සමන් විජය බණ්ඩාර

සාමසර කන්ද ගම් බිම් යට කරමින් දූදරුවන්, ඥාතීන්, අසල්වැසියන් මෙන්ම ඥාති හිතෛෂීන් පවා සගවා ගනිමින් සිදු කළ මහ විනාශය අදටත් අරණායකට මෙන්ම රටට අමතක කළ නොහැකි සිදු විමකි. මෙම ඛේදවාචකය මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දැක අනුකම්පාවට පත් ජනතාව වැල නොකැඩි පැමිණ අවතැන් වුවන්ට ආධාර උපකාර කළ අතර විදෙස් සංවිධාන පිරිස්ද ඒ අතර වුහ.

ජාති ආගම් කුල බේද නොතකා අසරණ වුවන්ට උදව් උපකාර කළේ වෙසක් මස සංවිධානය කරන ලද දාන මාන දන්සල් යනආදියද නවතා දමමිනි.

තවමත් සාමසර කන්දේ කඳුළු සමඟ දිවි ගෙවන්නන් සොයා අපි පසුගියදා අරණායක වසන්තගම ගම්මානය ගියෙමු. ගම්මානයේ නිවාස 55 ක් ඇත  . එහිදි අපිට මුලින්ම මුණ ගැසුණේ මෙම ඛේදවාචකයෙන් සිය පවුලේ 6 දෙනෙක්ම පස් කන්දට යට වෙද්දි ජිවිතය ගලවා ගැනිමට වාසනාව ලැබු ඒ.පි. සුගතපාල මහතායි ඔහු කියන්නේ මෙවැනි කථාවකි.

මාගේ පවුලේ 6 දෙනෙක් මිය ගියා. මාගේ බිරිඳ දරුවෝ දරුවන්ගේ දරුවෝ නැති වුණා. ඒවා ගැන කථා කරලා වැඩක් නැහැ .හරි දුකයි වසර දෙකක් ගත වෙලා ගියා අපිව බලන්න වැල නොකැඩි ආවා. අද කිසි කෙනෙක් අපි ගැන දැන් බලන්න එන්නේ නැහැ. ඉතින් අපේ දුක හැමදාමත්ම වාගේ ඔබතුමල්ලාට තමයි කියන්න තියෙන්නේ. දැන් අපි ඉන්නේ කබලෙන් ළිපට වැටිලා.

මේ සිද්ධිය වුනාට පස්සේ අපි කඳවුරුවලයි කුඩාරම්වලයි අවුරුද්දකට වැඩි කාලයක් ඉතා අපහසුවෙන් කල් ගත කලා. අපිට දැන් ගෙවල් ලැබිලා තිබෙනවා. මෙ ගෙවල් හම්බවුනාට අපිට සතුටට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද මං එහෙම කියන්නේ අපිට ජිවත් වෙන්න පුළුවන් ආදායම් මාර්ගයක් මේ වෙන කොට නැති නිසා. සාමසර කන්දේ ඉන්නකොට අපිට තේ තිබුණා. මටත් අක්කර දෙකයි කාලක් තිබුණා. ඒ අදායම් වලින් අපි හොඳට ජිවත් වුණා. ගියා. අපි කිසිම කෙනෙකුට අත පාන්න ගියේ නැහැ රජයෙන් කියලා අපි කිසි දෙයක් ඉල්ලා නැහැ.

දැන් ගෙවල් දුන්නාට රජයෙන් කියලා ජිවත් වෙන කිසිම ආදායම් මාර්ගයක් කර ගන්න අඩුම ගානේ ඉඩම් කැල්ලක්වත් නැහැ. ගේ හදලා තියෙන පොඩි කොටස විතරයි එකේ වගා කරන්න බැහැ. අපේ අත පයේ හයිය තියෙන කාලේ වැඩක් පලක් කරලා හම්බ කරගන්න පුළුවන් කම තිබුණත් ඒ කිසි දෙයක් මෙතන ඉදං කරන්න බැහැ.

දැන් ඉන්නේ අලුත් ගමක කුලි වැඩකටවත් යන්න අපි දන්න කියන අය නැහැ ඒ අය දැන හදුනාගෙන ඒ දේවල් කර ගන්නකොට අපේ කාලේ ඉවරයි.

අපි රජයට කියන්නේ ඉඩම් වන්දි වාගේ දෙවල් දෙන්න ඕනෑ .නැතිනම් නිවසක් දිලා ඉඩමකුත් දෙන්න ඕනෑ. නැතුව අපිට ජිවත් වෙන්න බැහැනේ. තේ අධිකාරියටත් කියන්න ඕනෑ.

