ශ්‍රී ලංකාවේ ජනතාව දේශපාලනිකව අවිඥානිකය. පාලකයන් තෝරාගැනීමේදී පුද්ගලයා මත බර තබයි. දේශපාලන පක්ෂයක මතවාදය, දර්ශනය හෝ ප්‍රතිපත්ති ගැන අවධානය යොමු නොකරයි. ගැඹුරෙන් හිතා බලා රටට වැදගත් නියෝජනයක්, හා එම නියෝජනයෙන් ශක්තිමත් වන පාලන ක්‍රමයක් ගැන කල්පනා කරන්නේ නැත. සුළු කොටසක් දාර්ශනිකව හිතන, පොදු පරමාර්ථ ඇතිව ක්‍රියාකරන එහෙත් එම ජන කොටස මැතිවරණයක ප්‍රතිඵලයට බලපාන තීරණාත්මක ඡන්දදායකයන් පිරිසක් බවට මෙතෙක් පත්ව නැත. එය ඉතිහාසයේ සිට දැකිය හැකි කරුණකි.

සමාජයේ දැන උගත් කොටස වර්ධනය වනවිට හා මැද පන්තිය ප්‍රතිශතයක් වශයෙන් වර්ධනය වන අවස්ථාවක පටු පරමාර්ථ සහිත ගෝත්‍රික දේශපාලනයට ඇති ඉඩකඩ සීමාසහිත වෙයි. එහෙත් ශ්‍රී ලංකාවේ තත්ත්වය තවමත් එවැනි පරිවර්තනයක නැත. රදල ගතානුගතික දේශපාලනයට විකල්ප දේශපාලනයක් රට තුළ ඇති වී තිබේ. එහෙත් මෙකී රදල නියෝජනයට එපිටින් ප්‍රවේශ වූ අලුත් දේශපාලන පක්ෂ සිය පසුබිම ගැන හීනමානයකය. ප්‍රධාන පක්ෂවල අනුකොටස් බවට පත්ව ඇත. නව ප්‍රවේශයක පසුවන මධ්‍යම පාන්තිකයන්ට නායකත්වය දෙන්නට ඒවා අසමත්ය. අවසානයේ දී සිදුවන්නේ කුමක්ද? අතීතය සාක්ෂි දරන අන්දමටම යක්ෂයන් පෙන්වා ජනමතය පාලනය කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ සමත්ව තිබේ. ප්‍රචාරණ යාන්ත්‍රණය එයට මනා පිටුවහලක් සපයන අතර අවාසනාවකට නූතන සමාජ මාධ්‍ය ව්‍යුහය පවා යක්ෂයන් මවා පෙන්වන අතර දර්ශනය හෝ ප්‍රතිපත්ති සාකච්ඡා නොකරන යාන්ත්‍රණයක් බව පෙනේ.

මාර යුද්ධයේ අත්දැකීම

සර්ව ජන ඡන්ද බලය කෙසේ වෙතත් “මාර යුද්ධය” මෙරට පාලකයන් වෙනස් කිරීමේ කලාවේ වැදගත් සංකේතයකි. ජෝන් කොතලාවල අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය “බෝසතානන් පරාජය කරන්නට එන මාර බලවේගයක්” බව අඟවමින් කරන ලද කාටුන් චිත්‍රය ඉතිහාසය අධ්‍යයනය කරන විට හමුවෙයි. පක්ෂ නායකයා අලියා පිට නැඟී විනාශකාරීව හැසිරෙන මාරයකු සේ හැඩ ගැන්වූ අතර එය ජනතාවගේ හිත තුළ යක්ෂයා තහවුරු කළේය. එක්සත් ජාතික පක්ෂය හා සමගි පෙරමුණ නියෝජනය කළේ එකම රදල සමාජ පැලැන්තියේ ජන නායකයන් දෙදෙනෙකි. එහෙත් රදල දෙපිරිස පොදු ජනතාව බෙදා තමන්ගේ ඡන්ද පදනම වෙනුවෙන් කරන ලද උපක්‍රමය සාර්ථක විය. සමගි පෙරමුණ ජය අත්කර ගත්තේය.

