වසන්ත ප්‍රිය රාමනායක

මේ දිනවල කාගේත් කතාබහ 113ක් ගැනය. මේ එකසිය දහතුන යනු පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාවේ (225න්) බහුතරයයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලයක් වශයෙන් මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවේ කිසිම කණ්ඩායමකට (එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය) පාර්ලිමේන්තුවේ සරල බහුතරය හෙවත් 113ක මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි නොවුණි. එහෙත් රජයක් පිහිටුවීමට නම් එය අවශ්‍යය. ඒ වනවිටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් 62 ලක්ෂයකට වඩා වැඩි ඡන්දයක් ලබා ගනිමින් මෙරටේ රාජ්‍ය නායකයා මෙන්ම විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ නායකයා වශයෙන් පත් වූ බව කවුරුත් දන්නා සත්‍යයකි. මොන සංශෝධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලැබූවත් 1978 ව්‍යවස්ථාවට අනුව තවමත් පවතින්නේ වෙස්ට්මිනිස්ටර් ආරේ ආණ්ඩුක්‍රමයක් නොව ජනාධිපති ආණ්ඩු ක්‍රමයකි. ඒ අනුව ආණ්ඩුව පිහිටුවිය යුත්තේ ජනාධිපතිවරයාය. 

අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පත් කළ යුත්තේ ද ජනාධිපතිවරයාය. එසේම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් සැලකෙන්නේ ද ජනාධිපතිවරයාය. මෙවන් පසුබිමක පැවැති පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ඇති විශේෂත්වය ජනාධිපති මෛත්‍රී බලයට පත්වීමට වැඩි දායකත්වයක් සැපයූ එක්සත් ජාතික පෙරමුණට එතුමාගේ ද නිහඬවීම යටතේ වුවද පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමයි. මෙහිදී එක්සත් ජාතික පෙරමුණට ලබාගත හැකිවූයේ ආසන 105කි. ඊට විකල්ප වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවූයේ ආසන 95කි. ඒ මොහොතේ එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර පැවැතියේ ලක්ෂ 3ක ඡන්ද පරතරයකි. එකම කණ්ඩායමකටවත් පැහැදිලි බහුතරයක් නොමැති පසුබිමක රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිවරයා නව රජය පිහිටුවීමට අලුත් අත්හදාබැලීමක යෙදුණේය. 

එය තනි පාක්ෂික ආණ්ඩුවකට ප්‍රායෝගිකව ඉටු කිරීමට අපහසු ජාතික හා ජාත්‍යන්තර ප්‍රශ්න ගණනාවක් විසඳීම උදෙසාය. එනම් එක්සත් ජාතික පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සන්ධානගතව ආණ්ඩුවක් නිර්මාණය කිරීමය. ඊට අකැමැති වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසකට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට එම සන්ධානයේ නායකයා වශයෙන් ජනාධිපතිවරයා විසින් අවසර දීම ද තවත් විශේෂත්වයකි. මේනිසා අපේ රටේ දේශපාලන ඉතිහාසයේ අලුත් අත්දැකීමක් ලෙසින් ප්‍රධාන පසමිතුරු දේශපාලන ධාරා දෙකම සහභාගිවන සන්ධාන ආණ්ඩුවක් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් බිහිවිය. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙසින් ජනාධිපතිවරයා පත්කර ගනු ලැබුවේ එම සන්ධාන ආණ්ඩුවේය. එසේම ප්‍රමුඛතාවට අනුව එක්සත් ජාතික පෙරමුණේ වැඩි පිරිසකට හිටපු අගමැතිවරයාගේ උපදෙස් පරිදි අමාත්‍ය ධුර ද පිරිනැමීය. මෙය කවුරුත් දන්නා ඉතිහාසයයි.