තේ අධිකාරියෙන් අපිට අසාධාරණ වැඩක් කළා. අපි තේ අධිකාරියට වැඩ කරලා රටට විදේශ විනිමය ලබා ගන්න විශාල දායකත්වයක් ලබා දුන්නා.ඒත් අපිට කරදරයක් වුන වේලාවේ ඒ තේ අධිකාරියේ අය අපි ගැන බැලුවේ නැහැ ඒ ගැන අපි කණගාටු වෙනවා. තේ ගොවියන් කියන්නත් අපට ලැජ්ජයි.අපි සහනාධාර හැමදාම ඉල්ලන්නේ නැහැ අපිට ජිවත් වෙන්න පුළුවන් ආදායම් මාර්ගයක් තමයි අපි ඉල්ලන්නේ යැයි පැවසුවේ ඇස් වලට උණන කදුළු පිස දමමින්ය.

අරණායක සාමසර කන්ද නාය යෑමෙන් පුද්ගල මරණ හා අතුරුදහන් විම් 123 ක් වාර්තා වු අතර එයින් පුද්ගල මරණ 22 කි. මෙම ව්‍යසනයෙන් පූර්ණ හානි සිදුවු නිවාස ගණන 72 කි. එම නිවාසවලිනුත් හිමිකමක්වත් කියන්න කිසිවෙකුත් ඉතිරි නොවි පස් කන්දට යට වි ගිය පවුල් සංඛ්‍යාව 14 කි. අරණායක ප්‍රදේශයේ එම කාලයේ සිදු වු තත්වයන් මත ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිර්දේශිත අධි අවදානම් පවුල් සංඛ්‍යාව 586 කි. වනවා. එම පවුල් වලට අයත් පිරිස 2121 කි.

වසන්තගම ගම්මානය පිහිටා ඇත්තේ අරණායක ගැවිලිපිටිය මාර්ගයේ උස් කදු මුදුනක පිහිටි සමතලා බිමකය. ගැවිලිපිය හන්දියේ සිට කිලෝමිටර් 2 ක පමණ දුරකින් මෙම ගම්මානය පිහිටන්නේය.

එම ස්ථානයට ඔවුන් උපන් ගම වු නායට ගොදුරු වු සාමසර කන්ද හොඳින් පෙන්නට තිබේ. සිය පවුලේ 4 දෙනෙකු සාමසර කන්ද නිසා මිය ගොස් සිටින හෙයිනි.

මහත්තයෝ මාගේ පවුලේ මාත් එක්ක 5 දෙනෙක් සිටියා. එයින් 4 දෙනෙක්ම මිය ගියා .මම එදා බේරුණේ දවල් ලොතරැයි විකුණන්න ගිය නිසා මම එදා දවල් 1 ට විතර ඔය නාය ගිය අපේ ගෙවල් තිබුණු තැන ඉදලා කඩ මණ්ඩිය පැත්තට ගියා. ඒ ගිහින් ගෙදර එන කොට හෙළිකොප්පරයක් බානවා වාගේ ශබ්දයක් මිදුම නිසා හරියට පෙනුනෙත් නැහැ. 5.20 ට විතර ඒ සිද්ධවුණේ. මම එදා මාගේ වාසනාවකට බෙරුණා නමුත් අද හිතින් තැවෙනවා. අපේ ජිවිත වලින් අපේ දරුවෝ බිරිඳ අමතක කරන්න බැහැ හොඳට ජිවත් වුණ අය මෙ විදිහට පස් වලට යට වෙයි කියලා කවුද හිතුවේ කියමින් කථාව නැවතුනේ ඒ වචන වල බලය අඩු වෙමින්ය.

දැන් ගෙවල් ලැබුණා ඒ ගැන මොකද හිතෙන්නේ . ගෙවල් වල බිත්ති 4 තියෙනවා වහලයක් තියෙනවා වෙන මොනවත් අපිට නැහැ. ජිවත් වෙන්නේ හරි අමාරුවෙන් දැන් වයසයි කුලි වැඩක් කරගන්නත් පෙන තෙක් මානයක වැඩක් හොයා ගන්න නැහැ. දැන් කිසිම දෙයක් රජයෙන් ලැබෙන්නෙත් නැති නිසා අසරණ අපි වෙනුවෙන් මොනවා හරි ජීවන වෘත්තියක් හදුන්වා දුන්නොත් ඒ ඇති යැයි කීය.