සෑම අවස්ථාවකම බලයේ සිටින ප්‍රතිවාදියා යක්ෂයකු සේ නිර්මාණය කිරීම අපහසු නැත. ආණ්ඩු කිරීමේ දී අසතුටට පත්වන ජනී ජනයා ඉදිරි ඡන්දයේදී වෙනසක් කරන්නට හිතා ගනියි. විපක්ෂය වාසිදායක තැනක සිටින අතර බලයේ සිටින පාර්ශවය දූෂිත, බලකාමී, පොදු ජනතාව ගැන නොසිතන, මහජන ධනය කොල්ලකන ජාතිය හා ආගම ගැන නොසලකන පිරිසක් බව පෙන්වන්නට සමත් වෙයි. බලයේ ඉන්නා ඇතැම් දේශපාලනඥයන්ගේ අත්තනෝමතික දුර්වල හැසිරීම හා ඒවා පාලනය කිරීමට විනය තීන්දු ගැනීමට නිර්භීත නොවන පක්ෂ නායකයන් එහි දී විපක්ෂය වෙනුවෙන් කරන සේවාව විශේෂිත එකකි.

ක්‍රමය වෙනස් නොකළොත් අනතුරක

නිදහස ලැබූ දිනයේ සිට පවතින, මෙරට ජන සමාජය එකතු කිරීම වෙනුවට බෙදා වෙන් කරන්නට ඉඩ දෙන හා නැති යක්ෂයන් මවා පෙන්වන දේශපාලන ක්‍රමය තවදුරටත් නඩත්තු කළ යුතු ඇයි? ලෝකයේ නොයෙක් රටවල් ජනතාව එකතු කර ස්වකීය අනන්‍යතාවක් හදාගෙන ගෝලීය තරගකාරීත්වයට මුහුණ දී සාර්ථකත්වය අත්පත් කරගෙන තිබේ. පැලැන්තිය, ජාතිය, කුලය, ආගම, දේශපාලන පක්ෂය හා ධනය ඇති නැති බව අනුව සමාජය බෙදන  අධිරාජ්‍යවාදීන්ගෙන් ඇබ්බැහි වූ ක්‍රමය තවදුරටත් ශ්‍රී ලංකාවේ තිබේ. බ්‍රිතාන්‍ය පාලකයෝ සුළු පිරිසක් මෙරට රදලයන් සහ ඔවුන් ප්‍රදානය කළ ගරු නම්බුනාමධාරීන් අතලොස්සක් හවුල් කරගෙන ලංකාව පාලනය කළහ. සමාජය බෙදා ස්ථර ඇතිකරන ලද අතර එකමුතුව ඇති කිරීම වළකන ලද්දේය. එය අදටත් මෙරට පාලකයෝ සාර්ථකව අනුගමනය කරති. යක්ෂයන් පෙන්වා බලය ගන්නා පාලකයෝ සුළු සහන ප්‍රමාණයක් දී සමාජයේ යම් කොටසක් නතු කරගන්නා අතර රට ඉහළ සංවර්ධනයක් අත්පත් කරගැනීමට වැඩපිළිවෙළක් සකස් කරනු වෙනුවට ක්‍රමය නඩත්තු කිරීමට සමත් වෙති. පොදු ජනතාව ඉඩම් ඉල්ලන විට පාලකයන් බෙදන්නේ කඩදාසි ඔප්පුවකි.

ගෙයක් දොරක් හොඳ අධ්‍යාපනයක් ගැන කෑගසන විට ව්‍යවස්ථා සංශෝධනය හෝ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම ගැන විශාල වාදයක් අවුළවති. එදිනෙදා අවශ්‍ය තීරණගන්නා සේ බලකරන අවස්ථාවේ දී බලය බෙදාහැරීම ගැන නොයෙක් අදහස් පතුරවති. නිදහස ලැබූ දිනයේ සිට මෙරට පාලනය කරන ලද ආණ්ඩු හා ඒවායේ නායකයෝ ස්වකීය පැවැත්ම අරමුණු කරගෙන සියලු නීති, අණ පනත් හා ව්‍යවස්ථා සංශෝධනය කරන ලද අතර එයින් ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා වී නැත. රට වෙනස් කළ යුතු යැයි හිතන, අසාධාරණය හා අයුක්තියට එරෙහි වූ තරුණ කණ්ඩායම් 1971 සිට අද දක්වා අවස්ථා ගණනාවක දී දකුණේ හා උතුරේ කැරලි අවුළවන ලද අතර දස දහස් ගණනින් ජීවිත පූජා කළ නමුත් අදටත් ඔවුන් නැගූ හඬට නිසි අවධානයක් යොමු කර නැත. නැවත වතාවක් තරුණ ජවය විනාශවීමට කලින් රට එක් සේසත් කර පටු දේශපාලනයෙන් තොර එහෙත් ගැඹුරු ජාතික අනන්‍යතාවක් සහිතව පුබුදුවාලිය යුතුව තිබේ.

