මාතෘ සේවාව සම්බන්ධයෙන් ගෝලීය තලයේ දී ශ්‍රී ලංකාව සැලකෙන්නේ ඉදිරිගාමී රාජ්‍යයක් හැටියටය. මේ ජයග්‍රහණය අහම්බයෙන් අත්පත් කරගත් එකක් නෙවන අතර ඊට බල පෑ හේතු බොහෝය. මෙරට දරු උපත්වලින් 99%ක්ම විධිමත් වෛද්‍ය හා සෞඛ්‍ය සේවකයන් කණ්ඩායමක් සමඟ රෝහලක දියුණු ශල්‍යාගාරවල සිදුවීම  (Skilled birth attendance) ඊට මූලිකම හේතුවයි. ශ්‍රී ලංකාවේ පවුල් සංවිධාන ක්‍රම භාවිතය ඉහළ මට්ටමක පැවතීම ද තවත් එවැනි හේතුවකි. එහෙත් කුරුණෑගල සාෆි මොහොමඞ් නමැති වෛද්‍යවරයා මුල් කරගෙන රෝහලේ දරු උපත්වලදී වී යැයි කියන සිදුවීමක් සමඟ අද වනවිට ගර්භිණී මවුවරුන් පමණක් නොව සමස්ත රටවැසියන්ම සිටින්නේ ගැඹුරු අවිනිශ්චිතභාවයක ගිලීය. එනිසා මේ සිදුවීම ගැනත් ඒ සමබන්ධයෙන් වාර්තා වන වර්ධනීය තත්ත්ව ගැනත් විද්‍යාත්මක ඇසකින් විමසා බැලීම මේ මොහොතේ අතිශය වැදගත්ය. 

මේ කාරණය නිසා අද වනවිට ජාතියක් තව ජාතියක් දෙස සැකයෙන් බලන පරිසරයක් නිර්මාණය වී තිබේ. මෙය හුදු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයෙන් ඔබ්බට යද්දී සමස්තයක් හැටියට රටේ යහපැවැත්මට කිසිසේත් හිතකර නොවේ. සෞඛ්‍ය සේවාව හා එහි අනුඅංගයක් වන මාතෘ සේවාවටත් රටේ අනාගතයටත් නරක බලපෑමක් කිරීමට ද බලපානු ඇත. ආරක්ෂක මාතෘත්වය සමාජයක ප්‍රගතියට අතිශය වැදගත්ය. වෛද්‍ය සාෆි පදනම් කරගෙන කතාවෙන චෝදනාව වන්නේ මවුවරුන් වන්ධ්‍යකරණයට ලක්වන සේ දරු ප්‍රසූතියට අදාළ ශල්‍යකර්ම සිදුකළේය යන්නයි. වෛද්‍ය වෘත්තියට අදාළව ගතහොත් මේ අතිශය බරපතළ චෝදනාවකි. වෛද්‍ය ආචාර ධර්ම අනුව නිසි අවසරයක් නැතිව කිසිවකුට කිසිවක් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. වෛද්‍ය විද්‍යාවේ කලාව යනුවෙන් වෙනම විෂය ක්‍ෂේත්‍රයක් තිබේ. එහි උගැන්වෙන ආකාරයට වෛද්‍යවරයා හා සේවාලාභියා අතර විශ්වාසය යනු අතිශය ප්‍රමුඛව සැලකිය යුතු ධර්මතාවකි. එනිසා මේ කතාව සරල නැත. අනෙක් අතට සැකය එල්ල වී ඇති වෛද්‍යවරයා තවම චූදිතයකු කර නැති පසුබිමක ඔහු සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණය පාරදෘෂ්‍ය, අපක්ෂපාතී හා සාධාරණ විය යුතුය. 

