ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ගැන රට පුරා හටගෙන තිබෙන්නේ විසල් සාකච්ඡාවකි. එය ආර්ථික විද්‍යාත්මක මුහුණුවරකට වඩා දියත්වන්නේ පටු දේශපාලන න්‍යාය පත්‍රවල සිර වූ අයුරකිනි. ගිවිසුම ගැන දුර්මත රැසක් ජනමාධ්‍ය හරහා ද සන්නිවේදනය වීමට බලපා ඇත්තේ මේ දේශපාලන දෘෂ්ටියයි. එනිසා සිංගප්පූරු ගිවිසුමේ ඇත්ත නැත්ත ගැන විද්‍යාත්මක පිවිසුමකින් ආමන්ත්‍රණය කිරීම කාලීන අවශ්‍යතාවකි. මෙම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළේ ඇයිදැයි බොහෝ දෙනා ප්‍රශ්න කළහ. වෙළෙඳ ගිවිසුමක් අස්සන් කිරීමෙන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ නීතිමය අවශ්‍යතාවක් නැත. පාර්ලිමේන්තුවේ දැනගැනීම පිණිස ඉදිරිපත් කළ යුතුදැයි තීරණය කිරීම විෂය භාර ඇමැතිවරයාගේ කාර්යයකි. ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මලික් සමරවික්‍රම ඇමැතිවරයා කටයුතු කළේ ඒ අනුවය.

ජනවාරි 23 අස්සන් කළ ගිවිසුම ක්‍රියාත්මක වීම ඇරඹුණේ මැයි 01 වැනිදා වීම ද ඇතැමුන්ට තවත් ප්‍රශ්නයකි. ගිවිසුමේ Anti Dumping Subsidies Bylateral Safeguard යනුවෙන් එක් පරිච්ඡේදයක් වේ. මෙරටට යමෙකු සහනාධාර දීමේදී ඒ යටතේ ලැබෙන භාණ්ඩ සම්බන්ධයෙන් නැගෙන තීරු බදු ප්‍රශ්න, දේශීය නිෂ්පාදන භාණ්ඩයකට වඩා සැලකිය යුතු අඩු මිලකට මෙරටට ගලා ඒමේදී ඇති වන තරගකාරීත්වය ගැන එහි සාකච්ඡා කෙරේ. එවැනි අවස්ථාවක තීරු බදු වැඩි කර දේශීය කර්මාන්තවල ආරක්ෂාව තහවුරු කළ හැකි අතර ඊට අවශ්‍ය වන්නේ ඉහත කී පරිච්ඡේදය බලාත්මක කිරීමය. එහෙත් එම පරිච්ඡේදය බලාත්මක කිරීමට අදාළ දේශීය නීතිය ඒ වනවිට ලංකාවේ සම්මත කර තිබුණේ නැත. ඊට අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණ ද ජනවාරි 23 වනවිට එය සම්මත කර තිබුණේ නැත. එනිසා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අදාළ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරනතුරු නැවතී සිටීමට අපට සිදුවිය. ගිවිසුම ක්‍රියාත්මක වීමට නම් එයට අස්සන් තැබීමට පසුව දැනුම්දීමේ රාජ්‍ය තාන්ත්‍රික ලේඛන දෙරට අතර හුවමාරු කරගත යුතුය. අදාළ ලේඛන හුවමාරුවෙන් දෙවැනි මාසයේ පළමු වැනි දින සිට ගිවිසුම ක්‍රියාත්මක වේ. ලේඛන හුවමාරුව සිදුවුණේ මාර්තු 23 වැනිදාය. ප්‍රපාතන විරෝධී ප්‍රතිතෝලන බදු පනත සම්මත කෙරුණේ මාර්තු 7 වැනිදාය. මාර්තු 23 වැනි දිනට අනුව දෙවැනි මාසය වන්නේ මැයි මාසයයි. මැයි පළමුවැනිදා සිට ගිවිසුම ක්‍රියාත්මක වූයේ ඒ අනුවය.

