එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් අගමැති ධූරයේ දිවුරුම් දීම සමඟ නව ආණ්ඩුවක් සහිතව වෙනස් දේශපාලන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. අලුත් දේශපාලන උදාව සමඟ ආණ්ඩුවේ ගමන්මඟ ගැන එක්සත් ජාතික පෙරමුණේ නායකයකු වන පාඨලී චම්පික රණවක මහතා මෙසේ අදහස් දැක්වීය.

ප්‍රශ්නය - අලුත් ආණ්ඩුව හඳුන්වන්නෙත් ජාතික සමගි ආණ්ඩුව කියලයි. එතකොට නැවතත් හදන්නේ ජාතික ආණ්ඩුවක්මද?

පිළිතුර - ඉදිරි කෙටි කාලය සඳහා ස්ථාවර පාලනයක් ගෙනයෑමට සෑම පක්ෂයකටම අපි ආරාධනා කරනවා. ඊළඟට තිබෙන ජාතික මැතිවරණය ජනාධිපතිවරණයයි. ඒ දක්වා රට යම් ජාතික න්‍යාය පත්‍රයකට ගෙනයෑමට ඕනෑම අයෙකුට පුද්ගලයන් හැටියට හෝ පක්ෂ හැටියට දායක වෙන්න පුළුවන්. පසුගිය දින පනහක ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට දායක වූ පිරිස්වලට අපි විශේෂයෙන්ම ආරාධනා කරනවා. 

ප්‍රශ්නය - රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම දුන්නේ තමා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අගයන්නකු නිසා යැයි ජනාධිපතිවරයා කිව්වා. මේ කියන්නෙම අගමැතිකම ලැබුණත් දැන් තිබෙන්නේ 2015 ජනවාරි 8ට හාත්පසින්ම වෙනස් බල හවුලක් නේද? 

පිළිතුර -  ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම හිටියේ එක්සත් ජාතික පෙරමුණ සමඟ පෙළගැසුණු දේශපාලන බලවේග සමගයි. ඒත් දැන් ජනාධිපතිවරයාගේ දේශපාලන ස්ථාවරය වෙනස්. ඉතින් එහෙමය කියලා එතුමාට අලුත් ජනවරමක් ලැබුණෙත් නෑ. එතුමා පෞද්ගලිකව වෙනස්වීම තමයි වුණේ. මේ ක්‍රියාදාමය එක්ක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ස්ථාපිත වීම වෙනුවෙන් පසුගිය කාලය තුළ රටේ විවිධ ක්‍ෂේත්‍රවල ජනවාරි 8ටත් වඩා විශාල උද්‍යෝගයක් ඇතිවුණා. ඒ සියලු දෙනාගේම අදහස් නියෝජනය කරනසුලු ක්‍රියාදාමයක් අපට ඇතිකරගන්න පුළුවන්. ඒ අර්ථයෙන් ගත්තාම නැවුම් බලාපොරොත්තුවක් අලුත් ආරම්භයක් මෙතැන තියෙනවා.  

ප්‍රශ්නය - 2015 අගෝස්තු මහමැතිවරණයට එ.ජා.පෙ ගියේම ජාතික ආණ්ඩුවකට ජනවරමක් ඉල්ලලනෙ. ඒත් දැන් මේ හදන ආණ්ඩුවෙනුත් ඒ ජනවරම නියෝජනය වෙන්නේ නෑ නේද? එතකොට මහමැතිවරණයකට යන්නැයි කරන ඉල්ලීම්වලට සාධාරණ පදනමක් ඇති බව පිළිගන්නවද?

පිළිතුර - මෙහෙමයි. අගෝස්තු මහමැතිවරණයට පෙර ශ්‍රීලනිප පිරිස් ආණ්ඩුවට සහයෝගය දුන්නා. විශේෂයෙන්ම 19 හා අයවැය සම්මත කරගැනීමට ආදී වශයෙන්. අගෝස්තු 17න් පස්සෙ වුණේ වෙනම තරග කරලා එකට එකතු වුණාට මහමැතිවරණයේදී ශ්‍රීලනිපය පෙනීහිටියේ මහින්ද රාජපක්ෂගෙ නායකත්වයෙන් ආණ්ඩුවක් හදන්නයි. කොහොම වුණත් අලුත් තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්තෙන් මිස වසර හතරහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවිය නොහැකි නිසා මේ අලුත් තත්ත්වය පිළිගෙන ඊට අනුකූලව කටයුතු කරන්න අපට සිදුවෙනවා. ඒකයි මම කිව්වෙ මේක අලුත් ඇරඹුමක් කියලා.

