වසන්ත ප්‍රිය රාමනායක

මැයි රැලි දේශපාලනයේ දී වත්මන් ආණ්ඩුව පසුගිය වසරේ ඒකාබද්ධ විපක්ෂයට අභියෝගාත්මක ඉලක්කයක් ලබා දුන්නා අපට මතකය. එය සිදුවූයේ මැයි රැලි සඳහා පිට්ටනි වෙන්කර දීමේ දී ය. මෙහිදී ඒකාබද්ධ විපක්ෂයට ලැබුණේ ගාලුමුවදොර පිටියයි. “පුළුවන්නම් පුරවල පෙන්නපල්ලා” යන්න එහි යටි අරුතයි. ආණ්ඩුව කල්පනා කළේ ඒකාබද්ධයේ අය සෙනඟ නැතුව අනාගනී කියලාය.ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මෙම අභියෝගය භාරගනු ලැබුවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ය. ඔහු එම අභියෝගයට පිළිතුරු සෙව්වේය. අවසානයේ ගාලුමුවදොර මිනිස් ජලාශයකින් උතුරා යන්නට විය. 

ආණ්ඩුව කිසි ලෙසකින්වත් එවැන්නක් බලාපොරොත්තු නොවීය. අවසාන​ෙය් ඇනගත්තේ ආණ්ඩුවයි. මෙහිදී සිදුවූයේ බැසිල් තාක්ෂණිකව අනුගමනය කළ දේශපාලන උපක්‍රමයකි. එදා මැයි දින පෙළපාළියට සූදානමින් සිටි පිරිස හදිසියේම ගාලු මුවාදොර පිටියට හැරවීය. සියලු කාර්යයන් පැය 3ක් ඇතුළත අවසන් විය. ඩ්‍රෝන කැමරා මාධ්‍යයට අදාළ කාරණා ඉටු කළේය. ගාලුමුවදොර ජනයාගෙන් පිරී ඉතිරී ගිය අතර රැස්වීමක් පවත්වා සියල්ලෝ විසිරී ගියහ. හිටපු ජනාධිපති මහින්ද “ආණ්ඩුව ගෙදර පලයව්” කියා සුපුරුදු සටන්කාමී ස්වරයෙන් කීවේ එදාය. ඒත් ආණ්ඩුව තවමත් ගෙදර ගියේ නැත. එහෙත් සටන් පාඨවල හැටි එහෙමය. එදා ජනතාව කොළඹ කැඳවීමේ අරමුණ වූයේ යෝධ ජන රැලියක් සහිත ආණ්ඩු විරෝධී මැයි රැලියක් පැවැත්වීමය. එය සාර්ථක විය. මේ සඳහා දේශපාලන විඥානය, සංවිධාන ශක්තිය හා අත්දැකීම් ඇවැසිය. 

පසුගියදා පැවැති ‘ජනබලය කොළඹට’ විරෝධතාවයේ මෙම අත්දැකීම උපයෝගී කරගත්තා ද යන්න ප්‍රශ්නයකි. කවුරු උපදෙස් දුන්නාද පැරැන්නන්ගෙන් උපදෙස් ගත්තාද යන්න කියන්න දන්නේ නැත. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විදේශගතව සිටින බව නම් පැහැදිලිය. ජනාධිපති මෛත්‍රීගේ ආන්දෝලනාත්මක දේශපාලන කතාව, විස සහිත කිරි පැකට් බෙදාහැරීම හා එක්සත් ජාතික පක්ෂයේ අවදිවීම හරහා ‘ජනබලය කොළඹට’ විරෝධතාවයේ දෝංකාරය දේශපාලන ලෝකයේ තවමත් කතා බහට ලක්ව ඇත. මේ නිසා එය අදත් පිළුණු මාතෘකාවක් නොවේ. මාධ්‍ය තුළ ද කතාබහට ලක්වෙමින් පවතින මාතෘකාවකි.ආණ්ඩුව කියන්නේ මේ විරෝධතාව අසාර්ථක මෙන්ම විපක්ෂය ඇනගත් ජනබල මෙහෙයුමක් කියලාය. මේනිසා වර්තමානයේ ඒකාබද්ධ විපක්ෂයේ කඩාවැටීමක් පෙන්නුම් කරනවා කියලාය. හැම ආණ්ඩුවක්ම වාගේ විපක්ෂයේ විරෝධතා දැක තිබෙන්නේ හා දකින්නේ එහෙමය. 

