නූතන ලෝකය පවතින්නේ බුදුන් වහන්සේ ලොව පහළ වීමෙන් වසර දෙදහස් පන්සියයකටත් වඩා ඉක්ම ගිය තැනකය. එය විද්‍යාව විෂයෙහි අතිශය දියුණු ලෝකයකි. තාක්ෂණයේ දියුණුව විසින් සිදුකරනු ලබන පෙරළි සමස්ත ලෝකයම දිනෙන් දින පුදුමයට පත් කරවයි. විද්‍යාවත් තාක්ෂණයත් මිනිසාගේ ජීවිතය වඩා පහසු කර ඇත. මේ සියලු ද‌ායාද විද්‍යාඥයන්ට පින්සිදුවන්නටය. පෙරඅපර දෙදිග විද්‍යාඥයන් කාලාන්තරයක් තිස්සේ කළ පර්ෙ‌ය්ෂණවල​ ප්‍රතිඵලවලට පින්සිදුවන්නටය. පරිගණකයක හෝ ජංගම දුරකථනයක බොත්තමක් එබීමෙන් සියලු දැනුම් සම්භාරයන් අත්පත්කරගන්නට තරම් ඒ දියුණුව ප්‍රබලය. එහෙත් එසේ ලෝකය එක යායක් බවට පත්වෙද්දී ඊට ප්‍රතිපක්ෂව ලැබුණු ද‌ායාද ගැන ද එපමණටම වදවෙන්නට අපට සිදුව තිබේ. ඒ විද්‍යාවේ දියුණුවට සමගාමීව අප විසින් වගාදිගා කරනු ලැබ ඇති අවිද්‍යාව ද ඒ සා විශාල වන හෙයිනි. එනිසා නව වසරක උදාවේ ජන සමාජයේ ප්‍රගතිය මෙන්ම අගතියට ද හේතු වී ඇති තත්ත්ව ගැන විමසීම වටී.

දියුණුවේ එක් ඵලයක් නම් තාක්ෂණික භාණ්ඩ භාවිතයේ වර්ධනයයි. මිනිසුන් වැඩි වශයෙන් වද වෙන්නේ ද මෙකී භාණ්ඩ භාවිතයෙන් පිරි බාහිර ලෝකය ගැනයි. ගේදොර, ඇඳුම් පැළඳුම්, යාන වාහන ආදිය ගැනයි. අඩු අවධානය ලැබෙන්නේ සිය අභ්‍යන්තරය ගැනයි. ආධ්‍යාත්මික ජීවිතය ගැනයි. එහෙත් ලෝකය ගැන යථාභූත ඥ‌ානය ලැබීමේ ආරම්භක කාරියක් වන්නේ දෛනික ජීවිතයේ මානසික සමබරතාවයි. දවසකට එක්වරක් පමණක් වළඳමින්, සැහැල්ලු‍ ජීවිතයක් ගත කරන ශ්‍රාවකයන්ගේ පෙනුම මෙතරම් පැහැපත් වන්නේ කවර නිසාදැයි විමසූ විටෙක බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථාවෙකින් මේ මානසික සමබරතාව ගැන මූලික දහමක් දැක්විය හැකිය. එම ගාථාව මෙසේය.

“අතීතං නාම සො චන්තී - නප්ප ජබ්බන්ති නාගතං
පච්චුප්පනෙත යා පෙත්තී - තෙන වන්තා පසී දනී”‍ 

මෙහි අරුත නම් “ අතීතය ගැන සිතා ශෝක වීමක්‌ නැත. නොපැමිණි අනාගතය ගැන දැක ගැනීමක්‌ නැත. වර්තමාන කාලයෙහි ජීවත් විය යුතුය” යන්නයි.  ඊයේ පෙරේදා පළමුදා වශයෙන් අතීතය ගැන සිතා ශෝකවීමත් හෙට අනිද්දා වශයෙන් අහේතුකව සිතා කම්පනයට පත්වීමත් අපට බොහෝ පුද්ගලයන්ගෙන් දැකිය හැකි ලක්ෂණයකි. මේ ශෝකවීමත් අහේතුක කම්පනයත් විසින් ඔවුන්ට අහිමි කරනු ලබන්නේ කුමක් ද? යෝනිසෝ මනසිකාරය හෙවත් එළඹ ගත් සිහියයි. වැරැදි අදහස්වලට ඉඩ නොදී ඒ ඒ වෙලාවට අදාළ කාර්ය සිහිකල්පනාවෙන් කරන්නාගේ අතීතය ද අනාගතය ද යහපත්ය. අද හොඳින් කටයුතු කිරීමෙහි ප්‍රතිඵල හෙට ලැබේ. නැති ප්‍රශ්න සිතේ ඇතිකරගන්නේ නැතිව කටයුතු කිරීමට ඉඩ ලැබීමෙන් සිරුරේ වර්ණය ද යහපත් වේ. බුදුරදුන් මේ ගාථාව වදාරමින් භික්ෂූන් වහන්සේලාට ද අවධාරණය කළේ මෙකී මානසික සමබරතාවේ වටිනාකමය.