ප්‍රශ්නය - 2015 සිට මේ දක්වා දූෂණ වංචා හොයන්නත් ජනාධිපති කොමිසමක් පත්කරන බව ජනාධිපතිවරයා කිව්වා. මේ විධායකයේ මතවාදය සමග ඔය අලුත් ඇරඹුම යථාර්ථයක් වේවිද?

පිළිතුර - ඇත්තටම දූෂණ වංචා හොයන එකේ වරදක් නෑ. ඒත් දේශපාලන අරමුණු ඉෂ්ටප්‍රාප්ත කරගන්න පරණ ආණ්ඩුවේ දූෂණ වංචා කළ අයව බේරාගැනීමට හෝ දේශපාලන අරමුණින් කෙනකුව කොටුකරන්න හෝ දේශපාලනිකව විනාශ කරන්න හදනවා නම් එහෙම කිරීමේ කිසිම ප්‍රයෝජනයක් නෑ. ඒක විවෘතභාවයෙන් කරනවා නම් පළමුවෙන්ම ඔහු කළ යුතු දේ කුමක්ද? ඔහුට ජනවරම ලැබුණේ ගුවන් හමුදාවේ මිග් ගනුදෙනුව, නාවික හමුදාවේ ඇවන්ගාඩ් ගනුදෙනුව, යුද හමුදාවේ දේපළ විකිණීම යනාදී වශයෙන් 2004 සිට 2014 දක්වා සිදු වූ භයානක ජාතික කොල්ලයට සහභාගී වූවන්ට නීතිය ක්‍රියාවේ යොදන්නයි. විශේෂයෙන්ම බැඳුම්කර වංචාවෙන් වුණාය කියන වංචාව වගේ විසි ගුණයක වගේ පාඩුවක් ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් පමණක් සෘජුව සිදුවෙලා තිබෙනවා. ඒ කියන්නෙ බිලියන දෙසීයකට අධිකයි. ඒ නිසා ජනාධිපතිවරයා කළයුත්තේ තමන්ට ජනවරම දුන් ජනතාවගේ අභිලාෂ පෙරදැරි කරගෙන අදාළ චූදිතයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වේගවත් කිරීමයි.    

ප්‍රශ්නය - පක්ෂ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් වංචා දූෂණ මෙන්ම අපරාධ පරීක්ෂණ පවා දඩමීමා කරගත් බවට එක්සත් ජාතික පෙරමුණට සිවිල් සමාජයෙන්ම චෝදනා එල්ලවුණා. අලුත් ආණ්ඩුව මේ චෝදනා ගැන සැලකිලිමත් වෙනවද?

පිළිතුර - ඇවන්ගාඩ් සිද්ධිය තමයි මුලින්ම ඇතිවුණේ. ඒත් ගිනිඅවි ආඥා පනත යටතේ ඒකට ක්‍රියා කළේ නෑ. එය යටපත් කිරීමට ඇතැමුන් මුදල් අරගෙන ක්‍රියා කළ බව පැහැදිලියි. ඒ වගේම තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ වැනි අපරාධවලදී අංකොන්වල පිරිස් හැරුණුකොට අපරාධයට අණ දුන් අය ගැන ක්‍රියා කළේ නෑ. ඇතැම් ඒවා පමා කළා. ඇතැම් ඒවා දේශපාලන බලපෑම් මත යටගැහුවා. විශේෂයෙන්ම කියන්න ඕනෑ ඔය කියන කාරණාවලට පහුගිය පළාත් පාලන ඡන්දයේදී දඬුවම් ලැබුණා. ඉතින් ආයෙත් මේවාට ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් එක්සත් ජාතික පෙරමුණට වෙන්නේ දඬුවම් ලබන්න නෙවෙයි. අතුගෑවිලා යන්නයි. ඉදිරි කාලයේදී පොලිසියටත් අධිකරණයටත් දේශපාලන මැදිහත්වීමකින් තොරව ස්වාධීනව කාර්යක්ෂමව කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාව සාදා දිය යුතුයි. නැතිනම් පරාජයක් නෙවෙයි අතුගායෑමක් තමයි සිද්ධවෙන්නේ. 

