ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ රාජනීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක මහතාගේ 65 වැනි ගුණ සමරුව අදට (26) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැමැති ජනතාවාදී මහා දැවැන්ත පක්‍ෂයේ සැබෑ නිර්මාතෘවරයා න්‍යායාචාර්යවරයා මෙන්ම මෙරට බෞද්ධ පුනරුදය ඇති කිරීමෙහිලා මුල් වී ක්‍රියා කළ බොදු ජන නායකයෙකු මෙන්ම නීති ක්ෂේත්‍රයේ අසමසම රාජ නීතිඥවරයකු වූ, නිදහසින් පසු පළමු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වූ, හර්බට් ශ්‍රී නිශ්ශංක මෙන්ඩිස් (රාජ නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක) නාමය මෙරට කෘතවේදී ජනයාට කිසිදා අමතක නොවන්නකි.

දකුණු සිරිලක සැබෑ විරුවන්ගේ නිජබිම වූ බලපිටියේ ගරුමුණි වලව්වේදී වර්ෂ 1898 ජනවාරි 17 වැනිදා උපත ලද එච් ශ්‍රී. නිශ්ශංකගේ මව්පියන් වූයේ මෙරට නිහඬ විද්වතකු වූ ඩිවේරිස් නිශ්ශංක මෙන්ඩිස් හා අනෝමා වික්‍රමරත්න සොයිසා ළමාතැනීය. සොහොයුරියන් වූයේ ඩොරති හැරියට් හා චාලට්ය. ප්‍රිය බිරිඳ වූයේ මියුරියල් නිශ්ශංකය. දූ දරුවෝ යමුනා, ගීතා හා රංජිත්ය. මුණුපුරු මහාචාර්ය රන්දීව් නිශ්ශංක කරුණාරත්න හා මිනිපිරිය ආචාර්ය අවන්ති නිශ්ශංක කරුණාරත්න යන අයයි. මූලික අධ්‍යාපනය කොළඹ ආනන්දයෙන්ද, උසස් අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන්ද ලැබීය.

එක්තරා වකවානුවක මෙතුමා බුරුම සම්ප්‍රදායට අනුව පැවිදි වී එරටට ගොස් වසර 03ක් පමණ ත්‍රිපිටකය හා භාවනා ක්‍රම පිළිබඳ හැදෑරුවේය. මව්පියන් රෝගී තත්ත්වයෙන් පසුවන බව සැලවී පවුලේ තවත් පිරිමි දරුවන් නොවූ නිසා නැවත මෙරටට වැඩම කර මහා සංඝයා රැස්කර කරුණු පැහැදිලි කර උපැවැදි වූහ.

මෙතුමා යුග පුරුෂයකු වූ නිසාම වැඩිදුරටත් නීතිය හැදෑරීම සඳහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් සරසවියට ඇතුළත් විය. එහිදී මෙරටින් ගොස් අධ්‍යාපනය ලැබූ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා මුණ ගැසුණි. දින කිහිපයක් ගතවෙත්ම දෙදෙනා ලෙන්ගතු මිතුරෝ වූහ. නිශ්ශංකයන් බුදු දහමේ යථාර්තවාදී බවත්, හෙළ සංස්කෘතියේ වටිනාකම ගැනත්, විවේක අවස්ථාවල බණ්ඩාරනායකට කරුණු වටහා දුන්නේය. නිසි පරිදි නීති දැනුම පුළුල් කර ගෙන 1924 ලංකාවට පැමිණ නීතිවේදියෙකු ලෙස දිවුරුම් දුන් අතර වර්ෂ 30 හා 40 දශකවල අපරාධ නඩු සම්බන්ධව මෙරට විසූ අති දක්‍ෂ නීතිවේදියා මෙතුමා බවට විවාදයක් නැත. ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා නීතිවේදියෙකු ලෙස කටයුතු කරන විට නිශ්ශංක මහතාගෙන් ගුරු උපදෙස් ලබාගත් ආකාරය කෘතවේදීව විවිධ අවස්ථාවල සඳහන් කර තිබේ.

40 දශකය අවසන් භාගයේ දී අපේකම රැඳි අලුත් දේශපාලන පක්‍ෂයක අවශ්‍යතාව ගැන පුළුල්ව සිතන්නටත් කරුණු රැස් කරන්නටත් දේශීය හා අන්තර්ජාතික අත්දැකීම් පදනම් කරගෙන දළ සැලසුම් කොළඹ වැල්ලවත්තේ පිහිටි යමුනා මන්දිරයේ සිට සකස් කළේය. තමා සමඟ එකට ඉගෙනගත් බණ්ඩාරනායක මහතාද යමුනාවට කැඳවා ගනිමින් දෙදෙනා දින, සති, මාස ගණන් සාකච්ඡා කළේය. පසුව තවත් ප්‍රගතිශීලින්ගේ සහයෝගය ඇතිව සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තේමා කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය 1951 බිහිවන්නේ නිශ්ශංකයන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාය.

