දේශපාලනීකරණය (Politicization) හා ළැදියාවන් අතර ගැටුම (Conflict of Interest) යනු මේරටේ රාජ්‍යකරණය හමුවේ පවත්නා බරපතළ ම අභියෝගවලින් එකකි. එය වඩාත් තීව්‍ර කරනු ලබන සාධකය බවට පත්ව ඇත්තේ විධායක ජනාධිපති ධුරයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ප්‍රකාර කවර සංවරණ හා තුලන ක්‍රමවේදයක් සහතික කර තිබුණේ වුව ද රජයේ සියලු තීරක ආයතන මත පතිත වී ඇති විධායක ජනාධිපති ධුරයේ සෙවණැල්ල පහසුවෙන් මඟහැරිය හැක්කක් නොවේ. එවන් පරිසරයක කොමිෂන් සභා පිහිටුවීම නිසැකවම ශ්‍රී ලාංකීය සමාජයට “සූසමාදර්ශී වෙනසක්” (Paradigm Shifting) කැන්දූ විප්ලවීය අදහසක් බව නොකිවමනාය.

මෙරටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලියේ මෑත කාලීන විකාශනය විමසීමේ දී සුපැහැදිලි කරුණක් නම් ආණ්ඩුකරණයේ මතුමහල් තලය අරා වැජඹෙන සුපිරි තනතුරුලාභීන් සියලු දෙනා ආසනාරූඪ කරන ලද්දේ විධායක ජනාධිපතිවරයා වීමයි. එය කවර තරම් ජනගත සම්ප්‍රදායක් ද යත් එකී ජනාධිපතිවරයාම දෙවැනි වර තම ධුරය සඳහා තරග වදින විටෙක දී එකී මැතිවරණයේ ප්‍රධාන භූමිකා වන තේරීම් භාර නිලධාරීන් මෙන්ම වඩාත් බලපෑම් සහගත තනතුරුලාභීන් වන අමාත්‍යාංශ ලේකම්වරුන් අබිසෙස් ලබන්නේ ද එකී ජනපතිඳුන්ගෙනි.

මෙහි දුර්විපාක හඳුනාගනිමින් නිසි විකල්ප යෝජනා කළ සමූහයක් අතරින් වෙසෙස් වෙහෙසක් ගත්තෙක් වන්නේ නැසී ගිය ආචාර්ය නීලන් තිරුචෙල්වම් ය. ජන සමාජයේ ගෞරවාදරයට පත් සුපිළිපන්න පුද්ගලයන්ගෙන් සමන්විත මණ්ඩලයක් වෙත අදාළ ධුර සඳහා පුද්ගලයන් පත් කිරීමේ බලධාරීත්වය පැවරීම එකී යෝජනාවේ හරය විය. වසර 1997 මෙන්ම 2000 හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට ඇතුළත් වූ එකී යෝජනාව, අවසන ඵල දැරුවේ 17 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වා දුන් ව්‍යවස්ථාදායක සභාව මගිනි.

17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඊට පෙර හඳුන්වා දෙන ලද්දේ අපකීර්තිමත් 18 වැනි සංශෝධනයට විකල්ප ලෙසිනි. සමස්ත රාජ්‍ය තන්ත්‍රය ම කොන්දේසි විරහිතව විධායක ජනාධිපතිවරයාගේ ග්‍රහණයට ගැනීමේ නිල බලපත්‍රය වූයේ මෙකී සංශෝධනයයි. දිවියත්, අභිලාෂයත් පවතින තාක් බලයේ රැඳී සිටීමේ ඒකායන උපාය මාර්ගයයක් වූ මෙකී කුප්‍රකට සංශෝධනය උදෙසා ඉමහත් අභිරුචියෙන් ප්‍රසාදය පළ කළ මහජන නියෝජිතයන්, උත්තරීතර පාර්ලිමේන්තුවේ එක් අඳුරු දිනයක ජීවමාන සාක්ෂිකරුවන් වූ බව නොකිවමනාය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නිසැකවම පුරවැසි නිදහස වර්ධනය කිරීමක් සිදු වන අතර එමඟින් තනි පුද්ගලයකුගේ මනෝරතිය සමහන් කිරීමෙහිලා අනුදත් රාජකීය බැඳීම් විසුරුවා හැරීම කැපී පෙනෙන වෙනස්කමක් විය. සමාජයේ සාමූහික ජනවිඥානය පිළිඹිබු වන ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීමේ මූලික හරය ද එයම විය. එමගින් ප්‍රතිෂ්ඨාපිත කොමිෂන් සභා සංඛ්‍යාව නවයකි. ඒ කලින් පැවති සංඛ්‍යාවට තවත් දෙකක් එකතු කිරීමෙනි. ඒවා නම් මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, ජාතික පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ පිළිබඳ විමර්ශන කොමිසම, මූල්‍ය කොමිසම, සීමා නිර්ණය කොමිසම, ගිණුම් සේවා කොමිසම හා ජාතික ප්‍රසම්පාදන කොමිසමයි.