වෙනසක් ඉල්ලන ජන මානසිකත්වයක් නැවතත්

වත්මන් ආණ්ඩුව බලයට පත්කරන්නට සාධක ගණනාවක් බලපෑවේය. අභ්‍යන්තර හා ජාත්‍යන්තර පීඩනය එහිලා ප්‍රමුඛය. ත්‍රස්තවාදය පරාජයට පත්කිරීමෙන් පසු පැවැති යුද පරිසරයෙන් සාමකාමී පරිසරකට සංක්‍රාන්තිය නිසි ආකාරයකට නොවූ බවට ජනතාව තුළ විශ්වාසයක් ගොඩ නැඟුණි. ජනතාව සාධාරණ අවස්ථා ඉල්ලා සිටියේය. ආර්ථික දියුණුව සමඟ ප්‍රමාණයෙන් වැඩි වූ මැද පන්තියේ අවශ්‍යතා වටහා ගත්තේ නැත. යුද වකවානුවක ආණ්ඩුව අත්පත් කරගෙන සිටි බලය හා නිදහස් වකවානුවක ආණ්ඩුවේ අධිකාරී බලය තුනී වී සිවිල් පරිපාලනය ශක්තිමත් වීම ප්‍රමාද විය. ඉන්දියානු, චීන හා බටහිර රටවල මතය සමබර කරන දැක්ම නොතිබිණ. ක්‍රමය වෙනස් කර අලුත් යුගයක්, අලුත් වෙනසක් ඇති කරන අවශ්‍යතාවය මතු කරන්නට විරුද්ධ පක්ෂ දේශපාලනයට හැකියාව ලැබිණි. පැවැති පාලනය තුළ පැවැති ලක්ෂණ උළුප්පා යක්ෂ ස්වරූපයෙන් මැවීම විශාල ජනබලයක් ගොඩ නැඟීමට ඉවහල් වූ අතර ජනතාව කාලාන්තරයක් තිස්සේ ඉල්ලා සිටි පොදු ප්‍රතිපත්ති සඳහා පොදු අපේක්ෂකත්වයක් ඉදිරියට ගැනීම බලවත් සංකේතයක් විය. ප්‍රධාන දේශපාලන ධාරාවල මෙතෙක් පැවැති විරෝධතා වෙනුවට පක්ෂ එකතු වී රාජපක්ෂ විරෝධයක් ගොඩනඟන්නට සම්මත මාධ්‍ය පමණක් නොව නව මාධ්‍ය ද සෑහෙන මෙහෙවරක් කළේය.

යහපාලන සංකල්පය සමාජගත වූ අතර ජනබලය එය වටා ඒකරාශී විය.සෑම මැතිවරණයක් පාසා, විශාල දීප්තිමත් නායකයන් හා දේශපාලන පක්ෂ බිහිවන අතර කාලය ගතවීම සමඟ අවපැහැ ගැන්වෙයි. ප්‍රතිරූප කෙරෙහි ජන විශ්වාසය ඉක්මනින් බිඳ වැටීම අතීතයේ සිට ආපසු හැරී සාකච්ඡා කරන විට පෙනෙන වැදගත් ලක්ෂණයකි. අද එම තත්ත්වය උදාවෙමින් තිබේ. දේශපාලනය හා පක්ෂ නායකයෝ පිරිහී සිටිති. දේශපාලනඥයන්, අවංක නමුත්, බලයට පත් වූ පසු පාක්ෂිකයන් කෙරෙහි පමණක් ක්‍රියාකරන ආත්මාර්ථකාමී පිරිසක් යැයි ජනතාව කල්පනා කරන බව පෙනේ. ජනතා නියෝජිතයන්ගේ මාර්ගයෙන් පොදු ප්‍රශ්න විසඳා ගැනීමේ ජනසම්මතවාදී ව්‍යුහය වෙනුවට තම තමන් තමන්ගේ කාර්ය කරගන්නා හුදෙකලා සමාජයක් එයින් බිහි වී තිබේ. කවුරු බලයට ආවත් මෙහෙමම තමයි කියා හිතන, බලයට විනා ජනතා සේවයට ළැඳි පාලකයන් නැතැයි විශ්වාස කරන සමාජයක් අද නිර්මාණය වී තිබේ. අවුරුදු තුනක් අවසානයේ දී පොදු ජනතාව නැවතවතාවක් වෙනසක් ඉල්ලා සිටින මට්ටමට පත්ව සිටිති.