මිනිසුන් ජීවිකාව සරිකරගත යුත්තේ දහඩිය මහන්සියෙනි. අසීමිත ආශා නිසා අහසේ මාළිගා මැවීම දුකට හේතුවකි. මිනිසා හොරකමට වංචාවට දූෂණයට පොළඹවනු ලබන්නේ එකී අසීමිත ආශා විසිනි. එහි කෙළවර සැපක් නැත. අද රටක් හැටියට අප හමුවේ නිර්මාණය වී ඇති බොහෝ ප්‍රශ්නවලට හේතුව මෙකී නොතිත් සමාජ තරගයයි.

පරිභෝජනවාදයේ පතුළටම වැටුණු ජන සමාජයක් බවට ශ්‍රී ලාංකික සමාජය ද පත්ව තිබේ. වැඩි වැඩියෙන් භාණ්ඩ පරිභෝජනය කිරීමෙන් සැපත සතුට හඹායෑමම තරගයකි. ඒ තරගයට වන් කළ සිය ආධ්‍යාත්මික ජීවිත ගැන සිතීමටවත් මිනිසුන්ට විවේක බුද්ධියක් හිමි නොවේ. එනිසා මේ මානසික සමබරතාව ගැන රාජ්‍ය නායකත්වයේ සිට පුරවැසි සමාජය ද දක්වාම අවධානය යොමුකිරීම වටිනේය. 

රටක දියුණුව උදෙසා බුදුරජාණන් වහන්සේ විශේෂ කාරණා තුනක් ගැන සඳහන් කළ සේක. ඒ සදාචාරය, සාමය හා සමෘද්ධියයි. රටක් හදාගැනීමට නම් අපේ ජීවිත සකස් කරගැනීමට නම් පළමුවෙන්ම අප සුරැකිය යුත්තේ සදාචාරයයි. ජන සමාජයක සදාචාරය ආරක්ෂා වී තිබේ නම් ඒ රටේ සාමකාමී බව ද නිතැතින්ම ආරක්ෂා වේ. රටක සාමකාමීත්වය ආරක්ෂා වී තිබේ නම් මිනිසුන්ට කෘෂිකර්මය, ආර්ථිකය යහපත්ව සරිකරගත හැකි අතර පාලකයන්ට ආණ්ඩුකරණය ද දුෂ්කර නොවේ. එවැනි රටක බාල පරම්පරාවට නිදහසේ නිසි මානසික වටපිටාවකින් යුතුව සිය අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට ද අවස්ථාව උදාවේ. ජාතියක ජීවනාලිය හා රටේ අනාගතය යනු බාල පරපුරයි. එනිසා රටක දියුණුවට මේ තත්ත්වය නිර්මාණය කරගැනීම අත්‍යවශ්‍යය. 

පුරාණයේ රාජ රාජ මහාමාත්‍යාදීන් වැව් අමුණු බඳවා බතින් බුලතින් රට සශ්‍රීක කර වෙහෙර විහාර කර්මාන්ත ආදියට නොඅලස්ව අත දී අපේක්ෂා කළ ප්‍රධාන කරුණ වූයේම ජන සමාජයේ සමහන්භාවයයි. මිනිසා සුමඟට යොමුකර ගැනීමයි. රටේ සාමය ආරක්ෂා වුණේම මේ යහපත් ජන සමාජය නිසාය. එහෙත් අද වනවිට අපේ ජන සමාජයේ සදාචාර ධර්ම ශීඝ්‍රයෙන් ඛාදනයට ලක්වෙමින් තිබේ. පැරැණි සමාජයෙහි වන්දනාවට ලක් වූ මානව ධර්මතා නොසලකා හැරීම මේ තත්ත්වයට මුඛ්‍ය හේතුව වී තිබේ. නිර්මාණය වී ඇත්තේ සමාජයේ මුල සිට අගටම ආදර්ශයක් නැති තත්ත්වයකි. අද අපේ සමාජයේ පරමාදර්ශී චරිත බිහි නොවන තරම්ය. ආදර්ශයක් දිය හැකි වැඩිහිටියන්ගේ අඩුව විසින් කුඩා දරුවන්ගේ අනාගතයට කරනු ලබන බලපෑම සුළුපටු නැත. 