කොමිෂන් සභා පිහිටුවීමේ පූර්ණ බලැති අධිකාරිය හොබවන්නේ ව්‍යවස්ථාදායක සභාවයි. අතිශය විවාදාත්මක පරිසරයක් තුළ පිහිටු වූ එහි සංයුතිය තුළ පුරවැසි නියෝජනයට ද අවස්ථාවක් හිමිව ඇත. එහෙත් නිර්දේශපාලනීකරණය මුඛ්‍ය අරමුණ වූ එහි, වැඩි හඬක් හිමිව ඇත්තේ පාර්ලිමේන්තු නියෝජිතයන් සතුව වීම සරදම් සහගත කරුණකි. තවද එවැන්නක් තමන් උදෙසා පිහිටුවා ඇතැයි යන්න පුරවැසියාට ද හැඟී යා යුතුව ඇත. ව්‍යවස්ථාදායක සභාවේ තීරණාත්මක සාකච්ඡා මාධ්‍ය සංදර්ශන නොවිය යුතු මෙන්ම එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ අංශු මාත්‍ර අවබෝධයක් හෝ පුරවැසි ප්‍රජාවට නොමැති වීම පිළිබඳව දෙවරක් සිතිය යුතුය. යටත් පිරිසෙයින් තමන් ඉහළ නිලයක් සඳහා තෝරා ගන්නා නිලධාරියා, එලෙස තෝරා ගන්නා ලද්දේ කවර නිර්ණායක සලකා බලා දැයි මහජනයාට දැනුම්දීම එතරම් දුෂ්කර කාර්යයක් නොවේ. තවද රාජ්‍යකරණය හා සබැඳි සුවිශේෂී කරුණක් අබියස මුව විවර කිරීම ද ජාතික වගකීමක් සේ සැලකීමට ව්‍යවස්ථාදායක සභාව පුරුදු පුහුණු විය යුතුය යන්න මගේ යෝජනාවයි. මෙවන් සිසිර නිද්‍රාවකින් බිහිවන නව දේශපාලන හෝ පරිපාලන සංස්කෘතියක් තිබිය නොහැකිය. එපමණක් ද? මහ බැංකුව වැනි කේන්ද්‍රීය ආයතනවලට බලධාරීන් පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවට බලයක් නැතිද? එසේත් නැත්නම් එවන් සුවිශේෂී පත්වීම් සිදුකිරීම සඳහා ආණ්ඩුව වෙත ඉඩහසර ලබාදී, ව්‍යවස්ථාදායක සභාව තමන් විසින්ම ස්වයං වාරණයක් පනවා ගෙන ඇතිදැයි විමසුවමනාය. මන්දයත් ඒවා ද අනාගත පූර්වාදර්ශ බවට පත්විය හැකි කාරණා වන හෙයිනි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ආගමනයත් සමඟ ප්‍රතිෂ්ඨාපිත කොමිෂන් සභා මඟින් ඉටුවිය යුතු යැයි පුරවැසි සමාජය අපේක්‍ෂිත කරුණු සමුදායක් පැවතිණි. එහිලා කොමිෂන් සභා පළමුව සිදු කළ යුතුව පැවති කාර්යය වූයේ ඒ ඒ කොමිෂන් සභා කාර්ය පරිපාටි පිළිබඳ නිශ්චිත වූ නීතිමය රාමුවක් යටතේ තම නිල වරම (Mandate) වඩාත් පුළුල් කර ගැනීමයි. එපමණක් නොව පුළුල් මහජන මත විමසීමකින් අනතුරුව සකස් කර ගන්නා උපාය මාර්ගික සැලැසුම් හා වෙනත් අදාළ ප්‍රායෝගික වැඩපිළිවෙළක් ද එකී කොමිෂන් සභා මඟින් අපේක්‍ෂිත කාරණා විය. කොමිෂන් සභා කිහිපයක් එවැනි නැවුම් ප්‍රවේශයක් සඳහා නැඹුරු වී තිබුණ ද අපේක්‍ෂිත ව්‍යුහාත්මක වෙනස මෙකී කොමිෂන් සභාවල සිදුවී ඇතිදැයි යන්න සංවාදයට බඳුන් විය යුතු කරුණකි. කොමිෂන් සභා සහ එහි සමාජිකයන් පිළිබඳ මුල්බැසගෙන ඇති සමාජ ආකල්ප පිළිබඳ යම් විමසීමක් කිරීම ද මෙහිලා වැදගත්ය.