ජනතාව සලකා බැලිය යුතු කොන්දේසි තුනක්

වෙනස කුමක්ද? ශ්‍රී ලංකාවේ පොදු ජනතාව අලුත් සමාජ ව්‍යුහයක් සඳහා බල කළ යුතුය. නැවත නැවතත් පටු දේශපාලන ගමන්වලට ඉඩ දිය යුතු නැත. විශාලතම මානසික පරාජයට පසු දැවැන්තම ධෛර්යය ඇති කරගත යුතුව තිබේ. ප්‍රචාරක යාන්ත්‍රණ බලය බිඳ දැමිය යුතු අතර නිදහස් මතවාදයක් අනුව ඡන්දය පාවිච්චි කිරීම අවශ්‍යය. මධ්‍යම පැලැන්තියේ ජන කොටස සතු බලය, බුද්ධිමය හැකියාව ආරක්ෂා කරගත යුතුය. ඉදිරි මැතිවරණයක දී ප්‍රතිපත්ති, ඒවා ඉදිරිපත් කරන නායකයන්ගේ දර්ශනය හා කැපවීම ගැන අවධානය යොමු කිරීම සුදුසුය.මෙහි දී වැදගත් වන කරුණු තුනක් පෙන්වා දීමට කැමැත්තෙමි.

වර්තමාන සංකීර්ණ, තරගකාරී ලෝක ස්වභාවයට ගැළපෙන ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබේදැයි සොයා බැලිය යුතුය. තවදුරටත් පැරණි මුද්දර කාඩ්, දිළිඳූ සහන, ජනසවිය, සමෘද්ධිය හෝ වෙනත් බාල සහන වැඩපිළිවෙළවලට නතු විය යුතු නැත. සමාජය ගොඩනැඟීම හැර ජනතාවගෙන්ම බදු අය කර තෝරා ගත් ජන කොටසකට නැති සම්පත් බෙදාදීමෙන් රටක් දියුණු කළ නොහැක. පක්ෂ ප්‍රතිපත්ති ගැන ජන සංවාද ඇති කළ යුතුය. පක්ෂ වෙනස් විය යුතුය. ගෝත්‍ර හා ගෝත්‍රික නායකයන්ගේ වැනි ස්වභාවය වෙනුවට පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති ප්‍රතිපත්ති මත පදනම් වූ ව්‍යුහයක් දියුණු කරන්නට අවශ්‍ය අතර ජනමාධ්‍යවලට මෙහි දී පුළුල් වගකීමක් තිබේ. හුදෙක් දේශපාලනඥයන්ගේ මුවින් නිරායාසයෙන් පිටවන වචන වාර්තා කිරීමට වඩා ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ ගැන විවාද ඇති කිරීම අවශ්‍යය.

දෙවැන්න ප්‍රජාතන්ත්‍රවාදය තේරුම් ගැනීමයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව අතරින් වැඩිදෙනෙකුගේ කැමැත්තෙන් කණ්ඩායමක් තෝරා ගන්නා ගැනීමයි. එම පිරිසට සහායවීම වෙනුවෙන් නිලධාරීන් උපදේශකයන් සිටිය හැකිය. එහෙත් ජනතා නියෝජිතයන්ට ඉහළින් ස්වාධීන යැයි පෙන්වන යාන්ත්‍රණ නැත. ක්‍රමය පිරිහී දේශපාලනඥයන් ගැන පිළිකුලක් ඇති වූ සමාජය මහජන නියෝජනයක් නැති ස්වාධීන සභාවලින් යුක්තිය අපේක්ෂා කළේය. දේශපාලනය ජන සමාජයේ කොටසකි. ඡන්දය දී බලයට පත් කිරීමෙන් පසු දොස් තබා බැණ වැදීම සුදුසු නැත. එය අප රටේ සිරිතයි. මහජන නියෝජිත ජන සම්මතවාදී පාලනය හා නිලධාරී පාලනය යන වර්ග දෙක මිශ්‍ර කරගැනීම නුසුදුසුය. එහි විපාක අද අත් විඳින බව පැහැදිලිය. කිසිම ප්‍රයෝජනයක් රහිත ස්වාධීන කොමිෂන් සභා රාමුවක් නඩත්තු කිරීමට ජනතාවට සිදුවී තිබේ.

