ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා වන්නේ ජීනිවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බ්‍රසීල තානාපතිවරයා වන මාරියා නාසරෙත් ෆරානි අසේවෙඩෝය. උප සභාපතිවරු පස් දෙනෙකි.

ග්ලෙනිස් බියුක්හැම්ප් (ඕස්ටේ්‍රලියාව), සයිමල් මෆ්‍රැන්සිල් (එස්වාටිනිය - පෙර ස්වාසිලන්තය), පයිවි සිල්ලනුකී (පින්ලන්තය), රාජිත සේනාරත්න (ශ්‍රී ලංකාව) සහ මොහොමඞ් ජබර් හ්වොයි අල් ටේ (ඉරාකය), ඔවුහුය.

සේනාරත්න ශ්‍රී ලංකාවේ ජනපති ලෙස පත්වීම සම්බන්ධයෙන් සිය හැගීම් නොසඟවා පැවසීමට උත්වසවයේ දේශකයෝ මැළි නොවූහ.

“නිදහස ලැබූ දා සිට සැළකුවහොත් අපට සෞඛ්‍ය අමාත්‍යවරුන් 26 දෙනෙක් සිට තිබෙනවා. ඔවුන්ගෙන් පළමුවැන්නා තමයි නැසීගිය එස්.ඩබ්ලියු.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා. 25 වැනියා තමයි වර්තමාන ජනපති මෛත්‍රීපාල සිරිසේන. 26 වැනියා වත්මන් සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න. අපේ 25 වැනි සෞඛ්‍ය අමාත්‍යවරයා අනපේක්ෂිත විදිහට රටේ ජනපතිවරයා ලෙස පත්වුනා. අපට තිබෙන්නේ ඒ වගේ ඉතිහාසයක්. ඒ නිසා මට හිතෙන හැටියට නම් මෙතන දොස්තර සේනාරත්නට ලැබෙන පණිවුඩයක් තිබෙනවා. එය නම්, පළමුව සෞඛ්‍ය අමාත්‍යවරයා දෙවනුව ජනපතිවරයා. ප්‍රවණතාවය එයයි”

“ඒ නිසා පළමුව සුවපති, දෙවනුව ජනපති, යන සංකල්පය ගැන සළකා බලන්න කියා මම දොස්තර සේනාරත්නගෙන් ඉල්ලා සිටිනවා.” මෙසේ අදහස් දැක්වූයේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාය.

නිර්මාණශීලී, ජනතා හිතවත් නායකයකු ලෙස සේනාරත්නව හදුන්වාදුන් යුක්තිය සහ සමානත්වය සදහා වන ජාතික ව්‍යාපාරයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා, කැබිනට් මණ්ඩලයේ වැදගත්ම අමාත්‍යධූරයන් වන්නේ සෞඛ්‍ය, පෝෂණය සහ අධ්‍යාපනය බව පැවසුවේ ය.

“එම තනතුරු දරන උදවිය ජනතාවගේ අවශ්‍යතා ගැන සංවේදි විය යුතුයි.ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් බවට පත්වීමට නම් එය අනිවාර්යයි. ජාතික නායකයන් බවට පත්වන්නේ ජනතා හිතවත් කැබිනට් අමාත්‍යවරුන්” යයි මහාචාර්ය විජේසූරිය කීවේය. 

ඒ සම්බන්ධයෙන් ජනපති සිරිසේන මහතා අදහස් දැක්වූයේ මෙළෙසය.

“ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඔබට හිමිවූ නව තනතුර, ලෝකයා ඔබව පිළිගෙන තිබෙන බව දැනගැනීම, හමුවේ මම සතුටට පත්වුනා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය මට එවැනි තැනක් ලබාදුන් අවස්ථාවේ මට මෙවැනි පිළිගැනීමක් ලැබුනේ නැහැ. මා වෙනුවෙන් 2013 වසරේ දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ උත්සවයක් සංවිධානය කර තිබුණා. දේශනයක් පැවැත්වීම සදහා ආරාධනය කර තිබුණත් හිටපු ජනපතිවරයා එම උත්සවයට සහභාගීවීම මගහැරියා. නායකයින් ජනතාවගේ හදවත්වල රැදිය යුතුයි. ජනතාව වෙනුවෙන් සේවය කළ යුතුයි”

“මට පෙර අදහස් දැක්වූ මහාචාර්යවරු දෙපළ ඉගි පළකලා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පැවසුවා එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක, රටේ පළමු සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වෙලා එතැනින් ශ්‍රී ලංකාවේ ජනපතිවරයා දක්වාම පැමිණි බව. මමත් සෞඛ්‍ය අමාත්‍යවරයාව සිට එතැනින් රටේ ජනපතිවරයා ලෙස පත්වූවෙක් බව ඔහු කීවා. මම සේනාරත්නට සුභ පතනවා. ඔවුන් ඉගි කළ දේ ගැන යම් යථාර්ථයක් තිබෙනවා. නමුත් මගේ ප්‍රශ්නය වන්නේ එය දැනට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් දිනාගත හැකි දෙයක්ද, නැතිනම් තනතුරින් ඉවත්ව දිනාගත හැකි දෙයක්ද, යන්නයි. 

“ඒ ගැන සිතීම මම දොස්තර සේනාරත්නටම ඉතිරි කරනවා.” යයි ජනාධිපති සිරිසේන මහතා කීවේය. 

ප්‍රතිභාමත් තනතුරකින් කිරුලු පැළදීම සහ එම අවස්ථාවක ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරියකද සහභාගී කරගැනීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පමණක් අනන්‍ය හැසිරීමක් නොවේ. එවන් තනතුරු හා පිළිගැනීම් හමුවේ තම නාමය ශ්‍රී ලංකා දේශපාලනයේ සටහන් කළ දේශපාලඥයෝ බොහෝ වෙත්. හිටපු සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාටද මෙවැනි තනතුරක් හිමිවූ අවස්ථාවේ ඔහු බදුල්ලේ තම ආධාරකරුවන් හා එක්ව එය මහා ඉහළින් සැමරුවේය.

වසර ගණනාවකට ඉහතදී ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද කාර්යාලය නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයාව සිට නැසීගිය ටිරෝන් ප්‍රනාන්දු මහතාට අන්තර්ජාතික සංචාර වැඩසටහන යටතේ ඇමරිකාවේ සංචාරයක් සදහා ආරාධනා කළේය. එවකට ඇමරිකාවේ උප ජනපති ජොර්ජ්්.එච්. ඩබ්ලියු. බුෂ් මහතා සමග පැවැත්වෙන කෙටි හමුවක් ද නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයාට ලබා දී තිබූ න්‍යාය පත්‍රයේ සදහන් විය. 

නැවත මෙරටට පැමිණියායින් පසුව නිල ඡායාරූප ශිල්පියකු ගත් දෙදෙන අතර හමුවේ ඡායාරූපය ජෝජ් බුෂ් මහතාගේ අත්සන ද සහිතව, ප්‍රනාන්දු වෙත ලබාදීමට ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලය පියවර ගත්තේය. මැතිවරණ සමයේ ටිරෝන් ප්‍රනාන්දු සම්පූර්ණ පුවත්පත් පිටු සැරසූයේ මෙම ඡායාරූපයෙන්ය. සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම ඒවා ප්‍රචාරණය කැරුනු අතර, ජෝර්ජ් බුෂ්ගේ සමීපතම මිතුරාට මනාපය ලබාදෙන ලෙස එම දැන්වීම්වල සඳහන් විය. 

වාසනාවකට මෙන්, තම තමන්ගේ හිස් මත කිරුළු පළදාගැනීමේ වුවමනාවක් සෑම අමාත්‍යවරයකුටම නොමැත. නොඑසේ නම් ගොවීන්ගේ මහත් අප්‍රසාදයට පත්ව කෘෂිකර්මය අදාළ ප්‍රධානියකුගේ රුවින් පුවත්පත් පිටු සැරසෙන ආකාරයද, ගුරුවරුන්ගේ සහ දරුවන්ගේ හාස්‍යයට ලක්ව සිටින අධ්‍යාපනයට අදාළ ප්‍රධානියකුගේ රුවින් පුවත්පත් පිටු සැරසෙන ආකාරයද අපට දැකගන්නට හැකිව තිබිණ. 

