පේරා​දෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ අංශාධිපති ආචාර්ය.
චරිත හේරත්

මේ ආණ්ඩුව බලයට පත්වී වසර තුනක් ගෙවෙන්නේ මේ මාසයටය මෙතැනදී අපේ අවධානයට ගතයුතු එක් වැදගත් කාරණයකි. එනම් ආණ්ඩුවේ ආයු කාලය වසර තුනක් ලෙසින් ගත හැක්කේ දින සියයේ ආණ්ඩුව මේ ආණ්ඩුවේම කොටසක් වශයෙන් නොසිතන්නේ නම් පමණක් බවය. දින සියයේ ආණ්ඩුව යැයි කියන්නේ ‘හිටපු අගමැති බලයෙන් ඉවත් කළ’ සහ ‘මහ බැංකු කොල්ලය’ වැනි භයානක සොරකම් සිදූ වුණු මේ ආණ්ඩුවේ ආරම්භක අවස්ථාව ලෙසින් මතකයට නඟා ගැනීම මේ පිළිබඳව සාකච්ජා කිරීමේදී ඉතාමත් වැදගත්ය. ආණ්ඩුවේ අය මේ දවස්වල අවුරුදු තුන සමරන්නේ එක් පැත්තකින් තමන් පත්වුණේ 2015 අගෝස්තුවේ පැවැති මහ මැතිවරණයෙන් පසුව බව පෙන්වමින් වුවත් තමන්ගේ ‘ජයග්‍රහණ’ ගැන සඳහන් කරන්නේ දින සියයේ ආණ්ඩුවේ සමහර දේවල්ද එකට එකතු කර ගනිමින්ය. 

මේ ආණ්ඩුව පත්වුණේ 2015 අගෝස්තුවේ යැයි සැලකීම තාර්කිකව නිවැරැදි වූවාට දේශපාලන වශයෙන් නිවැරැදි යැයි මා සිතන්නේ නැත. මේ අය ආණ්ඩුවේ ‘හොඳ වැඩ’ ලෙසින් ලැයිස්තු දැන්වීම් ලෙසින් පුවත් පත්වල දමද්දි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් තමන්ගේ ආණ්ඩුවේ ජයග්‍රහණයක් යැයි හුවා දක්වන නමුත් තමන්ගේ ආණ්ඩුවේ කාලය ගනිද්දී ඒ සංශෝධනය සිදුවුණේ 2015 අගෝස්තුවලට කලියෙන් බව ඕනෑකමින්ම අමතක කරන්නට උත්සාහ ගන්නා බවද පෙනෙන්නට තිබෙන කාරණයකි. මේ පුවත්පත් දැන්වීම්වල තිබෙන ‘ජයග්‍රහණ’ ලැයිස්තු මේ ආණ්ඩුවේ ජයග්‍රහණ යැයි සලකන්නේ නම් ඇත්තටම මේ ආණ්ඩුවේ වයස ගැනිය යුත්තේ දින සියයේ කාලයත් එකට එකතු කිරීමෙන් බව මගේ අදහසය. ඒ අර්ථයෙන් මේ ගෙවෙමින් තිබෙන්නේ එකම ආණ්ඩුවකට වසර 3ක් සහ මාස 8 ගෙවී යාමය.