ප්‍රශ්නය - පාර්ලිමේන්තුවේ බල තුලනය අනුව විපක්ෂ නායක ධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දිය යුතු යැයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඉල්ලා සිටිනවා. මේ ඉල්ලීම සාධාරණයි නේද? 

පිළිතුර - මෙහෙමයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය තමයි පාර්ලිමේන්තුවේ ඉන්නෙ. තමන්ගෙ පක්ෂයේ සාමාජිකයන් විපක්ෂයේ අසුන් ගන්නවා නම් ඔවුන්ට දෙමළ සන්ධානයට වඩා ඡන්ද තිබෙනවා නම් විපක්ෂ නායක විය යුත්තේ කවුදැයි ඔවුන් තීරණය කළ යුතුයි. එහෙම නැතිව දිනේෂ් ගුණවර්ධනට හෝ පොහොට්ටුවට එය තීරණය කරන්න බෑ. ඒක ප්‍රජාතන්ත්‍රවාදය. ඒකට අපි බලපෑම් කරන්න යන්නේ නෑ. හැබැයි අපි දන්න විධියට මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අතහැරලා අලුත් පක්ෂයක සාමාජිකත්වය අරගෙන තිබෙනවා. ඒ අනුව විපක්ෂ නායක ධූරය නිල වශයෙන් හිමිවිය යුත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අයෙකුට හෝ එහි නිල වශයෙන් ලියාපදිංචි වී සිටින අයෙකුට පමණයි.  

ප්‍රශ්නය - මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය පිරිනැමීමට ජනාධිපතිවරයා තල්ලු කරනු ලැබූ ප්‍රධාන සාධකය ජනපති ඝාතන කුමන්ත්‍රණය යැයි ශ්‍රීලනිප නායකයන් දිගටම අවධාරණය කළා. මේ කුමන්ත්‍රණ කතාව රටට නිවැරැදිව හෙළි කළ යුතු යැයි නව ආණ්ඩුව හිතනවද?

පිළිතුර - අනිවාර්යයෙන්. ජනාධිපතිතුමා පොලිසිය බාරගෙන දින 50 ක් පමණ ගතවුණා. චෝදනා තිබෙන අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න එතුමාට පුළුවන්. මේකට පොලිස්පතිවරයා පවා සහයෝගය නොදුන් බවට එතුමා අවස්ථා කීපයකදීම ප්‍රකාශ කළා. රටක ජනාධිපතිවරයාට එරෙහිව එවැනි ක්‍රියාදාමයක් තිබෙනවා නම් එහෙම කරන්න ඕනෑ. අපේ රජය පවතිද්දී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇමැති ධූරයේ සිටියදී ඒ දුරකථන සංවාද විමර්ශනය කර පරීක්ෂණ කළා. ඒ අදාළ සොයාබැලීම් බොහොමයක් කළා. ඒත් ඝාතන කුමන්ත්‍රණයක් ගැන ඒ සංවාදවලින් අනාවරණය වෙලා තිබුණේ නෑ. එනිසා අවශ්‍ය විමර්ශනයක් කළ යුතුයි. කට කතාවලින් මාධ්‍ය සාකච්ඡාවලින් වැඩක් නෑ. ඒකට සම්බන්ධ වෙච්ච අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. 

ප්‍රශ්නය - යහපාලන රජය යටතේ කැබිනට් සංශෝධන, ප්‍රතිසංශෝධන අවස්ථා ගණනාවකදීම වුණේ ජනපති අගමැති සාකච්ඡාවෙනුයි. මෙවර එය සිදුවෙන්නේ කොහොමද? 

පිළිතුර - ඇත්තටම ව්‍යවස්ථාව අනුව ගත්තොත් අගමැතිවරයා කෙනකු නම් කරනවා. ජනාධිපතිවරයා විෂය පථය නම් කරනවා. කලින් අවස්ථාවලදී නම් ඒ ගොල්ලො ඒක සමගියෙන් තමයි කළේ. මෙවරත් ප්‍රජාතන්ත්‍රවාදීව නම් අනුගමනය කළයුත්තේ ඒ ක්‍රමයම තමයි. 