රජය විසින් අනුමත කරන ලද නව වෙළෙඳ ප්‍රතිපත්තියක් තිබේ. ශ්‍රී ලංකාව භාණ්ඩ හා වෙළෙඳපොළ කීපයක් මත රැඳී පවතින නිසා ඒවා විවිධාංගීකරණය කළ යුතු යැයි එයින් නිර්දේශ කෙරිණ. එසේ නම් අලුතින් මතුවන වෙළෙඳපොළ සමඟ අප ගිවිසුම් අස්සන් කළ යුතුය. දකුණු ආසියානු හා ඈත පෙරදිග රාජ්‍ය සමඟ සම්බන්ධතා වැඩි දියුණු කරගැනීමට එහිදී අප වැඩි අවධානයක් යොමු කර ඇත. සිංගප්පූරුව සමඟ වෙළෙඳ ගිවිසුමට එළැඹෙන්නේ ද මෙම පුළුල් උපායමාර්ගික වැඩපිළිවෙළේ කොටසක් වශයෙනි. මෙම ගිවිසුමේ මුඛ්‍ය අරමුණ භාණ්ඩ අපනයනය නොවේ. භාණ්ඩ හා සේවා සඳහා ආයෝජන ආරක්ෂා කරගැනීමය. ඉන්දියාව හා පාකිස්ථානය සමඟ අප අස්සන් කිරීමට නියමිත ගිවිසුම් භාණ්ඩවලට පමණක් සීමා වූ ඒවා වුව ද මෙය විස්තීර්ණ ගිවිසුමකි. භාණ්ඩ, සේවා, ආයෝජන, රේගු, සෞඛ්‍යාරක්ෂණ, බුද්ධිමය දේපළ ආදී පුළුල් ක්‍ෂේත්‍ර මෙමගින් ආවරණය කෙරේ. සිංගප්පූරුව වැනි ඉහළ මට්ටමේ ආර්ථිකයක් ඇති රාජ්‍යයක් සමඟ ගිවිසුමක් අස්සන් කිරීම නිසාම ශ්‍රී ලංකාව ගැන ලොවට සන්නිවේදනය වන්නේ විශාල පණිවුඩයකි. ආර්ථික විවෘතකරණයකට හා ආර්ථික ප්‍රතිසංස්කරණයකට ලංකාව සූදානම් බව එමගින් කියැවේ.
1998 දී ඉන්දියාව සමඟ ද 2004 දී පාකිස්තානය සමඟ ද ගිවිසුම්ගත වීමෙන් පසුව මෙවැනි විස්ථාරණ ගිවිසුමකට ලංකාව එළැඹෙන්නේ වසර දොළහකට පමණ පසුය.

එවකට මා එම ගිවිසුම්වලට මැදිහත් වූයේ වාණිජ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙනි. ලොව සෙසු රටවල් වෙළෙඳ ගිවිසුම් හාරසිය පනස් ගණනක් අස්සන් කරද්දී වෙළෙඳ ගිවිසුම් අස්සන් නොකොට එක තැන සිර වී සිටියේ ලංකාවය. උරුගුව, චිලී, ඉන්දියාව හා චීනය ආදී රටවල් ගණනක් සමඟ සිංගප්පූරුව අස්සන් කළ වෙළෙඳ ගිවිසුම් ගණන 14 කි. මෙකී රටවල් කිසිදු ප්‍රයෝජනයක් නැතිනම් සිංගප්පූරුව සමඟ නිකරුණේ ගිවිසුම්ගත වේවි ද? 2017 වර්ෂයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ආනයන සිංගප්පූරුවෙන් සිදුකර ඇත. එයින් මිලියන 750ක් පෙට්‍රෝලියම් නිෂ්පාදනය. මිලියන 220ක් රත්‍රන්ය. මේ දෙක එකතු කළ විට මිලියන 970 කි. මේ වර්ග දෙකම තිබෙන්නේ තීරු බදු අඩු නොකරන ලයිස්තුවේය. 7438ක් වූ භාණ්ඩවලින් අපේ ගිවිසුමට අදාළ වන්නේ 80% ක් පමණි. එහෙත් වෙනත් රටවල් සිංගප්පූරුව සමඟ එළැඹ ඇති බොහෝ ගිවිසුම්වලදී මේ ප්‍රතිශතය 90% ඉක්මවයි. ඒ අනුව තීරු බදු අඩු නොකෙරෙන නිශේධ ලයිස්තුව 20% කි. දේශීය සංවේදී කෘෂිකාර්මික භාණ්ඩ, පාවහන්, පෙට්‍රෝලියම් නිෂ්පාදිත භාණ්ඩ, දුම්කොළ හා මද්‍යසාර, ස්ප්‍රීතු ආදී රටට විශාල වශයෙන් ආදායම් ලබාදෙන භාණ්ඩ ඊට ඇතුළත්ය. ඒ අනුව බිලියන 1.2න් බිලියනයක් පමණ මුදලක් ආරක්ෂා කරගැනීමට අප කටයුතු කර ඇත. අනෙක් අතට මෙම තීරු බදු අඩු කිරීම කෙරෙන්නේ එකවර නොවේ. අවුරුදු පහළොවකදී පියවර වශයෙනි. ඒ අනුව වර්ෂයක තීරු බදු අඩුව සෙවීමට නම් 15න් බෙදිය යුතුය. 7438ක් වූ භාණ්ඩවලින් එකවර තීරු බදු බිංදුවට වැටෙන්නේ 50%කය. මේවායින් 49.6% ක්ම පමණ දැනටමත් තීරු බදු නැති භාණ්ඩය. ඒ සිංගප්පූරුවට පමණක් නොව මුළු ලෝකයටමය.