ඒකාබද්ධ විපක්ෂයේ තක්සේරුවට අනුව වැඩේ සාර්ථකය. විපක්ෂයටත් කටක් ඇර තමන් කළ වැඩේ අසාර්ථක යැයි කිව නොහැක. ආණ්ඩුවටත් සාර්ථක යැයි කියනු බැරිය. එසේ කියා දෙපාර්ශ්වයටම තමන්ට ළැදි ‘උනන්දුවෝ’ තමන් ළඟ රඳවා තබාගත නොහැකිය.කෙටියෙන් සඳහන් කරන්නේ නම් වැඩේ අසාර්ථක නැත. එහෙත් දිවයිනේ සතර අතින් පැමිණි ආණ්ඩු විරෝධී ජනතාව තර්කානුකූල අවසානයක් කරා ගෙන යාමට නොහැකිවීමේ ප්‍රශ්නයක් තිබේ. එය ජනාධිපති මෛත්‍රී සඳහන් කළ අධිතක්සේරුවදැයි කියන්න දන්නේ නැත. පරිණත දේශපාලන කණ්ඩායමක් තමන් තුළ ක්‍රියාත්මක වන ආධුනිකත්ව මණ්ඩලයකට වැඩ පැවරීමේ දී අධීක්ෂණය කළ යුතු ආකාරය මේ අත්දැකීමෙන් තේරුම්ගත යුතුය. මෙහි වගකීම ඒකාබද්ධයේ තරුණ නායකයනට පමණක් බැර නොවේ. මධ්‍යම ගණයේ ජ්‍යෙෂ්ඨයන් ද මීට වගකිව යුතුය.කොළඹ නගරය තුළ පෞද්ගලික අංශය අඩපණවීම, පාසල් වසා දැමීම හා යම් ප්‍රමාණයකට කොළඹ ජන ජීවිතය ව්‍යාකූල වීම වැනි කාරණා ජනබල කොළඹ විරෝධතාව නිසා සිදුවිය. විපක්ෂයකට එය වුවද ප්‍රමාණවත්ය. ආණ්ඩුව වැටළීම, පළවාහැරීම වැනි බයිලා ගනයේ කාරණාවලින් මෙම විරෝධතාවේ වටිනාකම ඉස්මතු නොවීය. මේවා විපක්ෂයට ගොස් විරෝධතා දැක්වීමේ දී සිදුවන අඩුපාඩුය. 
මෑත ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් හා විපක්ෂ කණ්ඩායමක් මෙහෙයවූ කොළඹ විරෝධතාවකට වෙඩි තැබුණේ චන්ද්‍රිකා කුමාරතුංග පාලනය යටතේය. එදා විපක්ෂයට කොටහේනෙන් මිනී දෙකක් ලැබුණි. මෙදා එවැන්නක් තියා පහරදීමක්වත් සිදු නොවුණි. මේවා ආණ්ඩුවට වැටෙන ලකුණුය. ඊට ජනාධිපති මෛත්‍රී මෙන්ම අගමැති රනිල්ගේ ද යහපත් මැදිහත්වීම හේතු විය. එහෙත් වස කිරි පැකට් මෙහෙයුම කාගේදැයි තවමත් අපැහැදිලිය. එය බැරවෙමින් පවතින්නේ නම් ආණ්ඩුවේ පසුපෙළටය.ආණ්ඩුවට වැදගත් වන්නේ පෙළපාළියේ ගිය බේබද්දෙක් දෙන්නෙක් ආණ්ඩුවේ රූපවාහිනියෙන් පෙන්නා මෝඩ චූං ලැබීම නොවේ. මේවා චන්ද්‍රිකා කුමාරතුංග රාජ්‍ය සමයේ යූ.ඇන්.පියට එරෙහිව පට්ටා ගැසූ දැන් පතුරු ගැලවෙමින් පවතින උපක්‍රමය. කාගේත් පෙළපාළිවල බේබද්දෝ නටති. නාගසලං ගසති. මේවා අපේ දේශපාලන පෙළපාළිවල සංස්කෘතික ලක්ෂණ බවට පත්ව ඇත.රුපියල මස්තබාල්දු වීම, දිනෙන් දින බුරබුරා නගින බඩු මිල, දුගියා වෙළාගන්නා පිඹුරකු මෙන් එකවිට එක පැටවෙන බදුබර, ඊනියා තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයේ මහ මඟ රස්තියාදුව ඇතුළු දහසකුත් ප්‍රශ්න විපක්ෂයක අසාර්ථක උද්ඝෝෂණයකින් වුවද වසාගැනීමට රජයට නොහැකි වනු ඇත.