එය ඉදිරියට රැගෙන යාමට බණ්ඩාරනායක මහතාට පැවරීමට තරම් එතුමා නිහතමානි විය. තමාගේ නමේ ශ්‍රී නි එකතු කරමින් පක්‍ෂයේ නම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙසද සුහදත්වයේ සංකේතය ලෙස සලකා ලාංඡනය ලෙස අත ලකුණද, බුද්ධිමතාගේ වර්ණය ලෙස පක්‍ෂයේ පාට නිල් පාටද, ව්‍යවස්ථාවද නිර්මාණය කළේ මේ මහා විද්වතාය.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම බොහෝ පිරිසක් නොදැනීම කනගාටුවට කරුණකි. පක්‍ෂය ආරම්භ කිරීමේ සාකච්ඡාව පැවැත්වූ මේස, පුටු හා අත්සන කළ පෑන පවා මෙතුමාගේ යමුනා මන්දිරයේ වර්තමානයේ (යමුනා සදහම් ආශ්‍රමයේ) සුරැකිව පවතී. මේවා සංරක්‍ෂණය කිරීමට කටයුතු කිරීම වගකිවයුතු අයගේ යුතුකම විය යුතුය.

සල්ගල වන ආශ්‍රමය, බියගම උපාසිකාරාමය, සිංගප්පූරුව ලංකා විහාරය ඇරඹීමෙහිලා පුරෝගාමි විය. අපේ ලංකා, එංගලන්ත ඉතිහාසය, ලංකා දණ්ඩ නීතිය, සල්ගල පුදබිම යන පොත්වල කතුවරයා ලෙසද, හෙළදිව සංඛනාදය නම් වූ පුවත්පතේ හා සඟරාවේ සංස්කාරවරයා වශයෙන්ද ක්‍රියා කළේය. විවේක අවස්ථාවල විනෝදාංශයක් ලෙස චිත්‍ර ඇදීමට ප්‍රියතාවක් දැක්වීය. සිංහල, පාලි, සංස්කෘත, හින්දි, බුරුම, ජපන් යන භාෂාවන්හි හසළ දැනුමකින් සන්නද්ධව සිටියෙකි.

ඇතුගල්පුර (කුරුණෑගල) ආදරණීය ජනතාවගේ නායකයා වෙමින්, නිදහසින් පසු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්විය. මෙයට ප්‍රථම කොළඹ වැල්ලවත්ත කොට්ඨාසයෙන් නිතරඟයෙන් නාගරික මන්ත්‍රී පදවියට පත්විය. මෙරට ඇතිවන්නට ගිය ජාතිවාදී, ආගම්වාදී අරගල මෙතුමා මැදිහත් වී විසඳූ අවස්ථා බොහෝය. උතුම් මිනිසුන්ගේ ජීවිත කාලය කෙටිය.

සුවඳැති මල් ඉක්මණින් පරවී යන්නා සේ 56 සමාජ අරගලයේ සැබෑ ආස්වාදය විඳ ගැනීමට, දැක බලාගැනීමට පෙර 1954 පෙබරවාරි 26 වැනිදා තම යමුනා නිවසේ බුදුරුව දෙස බලාගෙනම රටට ණය නැති පින්වත් මෙම යුග පුරුෂයා අවසන් හුස්ම හෙලීය. ඒ වන විට වයස 54කි. එදා සුප්‍රසිද්ධ යමුනාව අද යමුනා සඳහම් ආශ්‍රමය බවට පත් කරමින් අමරපුර මහා නිකායේ, අඹගහපිටිය පාර්ශවයේ මහා සංඝයා වෙත පූජා කර තිබේ.
නිශ්ශංක මහතාගේ අවසන් කටයුතු සිදුවුණු දින බණ්ඩාරනායක මහතා හා ඩී.ඒ. රාජපක්‍ෂ මහතා වැනි සමකාලීන සමීප මිතුරෝ කඳුළු සලමින් සිටි ආකාරය යමුනාවේ ඇති ඉපැරණි සේයා සටහන් වලින් මැනවින් දිස්වේ. එසේම බණ්ඩාරනායක මහතා එදින කළ ගුණකථනයද, ඉතිහාස ගතවන්නකි.

නිශ්ශංක සමරු සංසදයේ ලේකම් ජගත් ජනකාන්ත ගුණෙත්ති මහතා ප්‍රමුඛ සංසදයේ සාමාජික සාමාජිකාවන් සෑම වර්ෂයක් පාසාම මේ උතුම් මිනිසා සිහිපත් කර විශේෂ ආගමික වතාවත් හා දුගී දුප්පත් පාසල් දරු දැරියන්ට පොත්පත් පිරිනැමීම හා සමරු වැඩසටහන් කොළඹ, දෙමටගොඩ, නාගදීප ශාඛා විහාරස්ථානයේදී පැවැත්වේ. රාජනීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක මහතාට නිවන්සුව ලැබේවා.

හිටපු මහාධිකරණ විනිසුරු හා ශ්‍රී නිශ්ශංක සමරු සංසදයේ අනුශාසක
සී.වී. රාජපක්‍ෂ.

සකස් කළේ
කොළඹ ක්‍රිෂ්ණ ඩී. එදිරිසිංහ.