මුදල් අමාත්‍යාංශය කළ විශ්ලේෂණයකට අනුව 2017 දී සිංගප්පූරුවෙන් ලංකාවට කළ ආනයන නිසා ලැබුණු බදු ආදායම රුපියල් බිලියන 135 කි. තීරු බදු ඉවත් කිරීම නිසා මෙම වසර පහළොවේ මුළු කාලයටම අහිමි වන බදු ආදායම රුපියල් මිලියන 733ක් වශයෙන් අමාත්‍යාංශය ගණන් බලා තිබේ. එය බිලියන එකකටත් අඩුය. වසරක ආදායම අහිමි වීම බැලීමට නම් රුපියල් මිලියන 733 බෙදිය යුත්තේ 15 නි. ඒ අනුව වාර්ෂිකව අහිමි වන බදු ආදායම රුපියල් මිලියන 52 කි. රුපියල් බිලියන 135න් බිලියන 52ක් යනු කොපමණ සුළු ප්‍රතිශතයක් ද? එනිසා තීරු බදු බිංදුවට යෑම සමඟ මෙමගින් ලංකාවට ලැබෙන ආදායම රුපියල් බිලියන ගණනින් අඩුවන බවට නැගෙන චෝදනාව ද අසත්‍යයකි. පදනම් විරහිත ප්‍රකාශයකි.

තීරු බදු අහෝසි කිරීමේදී පළමු 50% න් පසුව පළමු වසරේ සිට හයවැනි වසර දක්වා 15% කි. හත්වැනි වසරේ සිට දෙළොස්වැනි වසරට තවත් 15% කි. තවත් භාණ්ඩ කොටසක් දොළොස්වැනි වසරේ සිට පහළොස්වැනි වසර දක්වාය. ගිවිසුමෙන් සිදුවන්නේ තීරු බදු අඩු කිරීම පමණි. භාණ්ඩවලට ආනයන බලපත්‍ර නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් තිබේ නම් ආරක්ෂක නීති තිබේ නම් ඒ නීති රීති කිසිවක් මේ ගිවිසුම නිසා අහෝසි වන්නේ නැත. තීරු බදු අඩු කළ පළියට ආනයන බලපතක් අවශ්‍ය වන විට එය නොමැතිව භාණ්ඩ ආනයනය කළ නොහැකිය. රජය පරිසර සංරක්ෂණයට අදාළව ගිවිසුම්, සම්මුති අස්සන් කර ඇත. මෙම ගිවිසුමෙන් ඒවාට කිසිදු හානියක් හෝ බලපෑමක් වන්නේ නැත. එනිසා මෙම ගිවිසුම හරහා ලංකාවට අපද්‍රව්‍ය ගලා එනු ඇතැයි යන්න ද සැලකිය හැක්කේ පෙර අප සාකච්ඡාවට ගත් පරිදිම තවත් මුසාවක් හැටියට පමණි.

සේවා විවෘත කිරීම ගැන එල්ලවන චෝදනාව ගැන ද අප දැඩි සැලකිල්ලක් යොමු කළ යුතු වේ. සේවා සැපයීම සිව් ආකාරයකට සිදුවේ. පළමුවැන්න Cross Border ය. උදාහරණයකට අන්තර්ජාලයෙන් වෙනත් රටකට ලිපියක් යැවීම ගනිමු. එහිදී පුද්ගලයෙක් දේශ සීමා හරහා ගමන් නොකරයි. සමාගමක් ද නැත. එහෙත් ලේඛනය හුවමාරු වෙයි. ගිවිසුම් තිබුණත් නැතත් මෙවැනි ලේඛන හුවමාරු වන අතර ඒවා වැළැක්විය නොහැකිය. දෙවැන්න Consumption Abroad ය. සේවාව පරිභෝජනයට අනෙක් රටට යා යුතු වේ. සංචරණය ඊට උදාහරණයකි. අපට මෙහිදී වැදගත් වන්නේ ඊළඟ ආකාර දෙකයි. තෙවැන්න නම් යම්කිසි සේවාවක් සැපයීමට එරට ආයතනයක් පිහිටුවීමයි. Commercial Presence ලෙස එය හැඳින්වේ. ආයෝජනයක් මගින් හෝටලයක්, රෝහලක් ඉදිකිරීම ඊට උදාහරණයකි. සිව්වැන්න සේවා සඳහා පුද්ගල සංසරණය Moment of Natural Persons යි. පටලැවිල්ල තිබෙන්නේ මේ සිව්වැන්නේය. මේ සිව්වැන්න තවත් අංශ හතරකට බෙදේ.