නීතියේ ප්‍රධාන මූලධර්මයක් වන්නේ යමකු නීතිය හමුවේ වැරැදිකරුවකු වන තුරුම ඔහුට නීතියේ රැකවරණය ලැබිය යුතුය යන්නයි. ඔහු සමඟ වෛද්‍ය වෘත්තියේ යෙදී නැත. එහෙත් ඔහු සම්බන්ධයෙන් අප කරන විමසීම්වලදී පළවන්නේ විවිධ මතය. මෙවැන්නක් සිදුවීය යන උපකල්පන අතර මෙවැන්නක් සිදු විය නොහැකිය යන උපකල්පන ද ඒ අතර ඇති බව අප අමතක කළ යුතු නැත. වාර්තා වන ආකාරයට බියට පත්ව ඇති මවුවරුන් කර ඇති ප්‍රකාශවල කොන්දේ වේදනාව, දියවැඩියාව, තවත් දරුවකු ලැබේද යන්න ගැන ඇති අවිනිශ්චිත සිතුවිලි ආදී කාරණා අන්තර්ගතය. ඒ අනුව බියට පත්ව ඇති මව්වරුන්ගේ රෝග ඉතිහාසය හා රෝග ලක්ෂණ විමසා බලා ද අපට යම් තීරණයකට පැමිණිය හැකිය. තවත් දරුවකුට උපත දිය හැකිද යන හුදෙක් අවිනිශ්චිත හැඟීම් පදනම් වූ කාරණාවලදී දරුවකු ලබාගැනීම සඳහා මවුපිය එකතුවීම වැනි කාලානුරූපී පියවර අනුගමනය කළහැකිය. ප්‍රස්තුත සිදුවීමේ ප්‍රධාන කාරණය පැලෝපීය නාලයයි. පැලෝපීය නාල අවහිර වීදැයි බැලිය හැකි පරීක්ෂණ තිබේ. එක් ක්‍රමයක් වන්නේ එක්ස්රේ ඡායාරූපයක් පැලෝපීය නාල පරීක්ෂාවයි. තව ක්‍රමයක් වන්නේ ලැපරොස්කොපි පරීක්ෂණයක් කිරීමයි. මේවා ලොව අනුදත් පරීක්ෂණ ක්‍රමවේදයි. ප්‍රකාශ ලබා දී ඇති මවුවරුන්ගේ සටහන් කියැ වූ පමණින් මෙවැනි පරීක්ෂණවලට යොමුකළ යුතු මවුවරුන්ගේ නියැඳිය සකසා ගත හැකිය. එසේම අදාළ මවුවරුන් රෝහලේ නේවාසික ප්‍රතිකාර ලද කාලයේ ඊට අදාළ වාර්තා, සටහන් පරීක්ෂා කර බලා සවිස්තරාත්මක වාර්තාවක් ද සකසා ගත හැකිය. එවිට කඩිනමින් මෙවැනි පරීක්ෂණ සඳහා ඔවුන් යොමුකළ හැකිය. 

තවත් වැදගත් කරුණක් වන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණය කෙරෙන පරීක්ෂණ කණ්ඩායමේ සංයුතියයි. එය අනිවාර්යෙන්ම විෂයෙහි හසළ දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ ප්‍රසවවේදීන්ගෙන් සමන්විත විය යුතුය. හුදු රෝහලක පරිපාලනයකට පමණක් පැවරිය යුතු නැත. එම පරීක්ෂණය ජාතික මට්ටමින් විය යුතුය. සාමාන්‍ය රාජ්‍ය සේවා ප්‍රශ්නයකදී මූලිකව අභ්‍යන්තර විමර්ශනයක් පැවැත්වීම සම්ප්‍රදාය වුවද රටක් ගිනි ගෙන ඇති මෙවන් ප්‍රශ්නයකදී එය රටටම පිළිගතහැකි විශ්වසනීය හා සාධාරණ එකක් විය යුතුමය. සිදුකරන පරීක්ෂණය නිසියාකාරව සිදු නොවුවහොත් එය ද තවත් වටයකින් අගතිදායක අන්තයකට ගමන් කිරීමට ඉඩක් තිබීම ඊට හේතුවයි. මෙම පරීක්ෂණය මෙරටදී කළ හැකිදැයි ඇතැමුන් ප්‍රශ්න කරන ආකාරයක් දකින්නට ද තිබුණි. ඊට දිය හැකි පැහැදිලි පිළිතුර නම් එය මෙරටදී කළ හැකි බවය. ඒ සඳහා හසල දැනුමින් යුතු ජ්‍යෙෂ්ඨ ප්‍රසවවේදීහු ඕනෑ තරම් මේ රටේ වෙති. වෘත්තිය ගැන ස්වයං වර්ණනාවක් සේ නොසලකන්නේ නම් විදේශවල අතිසුඛෝපභෝගී වෘත්තිමය අවස්ථා අතහැර මෙරට සේවය කරන එවැනි ජ්‍යෙෂ්ඨයෝ බොහෝ වෙති. සිසේරියන් සැත්කමක් කිරීමේදී ඊට අදාළව අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කළ චක්‍රලේඛයක් තිබේ. එම චක්‍රලේඛවල නිර්දේශ සියල්ල සකසා ඇත්තේ මවගේ ආරක්ෂාව උපරිම සීමාවට ගෙනඑන්නටය. එනිසා ඇතැම් බාහිර පුද්ගලයන් විවේචනය කරන ආකාරයට සිසේරියන් සැත්කම් දහස් ගණනක් ආවාට ගියාට කළ හැකි යැයි සිතිය නොහේ. පැලෝපීය නාල දහස් ගණනකට හානි කිරීම නම් සරල කටයුත්තක් නොවේ. 