ආණ්ඩුව වසර තුනක් (හෝ වසර තුනයි මාස 8 ක්) රට පාලනය කළ ආකාරය සමරන්නට මේ දවස්වල ප්‍රචාරය කරන දැන්වීම්වල මූලික තේමා පාඨය වී ඇත්තේ ‘හුස්ම ගත් වසර තුනක්’ කියාය. ඇඩ්වටයිසින් කොම්පැනිවලින් යම් භාණ්ඩයක් විකුණන්නට ‘ටැග්’ එකක් ලෙසින් හදන්නේ ඒ භාණ්ඩය පාවිච්චි කිරීමෙන් පාරිභෝගිකයාට (ජනතාවට) ලැබෙන වැදගත්ම සහ නිශ්චිතම සේවය පෙන්නුම් කරන ආකාරයටය. ඒ භාණ්ඩයෙන් හෝ ආයතනයෙන් කෙරෙන ‘හොඳම’ කාර්යය උඩට මතුවෙන පරිදිය. රෙදි හෝදන සබන් විකුණන්නට නම් ‘සුදෝ සුදු එළියක්’ වැනි ටැග් එකක් දමන්නේ ඒ නිසාය. ඒ තේමා පාඨයෙන් කියන්නේ ඒ සබන්වල ප්‍රධානම වැඩේ රෙදි පිරිසුදු කර දීම බවය. දැන් මේ ආණ්ඩුවේ වසර තුනක සේවය ජනතාවට කියන්නට හදාගෙන තිබෙන (එහෙමත් නැතිනම් යම් ඇඩ්වටයිසින් ආයතනයකින් හදා දී තිබෙන) ටැග් එක වන්නේ මේ ආණ්ඩුව පසුගිය වසර තුනක්ම ගෙවා දමා ඇත්තේ ජනතාවට ‘හුස්ම ගන්න’ පුළුවන් තත්ත්වයක් හදන්නට කියාය. මගේ තේරුම් ගැනීම වන්නේ කවුරු හැදුවත් මේ තේමා පාඨයෙන් මේ ආණ්ඩුවේ සැබෑ තත්ත්වය හරියටම කියවෙන බවය. ආණ්ඩුව කියන්නට හදන්නේ පසුගිය ආණ්ඩු කාලයේ මහා බලයක් හරහා මේ රටේ ජනතාවගේ හුස්ම ගැනීමේ නිදහස පවා ඇහිරී තිබුණු බවත් මේ ආණ්ඩුව ඇවිත් ඒ නිදහස ලබා දුන් බවත් වැනි අදහසක් විය යුතුය.

ඒත් මට පෙනෙන ආකාරයට මෙයින් කියැවෙන්නේ ඒ කථාවේ අනික් පැත්ත ය. පසුගිය වසර 30 යුද්ධයකින් සමාජය තැති ගන්වා තිබූ රටකට නිදහස නිර්මාණය කළ නායකයා හා ආණ්ඩුව පසුගිය ආණ්ඩුව බව මේ රටේ ජනතාවට තවමත් බලෙන් වත් අමතක කරවන්නට බැරි තත්ත්වයක් තුළ මේ තේමා පාඨයෙන් කියවෙන්නේ මේ ආණ්ඩුව වසර තුනකින් පසුවත් පෙන්වන්නට හැකි දෙයක් මහ පොළවේ කර නැති බවය. වාච්‍යර්ථයෙන් ගත්තොත් මේ කියන කථාව හරියටම හරිය. පසුගිය වසර තුනේම මේ ආණඩුව ජනතාවට ලබා දී ඇත්තේ ලාබෙට ලැබෙන ‘හුස්ම’ ටික විතරක්ය. ත්‍රිරෝද රියැදුරෙකු කීවේ ජනතාවට ලබා දී ඇත්තේ ඇත්තටම ‘හුළං’ කියාය.

එක අතකින් මේ ආණ්ඩුව රටටත් ලෝකයටත් පෙන්නුම් කරමින් සිටින්නේ අලංකාරික සටන්පාඨ මගින් ආණ්ඩු බලයක් ලබා ගත්තාට එවැනි අලංකාරිකවලින්ම (rhetoric) රටක් පාලනය කරන්නට හැකියාවක් නැතැයි යන කාරණයයි. පසුගිය වසර තුනට අගමැතිවරයා ඉදිරිපත් කර ඇති ආර්ථික වැඩ සටහන් ගණන පහක් පමණ වන අතර හැම අට මාසයකටම එක බැගින් අලුත් ආර්ථික වැඩ සටහන් ඉදිරිපත් කරනවා හැර වෙනත් දෙයක් මේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් සිදු කෙරෙන්නේ නැති ගාණය. මෑතකදී හදිසියේ මෙන් ඉදිරිපත් වූ ‘ගම්පෙරළිය’ වැඩ සටහන වැනි සංවර්ධන කාර්යයන් ක්‍රියාත්මක කරන්නට හැකියාවක් නැති තරමට රාජ්‍ය සේවය ත්‍රස්ත කර ඇති තත්ත්වයක් තුළ මුදල් අමාත්‍යාංශයෙන් ඉදිරිපත්වන විශාල ප්‍රමාණයේ ඉලක්කම් සහිත මුදල් වියදම් කිරීමේ හැකියාවක් නැති බව ඉතාමත් පැහැදිලිය.

