයක් නොදැක්වීමයි. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතීන්ට යටත්ව එය ලබාගන්නේ රජයෙන්ද පෞද්ගලික අංශයෙන්ද යන්න ප‍්‍රශ්නය මේ වනවිට මාක්ස්වාදී ආණ්ඩු පවා ප‍්‍රශ්නයක් කරගෙන නොමැත. එවන් සමාජවාදී ජාත්‍යන්තරයක් තුළ ජ.වි.පෙ. කටයුතු කරන බව පෙනේ. එහෙත් මේ මොහොතේ ඔවුනට වැදගත්වන්නේ පෙරටුගාමීන් සමඟ දේශපාලනය නම් එය වෙනම විසඳා ගතයුතුය.

ප‍්‍රමිතිය පිළිබඳ ප‍්‍රශ්නයේදී සියල්ල පොදු මතයකට පැමිණීම සාධාරණය. ජනාධිපති මෛතී‍්‍ර රාජ්‍ය නායකයා ලෙසින් වඩාත් උනන්දු වී එම කාරණය තේරුම් කරගනිමින් සයිටම් ප‍්‍රශ්නය සම්බන්ධයෙන් මැදමාවතේ විසඳුමකට මාවතක් විවෘත කරදී තිබේ. එම ස්ථාවරයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම්‍යශිලී ප‍්‍රතිචාරයක් දැක්වීම ප‍්‍රසංශනීයය. මේ ප‍්‍රශ්නයේදී ඔවුන් අන්තවාදී තැනක නොසිට රජයේ යෝජනා සාකච්ඡා කිරීමට ඉදිරිපත් වීම අගේ කළ යුතුය. ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා කමිටුව මඟින් ඉදිරිපත් කර ඇති යෝජනාවලට අනුව ‘සයිටම්’ අහෝසි කෙරේ. මස් රත්තලම නොඉල්ලන පාර්ශ්වවලට මෙය ප‍්‍රශ්නයට විසඳුමක් සොයා ගතහැකි ස්ථාවරයකි.

රජය පැත්තෙන් එය රටේ පෞද්ගලික ව්‍යවසායක් අහෝසි කිරීමකි. එය රටට ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සමාගම්වලට හා ඍජු ආයෝජනවලට බලපෑමක් ඇති කරනවා විය හැකිය. මේ වනවිට ශී‍්‍ර ලංකාව පසුවන්නේ පසුගිය දශකයට සාපේක්ෂව අඩුවෙන්ම විදේශ ආයෝජන ලබන අවදියකයි.

විදේශ ආයෝජනවලින් තොර සංවර්ධනයක් යනු අන්තවාදී මහලූ වාමාංශික සටන් පාඨයක් පමණකි. මේ නිසා සයිටම් විරෝධී ජනපවුර රටට ලැබෙන ආයෝජනවලට ප‍්‍රශ්නයක් නොවන ආකාරයට මේ ප‍්‍රශ්නය විසඳා ගැනීම වැදගත් වේ. ඊට නායකත්වය සැපයීමට ජනාධිපතිවරයා සූදනමින් සිටි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ඊට නම්‍යශීලී ප‍්‍රතිචාරයක් දැක්වීම ඔස්සේ ප‍්‍රශ්නය විසඳා ගත හැකි තැනකට තල්ලූවෙමින් පවතී.

වැදගත්වන්නේ ප‍්‍රමිතියක් සහිත රජයේ වෛද්‍ය සභාවේ හා රාජ්‍ය වෛද්‍ය අධිකාරි ආයතනවල අධීක්ෂණයට යටත් ව්‍යුහයකින් ප‍්‍රශ්නයට විසඳුම් සොයා ගැනීමයි. අද රජයේ නොවන රජයේ ආයතනයකින් ‘සයිටම්’ ප‍්‍රශ්නය විසඳාගැනීමේ අවස්ථාවක් උදාවී තිබේ. සයිටම් ජනපවුර තම දේශපාලන වුවමනාවන් වෙනුවෙන් යොදා ගැනීමට සුදානම් අයට මේ කිසිවකින් පලක් නොවේ. ඔවුහු මස් රත්තල ගෙඩිය පිටින් ඉල්ලා සිටිති.

 

වසන්තපි‍්‍රය රාමනායක