මේ නිසා රජයට වැදගත් වන්නේ මෙමඟින් දෙන ලද පණිවුඩය අධ්‍යයනය කිරීමය. විපක්ෂයේ දුර්වලතා මත ආණ්ඩු පවත්වාගෙන යෑමේ දේශපාලනය මේ වනවිට අසාර්ථක වෙමින් පවතී. ලංකා ඉතිහාසයේ කිසි දිනෙක බලයේ සිටින ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයකදී මේතරම් කැත විදියට පරාජය වී නොමැත. ගාමිණී දිසානායකයන්ගේ වියෝව සමඟින් සකලවිධ අවාසිදායක පරිසරයකදී වුවද එදා ශ්‍රීමා දිසානායක ජනාධිපති අපේක්ෂිකාව ලබාගත් ඡන්ද ප්‍රතිශතයවත් මෙවර ලබා ගැනීමට නොහැකි වූයේ මන්දැයි තවමත් නිවැරැදි ඵලදායී කතිකාවතක් යූ.එන්.පිය තුළ සිදුවී නොමැත. ඒ වෙනුවට ‘එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකාවෙන්’ හා ‘ගම්පෙරළියෙන්’ ගමට සල්ලි පොම්ප කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. අතීතයේ සල්ලි බෙදා, බඩු බෙදා ඇනගත් මැතිවරණය ගැන අමුතුවෙන් කියාදිය යුතු නැත.තාක්ෂණික ඥානය ලබාදී, වෙළෙඳපොළ සොයාදී මේ රටේ තරුණ තරුණියන්ට අඩු පොලී ණය යෝජනා ක්‍රමයක් යටතේ ස්වයං රැකියාවක්, කුඩා ව්‍යාපාරයක් කරගෙන යෑමට ඉඩ සැලසෙන්නේ නම් මේ එන්ටර්ප්‍රයිස් ඝෝෂාවට වඩා ප්‍රතිඵලදායකය, රාජ්‍ය ආයතන පද්ධතියේ කඩාවැටීම හා අල්ලස දූෂණය මේ සියල්ලෙන් තරුණ තරුණියන් ඈත්කරලීමට හේතුවී තිබේ. අද පගාවක් නොදී කරගත හැකි වැඩක් නොමැති තරම්ය. මේවා ගැන සොයාබැලීමෙන් තොරව බඩු මිල ගැන සංවේදී නොවී විපක්ෂයේ විරෝධතා සම්බන්ධයෙන් ස්වයංවින්දනයක පසුවීම විහිළුසහගතය. දෙපිරිසම (ඒකාබද්ධ විපක්ෂය හා ආණ්ඩුව) අධිතක්සේරුවක සිටිනවා යැයි ජනාධිපති මෛත්‍රී සඳහන් කරන්නේ මේනිසා විය හැකිය. 