මේ රටේ කලක් තිස්සේ අනුදත් සම්ප්‍රදාය වන්නේ කොමිෂන් සභාවක් හෝ යම් ජාතික මට්ටමේ කමිටුවක පුරප්පාඩුවක් වේද ඒ සඳහා විශ්‍රාමලත් විනිසුරුවරයකු පත්කිරීම හෝ විශ්‍රාම ගොස් කලක් ඉකුත්ව දිවිගෙවන පරිපාලන නිලධාරියකු පත් කිරීමයි. එවන් කීර්තිමත් සේවාවක් සහිත අයවලුන්ගේ සේවය ලබාගැනීම කිසිසේත් වරදක් නොවේ. එහෙත් වර්තමානයේ ක්‍රියාත්මක කවර කොමිෂන් සභාවක් දෙස බැලුවද කාර්යක්‍ෂම සේවාවක් තම ක්‍ෂේත්‍රයට සිදු කරමින් සිට, කොමිෂන් සභාවක් වෙත පැමිණි මැදිවියේ සාමාජිකයකු සොයාගැනීම ඉතා දුෂ්කර කරුණකි. සමස්ත සමාජයම තරුණ ජවය හා තරුණ වගකීම් පිළිබඳ වාදාභිමුඛය. සැබැවින්ම කොමිෂන් සභාවක් සඳහා පත්කිරීමට සුදුසුකම්ලත් තරුණයන් මෙරටේ නැතැයි සිතිය හැකිද? එසේත් නැතිනම් අප විශ්වාස කළ යුත්තේ එවන් තරුණ අයදුම්කරුවකු සොයා ගැනීමට තරම් ශ්‍රී ලාංකීය සමාජය අඩපණ වී ඇතැයි යනුවෙන් ද?

තවද මෙම කොමිෂන් සභාවල වගකීම්භාරය දරමින් ප්‍රතිපත්ති සම්පාදනයේ නිරත වන්නේ කවුරුන්ද යන්න හා ඊට සමගාමීව සිදු කළ යුතු එදිනෙදා කාර්යවල වගකීම උසුලනු ලබන්නේ කවර තැනැත්තා විසින් ද යන්න පිළිබඳව ඇත්තේ තැතිගන්වන සුළු නිරීක්‍ෂණයකි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ පරම සජීවී තනතුරුලාභියා එහි අධක්‍ෂ ජනරාල්වරයා ලෙසින් පෙනී යන විට, මානව හිමිකම් කොමිෂන් සභාවේ පරිපාලනය දරන්නේත්, ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේත්, එකී තීරණ දැනුම් දෙන්නේත්, එහි සභාපතිවරිය බව පෙනී යයි.

සිවිල් සමාජය මෙන්ම පරිපාලන හෝ වෙනත් රාජ්‍ය සේවයේ විශිෂ්ටයන්ගේ ඒකාබද්ධතාවෙන් සකස් විය යුතු කොමිෂන් සභා ක්‍රියා පටිපාටීන් එක් පුද්ගලයකුගේ හෝ දෙදෙනකුගේ අභිරුචියටත්, අනම්‍ය පෞරුෂයටත් යට වී ඇති ස්වරූපය හාස්‍යජනකය. එය පරිහානිගත සංසිද්ධියක් බව නොකිවමනාය.