පළමුවැන්න Cooperate Transversely ය. හෝටලයක සාමාන්‍යාධිකාරී තනතුරට විදෙස් සමාගමක අයකු සේවයට පැමිණීම ඊට උදාහරණයකි. සේවා කාලය නිමාවෙන් පසු ඔහු නැවත පිටව යයි. එය දැනටත් සිදුවේ. දෙවැන්න කොන්ත්‍රාත්ගත සැපයුම් Contractor Supply ය. කොන්ත්‍රාත් මත සැපයුම් සිදු කිරීම මෙහිදී සිදුවේ. තෙවැන්න ව්‍යාපාරික අමුත්තන් Business Visitors ය. අදටත් මෙය සිදුවේ. සිව්වැන්න නම් ස්වාධීන වෘත්තිකයන්ගේ සංචරණය Independent Movement of Professionals යි. උදාහරණයකට වෛද්‍යවරයකු, ඉංජිනේරුවකු ලංකාවට පැමිණීම ගනිමු. අප මෙහිදී ස්වාධීන වෘත්තිකයන්ගේ ආගමනය ප්‍රවර්ධනය කරන්නේ නැත. තෙවැනි මාදිලිය යටතේ සේවා සපයන්නේ නම් ආයෝජනයක් කළ යුතුය. ආයෝජනයට අදාළව වෘත්තිකයන්ට පැමිණිය හැක්කේ සිව්වැනි මාදිලියේ පළමු හා තෙවැනි ආකාර යටතේ පමණි. එහිදී ද පළමු ආකාරය යටතේ ආ හැක්කේ කළමනාකරණ, විධායක හා විශේෂඥ යන ප්‍රවර්ගවලට පමණි. එම ප්‍රවර්ග ගිවිසුමේ නිර්වචනය කර තිබේ. අඩුම තරමින් ඔවුන් වසරක්වත් සිංගප්පූරුවේ සේවය කර තිබිය යුතු වේ. වසර පහක පළපුරුද්දක් තිබිය යුතු වේ.

ගෘහනිර්මාණ සේවය විවෘත කර ඇති බවට ඇතැමුන් චෝදනා කරන්නේ මේ ප්‍රවර්ගය නිසාය. ඇත්ත වශයෙන්ම අප ගෘහනිර්මාණ සේවා විවෘත කර නැත. විවෘත කර ඇත්තේ ගෘහනිර්මාණ පූර්ව සැලසුම්කරණය Architecture Pre Design Service හා ඉංජිනේරු උපදේශන සේවා Engineering Consultancy Services ය. මේවා ද සිදුකළ හැක්කේ පළමු මාදිලිය යටතේ පමණි. සරලව කිවහොත් අන්තර්ජාලය හරහාය. මේවා දැනටමත් සිදුවේ. කොළඹ නගරයේ හෝටල් බොහෝමයක් සකස් කරනු ලැබුවේ මෙපරිදිය. ප්‍රශ්න පැමිණ තිබෙන්නේ මේ කරුණු ගිවිසුමේ සඳහන් කර සාකච්ඡාවට ගැනීමේදීය. එනිසා බොහෝ දෙනා මේ සිදුකරන්නේ කරුණු විකෘති කර සත්‍ය සැඟවීම බව පැහැදිලිය.

සිංගප්පූරු ගිවිසුම ගැන අවංකව කළ ප්‍රශ්න කිරීම් ද නැතිවා නොවේ. ගිවිසුම ගැන සාකච්ඡා කිරීම පිණිස වූ එළඹුම් ඊට උදාහරණය. මෙම ගිවිසුම සකස් කෙරුණේ ඉංග්‍රීසි භාෂාවෙනි. පිටු එක්දහස් ගණනක් ඇති මේ විශාල ගිවිසුම සිංහලයට පරිවර්තනය කිරීම සරල කටයුත්තක් නොවේ. එය මේ දිනවල සිදුවේ. ගිවිසුමේ සිංහල පරිවර්තනය සතියකින් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර එය අන්තර්ජාලයට ද එක් කෙරේ. වෙළෙඳ ගිවිසුමක් අස්සන් කළ විට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනිවාර්යය නීතිමය අවශ්‍යතාවයක් නැත. එය ඉදිරිපත් කිරීමට ඇති අයිතිය විෂය භාර ඇමැතිවරයා සතුය. නොඑසේම ගිවිසුම සැඟවීමේ වුවමනාවෙන් ඉදිරිපත් නොකළේය යන්න බොරුවකි. ගිවිසුමෙන් ඉවත්වීමට හැකියාවක් නැතැයි යන්න ද එබඳුය.