සාමසර කන්ද නාය ගියා කියලා අවතැන් වුවන් හැම තැනම අපි තමයි මෙකේ අවතැන් වු සැබෑම කොටස නමුත් අධිඅවදානම් නිසා ඉවත් කරපු අයත් තියන්නේ අපි සාමසර කන්දේ අවතැන් වුවන් කියලා. දැන් සියලු දෙනා කවලම් වෙලා නමුත් මෙතන ඉන්න සියට 90 කගේම පවුල් වල අයගෙන් කවුරු හරි පස් කන්දට යට වුණා යැයිද පැවසීය.

බි. ආශෝකා පුෂ්ප කාන්තිට දැන් වයස 56 කි. ඇයගේද දියණියක් මෙන්ම ඇයගේ ලගම ඥාතීන් ද ඛේදවාචකයෙන් මිය ගොස් ඇත.

ඇය මෙසේ කීය.

අපි කෝපි, ගම්මිරිස්, තේ, පුවක් මෙන්ම හැම බෝගයක්ම වාගා කරගෙන තමයි හිටියේ මම අවුරුදු 14 ක් විතර විදේශගතව රැකියාවක් කරලා ගෙවල් දොරවල් ගත්තා .ඒ ඔක්කොම නාය ගියා . මම එදා බේරුනේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රස්සාවකට ගිහින් හිටිය නිසයි. දරුවෝ ටික කථා කරලා කිවා උදේ ඉදන් වහිනවා කියලා මං කිවා වැස්ස වැඩිනම් කොහාට හරි යන්න කියලා නමුත් ඒ අය පස් කන්දට යට වුණා. මගේ ස්වාමියා බේරුනේ දුවලා ගිහින්.

දැන් අපිට තියෙන ගැටලුව මෙ හැම කෙනෙකුටම වගේ ජිවත් වෙන්න ක්‍රමයක් නැති එකයි. ඒ දේ අපිට කරලා දෙන්න පුළුවන් නම් වටිනවා යැයිද පැවසීය.

සාමසර කන්ද නාය යෑමෙන් පසු  එම කාලයේදිම තවත් කදු කිහිපයක් සුළු නාය යෑම්වලට ලක් වු අතර අධි අවදානම් සහිත ස්ථාන වල නිවාසද ඉවත් කර ඔවුන්ද කඳවුරු වලට යොමු කරන ලදී. අවතැන් වුවන් මෙන්ම අධිඅවදානම් සහිත පවුල් වලට නිවාස 586ක් ඉදි කර දීමට රජයට සිදුවිය.මේ නිසා රජයේ ඉඩම් මෙන්ම පෞද්ගලික වතු සමාගම් යනආදියෙන්ද ඉඩම් අත්පත් කර ගැනීමට සිදුවිය.

මෙම ඛේදවාචකය සිදු වන විට අරණායක ප්‍රාදේශීය ලේකම් වරයා වි සිටියේ ඉසඞ්.ඒ.එම්. ෆයිසල් මහතායි. ඔහු සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ 370 ක් පමණ දෙනා දිවා රාත්‍රී නොබලා සේවයට කැපවු අතර ඒ සඳහා අරණායක මාවනැල්ල රාජ්‍ය ආයතන ද දිස්ත්‍රික් කාර්යාලයේ නොමැද සහායද ඊට ලැබුණි.

පසුගිය මැයි 8 වැනිදා ජාතික රතු කුරුස සංවිධානයේ ජාතික දින උත්සවය අරණායකදි පැවැත්විය.එම උත්සවයේදී අරණායක ප්‍රාදේශීය ලේකම් වරයා මෙසේ කීය.

 2016 මැයි මාසයේ 17 වැනිදා ඒ සිදු වු නාය යෑමත් එක්ක අරණායක ප්‍රදේශයේ කඳවුරු 27 ක් පවත්වාගෙන ගියා. පිඩාවට පත් වු ජනතාව හිටියා 6000 ක් ඉක්මවලා. මෙ සියලු කඳවුරු අපිට අවශ්‍ය සියලු යටිතල පහසුකම් විශේෂයෙන් කිවොත් මුළුතැන් ගෙවල් ඉදි කිරිම ඒ වාගේම නාන ස්ථාන ඉදි කිරිම වැසිකිළි පද්ධති ඉදි කිරිම වැනි ඒ සියලුම කටයුතු ඒ කඳවුරු අපිට සකසා දුන්නේ රතු කුරුසය කියන එක අපි ඉතාම සතුටින් යුතුව ප්‍රකාශ කරන්නට කැමැතියි.