ප්‍රශ්නය - යහපාලන ආණ්ඩුවේ පොරොන්දු ගැන මාධ්‍ය විමසද්දී මුලින් කිව්වේ ළදරු ආණ්ඩුවට කල් ඕනෑ කියලයි. ඒත් පසු කාලයේදී දෙපිලේ ගැටුම සීතල යුද්ධයක සිට සතුරන් විනාශ කිරීම දක්වා වර්ධනය වුණා. එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට වැඩ කරලා පෙන්වන්න ප්‍රමාණවත් ආයුෂ කාලයක් තිබෙනවාද? 

පිළිතුර - කරුණු කීපයක් ප්‍රමුඛ කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. දූෂණ වංචා පිළිබඳව දැඩිව සෘජුව නීතිය ක්‍රියාත්මක කිරීම එකක්. ඒ වගේම අමාත්‍යවරු ඔවුන්ගේ බලතල වරප්‍රසාද භුක්ති විඳීමේදී විදේශ සංචාර වැනි දේවලට බර නොතබන නාස්තිය දූෂණය අකාර්යක්ෂමතාව පිටුදකින මීට වඩා විවෘත ජනතාවට වගකියනසුලු මාවතකට අවතීර්ණ විය යුතුයි. ඒ වගේම ආර්ථිකමය පැත්තෙන් අපි පසුගිය කාලයේ උත්සාහ කළේ රටේ පැවැති ණය බරත් එක්ක සාර්ව ආර්ථිකය පැත්තෙන් යම් වැඩපිළිවෙළක් දියත් කරන්නයි. ඒත් මේ කාලයේදී ජනතාවගේ ජීවන මට්ටමට සෘජුව බලපාන ආහාර, වස්ත්‍ර, නිවාසවලට මුල් තැන දෙන ආර්ථික ප්‍රතිපත්තියක් ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උගතුන් වෘත්තියවේදීන් ඇතුළු මධ්‍යම පන්තියේ ජීවන තත්ත්වයට බලපාන බදු ක්‍රම ආදිය ඉලක්ක කරගත් ආර්ථික වැඩසටහනකුත් දියත් කරනවා. ඒ වගේම තරුණ කොටස්වලට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියා ලබාදීමට ප්‍රමුඛතාවක් ලබා දෙනවා. දේශපාලන පළිගැනීම්වලට සහන ලබා දෙමින් සමෘද්ධිය, ගම්පෙරළිය ආදිය ගැන වෙනස් අවධානයක් යොමුකරනවා. 

ප්‍රශ්නය - එතකොට ප්‍රජාතාන්ත්‍රික ජාතික පෙරමුණ කියලා අදහස් කරන්නේ මොකද්ද?

පිළිතුර - අපි බලාපොරොත්තු වෙන්නේ අලුත් දේශපාලන සන්ධානයක්. එහි අරමුණ නායකත්ව මණ්ඩලයක් මගින් ප්‍රජාතාන්ත්‍රික තීරණ ගැනීමේ දියුණුවක්. විශේෂයෙන්ම තරුණ පරම්පරාවට තමන්ගේ මවුපියන් මත පදනම් නොවී තමන්ගේ හැකියා මත පදනම්ව දේශපාලනයට පිවිසිය හැකි සමාජ වාතාවරණයක් සඳහා කටයුතු කිරීමයි. 

ප්‍රශ්නය - නව ආණ්ඩුව සමග එකතුවීමට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමක් තම නායකයා සමග සාකච්ඡා කර තිබෙනවා. ව්‍යවස්ථාවට අනුව කැබිනට්ටුව ඇමැති ධූර 30 ඉක්මවීමට නම් ජාතික ආණ්ඩුවක් බිහිකළ යුතුයි. නැවත එන්නේ ජම්බෝ කැබිනට්ටුවක් ද?  