සමාජ තරගයෙහි අප සැමතින් දකින්නේ ඇනකොටා ගැනීම, එකිනෙකාට විරුද්ධව කටයුතු කිරීම හා කේලාම් කීම් ආදියයි. මේ නිසා ජනතාව සිටින්නේ වෛරයෙනි. ක්‍රෝධයෙනි. සැකයෙන් බියෙන් තොරව ජීවිතය ගත කළ හැකි ද යන පැනයෙන් තරාතිරමක් නැතිව සියලු දෙනා බැට කති. දේශපාලනය පුරාම තිබෙන්නේ වාද විවාදය. හැල හැප්පිලිය. ජනමාධ්‍යයෙන් අසන්නට දකින්නට ලැබෙන්නේ හොඳ පුවත් නොවේ. සිය දරුවන්ට විපතක් වේය, දේපළවලට හානියක් වේය යන සිතුවිලි ජනිත නොවන්නේ බිය නැති සමාජයකදීය. රට ගෙන යා යුත්තේ එවැනි තැනකටය. අප නිර්මාණය කරගතයුත්තේ හෙට දවස පිළිබඳ අවිනිශ්චිතභාවය නැති කරදර දුක් කම්කටොළු ගැනම සිතා වේදනාවට පත් නොවන සමාජයකි. මේ තත්ත්වය හමුවේ මහා සංඝරත්නය වශයෙන් අපට අවධාරණය කරන්නට ඇත්තේම සමාජ සදාචාරය ආරක්ෂා කරගැනීම මිස අමුතු දහමක් නොවේ. 

අද වනවිට රට මුහුණ දී තිබෙන්නේ විශාල ආර්ථික අර්බුදයකටය. රුපියලේ අගය පහළ වැටී ඇත්තේ ඉතාම ශෝචනීය අයුරිනි. එය ආර්ථික පරාභවයේ සංකේතයක් වී ඇත. අප අතර විවිධ ප්‍රශ්න තිබේ. ප්‍රශ්න විසඳාගත යුත්තේ සාකච්ඡාවෙනි. සම්මන්ත්‍රණයෙනි. ප්‍රශ්න විසඳාගැනීමට සාකච්ඡාවට යන්නට නායකයන්ට ඉවසීම තිබිය යුතුවේ. සෑම දෙයක්ම කිරීමේදී මුල සිට අගටත් අග සිට මුලටත් මැද සිට අගටත් මැද සිට මුලටත් කල්පනා කර ක්‍රියා කළ යුතුවේ. පටු අරමුණු වෙනුවෙන් අදූරදර්ශී වුවහොත් රටට අනාගතයක් නැත. අඩුම තරමින් බෞද්ධ සාහිත්‍යයේ උපදේශනවලට යොමුවීම මෙවැනි අවස්ථාවල ලොකු පොඩි භේදයක් නැතිව කාටත් වැඩදායකය. පන්සිය පනස් ජාතක පොත ඊට උපයෝගී කරගතහැකි සාහිත්‍යාංගයක් හැටියට දැක්විය හැකිය. අඩුම තරමින් ජාතක පොතේ එන ජාතක කතා විසි පහක්වත් තෝරාගෙන පරිශීලනය කළ හැකි නම් ඉතා අගනේය. මිනිසුන්ගේ සිත දිනාගන්නා ක්‍රමයත් අනෙකාට කරදරයක් නොවන ආකාරයෙන් ජීවිතය ගත කරන ආකාරයත් අපට එයින්ම උගෙන ගත හැකිය. මේ උපහැරණ සංග්‍රහය පරිශීලනයට ජාති ආගම් භේදයක් ද නැත. එය රටේ රාජ්‍ය නායකයාට ආගමික නායකයාට ආයතන ප්‍රධානියාට පවුලක ප්‍රධානියාට ආදී වශයෙන් ඕනෑම අයකුට සහායට ගතහැකි මහාර්ඝ සාහිත්‍ය කෘතියකි. 
ආධිපත්‍ය පැතිරවීමත් බලය අත්පත් කරගැනීමත් ලෝකයට බොහෝ විපත් උරුම කර දී තිබේ. අර්බුද ඇතිකිරීම ඉතා පහසු වුවද ඒවායින් ඇතිවන ප්‍රතිවිපාක නිසා රාජ්‍ය ආපස්සට යන්නේ අවුරුදු සිය ගණනිනි. අප රටේ පැවැති තිස් අවුරුදු යුද්ධය ඊට කදිම උදාහරණයකි. අඩුපාඩු යනු නැත්තටම නැති කළ හැකි දෙයක් නොවේ. සකල ජාතීන් එකතුව ලෝක ආණ්ඩුවක් නිර්මාණය කරගත්තත් මනුෂ්‍යයන් සියලු දෙනාගේ අඩුපාඩුකම් නිවාරණය කළ හැකි නොවේ. “නානත්ථ කායා - නානත්ථ සංඥා” හෙවත් මෙලොව මිනිසුන් වනාහි නොයෙක් ගතිපැවතුම් ඇත්තන් යැයි බුදුන් වදාළේ එහෙයිනි. රටක් ජාතියක් දියුණු කළහැක්කේ එසේ විචිත්‍රවත් වූ මිනිස් වර්ගයාගේ නානාප්‍රකාර වූ ශඛ්‍යතා දක්ෂතා පෙරමුණට ගැනීමෙනි. සංහිඳියාව නිර්මාණය වන්නේ එවැනි මනුෂ්‍ය ලෝකයකය. යුද්ධයට පෙර මෙරට ද්‍රවිඩ ජනතාව අධ්‍යාපනය අතින් කෙතරම් ඉහළ තලයක සිටියේද? නීති ක්‍ෂේත්‍රය, වෛද්‍ය ක්‍ෂේත්‍රය, ගොවිකම හා රාජ්‍ය සේවය පුරා ඔවුනගේ බුද්ධි මහිමය විෂද විය. එහෙත් ත්‍රස්තවාදය නිසා ද්‍රවිඩ ජනතාවත් රටත් අවුරුදු සිය ගණනකින් පමණ ආපස්සට ගියේය. 