බොහෝ දෙනකු කතා බහ නොකළ ද ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන සිසේරියන් සැත්කම් සංඛ්‍යාව වසරින් වසර වර්ධනය වෙමින් තිබේ. මේ වනවිට ලංකාව සිටින්නේ දරු උපත්වලින් 39% ක් පමණ සිසේරියන් සැත්කම්වලින් සිදුකෙරෙන මට්ටමකය. එහෙත් දියුණු ඇමෙරිකා එක්සත් ජනපදයේ එහි අගය 30% කි. එරට බලධාරින් අවධාරණය කරන්නේ ඇමෙරිකාවට එය ද ඉහළ අගයක් කියාය. එංගලන්තයේ දී එහි අගය 29% කි. ඔවුන් ද කියන්නේ එය පහළ අගයකට ගෙන ආ යුතුය කියාය. එහෙත් අපේ රටේදී සිදුවන්නේ එහි අනෙක් පැත්තය. රටක් හැටියට අප අවධානය යොමු කළ යුතු කාරණා මේවාය. මා එය දකින්නේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු අධ්‍යයනය කළ යුතු කරුණක් හැටියටය. සිසේරියන් සැත්කමකට යොමුවීමේ සමාජ භාවිතයක් ද පවතින බව අප අමතක කළ යුතු නැත. එහෙත් මේ කාරණයේදී මා දක්වන ජාත්‍යන්තර මට්ටමේ සුප්‍රකට උදාහරණය නම් එංගලන්තයේ කේට් මිඞ්ල්ටන් ආදිපාදවරිය තම දරුවන් බිහිකිරීමට සිසේරියන් සැත්කම් යොදා නොගැනීමය. සාධාරණ හේතුවකින් තොරව සිසේරියන් සඳහා යොමු නොවී සිටිය හැකි නම් එයම අගනේය. ගර්භණී කාලයේදී සිදුවන මෘතෘ මරණ සංඛ්‍යාව අතින් ශ්‍රී ලංකාව සිටින්නේ ඉහළ තැනකය. එය ද මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ලද විසල් ජයග්‍රහණයකි. මෙරට පුරවැසියන්ගේ ඒක පුද්ගල ආදායම සමඟ සසඳද්දී අප අත්පත් කරගෙන ඇති තත්ත්වය සැලකෙන්නේ එවැනි දස ගුණයක වටිනාකමකට සමාන ඒක පුද්ගල ආදායමක් භුක්ති විඳින රටවල පුරවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වටය. ශ්‍රී ලංකාවේ ගර්භිණී කාලයේ සිදුවන මරණවලට වැඩි වශයෙන් හේතුවන්නේ  ඉන්ෆ්ලුවන්සා එච්1එන්1 වෛරසය, හෘද රෝග වැනි තත්ත්වයි. 2012 දී හා 2016 දී ඊට බලපා ඇත්තේ ඩෙංගු රක්තපාතයයි. එය සෘජු බලපෑමකි. 