රටේ පරිපාලනයේ කිසිම අත්දැකීමක් නැති සිවිල් සමාජයේ අයගේ කැමැත්තට රාජ්‍ය පරිපාලනය ‘සැක කරන්නට’ හා ‘ප්‍රශ්න කරන්නට’ පටන්ගෙන ඇති නිසා නිලධාරීන් ගෙවීම්වලට අත්සන් කරන්නේ එසේ නොකරම බැරි තැනට වැඩේ පැමිණි පසුවය.

සමහර ආයතනවල තීරණ ක්‍රියාත්මක වෙන්නේ ඇමැතිවරයාගේ සිට විෂය ලිපිකරුවා දක්වා දහ දෙළොස් දෙනකු අදාළ නියෝගයට අත්සන් කළාට පසුවය. සමහර ගෙවීම් වවුචර් හැමෝගේම අත්සන් සඳහා ඉඩ මදිවෙන ගානට මේ තත්ත්වය වර්ධනය වී ඇති නිසා රජයේ සම්මත මුදල් වවුචරයේ ප්‍රමාණය ලොකු කරන්නට අවශ්‍ය බව සමහර නිලධාරීන්ගේ මතයයි. පසුගිය දවස්වල සම්මත කරගත් විගණන පනත බලාත්මකවන විට මේ කරගෙන යන තරමටවත් රජයේ මුදල් සංවර්ධන කටයුතු සඳහා යෙදවීමේ හැකියාවක් ඇතැයි මා සිතන්නේ නැත. රාජ්‍යයේ වැඩ නොකිරීම නිලධාරියාගේ පැවැත්මට හා අනාගතය ආරක්ෂාවීමට අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්වී ඇති අතර ආකෘතියට පිටින් (Out of the box) වැඩ කිරීම වනාහී අනතුරකට අත වැනීමක් බවට පත්වී ඇත. ඒ නිසා මේ ගම්පෙරළිය වැඩසටහන වැනි දේවල් ඊළඟ වසර දෙක සඳහා ක්‍රියාත්මක කරන්නට හැකියාවක් ඇත්තේ මෙතෙක් කරපු ආකාරයෙන්ම ‘පියවරක් ඉදිරියට පියවර දෙක තුනක් පස්සට’ යන ආකාරයෙන් මන්දගාමීව බව ඉතාමත් පැහැදිලිය. මේ ගමන මේ යන ආකාරයෙන්ම ගියහොත් ආණ්ඩුවට වසර පහක් ගෙවෙන විට ගම්පෙරළියේ ජයග්‍රහණය කිව හැක්කේ ‘ගමට හුස්ම දුන් වසර දෙකක්’ වැනි ටැග් එකකින් මිස ඊට වැඩි දෙයක් නොවන බව මගේ නිරීක්ෂණයයි.

මේ ආණ්ඩුවේ දේශපාලනයේ බරපතළකම තියෙන්නේ ඒ අය කියන මේ හුස්ම ගැනීමේ කථාවේ නොව ඒ කථාව හරහා වසන්නට උත්සාහ කරන රටේ පවතින සැබෑ තත්ත්වයේය. හුස්ම ගන්නට ඉඩක් දූන්නා යැයි කියමින් කරන්නේ මේ අවුරුදු තුනේ මේ රටේ ගොඩ නැඟුණු බරපතළම අර්බුද තුනක් ජනතාවට නොපෙනෙන්නට වසා තැබීමය.