මීට පෙර අරණායක මෙවැනි  අපදාවක් වී තිබුණේ නැහැ ඒ නිසා ප්‍රාදේශිය ලේකම්වරයා විදිහට මා සහ මාගේ නිලධාරීන් අත්දැකිම් ලබා ගෙන සිටියේ නැහැ නමුත් අවස්ථානුකූලව තිබෙන ගැටලු විසඳාගෙන ඉදිරියට යන්න කෑගල්ල දිස්ත්‍රීක්කයේ මහ දිසාපතිතුමා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් අපිට  ලොකු ශක්තියක් ලබා දුන්නා. සමහර අවස්ථා වල අපට ක්ෂණිකව රාජ්‍ය නොවන ආයතන විශාල සහයෝගයක් ලබා දුන්නා.

ඒ වාගේම වසන්තගම ගම්මානයේ නායට සෘජුව සම්බන්ධ වු පවුල් 55 ක් අපි ප්‍රථමයෙන් පදිංචි කළා. ඒ පවුල් 55 ඇතුළේ ඉන්න පවුල් වල අයගේ පවුලක සමාජිකයින් කවුරු හරි අපදා තත්වයෙන් මිය ගිහින් තිබෙනවා.  ඒ අයගේ මානසික මට්ටමත් පහල මට්ටමක තිබුණේ. ඉදිරියට යන්නේ කොහොමද තමන්ගේ ජීවන උපාය සකසා  ගන්නේ කොහොමද ? කියන ගැටලුව ආවා. රතු කුරුස සමාජය ඒ සියලු දෙනාටම රුපියල් 56000 බැගින් ඒ අයගේ ජීවන උපාය නගා සිටුවිමට ස්වයං රැකියාවක් සිදු කරගන්න ලබා දුන්නා. 

මම හිතන විදිහට අපදාවට ලක් වෙලා නැවත පදිංචි කරනවා කියනවාට වඩා ඒ අයගේ ජීවනෝපාය නැවත යථා තත්වයට පත් කිරිම තමයි.කියන කාරණය ඉතාම අපහසුකාරණයක් නමුත් අපි අද සතුටින් කියන්නේ ඒ රතු කුරුස සමාජය අපිට ලබා දුන්න ඒ මුදලුත් එක්ක ඒ අද තමන්ගේ ජීවන වෘත්තිය යහපත් අයුරින් සිදු කරගෙන යනවා.

බොහෝමයක් අවතැන් වුවන් මෙන්ම අධිඅවදානම් නිවාස සංකීර්ණ පිහිටි ස්ථාන වල යටිතල පහසුකම් තවමත් අවසන්ව නොමැත.යනආදිය තවමත් සිදු වෙමින් පවතිනවා.

ඒ සියල්ලද ඉතා ඉක්මනින් ජනතාවට ලබා දි මොවුන්ගේ ජීවිත නැවත නගා සිටුවිමටත් විනාශ වි කැඩි ගිය මාන්සික තත්ත්වයන් සංවර්ධනයද රජය මගින් ඉටු කර දිය යුත්තේ මේ ජනතාවද අපේම ඥාතීන් වන නිසාය.

එදා වැල නොකැඩි පැමිණි ජනතාව උදව් උපකාර හදවත් තුල තවමත් පැල පැදියන් වි ඇති අතර ඔවුන් නැවත බලා සිටින්නේ ජීවන ගමන වෙනුවෙන් අත්වැල සහ තල්ලුව ලබා දෙන තෙක්ය. සාමසර කන්ද අවතැන් වුවන් සිටින වසන්තගම සෙනෙහේ සියපත ගම්මානය වෙත ඔබ එන තුරු ඔවුන් බලා සිටිති.

පාසල් දරුවන්ට මෙන්ම දුප්පත් අසරණයන් සිටින මෙ ගම්මානයේ ඇති නිවාස වල අයට මෙන්ම ඉහත අපි සඳහන් කල නිවාස පිහිටි ස්ථාන වලටද ඔබගේ දායකත්වය ලබා දෙන ලෙස අපද ඔබෙන් ඉල්ලා සිටිමු.

මේ ප්‍රදේශයේ පාරවල් මෙන්ම ප්‍රජා ශාලා ගොඩනැගිලි ආදිය මේ වන විට කැලැ වැදි ඇත. බාගෙට ඉදි කරන ලද බැමි ද ජලය බැස යෑමේ ක්‍රම වේද නොතිබිම හේතුවෙන් සේදි යන පාරවල්ද ඉඩම්ද අපිට දැකිමට හැකි වු අතර ඒවාද නියමිත පරිදි සකසා දීම රජයේ වගකීමකි.