එහෙත් එක්සත් ජාතික පෙරමුණේ සමහරුන් ක්‍රියා කළේ මේ ඉතිහාසය අමතක කරලා වාගේය. එක්සත් ජාතික පක්ෂයට දෙමළ හා මුස්ලිම් පක්ෂවල හා සිහල උරුමයේ ඡන්ද ද සමගින් අලියා ලකුණෙන් තරග කර ලබාගත හැකිවූයේ ඡන්ද ලක්ෂ 50කි. එයින් ද වතුකරයේ දෙමළ හා මුස්ලිම් ඡන්ද හා සිහල උරුමයේ ඡන්ද ඉවත් වූ විට ඔවුන් 2015 ජයග්‍රාහී පදනමක වුවද තනි පක්ෂයක් ලෙසින් එක්සත් ජාතික පක්ෂය ගත් කල ලක්ෂ 40කටත් වඩා අඩු ඡන්ද පදනමක සිටින බව පෙනේ. පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ඉදිරියට පැමිණි මාස කිහිපයක් වයසැති ‘පොදුජන පෙරමුණ’ වුවද එක්සත් ජාතික පෙරමුණට එරෙහිව ඡන්ද ලක්ෂ 49ක් ලබාගෙන තිබුණි. වර්තමානයේ එක්සත් ජාතික පෙරමුණ පසුවන්නේ මීටත් වඩා පසුගාමී තැනකය. 

ඔවුන්ගේ ඡන්ද පදනම ප්‍රතිශතයක් වශයෙන් 27% දක්වා පසුබැස තිබේ. එය ඉතිහාසයේ නොවූ විරූ පසුබෑමකි. මෙවන් පසුබිමක පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව වුවද පසුගිය ආණ්ඩුවේ සමහර ප්‍රධානීන් කටයුතු කළේ උද්ධච්ච ආකාරයටය. ඒ සඳහා ඔවුන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය උපයෝගී කරගත් බව පෙනේ. 19වැනි ව්‍යවස්ථා සංශෝධනයම ප්‍රායෝගික මෙන්ම විද්‍යාත්මක නොවන සටකපට ආයෝජනයකි. එය ජනාධිපතිවරයා සතු සමහර බලතල උදුරාගෙන තිබෙන්නේ ඒවා අගමැතිවරයා වටා ඔහුට විශේෂවන සේ ගොඩනැඟෙන ආකාරයෙනි. එහි සඳහන් වන්නේ වසර හතරහමාරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රතිපාදනය ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් ජනාධිපතිවරයා කොටු කිරීමට හිතාමතා යොදාගෙන තිබෙන බව පෙනේ. වසර හතර හමාරක් යනු එක් පැත්තකටවත් නොමැති ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය කැඳවිය හැකි ප්‍රතිපාදනයක් සහිත සිල්ලර වැඩකි. 

එක්කෝ එය පාර්ලිමේන්තු කාලයෙන් අඩකට පසු ලෙසින් හෝ තුනෙන් දෙකකට පසු ලෙසින් හෝ සංශෝධනය විය යුතුව තිබුණි. වත්මන් ජනාධිපතිවරයාගේ අවංක මැදිහත්වීම නොවන්නට 19 වැනි සංශෝධනය අනුමත වන්නේ නැත. මන්ත්‍රීවරුන් හතළිස් ගණනකින් සමන්විත එ.ජා.ප. කණ්ඩායමට එවැන්නක් සම්මත කිරීම කෙසේ වෙතත් ඒ ගැන කල්පනා කිරීමටවත් ඉඩක් නොලැබෙයි. බලය අඩුකරගැනීමට පැමිණි ජනාධිපතිවරයා 19 වැනි සංශෝධනයේ සියුම් සටකපට වික්‍රමසිංහ ප්‍රතිපාදන ගැන එදා එතරම් තැකීමක් නොකරන්නට ඇත. එහෙත් වර්තමානය දක්වා දිගහැරෙමින් පවතින දේශපාලන අර්බුදය නිර්මාණය වන්නේ 19 වැනි සංශෝධනයේම දිගුවක් ලෙසිනි. නැතිනම් ප්‍රතිඵලයක් ලෙසිනි. මෙතැන් සිට 62 ලක්ෂයක ජනවරම නොසලකා හැරෙන ජනාධිපති ක්‍රමයක් තුළ අගමැති පාලනයකටත් වඩා වික්‍රමසිංහ ආරේ පාලනයක් නිර්මාණය වෙමින් පැවැති බව පෙනේ. පසුගියදා ජනාධිපතිවරයා දේශපාලන වශයෙන් පිළිතුරු දී ඇත්තේ එම අත්තනෝමතික පාලනයට බව පැහැදිලිය. 

එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා ජනාධිපති බලතලවලට අනුව නීත්‍යනුකූලය. කිසිවකු මේ සඳහා අධිකරණයට නොයන්නේ ද ඒ නිසාය. පසුගිය රජයට අමාත්‍යවරුන් 30ක් ඉක්මවූ (45ක් සහිත) කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීමට හැකි වූයේ 19 වැනි සංශෝධනයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායමක් එම ආණ්ඩුව හා සන්ධානගත වීම නිසාය. එය පාර්ලිමේන්තුවට පවා දැනුම් දී ඇතිකරගනු ලැබූ එකතුවකි. එසේම ව්‍යවස්ථානුකූල එකඟතාවකි. එම ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත්වීමත් සමඟම එම එකඟතාව හා ව්‍යවස්ථානුකූල බව බිඳ වැටේ. ඊට හේතු වන්නේ රනිල් වික්‍රමසිංහ නොවන අගමැතිවරයකු එ.ජා.පෙ. සොයා ගැනීමට නොහැකි වූ නිසා බව දැන් පැහැදිලිය. ඒ සමඟම හිටපු අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වේ. මෙය කුඩා ළමයකුට වුව ද තේරෙන සත්‍යයකි. එසේම ඉන් අනතුරුව ජනාධිපතිවරයාට සිය අභිමතයට අනුව නව අගමැතිවරයකු පත්කර ගැනීමට අවස්ථාව සැලසේ. 

ජනාධිපතිවරයා ඒ සඳහා අවස්ථාවක් සලසා දී ඇත්තේ පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගෙන ඇති දෙවැනි කණ්ඩායමටය. එම කණ්ඩායමේ (එක්සත් ජනතා නිදහස් සන්ධාන) නායකයා ද ජනාධිපතිවරයාමය. ජනාධිපතිවරයා එම කණ්ඩායමේ ජනප්‍රිය මෙන්ම ප්‍රමුඛ පෙළේ නායකයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ සඳහා තෝරාගෙන ඇත. එසේ නොමැතිව ඔහුට මන්ත්‍රීවරුන් 16ක් සිටින විපක්ෂ නායක හා ද්‍රවිඩ සන්ධානයේ නායකයා තෝරාගැනීමට ඉඩක් හෝ කිසිදු ප්‍රතිපාදනයක් නොමැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ මේ මොහොතේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීන් සංඛ්‍යාවක් දිනාගත හැකි නායකයා වත්මන් අගමැතිවරයා බවයි. මේ වනවිට වත්මන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාපිත මන්ත්‍රී ව්‍යූහය පෙර පැවැති තත්ත්වයේ නොපවතී. එය මුලින්ම සිදුවූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය පැවැති සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමඟය. 

ඒ සමඟම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 105 දක්වා අඩු විය. (පැරණි ආණ්ඩුව 105යි. විපක්ෂය 120යි) ජනාධිපතිවරයා මේ 120න් හා 225න්ම 113ක විශ්වාසය දිනාගත හැකි යැයි ඔහු විශ්වාස කරන නායකයා අගමැතිවරයා ලෙසින් පත්කරගෙන ඇත. ඒ අනුව මේ වනවිට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් 7 දෙනෙක් වත්මන් ආණ්ඩුවට එක්වී සිටිති. එසේම එම ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයකු ඉන් ඉවත්වී එක්සත් ජාතික පෙරමුණ දිශාවට ගමන්කර ඇත. එවන් පසුබිමක වුවද එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වී වත්මන් ආණ්ඩුවට එකතු වූ සංඛ්‍යාව 7කි. ද්‍රවිඩ සන්ධානයෙන් ඉවත් වූ මන්ත්‍රීවරයා සමඟ 8කි. ඒ අනුව 105න් 7 අඩුවී ඇත. 