කාලාන්තරයක් තිස්සේ ආණ්ඩුකර විපක්ෂයට තල්ලුවීමෙන් අනතුරුව නැවත ගොඩඒම ගැන පෝය ක්‍රමයට සරලව ගණන් බැලීම තර්කානුකූල නොවේ. ඒ සඳහා පසුගියදා විපක්ෂයට එක්වූ 16 දෙනා පමණක් නොව ආණ්ඩුව සමඟ සිටින ශ්‍රී.ල.නි.ප. 23 දෙනා ද එකතු කරගත යුතුය. මෙහිදී උපාය උපක්‍රම නිවැරැදිව හඳුනාගැනීම වැදගත්ය. තමන් විසින්ම තමන්ගේ පැත්තට ගෝල ගසාගෙන ප්‍රතිවාදීන්ට ලකුණු ලබාදීම් නොකළ යුතු වන්නේ මේ නිසාය. 16 දෙනාගේ කණ්ඩායම තුළ අත්දැකීම් සහිත හොඳ මොළ තිබේ. සමහරුන් ඔවුන් විදුලි කොටන විට එළියට දමන යකඩ කෑලි මෙන් පාවිච්චි කිරීමට යන්නේ නම් එතැන ප්‍රශ්නයක් තිබේ. 

අනාගත ආණ්ඩුවක නායකකාරකාදීන් කවරේදැයි ඡන්දය දෙනවිට ජනතාව කල්පනා කරන සාධකයකි. එහිදී මේ 16 දෙනා අතර සිටින ජ්‍යෙෂ්ඨයන් ද වැදගත්ය. පළාත් පාලන මැතිවරණයේ දී මාතලේ නාඋල පැත්තේ විදුහල්පතිනියට අන්ත පරාජය අත්පත් කරදෙමින් ව්‍යාපාරිකයා ජයගත් ආකාරයට, මහරගම පැත්තේ සමහර බයිසිකල් බහුබූතයන් පත්කරගත් ආකාරයට ජාතික මැතිවරණයකදී ඡන්ද හැසිරෙන්නේ නැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේවා සම්බන්ධයෙන් අත්දැකීමෙන්ම ලැබූ දේශපාලන පරිචය උපයෝගී කර ගනිමින් කටයුතු කරන බව පෙනේ. එතුමා මේ දිනවල වචන පාවිච්චි කිරීමේදී පවා පරෙස්සම් වෙයි . ඔහු ජනාධිපති මෛත්‍රී සමඟ යහපත් සබඳතාවකට ඉඩක් හදා ගනිමින් සිටිනවා වාගේය. එය දැවැන්ත යූ.එන්.පී. විරෝධී පෙරමුණක් උදෙසා විය හැකිය. එහිදී ජනතා විමුක්ති පෙරමුණ සමඟ වුවද සබඳතා ගොඩනඟා ගැනීමට සිදුවේ. පසුගියදා පාර්ලිමේන්තුවේ ජ.වි.පෙ. නායකයාගේ අසුන ළඟට ගොස් හිටපු ජනාධිපතිවරයා මිමිනුවේ අලුත් සබඳතාවකට දැයි කියන්න දන්නේ නැත. මේ නව ප්‍රවණතාවය ‘ජනබලය කොළඹට’ කියාදෙන දේශපාලන පාඩම විය හැකිය.

පොහොට්ටුවට ඇත්තේ 102ක පාර්ලිමේන්තු පදනමක් බව ජනාධිපති මෛත්‍රී පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය ගැන විග්‍රහයක යෙදෙමින් මේ ඊයේ පෙරේදා පැවසීය. මන්ත්‍රීන් 225ක පාර්ලිමේන්තුවක 102ක් කියන්නේ ද ලෙහෙසි පහසු සංඛ්‍යාවක් නොවේ. 113ක පාර්ලිමේන්තු බහුතරයක් තුළ ඔවුනට තව සොයාගැනීමට ඇත්තේ 11 දෙනෙකි. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය එ.ජා.ප.යට හා පොහොට්ටුවට එරෙහිව 15%ක ඡන්ද පදනමක සිටී. 11 දෙනා සොයාගැනීමේ දී මේ 15%ක ඡන්ද පදනම අවැසි ප්‍රමාණයටත් වඩා වැඩිය. එහෙත් දේශපාලනයේදී බැලිය යුත්තේ මේ පදනම් දෙකේ එකතුව ගැන මිස ඇඟේ හයියට එකිනෙකාට පසමිතුරු ලෙසින් මැතිවරණ තරග කිරීම නොවේ. එසේ කල්පනා කිරීමේ දී ජනාධිපති මෛත්‍රී නායකත්වය දෙන නිල ශ්‍රී.ල.නි.ප. කණ්ඩායම අවසාන ජයග්‍රහණයේ දී නිතැතින්ම නොසලකා හැරිය නොහැකි කණ්ඩායමක් බව පෙනේ.