බුදු පියාණන් දේශනා කළේ “යො ධම්මං පස්සති - සො මං පස්සති” කියාය. යමෙකු මගේ ධර්මය පිළිපදින්නේ ද ඔහු මා දකීය යන්න එහි අරුතයි. “යො මං පස්සති - සො ධම්මං පස්සති ” කියාය. එනම් යමෙකු මා දැකීම මට සැලකීම යනු මගේ ධර්මය පිළිපැදීමය යන්නය. බුදුරාජණන් වහන්සේගේ රූපකාය ජීවමාන නැති ලෝකයේ බොහෝ මිනිස්සු උන්වහන්සේ වෙනුවට මැටියෙන් ලෝහයෙන් රනෙන් කළ ප්‍රතිමාවලට හැකි ආකාරයෙන් වැඳුම් පිදුම් කරති. එය ආමිස දානයයි. බුදරජාණන් වහන්සේ උතුම් කොට සැලකූ ප්‍රතිපත්ති දානයට අවතීර්ණ වන්නේ නම් අප වැඩි බරක් තැබිය යුත්තේ ධර්ම මාර්ගය ජීවිතයට බද්ධ කරගැනීමටය. මනුෂ්‍යයන් හැටියට ඔවුනොවුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන ජීවිත ගතකිරීමය. මමය මාගේය යන උපාදාන පිරි චින්තනය ජීවිතය බුදුන් පිටුදැකි මාර්ගයයි. රටත් ජන සමාජයත් ඉදිරියට ගෙන යා හැක්කේ මෙකී බුද්ධ වචනයේ ඇති දාර්ශනික අරුත සිය ජීවන විලාසය බවට පත්කරගැනීමෙනි. 

වසරක අවසානය තවත් වසරක උදාවය. එය භෞතික ලෝකය විසින් නිර්මාණය කරගන්නා ලද්දකි. එහෙත් ලබන්නා වූ නව වසර අවශ්‍ය නම් සිය ආධ්‍යාත්මික ජීවිත පරිශෝධනය කරගන්නා සංකේතික ආරම්භයක් බවට පත්කරගත හැකිය. ඊට අවශ්‍යවන්නේ වුවමනාව පමණි. මතු සඳහන් කළ පරිද්දෙන්ම යටගිය අතීතය ගැන නොතැවී නූපන් අනාගතය ගැන අහේතුකව කම්පනය නොවී එළඹ ගත් සිහියෙන් වත්මනට මුහුණ දීම එහිලා අත්‍යවශ්‍ය කොන්දේසියයි. මෙය වර්ග ආගම් භේදයකින් තොරව සකල මනුෂ්‍ය වර්ගයාටම පොදුවේ අභ්‍යාස කළ හැකි ජීවන දර්ශනයකි. එවැනි යහපත් මගකින් නව වසර ආධ්‍යාත්මික විප්ලවයකට දොරටු විවර කරගන්නා ආරම්භයක් වේවාය යන්න අපේ පැතුමය.