එ.ජා.පෙ. සංඛ්‍යාව 98ක්වී තිබේ. මනූෂ සමඟ එය 99ක් ලෙසින් ගණන් බැලීමේ දී වුවද මේ වනවිට වත්මන් ආණ්ඩුව බහුතරයට පහළින් වුවද එක්සත් ජාතික පෙරමුණට ඉහළින් සිටී. මේනිසා කිසිසේත්ම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ පාර්ලිමේන්තු ව්‍යූහයක් අද දක්නට නොලැබේ. මෙවන් පසුබිමක තමා පිළිගන්නේ පෙර පැවති තත්ත්වය යැයි කතානායකවරයා කරනු ලබන ප්‍රකාශය අතිශයින්ම එම ගෞරවනීය පදවියට තරම් නොවේ. එසේම එය පක්ෂග්‍රාහීය. ව්‍යවස්ථා හා නීති විරෝධීය. ඔහු මේ සඳහා උපයෝගී කරගනු ලබන්නේ පාර්ලිමේන්තුව කැඳවීම උදෙසා දෙන ලද 116ක අත්සන් සහිත ප්‍රකාශයයි. ඊට ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ සන්ධානයේ අත්සන් 21ත් අඩංගුය. මේ අත්සන් 21න් විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ පෙර පැවැති ව්‍යූහයේ වික්‍රමසිංහ පාලනය අනුමත කරන බවක් තවමත් ප්‍රකාශවී නොමැත. එසේම පෙර පැවති පාලනය කියන්නේ මේ වනවිට වික්‍රමසිංහ පාලනය බව ජ.වි.පෙ. නොදන්නවා නොවේ. ද්‍රවිඩ සන්ධානයේ ස්ථාවරයේ ද එවැන්නක් දක්නට නොලැබේ. ඒ අනුව මේ වන විටත් පෙර පැවැති පාලනයට හිමිවන්නේ පාර්ලිමේන්තුවේ 99ක මන්ත්‍රී සංඛ්‍යාවකි. 

මේනිසා පැහැදිලිවම කතානායකවරයාගේ ස්ථාවරය පක්ෂග්‍රාහීය. එතුමා අනාගත යූ.ඇන්.පී. නායකයා ලෙසින් එම ප්‍රකාශය කළාදැයි කියන්න දන්නේ නැත. කෙසේ නමුත් පාර්ලිමේන්තුව තුළ සිරිකොතේ තීන්දු ක්‍රියාත්මක කිරීමට ඉඩක් නොමැති බව තේරුම් ගැනීමට එතුමාට කිසිවෙක් කියාදිය යුතු නැත. මේ වනවිට නීති හා ව්‍යවස්ථා විශාරදයන් එම ප්‍රකාශය හෙළා දකිමින් සිටීම වුවද කතානායකවරයාට හොඳ මදිය. පාර්ලිමේන්තුව තුළ නීත්‍යනුකූල හා ව්‍යවස්ථානුකූල ස්ථාවරයේ පිහිටා එහි මහාලේකම්වරයා ඇතුළු රජයේ නිලධාරීන් කටයුතු කරන බව පෙනේ. නව අගමැතිවරයාට හිමි ආසනය වෙන් වන්නේ අගමැතිවරයාගේ හා සභානායකවරයාගේ කාර්යාල විවෘත වන්නේ එම නිල රාජ්‍ය ස්ථාවරයට අනුවය. ඊට පාදක වී තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා පත්කරනු ලැබූ ගැසට් නිවේදනයයි. මේනිසාම කතානායකවරයාගේ ලියැවිල්ල දේශපාලන ලිපියක් බවට පත්ව තිබේ. 

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ව්‍යවස්ථානුකූලව කටයුතු කරන බව පෙනේ. පාර්ලිමේන්තුව කල් තැබීම ජනාධිපතිවරයෙකු සතු මේ රටේ සෑම ජනාධිපතිවරයෙකුම ක්‍රියාත්මක කර ඇති ප්‍රතිපාදනයකි. වත්මන් ජනාධිපතිවරයා මීට පෙරද පාර්ලිමේන්තුව කල්දමා ඇත. ඒ මොහොතේ කිසිවෙක් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැත. එවන් මොහොතක පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීමක්වත් පැවැත්වෙන්නේ නැත. සම්ප්‍රදාය කියන්නේ ඒකටය. එක්සත් ජාතික පක්ෂයේ නායකයකු මෙන්ම එම පක්ෂයෙන් පත්වූ හිටපු කතානායකවරයකු වූ ජෝෂප් මයිකල් පෙරේරා මහතා පවා මෙම සම්ප්‍රදායට ගරු කර ඇත. මේනිසා මයිකල් රැක්ක සම්ප්‍රදාය කරුට රැකීම අරුමයක් නොවේ. එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන බවක් දක්නට ලැබේ. එහෙත් අපට පේන දේශපාලනයට අනුව ජනාධිපතිවරයාගේ ආපසු හැරීමක් නොමැත. එසේම වත්මන් රජය ක්‍රමයෙන් ස්ථාපිත වීමේ වෙනසක් ද දක්නට නොලැබේ.