එකී කරුණු වඩාත් අභියෝගාත්මක බවට පත්කර ඇති සුලභ පූර්වාදර්ශයක් ද දේශපාලනිකව සිදුවෙමින් පවතී. එනම් කොමිෂන් සභා මගින් සිදුකළ යුතු හා කළ හැකි නිශ්චිත කාර්ය වෙනත් කාණ්ඩායම්වලට පැවරීමයි. ඊට අදාළ කදිම නිදසුන වන්නේ පළාත් පාලන ආයතන සීමා නිර්ණය පිළිබඳ ජාතික කමිටුවයි. එවන් කාර්යයක් නිසැක කාර්ක්‍ෂමතාවකින් හා විශේෂඥතාවකින් නිමා කළ හැකි සීමා නිර්ණය කොමිසමක් පැවතිය දී එක් එක් දේශපාලන පක්‍ෂ නියෝජිතයන්ගෙන් සමන්විත සාමාජිකයන් ද ඇතුළත් කොට පළාත් පාලනය සඳහා පිහිටු වූ ජාතික සීමා නිර්ණය කමිටුව තරම් විවේචනයට පාත්‍ර වූ වෙනත් කමිටුවක් මෙරටේ නැති තරම් ය. එවන් ක්‍රියාමාර්ග හරහා සිදුවිය හැකි ආසන්නත ම ප්‍රතිඵලය විය හැක්කේ ව්‍යවස්ථාදායක බලයක් සහිතව පිහිටුවා ඇති මෙවන් කොමිෂන් සභා තවදුරටත් අවතක්සේරුවට භාජනය වීම හා ජනතාව ඒ පිළිබඳ වපරැසින් බැලීමට පුරුදු වීමයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ හා මානව හිමිකම් කොමිෂන් සභාවේ ලේකම්වරුන් දෙදෙනාගේම සේවය අදාළ බලධාරීන් විසින් හමාර කරනු ලැබිණි. එය සිදු වී ඇති ස්වරූපය බලනවිට පෙනී යන්නේ එකී කොමිෂන් සභාවල සභාපතිවරුන් සතුව අවශ්‍යයෙන්ම පැවතිය යුතු විනිවිදභාවය හා වගකීම් සහගත බව පැවතියේ ද යන්නයි. මෙකී කොමිෂන් සභා පත්කර ඇත්තේ ජනතාව උදෙසා නම් එහි ක්‍රියාකාරීත්වය ද ස්වාධීන නම් ලේකම්වරයකු වැනි ඉහළ තනතුරුලාභියකු හට පැදුරටත් නොකියා යන්නට සිදුවන්නේ කවර නම් අහේතුවකට ද?

මීට පෙර පොලිස් කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත්කරන ලද්දේ මහාචාර්ය සිරිහෙට්ටිගේ මහතාය. ශාස්ත්‍රාලයීය පරිචයකින් යුතු ඔහු සභාපති ධුරයට පත්ව කෙටි කලකින් නික්ම ගියේය. තමන් එවන් කොමිෂන් සභාවක වගකීමත් දැරුවේ ඇයි ද යන්නත්, ඉන් යම් සේවාවක් සමාජයට සිදුවූයේ ද යන්නත් පිළිබඳ වගේ වගක් නැතිවය. හරියටම කිව්වොත් ගහෙන් ගෙඩි එන්නාක් සේය. එවන් පුද්ගලයකුගේ අත්දැකීම් පරාසය තුළ පොලිස් කොමිසම ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික තලයේ සැබෑ වෙනස්කමකට ලක් වේ යැයි ප්‍රගතිශීලී පිරිස් අතර මතයක් පැවතිණි. එහෙත් ජනතාවට දකින්නට ලැබුණේ තමන් වෙත පිරිනැමූ සුපිරි නිල රථයෙන් එහා මෙහා ගිය විශ්‍රාමිකයකු විනා නවෝත්පාදක අදහස් ජනිත කළ ජනතාවාදී මඟපෙන්වන්නෙකු නොවේ. නටපු නැටුමකුත් නැති, බෙරේ පළුවකුත් නැති සම්ප්‍රාප්තියක් මෙන්ම ආගමනයක් වූ ඉන් ගත හැකි එක් පාඩමක් ඉතිරිව ඇත. එනම් මෙවන් තනතුරු සඳහා ඉමහත් අභිරුචියෙන් ඉදිරිපත් වන්නන් මෙන්ම, ඉන් නික්මෙන්නන් ද අඩු තරමින් ඒ පිළිබඳ පාපොච්චාරණයක් කිරීමට තරම්වත් ශිෂ්ටසම්පන්න නොමැති බවයි. එවන් අවම ප්‍රමිතියක් හෝ ශාස්ත්‍රාලයීය බුද්ධිමතකුගෙන් අපේක්‍ෂා කළ නොහැකි නම්, අන් අය ගැන කවර කතා ද?