ගිවිසුමක් අසවල් දින සිට අහෝසි වන්නේ යැයි සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ නැත. එහෙත් එක් පාර්ශ්වයකට ගිවිසුමෙන් ඉවත්වීමට තීරණය කළ හැකි බව මෙහි පැහැදිලිව සඳහන් වේ. ඊට අදාළ නිවේදනය කිරීමෙන් පසුව එම ඉවත්වීම වසරක සිට බලාත්මකය. මෙහි ව්‍යතිරේඛය තිබෙන්නේ ආයෝජන සම්බන්ධයෙනි. ගිවිසුම අස්සන් කරනවිට රටට පැමිණි ආයෝජකයන්ට අයිතිවාසිකම් හිමිය. ගිවිසුම් අවලංගු කර වසර දහයක් යනතුරු ඔවුන්ට ආයෝජන සුරක්ෂිතතාව අප තහවුරු කළ යුතුය. එසේ නැතිව ගිවිසුම අවලංගු කළ නොහැකිය යන්න අමූලික බොරුවකි. අවශ්‍ය නම් ගිවිසුම සංශෝධනය කළ හැකිය. ගිවිසුම ක්‍රියාත්මක වීමේදී දෙරට අතර ඒකාබද්ධ කමිටුවක් පිහිටුවයි. ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් පළමු වසර ඇතුළත එහි පළමු රැස්වීම පැවැත්විය යුතුය. ගිවිසුම නිරීක්ෂණයට අදාළ බලය මෙම කමිටුව සතුය. ගිවිසුමට අදාළ උපදේශන ඔවුන් විසින් සිදුකරනු ලැබිය යුතුය. අපට අවශ්‍ය නම් ලබන මාසයේම මෙම කමිටුව කැඳවිය හැකිය. සාමාන්‍යයෙන් ධූරාවලිය අනුව ගත් කල අමාත්‍යාංශ ලේකම්, අධ්‍යක්ෂ ජනරාල් යන තනතුරු දරන්නන්ගෙන් මෙම කමිටුව සමන්විතය.

ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් මෙම කරුණු අනාවරණය කළ විට සුබෝධ වන කරුණ වන්නේ ඒ ගැන රට පුරා විවිධ බලවේග විසින් ගොඩනගනු ලැබ තිබෙන්නේ මතිභ්‍රමයන් බවය. ඊට එක් හේතුවක් වී තිබෙන්නේ ගිවිසුම ගැන දුර්මත ප්‍රචාරාත්මක තලයේ සිට සංවිධානාත්මකව සන්නිවේදනය කිරීමය. අවංක ප්‍රවේශයකින් යුතුව ගිවිසුම ගැන සාකච්ඡාමය එළැඹුමක් නොමැති විට මෙම දුර්මතවලට අත්තටු ලැබේ. එහෙත් ඇත්ත කතාව නම් මෙම ගිවිසුම වනාහි හුදෙක්ම රටේ ආර්ථික ක්‍රියාවලිය වඩ වඩාත් පුළුල් කරන ඉදිරිගාමී පියවරක් බවය. ආර්ථික විද්‍යා විෂයෙහි ප්‍රාමාණිකයෝ එය දනිති. සැබැවින්ම විවිධ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරන ආර්ථික විද්‍යා ප්‍රාමාණිකයෝ පවා එය හොඳින්ම දනිති. ඔවුන්ට ඇති ප්‍රශ්නය වන්නේ සිය දේශපාලන කඳවුරට වාසියක් නොවන පරිදි එය අර්ථකථනය කරගන්නේ කෙසේ ද යන්නය. එනිසා රටත් රටේ ආර්ථික දියුණුවත් ගැන අවංකවම සිතන පුද්ගලයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම ගිවිසුම ගැන මනාව අධ්‍යයනය කරන්නැයි කියාය. දේශපාලන කණ්ඩායම් මවන බිල්ලකු මෙහි නොමැති අතර එමගින් රටට අත්වන ආර්ථිකමය වාසි සුළුපටු නැත. එහෙත් එය තේරුම් ගත හැක්කේ අවංක ප්‍රවේශයකින් යුතුව කෙරෙන සාකච්ඡාවකින් පමණි.

සටහන
බිඟුන් මේනක ගමගේ