මෙම සිදුවීමේදී අතිශය වැදගත් කාර්යභාරයක් පැවරී ඇති පිරිසක් වන්නේ ජනමාධ්‍යයි. දරු උපතක් සම්බන්ධ මෙවැනි සිදුවීමක් සැලකිය හැක්කේ අතිශය සංවේදී සානුකම්පිත කරුණක් හැටියටය. මගේ නිරීක්ෂණ අනුව මා නම් දකින්නේ මේ රට දැන් ඉදිරියට ගමන් කරමින් සිටින්නේ දත්ත හා කරුණු වෙනුවට ආවේග මතින් බවය. ශිෂ්ටසම්පන්න රටකට එය කිසිසේත් හිතකර තත්ත්වයක් නොවේ. දත්ත හා කරුණු ගැන නිවැරැදි විශ්ලේෂණයකින් තොරව සිදුවන සන්නිවේදනයක් හරහා ජනතාව බියගැන්වෙන්නේ නම් එය සැලකිය හැක්කේ අතිශය නරක තත්ත්වයක් හැටියටය. එවැනි සන්නිවේදනයක් ගැන යම් පාර්ශ්වයක් කරන උපකල්පනයකට සිය දහස් ගණනකින් වැඩි බිහිසුණු ඉරණමක් උදාකරන තත්ත්වයක් වුව නිර්මාණය විය හැකිය. ජනමාධ්‍ය යනු වෙළෙඳපොළ පදනම් කරගත් කර්මාන්තයක් බව සැබෑය. එහෙත් එහි ඉල්ලුම භීතිය හෝ වෛරය බවට පත්වුවහොත් එරටට අත්වනු ඇත්තේ කවර අනාගතයක් ද? එහි ජීවනාලිය බඳු අනාගත පරපුරට අත්වනු ඇත්තේ කවර ඉරණමක් ද? සිසේරියන් සැත්කම්වලට සහභාගී වන වෛද්‍යවරුන් ජාතිකත්ව පදනම මත තෝරාගැනීම වැනි නිර්ණායක ද ඇතැම් පාර්ශ්වවලින් ඉදිරිපත් වනු මට දැකිය හැකි විය. මා පෙරදී ද සඳහන් කළා මෙන් අප අවිචාරවත් ලෙස ඇතැම් දේ වහරන්නට පෙර ජාතිකත්ව පදනම් මත ගමන් කර ආසන්න දශක ගණන පුරා නෙළාගත් අස්වැන්න ගැන සිහියට නගා ගන්නේ නම් මැනැවිය. 1983 කළු ජූලියක් හටගන්නා විට එල්.ටී.ටී.ඊ සංවිධානය පැවැතියේ ළදරු සංවිධානයක් හැටියටය. එහෙත් දෙමළ ජාතිකයන් ඉලක්ක කරගෙන දියත් වූ වාර්ගික කලහය අවසානයේදී පෙරළා ක්‍රියා කළේ එල්.ටී.ටී.ඊ සංවිධානය පෝෂණය කිරීමටය. මෙවර කළු ජූලියක් ඇති නොවුණ ද මුසල්මානුවන් ඉලක්ක කරගෙන නිර්මාණය වී ඇති මානසික වටපිටාව ද එවැනි තත්ත්වයක් කරා ඔවුන් තල්ලු නොකරනු ඇතැයි කාට නම් කිව හැකිද? 

වෛද්‍ය සාෆි මොහොමඞ්ගේ සිදුවීමේදී බොහෝ පාර්ශ්ව එය විග්‍රහ කරගන්නේ මාධ්‍ය මගින් අසන්නට දකින්නට ලැබෙන දේ පදනම් කරගෙනය. එහෙත් මෙය හුදු සිද්ධිවාචිකව විවරණය කරගැනීමට තරම් සරල දෙයක් නොවේ. මේ සිදුවීම දිනෙන් දින වාර්තා වන ආකාරය හා එමගින් බලපෑමට ලක්වන සමාජ කණ්ඩායම් ගැන තවමත් සමාජයක් හැටියට අප සංවේදී වී නැත යන්න මගේ සිතුවිල්ලයි. මේ මොහොතේ මේ රටේ ගර්භිණීව සිටින මවුවරුන් එහි ප්‍රධාන ඉලක්කගත කණ්ඩායමක් හැටියට මම දකිමි. මෙම පුවත වාර්තා වූ පළමු තත්පරයේ සිට එහි නව ප්‍රවණතා වාර්තා වන වාරයක් පාසාම ගර්භිණී මවුවරුන්ට ඇති වන මානසික පීඩාව සුළු පටු නැත. වෛද්‍ය සාෆිගෙන් ප්‍රතිකාර නොලද, කුරුණෑගල නොවන වෙනත් දිස්ත්‍රික්ක නියෝජනය කරන මවුවරුන් මේ පුවතට අදාළව මානසිකව කවර තත්ත්වයක සිටිනු ඇද්ද? සිසේරියන් සැත්කමක් කිරීම සම්බන්ධයෙන් මුළු රටේම කාන්තාවන් කවර සිතුවිල්ලක ඇතිද? ජනමාධ්‍ය මේ මොහොතේ අවධානය කළ යුතු මූලික ප්‍රශ්න මේවාය. ජාතිකත්ව පදනමකින් තොරව සියලුම ගර්භිණී මවුවරුන්ට දිය හැකි හොඳම විසඳුම එයයි. කැප වී ඉතා ඉහළම ගුණාත්මකභාවයකින් යුතුව සේවය සලසන මා දන්නා දෙමළ හා මුස්ලිම් ජාතික ප්‍රසවවේදීහු රැසක්ම වෙති. මා මේ මවුවරුන්ට සෘජුවම දෙන පණිවුඩය නම් රජයේ රෝහලකට පැමිණ සිය දරු ප්‍රසූතියට අවස්ථාව ලබාගැනීමට කිසිසේත් බිය නොවන්නය යන්නයි.   