තෙවනුව ඡන්දයෙන් පසු කාර්යභාරයක් පුරවැසියන්ට ඇත. බලයට පත් කිරීමෙන් පසු තමන් පාලනය කරන්නැයි පැත්තකට වී සිටීම මෙරට හුරු වී ඇති ස්වභාවයයි. ජනතා නියෝජිතයන් හා වැසියන් අතර නිතර සංවාදය වැදගත්ය. එය ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසකි. සමාජයේ පරිණත කොටස්, බුද්ධිමතුන් හා චින්තකයන් ආණ්ඩුව සමඟ වැඩපිළිවෙළ ගැන සාකච්ඡාවක් කරගෙන යා යුතු අතර එය දේශපාලන එකක් නොවේ. පක්ෂ දේශපාලනය, මැතිවරණයට සීමාකරන අතර ආණ්ඩුව යනු ජනතාවගේ යාන්ත්‍රණයක් යැයි සැලකීමට නැඹුරු වුවහොත් එයින් ප්‍රතිඵලයක් ලැබේ. වර්තමානයේ දී බලයට පත් දේශපාලනඥයන් අසලට සමීප වීම ලජ්ජාවට කාරණයක් යැයි හැඟෙන අතර සමීපවන පිරිස ලජ්ජාවකින් තොරව වාසි වෙනුවෙන් ක්‍රියාකරමින් සිටිති. එම තත්ත්වය ප්‍රතික්ෂේප කළ යුතු අතර ප්‍රතිපත්තිගරුක පුරවැසියන්ගේ අභිමානයට ගරුකරන නව සැලසුම් අවශ්‍යය. ජනමාධ්‍ය තුළ පවා ජනතාවගේ මතය නියෝජනයට දෙන ඉඩකඩ පුළුල් කරන්නට අවශ්‍යය. විකටයන් නිර්මාණය කිරීම ජනමාධ්‍ය මගින් පොදුවේ සිදුවන බව දැනට පෙනෙන්නට තිබේ.

ඉතිහාසයට හිර වූ බුද්ධිමතුන්ගේ යුගය අවසන්

අවසාන වශයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් දූපතක් නොවේ. සමීප ඉන්දියාව පමණක් නොව ඈතින් සිටින චීනය පවා එකට සම්බන්ධ වී තිබේ. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ජපානය, රුසියාව හෝ මැද පෙරදිග රටවල් සමීප වී ඇත. මෙම රටවල්වල යහපත් පැති අධ්‍යයනය කර රටට අනුගත කරගත යුතු අතර ඉතිහාසයේ සිට ලෝකයේ නොයෙක් අනන්‍යතා සමඟ මුහු වී පැවැති ආකාරය ආදර්ශයට ගත හැකිය. නොයෙක් රටවල් සමඟ ගනුදෙනු කරන ලද වෙළඳ මධ්‍යස්ථානයක ස්වභාවය නැවත ඇති කරගත යුතුය. එය විනාශ කළෝ අධිරාජ්‍යවාදීහුය. නොයෙක් රටවල ප්‍රතිපත්ති හා දර්ශනය තුළින් කරන උකහා ගැනීම් මෙරට සංස්කෘතියට ගැළපෙන්නේ දැයි සොයා බැලීම අවශ්‍යය. මෙරට බුද්ධිමතුන් ඉතිහාසයේ රාමුවල සිරවී සිටින අතර ඔවුන් පමණක් නොව ශ්‍රමික පිරිස ද ලෝකයේ වෙනත් රටක දී මහන්සියෙන් වැඩකරන බව පෙනේ. නැවත ලංකාවට පැමිණි පසු දොස් තබමින් විවේචනය කරමින් සිටීම විනා තමන්ගෙන් සිදුවිය යුතු වගකීම ගැන හිතන්නේ නැත. මුලින් සඳහන් කරන ලද කරුණු තුන අනුව අලුත් යුගයක දී ලැබෙන අවස්ථා හෙයින් එවැනි දුබලතා දුරු විය හැකිය. අනන්‍යතාව හා අභිමානය ඇතිකරගෙන පවතින දෘඪ දේශපාලන රාමුව වෙනස් කරගැනීම අවසාන අභිලාෂය කරගත යුතුය.