දැනට සේවයේ නිරතව සිටින ආරක්‍ෂක අංශවලට අයත් කිසිදු නිලධාරියකු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ඉදිරිපත් නොකරන අතර එම සියලු දෙනා පිළිබඳව වගකීම තමා බාරගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. තේරීම් කාරක සභාව දිගටම කටයුතු කරන්නේ මේ ආකාරයෙන් නම් තමන් කැබිනට් රැස්වීම්වලට සහභාගි නොවන බවත් ආණ්ඩුවට සහාය නොදෙන බවත් ඉකුත් දා පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව ද එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

ජනාධිපතිවරයාගේ ස්ථාවරය සම්බන්ධයෙන් කතානායක කාර්යාලය ද ඊට පසුව නිවේදනයක් නිකුත් කර තිබිණ. වර්තමානයේ පවතින නීතියට අනුව යම් නිලධාරියකු පාර්ලිමේන්තුවේ කැඳවීමකට අවනතවීමට බැඳී සිටින බව ද යම් හෙයකින් එය කඩ කළහොත් එහි ප්‍රතිවිපාක පිළිබඳව ඔවුන් දැඩි සේ දැඩි අවබෝධයකින් සිටිය යුතු බව ද එම නිවේදනයෙන් දැඩිව අවධාරණය කර තිබිණ.

රට තුළ යළිත් රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින සෙයකි. මෙයට පෙර ද රට තුළ බරපතළ රාජ්‍ය තාන්ත්‍රික අර්බුද නිර්මාණය විය. ඔක්තෝබර් 26 වැනිදා සිදු වූ බල පෙරැළිය එයට කදිම නිදසුනකි. එබඳු අර්බුදවලින් රටට අත් වූ යහපතක් නැත. ජනතාවට අත් වූ සුගතියක් නැත. රට එක තැන නතර වූවා පමණි. එය ආර්ථිකයට බලපෑවේය. රට අරාජික වූයේය. ජාතික ආරක්‍ෂාව ඉබාගාතේ ගියේය. සහ්රාන්ලාට වැඩි ඉඩක් නිර්මාණය වූයේය. අවසානයේ ජනතාවට තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු විය. රාජ්‍යතාන්ත්‍රික විය යුත්තේ එබඳු තත්ත්ව නිර්මාණය නොවීම පිණිසය.

අර්බුදයට තුඩු දී තිබෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සම්බන්ධයෙනි. මෙම විශේෂ කාරක සභාවට ආරක්‍ෂක බුද්ධි අංශ ප්‍රධානියා ද අනිවාර්ය නිවාඩු යවනු ලැබූ හිටපු පොලිස්පතිවරයා ද හිටපු ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ද සාක්ෂි දුන්හ. මෙම විශේෂ කාරක සභාව මාධ්‍යයට ද විවෘත වූ අතර එක් අවස්ථාවකදී එය සජීවීව විකාශනය ද විය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මාධ්‍යයට විවෘත වීම සම්බන්ධයෙන් මත දෙකකි. එක් මතයකින් කියැවුණේ ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ අතිශයින්ම රහසිගත හා සංවේදී කාරණා මාධ්‍ය හරහා ජනගත වීම තුළ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි බවය. විශේෂයෙන්ම බුද්ධි අංශ නිලධාරීන් සමාජයට නිරාවරණය වීම බරපතළ වරදක් බවය. එයට ප්‍රතිවිරුද්ධ මතයෙන් කියැවුණේ පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වාගත හැකිව තිබූ සිද්ධියක් බවය. එහෙත් වගකිව යුත්තන් අතින් රාජකාරිය නිසි ලෙස ඉටු නොවීම නිසා පුරවැසියන්ට තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වූ බවය. එහෙයින් එම ප්‍රහාරයට පසුබිම සකස් වූ ආකාරය දැන ගැනීමේ අයිතියක් පුරවැසියන්ට ඇති බවය.

මාඕ සේතුං වරක් ප්‍රකාශ කළේ ‘ප්‍රතිපත්ති සභාවේ කතා කරන්න. උපක්‍රම කාමරයේ කතා කරන්න’ යනුවෙනි. රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී එම කියමන මනාව ගළපා ගත හැකිය. එහෙත් එබඳු දියුණු ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන විට රටට අනාවරණය වන්නේ පාලක පන්තිය තුළ බරපතළ බෙදීමක් හා ගැටීමක් තිබෙන බවය. එය රටේ තත්ත්වයට ඉතාම අහිතකර ලෙස බලපායි.

පක්‍ෂ දෙකක් එකමුතුව ජාතික ආණ්ඩුවක් පත් කළ ද එය වැඩි කලක් පැවැතුණේ නැත. එයට හේතු වූයේ සම්මුතිය වෙනුවට විසම්මුතිය ඉස්සර වීමය. ජාතික ආණ්ඩුව බිඳ වැටුණ ද ජනාධිපතිවරයා එක් පක්‍ෂයක් ද අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව තවත් පක්‍ෂයක් ද නියෝජනය කරන තත්ත්වයක් තුළ බෙදීම් හා ගැටීම් බලාපොරොත්තු විය යුත්තකි. එසේ බෙදීම් හා ගැටීම් ඇති නොවන්නේ නම් එය විශ්වාස කළ නොහැකි තත්ත්වයකි. එහෙත් ඒවා ඔඩුදුවා යාමට නොදී සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට සමත් විය යුතුය. මන්දයත් මේ පාලනය කරන්නේ ගමේ මරණාධාර සමිතියක් නොව රට වීම නිසාය.

රට තුළ අරාජිකත්වය සම්බන්ධයෙන් සැක සංකා පහළවීම මුළු මහත් රටේම පැවැත්මට බරපතළ තර්ජනයකි. ආයෝජකයන්ට ද සංචාරකයන්ට ද එය එකසේ බලපායි. ආර්ථිකය තව තවත් පිරිහීමට මෙම තත්ත්වය හේතුවෙයි. එහෙත් රටට අවශ්‍ය වන්නේ වැරැදුණු තැන් නිවැරැදි කර ගනිමින් අලුත් ගමනකි. තිබෙන අර්බුද විසඳා ගැනීමට ගන්නා පියවර නිසාම අලුත් අර්බුද හට ගන්නේ නම් එය සමාන වන්නේ එකක් කඩතොලු වසා ගැනීමට ගොස් දෙකක් කඩතොලු හදාගත් ඉඳුරුවේ ආචාරියාටය. මෙවන් තත්ත්වයක් මෙරට ජනයා බලාපොරොත්තු නොවූ බව නම් ඒකාන්ත සත්‍යයකි.

මෙම ආණ්ඩුව බලයට පත් වූ මුල් සමයේ රට හමුවේ ප්‍රකාශ කළේ ලිච්ඡවි පාලනයක් ගෙන යන බවය. ලිච්ඡවි පාලනයක මූලික ලක්‍ෂණ අතර සමගිව රැස්වීම, සමගිව සාකච්ඡා කිරීම හා සමගිව විසිර යාම ඇතුළත්ය. එහෙත් දක්නට නොලැබුණේම එයමය. එයට හේතුව කුමක්දැයි සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටුවා එය මාධ්‍යයට විවෘත කළේ නම් එය වඩාත් යහපත්වනු ඇත.