වෛද්‍යවරුන්ගේ ආචාර ධර්ම පද්ධතිය සම්බන්ධයෙන් පැවැති සාම්ප්‍රදායික අංගය වූයේ හිපොක්‍රටීස් දිවුරුමයි. නවීන වෛද්‍ය විද්‍යාවේ නිර්මාතෘ හැටියට සැලකෙන්නේ හිපොක්‍රටීස්ය. එහෙත් අද වනවිට එය වර්ධනීය තත්ත්වයකට පැමිණ වෛද්‍යවරුන්ටම අනන්‍ය වූ ආචාර ධර්ම පද්ධතියක් තිබේ. එහි මූලිකම ධර්මය නම් කවර කොන්දේසියක් යටතේවත් රෝගියාට කිසිදු හානියක් නොකළ යුතුය යන්නය. මූලික වෛද්‍ය පරීක්ෂාවකදී රෝගියා කාන්තාවක් නම් ඇය සමඟ තවත් කාන්තාවක් සිටීම, සැත්කම්වලදී කණ්ඩායමක් සහභාගී වීම, ගබ්සාවෙන් වැළකීම ආදිය එයින් සරල ධර්මතා කීපයකි. රෝගියකු සමඟ අනියම් සම්බන්ධතා ආදිය ඇතිකරගැනීම සැලකෙන්නේ අතිශයින් පිටුදැකිය යුතු චර්යා හැටියටය. දියුණු ලොව රටවල මෙම ආචාර ධර්ම සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරන අතර ඒ නිසාම වෛද්‍ය වෘත්තියෙන් නෙරපා හැරෙන වෘත්තික පිරිස සැලකිය යුතු තරම්ය. මේ සිදුවීමේදී රට ගිනි ගැනීම හරහා මට ඇති බිය නම් වෛද්‍ය ක්‍ෂේත්‍රයට සිදුවන්නේ කුමක්ද යන්නයි. වෛද්‍ය විද්‍යාවේ කලාවේ මූලිකම කරුණක් වන්නේ වෛද්‍යවරයා හා රෝගියා අතර සම්බන්ධයයි. ඉතින් මේ විශ්වාසය බිඳවැටුණොත් අප යන්නේ කොතැනට ද? කෙළින්ම කිව්වොත් රෝහලකට පැමිණ බිළිඳකු ප්‍රසූත කිරීමට මවුවරුන් බිය වනු ඇත. තිඹිරි ගෙය බවට සිය නිවස්නයම භාවිත කරගන්නට ඔවුන් පෙළඹෙනු ඇත. එය සෘජුවම බලපානු ඇත්තේ අප රටක් හැටියට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අත්පත් කරගෙන ඇති ජයග්‍රහණවලටය. කතාවට කියන්නේ දරු ප්‍රසූතියකදී බිළිඳා ජීවතුන් අතර සිටිද්දී මවක මිය ගියහොත් එය පරම්පරා තුනකට බලපානවා කියාය. එනිසා මේ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පාරදෘෂ්‍ය සාධාරණ පරීක්ෂණයක් කර රටේ ජනතාවට හරිමහන් පිළිතුරක් දීම කඩිනමින් කළ යුතු බව අවසන් වශයෙන් නැවතත් අවධාරණය කරමි. 

සටහන - බිඟුන් මේනක ගමගේ  
ඡායාරූපය - නිසල් බදුගේ