මෙම කටයුතුවලට අමතරව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන යම් කටයුතු කිහිපයක් ද පසුගිය සතියේ සිදුවිය. අවධානයට ලක්වූ එක් සිදුවීමක් වූයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ප්‍රමාදවීමට තුඩු දී තිබෙන කරුණු අනාවරණය කරගැනීම සදහා කතානායක කරූ ජයසූරිය මහතා පත්කළ සය සාමාජික කමිටුවේ සාමාජිකයෝ දෙදෙනෙක් ඉන් ඉල්ලා අස්වීමය. 

කේ.තවලිංගම් (සීමා නීර්ණ කොමිසමේ ප්‍රධානී) සහ මහින්ද දේශප්‍රිය (මැතිවරණ කොමිසමේ සභාපති) ඔව්හු වූහ. 
මේ දෙදෙනා ඉල්ලා අස්වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් අනාවරණය නොවූ නමුත් කමිටුවේ සාමාජිකයින් දෙදෙනෙක් පසු අවස්ථාවක පවසා සිටියේ ළබැඳියාව සම්බන්ධයෙන් ගැටුමක් පවතින හෙයින් ඔවුන් එසේ ඉල්ලා අස්වූ බවයි.

පසුගිය මස 30 වැනිදා කතානායකවරයා පත්කළ මෙම කමිටුවේ ප්‍රධානියා වන්නේ අගමැති වික්‍රමසිංහය. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, එහි අනෙක් සාමාජිකයෝය.

පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුත්තේ කවර මැතිවරණ ක්‍රමය යටතේ ද යන්න තීරණය කිරීමට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පසුගිය බදාදා පැවැති හමුව අවසන් තීරණයකට පැමිණීමෙන් තොරවම අවසන් විය. සියලු පක්ෂ සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණද, ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඊට එක්ව නොසිටියේය. මේ සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතය.

රවුෆ් හකීම්, රිෂාද් බදුර්දීන් සහ මනෝ ගනේෂන් යන අමාත්‍යවරු, 50%ක් කේවල ක්‍රමය යටතේ සහ ඉතිරි 50% සමානුපාතික ක්‍රමය යටතේ අපේක්ෂකයන් තෝරාගැනෙන මැතිවරණ ක්‍රමයකට විරෝධය පළකළෝය. පෙබරවාරි මස පැවැති පළාත් පාලන මැතිවරණයේ දී භාවිතයට ගැනුනු 60% සහ 40% අනුපාත ක්‍රමය ද ඔවුන්ගේ විවේචනයට ලක්විය. එම ක්‍රමය යටතේ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළේ ජනපතිවරයාගේ ඉල්ලීම නිසා පමණක් බවද ඔවුහු කීවෝ ය.

“රජයට සහාය දක්වන දේශපාලන පක්ෂ අප භාවිතයට ගතයුතුව තිබෙන්නේ කුමන මැතිවරණ ක්‍රමය අරබයා ද, එකිනෙකාව අවභාවිතා කරමින් සිටින බව අපට දැනගන්නට ලැබුනා. දිගින් දිගටම පළාත් සභා මැතිවරණය ප්‍රමාද කිරීමේ උත්සාහයක් තිබෙන බවයි පෙනෙන්නේ. ඔවුන් දැනටමත් ප්‍රතිඵලය දන්නවා” යයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය.

කාලය ගතවෙමින් තිබේ. කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුද සම්බන්ධයෙන් රජය තර්ක විතර්ක කරමින් සිටින අතරවාරයේ, ජනපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමටද දින එළැඹ තිබෙන්නට හොදටම ඉඩ ඇත.