පිළිතුර - අපේ කැබිනට්ටුවට පත්කරන්නේ 30යි. ඒත් ශ්‍රීලනිපය හා වෙනත් අය එකතුවීමට තීරණයක් ගත්තොත් ඒ අවස්ථාවට අනුකූලව ක්‍රියා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. නීතියට අනුව වැඩිම ආසන ගණනක් හිමි පක්ෂයට පාර්ලිමේන්තුවේ ගෙනෙන යෝජනාවකින් තව එක් පක්ෂයක් හෝ ගණනාවක් සමඟ එක්ව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළ හැකියි. ඒක ශ්‍රීලනිපයම වෙන්න ඕනෑ නෑ. 

ප්‍රශ්නය- ජනප්‍රිය නායකත්වයකට යෑමේ අවශ්‍යතාව සමඟ පක්ෂ අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ ගැන එක්සත් ජාතික පෙරමුණේ පාර්ශ්ව රැසකින් නැවතත් යම් හඬක් පසුගිය කාලයේදී මතුවුණා. මේ සාකච්ඡාවේදී ඔබ ඉන්නේ කොතැනද?

පිළිතුර - ලෝකයේ කාරණා කීපයක් මගින් සමාජ වෙනස්වීම්වලට ලක්වෙනවා. එකක් තමයි පරම්පරාව. අවුරුදු තිහෙන් තිහට පරම්පරාව වෙනස්වෙනවා. ඊළඟට පාරිසරික වෙනස්කම් මත වෙනවා. උදාහරණයකට ගම නගරය වෙනවා. ලංකාවෙ අද සියයට පනහක් පමණ ගමේ කියන හැඩරුවේ ජීවත් වුණත් ජීවත්වෙන්නේ නාගරික අවශ්‍යතා සහිත පිරිසක්. ඒක මේ අවුරුදු තිහ හතළිහකට කලින් තිබුණු තත්ත්වය නෙවෙයි. ඊළඟට තාක්ෂණය. හැත්තෑව හැට දශකයේදී පත්තරයට තිබුණු තැන අසූව දශකයේදී ගුවන් විදුලියටත් පසුව රූපවාහිනියටත් ආවා. 2005 මැතිවරණය වන විට රූපවාහිනියට විශාල බලපෑමක් කළ හැකිව තිබුණත් දැන් තත්ත්වය වෙනස්. සාම්ප්‍රදායික මාධ්‍යවල අය මොනවා හිතුවත් ජනමාධ්‍ය තිබෙන්නේ පුද්ගලයන්ගේ සාක්කුවෙයි. අලුත් තාක්ෂණික වෙනස සමඟ අලුත් පරම්පරාවක් ඇතිවෙලා තිබෙනවා. ඒ අනුව දේශපාලන පක්ෂත් වෙනස් වෙන්න ඕනෑ. නැත්නම් දේශපාලන පක්ෂ වඳවෙලා යනවා. ඒ අනුව නිකන් නෙවෙයි බලගතු ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. මම කරුණු තුනක් අවධාරණය කරන්නම්. එකක් මේ සමාජයේ මිනිස් දූවිලි බවට පත්ව සමාජයෙන් පිටමං කළ පිරිසක් සිටිනවා. ඊළඟට මේ සමාජයට කුසලතාවාදය අත්‍යවශ්‍යයයි. ඒ කියන්නේ මවුපියන් නෙවෙයි. හැකියාව මත පදනම්ව ඉදිරියට යන සමාජයක්. ඊළඟට පරිසර හිතකාමීත්වය. මෙන්න මේ කරුණු තුන න්‍යාය පත්‍ර කරගත් අලුත් ප්‍රතිසංස්කරණයක් මුළු රටටම අත්‍යවශ්‍යයයි. 

ප්‍රශ්නය - ජනපති ගැසට්ටුව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කිරීමේ පදනමම ජනාධිපතිවරයා ව්‍යවස්ථාවිරෝධීව කටයුතු කිරීම යැයි කියමින් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ යුතු යැයි එ.ජාපෙ ඇතැම් මන්ත්‍රීවරුන් අදහස් පළ කරනවා. ඇත්තටම එවැනි තීරණයක් මේ වෙද්දි අරගෙන තිබෙනවාද? 

පිළිතුර - නෑ. ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමට කිසිදු තීරණයක් ගෙන නෑ. 

සටහන - බිගුන් මේනක ගමගේ