මෙහිලා සිහිපත් කළ හැකි අවශේෂ එහෙත් කාලීන ගැටලුවක් ද ඇත. එනම් කොමිෂන් සභා සේවය කරනුයේ කා වෙනුවෙන් ද යන්නයි. රටෙහි යම් ආන්දෝලනාත්මක සිදුවීමක් වූ කලෙක ඒ පිළිබඳ මැදිහත්වීමට කවුරුන් හෝ පැමිණිල්ලක් කරන තෙක් බලා සිටින පොලිස් කොමිෂන් සභාවක් හෝ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවක් අපට තවදුරටත් අවශ්‍යය ද යන කරුණ පුරවැසියන් දැනටමත් නිරන්තරයෙන් අසනු ලබන්නකි. එවන් ප්‍රෝත්සාහී (Pro-Active) උත්සාහයක් නොගන්නා සාමාජිකයන් සිටින කොමිෂන් සභා ගැන මීට වඩා බරපතළ සංවාදයක් මෙරටේ සිදුවිය යුතු නැති ද?

19 යෙන් ජනිත කොමිෂන් සභා පිහිටුවා ගත වී ඇත්තේ කෙටි කලකි. එහිලා ලබා ඇති ප්‍රගතිය අසතුටුදායකම නැත. මානව හිමිකම් කොමිෂන් සභාව ඊට නිදසුන් ය. මානව හිමිකම් හා සබැඳි කාර්යාවලියේ ගුණාත්මක වෙනසක් විද්‍යමානව පවතී. එහෙත් ඊට සමගාමීව වෙන අන් කවරදාටත් වඩා එහි නියෝග රජයේ නිලධාරීන් බරපතළ ලෙස නොසලකා බැහැර කරන ස්වභාවයක් ද දක්නට ලැබේ. තම නිලවරමින් උදාකර දී ඇති බල පරාසය තුළ තම අයිතිය විඳිමින්, අනුන්ගේ අයිතියත් සුරැකිය යුතු මානව හිමිකම් කොමිෂන් සභාව මෙවන් අවස්ථාවක දී ගත යුතු ක්‍රියාමාර්ග පොතපතක සඳහන් නැත. අනාගත පූර්වාදර්ශ සැපයෙන පරිදි කරුණු විභාග කිරීම ඔවුන් සතු කාර්යයකි.

කොමිෂන් සභාවක් යනු ජීවිතයේ සැඳෑසමය ගෞරව බහුමානයෙන් හා සුහුරුබවින් ගෙවා දැමිය හැකි නවාතැනක් නොව පුරවැසි අපේක්‍ෂා දැල්විය හැකි තෝතැන්නක් යැයි සිතීමට කාලය පැමිණ ඇත. තවද කොමිෂන් සභා යනු තවත් එක් සාම්ප්‍රදායික පන්නයේ රාජ්‍ය ආයතනයක් නොව සපුරා වෙනස් මාදිලියක් බව එකී කොමිෂන් සභා සාමාජික ඇත්තන් අවබෝධ කරගත යුතුව ඇත. මීට අදාළ විදර්ශනාව පළමුව දැනිය යුත්තේ ඉහත කී කොමිෂන් සභා නියෝජනය කිරීම සඳහා සිවිල් සමාජයේ නාමයෙන් එක් වූ කොමිෂන් සභා සාමාජිකයන් හටය. අවසන ඔවුන්ට කියන්නට ඇත්තේ මහත්වරුනි, මේ ඔබේ වාරයයි, උගනිව්, නැත්නම් පිටවෙනු කියාය.