-ජයතිලක ද සිල්වා

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 20 වැනි      සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් පිළිබඳ එහි තීරණය කතානායකට දැනුම්දීමට නියමිත ය.

මෙම සංශෝධනයට එරෙහි වන්නෝ බොහෝ වෙත්. ඒකාබද්ධ විපක්ෂය හෙවත් පොහොට්ටු කණ්ඩායම ලෙසින් හැඳින්වෙන්නෝ එහි පෙරමුණෙහි ම සිටිත්. හිටපු ජනාධිපතිතුමා එය මෙහෙයවයි. ඒ අතර ත්‍රෛනිකායක මහා සංඝයා වහන්සේලා ද සිය විරෝධය පළ කැරැ ඇත්තා හ. ඒ අතර ආණ්ඩුවෙහි ඇතැම් ඇමැත්තෝ ද වෙනත් මහජන නියෝජිතයෝ ද විස්සෙහි විරුද්ධවාදීන් සමග පෑහී සිටිති.

විසි වන සංශෝධනයට විරුද්ධ වන්නෝ මුල සිටම නව ව්‍යවස්ථාවක් සම්පාදනයට ද එරෙහි වූහ. ආණ්ඩුව එම විරෝධයට මුහුණ දුන්නේ චකිතයකිනි. මන්ද යත් ඔවුන්ගේ තර්ක ආණ්ඩුව තුළ ද යම් පිළිගැනීමකට ලක් වූ හෙයිනි. ඒ ඒවායෙහි සත්‍ය අසත්‍යතාව පදනම්ව නොව මැතිවරණ ජයග්‍රහණයට ඒවා කෙතරම් ඉවහල් වනවා ද යන්න මත ය. ආණ්ඩුව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පමාවන්නට ඉඩ හැරියේ එහෙයින් යැයි අනුමාන කළ හැකි ය.

එම ක්‍රියාවලිය අතරමඟ නවතා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් ආණ්ඩුවෙහි සමගිය බිඳී එයට අන්ත පරාජයක් මැතිවරණයෙහි දී අත් වූ පසු ඒකාබද්ධය නව ජවයක් ගත්තා ය. ආණ්ඩුවෙහි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික මැති ඇමැති 16 ක් විරුද්ධ පක්ෂයට එකතු වූහ. නව ව්‍යවස්ථාව නොකැරෙන වෙදකමකට බඳින කෝඳුරු තෙල් හත් පට්ටයක් වැනි හෙයින් ජනතා විමුක්ති පෙරමුණ විස්ස ගෙනා බව කියනු ලැබේ.

බොහෝ විරුද්ධවාදීන්ගේ විරෝධය සංශෝධනයෙහි හරයට නැතහොත් අන්තර්ගතයට වඩා එහි කර්තෘන් වෙත ය. ඔවුන්ගේ ප්‍රධාන චෝදනාවක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල්ව පසුගිය රජය පෙරළන්නට කටයුතු කළ කුමන්ත්‍රණයක කොටස්කරුවන් බව ය. එබැවින් ඔවුහු 20 වැනි සංශෝධනය දෙස නොබලාම ඊට එරෙහි වෙත්.

ඔවුන් නඟන ප්‍රධාන චෝදනාව මෙම සංශෝධනය විධායක ජනාධිපති ධුරය අහෝසි කැරැ අධිරාජ්‍යවාදීන්ට රට පාවාදීමට ගන්නා පියවරක් බව ය. එහෙත් ජනාධිපති ධුර වෙනස රට පාවාදීමක් වන්නේ කෙසේ දැයි කීමට ඔවුහු අසමත්ව ඇත්තා හ.

විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හඳුන්වා නීතිගත කරන ලද්දේ 1978 වසරෙහි දී ය. ඉන් පෙර මෙරට එබන්දක් නොවීය. එහෙත් ස්වාධීන ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ට පාවාදීමෙහි අවස්ථාවක් වූයේ නැත. අනෙක් අතට විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හඳුන්වා දෙන ලද්දේ විදේශ කුමන්ත්‍රණ, ආක්‍රමණ ආදියෙන් රට රැකීමට යැයි සාමාන්‍ය සිහිබුද්ධියෙන් යුත් කිසිවකු නොකියනු ඇත. කවුරුත් දන්නා පරිදි එය හඳුන්වා දෙන ලද්දේ නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණවලට හිතකර වාතාවරණයක් බිහි කිරීම සහ ඒ සඳහා අනිවාර්ය වන ජනතා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කප්පාදුව සඳහා ය. ඒ සමඟම රජයේ පිහිටාධාර බොහොමයක් කප්පාදු කැරිණි. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික අංශයට පැවරුණි. පාර්ලිමේන්තුවෙහි කාර්යභාරය පහත හෙළා ජනාධිපති වෙත අත්තනෝමතික බලතල පවරා ගැනිණි. තමාට කළ නොහැකි වන්නේ ගැහැනියක පිරිමියකු කිරීම හෝ එහි ප්‍රතිවර්තය පමණකැ යි පළමු වැනි විධායක ජනාධිපතිවරයා උදම් ඇනුවේ එහෙයිනි. එහෙයින් රට පාවා දෙතැ යි යන චෝදනාව උන්මත්තක චින්තනයක ප්‍රතිඵලයක් මිස අන් කවරක්වත් නොවේ.

චිධායක ජනාධිපති ධුරය අහෝසි කළහොත් රටෙහි ඒකීය ස්වභාවය අනතුරට ලක් වනු ඇතැ යි එදිරිවාදීහු කියා සිටිත්. එහෙත් ඇත්තටම චිධායක ජනාධිපති ධුරය අනතුරට ලක් වූයේ ද රජයෙහි ඒකීය ස්වභාවය පැවැතිය දී මය. ඉන් පෙර නොවේ.

තවත් චෝදනාවක් වන්නේ 20 වැනි සංශෝධනය ෆෙඩරල් ක්‍රමයට දොරටු විවර කැරීමක් වන අතර ෆෙඩරල් ක්‍රමය වෙනම රාජ්‍යයක් දෙසට තබන පියවරක් බව ය. ෆෙඩරල් රාජ්‍ය ද ඒකීය රාජ්‍ය මෙන්ම වෙන්වීම් සඳහා වූ ව්‍යාපාර මැඬ සාර්ථකත්වය ලබා තිබේ. අපේ සමීපතම අසල්වැසියා වන ඉන්දියාව නිදසුනකි.

ෆෙඩරල් හෙවත් සන්ධීය ක්‍රමය එහි එදිරිවාදීන් කියන පරිදි ව්‍යසනයක් නොව ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකි. අනෙක් අතට 20 වැනි සංශෝධනයෙන් ෆෙඩරල් ක්‍රමයක් යෝජනා කරන්නේ ද නැත. ෆෙඩරල් යන වචනය වර්තමානයෙහි සහ මෑත ඉතිහාසයෙහි පිළිකුලට ලක් කරන ලද්දේ සහේතුකව නොව අහේතුකව ය. ඒ ජාතිවාදී සහ අවස්ථාවාදී දේශපාලන බලවේග විසිනි. එහෙත් ස්වාධීනත්වය දිනා ගන්නට පෙර ෆෙඩරල් යෝජනාව ඉදිරිපත් වූයේ දෙමළ ජනතාව අතුරින් නොව සිංහල ජනයා අතුරින් ම ය.

ත්‍රස්තවාදය වුව අවි ගත් සටන් වුව හටගන්නේ ෆෙඩරල් හෝ ඒකීය හෝ වශයෙන් වන රාජ්‍ය ස්වභාවයෙන් නොව ආණ්ඩුවල සමාජ ආර්ථික ප්‍රතිපත්තිවලින් සහ ආන්තික හෝ සුළුතර කාණ්ඩ මත වන මර්දනයට ප්‍රතිචාර වශයෙනි. එය ෆෙඩරල් ක්‍රමය තුළ මෙන්ම ඒකීය ක්‍රමය තුළ ද එක සේම පැන නැඟිය හැකි ය. පළමු වැන්න, එය මහජන සංවාදයකින් තොරව හඳුන්වා දුන්නකි. දෙවැන්න, එය කඩිමුඩියේ කළ කටයුත්තකි. තුන් වැන්න, එය සම්මත වූ ද‌ා සිට අද දක්වාම දශක හතරක් පුරාම එයට ජනතා විරෝධය එල්ල වෙයි. ජනතා ඡන්දයෙන් බලයට පත් ජනාධිපතිවරු තිදෙනෙක්ම එය අහෝසි කැරීමට ජනවරමක් ලබා ගත්හ. (එය ඉටු නොකැරීම වෙනම කාරණයකි. ඒ මෙරට දේශපාලනයෙහි හැටිය. නැත්නම් ජනතා කරුමය ය!).

 විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට පෙර දවස මූලික වූ ඇතැම් පුද්ගලයන් මෙන්ම සමහර දේශපාලන පක්ෂ ද අද ඊට එරෙහිව කඳවුරු බැඳ ගැනීම පුදුමසහගත ය. මෙහිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි කරණම ඛේදනීය ය. මෙම පිනුම්කාරයන්ට අමතරව දේශපාලන නවකයෝ පිරිසක් ද ඉතිහාසයෙහි පාඩම් අමතක කැරු ඇත්තා හ. නැත්නම් ඔවුහු කුම්භකරණ නිද්‍රාවකට ප්‍රවිෂ්ටව සිටින්නට ඇත්තා හ. සරලව කිවහොත් නිදි වැද සිටින්නට ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 18 වැනි සංශෝධනය විධායක ජනාධිපති ක්‍රමය හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයෙහි සෝද‌ාපාළුව සහ අත්තනෝමතිකත්වය හිස එසැවීම පිළිබඳ කදිම නිදසුනකි. එයින් පරම්පරාවක පාලනය සද‌ාකාලික කරන්නට තැත් කැරිණි. එහි සංශෝධනයෙහි නිර්මාතෘ සහ එයින් වාසි ගත් තැනැත්තා සිය පරම්පරාව යළි සිංහාසනාරූඪ කැරීමෙහි ආශාව අත් හැරැ නැත. සිය පුතුට පාර අවහිර කිරීම ගැන ළත වෙමින් ඉදිරි ජනාධිපතිවරණයට සිය සොහොයුරකු තරගයට ඉදිරිපත් කරවන බව ඔහු විදෙස් මාධ්‍යයකට පවසා ඇත. හැබෑවටම පවුලෙන් පිට අපේක්ෂකයන් නුසුදුසු යැයි නැතහොත් රජකම තමන්ගේ පෙළපත් උරුමයකැ යි ඔහු ගර්වයෙන් සිතන්නේ ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 19 වැනි සංශෝධනයට අනුව විධායක ජනාධිපතිගේ ඇතැම් බලතල කප්පාදු කෙරිණි. ඒවා පාර්ලිමේන්තුවට පැවැරිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අගමැති බලතල පුළුල් විය. මෙම තත්ත්වය තුළ අද ජනාධිපති තටු සිඳින ලද පක්ෂියකු බඳු යැයි විරුද්ධවාදීහු පවසත්. එහෙත් ඔවුහු එම දුබල විධායක ජනපති ක්‍රමය රඳවා ගන්නට වළිකති. ඇතැම් විට මැතිවරණ ජයකින් පසු යළි 18 වැනි සංශෝධනය ගෙන එන්නට ඔවුන් තුළ යටි අරමුණක් පැවැතිය හැකි ය. වසර 2015 දී ඇති කළ වෙනස එසේ එක් පෑන් පහරකින් නිෂේධ කළ හැකි වන හෙයිනි.
විසි වැනි සංශෝධනය විවේචනය කළ යුතු වන්නේ එහි අන්තර්ගතය විමසා මිස එහි කර්තෘන්ගේ හැඩරුව විමැසීමෙන් නො වේ. එසේම (ජවිපෙ) කවුරුන් (එජාප) කා සමග පයුරු පාසානයෙහි යෙදෙන්නේ ද යන්න අනුවත් නොවේ.

ඒකාබද්ධ විපක්ෂයෙහි සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි සහයෝගය නොලැබෙන හෙයින් විසිවැනි සංශෝධනයට පාර්ලිමේන්තුවෙහි දී අවශ්‍ය ඡන්ද ප්‍රමාණය නොලැබෙන්නට පිළිවනි. එහෙත් විධායක ජනාධිපති ක්‍රමයෙහි අහෝසිය සහ නව ව්‍යවස්ථාවක් සඳහා වන ජනතා ව්‍යාපාරය එයින් නිම නොවනු ඇත.