‘මේ හලෝ, අපිත් මෙහේ ඉන්නවා’ කියා ජනාධිපතිවරයා නොකියා කියන්නේ එයදැයි කියන්න දන්නේ නැත. අවසානයේ ජනබලය කොළඹට ජනාධිපති මෛත්‍රී ද නොසලකා හැරිය නොහැකි නායකයකු බවට පත්කර ඇති බව පෙනේ. එහෙත් ජනාධිපතිවරයා සමඟ සිටින 23 දෙනාගේ කණ්ඩායමෙන් කීදෙනකු අනාගත එක්සත් ජාතික පෙරමුණක හෝ හංස පෙරමුණක ලැගුම් ගනීදැයි අපැහැදිලිය. අවසාන විග්‍රහයේ දී මේ සියලුදෙනා අත්‍යවශ්‍ය සාධක බවට පත්වන්නේ යූ.ඇන්.පී. විරෝධී පුළුල් පෙරමුණක පමණි. ජනාධිපති මෛත්‍රී අත්‍යවශ්‍ය සාධකයක් මෙන්ම ඔහුට යූ.ඇන්.පීය සමඟ ගමනක් ඇති බවක් නොපෙනේ. මේනිසා ඔහු වඩාත් සමීපව සිටින්නේ යූ.ඇන්.පියට එරෙහි දේශපාලන කඳවුර දෙසටය. හංස පෙරමුණක හෝ එක්සත් ජාතික පෙරමුණක පූට්ටුවක් වීමෙන් ශ්‍රී.ල.නි.ප.යට අනාගතයක් නොමැතිවා සේම ඒකාබද්ධයට ද තනි ගමනක් නොමැත.ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට සහාය වීමත්, ආණ්ඩුව රැකගැනීමත් එක්සත් ජාතික පක්ෂය නායකත්වය දෙන පෙරමුණක මුල් පුටුව ගැනීමත් එකක් නොව දෙක තුනකි.එතකොට 2015 ජනවාරි 8 වැනිදායින් පසු මේ කණ්ඩායම් දෙකේ (එ.ජා.ප. - ශ්‍රී.ල.නි.ප.) අත්හදාබැලීමට සිදුවී තිබෙන්නේ කුමක්ද?

ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ක්ෂේත්‍රයේ යම් යම් ජයග්‍රහණ අත්පත් කරගෙන ඇති නමුත් පොදුවේ ජනතාවට වගතුවක් වී නොමැත. යහපාලනය මධ්‍යම පාන්තික සටන් පාඨයක් පමණි. එය අවැසි නොවේ යැයි මින් අදහස් නොවේ. එහෙත් රටක මධ්‍යම පන්තියේ ද සුළු පිරිසක් වෙනුවෙන් ආණ්ඩු පවත්වාගෙන යෑමේ ක්‍රමයක් දක්නට නොලැබේ. 2015 ජනවාරි 8 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීම හැරෙන්නට මේ ආණ්ඩුවට රට ඔසවා තැබෙන ව්‍යූහාත්මක වෙනසක් සහිත දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් තිබී ඇති බවක් නොපෙනේ. ඒ වෙනුවට සිදුවී තිබෙන්නේ කවුරුත් කරගෙන ආ පැලැස්තර වැඩ ඉටු කිරීමය. එතෙක් සොරකමේ සුපුරුදු ව්‍යාපෘතිය ක්‍රියාවට නැඟේ. මේනිසා සමස්ත යහපාලනයම ගඳ ගසන තත්ත්වයකට පත්ව ඇති බව අදාළ බලධාරීන්ට නොපෙනේ. දේශපාලනයේ සදාකාලික සතුරන් මෙන්ම මිතුරන් ද නොමැති සේම එදා කියූ කාරණා හෙටට අදාළ වන්නේ ද නැත. එසේම සිතේ කැත කුණු තබාගෙන දේශපාලන ජයග්‍රහණ ලබා ගැනීම ද දුෂ්කරය.