පළමුවෙන්ම මේ වසර තුනේ දේශපාලනය විසින් අපේ රටේ ආර්ථිකය ඉතාමත් අපරිණත ආකාරයෙන් පල්ලම් බස්සවා ඇති බව පෙනෙන්නට තිබෙන කාරණයකි. රටේ ආර්ථිකය කඩා වට්ටා ඇතිවා පමණක් නොව ජාතිකමය වශයෙන් වැදගත්වන ආර්ථික මර්මස්ථාන සියල්ලම පාහේ විදේශීය රටවලට හා ආයතනවලට පවරා දීමේ ක්‍රියාවලිය වේගවත් කර ඇත. එසේ පවරා දෙන්නට පිඹුරුපත් සකස් කර ඇති ජාතික සම්පත් අතර ගුවන්තොටුපොළවල් පමණක් නොව රටේ අධිවේගී මාර්ග පද්ධතිය ද තිබෙන බව දැන් කාටත් ඉතාමත් පැහැදිලිය. මේ ආණ්ඩුවේ දර්ශනය වන්නේ ආර්ථිකයේ පදනම තනිකරම වෙළදපොළ මත ස්ථාන ගත කළ යුතු යැයි සිතීමය. සුබසාධනය පැත්තෙන් රටක් ලෙසින් අප මෙතෙක් ලබා සිටි සියලු ජයග්‍රහණ ආපසු හරවන්නේ මේ සිතීම නිසාය. ඉට්කා ගිවිසුම සිංගප්පූරු ගිවිසුම වැනි ගිවිසුම් හරහා ඇති කෙරෙන ආර්ථිකමය වූ බලපෑම ඉදිරියේදී තවත් උත්සන්න විය හැකි අතර ඉදිරියේදී ජනතාවට හොඳ ‘හුස්මක්’ ගැනීමට සිදුවන බව නම් ඉතාමත් පැහැදිලිය.

දෙවැනිව මේ වැරැදි ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් සිදුවී තිබෙන්නේ අප ජාත්‍යන්තර දේශපාලන අර්බුදයක ‘ගොදුරු බිමක්’ බවට පත්වීමය. හම්බන්තොට වරාය චීනයටත් මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවටත් යන ආකාරයෙන් එකිනෙකාට එරෙහි රාජ්‍යවලට ගැටීමේ ඉඩ ලෙසින් අපේ බිමේ විවෘත කිරීම නිසා කලාපීය දේශපාලනයේ අනවශ්‍ය බලපෑම් අප වෙතට බලෙන් කැන්දා ගැනීමේ අනතුරක් කරා වුවත් යන්නට වීමේ අවදානමක් ඒ තුළ තිබෙන බව සමහර විද්වතුන්ගේ මතයයි. මේ රටවල් දෙකට අමතරව ඇමරිකාව හා ජපානය ස්වකීය කලාපීය ආරක්ෂක හා උපක්‍රමික අවශ්‍යතාවලට යැයි කියමින් මේරට භූ දේශපාලනයට සම්බන්ධවීමේ උත්සාහයක් ඇති බව පුවත් පත් වාර්තා කළේ පසුගිය සතියේය. ආර්ථික කළමනාකරණයේ වැරදි උපාය මාර්ග හේතුවෙන් ජාත්‍යන්තර දේශපාලනය පැත්තේන් ‘හුස්ම’ ගැනීමටවත් නොහැකි අවුලක පැටලීමේ අනතුර මේ වසර තුනේ ජයග්‍රහණ ලැයිස්තුවට අදාළය.
තුන්වැනිව ආණ්ඩුව මේ කියන හුස්ම ගැනීමේ ඉඩ සලසා තිබෙන්නේ මෙතෙක් මේ රටේ තිබුණු ජන්ද පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රය ඉඩ අහෝසි කරමින් බව මෙහිදී පෙන්නුම් කෙරෙන විශේෂතම කාරණයකි. වසර තුනක ජයග්‍රහණ ලැයිස්තුවේ මුලටම ගත හැකි අවර ගණයේ ජයග්‍රහණයක් වන්නේ මේ කියන ජන්දය නොපැවැත්වීම සඳහා ව්‍යවස්ථාවෙන්ම ආවරණය සලසා ගැනීමේ අපුරු ක්‍රමවේදයයි. වසර තුනකට පසුව හුස්ම ගන්නට ඉඩක් දුන්නා යැයි කියන ගමන් එසේ හුස්ම ගන්නා මිනිසුන්ට ජන්දය පාවිච්චි කරන්නවත් නිදහසක් දීමට මේ ආණ්ඩුවට තමන්ගේ පාලනයේ හතරවැනි අවුරුද්දේවත් හැකියාව ලැබේවා යැයි පැතීම හැර වෙන කළ හැකි දෙයක් මේ මොහොතේ නැත.